ජනාධිපතිවරයාගේ ධූර කාලයේ අවසානය ළං වෙත්ම ඉදිරි ජනාධිපතිවරණ සටනට අවතීර්ණ විය හැකි විවිධ අපේක්ෂකයින්ගේ නම් කරලියට පැමිණ තිබේ.
දීර්ඝ දේශපාලන ඉතිහාසයක් හෝ දේශපාලන පරම්පරාවකින් පැවත එන හෝ ව්‍යවසායක හෝ ව්‍යාපාරික පසුබිමක් ඇති පුද්ගලයෝ ද ඒ අතර වෙති.
කෙසේ නමුත් රාජ්‍ය බලය ලබා ගැනීමට තරුණ නැගිටීම් හමුවේ කළ ආයුධ සන්නද්ධ කැරළි කිහිපයක්ම අසාර්ථක වු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත.
ලෝක තත්ත්වය අධ්‍යනය කිරීමේදී පෙනීයන්නේ වියපත් නායකයින් මෙන්ම තරුණ නායකයින් ද සිය ශක්තිය යොදවා රටවල් මෙහෙයවා ඇති බවකි.
බැලු බැල්මට තරුණ පාලනයක් හෝ වැඩිහිටි පාලනයක් සහිත රටවල පරිපාලන වෙනසක් හෝ ආර්ථිකමය වෙනසක් තිබේද යන්න වෙන් වෙන් වශයෙන් කීමට තරම් ප්‍රමාණවත් සාධක අප සතුව නැත.
එහෙත් දිගින් දිගටම ලෝකය පුරාම වියපත් පාලකයින්ට එරෙහිව තරුණ පිරිස් අතරින් සැලකිය යුතු විරෝධයක් මතුවෙමින් තිබේ.
ඒ අනුව මෙම ලිපියෙන් අපි විමසා බැලීමට උත්සාහ ගන්නේ පුද්ගලයෙකුගේ 'වයස' රටක පාලන බලය හෙඹවීමෙහිලා සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කරන්නේද යන්න විමසා බැලීමටයි.
ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද?
පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ඔහු/ඇය දැනට මන්ත්‍රීවරයෙකු නම් හෝ කලින් මන්ත්‍රීවරයෙකුව සිටි අයෙක් නම් වෙනත් ඕනෑ ම දේශපාලන පක්ෂයක් හෝ ඕනෑ ම ශ්‍රී ලංකාවේ ඡන්දය හිමි අයෙකු හෝ ජනාධිපතිවරණය සඳහා අදාළ නාම යෝජනාව ඉදිරිපත් කළ හැකිය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරයට තරග කළ හැකි පුද්ගලයෙකු සැපිරිය යුතු මුලික සුදුසුම්කම් කිහිපයකි. එහි එක් සුදුසුකමක් ලෙස 'වයස' ද සැලකිල්ලට ගෙන තිබේ.
* නාම යෝජනා භාර දෙන දිනය වන විට වයස අවුරුදු 35 සම්පූර්ණ කර සිටිය යුතුය.
* ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය.
* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (1) වගන්තියට අනුව අවම සුදුසුකම් ඇති අයෙකුගේ නාම යෝජනාව පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ඔහු/ඇය දැනට මන්ත්‍රීවරයෙකු නම් හෝ කලින් මන්ත්‍රීවරයෙකුව සිටි අයෙක් නම් වෙනත් ඕනෑ ම දේශපාලන පක්ෂයක් හෝ ඕනෑ ම ශ්‍රී ලංකාවේ ඡන්දය හිමි අයෙකු හෝ ජනාධිපතිවරණය සඳහා අදාළ නාම යෝජනාව ඉදිරිපත් කළ හැකිය.
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට බලපාන නුසුදුසුකම් මොනවාද?
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හට ජනාධිපතිවරණයට නැවත තරග කළ නොහැක
* දෙවරකට වඩා ජනාධිපති වූවෙකු නොවිය යුතුය.
* ඒ අනුව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හට ජනාධිපතිවරණයට නැවත තරග කළ නොහැකිය.
* ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය නොහැකිය.
* සිහි විකල් වූ අයෙකු යැයි ශ්‍රී ලංකාවේ අධිකරණයකින් තීරණය කළ තැනැත්තෙකු
* දෝෂාභියෝගයකින් ජනාධිපති පදවියෙන් ඉවත් කළ අයෙකු
* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන ව්‍යවස්ථාව අනුව ප්‍රජා අශක්නුතාවකට භාජනය වූ අයෙකු
* පසුගිය වසර හත ඇතුළත මාස හයක් හෝ ඊට වැඩි කාලයක් සිරගතව සිටි අයෙකුට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය නොහැකිය.
* නමුත් සිර දඬුවමට යටත්ව සිරගත වී සිටින විට කොන්දේසි විරහිත සමාවක් ලැබූ පුද්ගලයෙකුට මෙම තහංචිය බලපාන්නේ නැත.
* ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක විධායක ජනාධිපතිවරයා බෞද්ධ විය යුතුයි යන්න සඳහන් වී නොමැත.
'සමාජ සම්මතයන් වැදගත් නැහැ'
LGBT හින්දා පාලනය කරන්න බැහැ,
"වයස හින්දා පාලනය කරන්න බැහැ, ගැහැණු කෙනෙක් හින්දා පාලනය කරන්න බැහැ, වෙනත් සමාජ ප්‍රජාවකින් ආපු හින්දා පාලනය කරන්න බැහැ, LGBT හින්දා පාලනය කරන්න බැහැ, ඒ වගේ තියෙනවානේ අපේ සමාජයේ සම්මතයන්. මම හිතන්නේ ඒ සම්මතයන් වැදගත් නැහැ. ශාරිරිකව ඒ අය යහපත් ලෙස නැතිනම් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් හැබැයි වයස පාවිච්චි කරලා මේකෙ වෙනස් කමක් කරන්න ඕනෙයි කියන එක මම පිළිගන්නේ නැහැ." යි මහාචාර්ය ප්‍රේමකුමාර් ද සිල්වා පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අංශයේ මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි දේශපාලන ඥානය, අවංක භාවය, ඉවසීම හා සෘජු බව වැනි නායකත්ව නිර්ණායක සලකා බැලීම වඩා වැදගත් බවයි.
"රාජ්‍ය පාලනයට වැදගත් වෙන්නේ සෞඛ්‍ය සම්පන්න භාවයයි, බුද්ධිමත් භාවයයි, එයා කැත ද, උස ද, මිටි ද ද, කළු ද, ලප තියෙනවා ද, ඒවා අදාළ නැහැ." යැයි සමාජ විද්‍යාඥ ප්‍රේමකුමාර් ද සිල්වා බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
'ප්‍රතිපත්ති දේශපාලනයට යොමු වීම වැදගත්'
තරුණ, මහලු හෝ වෙනත් සාධක මත නොව පාලකයා තෝරා පත් කර ගත යුත්තේ ප්‍රතිපත්ති පිළිබඳව සලකා බලා යැයි මහාචාර්යවරයා අවධාරණය කළේය.
"ඒ ප්‍රතිපත්ති මහජනයා බොහෝම සාවධානව සලකා බලන්න ඕනේ. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කළ හැකි ඒවා දැයි බලන්න ඕනා. අපි ඕන තරම් ප්‍රතිපත්ති ප්‍රකාශන දැකලා තියෙනවානේ නිදහසෙන් පස්සේ ඉඳන්ම. ඒක ලොකු ලියවිල්ලක්, බැඳීමක් වෙන්න ඕනා. මහජනයා දිගින් දිගටම ඒ පිළිබඳව සාකච්ඡාවක් මතු කරන එක තියෙන්න ඕනා.”
ඔහු පවසන්නේ පොරොන්දු දේශපාලනය සම්පුර්ණයෙන්ම බැහැර කළ යුතු බව මෙන්ම පුද්ගල කේන්ද්‍රිය දේශපාලනය පසෙකලා ප්‍රතිපත්ති දේශපාලනයට යොමු වීම වඩා වැදගත් බවයි.
ශරිර යෝග්‍යතාවය, මානසික යෝග්‍යතාවය කියන දෙකම ඉතාම වැදගත්’
‘ශරිර යෝග්‍යතාවය, මානසික යෝග්‍යතාවය කියන දෙකම ඉතාම වැදගත්’
මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂ්නි සිල්වා පෙන්වා දෙන්නේ යෝග්‍යතාවය හා පරිණත භාවය අනුව ගතහොත් අවුරුදු 50 සහ 65 අතර වයසේ පුද්ගලයන් රටේ පාලන තන්ත්‍රයට සුදුසු විමේ හැකියාව වැඩි බවයි.
"ශරිර යෝග්‍යතාවය, මානසික යෝග්‍යතාවය කියන දෙකම ඉතාම වැදගත් වගකිව යුතු තනතුරක් දරන්න. මොකද ඒ යෝග්‍යතා දෙක අඩු වීම තමන්ට වගේම තමන්ගේ යටතේ පාලනය වෙන හෝ තමන් යටතේ සිටින කණ්ඩායමටත් බලපානවා."
"පරිණත භාවය, යෝග්‍යතාවය සහ අත්දැකිම් කියන මේ ඔක්කොම ගොඩක් වෙලාවට පුද්ගලයෙකුට ඒකරාශිවෙන සුදුසුම වයස තමයි සමාන්‍යයෙන් අවුරුදු 50 – 65 වගේ අතර කාලේ. ඒ කාලේදී යෝග්‍යතාවය කියන එක පුද්ගලයෙකුගේ ප්‍රශස්ත මට්ටමින් තියෙන්න පුලුවන්. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ 50ට අඩු අයටත් මේක නැහැ, 65ට වැඩි අයටත් නැහැ කියලා." යැයි කථිකාචාර්යවරිය වැඩිදුරටත් පැහැදිලි කළාය.
‘මහින්ද හා රනිල් දේශපාලනයට ආවේ ඉතාමත් තරුණ වයසේ දී’
"මහින්ද දේශපාලනයට එන්නේ ඉතාමත්ම තරුණ වයසේ දී, රනිල් දේශපාලනයට එන්නේ ඉතාමත්ම තරුණ වයසේ දී,
දැනට පාලනය හොබවන මහජන නියෝජිතයන් අතර සිටින තරුණ පිරිස් ගැන ද ඇය එහිදී විස්තර කළාය.
"තමා තමාගේ හැකියාවෙන් පාර්ලිමේන්තුවට ආපු අවුරුදු 50ට අඩු පුද්ගලයන් ඉන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. තරුණ ඔක්කොම දෙනා ඉන්නේ ඥාතීන්. එක්කෝ ඥාති පුත්‍රයෙක්, නැතිනම් තමන්ගේම පුතෙක්, දුවෙක්, එහෙම නැතිනම් තමන්ගේ විවාහක සම්බන්ධයකින් ඥාති වෙච්ච කෙනෙක්."
"අපිට තරුණ වුණාට වැඩක් නැහැ. අපි තරුණ කියන එකෙන් අදහස් කරන්නේ මේ තියෙන දෘෂ්ටිවාදිමය වෙනස්කම්. වයසයි කියන එකෙන් අදහස් කරන්නේ වයසම නෙමෙයි ඒකෙ වෙන දේශපාලන ඇඟවුමක් තියෙනවා."
"මහින්ද දේශපාලනයට එන්නේ ඉතාමත්ම තරුණ වයසේ දී, රනිල් දේශපාලනයට එන්නේ ඉතාමත්ම තරුණ වයසේ දී, නමුත් ඔවුන්ගේ දෘෂ්ටිවාදිමය කෑල්ල වෙන එකක්. ඒක ඇතුලේ තිබුණේ අර පාදඩ දේශපාලනය සහ ලංකාවේ ඇති වෙච්ච හරිම අසංස්කෘතික ක්‍රමය. ඒක යුන්පී ද, පොහොට්ටුව ද, සජබ ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද කියලා නැහැ; ඒ මුළු ඔක්කොම ඇතුලේ තිබුණේ එකම දෘෂ්ටිවාදීමය දේශපාලනයක්. ඒ දේශපාලනය තමයි ඉවත් කළ යුත්තේ. ඒක වයසින් නෙමෙයි අයින් කරන්න ඕනේ ඇත්තටම ඒ කණ්ඩායමෙන් අයින් කරන්න ඕනේ." යැයි කථිකාචාර්යවරිය කියා සිටියාය.
පියවරුන්ගේ අඩි පාරේ යන දේශපාලන පුතුන්
පියවරුන්ගේ අඩි පාරේ යන දේශපාලන පුතුන්
ලිබරල් ආර්ථික ක්‍රමය තුළ තරුණයක්ගේ ඉලක්කය වී ඇත්තේ රැකියාවක් සොයා ගැනීම සහ ආර්ථිකමය වශයෙන් ස්ථාවරත්වයක් ලබා ගැනීම බව ඇය අවධාරණය කළාය.
"ලිබරල් ආර්ථිකය ඇතුළේ දේශපාලනය කියන්නේ තවදුරටත් මධ්‍යම පාන්තික සහ පහළ මධ්‍යම පාන්තික දරිද්‍ර තරුණයන් අතර ආකර්ෂණීය කේෂ්ත්‍රයක් නෙමෙයි.
මොකද මේ කේෂ්ත්‍රය ඇතුළේ ඒ සමාජ කණ්ඩායම්වලට අවශ්‍ය කරන වටපිටාවක් නැහැ දේශපාලනය ඇතුලේ ස්ථාවර වෙන්න. තරුණ කණ්ඩායම්වලට අවශ්‍ය මේ ලිබරල් වෙළඳ ආර්ථිකය ඇතුළේ ඒගොල්ලන්ගේ ටාගට් එක තමයි, ජොබ් එක්ක සොයාගන්න එක සහ ඒක ඇතුළේ තමන්ගේ පැවැත්ම හදාගන්න එක. ආර්ථික දෘෂ්ටියක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ."
ලංකාව තුළ ඇති දේශපාලන ප්‍රවාහයට පහළ මධ්‍යම පාන්තිකයෙකුට ඇතුළත් වීමට ඇති අවස්ථාව අඩු බව මෙන්ම ඔවුන්ට මහත්මා දේශපාලනයෙන් ඉදිරියට පැමිණිය නොහැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂ්නි සිල්වා එහිදී අවධාරණය කළාය.
ලෝක තත්වය : තරුණයින් ද වැඩිහිටි පාලකයින්ද ?
2024 වසර යනු ලොව පුරා ජනතාවගෙන් අඩකට වඩා ඡන්ද පොළට යන 'සුපිරි මැතිවරණ වසරකි'.
2024 වසර යනු ලොව පුරා ජනතාවගෙන් අඩකට වඩා ඡන්ද පොළට යන 'සුපිරි මැතිවරණ වසරකි'. එනම් ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන වසර බවට මෙම වසර පත්වේ. ලොව වැඩිම අවදානයක් යොමුවන මැතිවරණ ඇතුළු මැතිවරණ ගණනාවක් ඊට අයත්ය. මේ වන ලොව මැතිවරණ වේදිකා උණුසුම් වී ඇති අතර ප්‍රමුඛ පෙළේ අපේක්ෂකයින් මෙන්ම නැවත පත්වූ නායකයින් බොහොමයක් දෙනා 70 විය සැපිරුවන් වීම නිරීක්ෂණය කළ හැකි විශේෂත්වයකි.
ලෝක බලවතා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ පාලක ජෝ බයිඩන්ගේ වයස අවුරුදු 80 ව ඉක්මවා ඇති අතර එරට ජනාධිපතිවරණ සටනට යළි පිවිසීමට සූදානම් වන හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වයස අවුරුද 78කි. මේ අතර ජෝ බයිඩන්ට ජනපති සටනට නැවත පිවිසීමට පෙර තම මානසික ශක්‍යතාව පරික්ෂා කර ගන්නා ලෙස දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.
දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාවේ මෑතකදී අවසන් වූ මැතිවරණයෙන් 73 හැවිරිදි නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා නැවත තම ජය තහවුරු කර ගත්තද, පිය උරුමයෙන් දේශපාලන ගමන ආරම්භ කළ නැගී සිටින ප්‍රමුඛ පෙළේ තරුණ දේශපාලන නායකයෙකු ලෙස ඉන්දියානුවන්ගේ ජනාදරයට 54 හැවිරිදි රාහුල් ගාන්ධි කෙමෙන් පාත්‍ර වන ලකුණු එම මැතිවරණ ප්‍රතිඵල වල පැහැදිලිවම අඩංගු විය.
ඉහත බොහෝ අවස්ථාවන්ට වෙනස්ව මෑත කාලීනව වැඩි කතා බහට ලක්වූ තරුණ නායකත්වයන් අතර කැනඩාවට නායකත්වය දෙන 52 හැවිරිදි ජස්ටින් ටෲඩෝ සහ ප්‍රංශයට නායකත්වය දෙනු ලබන 46 හැවිරිදි එමානුවෙල් මැක්‍රොන් සහ එහි අගමැති ධුරය හොඹවන 34වැනි වියේ පසුවන ගේබ්‍රියෙල් අතාල් වේ. කෙසේ නමුත් ඉදිරි දින කීහිපයේදී දැනට පැවැත්වෙමින් ඇති මැතිවරණයෙන් පසුව ප්‍රංශ දේශපාලන පිටියෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.
අවුරුදු 37 දී නවසීලන්තයේ ලාබාලතම අගමැති බවට පත් වූ ජසින්ඩා ආර්ඩර්න්
මේ අතර වයස අවුරුදු 37 දී නවසීලන්තයේ ලාබාලතම අගමැති බවට පත් වූ ජසින්ඩා ආර්ඩර්න් කොවිඩ් වසංගත සමයේ අතිශය කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළ ලෝක නායිකාවක ලෙස සැලකීමට භාජනය වූ අතර තම පළමු ධුර කාලයෙන් පසුව සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කළාය.
ජසින්ඩා ආඩන් ඉල්ලා අස්වෙයි: 'මගේ ටැංකියේ තවදුරටත් දුවන්න තරම් ප්‍රමාණවත් [ඉන්ධන] නැහැ'
'වෘත්තීයමය විඩාවට පත් වීම' හේතුවෙන් අග්‍රාමාත්‍ය ධූරයේ ඉල්ලීම් ඉටු කිරීමට තමාට 'තවදුරටත් ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති බව' එහිදී පවසා සිටි ඈ ' යන්න ඕනි වෙලාව දන්න' නායකයෙකු ලෙස තම භාවිතාව සලකුණු කිරීමට කැමති බව එහිදී කියා සිටියාය. මෑත දේශපාලන ඉතිහාසයේ එය අතිශය සුවිශේෂී සිදුවීමක් බවට පත්විය.



