අවසන් ගමන් යන්නට, ඊයේ සදහට ම දිගා වූ ලයනල් ප්‍රනාන්දු, මට අවසන් වරට හමු වුණේ 2019 අගෝස්තු 15 ය. මගේ සරසවි මිතුරු Janaka Kumarasinghe ත් මාත් ප්‍රනාන්දු මහතා හමුවීමට ගියේ, හොඳ වේලාවක් සොයා බලා ය. එනම් ඔහුව හොඳින් රැකබලා ගත්, කෞශල්‍යාත් ඇයගේ සැමියා චන්දනත්, ඔවුන්ගේ දරුවනුත් දින කිහිපයකට පිටරටකට ගිය විට ය.
සාමාන්‍යයෙන් ජනකත් මාත් ප්‍රනාන්දු මහතා හමුවීමට යන විට, අප අපගේ හමුවට අවශ්‍ය අඩුම කුඩුම ගෙන යෑම පුරුද්දක් ව තිබිණ. ඒවා පරිභෝජනය කරන විට විශේෂයෙන් ම, ද්‍රාවණ අඩුම කුඩුම, තාත්තාගේ යහපත වෙනුවෙන් ම, විටින් විට පැමිණෙන කෞශල්‍යයා පවසන්නී "දැන් ඇති නේද..?", තරමක් විධානශීලී ස්වරයකිණි. අප කල් යල් බලා කෞශල්‍යා නැති විටෙක ගියේ මේ කාරණය නිසා ය !
"ලෙට්ස් මේක් දිස් අ ගුඩ් බෝයිස් රියූනියන්"
සුපුරුදු පරිදි 2019 අගෝස්තු 15 මා ගෙදරින් සාදාගත් බෛට කීපයක් ද ජනකට කොහෙන්දෝ හමුවූ හොඳ බෝතලයක් ද රැගෙන අප ලයනල් ප්‍රනාන්දු පමණක් එදින කල් ගත කළ නිවසට ගිය විට, ඔහු තමන්ට උදව්වට සිටින කාන්තාව ලවා ප්‍රණීත සැන්විචස් තට්ටුවක් සාදා ඒවා පිළිවෙලට අඩුක් කර තිබිණ.
අප ස්ටෙලා වුයේ යහමින් මඳ නල වැදෙන ඉඩකඩ ඇති සඳළුතලයක ය. අපගේ සිම්පෝසියමට අවශ්‍ය කළමනා මේසයට සකස් කරගත් විට, ලයනල් මහතා ඉතා කාරුණික ව මෙහෙකාරියට පැවසූයේ, ඔයාගේ සේවය අවශ්‍ය නම් අපි කතා කරන්නම් කියා ය. ඇය සැණෙකින් අතුරුදහන් විය. "ලෙට්ස් මේක් දිස් අ ගුඩ් බෝයිස් රියූනියන්" කියා ප්‍රනාන්දු මහතා බෝතලයේ ලේබලය කියවමින් තාලයට මූඩිය විවෘත කළේ ය.
වෙනදා මෙන් අප එදා සින්දු කීවේ නැත. එහෙත් ඔහු දිගු වේලාවක් නොනවත්වා අප සමග විපිලිසරව සිටියේ ය. ජනකත් මාත් කළේ වරින් වර බෝතලය නැවීම සහ කෑම ළඟට ලංකිරීම ය. එදා කතා කළ දේ ගැන මට ලොකු මතකයක් නැත. ඒත් ජනකත් මාත් හැම විටකම ඔහු හමුවන්නට යන්නේ පියෙකුගේ සෙනෙහසත් පොතකින් පතකින් සරසවියකින් ගන්නට බැරි ප්‍රඥාවක් එකට මුසුකොට අප සමග නොමසුරු ව ආදරයෙන් උණුසුමෙන් බෙදාගන්නා නිසා ය.
පියෙකු වන් ඒ සොඳුරු මිතුරාඒ අපගේ හමුවෙන් වැඩි කලක් නොගොසින් පසු කෝවිඩ් ආවේ ය. එය අප බොහෝ දෙනකුගේ ජීවිත උඩු යටිකුරු කළේ ය. ප්‍රනාන්දු මහතාගේ කලබල ජීවිතයේ වේගය අඩු කරන්නටත් ඔහු ක්‍රමයෙන් එක්තැන් වෙන්නටත් පටන් ගත්තේ මේ කාලයෙන් පසුව ය. ගිය අවුරුද්දේ මා ලංකාවට පැමිණි අවස්ථාවක ජනක යෝජනා කළේ, අප පොඩි උපහාර උළෙලක් පොඩි මට්ටමින් පවත්වමු කියා ය. එහෙත් නොයෙක් කරුණු මත අපට එය කරගන්නට නොහැකි වූයේ ජනකගේ අම්මාත් මගේ අක්කාත් මිය පරලොව ගිය නිසා ය.
කොළඹ සිටින ජනක නම් ඊයේ රෑ ම කෞශල්‍යයාගේ නිවෙසට ගියේ ය. මා ඉන්නේ තරමක දුර ඈතක ය. එහෙත් ජනකටත් මටත් ලයනල් ප්‍රනාන්දු කෙදිනකවත් දුරස්ථයෙක් නොවන්නේ ය. පියෙකු වන් ඒ සොඳුරු මිතුරා, අප ව සම මට්ටමේ තබා, අප අතරේ හැමදා ම උණුසුම් ඇල්කොහොල වඩියක් සමග ආදරය ද ප්‍රඥාව ද සැන්ඩි කොට ස්ටෙලා වනු ඇත.
චියර්ස්, ලයනල් ප්‍රනාන්දු !!
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com



