එසේ නැතුව සෙනසුරාදා, ඉරිදා සිටම ඔහු එය ඇඳගෙන සිටින්නේ නැත. කල් තියා එසේ කළහොත් ඇඳුම පොඩි වෙයි. කිළිටි වෙයි.
තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කල් තියා දැනුම් දුන්නේ නැත්තේ ඇයිදැයි මාධ්‍යවේදියකු ඇසූ විට, පක්ෂයක වගකිවයුත්තකුගෙන් ලැබුණු පිළිතුරය ඒ. (සඳුදා උදාවන තුරු කාගෙත්...)
ඒ ගැන අදහස් දැක්වීමක යෙදුණු ජනප්‍රිය රූපවාහිනී නිවේදකයකු කියා සිටියේ, සඳුදාට ඇඳුම ඇඳගෙන යාම කෙසේ වෙතත්, කල් තියා 'හෝම් වර්ක්' ටික කර තිබීම නම් වැදගත් වනු ඇති බවයි.
ඒ කතා පසෙක තබමු.
එහෙත් සිරි ලංකාවේ දේශපාලනයේදී දේශපාලනඥයන් හැමදාමත් ජනතාවට කතා කළේ "අන්දවන" අදහසිනි. ඡන්දදායකයා යනු ඔවුන්ට හයක් හතරක් නොතේරෙන පොඩි ළමයෙකි. එසේත් නැත්නම් දෙන දෙන ලණු ගිලින ඔලමොට්ටලයෙකි. කොන්දක් නැති සෙවල නිවට ගොබ්බයෙකි.
පාර්ලිමේන්තුවට පත්ව ආ සමහරුන් ගැන සිතන විට, ඡන්දදායකයා සඳහා ඉහත කී යෙදුම් සියල්ලම වුණත් සාධාරණ යැයි සිතේ.
ජනතා විරෝධය හමුවේ පස්ස දොරින් පලා ගිය වංචනිකයන් යළිත් උන්ගේ කර මතින්ම වේදිකාවට ගොඩවන්නේ එහෙයිනි.
ජනතා විරෝධය හමුවේ පස්ස දොරින් පලා ගිය වංචනිකයන් යළිත් උන්ගේ කර මතින්ම වේදිකාවට ගොඩවන්නේ එහෙයිනි.
ෆ්‍රාන්ස් කෆ්කාජර්මන් ජාතික ලේඛක ෆ්‍රාන්ස් කෆ්කාගේ යැයි සැලකෙන කියමනක් මෙසේය.
'එක මෝඩයකු යනු එක මෝඩයෙකි. මෝඩයන් දෙදෙනකු යනු මෝඩයන් දෙදෙනෙකි. එහෙත්, මෝඩයන් දහසක් යනු දේශපාලන පක්ෂයකි.'
අමෙරිකාවේ විසූ ප්‍රකට උපහාස කථිකයකු හා නළුවකු වූ විල් රොජර්ස්, දිගු කලකට පෙර මෙසේ කියා තිබුණි.
'සියල්ල වෙනස් වී යයි. මිනිස්සු තම කවටයන්ගේ කියුම් බැරූරුම් ලෙස බාර ගැනීමට සැරසෙති. එසේම දේශපාලනඥයන් යනු කවටයන් යැයි සිතීමටත් පටන් ගනු ඇත.'
දේශපාලනඥයන්ගේ කවටකම් ඉවසිය හැකිය. එහෙත්, උන්ගේ මැරකම්, ජඩකම්, හොරකම් ජනතාවකට ඉවසා දරාගත හැකි ද?
ජනතාව කවටයන් ලෙස හැසිරේ නම් එවැනි රටකට අපට කිව හැක්කේ 'සොරි ඩොට් කොම්' කියා පමණි.
මැතිවරණයක් යනු, ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා ජනතාවට ලැබෙන හොඳම අවස්ථාවයි. එහිදී ජනතාව කවටයන් ලෙස හැසිරේ නම් එවැනි රටකට අපට කිව හැක්කේ 'සොරි ඩොට් කොම්' කියා පමණි.
රටක ජාතික ඇඳුම දේශපාලනඥයන්ගේ නිල ඇඳුම බවට පත්ව ඇත්තේ සිරි ලංකාවේම පමණක් බව මා මීට පෙරද කියා ඇත. ඒ නිසා දැන් ජාතික ඇඳුම අප වැනි අයට හිරිකිතය.
මීට කලකට ඉහත, මම ද මංගල්‍ය උත්සව සඳහා ජාතික ඇඳුම ඇඳීමට පුරුදුව සිටියෙමි. එක් දිනක්, මංගල උත්සවයට පැමිණ සිටි අමුත්තෙක් මා දෙස බලා 'ඔබ දේශපාලනඥයෙක්දැ'යි ඇසීය.
එදායින් පසු යළි කිසි දිනෙක මා ජාතික ඇඳුම තබා, කුර්තාව හා සරමක් හෝ ඇන්දේ නැත.
පොදු ජනතාව එයට යොදා ඇති නම 'කපටි සූට්'ය.
මෙරට ජාතික ඇඳුම ද විලිලැජ්ජා නැතිව ඇඳිය නොහැකි රටකි. පොදු ජනතාව එයට යොදා ඇති නම 'කපටි සූට්'ය.
මා දන්නා හඳුනන තරුණයෙක් ප්‍රාදේශීය සභා ඡන්දයකට ඉදිරිපත් විය. ඔහු මුලින්ම කළේ කලිසම් කමිස උනා තබා, "කපටි සූට්" එක ඇඳ ගැනීමය. (ඔහුගේ ප්‍රචාරණ අත්පත්‍රිකාවේ අක්ෂර හා ව්‍යාකරණ දෝෂ 42ක් විය!).
තරුණයා ඡන්දයෙන් අන්ත පරාජයකට පත් විය. ඔහු වහාම කපටි සූට් එක ගලවා තබා, කලිසමට බැස, පළාතෙන්ද පලා ගියේය.
මැතිවරණ හෝ ජනාධිපතිවරණ ආසන්නයේදීද අපේක්ෂකයෝ කල් තියාම 'නිල ඇඳුම්' මසා ගනිති. ඔවුන් මෙසේ ඇඳගන්නේ ජනතාව ද ඇන්දවීම සඳහාය.
එක්තරා ජනාධිපතිවරණයකදී එක් අපේක්ෂකයෙක් 'මෝදි කබායක්' හැඳ, ඉන්දියානු මොඩලයට සැරසුණේය
එක්තරා ජනාධිපතිවරණයකදී එක් අපේක්ෂකයෙක් 'මෝදි කබායක්' හැඳ, ඉන්දියානු මොඩලයට සැරසුණේය. ඔහු දිනුවේය. ඉන්පසු 'මෝදි කබාය' හැළුණේය. ජනපති අසුනින්ද වැටුණේය.
ජෝකර් යනු ජෝකර්මය. ඔහු සීරියස් වීමට යාමේදී සිදුවන්නේ ජෝකර් ගතිය තව තවත් වැඩියෙන් ප්‍රදර්ශනය වීමම පමණි.
ලෝක ප්‍රකට විකට නළුවකු වන චාලි චැප්ලින් හා කළ සංවාදයකදී මාධ්‍යවේදියෙක් මෙසේ ඇසීය.
'ඇයි මම දැන් කරන විහිළු මදිද?'
'ඔබ හැමවිටම දේශපාලනඥයන් විවේචනයට ලක් කරනවා. නරකද ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත්?'
'ඇයි මම දැන් කරන විහිළු මදිද?' චැප්ලින් එසැණින්ම ඇසීය.
ජනාධිපතිවරණය ළඟ ළඟය. තව තවත් ඇඳුම් ඇන්දවීම් සහ විහිළු ද සූදානම් කෙරෙනු ඇත. හොඳ හරිය 'සඳුදායින්' පසුය! එතෙක් අපි හෝම් වර්ක් කරමු.
(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම - deshaya.lk)



