ඊට ප්රතිචාර වශයෙන් ඊශ්රායලය විසින් පලස්තීනය තුළ දියත් කළ ප්රහාර වලින්, නවතම වාර්තාවලට අනුව මේ වන විට පලස්තීනු ජනතාව තිස් හත්දහසකට අධික සංඛ්යාවක් ඝාතනය වී ඇත.
ඊශ්රායලය විසින් පලස්තීනය තුළ දියත් කළ ප්රහාර වලින්, නවතම වාර්තාවලට අනුව මේ වන විට පලස්තීනු ජනතාව තිස් හත්දහසකට අධික සංඛ්යාවක් ඝාතනය වී ඇත.
පලස්තීනු -ඊශ්රායෙල් ගැටුමේ ඉතිහාසය දෙස පිරික්සුම් ඇසින් බලන විට පළමු ලෝක යුධ සමයේ ඔටෝමාන් අධිරාජ්යයා පරාජය කොට බ්රිතාන්යයන් එම මැද පෙරදිග භූමි භාගය යටත් කොටගන්නා විට එහි ආරාබි ජාතිකයන් බහුතරයක් සහ යුදෙව් මෙන්ම සෙසු ජාතින් සුළුතරයකින් සමන්විත ජනගහණ සංයුතියකින් යුක්ත වීය. එහෙත් මුස්ලිම් අරාබිවරුන් සහ යුදෙව්වන් අතර කිසියම් ආතතියක් හටගැනීම ඇරඹුණේ, 1917 වසරේ බල්ෆෝර් ප්රකාශනයෙන් බ්රිතාන්ය රජය විසින් යුදෙව් ජාතිකයන්ට එවකට පැවති පලස්තීනය තුළ ඔවුන්ට නව රාජ්යයක් බිහි කර දීමේ පොරොන්දුවත් සමඟය. එම පොරොන්දුව මඟින් පලස්තීනය තුළ එතෙක් ජීවත් වූ මුස්ලිම් ජනතාව තම මව්බිම තුළම සරණාගතයන් බවට පත් වූ අතර 1948 වසරේ යුදෙව් නායකයන් විසින් ඊශ්රායලය ස්වෛරි රාජ්යයක් ලෙස ප්රකාශයට පත් කිරීමෙන් පසුව, දෙරට අතර බිහිසුණු යුධ ගැටුම් ඇති විය.
The Palestine Laboratory: How Israel Exports the Technology of Occupation Around the World(2023)
එහෙත් මේ මොහොත වන විට සිදුවන පැහැදිලි කාරණය නම්, යුධමය ශක්තියත් ලෝක බලවතුන්ගේ සහයත් ඇති ඊශ්රායලය, පලස්තීනු ජනතාවගේ මව්බිමේ අයිතිය උදුරා ගනිමින් පලස්තීනු ජන සංහාරයක් සිදු කරමීන් සිටීමය. මෙවැනි පසුබිමක් තුළ, ඉතා දීර්ඝ කාලයක් පලස්තීනු භුමියේ වාඩි ලා සිටින ඊශ්රායල හමුදාව විසින් සිදුකරන මර්දනකාරී පාලනයෙන් ලද අත්දැකීම් ඇසුරෙන්, ඊශ්රායෙල් රජය අත්පත් කරගනිමින් සිටින වෙනත් ප්රතිලාභයක් පිළිබඳ හෙලිදරව්වක්, යුදෙව් ජාතික ජර්මානු- ඔස්ට්රේලියානු විමර්ෂණාත්මක ජනමාධ්යවේදී, ලේඛක සහ චිත්රපට අධ්යක්ෂක ඇනටනි ලොවෙන්ස්ටයින් විසින් ලියන ලද The Palestine Laboratory: How Israel Exports the Technology of Occupation Around the World(2023) නම් කෘතිය තුළින් එළි දක්වා ඇත. කෘතියේ නමින්ම සෘජුව දැක්වෙන පරිදි ඇන්ටනි ලොවෙන්ස්ටයින් පෙන්වා දෙන්නේ දශක ගණනාවක් පලස්තීනය තුළ වාඩි ලා සිටින ඊශ්රායලය, පලස්තීන භූමියත් සහ එහි ජනතාවත්, කිසියම් ජාතියක් මර්දනය කිරීමේ, යටත් කොට තබා ගැනීමේ සහ ඔත්තු බැලිමේ නව ක්රම අත්හදා බැලිමේ වැඩබිමක් ලෙස භාවිතා කරමින්, ඉන් බිහිවන යුධමය තාක්ෂණය සහ මෙවලම් ලොව පුරා මර්දනකාරී රාජ්යයන්වලට විකුණමින් අධික ලාභ ලබන බවයි.
ඊශ්රායලය, පලස්තීන භූමියත් සහ එහි ජනතාවත්, කිසියම් ජාතියක් මර්දනය කිරීමේ, යටත් කොට තබා ගැනීමේ සහ ඔත්තු බැලිමේ නව ක්රම අත්හදා බැලිමේ වැඩබිමක් ලෙස භාවිතා කරමින්, ඉන් බිහිවන යුධමය තාක්ෂණය සහ මෙවලම් ලොව පුරා මර්දනකාරී රාජ්යයන්වලට විකුණමින් අධික ලාභ ලබයි.
පහතින් දැක්වෙන්නේ DemocracyNow වෙබ් අඩවියේ ඒමි ගුඩ්මන් විසින් ඇන්ටනි ලොවෙන්ස්ටයින් සමඟ ඔහුගේ එම කෘතිය පිළිඳව, 2023 වසරේ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද සටහනකි.
අප මුලින්ම දැනගන්න කැමතියි, The Palestine Laboratory: How Israel Exports the Technology of Occupation Around the World නම් ඔබගේ අලුත්ම කෘතියේ දැක්වෙන පරිදි “පලස්තීන පර්යේෂණාගාරය” (The Palestine laboratory)යන යෙදුමෙන් අදහස්වන්නේ කුමක් ද කියන එක?
ඊශ්රායලය විසින් පලස්තීනය තුළ සිදුකරන හමුදා වාඩි ලා ගැනීම තමයි වර්තමාන කාලයේ සිදුවෙමින් පවතින එවැනි දීර්ඝතම හමුදා නියුක්තකරණය. ඒ වගේම එය තවමත් මේ මොහොතේත් සිදුවෙනවා. එය එක්තරා විදියකට 1948 සිට, විශේෂයෙන් 1967 සිට සිදුවන හමුදා නියුක්තකරණයක්. මේ මුළු අවුරුදු ගණනාව පුරා ඊශ්රායලය ඉතාමත් සාර්ථක ලෙස කරලා තියෙන්නෙ පලස්තිනු ජනතාව පාලනය කරන්න විවිධාකාරයේ නවීන උපකරණ සහ තාක්ෂණය අලුතින් සොයාගැනීම සහ ඒවා අත්හදා බැලීමයි. ඒ විතරක් නෙමෙයි, වඩාත් වැදගත් කාරණය තමයි මෙම කැරළි මර්දන යුද ක්රමෝපායයන් සහ ඒ සඳහා ඇති තාක්ෂණික මෙවලම් ඊශ්රායලය විසින් ලොව පුරා බොහෝ රටවලට අලෙවි කරමින් සිටීමයි.
Antoy Loweinstein
ඉතින් මම වසර ගණනාවක් පලස්තීන භූමියේ රැඳී සිටිමින්, තවදුරටත් රහස්ය නොවූ වාර්තා පිරික්සමින් සහ ලොව පුරා විවිධ පුද්ගලයන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා තුළින් එක් රැස් කරගත් තොරතුරු පදනම් කරගෙන මම මේ කෘතිය තුළින් පෙන්වා දෙනවා පසුගිය දශක කීපය තුළ ලොව පුරා රටවල් 130 කට අධික සංඛ්යාවකට ඊශ්රායලය ඔය කියන්නාවු ඔත්තු බැලීමේ මෘදුකාංග, අධිතාක්ෂණික ප්රාකාර, මුහුණු හඳුනාගැනීමේ උපකරණ වගේ, මුලින්ම පලස්තීනු ජනතාව යොදාගෙන අත්හදා බැලිම් කරන ලද, මර්දනකාරී තාක්ෂණික මෙවලම් ආනයනය කොට තිබෙනවාය කියන කාරණය. වෙනත් වචනවලින් කියනවා නම් මම මේ කියන්න උත්සාහ කරන්නේ, පලස්තීනයේ ඊශ්රායල හමුදා නියුක්තකරණය තියෙන්නෙ පලස්තීනය තුළ පමණක් නොවෙයි, එය භූ ගෝලීයව පලස්තීනය මත පමණක් පදනම් වුණු ගැටුමක් නොවෙයි. එය ඊනියා ගෝලීය පලස්තීනයක් බවට දැන් පත්වෙලා අවසානයි.
පලස්තීනයේ ඊශ්රායල හමුදා නියුක්තකරණය තියෙන්නෙ පලස්තීනය තුළ පමණක් නොවෙයි, එය භූ ගෝලීයව පලස්තීනය මත පමණක් පදනම් වුණු ගැටුමක් නොවෙයි.
ඔබ කොහොමද ඔබගේ කෘතියේ යොදා ඇති දේශපාලන සංහාරය (politicide) නම් වචනය නිර්වචනය කරන්නේ?
ඊශ්රායෙල් ප්රභූ පැළැන්තිය විසින් පලස්තීනුවන් ඝාතනය කිරීමෙන් පමණක් නොව, ඔවුන්ගේ දේශපාලන අනන්යතාව, ඔවුන්ගේ ස්වයං තීරණ අයිතිය විනාශ කර දැමීමෙන් පලස්තීනුවන් සහමුලින්ම මිහි මතින් තුරන් කර දැමීමේ විධි සොයා යාම
මම හිතන්නෙ Politicide යන වචනය මුලින්ම භාවිතා කළේ දැන් අප අතර නැති ඉතාමත් විශ්මිත විද්යාර්ථියෙක් වු බරූක් කිමර්ලින් විසින්. ඔහු නිතරම මතු කළා, ඊශ්රායෙල් ප්රභූ පැළැන්තිය විසින් පලස්තීනුවන් ඝාතනය කිරීමෙන් පමණක් නොව, ඔවුන්ගේ දේශපාලන අනන්යතාව, ඔවුන්ගේ ස්වයං තීරණ අයිතිය විනාශ කර දැමීමෙන් පලස්තීනුවන් සහමුලින්ම මිහි මතින් තුරන් කර දැමීමේ විධි සොයා යාම සම්බන්ධයෙන් දැක්වූ උනන්දුව පිළිබඳව.
පිටතින් කවුරුහරි බලද්දි කෙනෙකුට වැටහෙන්න පුළුවන් පලස්තීනු විරෝධය පෑම් තවදුරටත් ක්රියාත්මක වෙනවා කියලා. ඇත්ත. බොහොමයක් පලස්තීනුවන් පලස්තීනය තුළ රැඳෙමින් තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා. ඒත් සහතික වශයෙන්, වර්තමාන ඊශ්රායල ආණ්ඩුව ක්රියාකරන ආකාරයෙන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්,
පලස්තීනුවන් ගේ අභිලාෂයන්, දේශපාලන යථාර්ථය, එම ජනතාවගේ අනාගතය සහ දැක්ම සහමුලින්ම කුඩු පට්ටම් කරලා දාන්න ඊශ්රායල්වරුන්ට කිසියම් විදියක් තියෙනවා
පහුගිය දශක ගණනාවක් තිස්සේ සිදුවන දේවල් දිහා බලපුවාම පලස්තීනුවන් ගේ අභිලාෂයන්, දේශපාලන යථාර්ථය, එම ජනතාවගේ අනාගතය සහ දැක්ම සහමුලින්ම කුඩු පට්ටම් කරලා දාන්න ඊශ්රායල්වරුන්ට කිසියම් විදියක් තියෙනවා කියන එක. ඔවුන් එය ක්රියාවට නැඟීමෙන්, ඔවුන් භාවිතා කරන ක්රමෝපායන් මෙන්ම, ඊශ්රායලය ඔවුන්ගේ සමස්ත අනන්යතාව ලෙස වර්ග මූලික ජාතිකවාදී රාජ්යය යන සංකල්පයද ගෝලිය ප්රජාවට අලෙවි කරමින් සිටිනවා. ඊශ්රායලය යනු මේ වන විට ලෝකයේ වඩාත්ම සාර්ථක වර්ග මූලික ජාතිකවාදී රාජ්යය, යුදෙව් ස්වොත්තමවාදී දේශය. ඉතින් ලෝකය පුරා වැඩි වැඩියෙන් රටවල්, ඉන්දියාවෙන් පටන් ගෙන තවත් බොහෝ රටවල් ඊශ්රායලය දෙස බලා සිටින්නේ ප්රශංසාත්මකව සහ අපේක්ෂාසහගතව.
අපි තව ටිකක් කතා කළොත් ඉන්දියාව ඊශ්රායලය දෙස බලා සිටින ආකාරය පිළිබඳව?
ඉන්දියාව ඉතා වේගයෙන් හින්දු මූලධර්මවාදී රාජ්යයක් සහිත රටක් බවට පත් වෙමින් තිබෙනවා.
බලන්න මෝදි යටතේ ඉන්දියාව කුමක් ද කරමින් ඉන්නෙ කියන එක, ඒක මුළුමනින්ම ඊශ්රායලයේ බලපෑම නොවෙන්න පුළුවන්. ඒත් සම්ප්රදායක් ලෙස ඊශ්රායලය සහ ඉන්දියාව විශේෂයෙන් හොඳ මිත්රයෝ නොවෙයි. ඒත් පසුගිය දශකයේ, 2014 මෝදී බලයට පැමිණි පසු, රටවල් දෙකේ මතවාදීමය සමපාත වීමක් දකින්න තිබෙනවා.
නමුත් සබඳතාවය සැබවින්ම දෙවෑදෑරුම් ආකාරයේ එකක්. පළමුව එය ආරක්ෂාව සම්බන්ධ සබඳතාවයක්. ඉන්දියාව ආරක්ෂාව පිළිබඳ තාක්ෂණය, ආරක්ෂාකාරී උපකරණ, ඔත්තු බලන මෘදුකාංග ඉතා විශාල වශයෙන් ඊශ්රායලයෙන් මිලදී ගන්නවා. මම මගේ කෘතිය තුළ, විශේෂයෙන් ඊශ්රායලයේ NSO(ඊශ්රායලයේ සයිබර් අවකාශයට අදාළ චරපුරුෂ ආයතනය, එය පිහිටුවීමට පුරෝගාමී වු පුද්ගලයන් තිදෙනාගේ Niv, Shalev and Omri යන නම් වල මුල් අකුරු යොදාගෙන එම ආයතනයයේ නාමය තැනී ඇත) සමාගමට අයත් පෙගසස් මෘදුකාංගය මඟින් ඔත්තු බැලීමට හසුවුණු ඉන්දියානු පුද්ගලයන්, නීතිඥයන් සහ වෙනත් අය සමඟ මම මගේ කෘතිය තුළ සම්මුඛ සාකච්ඡා පවත්වා තිබෙනවා.
මතභේදයට තුඩුදී ඇති භූමියේ යුදෙව්වන් පදිංචි කිරීම ද ඊශ්රායල - පලස්තීන ආතතියට මුල්වී ඇත
ඒවගේම දෙරටේ මතවාදීමය සමපාත වීමක් ද දක්නට ලැබෙනවා, එනම් හින්දු මූලධර්මවාදී ආණ්ඩුවේ බොහොමයක් ඉන්දියානු නිලධාරීන් ඉතා විවෘත ව ඊශ්රායලය විසින් බටහිර ඉවුරේ සිදුකරමින් සිටින දේවල් පිළිබඳ මහත් ප්රශංසාත්මක ලෙස අගය කරන අතරම, ඊට සමාන දෙයක් ඉන්දියාවේ කාෂ්මීරයේ ද ක්රියාත්මක කිරීමට ඇති උවමනාව පෙන්වා දෙමින් සිටිනවා. මෙහි වැදගත් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඊශ්රායලය කිසිම බාධාවක් නැතිව මේ ක්රියාව මේ මහ පොළව මත සිදු කරමින් සිටිනවා. කිසිවෙක් එය නවත්වන්නේ නැහැ. ඊශ්රායලය දැන් ගෝලීය වශයෙන් පූර්ණ ලෙස දණ්ඩමුක්තිය සහිත රටක් බවට පත් වෙලා. ඒ වගේම දෙවනුව, ඊශ්රායලය බටහිර ඉවුරේ කරමින් සිටින දේට සමාන ලෙසම, ඊනියා ජනාවස තැනිම සඳහා බහුතර මුස්ලිම් ජනතාවක් සිටින කාෂ්මීරයේ විශාල වශයෙන් හින්දු ජනතාව පදිංචි කරවීමේ අදහස. මෙය සැබවින්ම ඉතා භයානක මතවාදීමය සමපාත විමක්. ඊශ්රායලය යුදෙව් ස්වෝත්තමවාදී රාජ්යයක්, ඉන්දියාව ඉතා වේගයෙන් හින්දු මූලධර්මවාදී රාජ්යයක් සහිත රටක් බවට පත් වෙමින් තිබෙනවා. මෙය සැබවින්ම ලෝක බලවතුන් අවධානය යොමු කළ යුතු කාරණයක්.
පසුගිය සතියේ (2023/ජූනි) සිදුවුණු සංක්රමණිකයන් රැගෙන ගිය නැව මූදුබත් විමේ අති බිහිසුණු සිදුවීම පිළිබඳ අප මාධ්ය තුළින් කතා බහ කළා, යුරෝපා සංගමය දේශපාලන සරණාගතයන් වෙත ඇස ගසා සිටීමටත්, ඔවුන්ව ඉලක්ක කර ගැනීමටත් ඊශ්රායෙල් තාක්ෂණය භාවිතා කළ සැටි පිළිබඳව ඔබට යමක් කිව හැකිද?
යුරෝපා සංගමය විසින් මෙය පිළි නොගත්තත්, ඇත්ත කතාව තමයි ඔවුන් ඒ සරණගාතයන්ව මුහුදේ ගිලෙන්න ඉඩ හැරියා.
(2023 වසරේ ජූනි 14 වැනිදා මධ්යධරණී මුහුදේ, ග්රිසියේ මුහුදු සීමාවට ආසන්නව පකිස්ථානු, සිරියානු, පලස්තීනු සහ ඇෆ්ගනිස්ථානු දේශපාලන සරණාගතයන් රැගත් නැවක් මුහුදු බත් වූ අතර ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් මඟින් සිය දෙනෙකු පමණ බේරා ගත් නමුත් හයසිය දෙනෙක් පමණ ඉන් මරු මුවට පත් වූවෝය) වසර කිහිපයකට කළින්, මේ පිළිබඳව මම පර්යේෂණය කරන විට, සැබවින්ම මම කම්පනයට පත් වූණා. 2015න් පස්සෙ යුරෝපා සංගමය, සිරියාව ඇෆ්ගනිස්ථානය සහ තවත් වෙනත් රටවලින් එන මුස්ලිම් සරණාගතයන් නිසා යුරෝපය වෙහෙසට පත් වෙලා උන්නෙ. ඔවුන්ට ඕනෙ වුනේ නෑ එය නැවත නැවත සිදුවෙනවා දකින්න. එම නිසා ඔවුන් බලකොටුවක ආකාරයේ යුරෝපයක් ගොඩ නැඟුවා. ඔවුන් ජනතාව -වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව, දුඹුරු කලු ජනතාව- යුරෝපයෙන් පිටමං කොට තබා ගන්න විශාල පරාසයක මෙවලම් සහ තාක්ෂණය යොදා ගනු ලැබුවා. ඒ තාකෂණය සහ මෙවලම් අතරේ එක් කොටසක් තමයි ඊශ්රායෙල් ඩ්රෝන පාවිච්චිය. ඒවා අවි නොදරන මෙවලම්, ඒත් ඒවා දින හතේම, පැය විසිහතර පුරා මධ්යධරණී මුහුදට ඉහළින් පියාසර කරනු ලබනවා.
Frontex කියන යුරෝපා සංගමයට අයත් රටවල දේශසීමා රැකවල්ලා සිටින ආරක්ෂක ආයතනය විසින් එම ඩ්රෝන බහුල ලෙස භාවිතයට ගන්නවා. ඉතින් එම ඩ්රෝන තමයි ඉහළ අහසේ ඇස්. ඒ ඩ්රෝන විසින් සතියෙ දින හතේම, පැය විසිහතර පුරා Frontex පිහිටුවා ඇති වෝර්සෝ එකට ඡායාරූප යවනවා.
පසුගිය අවුරුදු පහළොවක් තිස්සේ, මෙම ඩ්රෝන පලස්තීනුවන්ට එරෙහිව ගාසා තීරයේදි යුදමය වශයෙන් අත්හදා බලා තිබීම.
යුරෝපා සංගමය විසින් මෙය පිළි නොගත්තත්, ඇත්ත කතාව තමයි ඔවුන් ඒ සරණගාතයන්ව මුහුදේ ගිලෙන්න ඉඩ හැරියා. ඒ මුහුදේ තියෙන්නෙ ඉතාමත් සීමා සහිත ආරක්ෂක බෝට්ටු ප්රමාණයක් පමණයි. යුරෝපා සංගමය කිසිවෙකු බේරා ගන්නේ නැහැ. ඉතින් මිනිසුන් මුහුදේ ගිල්වා දැමීමට ඉඩ හරින සැකැස්මේ අත්යවශ්ය කොටසක් බවට පත් වෙලා තියෙනවා ඊශ්රායෙල් ඩ්රෝන. ඒ අනුව මම හිතන දෙයක් තමයි විශේෂයෙන් යුරෝපා සංගමය මේ ඩ්රෝන භාවිතයට මූලික හේතුව වෙන්නේ, පසුගිය අවුරුදු පහළොවක් තිස්සේ, මෙම ඩ්රෝන පලස්තීනුවන්ට එරෙහිව ගාසා තීරයේදි යුදමය වශයෙන් අත්හදා බලා තිබීම.
ඔබ සඳහන් කළ දෙයක් ගැන නැවත විමසන්න මට ඉඩ දෙන්න. ඒ NSO සමාගමේ පෙගසස් මෘදුකාංගය පිළිබඳව. එය භාවිතා වන්නේ කෙසේද, ඉන් ජංගම දුරකථන බලපෑමට ලක් වන්නේ කෙසේද?
ඕමාර් රදී වැනි ජනමාධ්යවේදින් එම මෘදුකාංගය විසින් ඔත්තු සැපයීමට හසුවුණු අයවලුන්ට උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්.
උදාහරණයක් ලෙස සිරභාරයට පත් වුණු සමහර ජනමාධ්යවේදීන්ගේ දුරකථන එම මෘදුකාංගයේ ග්රහණයට හසු වී තිබුණා. ඔබ සඳහන් කළ සිරභාරයට පත් වී සිටින මොරොක්කෝවේ ආබ්රහම් ඇකෝඩ්, සිරගත වීමට පෙර අපත් සමඟ සම්මුඛ සාකච්ඡාවක් සිදු කළ ඕමාර් රදී වැනි ජනමාධ්යවේදින් එම මෘදුකාංගය විසින් ඔත්තු සැපයීමට හසුවුණු අයවලුන්ට උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්.
පසුගිය වසරේ සිට(2022) පෙගසස් මෘදුකාංගය ලෝකය පුරා විශාල අවධානයක් දිනාගත්තා. එය තමයි ලොව පුරාම වඩාත්ම ප්රකට හෝ කුප්රකට ඊශ්රායෙල් ඔත්තු බැලිමේ මෙවලම. මූලිකවම පෙගසස් කියන්නේ, ඕනෑම ආණ්ඩුවකට, හමුදා බුද්ධි අංශයට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට කිසිවෙකුගේ ස්මාර්ට් දුරකථනය තුළ ක්රියාකාරී වී එහි ඇති සියළුම දත්ත ලබා ගනිමින් එම පුද්ගලයාගේ ක්රියාකාරකම් පිළිබඳ ඔත්තු බැලීමට ඉඩ කඩ ලබා දෙන මෘදුකාංගයක්. ටික කලකින් ලොව පුරා බොහෝ රටවල් ගණනාවක් ඒ මෘදුකාංගය එකවරම භාවිතා කරන්නට වූනා. මගේ කෘතිය ලියන විට මම බොහෝ කාලයක් ගතකලා එම ඔත්තු බැලීමේ ක්රියාවලියට හසුවුනු වින්දිතයන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන්න. උදාහරණයක් ලෙස ටෝගෝ(බටහරි අප්රිකාවේ පිහිටි රටක්), මෙක්සිකෝව, ඉන්දියාව වැනි රටවල පුද්ගලයන් සමඟ මම කතා බහ කොට තිබෙනවා. විශ්වාස කළ නොහැකි තරමට මෙක්සිකෝව කියන්නේ ඉතාමත් බරපතල ආකාරයෙන් පෙගසස් භාවිතා කරන රටක්. එය එක්තරා ආකාරයක ඇබ්බැහියක් ලෙස දක්වන්නත් පුළුවන්. දක්ෂිණංශික වගේම වාමංශික ආණ්ඩු එම මෘදුකාංගය භාවිතා කරනවා. මෙම මෘදුකාංගය භාවිතාවට ගත් කිසිම ආණ්ඩුවක් එය කිසිවිටෙක අත් හරින්නට පෙළඹෙන්නේ නැහැ.
ඇත්තටම ගත්තොත් පෙගසස් කියන්නෙ එවැනි එක් මෘදුකාංගයක් විතරයි. තව බොහොමයක් ඊශ්රායෙල් සමාගම් තිබෙනවා එවැනි ඔත්තු බැලීමේ මෘදුකාංග නිෂ්පාදනය කරන. මම කෘතිය තුළ මතුකළ තවත් වැදගත් කාරණයක් නම්, මේ තක්කඩි ඊශ්රායෙල් සමාගම ලොව පුරා ඉතා භයානක දේවල් සිදු කරමින් සිටිනවා, පෙගසස් කියන්නෙ නමින් පෞද්ගලික ආයතනයක්, නමුත් එය මූලිකවම රජයට අයත් ආයතනයක්. නෙතන්යාහු සහ මොසාඩ් ආයතනය පසුගිය වසර දහය පුරා ලොව වටා විවිධ රටවලට ගිහිල්ලා - මෙය මම කෘතිය තුළ සඳහන් කළා, හාරෙට්ස් නම් ඊශ්රායෙල් පුවත්පතක් ද ඒ පිලිබඳ වාර්තා කොට තිබුණා - එනම් සවුදි අරාබිය, රුවන්ඩා සහ තව බොහෝ රටවලට ඔවුන් පෙගසස් සහ වෙනත් ඔත්තු බැලීමේ මෙවලම් රාජ්ය තාන්ත්රික කැරට් අල බවට පත් කොට ගන්නවා.
“ඔබ එක්සත් ජාතික සංවිධානය තුළ දී හෝ වෙනත් එවැනි ජ්යාතන්තර සංවිධානවලදී අපගේ මතයට සහය පළකරනවා නම්, අප ඔබට ලෝකයේ ප්රබලතම ඔත්තු බැලිමේ මෘදුකාංගය මිලට ගැනීමට අවස්ථාව සලසා දෙනවා.” එය සාර්ථක උපක්රමයක්. ඔවුන් එය එක්සත් අරාබි එමීර් රාජ්යය, සවුදි අරාබිය, රුවන්ඩාව සහ වෙනත් එවැනි මර්ධනකාරී රටවලට විකුණා තිබෙනවා. ඉතින් පූර්ණ වශයෙන් තහනම් කිරීමක් හෝ දැවැන්ත නියාමනයක් සිදු නොවන්නේ නම් මේ තාක්ෂණය ලොව පුරා පැතිරී යාම දිගින් දිගටම සිදු වේවි. හෙට දිනයේ NSO සමාගම වැහිලා යාවි, මොකද මේ වෙද්දි එය ආර්ථික අර්බූදයක තිබෙන නිසා, ඒත් තවත් වෙනත් සමාගම් පෙගසස් ආයතනය කරපු දේම කරයි, ඒ නිසා තමයි ඊශ්රායලය ඔත්තු බැලිමේ මෘදුකාංග අපනයනයකරුවන්ගේ ලෝකයේ අංක එක බවට පත් වෙලා තියෙන්නෙ.
ලෝකයක් බලා සිටියදී ඊශ්රායලය විසින් පලස්තීන ජන සංහාරයක් සිදු කරන අතරවාරේ එම යුදමය අත්දැකීම් ලොව පුරා මිල කරමින් ඔවුන් ලාබ ලබන සැටි හෙළිදරව්ව කරන එම අගනා කෘතිය පිළිබඳව වොර්සෝබුක් වෙබ් අඩවියේ මෙවැනි සටහනක් දක්වා තිබුණි.
“ඉහළ අලෙවියක් ඇති කෘති සම්පාදනය කරන, දක්ෂ කතුවරයෙකු වන ඇන්ටනි ලොවෙන්ස්ටයින් රහස්ය වාර්තා, සම්මුඛ සාකච්ඡා සහ බිම් මට්ටමේ වාර්තාකරණය යොදා ගෙන, දැවැන්ත හෙළිදරව්වක් සිදු කර ඇත. මෙම කෘතිය මඟින් මුල් වරට, එනම් නිරන්තර සෝදිසිය, නිවෙස් කඩා බිඳ දැමීම්, කාලරාමුවක් නොමැති රඳවා තබා ගැනීම්, මර්දනකාරී තාක්ෂණයේ මිලේඡත්වයෙන් සැදි ඊශ්රායෙල් මිලිටරි- තාක්ෂණ සංකීර්ණය වෙනුවෙන් පලස්තීනය පරිපූර්ණ පර්යේෂණාගාරයක් බවට පත් කොට ගෙන ඇත්තේ කෙසේ දැයි පහදා දෙයි.
මෙම කෘතිය මඟින් මුල් වරට, මර්දනකාරී තාක්ෂණයේ මිලේඡත්වයෙන් සැදි ඊශ්රායෙල් මිලිටරි- තාක්ෂණ සංකීර්ණය වෙනුවෙන් පලස්තීනය පරිපූර්ණ පර්යේෂණාගාරයක් බවට පත් කොට ගෙන ඇත්තේ කෙසේ දැයි පහදා දෙයි.
ජමාල් කෂෝගි වැනි ජනමාධ්යවේදීන් ගේ ජංගම දුරකථනවලට රිංගා ඔවුන් පිළිබඳ ඔත්තු බැලූ පෙගසස් මෘදුකාංගයේ සිට, මියන්මාරයේ දහස්ගණනක් රෝහින්ග්යා ජනතාව මරු මුවට පත් කළ ආයුධ ආලෙවියේ සහ මධ්යධරණී මුහුදේ ගමන් කරන දේශපාලන සරණගාතයන් පිළිබඳ සෝදිසියෙන් සිටීමටත් ඔවුන්ව දියේ ගිල්වා දැමීමටත් ඉඩ සලසන ඩ්රෝන දක්වා පරාසයක යුධ උපකරණ සහ මෙවලම් පිළිබඳ මෙතෙක් අනාවරණ නොවුණු තොරතුරු රැසක් එම කෘතිය විසින් හෙළි කරනු ලබයි. මේ වන විට ඊශ්රායලය, ලොව වටා දරුණු ගැටුම් අවුලුවාලීමට හේතුවක් වෙමින්, ඔත්තු සැපයීමේ තාක්ෂණය සහ අවි ආයුධ අලෙවිය අතින් ලෝක බලවතා බවට පත් වී ඇත. විසිඑක්වෙනි ශතවර්ෂයේ වර්ග මූලික ජාතිකවාදය හිස ඔසවද්දි, ඊශ්රායලය එවැනි රාජ්යයන්ගේ අත්යන්ත ආකෘතියක් මේ මහ පොළොව මත ගොඩ නඟා ඇත.”

සටහන - සුභාෂිණී චතුරිකා
2024.07.07 වැනි දින අනිද්දා පුවත්පතේ මුල් වරට පලවිය.
අවධාරණය කිරීම්, වීඩියෝ, ඡායාරූප අපෙන්
“The Palestine Laboratory”: Antony Loewenstein on How Israel Exports the Technology of Occupation




එහෙත් මේ මොහොත වන විට සිදුවන පැහැදිලි කාරණය නම්, යුධමය ශක්තියත් ලෝක බලවතුන්ගේ සහයත් ඇති ඊශ්රායලය, පලස්තීනු ජනතාවගේ මව්බිමේ අයිතිය උදුරා ගනිමින් පලස්තීනු ජන සංහාරයක් සිදු කරමීන් සිටීමය. මෙවැනි පසුබිමක් තුළ, ඉතා දීර්ඝ කාලයක් පලස්තීනු භුමියේ වාඩි ලා සිටින ඊශ්රායල හමුදාව විසින් සිදුකරන මර්දනකාරී පාලනයෙන් ලද අත්දැකීම් ඇසුරෙන්, ඊශ්රායෙල් රජය අත්පත් කරගනිමින් සිටින වෙනත් ප්රතිලාභයක් පිළිබඳ හෙලිදරව්වක්, යුදෙව් ජාතික ජර්මානු- ඔස්ට්රේලියානු විමර්ෂණාත්මක ජනමාධ්යවේදී, ලේඛක සහ චිත්රපට අධ්යක්ෂක ඇනටනි ලොවෙන්ස්ටයින් විසින් ලියන ලද The Palestine Laboratory: How Israel Exports the Technology of Occupation Around the World(2023) නම් කෘතිය තුළින් එළි දක්වා ඇත. කෘතියේ නමින්ම සෘජුව දැක්වෙන පරිදි ඇන්ටනි ලොවෙන්ස්ටයින් පෙන්වා දෙන්නේ දශක ගණනාවක් පලස්තීනය තුළ වාඩි ලා සිටින ඊශ්රායලය, පලස්තීන භූමියත් සහ එහි ජනතාවත්, කිසියම් ජාතියක් මර්දනය කිරීමේ, යටත් කොට තබා ගැනීමේ සහ ඔත්තු බැලිමේ නව ක්රම අත්හදා බැලිමේ වැඩබිමක් ලෙස භාවිතා කරමින්, ඉන් බිහිවන යුධමය තාක්ෂණය සහ මෙවලම් ලොව පුරා මර්දනකාරී රාජ්යයන්වලට විකුණමින් අධික ලාභ ලබන බවයි.