The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

ගල්ගමුවේ චණ්ඩිගේ මරණය මුල් කොට නව දේශපාලනික මංපෙතක් - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

July 9, 2024 • 7:36 AM

ගල්ගමුවේ චණ්ඩිගේ මරණය මුල් කොට නව දේශපාලනික මංපෙතක් - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලියැවීම නූතන ජනතාව තුළ පවත්නා සමකාලීන විඥානයේ සහ සමාජ පරිඥානයේ අබල දුබල බවක් කියා පෑමක් බවට මතයක් පළ වී තිබේ.
  • ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසුම් කළ මට අනුමාන වශයෙන් හැඟී ගියේ එය එක්තරා කණ්ඩායමක් විසින් පතුරුවන ලද දේශපාලනික මතයක් බව ය.
  • චණ්ඩි උදෙසා පැවැත්වූ මතක වස්ත්‍ර පූජාව වත්මන් සමාජයේ මිනිස් ඛේදවාචක පිළිබඳව විමැසීම මඟහැර වන සතුන් සම්බන්ධයෙන් සංවේදී වීම පවත්නා සමාජ යථාර්ථය එළි දැක්වීමෙන් බැහැර වීමක් හා සමාජමය අපගමනයට හේතු වන්නක් බවට තර්කයක් ගොඩනැඟිය හැකි බව සත්‍යයකි.
  • එහෙත්, මානුෂීය බව පදනම් ව මිනිස් සිත් සතන් තුළින් උපදින භාවාත්මක කම්පනයන් මිනිස් සමාජය කෙරෙහි පමණක් ඉලක්ක ගත ව පැන නගින ඒවා නොවන බව සාමාන්‍ය ව්‍යවහාරික බුද්ධියෙන් වුව නිගමනය කළ හැක්කකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලියැවීම නූතන ජනතාව තුළ පවත්නා සමකාලීන විඥානයේ සහ සමාජ පරිඥානයේ අබල දුබල බවක් කියා පෑමක් බවට මතයක් පළ වී තිබේ.

පසුගිය දින දෙක තුන තුළ සමාජ ජාල මුල්කොට ගනිමින්ම එම විකල්ප අදහස පැතිර යනු දක්නා ලදී. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසුම් කළ මට අනුමාන වශයෙන් හැඟී ගියේ එය එක්තරා කණ්ඩායමක් විසින් පතුරුවන ලද දේශපාලනික මතයක් බව ය.

එමෙන්ම එය පසුගිය අඩ සිය වසකටත් වැඩි කාලයක් ගල්ගමුව ආශ්‍රිත වන කලාපයන් හි ජීවත් වෙමින් සිටිය දී පසුගිය දා ගල්ගමුව, ඇහැටුව, කදුරුවැව අද්දර දී තවත් වන ඇතකුගේ ප්‍රහාරයකින් මිය ගිය චණ්ඩි හෙවත් තනි දළයා ඇතා ගේ අකල් මරණය සම්බන්ධයෙන් වන සත්ව ලෝලීන්, සත්ව අහිංසාවාදීන් හා සත්ව හිමිකම් ක්‍රියාධරයන් සමාජ ජාල මගින් පතුරුවන ලද සංවේදී ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් පළ කළ විකල්ප අදහසක් බව ද වටහා ගත හැකි විය.


චණ්ඩි උදෙසා පැවැත්වූ මතක වස්ත්‍ර පූජාව

වත්මන් සමාජයේ මිනිස් ඛේදවාචක පිළිබඳව විමැසීම මඟහැර වන සතුන් සම්බන්ධයෙන් සංවේදී වීම පවත්නා සමාජ යථාර්ථය එළි දැක්වීමෙන් බැහැර වීමක් හා සමාජමය අපගමනයට හේතු වන්නක් බවට තර්කයක් ගොඩනැඟිය හැකි බව සත්‍යයකි. එහෙත්, මානුෂීය බව පදනම් ව මිනිස් සිත් සතන් තුළින් උපදින භාවාත්මක කම්පනයන් මිනිස් සමාජය කෙරෙහි පමණක් ඉලක්ක ගත ව පැන නගින ඒවා නොවන බව සාමාන්‍ය ව්‍යවහාරික බුද්ධියෙන් වුව නිගමනය කළ හැක්කකි. දේශපාලනික මති මතාන්තර උදෙසා න්‍යායාත්මක පදනමක් තිබිය හැකි බව ඇත්තකි. නමුත් මිනිස් සිත් සතන් තුළින් පැන නඟින ආකල්ප, විකල්ප, හැගීම්, ආවේග ආදී වශයෙන් හැඳින්වෙන චින්තාවලී සමුදායන් එසේ න්‍යායාත්මක වශයෙන් හෝ සමීකරණ ස්වරූපයෙන් පැන නඟින ඒවා නොවේ.

ඉහත සඳහන් ප්‍රකාශවලට මුල් වන, වන ජීවියා ගල්ගමුව අවට වන කලාපයන් හි ජීවත් වූ තනි දළයක් සහිත ඉතා පිරිපුන් අලංකාරවත් සිරුරක් සහිත ඇතෙකි. ඒ අනුව ප්‍රදේශ වාසීහු ඔහු තනි දළයා ලෙස හඳුන්වන්නට පටන් ගත්හ. සාමාන්‍යයෙන් ඇතැම් වන අලින් මිනිස් ජනාවාස අතරේ රැඳී සිටීමට යම් අකමැත්තක්, කෝල බවක් පළ කරති. එහෙත්, තනි දළයා ආසන්න වශයෙන් මීට වසර තිහක පමණ සිට ගල්ගමුව හා අවට මානව ජනාවාස තම වාසස්ථානය වශයෙන් තෝරා ගැනීම මත බොහෝ දෙනාගේ අවධානයට යොමු විය. ඒ අතර ඔහු ගේ ඡායාරූප සහ ඔහු පිළිබඳ ප්‍රවෘත්තීන් සමාජ ජාල මගින් පැතිර යන අතරේ බාහිර සමාජයේ ඇතැමුන් ගණ දෙවිඳුන් සඳහා වන පර්යාය නාමයක් වන “ඒක දන්ත” නමින් ද මේ තනි දළයා හඳුන්වන්නට වූහ.


chandi 01ගල්ගමුව අවට වන කලාපයන් හි ජීවත් වූ තනි දළයක් සහිත ඉතා පිරිපුන් අලංකාරවත් සිරුරක් සහිත ඇතෙකි.


මා මුල් වරට ගල්ගමුව ප්‍රදේශයට පා නඟන ලද්දේ මීට වසර විසි හයකට පෙර 1998 වසරේ දී ය. ඒ අප ගම් ප්‍රදේශයේ ජන්ම ලාභය ලැබ අපේ ග්‍රාමීය විහාරස්ථාන හා සම්බන්ධ සඟ පරපුරෙන් පැවිද්ද ලබා සාමනේර දිවි පෙවෙතක් ගත කළ මගේ කළණ මිතුරු හිමි නමක වූ පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියන් නිසා ය. ජීවිතයේ තරුණ වියේ දී රජයේ ගුරු පත්වීමක් ලැබ පසු කලෙක 1998 වසරේ ගල්ගමුව, ඇහැටුව, දිවුල්ගනේ පාසලට මාරුවක් ලැබූ උන් වහන්සේ බැහැදැකීම පිණිස මම වරක් දෙකක් එහි ගියෙමි. පසුව උන් වහන්සේ ගල්ගමුව යූ. බී. වන්නිනායක ජාතික පාසලේ විදුහල්පති පදවියට ද පත් වූහ. එම ගමන් වලදී ගල්ගමුව ආශ්‍රිත සොබා සොඳුරු බවින් අනූන වනගහනය හා සබැඳි මනරම් පරිසරය, එහි ජන ජීවිතය සහ ඔවුන්ගේ ජන සංස්කෘතිකාංග පිළිබඳ වටින් ගොඩින් විමසුමක් කළ පසුව අඩුම තරමින් මාසයකට හමාරකට වරක් ගොස් එහි දවසක් දෙකක් නතර වීමට තරම් ‘ගල්ගමු ලෝලීත්වයක්’ මා තුළ හට ගැනිණ.

හිටිහැටියේ ගැමියන් ගේ හේන් කුඹුරු වලට සහ ගෙවතු වලට කඩා වැදී ඒවායේ වගා පාළු කරන අතරේ ගැමි ගෙවල් ද කඩා දමන එක් දළයක් සහිත ඇත් නාම්බකු පිළිබඳව මට මුල් වරට අසන්නට ලැබුණේ එම ප්‍රදේශයේ කරන ලද සංචාරයන් වල දී ය. එහිදී එම තනි දළ ඇතා ගේ මුරණ්ඩු හැසිරීම් නිසා ගැමියන් ඌ “චණ්ඩි” නමින් හඳුන්වන බව ද මට දැන ගත හැකි විය. සාමාන්‍යයෙන් බොහෝ වන ඇතුන් දක්නට ලැබෙනුයේ වන අලි රංචුවක නායකයා ලෙසිනි. එහෙත් මේ චණ්ඩි හුදකලා වාසය ප්‍රිය කළ සද්දන්තයෙක් විය.


ahatuwawaඇහැටුවැව ආශ්‍රිත ස්වාභාවික සෞන්දර්ය

එමෙන්ම ඔහු ගේ එම මුරණ්ඩු ක්‍රියා කෙතරම් ද යත් චණ්ඩි එම ප්‍රදේශයේ නිවාස කඩාබිඳ දැමීම පිණිස යොදා ගන්න පහසු ක්‍රමයක් ගැන ද මට දැන ගැනීමට ලැබිණ. එම නිවෙස්වලට හොඬයෙන් හෝ පාද වලින් පහර නොදෙන චණ්ඩි කරනුයේ ඒ නිවසක් වෙතට ගොස් තම ශරීරයේ බර පැටවෙන සේ එහි බිත්තියකට හේත්තු වීම ය. එවිට කෙතරම් සවිමත් බිත්තියක් වුව ඒ බරට නොවැරදීම කඩා වැටෙයි. එසේ චණ්ඩි විසින් බිත්ති කඩා දමන ලද නිවාස දෙකක් හෝ තුනක් නිරීක්ෂණය කිරීමට මට ද හැකි විය. ඒ ඇතැම් බිත්ති කොටස් කුට්ටි වශයෙන් නිවස තුළට කඩා වැටී ඇති ආකාරය අනුව චණ්ඩි ඒ බිත්ති තම දැවැන්ත ශරීරයෙන් නෙරපා ඇති අන්දම සිතින් මවා ගැනීමට පවා මට හැකි විය. එහෙත්, චණ්ඩි එසේ පහර දෙන ලද්දේ වී හෝ බඩ ඉරිඟු, වට්ටක්කා, කොමඩු ආදිය ගබඩා කොට තිබූ නිවෙස්වලට පමණක් බව ද මට පසුව දැන ගන්නට ලැබිණ. “මේකා නම් මහ එපාම කරපු එකෙක්” එවක චණ්ඩි ගැමියන්ට සිදු කොට තිබූ එම හානි දුටු මනින් මට එසේ සිතිණ.

මේ අතර තම වර්ගයා වෙතින් මිදී හිතුවක්කාර ලෙසින් මහ වන ගැබට වඩා මිනිස් ජනාවාස ඇසුරෙහි සැරිසරන්නට වූ මෙම සද්දන්තයා මිනිසුන් පමණක් යොමු වන නරක පුරුද්දකට ඇබ්බැහි වී ඇති බව ද පසුව මා හට දැන ගන්නට ලැබිණ. එනම් ප්‍රදේශයේ හොර සුරා නිපදවන්නවුන් ඒ සඳහා සූදානම් කොට වන මැද සඟවා තබන ගෝඩා බැරල් සොයා ගොස් ඒවා එක හුස්මට බීම ය. ඒ අනුව ඔහු ඇතැම් විටෙක එක් දිනක් තුළ එසේ පානය කළ ගෝඩා ප්‍රමාණය ලීටර් පනහක් හැටක් වීමට ද බැරි නැත. ගෝඩාවල කසිප්පු තරමට නොවූවත් යම් මද්‍යසාර සංයුතියක් තිබේ. එමෙන්ම ඒවායේ මිනිස් සිරුරට අහිතකර මෙතනෝල් ආදී විෂ රසායනික වර්ග ද කිහිපයක්ම ඇත. එම ගෝඩා පානය කළ චණ්ඩි සැළකිය යුතු ලෙස වෙරි වන්නට ද ඇතැයි සාධාරණ ලෙස අනුමාන කළ හැක. එමෙන්ම ඉන් පසුව ඔහු නිවාස කැඩීම් ආදී මුරණ්ඩුකම්වලට ඔහුගේ වෙරි මත කෙසේ ඉවහල් වූයේ ද යන්න කීමේ දැනුමක් මා තුළ නැත. නමුදු ප්‍රදේශයේ දුගී දුප්පත් ජනතාවගේ ශරීර ගත වීමට තිබූ ඒ ගෝඩාවල අඩංගු විෂ රසායනිකයන් චණ්ඩි සිය කැමැත්තෙන්ම ශරීර ගත කර ගැනීම මත ගල්ගමුව හා ඒ ආශ්‍රිත හොර සුරා නිෂ්පාදනය ද සැලකිය යුතු ලෙසකින් පහත වැටී තිබූ බව නම් සත්‍යයකි. නමුත් එහි දී විශේෂයෙන් කිව යුත්තක් ද තිබේ.


chandi 2චණ්ඩි උදෙසා පැවැත්වූ මතක වස්ත්‍ර පූජාව

එනම් එලෙස මානව ජනාවාස ඇසුරේ දිවි ගෙවමින් ගැමියන් ගේ හේන් කුඹුරු වලට කඩා වැදී හෝ නිවෙස් වලට පහර දී බව බෝග පැහැර ගත් චණ්ඩි ගෙන් කිසිදු මිනිසෙකු ගේ ජීවිතය අහිමි වී නොමැති බවකි. එමෙන්ම ගල්ගමුව ප්‍රදේශවාසීන් පවසන අන්දමට මහ රෑ යාමේ තනි පංගලමේ තමන් ඉදිරියට එන ගැමියකු හමුවේ පවා හොඬවැල නොඑසවීමට තරම් චණ්ඩි කාරුණික වී ඇති බවට සාක්ෂි රැසක් ම සොයා ගත හැකි විය. වරක් රාත්‍රී කළුවර අතුරින් වැනි වැනී තමන් ඉදිරියට අවුත් නොදැනුවත් කමින් තම ඇගේ හැපුණු ගැමියකුට පවා චණ්ඩි අභය දානය දුන් පුවතක් ගල්කඩවල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණ. එසේ චණ්ඩි තම සිරුරේ හැපුණු සැනින් එම ගැමියා තමන් හැඳ සිටි සරම පවා චණ්ඩිට “පූජා කොට” මර හඬ දෙමින් දිවූ කතාවක් එකල ප්‍රචලිත විය.

එය මුල් කොට ගැමියන් ගෙන් චණ්ඩිට එල්ල වූ “මඩ ප්‍රහාරයක්” පිළිබඳ රසවත් මතකයක් ද මා තුළ තිබේ. එහි දී චණ්ඩි හා උගේ ඇඟේ හැපී කිසිම අනතුරක් සිදු නොවූ ගැමියා පිළිබඳව ගැමියන් කීයේ ”උන් දෙන්නම එක ජාතියෙ එවුන් නේ. ඒ හින්දා තනි දළයා ඌට සමාව දෙන්න ඇති’ යන්න ය. ඒ අතර ” සමහර විට තනි දළයා ඒ වෙලාවේ අපේ එකාටත් වැඩිය සූර් පිට ඉන්න ඇති” කියමින් චණ්ඩි උපහාසයට ලක් කරන්නෝ ද වූහ.

 

chandi 3චණ්ඩි සදහටම නිහඬ කොට ඒ කරදර වලින් අත් මිදීමට සැළසුම් කළ ඔව්හු නොයෙකුත් අවස්ථාවල චණ්ඩිට වෙඩි තබා ඝාතනය කිරීමට ද සැළසුම් කළහ. එහෙත්, ඒ හේතුවෙන් මූනිස්සම් කිලෝ කිහිපයක් වරින් වර ශරීරගත වුව ද තව දුරටත් තම පණ රැක ගැනීමට චණ්ඩි සමත් විය.

මුලදී ගම් වැසියන් ගේ බව බෝග පාළු කිරීම සහ නිවාස කඩා බිඳ දැමීම නිසා ගම් වැසියන්ට තරමක කරදරකාරයකු වූ චණ්ඩි මෙලෙස හොර සුරා නිෂ්පාදනයට දිගින් දිගටම හෙනහුරුකම් පෑම නිසා ප්‍රදේශයේ කසිප්පු මුදලාලිලාට ඔහු මහත් හිසරදයක් විය. ඒ අනුව චණ්ඩි සදහටම නිහඬ කොට ඒ කරදර වලින් අත් මිදීමට සැළසුම් කළ ඔව්හු නොයෙකුත් අවස්ථාවල චණ්ඩිට වෙඩි තබා ඝාතනය කිරීමට ද සැළසුම් කළහ. එහෙත්, ඒ හේතුවෙන් මූනිස්සම් කිලෝ කිහිපයක් වරින් වර ශරීරගත වුව ද තව දුරටත් තම පණ රැක ගැනීමට චණ්ඩි සමත් විය. නමුදු ඉන් පසු ද මිනිසුන්ගේ ජීවිත හානි නොකිරීමට තරම් බෝධිසත්ව ගුණෝපේත හදවතක් චණ්ඩි සතු විය.

පසුව තමන් ගේ කසිප්පු ජාවාරමට මරු පහරක් එල්ල කරන චණ්ඩි ගල්ගමුවෙන් ඉවත් කළ යුතු බවට ප්‍රාදේශීය බලවතුන් ලවා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළ කසිප්පු මුදලාලිලාට එම දෙපාර්තමේන්තුව ලවා මිනිසකු තබා කුරා කුහුඹුවකු වත් මැරූ බවට කිසිදු සාක්ෂියක් නොමැති චණ්ඩි අවස්ථා තුනක දීම ගල්ගමුවෙන් බැහැර වෙනත් වන කලාපවලට ගෙන ගොස් දම්මවන්නට හැකි විය. එලෙස පළමුව චණ්ඩි 2009 වසරේ සෝමාවතී ජාතික වනෝද්‍යානයට බැහැර කරන ලදී. නමුත් ඉන් දින විසි අටකට පසුව කිලෝ මීටර් දෙසිය පනහකට ආසන්න දුරක් ගෙවා ගම්මාන සේම නගර ද පසු කොට තම නිජබිම වෙත නිරුපද්‍රිතව සංක්‍රමණය වී තිබුණේ එම ප්‍රදේශවාසීන් සේම වනජීවී නිලධාරීන් ද විස්මයට පත් කරමිනි.


silarathanaගලහිටියාවේ සිරිරතන හිමි දිවුල්ගනේ විහාරස්ථානයේ දී

එමෙන්ම ඉන් පසුව ද ගල්ගමුව ප්‍රදේශයේ නිපදවන කසිප්පු වල සියලු වස් දොස් සිය කැමැත්තෙන් ශරීර ගත කර ගත් චණ්ඩි සහ ඉන් පීඩාවට පත් කසිප්පු ජාවාරම් කරුවන් අතර ආරෝව නිරන්තරයෙන් පැවැතීම මත 2010 සහ 2018 යන වසර වලදී දෙවතාවක්ම චණ්ඩි වන අලින් සඳහා වන සිර කඳවුරක් බඳු හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් දැමීමට වන ජීවී නිලධාරීන්ට සිදුවිය. එවිට ද සතියක් හමාරක් තුළ කිලෝ මීටර් සියයක පමණ දුරක් ගෙවා ගල්ගමුවේ සුපුරුදු නිජබිම වෙත සපැමිණෙන්නට චණ්ඩි සමත් විය. ඒ වන විටත් අසත්පුරුෂ මිනිස් සමාජයෙන් එල්ල වූ නොයෙකුත් දරුණු කායික වධ හිංසා නිසාත් වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව අධික ලෙස ගෝඩා පානය කිරීම නිසාත් චණ්ඩි කායික වශයෙන් සැලකිය යුතු ලෙසින් දුබල වී සිටියේ ය. එනිසාම අවස්ථා කිහිපයකදී ඉදිරිපත් ව ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ද වන ජීවී පශු වෛද්‍ය නිලධාරීන්ට සිදුවිය.

නමුත් ඒ වන විට චණ්ඩිගේ එක් ඇසක් මුලුමනින් අන්ධව අනෙක් ඇසේ පෙනීම ද බෙහෙවින් දුබලව තිබූ අතර ඔහුගේ ශ්‍රවණ ශක්තිය ද ඉතා අඩු මට්ටමක පැවතුණි. ඒ මිනිසුන් ගේ වෙඩි ප්‍රහාර සහ ඔහුගේ කන් බෙරය සමීපයේම පුපුරුවා හරින ලද අලි වෙඩි නිසා ද අධික ලෙස ඔහුගේ රුධිරයට එක් වූ සීනි සංයුතිය හා මෙතනෝල් විෂ නිසා දැයි මට කිව නොහැක.

70361968 2391297171126772 2059477663570984960 nචණ්ඩි තම සුපුරුදු මුරණ්ඩු ගති පැවතුම් මුළුමනින්ම අත් හළ චණ්ඩි තම දුක්ඛිත අසරණකම ගල්ගමුව අවට ජනතාවට කීමට මෙන් මිනිස් ජනාවාස ඇසුරේම ගෙවීමට වැඩි නැඹුරුවක් දැක්වීය.

 

එමෙන්ම අවසාන කාලය තුළ චණ්ඩි තම සුපුරුදු මුරණ්ඩු ගති පැවතුම් මුළුමනින්ම අත් හළ චණ්ඩි තම දුක්ඛිත අසරණකම ගල්ගමුව අවට ජනතාවට කීමට මෙන් මිනිස් ජනාවාස ඇසුරේම ගෙවීමට වැඩි නැඹුරුවක් දැක්වීය. ඔහුගේ එම සිතැඟි වටහා ගත් ගල්ගමු ජනතාව ද චණ්ඩිට අසීමිත ලෙස ආදරය, කරුණාව හා දයානුකම්පාව පළ කිරීමට පෙළ ගැසුණහ. රාත්‍රී කාලයට සේම උදය මධ්‍යාහ්න සවස ආදී වශයෙන් වෙලාවක් කලාවක් නොමැතිව තමන් ගේ දොර ඉඩකඩම් කෙත් වතු සීමාවන්ට පිවිසෙන චණ්ඩිගේ හොඬයට හසුවන ඕනෑම දෙයක් ගෙන මුව තුළ බහා කුස ගින්න නිවා ගැනීමට ගල්ගමු වැසියන් ගෙන් කිසිදු බාධාවක් ඇති නොවිණි. එමෙන්ම දවසේ කිනම් හෝ වේලාවක ගල්ගමුව අවට මාර්ගයක් ඔස්සේ සන්සුන් ගමනින් පිය නඟන චණ්ඩි දකින එම මාර්ග වල වාහන පදවන්න වුන් ද ඒ සඳහා ඔහුට ඉඩ දී පසෙකට වූයේ වාහනයක් නලා හඬකින් පවා බාධා නොකරමිනි.


ahatuwawa 2ඇහැටුවැව ආශ්‍රිත ස්වාභාවික සෞන්දර්ය

චණ්ඩිගේ ජීවිතයට එල්ල වූ මෙම කුරිරු අභාග්‍යය එල්ල වූයේ ඒ අයුරින් වසර කිහිපයක් ගත වූ පසු ඔහුගේ ප්‍රියතම වාස කලාපයක් වන ගල්ගමුව, ඇහැටුවැව කදුරුවැව අද්දර දී ඉකුත් ජූලි 04 දා ය. ඒ පසුගිය කාලයේ ඒ වන කලාපයට කොහේ දෝ සිට පිටරටකින් පැමිණියාක් මෙන් හදිසියේ කඩා පාත් වූ තරුණ නාඹර ඇතකු ගේ ප්‍රහාරයට ලක් වීමෙනි. ඒ ඇතා ගේ අහඹු පැමිණීම මුල් කොට ඔහු රට ඉඳන් පැමිණියකු සේ සළකා “රටයා”ලෙස මුලින් හඳුන්වනු ලැබූ ගැමියන් පසුව ඒ නම උච්චාරණයට පහසුවට “රට්ටා” ලෙස ව්‍යවහාර කරන්නට පටන් බව පැවසෙයි.

සාමාන්‍යයෙන් ඇතුන් සහ අලින් සමූහචාරී විලාසයක් දක්වතත් ඇත්තු, එකි`නෙකාට එරෙහි සටන්කාමී ස්වරූපයක් පළ කරති. ඒ ඇතින්නියන් පිළිබඳ අයිතිය ආදී හේතු නිසා බව ගැමියන් ගේ අදහස ය. ඒ අනුව කදුරුවැව අද්දර දී චණ්ඩි නෙත ගැටුණු රට්ටා ඔහු හා දරුණු සටනකට එළැඹුණු අතර දෙදෙනා ගේ වයස් පරතරය, චණ්ඩිගේ රෝගී බව සේම ඇස් පෙනීම දුබල වීම ආදී හේතු මත රට්ටා ගේ ප්‍රබල වේගවත් දළ පහරට ප්‍රතිරෝධයක් එල්ල කිරීමට චණ්ඩිට නොහැකි විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ පැය කිහිපයක් පුරා පැවැති එම සටනින් දරුණු තුවාල ලත් චණ්ඩි කදුරුවැවේ වැටී දියඹ මත දී සිය අවසන් හුස්ම හෙළීම ය.

 

02 1කදුරුවැව අද්දර දී චණ්ඩි නෙත ගැටුණු රට්ටා ඔහු හා දරුණු සටනකට එළැඹුණු අතර දෙදෙනා ගේ වයස් පරතරය, චණ්ඩිගේ රෝගී බව සේම ඇස් පෙනීම දුබල වීම ආදී හේතු මත රට්ටා ගේ ප්‍රබල වේගවත් දළ පහරට ප්‍රතිරෝධයක් එල්ල කිරීමට චණ්ඩිට නොහැකි විය

ඒ අනුව එසේ මෙලොව හැර ගිය චණ්ඩි මුලින් ගැමියන් ගෙන් “තූ නොදකින්” යන වහසි බස් වලින් අවමන් ලබා තම ජීවිතයේ අවසන් කාලය තුළ “පුතේ”, “දරුවෝ” “මහත්තයෝ”, “බුදු සරණයි” “පරිස්සමින්” යන ආදරණීය සහ සානුකම්පිත ආමන්ත්‍රණ වලින් ඇමතුම් ලැබූ අප අසා දැක ඇති සතුන් අතුරින් සුවිශේෂී සත්වයකු බව නිසැක ය. එමෙන්ම මේ වන විටත් ගල්ගමුවේ ජනතාව තුළ ඔහුගේ අකල් මරණය මුල්කොට නෙත ඇති වූ සාතිශය සහ ප්‍රකම්පනය සහ සංවේගය දෙවන වනුයේ ගල්ගමුව ආශ්‍රිත වන කලාපයන්හි පවත්වනු ලදුව 2010 සහ 2018 යන වසර වල නොමනා මානව ක්‍රියාකාරකම් නිසා අකල් මරණවලට ලක් සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන සද්දන්තයන් උදෙසා ඇති වූ ප්‍රකම්පනයට සහ සංවේගයට පමණක් බව නිසැක ලෙසම කිව හැකි ය.

පසුගිය ජූලි 05 වන දා ඇහැටුවැව කදුරුවැවේ දියඹේ තිබී හමු වූ චණ්ඩිගේ මළ සිරුර වන ජීවී නිලධාරීන් ගේ ද ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ ද සහභාගීත්වයෙන් භික්ෂුන් වහන්සේලා උදෙසා සිදු කරන ලද මතක වස්ත්‍ර පූජාවකින් පසු ජූලි 06 වන දා මිහිදන් කරන ලද්දේ ඒ අනුව ය. එහි දී ප්‍රදේශවාසී කුඩා දරුවෝත් වැඩිහිටියෝත් එකසේ හඬා වැටුනහ.

 

maxresdefault 5ඇහැටුවැව කදුරුවැවේ දියඹේ තිබී හමු වූ චණ්ඩිගේ මළ සිරුර

වත්මන් මිනිස් සමාජයේ මෙතරම් ඛේදනීය තත්වයන් තිබියදී එක් වන සතකු ගේ මරණයක් මුල් කොට සමාජ ජාල ඔස්සේ සෝ ගී ප්‍රචලිත කිරීම සම්බන්ධ දේශපාලනික චෝදනාව සඳහා වග උත්තරකාර පාර්ශවය වෙනුවෙන් ජනතා අධිකරණය හමුවේ අපට දිය හැකි සාක්ෂිය එයයි.

පොදුවේ ගත් කළ දේශපාලනය යනු විවිධාකාර මිනුම් වලට අනුව රළු පරළු ස්වභාවයක් පළ කරන විෂයකි. මිනිස් සිත් සතන් තුළ භාවයන් කුපිත කරවන අංග ද එහි බොහෝ තිබේ. නමුත් එම විෂය පථය ද හුදෙක් මානව සංවර්ධනය ඉලක්ක කොට ගත් එකකි. එහෙත්, මේ මිහිතලය මිනිසුන් ගේත් සතුන් ගේත් සම උරුමයක් මිස මිනිසුන්ගේ තනි උරුමයක් නොවේය යන ස්වභාවික යුක්තිය මත පදනම් වන යථාර්ථය ඉතා අවාසනාවන්ත ලෙසින් නූතන දේශපාලන විෂය පථයෙන් බැහැර වී තිබේ. ඒ වත්මන් දේශපාලනය හුදු මානව සුබසිද්ධිය පමණක් ඉලක්ක කොට ගත් එකක් බැවිනි. නමුදු ඒ සම්බන්ධයෙන් අපගේ සිත් තුළ පැන නඟින කුකුස මෙයයි.

 

 

 

ඉහත සඳහන් අන්දමේ ස්වභාවික යුක්තිය හා සබැඳි මූලධර්ම අමතක කොට හුදෙක් මානව යහපත උදෙසා පමණක් ඉලක්ක කොට සිදු කරනු ලබන සංවර්ධනය මගින් මේ ලෝකයේ සැබෑ අනාගත යහපැවැත්ම තහවුරු කර ගත හැක්කේ කෙසේද? ඒ අනුව මෙම සටහනේ සමාප්ති වැකිය මම මෙලෙස සටහන් කරමි.

 

elephant deadගල්ගමුවේ චණ්ඩිගේ අකල් වියෝව

“දේශපාලනය හෝ වේවා අන් කවර විෂයක් හෝ වේවා ස්වභාවික යුක්තිය නම් වන සනාතන මූල ධර්මය මතම පදනම් විය යුතු ය.මක් නිසා ද මානව සමාජයේ පැවතිය යුතු සදාචාරයේ මුල්ම පාඩම එය බැවිනි. එය නොතකා “අමු දේශපාලන” නියමයන් මත කටයුතු කිරීම නාය යන අස්ථාවර බිමක සවිමත් ගොඩනැගිලි තැනීමක් ම වනු ඒකාන්ත ය. ගල්ගමුවේ චණ්ඩිගේ අකල් වියෝව මුල්කරගෙන හෝ නව දේශපාලනික මංපෙතක් ඔස්සේ අප ගේ සිතුවිලි පුබුදුවා ගත යුත්තේ එබැවිනි. වත්මන් සමාජය තුළ මොන තරම් ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වී තිබිය දී වුව එක් වන සතකු ගේ මරණයක් මුල් කොට සමාජ ජාල ඔස්සේ මෙතරම් සෝ ගී කන්දරාවක් ලියැවීමේ යෝග්‍යතාව ඔය කාට කාටත් හරිහැටි වැටහෙන්නේ එවිට ය.



thilak
(තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com
 
 

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...