The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

නයෝමි අමරසිංහ: ‘මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත’

T

The Leader Desk

July 10, 2024 • 6:31 AM

නයෝමි අමරසිංහ: ‘මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නයෝමි අමරසිංහ නමැති ඇය සම්බන්ධයෙන් අගැයීම් සටහනක් තබමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇය හැඳින්වූයේ, ‘ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බාධක බිඳ දැමූ කාන්තාවක’ ලෙස ය.
  • නයෝමි අමරසිංහ මීට මාස කිහිපයකට පෙර මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු නාවික කත බවට පත්වූයේ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ද සහය ඇතිව අවසන් කරන ලද පාඨමාලාවකින් පසුව ය.
  • ඒකෙදි ඔස්ට්‍රේලියාව, දකුණු ඇමෙරිකාව, දකුණු අප්‍රිකාව කියන රටවල්වලට ගියා." ‘ගොඩක් අය කියනවා සුදුසු නෑ කියලා’ නාවික කතක ලෙස මගී ප්‍රවාහන නෞකාවක මාස ගණනක් මුහුද මැද යාත්‍රා කිරීම කාන්තාවකට සුදුසු නැතැයි බොහෝ දෙනෙකු තමන්ට පවසන බව නයෝමි පැවසුවා ය.
  • එහෙත්, ඇය පවසන්නේ, තමන් සේවය කළ කිසිදු නෞකාවක මෙතෙක් කිසිදු අකටයුත්තක් තමන්ට සිදු නොවූ බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නයෝමි අමරසිංහ නමැති ඇය සම්බන්ධයෙන් අගැයීම් සටහනක් තබමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇය හැඳින්වූයේ, ‘ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බාධක බිඳ දැමූ කාන්තාවක’ ලෙස ය.

 

නයෝමි අමරසිංහ මීට මාස කිහිපයකට පෙර මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු නාවික කත බවට පත්වූයේ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ද සහය ඇතිව අවසන් කරන ලද පාඨමාලාවකින් පසුව ය.

 

"මගේ අම්මා මේකට මුලින් කැමති වුණේ නෑ. මගේ අයියාත් නාවික හමුදාවේ හිටියේ. එයත් නැවක වැඩ කරලා තියෙනවා. එයා නම් කැමති වුණා. ඒත් කෙල්ලෙකුට මේ රස්සාව හරියන්නෙ නෑ කියලා අම්මා විරුද්ධ වුණා. ඒත් මම දැන් ඉන්න තැන ගැන හිතලා අම්මා ගොඩක් සතුටු වෙනවා," නයෝමි අමරසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

 

AS5නයෝමි අමරසිංහ මීට මාස කිහිපයකට පෙර මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු නාවික කත බවට පත්වූයේ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ද සහය ඇතිව අවසන් කරන ලද පාඨමාලාවකින් පසුව ය

 

මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹූ පළමු ශ්‍රී ලාංකික නාවික කත බවට ඇය පත්වූ ආකාරය නයෝමි අමරසිංහ විස්තර කළා ය.

 

"ලංකාවේ කාන්තා කැඩෙට්ලා කිහිප දෙනෙක් ම ඉන්නවා. ඒත් රේටිංස් කියල කියන මගී ප්‍රවාහන නෞකාවලට කාන්තාවො ගන්නෙ ගොඩක් අඩුවෙන්. ඒවාට ගන්නෙ ගොඩක් වෙලාවට පිරිමි විතර යි. මොක ද සීෆෙයාරර් කෙනෙකුට කරන්න තියෙන වැඩ කොටස ගොඩක් අමාරු යි. ඒ වගේ ම වගකීම වැඩි යි. ඒ නිසා මට ලොකු අභියෝගයක් වුණා මේක ඉගෙන ගන්න එක. ඒත් මම කොහොම හරි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ උපකාරයෙන් ඒ අභියෝගය ජය ගත්තා."

 

"කෝස් එක ඉවර වුණා ම මර්ක් මැරීන් එකෙන් තමයි මට අයිඩා කියන නැවේ රස්සාව හොයලා දුන්නේ. මගේ මුල් ම කන්ට්‍රැක්ට් එක යුරෝපයට විතරයි තිබුණේ. දෙවෙනි කන්ට්‍රැක්ට් එක වර්ල්ඩ් කෲස් එකක්. ඒක මාස 4ක් තිබුණා. ඒකෙදි ඔස්ට්‍රේලියාව, දකුණු ඇමෙරිකාව, දකුණු අප්‍රිකාව කියන රටවල්වලට ගියා."

 

‘ගොඩක් අය කියනවා සුදුසු නෑ කියලා’

 

නාවික කතක ලෙස මගී ප්‍රවාහන නෞකාවක මාස ගණනක් මුහුද මැද යාත්‍රා කිරීම කාන්තාවකට සුදුසු නැතැයි බොහෝ දෙනෙකු තමන්ට පවසන බව නයෝමි පැවසුවා ය.

 

එහෙත්, ඇය පවසන්නේ, තමන් සේවය කළ කිසිදු නෞකාවක මෙතෙක් කිසිදු අකටයුත්තක් තමන්ට සිදු නොවූ බව ය.

 

"මගී ප්‍රවාහන නැව්වල කාර්ය මණ්ඩලය 600 ගණනක් ඉන්නවා. මම වැඩ කරපු නැවේ 645ක් හිටියා. පැසෙන්ජර්ස්ලා 2500කට යන්න පුළුවන්. ලංකාවේ අයත් ඒකෙ වැඩ කරනවා. ඒ නිසා මට ගොඩක් ආරක්ෂිත බවක් දැනෙනවා. මේ වෙනකම් මට වචනයක්වත් වැරදි විදිහට කිසි කෙනෙක් කියල නෑ. මම නම් නිදහසේ සතුටින් වැඩ කරනවා."

 

මාස 8ක සේවා කාලයකින් පසු ඇයට මාස 4ක නිවාඩුවක් ලැබේ. ඇතැම් විට නිවාඩු කාල සීමාව අඩු වැඩි විය හැකි බව ද ඇය ප්‍රකාශ කළා ය.

 

නයෝමිගේ පෞද්ගලික තොරතුරු

 

වයස අවුරුදු 30ක පසු වන නයෝමි අමරසිංහ ගාල්ලේ උපත ලබා, උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ඉගෙනුම ලැබී ය.

 

2012 වසරේදී ඇය කලා විෂය ධාරාව ඔස්සේ සිංහල, භූගෝල විද්‍යාව සහ මාධ්‍ය යන විෂයයන් හදාරමින් උසස් පෙළ විභාගයට පෙනී සිටියා ය.

 

"මට උසස් පෙළ ප්‍රතිඵල අනුව මාධ්‍ය හදාරන්න ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයෙන් අවස්ථාවක් ලැබුණා. ඒත් මම ඒ අවස්ථාව ගත්තෙ නෑ," ඇය පැවසීය.

 

පාසල් සමයේ ඇය බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වූ අතර, පරිසර සංගමයේ ද ක්‍රියාකාරී සාමාජිකාවක විය.

 

රැකියාවේ වගකීම් මොනවා ද?

 

සාමාන්‍යයෙන් කාන්තාවන් භාර නොගන්නා වෙහෙසකර රාජකාරියක ඇය නිරත වී සිටින්නී ය. ඒ පිළිබඳව ඇය විස්තර කළේ, මෙසේ ය.

 

"මූලිකව මට කරන්න තියෙන්නේ මුළු නැව ම ග්‍රීස් කරන එක. පැති ගේට්ටු තියෙනවා. ලයිෆ් බෝට් තියෙනවා. ඇන්කර් සිස්ටම් එක ඒ දේවල් ග්‍රීස් කරන එක තමයි මගේ ප්‍රධාන කාර්යය. ඒකට මට සහයකයෙක් ලැබෙනවා. ඊට අමතරව, මම පයිලට් එම්බාර්ක් කරන එක භාරව ඉන්නවා. අපි වරායට යන්න කලින් නැවට පයිලට් කෙනෙක් නගිනවා. මොක ද, සමහර වෙලාවට අපි කැනල් දිගේ යනකොට අපේ කැප්ටන්ට ඒක තනියම කරන්න බැහැ. වගකීම වැඩි යි. ඒ නිසා පැය බාගෙකට කලින් පයිලට් කෙනෙක් එනවා. එතකොට අපි පැති ගේට්ටු ඇරලා පයිලට් ලැඩර් එක දාලා පයිලට්ව නැවට නග්ග ගත්තාට පස්සෙ පැති ගේට්ටු වහනවා. වරායට ගියාට පස්සෙ එයාව ආරක්ෂිතව බස්සන්නත් ඕන අපි. ඊට අමතරව, මගීන්ට එළියට යන්න අපි ගැංවේ (නැව සහ වරාය අතර මගීන්ට ගමන් කිරීමට යොදන පාලම) සූදානම් කරන්න ඕන. මේක මගී නැවක් නිසා ගැංවේ තුනක් දානවා. තව පින්තාරු කිරීම වගේ දේවලුත් කරනවා. මේ හැම වැඩකදී ම ප්‍රවේශම අතිශයින් වැදගත්."

 

ඉදිරි බලාපොරොත්තු මොනවා ද?

 

"මට පුළුවන් කැප්ටන් වෙනකම් ඉහළට යන්න. හිමින් හිමින් තමයි ඒ දුර යන්න ඕන. මුලින් ම මාස 36 සම්පූර්ණ කරලා, ඔෆිසර් විභාගය කරලා තර්ඩ් ඔෆිසර් විදිහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. මම යන්න පුළුවන් උපරිම දුර යන්න උත්සහ කරනවා. මෙතනින් නවතින්නෙ නෑ."

 

as6ශ්‍රී ලංකා සමාජය තුළ කාන්තාව පහළ තත්ත්වයක තබා සැලකීම නොකළ යුතු බව නයෝමි අමරසිංහගේ අදහස යි

 

කාන්තාවන්ට පණිවුඩයක්

 

ශ්‍රී ලංකා සමාජය තුළ කාන්තාව පහළ තත්ත්වයක තබා සැලකීම නොකළ යුතු බව නයෝමි අමරසිංහගේ අදහස යි.

 

ඇය පෙන්වා දෙන්නේ, කාන්තාවන්ට සාර්ථකත්වයට පත්වීම සදහා සියලු දෙනාගේ සහය ලැබිය යුතු බව ය.

 

"මගේ අදහස නම් පිරිමින් සහ කාන්තාවන් සහයෝගයෙන් වැඩ කරන්න ඕනෙ. සැමියා සහ බිරිඳ ගත්තත්, කාන්තාවන්ගේ ඉදිරි ගමනට ස්වාමි පුරුෂයන් බාධා නොකර උදව් කරන්න ඕන. ඇත්තට ම ලංකාවේ කාන්තාවෝ ගොඩක් බයයි අභියෝග භාර ගන්න. ගොඩක් අය හිතන්නෙ, ගුරුවරියක් වෙන්න,නැත්නම් සුළු රැකියාවක් කරන්න. ඒත් කාන්තාවන්ට ඊට වඩා දේවල් කරලා ලෝකය දිනන්න පුළුවන්. ලේසි රස්සාවල් විතරක් නෙවේ, පිරිමි කරන අමාරු රස්සා පවා කරන්න කාන්තාවන්ට ශක්තිය තියෙනවා. හිත ශක්තිමත් නම් කරන්න බැරි දෙයක් නෑ."

 

නාවික කතක් වෙන්නේ කොහොම ද?

 

"ලංකාවේ තියෙනවා මැරිටයිම් ඇකඩමි කියන ආයතන. රේටිං අංශයෙන් යන්න නම් උසස් පෙළ ප්‍රතිඵල බලනවා. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට සම්මාන සාමාර්ථයක් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මහපොළ, මර්ක් මැරීන්, සාගර විශ්වවිද්‍යාලය වගේ ගොඩක් ආයතන තියෙනවා. ඒ ආයතනවල පාඨමාලා පටන් ගන්න කලින් පුවත්පත් දැන්වීම් පළ කරනවා. ඒ වෙලාවට ඒකට ඉල්ලුම් පත්‍රයක් දාන්න පුළුවන්. ඊට පස්සෙ සම්මුඛ පරීක්ෂණයක් තියලා තෝර ගන්නවා. ඊට පස්සේ මාස 6ක පුහුණුවක් දෙනවා. ඊට පස්සෙ සහතික ඔක්කොම ගත්තා ම ලයිසන් එක ඉල්ලන්න පුළුවන්. ඒක නැතුව නැවක යන්න බැහැ."

 

BBC සිංහල

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...