The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

ජයනිගේ රුසියානු කතා : කිරි ම කන කොලෙස්ටරෝල් නැති රුස්සෝ

T

The Leader Desk

July 13, 2024 • 9:10 AM

ජයනිගේ රුසියානු කතා : කිරි ම කන කොලෙස්ටරෝල් නැති රුස්සෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානුවෝ තරම් කිරිවලින් වැඩ ගන්න රුසියෝ තව ඉන්නවද නම් මම දන්නේ නෑ.
  • ඒ මොනවා වුනත් රුසියාව තමන්ගේ නිෂ්පාදනවල ප්‍රමාණය හෝ ගුණාත්මකබව බිඳකින්වත් අඩු කරගෙන නෑ.
  • ඒ වගේම එක එක බෝතලේ මේදය කොයිතරම් අඩංගු ද කියලත් පැහැදිලිව සඳහන් කරල තියෙනවා.
  • කිරි වලට කෙෆීර් හැන්දක් දාලා පැය 24ක් වගේ තියෙද්දි කිරි ටික ඝන වෙනවා හරියට යෝගට් වගේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රුසියානුවෝ තරම් කිරිවලින් වැඩ ගන්න රුසියෝ තව ඉන්නවද නම් මම දන්නේ නෑ. කිරි නැති කෑමක් රුසියානුවන්ට නැති තරමට රුසියානු ආහාර සම්ප්‍රදායේ බොහොම ඉහළ තැනක් කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනවලට හිමිවෙනවා.


ලංකාවේ අපිට ඉතින් කිරි කිව්වම දියර කිරියි මුදවපු කිරියි නේ ප්‍රධානවම තියෙන්නෙ. සියයට සීයක්ම රජයට අයිති මිල්කෝ සමාගමෙන් එන හයිලන්ඩ් කිරිපිටි... යෝගට්... අර අපි හැමෝටම වගේ නොස්ටැල්ජිමය මිහිරක් ගේන හයිලන්ඩ් කල්කිරි බෝතලේ... යාන්තමින්වත් සෑහෙන තරමට නිෂ්පාදනය කරගන්නවත් මිල්කෝ එකට බැරි වෙලා තියෙනවා නෙ.

 

රුසියානු කිරි කර්මාන්තය කියන්නෙ මහා දැවැන්ත කර්මාන්තයක්.

ඒ වුනාට රුසියානු කිරි කර්මාන්තය කියන්නෙ මහා දැවැන්ත කර්මාන්තයක්. කිරි කර්මාන්තය විතරක් නෙවෙයි මුලු කෘෂි කර්මාන්තයම දුවවන්න මහා හයියක් රුසියානු රජයෙන් ලබාදෙනවා. කිරි ගොවියට ණය වගේම සහනාධාර වෙනුවෙන් ඩොලර් බිලියන ගණන් වෙන් කරන්න රුසියානු රජය පැකිලෙන්නෙ නෑ.


හැම අවුරුද්දකම, ඊට පෙර වසරට වඩා නැවුම් එළකිරි, කිරි ආශ්‍රීත නිෂ්පාදන වගේම අනිකුත් කෘෂි නිෂ්පාදන වැඩි කරගන්නත් අවශ්‍ය සැලසුම් එයාලා සකස් කරනවා.

රුසියානු - යුක්‍රේන යුද්ධය එක්ක තමන්ගේ කිරි ආශ්‍රීත නිෂ්පාදන සහ අනිකුත් කෘෂි නිෂ්පාදන අපනයනය කරන එක රුසියාවට අද ලොකු අභියෝගයක්. මොකෝ රුසියාවට වැටිලා තියෙන ජාත්‍යන්තර තහනම් නිසා වගේම රුසියාවේ මුදල් ගනුදෙනුත් පුදුම තරම් අමාරු වෙලා තියෙන නිසා. ඒ මොනවා වුනත් රුසියාව තමන්ගේ නිෂ්පාදනවල ප්‍රමාණය හෝ ගුණාත්මකබව බිඳකින්වත් අඩු කරගෙන නෑ.

යුද්ධය එක්ක රුසියාවේ තිබුන ඇමෙරිකාව මූලික බටහිර සමාගම් සහ ආයතන සියල්ලම වගේ අකුළගෙන ගියත් රුසියාව කරේ එකට එක කරන එක. ඒ කිව්වේ ගියපු ඒවාට හරියන්න තමන්ගේම නිෂ්පාදනයන් හඳුන්වලා දීපු එක. හැමෝම දන්නවා නේ මැක්ඩොනල්ස්, KFC, කොකා කෝලා, Facebook... වගේ කිසිම දෙයක් තවදුරටත් රුසියාවේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියල.

 

Facebook වෙනුවට VKontakte (VK)

හැබැයි ... KFC වෙනුවට අඳුන්වලා දීපු රොස්ටික්ස්... කොකා කෝලා වෙනුවට කූල් කෝලා... Facebook වෙනුවට VKontakte (VK)... Google තිබුනත් ඒ වෙනුවට Yandex වගේ සියලු විකල්පයන් අද රුසියාවේ අතිශයින්ම ජනප්‍රියයි.


මේ සමාගම් අකුලගෙන යෑමෙන් මොන මොන ප්‍රමාණයෙන් පාඩු රුසියාවට වුනාද කියන්න නම් මම දන්නෙ නෑ. හැබැයි එක දෙයක් කියන්න පුලුවන්... දිගු කාලීනව රුසියාව තමන්ගේ නිෂ්පාදන ආර්ථීකය සංවර්ධනය කරගෙන තියෙනව වගේම තමන්ගෙම රටෙන් අලුත් ව්‍යවසායකයන් සෑහෙන්න තරමින් බිහිකරගන්න සමත් වුනා කියල.

කොහොම හරි ඒවා කිව්වේ අතුරු කතා හැටියට...

ආයෙත් මගේ කිරි කතාවට හැරුණොත්...

රජයේ සියලු ආධාර උපකාරවල හයියත් එක්ක බෙහොම හොඳට පණගහන රුසියානු කිරි කර්මාන්තය තමන්ගේ රටේ මිනිස්සුන්ගේ කිරි අවශ්‍යතාවයෙන් සීයයට අනූවක්ම සපුරනවා කියලයි කියන්නෙ. එහෙව් රටක ඉඳගෙන කිරි කතා නොකිව්වොත් ලොකු අඩුවක් නේ.

 

රුසියානුවෝ නම් ඉතින් තිබහටත් කිරි බෝතල් පිටින් බොනවා.  

රුසියාවෙදි අපිට නැවුම් එළකිරි වගේම පැස්චරයිස් කිරිත් කඩවල් වලින් මිලදි ගන්න පුලුවන්. භාෂාව නොතේරෙන කෙනෙක්ට වුනත් ඒ කිරිවල අඩංගු මේද ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුලුවන් අනිත් ඕනම රටක වගේ බෝතල් මූඩියේ පාට බලලා. ඒ වගේම එක එක බෝතලේ මේදය කොයිතරම් අඩංගු ද කියලත් පැහැදිලිව සඳහන් කරල තියෙනවා. සම්පූර්ණ යොදය සහිත උකුම උකු කිරි බෝතලයක රසත් සුවඳත් හරිම වෙනස්. රුසියානුවෝ නම් ඉතින් තිබහටත් කිරි බෝතල් පිටින් බොනවා.  

කොහොමටත් මම කලින් කියල තියෙනවා වගේම රුසියානුවෝ අපි වගේ තේ එක්ක කිරි බොන්නෙ නෑනේ. එයාලා මේ කිරි කඩෙන් ගත්ත විදියටම සීතලට බොන්න බොහොම ප්‍රියයි. අපිට වගේ කිරි පිටි බීමක් නම් රුසියානුවන්ට නෑ...

 

මේ තියෙන්නේ කෙෆීර් පානය වගේම කෙෆීර් කියන ධාන්‍ය වර්ගය... කිරි, කෙෆීර් වෙන්නේ මෙන්න මේ කෙෆීර් ධාන්‍ය නිසා

දියර කිරි ඇරුණාම කිරි වලින් හදාගන්න එක එක විදියේ බීම වර්ග මහ ගොඩක් රුසියාවෙදි දකින්න පුලුවන්. කෙෆිර්* (Kefir) කියන්නේ අන්න එහෙම ජනප්‍රිය පානයක්. කෙෆීර්, උතුරු කොකෙසියානු කඳුකර කලාපයෙන් පැන නැගුන පානයක්... අදටත් කෙෆීර් කියන්නෙ නැගෙනහිර යුරෝපයේ රටවල බොහොම සුලබ පානයක්.


මේක අපිට තේරෙන විදියට කිව්වොත් යෝගට් පානයක් වගේ... හැබැයි ඉතින් යෝගට් පානයකුත් නෙවෙයි. හරීම ප්‍රනීත මිහිර රසයක් දෙන රුසියානු යෝගට් පානය කියන්නෙ මගේ ප්‍රියතම බීමක්.

ඒ වුනාට කෙෆීර් කියන්නේ සිහින් ඇඹුල්මය රසයක් තියෙන උකුම උකු පානයක්. යෝගට්වලටත් වඩා ප්‍රොබයොටික් වගේම හිතකර බැක්ටිරීයා වැඩි ගුණදායක පානයක් කියලයි රුසියානුවෝ කෙෆීර් ගැන කියන්නෙ. ඒ වගේම දවස ගාණේ වුනත් කෙෆීර් බොන්න පුලුවන්නම් ශරීරයට බොහොම හොඳයි කියලත් කියනවා. ඔන්න කොලොස්ටරෝල් පාලනයටත් ඇගේ බර අඩුකරගන්නත් කියාපු පානයක්.

 

450807303 8229719370405475 7104666907595294913 nසුපර්මාර්කට්ටුවල ගන්න තියෙන රස උකු කිරි බෝතල්

කඩවල්වල ඕන තරම් කෙෆීර් බෝතල් විකුණන්න තියෙනවා. හැබැයි නැගෙනහිර යුරෝපයේ රටවල මිනිස්සු ගෙවල්වලදිත් බොහොම පහසුවෙන් මේක හදාගන්නවා. කෙෆීර් හදන්න නම් කෙෆීර් කියන ධාන්‍ය වර්ගය තියෙන්නම ඕන. ඒක හරියට ලොකු ගෝවා මලක් පොඩි කෑලිවලට කඩා ගත්තම වගේ පෙනුමක් තියෙන්නෙ. මෙන්න මේක තමයි කිරි ටික පැසවන්න පාවිච්චි කරන්නෙ. කිරි වලට කෙෆීර් හැන්දක් දාලා පැය 24ක් වගේ තියෙද්දි කිරි ටික ඝන වෙනවා හරියට යෝගට් වගේ. ඊට පස්සේ ඉතින් බොන්න... පලතුරු ස්මූති හදන්න වගේම ඕට්ස් ... පෑන්කේක් එක්ක කෑමට ගන්නත් පුලුවන්.

ඒ ඇරුණාම ඉතින්  prostokvsha varents snezhok ayran syvorotka ryazhenka  ඔන්න ඔහොම දිව පැටලෙන නම් වලින් හඳුන්වන කිරි වලින් හදාගන්න තව පාන වර්ග ගොඩක් රුසියාවේ තියෙනවා. ඒ හැම එකම වගේ නැගෙනහිර යුරෝපේ රටවල බොහොම ප්‍රචලිතයි. මේවා අතරේ තියෙන්නෙ බොහොම සියුම් වෙනස්කම් විතරක් වුනාට රසය එකකට එකක් වෙනස් කියලයි මේවායේ රස දන්නෝ කියන්නේ.

 

450511668 8229717860405626 2940608849165804165 nරෙෂෙන්කා එහෙම නැත්නම් කැරමල් වුන Baked milk

රෙෂෙන්කා*(Ryazhenka) කියන්නෙ නොපැසුණු කිරි (non pasteurized) අඩුම තරමින් පැය 8ක්වත් මඳ ගින්නේ උණුකරල හදාගන්න බීමක්. රෙෂෙන්කා, යුක්‍රේනියානු සොයා ගැනීමක්. මේකට Baked Milk කියලත් කියනවා. මොකෝ ඉස්සරම රෙෂෙන්කා හදල තියෙන්නෙ මැටි භාජනයක කිරි සිනී නිසි අනුපාතයට මුහුකරල සාම්ප්‍රදායික යුක්‍රේනියානු පෝරණුවක දවසක්ම මඳ ගින්නේ පැහෙන්න දීලා. එහෙම පැහෙද්දි ඇමයිනෝ ඇසිඩ් සහ සීනි ප්‍රතික්‍රියාවෙන් කිරි මතු පිට කැරමල් තට්ටුවක් හැදෙනවා. දැන් නම් ඉතින් ප්‍රෙෂර් කුකර්වලත් මේක හදනවා. ඒ ප්‍රතික්‍රියාවෙන් සුදුපාට කිරි ටික කැරමල් පැහැයක් ගන්නවා. මේක ඉතින් දරුවන් අතරෙත් බොහොම ජනප්‍රිය රසවත් පානයක් කියලයි කියන්නෙ.


රුසියානු සංස්කෘතියේ මහා පදාසායක් අල්ලගත්ත කෑමක් තමයි ත්වෝරග්*(tvorog) කියන්නෙ. මේක මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ ප්‍රචලිත වුන කෑමක්. ඉංග්‍රීසි සංස්කෘතිය ඇතුළේ කොටේජ් චීස් (Cottage cheese) කියන්නෙ මේ ත්වෝරග් වලට. හැබැයි රුසියානු සංස්කෘතිය ඇතුළේ මේක චීස් වර්ගයක් හැටියටම සලකන්නෙ නෑ.

 

450125385 8229719547072124 8721965369939470216 nමේ තියෙන්නේ ත්වෝරග්... ජෑම්, පළතුරු, මී පැණි විතරක් නෙවෙයි ස්මිතානා එක්ක මුහු කරලත් කන්න පුලුවන් රස කෑමක්

ත්වෝරග් හදන්නෙ යොදය සහිත කිරි සහ බටර් මිල්ක් හරි අනුපාතවලට මුහු කරගෙන උදුනක රත්කරලා ඊට පස්සෙ කාමර උෂ්ණත්වයේ දවසක් නිස්කාන්සුවේ ඉන්න දීලා. මේ විදියට මේ වැඩේ දින දෙකක් හෝ තුනක් කරනවා. ආන්න ඊට පස්සේ පෙරලා ගන්නේ ත්වෝරග්. මේක බොහොම ගුණදායක කෑමක් කියලයි කියන්නෙ.


මම මේ ගෙදරට ආපු දවසෙම, රෝමා, මට ගම අඳුන්වලා දෙන්න ගම වටා සවාරියක් අරන් ගියා. ස්ටේසම... මෙට්‍රෝව... අප්තෙකා (ෆාමසි)... කෑම කඩ... බැංකුව... අවහන්හල්... පල්ලිය... ආදි විදියට ගිහින් අන්තිමට පෙන්නුවේ ගෙදර කිට්ටුවෙන්ම තියෙන රසකැවිලි කඩයක්... රෝමා ඒක පෙන්නලා කිව්වේ පෑන් කේක් කන්න කියාපු තැන කියල. අන්තිමේ ඒ පුංචි රසකැවිලි කඩේ, මගෙත් ප්‍රියතම රසගුලාව වුනා...

 

450612744 8229719883738757 3130380665711486976 nපිල්මේනි එක්ක ස්මිතානා නැතුව පිල්මේනි කාලා වැඩක් නෑ... පිල්මේනි සුප් එකටත් ස්මිතානා හැන්දක් නම් අනිවාර්යයි

අධිශිතකරණවල තැම්පත් කරපු පිල්මේනි වර්ග... පෑන් කේක්... ත්වෝරග් වලින් හදන සපිකන්නා* (Zapekanka )... සීර්නිකි*(Syrniki)... රුසියානු කට්ලට් වර්ග වගේම රුසියානු රසකැවිලි ගන්න එන මිනිස්සුන්ගෙන් කොයිවෙලාවකවත් ඒ කඩේට නිදහසක් නෑ. මාත් ඉතින් හවස්වරුවලට ඒ සෙනගට එකතු වෙලා ග්‍රෑම් ගාණට කිරල කිංකාලි, පිල්මේනි, පෑන්කේක් අරන් ආවේ නැති දවසක් නැති තරම්.

රුසියානුවෝ ත්වෝරග් පුරවපු පෑන් කේක්... ත්වෝරග් පුඩිම නැතිනම් සපිකන්කා... සීර්නිකි... උදේ කෑමට එකතු කරගන්න බොහොම ප්‍රියයි. රසම රස සපිකන්කා ගැන මම කියල තියෙනවා නේ. සීර්නිකි කියන්නෙත් තනිකරම ත්වෝරග්වලින් හදන... කටින් කට මුද්දරප්පලම් හැපෙන කෑමක්... ඒක හරියට බර්ගර් පැටී එකක් වගේ.

දවසක් අර රස කැවිලි කඩෙන් සීර්නිකි ගන්නවද නැද්ද කියල මම ලතැවෙවි ඉන්නවා දැකපු රුසියානු කාන්තාවක් මට කිව්වා, බටර් ටිකක් පෑන් එකට දාලා දෙපැත්ත රත් කරල කාලා බලන්න... ඔයා හැමදාම මෙතනට ඒවි සීර්නිකිම ගන්න කියල. එයා ඒක කොච්චර බර කරල... තොල් උල්කරල... ඇස් හීනි කරල ඇඟිළි සංඥා වලින් නියමයි... කියපු හැටියෙන්ම මම හිතුවා කාලා බලනවා කියල... ආන්න එදායින් පස්සේ මම සීර්නිකි නොකාපු දවසක් නැති තරම්.

 

450516246 8229718617072217 1058769180362266481 nබටර් ටිකකින් දෙපැත්ත රත් කරගත්ත සීර්නිකි

ත්වෝරග් ඉතින් එක එක රසට විකුණන්න තියෙනවා. මුකුත් නැතත් නිකන්ම ත්වෝරග් ටිකක් පාන් පෙත්තක් උඩින් තියල මී පැණී බිංදුවක් වත් කරල උදෑසන කෑමට එකතු කරගත්තත් ඒ හොඳටෝම ඇති. තව ඉතින් රුසියානුවෝ ජෑම්... සීනි... පළතුරු... condensed milk  එහෙම නැත්නම් අපි ටින්කිරි කියන්නේ... මේ ඕනම දෙයක් එක්ක ත්වෝරග්  විතරක්මත් කෑමට ගන්නවා.

මේ ත්වෝරග් වලින් හදන... දිව්‍ය ලෝක රස මවන තව කෑමක් තමයි සිරොක්*(Syrok) කියන්නෙ. මේක හරියට චීස් කේක් බාර් එකක් වගේ. දිව, රස තව තව ඉල්ලද්දි කටවල් දෙක තුනෙන් ඉවර වෙන පුංචි බාර් හැටියට තමයි සිරොක් මිලදි ගන්න තියෙන්නෙ.

 

450555445 8229718813738864 5877355592480691330 nමිහිරිම මිහිරි රසයක් දෙන සිරොක් එහෙම නැතිනම් චීස් කේක් බාර්... හැබැයි මේක අපි දන්න චීස් කේක් රස නම් නෙවෙයි

ත්වෝරග්, බටර්, සීනි එක්ක මුහු කරල හදන මේ සිරොක් බාර් චොක්ලට් ආවරණයක් ඇතුවත්... නැතුවත්... කැරමල් මැදි කරලත් ...කැමති විදියකින් මිල දී ගන්න පුලුවන්. කඩේකට ගියාම මේවා ඉතින් ලොකු පොඩි වෙනසක් නැතුව රුසියානුවෝ තරගෙට මිලට ගන්න හැටි බලන්න ලස්සනයි.  

රුසියානු ආහාර සම්ප්‍රදායේ හදවත කියල තමයි පිල්මේනි*(pelmeni) වලට කියන්නෙ. පිල්මේනි එක එක ප්‍රමාණයෙන් කඩවලින් ගන්න පුලුවන්. හැබැයි ඉතින් ඒවා ඔක්කෝටම කියන්නෙත් පිල්මේනි කියල නෙවෙයි. ප්‍රමාණයෙන් විසාල ඒවාට රුසියානුවෝ කියන්නෙ කිංකාලි*(khinkali) කියල. කිංකාලි කියන්නෙ ජොර්ජියානු කෑමක්. ලොකු කිංකාලි ගැඹුරු තෙලේ බැඳලා කෑමට ගන්න එකත් ජෝර්ජියානු සම්ප්‍රදායක්.

 

450421592 8229720097072069 7740139917557571072 nජෝර්ජියානු කිංකාලි... බැදලත්, වතුරෙන් තම්බලත් කිංකාලි කෑමට ගන්නවා

දැන් මේ පිල්මේනි, කිංකාලි නොදැන හිටියත් ඩම්පිලින්ග්ස්*(dumplings) ගැන නොදැන ඉන්න හැටියක් නෑනේ.

චීන්නුන්ගේ ඩම්ප්ලින්ග්ස් කියන්නෙ ලෝකේ පුරාම විවිධ ආහාර සංස්කෘතින් අතරට එකතුවෙලා... විවිධ රසයන්ගෙන් හැඩයන්ගෙන් ලෝක පුරාම වගේ කෑම මේස සරසන කෑමක් නේ. නැගෙනහිර යුරෝපයේ රටවල වගේම බටහිර යුරෝපයෙත් අප්‍රිකානු රටවලත් මේ ඩම්ප්ලින්ග්ස් ප්‍රචලිත වෙලා තියෙන්නෙ තමන්ට අනන්‍ය රසයවලින්... හැඩවලින් නේ. ඉතින් මේ පිල්මේනි හරි කිංකාලි හරි කියන්නෙත් ඩම්ප්ලිග්ස්ම තමයි... හැබැයි ඉතින් ඒවා නැගෙනහිර යුරෝපයට අනන්‍ය රසයකින් හැඩයකින් තමයි එන්නෙ...  

පිල්මේනි, මස් වර්ග පුරවල වගේම ජෑම්, ත්වෝරග් පුරවලත් රුසියානුවෝ කෑමට එකතු කර ගන්නවා. කිංකාලි නම් ඉතින් මස් පුරවපුවා තමයි මම දැකලා තියෙන්නෙ.
අපි දන්න ඩම්ප්ලින්ග්ස් කෑමට ගන්නේ සෝයි සෝස්, චිලී සෝස් එක්ක නේ. ඒ වුනාට රුසියානුවෝ මස් පුරවපු පිල්මේනි හරි කිංකාලි හරි කෑමට ගන්නේ ස්මිතානා* (Smetana) එක්ක.

450673995 8229720613738684 8013568194249600773 nස්මිතානා... රුසියාවට එන කවුරු වුනත් කන්නම ඕන පුදුම තරම් රස කෑමක්

 

ස්මිතානා කියන්නෙත් තනිකරම කිරිවලින් හදන ක්‍රීම් එකක්. මේක හරියට අපේ මුදවපු කිරි වගේ රසයක් තියෙන්නෙ. ඒ වුනාට ඉතින් එහෙම හෙලවෙන දියාරු ගතියක් නම් නෑ... පුදුම තරම් කිරි රසයයි.


මේක ඇත්තටම sour cream  එකක්. ස්මිතානා තවර නොගෙන... පිල්මේනි, කිංකාලි කෑමක් රුසියානුවන්ට නෑ.

අහ් ඒ විතරක් නෙවෙයි මස් පුරවපු බ්ලින්චිකි (පෑන්කේක්)... සුප් වර්ග... විශේෂයෙන් බීට්රූට් සුප් (broscht soup) එකට... ස්මිතානා හැන්දක් දෙකක් එකතු නොකරනවා නම් ඒක කොහොත්ම රුසියානු කෑමක් වෙන්නෙත් නෑ. අතුරුපසක් හැටියට පවා රුසියානුවෝ ස්මිතානා කෑමට ගන්නවා... සලාදයකට අපි මයෝනීස් දානවා වගේ රුසියානුවෝ ස්මිතානා හැන්දක් එකතු කරනව...

 

450531564 8229720480405364 780118423285635501 nබීටරූට් සුප්, ස්මිතානා නැතුව නම් රුසියානුවෝ බොන්නේ නෑ

ඔය මොන මොන විදියට කෑවත් ස්මිතානා වලට සීනි ඇට දෙකක් විසි කරලත් මම ඉඳ හිට කනවා. ආන්න ඒ වෙලාවට දැනෙන රස කියන්න හරිම වචනයක් මට හොයා ගන්න අපහසුයි.

ස්මිතානා කියන්නෙත් බොහොම ගුණදායක කෑමක්. කොලෙස්ටරෝල් තියෙන කෙනෙක්ට වුනත් මේද ප්‍රමාණය අවම ස්මිතානා කන්න කිසිම බාධාවක් නෑ.
රුසියානු අයිස්ක්‍රීම් ගැනත් නොකිව්වොත් මේ කිරි කතාව කොහොත්ම සම්පූර්ණ වෙන්නෙ නෑ.

සෝවියට් යුගයේ අයිස්ක්‍රීම්, සෝවියට් සමූහාණ්ඩුව ඇතුළේ පුදුමාකාර තරම් ජනප්‍රියව තිබුනා කියල තමයි මගේ මිත්‍රයෝ කියන්නෙ. ඒ කාලේ සෝවියට් දේශයේ සංචාරය කරන්න එන කෙනෙක්ට ඒකට ප්‍රධානවම හේතු වුනේ, රුසියානු බැලේ නාට්‍ය... රාජ්‍ය සර්කස් සංදර්ශන සහ අයිස්ක්‍රීම් කියලයි කියන්නෙ.

පුදුමකාර තරම් කිරි රසයකින් අනූන රුසියානු අයිස්ක්‍රීම් මේ ගිම්හාන කාලේ නම් නොකන කෙනෙක් නෑ. රුසියාවේ අදටත් ජනප්‍රියතම අයිස්ක්‍රීම් වර්ගය තමයි සෝවියට් සාමූහාණ්ඩුවෙත් කොපෙක් 26 ත් 50ත් අතර වගේ ගාණකට අලෙවි කරපු ප්ලොම්බිර්*(plombir) කියන්නෙ.

450809447 8229717597072319 861819408154460088 nරසම රස Plombir එක්ක රහම මිතුරු හමු

 

සාමාන්‍ය අයිස්ක්‍රීම් සහ ප්ලොම්බිර් අතර තියෙන වෙනස තමයි ප්ලොම්බිර් හදන්න පාවිච්චි කරන්නේ තනිකරම ස්වභාවික දේවල්. වැනිලා රසැති ප්ලොම්බිර් වල ටොපින් එක හැටියට චොක්ලට්... මී පැණි... පළතුරු...  ජෑම්... වගේ ස්වභාවික දේවල් තමයි ඒ කාලේ පාවිච්චි කරල තියෙන්නෙ.


රුසියානු අයිස්ක්‍රීම්වල තියෙන හොඳම දේ තමයි සිනී රසයට වඩා පුදුම තරම් කිරි සහ ක්‍රීමි රසයක් දිවට දනවන එක.

මේ විදියට කිරි එක්ක බැඳුන මහා කෑම ගොඩක් රුසියානු කෑම සම්ප්‍රදායේ තියෙනවා.

මගේ අල්ලපු ගෙදර ඉන්න ඉරීනා ආච්චිගේ විසිත්ත කාමරේ හරියට අපේ බුලත් හෙප්පු වගේ භාජනවල ටොෆි, චොක්ලට්, සිරොක් නම් වරදින්නෙ නෑ. කවුරු ගියත් එයා ඒවාගෙන් දෙක තුනක් අත මිට මොළවන්න අමතක කරන්නෙත් නෑ. මෙහේ කවුරුත් එහෙම රසකැවිල්ලක් ටොෆියක් නැතුව තේ බොන්නෙත් නෑ.

 

450483086 8229718923738853 4368785183742820710 nCCCP කියන්නේ තවමත් රුසියාවේ බොහොමයක් තැන්වල දකින්න පුලුවන් අකුරු ටිකක්. The Union of Soviet Socialist Republics එහෙම නැත්නම් සෝවියට් සමාජවාදි සමූහාණ්ඩුව කියන එක තමයි CCCP කියන මේ රුසියානු අකුරුවලින් කියන්නේ. සෝවියට් යුගයේ මේ Plombir අයිස්ක්‍රීම් කොච්චර ජනප්‍රිය වුනාද කියනව නම් අදටත් ඒ නමින් ඒ පැරණි සෝවියට් රෙසිපියෙන් මේ අයිස්ක්‍රිම් හදන්න උනන්දුවක් තියෙනවා කියලයි කියන්නේ

ඇහුවොත් එයා හැමදාම රෑට සුප් එකක් තමයි බොන්නෙ. ස්මිතානා හැන්දක් දාගෙන බීට්රූට් සුප් බොනවා කියල තමයි කියන්නෙ.

සමහර හැන්දෑවරුවල එයා එයාගේ සද්දන්ත ශරීරය ජනේලෙට හිර කරගෙන ජනෙල් පඩිය උඩින් වාඩි වෙලා බොහොම සැහැල්ලුවෙන් මී මුණුපුරන් ගෙනත් දෙන අයිස්ක්‍රීම් කකා ඉන්නවා පේනවා.

ඔය මොනව කෑවත් එයාලට දියවැඩියාව කොලෙස්ටරෝල් තියෙනවා කියල නම් මට මේ හිටපු කෙටි කාලෙට කාගෙන්වත් අහන්න ලැබුණේ නෑ. මම කොලෙස්ටරෝල් හැදෙයි කියල බයේ සාලා (ඌරු තෙල් කෑලි) කන්න බය වෙන කොට රෝමා කියන්නෙ එහෙම දෙයක් නෑ... මේ අපි කන්නේ... බය නැතුව කන්න කියල. (මේකෙන් කියන්නේ රුස්සන්ට කොලෙස්ටරෝල් නෑ කියල නෙවෙයි ලංකාවේ වගේ සුලබ නෑ කියල)

උස මහත රුසියන්කාරයෝ එහෙම කියද්දි අඩි පහට ඉන්න මම මොකට බය වෙනවද කියල මාත් ඉතින් කනවා.

 

450769503 8229718680405544 5981196989473313930 nකටින් කට මුද්දරප්පලම් හැපෙන මගේ ප්‍රියතම සපිකන්කා ගැන මම කියල තියෙනවා නේ.

මොන මොන ප්‍රශ්න මතු වුනත් රුසියාව තමන්ගේ ආහාරවල ප්‍රමිතිය ගැන තවමත් බොහොම තදට කල්පනා කරනවා කියලයි මේ කෑම සම්ප්‍රදාය අස්සේ පේන්න තියෙන්නේ.  

අවුරුදු 88 ක ඉරීනා ආච්චිට යස අගේට අයිස් ක්‍රීම්, රසකැවිලි කන්න පුලුවන් නම් මට බැරි ඇයි කියල කැරමල්... වැනිලා... පිස්තාචියෝ... චෙරි... බෙරි... ප්ලොම්බිර් එකක් අරන් මේ ගිම්හාන කාලේ හෑන්දෑවරුවල මමත් ඉතින් මගේ සුපුරුදු කැලෑ සවාරයේ යනවා...

 

(මාධ්‍යවේදිනී, ජයනි අබේසේකර - රුසියාවේ සිට..)
jayaniabeysekara89@gmail.com

(Jayani Abeysekara ගේ ෆේස්බුක් පිටුවෙන් )


සබැඳි පුවත් :


ජයනිගේ රුසියානු කතා : රුසියානු ඉස්කෝල, දරුවන් සහ බාබූෂ්කලා...

ජයනිගේ රුසියානු කතා : මාළු වැල් එක්ක බියර් බොන රුස්සන්, ජෝර්ජියන් කචාපූරි සහ උස්බෙක් ප්ලෝෆ්

ජයනිගේ රුසියානු කතා : රුස්සන්ගේ මල් පිස්සුව සහ එලවලු පලතුරු පිකල්

ජයනිගේ රුසියානු කතා : ලෙමන් පෙති එක්ක සෙයිලෝන්ස්කි චායි බොන රුසියානුවෝ

බිරියෝසා ජූස් සහ ඔත්තේ වීදුරු බොන රුස්සෝ

රුසියානු කතා - (ජයනි අබේසේකර)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජයනිගේ රුසියානු කතා : කිරි ම කන කොලෙස්ටරෝල් නැති රුස්සෝ | The Leader