උපතින්ම දෘශ්‍යාබාධිත සිසුවියක වූ ඇය, විභාගයට පෙනී සිටියේ බ්‍රේල් මාධ්‍යයෙනි. මෙය දිරිය දියණියක පිළිබඳ කතාවක් පමණක් නොව, සමාජයක් ලෙස අද වන විට අප ලබා සිටින ජයග්‍රහණයන් ගැනද පිළිබිඹුවකි.
ඉන් පළමුවැන්න, විශේෂ අවශ්‍යතා සහිත වූවන්ටද අධ්‍යාපනයේ සමාන අවස්ථා තිබිය යුතු බව රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන තිබීම හා සීමා සහිතව වුවද ඒ වෙනුවෙන් මෙතෙක් ඉටු කර ඇති කාර්යභාරයයි. අනෙක් වැදගත් ජයග්‍රහණය නම්, ආබාධිතබව සම්බන්ධයෙන් සමාජයේ ඇති වී තිබෙන ආකල්පමය දියුණුව හා ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහි දෙමාපියන් දක්වන කැපවීමයි. එහෙත් ඉඳහිට දැල්වෙන එවැනි දුලබ තරු එළි කෙරෙහි මිස අහසෙහි අඳුරු කලාපය දෙස සමාජයේ අවධානය යොමු නොවන තරම්ය.
විශේෂ අධ්‍යාපනයේ අයිතිය
මේරි චැප්මන් පූජකවරිය විසින් මෙරට පළමු විශේෂ පාසැල (වර්තමානයේ රත්මලාන අන්ධ විද්‍යාලය හෙවත් උපකෘත විශේෂ පාසල) ආරම්භ කිරීම, මෙරට විශේෂ අධ්‍යාපනයේ ආරම්භක පදනම විය
1912දී බ්‍රිතාන්‍ය ජාතික මේරි චැප්මන් පූජකවරිය විසින් මෙරට පළමු විශේෂ පාසැල (වර්තමානයේ රත්මලාන අන්ධ විද්‍යාලය හෙවත් උපකෘත විශේෂ පාසල) ආරම්භ කිරීම, මෙරට විශේෂ අධ්‍යාපනයේ ආරම්භක පදනම විය.
"විශේෂ ඉගෙනුම් අධ්‍යාපන අවශ්‍යතා සහ ආබාධිත දරුවන් ඇතුළු සියලු දෙනාගේම නිදහස් අධ්‍යාපනය සුරැකීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත යුතු"යැයි මෙරට නිදහස් අධ්‍යාපනයට පදනම් වූ 1943 කන්නංගර වාර්තාවෙන් පිළිගැනුණු අතර, 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවකදීම සර්ව සාධාරණ මෙන්ම සමාන ඉඩ ප්‍රස්තා ලබා ගැනීමට ඇති අයිතිය සහතික කෙරිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන අරමුණුවල හතරවන සහස්‍ර ඉලක්කයේ උප අරමුණක් වන්නේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති ළමුන් සඳහා අන්තර්කරණය සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි. ශ්‍රී ලංකාවද මෙම අරමුණු ඉටු කිරීම පිණිස බැඳී සිටී.
ප්‍රතිපත්ති රාමුවේ 'සහතිකය'
ජාති, වර්ග, කුල, ආගම්, ජාතිකත්වයන්, භාෂා ආදායම හෝ ආබාධිත තත්ත්වයන් කිසිවක් නොසලකා සෑම දරුවකු සඳහාම අධ්‍යාපනයට ඇති සමාන ප්‍රවේශය තහවුරු කිරීම
මේ වන විට රජය විසින් ඉදිරිපත් කොට ඇති 'ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව'ද විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ අධ්‍යාපන අයිතිය පිළිබඳව අවධාරණය කොට තිබේ.
එම ප්‍රතිපත්ති රාමුවේ සඳහන් මූලික අභිමතාර්ථ 7න් එකක් වන්නේ, "ජාති, වර්ග, කුල, ආගම්, ජාතිකත්වයන්, භාෂා ආදායම හෝ ආබාධිත තත්ත්වයන් කිසිවක් නොසලකා සෑම දරුවකු සඳහාම අධ්‍යාපනයට ඇති සමාන ප්‍රවේශය තහවුරු කිරීම"යි.
ප්‍රතිපත්ති රාමුවෙන් අපේක්ෂිත පරිවර්තනීය වෙනස්කම් 41න් 15 වැන්න "විශේෂ අවශ්‍යතා සහිත සිසුන් හට නිසි අධ්‍යාපන අවස්ථා ලබාදීම සහතික වනු පිණිස අවශ්‍ය පහසුකම් සලසන, සැමට විවෘත වූ ඉගෙනුම් ප්‍රවේශ හඳුන්වාදීම"යි.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් පවතින අධ්‍යාපන ක්‍රමයෙහි පූර්ණ ප්‍රතිසංස්කරණයක් යෝජනා කර ඇති අතර, සැමට ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දැනුම ලබාදීම එහි ප්‍රමුඛ ඉලක්කයකි.
ඉහත වගන්තිවලින් කියවෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ටද එම අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා සැලසීම සහතික කරන බවයි. මේ සහතිකය වලංගු එකක් බවට පත් කර ගැනීම කෙතරම් භාරදූර කාර්යයක්දැයි අවබෝධ කර ගත හැකි වන්නේ, විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමෙනි.
විශේෂ පාසල් හා විශේෂ ඒකක
විගණයේ නිගමනය වී ඇත්තේ, බලධාරී ආයතනවල නිසි අවධානයක් නොලැබීම හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා අහිමි වී ඇති බවයි.
2021 පාසල් සංගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ පළාත් 9 තුළ විශේෂ පාසල් 30ක් ක්‍රියාත්මක වන අතර ඒවායේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 2391කි. පළාත් 5කට අයත් සියලු දිස්ත්‍රික්කවල අවම තරමින් එක් විශේෂ පාසලක් හෝ පවතින නමුත් උතුර, නැගෙනහිර, උතුරු මැද හා මධ්‍යම පළාත්වලට අයත් දිස්ත්‍රික්ක 7ක විශේෂ පාසල් නොමැතිවීමද කැපී පෙනෙයි.
විශේෂ පාසල් හැරුණු විට, දිවයින පුරා රජයේ පාසල් 700ක පමණ විශේෂ අධ්‍යාපන ඒකක පවත්වාගෙන යන අතර සිසුහු 7290ක් එම ඒකකවල අධ්‍යාපනය ලබති. එහෙත් 2016 වසරේදී සිදු කළ ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණයෙන් හෙළි වූ පරිදි ආබාධිතබව නිසා පාසල් නොයන, එහෙත් පාසල් යා යුතු වයසේ දරුවන් සංඛ්‍යාව 19,123කි. අධ්‍යාපන ඇමතිවරයා මෑතකදී ප්‍රකාශ කළ පරිදි, වසරකදී උපදින දරුවන්ගෙන් 6000-8000 අතර පිරිසක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ය.
'ආබාධිත පුද්ගලයන් අධ්‍යාපනය හා වෘත්තීය වශයෙන් සවිබල ගැන්වීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවල මැදිහත්වීම' සම්බන්ධයෙන් 2015 වසරේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කළ කාර්යසාධක විගණනයකින් මෙම ක්ෂේත්‍රයේ පවතින දුබලතා රැසක් අනාවරණය කෙරිණි.
දිවයින පුරා රජයේ පාසල් 700ක පමණ විශේෂ අධ්‍යාපන ඒකක පවත්වාගෙන යන අතර සිසුහු 7290ක් එම ඒකකවල අධ්‍යාපනය ලබති.
බස්නාහිර පළාතේ විශේෂ අධ්‍යාපන ඒකක 25කට අදාළව එම විගණනයේදී අනාවරණය වූයේ ඉන් පාසල් 15කට නිසි ප්‍රවේශ මාර්ගද, 13කට අධ්‍යාපන උපකරණද, 19කට වැසිකිළි පහසුකම්ද, 4කට ගුරුවරුන්ද නොමැති බවයි. 2014 වර්ෂයේදී දිවයින පුරා විශේෂ අධ්‍යාපන ඒකකවල ගුරු හිඟය 411ක්ව තිබියදී, විශේෂ අධ්‍යාපන පුහුණුව ලබා ඇති ගුරුවරුන් 355ක් සාමාන්‍ය සිසුන්ට ඉගැන්වීම සඳහා යොදවා තිබූ බවද එම වාර්තාව හෙළි කර තිබේ. විගණයේ නිගමනය වී ඇත්තේ, බලධාරී ආයතනවල නිසි අවධානයක් නොලැබීම හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා අහිමි වී ඇති බවයි.
චක්‍රලේඛ සහ යථාර්ථය
මෙම චක්‍රලේඛවල සඳහන් කරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නම්, දෙමාපියන්ගේ වත්පොහොසත්කම කුමක් වුවත් විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත විය යුතුය.
මේ වන විට විශේෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් බලපවත්වන චක්‍රලේඛ හා උපදෙස් සංග්‍රහ දෙකක් තිබේ. එනම් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ 2020.12.03 දිනැති අංක 37/2020 චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය සහ 2022.09.08 දිනැති සහ අංක 33/2022 දරන විශේෂ අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහයයි. අදාළ විෂය පිළිබඳ පූර්ණ උපදේශනයක් එමගින් සපයා ඇත.
ඇත්ත වශයෙන්ම මෙම චක්‍රලේඛවල සඳහන් කරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නම්, දෙමාපියන්ගේ වත්පොහොසත්කම කුමක් වුවත් විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත විය යුතුය. එහෙත් ප්‍රායෝගික තත්ත්වය ඊට බෙහෙවින්ම වෙනස් බවට, ගිනිගත්හේනේ කීර්ති චන්ද්‍රසිරි සිසුවාගේ කතාව සාක්ෂි සපයයි. කොඳුඇටපෙළෙහි ආබාධිත තත්ත්වයක් නිසා ඔහුට පාසල් යෑමේ අවස්ථාව අහිමි වූ ඔහු, නිවසේ සිට විභාගයට සූදානම් වී, පෙනී සිටි විෂයයන් තුනටම සාමාන්‍ය සාමාර්ථ හිමි කර ගැනීමට සමත් විය.
"මගේ දරුවා උසස් පෙළට එක දවසක්වත් ඉස්කෝලේ ගියේ නැහැ. විභාගෙට ලියන්න ගියේ අයියාගේ කර මතින් ගෙදර ඉඳලා මීටර් හාරසීයක් විතර ප්‍රධාන පාරට ඇවිත්, එතැන ඉඳලා ත්‍රීරෝද රථයකින්. පිටවල ඉඳලා ගිනිගත්හේන විද්‍යාලයට රුපියල් තුන්දහස් පන්සියයක් ගන්නවා. විභාගය තිබ්බ දවස් ටිකට රුපියල් තිස් හය දහසක් වියදම් වුණා." කීර්තිගේ මව වන ගුණවතී මහත්මිය පැවසුවාය. කීර්තිට පාසල් යෑමට නොහැකි වූයේ මේ වියදම දෙමාපියන්ට කෙසේ වත් දරා ගැනීමට නොහැකි බැවිනි.
'අන්තර්කරණයේ' අරමුණු ඉටු වේ ද?
නිර්දේශවලට අනුව විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වයස අවු. 3දී මුල් ළමා විය සංවර්ධය සඳහා යොමු කළ යුතු අතර අවු. 4 සිට විශේෂ අධ්‍යාපනය සඳහාද, ඉන් පසුව අන්තර්කරණයටද යොමු කළ යුතුය.
විශේෂ අධ්‍යාපනය අවශ්‍ය වන සිසුන්ට වෙනම ඉගැන්වීමේ ක්‍රමවේදය පසුව 'අන්තර්කරණ අධ්‍යාපනය' දක්වා වෙනස් වූ අතර එයින් අදහස් කරන ලද්දේ අනාබාධිත සිසු දරුවන් සමග ඒ හා සමව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීමය. අද වන විට ලෝකයේ එයිනුත් ඔබ්බට ගමන් කොට තිබේ. අද විවිධ හැකියාවන් සහිත පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ universal designing of learning සංකල්පයයි. එනම් විවිධ හැකියාවන් ඇති දරුවන්ට අවැසි ලෙස සියල්ල නිර්මාණය වීමය. පොත්පත්, උපකරණ, පරිසරය ඇතුළු සියල්ල ඊට අයත් වේ. ඒ අතින් ලංකාවේ විශේෂ අධ්‍යාපනය පවතින තත්ත්වය ඉතාම කනගාටුදායකය.
නිර්දේශවලට අනුව විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වයස අවු. 3දී මුල් ළමා විය සංවර්ධය සඳහා යොමු කළ යුතු අතර අවු. 4 සිට විශේෂ අධ්‍යාපනය සඳහාද, ඉන් පසුව අන්තර්කරණයටද යොමු කළ යුතුය. එහෙත් බොහෝ දරුවන්ට මුල් ළමා විය අධ්‍යාපනයක් කොහෙත්ම නොලැබේ. අධ්‍යාපන මෙවලම්, තාක්ෂණය සහ පුහුණු ගුරුවරුන්ගේ මගපෙන්වීම නොමැතිව අන්තර්කරණය නාමයෙන් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති සිසුන් සාමාන්‍ය පන්තිකාමරවලට යොමු කළ පමණින් ඔවුන්ට කිසිදු යහපතක් වන්නේ නැත. විශේෂයෙන් ශ්‍රවණාබාධ සහ කථනාබාධ සහිත සිසුන්ට මෙන්ම මානසික වර්ධනය පිළිබඳ විශේෂතා සහිත සිසුන්ටද ලැබෙන අධ්‍යාපනය සතුටුදායක තත්ත්වයක නැත. ඔවුන්ගෙන් උසස් පෙළ හදාරන්නේ ඉතා අවම ප්‍රමාණයකි.
කලා විෂයධාරාවට සීමා වීම
බ්‍රයන් කිංග්ස්ටන්විවිධ වූ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනයේ ජයග්‍රහණ අත් කර ගන්නා සිසුන්ටද තවදුරටත් අභියෝග රැසකට මුහුණපෑමට සිදු වේ. දෘශ්‍යාබාධිත සිසුන්ට හැදෑරිය හැක්කේ කලා විෂය ධාරාව පමණි. එහිද සීමිත විෂයයන් කිහිපයකි. රත්මලාන අන්ධ විද්‍යාලයෙන් 2021 වර්ෂයේදී සා.පෙළ විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ 9ක් ලැබූ බ්‍රයන් කිංග්ස්ටන් සිසුවා ඉතිහාසයේ ප්‍රථම වරට විද්‍යා විෂයධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වෙයි. ඒ සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් ඔහු කළ ඉල්ලීම අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට යොමු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඔහු ඒ ගැන මෙසේ පැවසුවේය.
"මට කුඩා කාලෙ ඉඳලම විද්‍යා විෂය හදාරන්න ලොකු ආශාවක් තිබුණා. ඒත් දෘශ්‍යාබාධිත කෙනෙකුට ලංකාවේ ඒ අවස්ථාව තිබුණෙ නැහැ. මට මේ ලැබුණ අවස්ථාව හරිම වටිනවා. මා වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්යවරු තිදෙනෙක් ඔවුන්ගේ පෞද්ගලික වියදමින් විදේශගත වෙලා අවශ්‍ය කරන දැනුම ලබාගෙන ආවා. දැන් මම 2024 වර්ෂයේ විභාගයට පෙනී සිටින්න සූදානම් වෙනවා, බාධා අභියෝග රැසක් මැද්දේ. මං දන්නවා මට මේ අවස්ථාව ලැබුණාට, තවත් බොහෝදෙනෙකුට තමන් කැමති විෂයන් හැදෑරීමට නොහැකිව සිටිනවා. අනාබාධිත සිසුන්ට වගේම අපටත් කැමති විෂයන් තෝරාගන්න අයිතිය ලැබිය යුතුයි."
රත්මලාන අන්ධ විද්‍යාලයේ උපවිදුහල්පති මොනිකා පීරිස් මහත්මිය පවසන්නේ, දෘශ්‍යාබාධිත සිසුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අතීතයට සාපේක්ෂව සැලකියයුතු ප්‍රගතියක් අත් කරගෙන ඇති බවයි.
මොනිකා පීරිස් "මම විශේෂ අධ්‍යාපනයට යොමු වූ කාලෙ අපට අධ්‍යයනයට බ්‍රේල් අච්චු පොත් තිබුණෙ නෑ. විභාගවලට අද වගේ බ්‍රේල් මාධ්‍යයෙන් ප්‍රශ්නපත්‍ර ලැබුණෙ නෑ. බොහෝ දුෂ්කරතා, අභියෝගතා මැද්දේ තමයි අපි අධ්‍යාපනය ලැබුවේ. වසර හතළිහක් තුළ විශාල සංවර්ධනයක් අපට දෘශ්‍යාබාධිත දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දකින්න පුළුවන්. නමුත් රටේ සමස්ත අධ්‍යාපනය හා සසඳන විට එය මන්දගාමී හා බොහෝ අවස්ථාවල රජයේ අවධානය යොමු නො වූ තත්ත්වයන් අපට දකින්න පුළුවන්. විශේෂයෙන්ම උසස් පෙළ විෂය මාලාව තෝරාගැනීමේදී තමන්ගේ කැමැත්ත නොසලකා කලා විෂයධාරාවට පමණක් සීමා වීමටත්, කැමති විෂයයන් වෙනුවට දෘශ්‍යාබාධිත සිසුනට නියම කරන ලද විෂයයන් පමණක් තෝරා ගැනීමටත් සිදු වෙනවා. කලා උපාධිධාරීන්ට රැකියා වෙළෙඳපොලේ අවස්ථා සීමිත වීම, දෘෂ්‍යාබාධිත උපාධිධාරීන්ගේ විරැකියාවට ප්‍රධාන හේතුවක්."
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතාද අවධාරණය කරන්නේ පවතින ක්‍රමයෙහි පැහැදිලි වෙනසක් සිදු විය යුතු බවයි.
සුගත් වසන්ත ද සිල්වා"සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ විෂයන් හා විෂයධාරාවන් වෙනස් විය යුතුයි. වෙනත් රටවල දෘශ්‍යාබාධිත සිසුන් භූගෝලය වැනි විෂයන් හදාරන විට අපේ සිසුන්ට වී ඇත්තේ එම විෂයන් අත්හැර දැමිමට. විද්‍යාව හා තක්ෂණ සමග ගමන් කරන ලෝකයක මේ දරුවන්ට ඇත්තේ විශාල අභියෝගයක්. ඊට අවශ්‍ය දැනුම රට රටවලින් ලබාගෙන මෙහි රෝපණය කළ යුතුයි. නැති නම් අනාගතයේදී දැනටත් වඩා රැකියා විරහිත ගැටලුවකට විශේෂ අවශ්‍යතා සහිත පිරිසට මුහුණදෙන්න සිදුවීම නියතයි."විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සීමා
විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය යනු ඉතා දුෂ්කර කඩඉමකි. එහෙත් එය තරණය කළ පසුද අභියෝග රැසකට මුහුණපෑමට සිදු වේ. ආබාධ සහිත වූවන්ට පොදු ස්ථාන සඳහා ප්‍රවේශ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් 2006.10.17 දිනැති හා අංක 1467/15 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි නියමයන් බොහෝ පාසල්වල මෙන්ම විශ්වවිද්‍යාලවලද මෙතෙක් නිසි ලෙස ක්‍රියාත්මක වී නැත. අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සම්බන්ධ තත්ත්වයද කනගාටුදායකය.
ඉතා හොඳ ප්‍රතිඵල ලබන සිසුන්ට පවා විශේෂ උපාධි පාඨමාලා හැදෑරීමට ඇතැම් විශ්වවිද්‍යාල සහ අධ්‍යන අංශ අවස්ථාව ලබා දෙන්නේ නැත. ඉංග්‍රිසි භාෂාව, තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අධ්‍යාපනය ලබාදීම යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් පුනපුනා අවධාරණය කරන කරුණකි. සැබැවින්ම, අද ලෝකයේ තාක්ෂණික දියුණුව ඔස්සේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ අධ්‍යාපනය විප්ලවීය වෙනසකට ලක් කර තිබේ.
එහෙත් ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ පමණක් නොව විශ්වවිද්‍යාල තුළ පවා එම පහසුකම්වලට සමීප වීමට ඇති අවස්ථා ඉතා සීමිතය. කථනාබාධ සහ ශ්‍රවණාබාධ සහිත දරුවන්ට මූලික පරිගණක දැනුම ලබාදීමට සංඥා භාෂාව පිළිබඳ උපදේශකවරුන් කිසිදු විශ්වවිද්‍යාලයක නොමැති අතර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දෘශ්‍යාබාධිතවූවන් සඳහා ස්ථිර පරිගණක උපදේශකවරුන් සිටින්නේ එක් අයෙක් පමණි. ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාලවල තාවකාලික පදනමින් සේවය කරන උපදේශකවරුන් සිටින අතර වසර ගණනාවක් සේවය කළද ඔවුන්ගේ රැකියා ස්ථිර කිරීමක් සිදු වී නැත.
විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රය ගැනද, විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට කීමට කතාවක් ඇත. එයට කන් දීමට ප්‍රතිපත්ති සම්පාදකයින් සූදානම් ද?



(සත්‍යා නිර්මාණි)