The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

අද කාලේ වැඩ වර්ජන සහ ලොකු මාමාගේ සීනි බෝතලේ - (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

July 17, 2024 • 8:53 AM

අද කාලේ වැඩ වර්ජන සහ ලොකු මාමාගේ සීනි බෝතලේ - (සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාමාන්‍යයෙන් මහජනතාව විරෝධය දක්වන්නේ මහපාරේදීයැයි විශ්වාසයක් පවතී.
  • මෙය අඬන්න උන් එකාගේ ඇහැට මිරිස් කුඩු ඇතුල්ලුවා වැනි වැඩක් වූ අතර ඒ හේතු කරගෙන ඊට පසු දිනත් පාසල් වසා වැඩ වර්ජනයක් කිරීමට ගුරු සංගම් නායකයෝ ක්‍රියා කළහ.
  • එසේ හිතුවක්කාර ලෙස දෙවැනි දින පාසැල් වැසීමේ ගුරු සංගම් තීරණය දෙමව්පියන්ගේ දැඩි අප්‍රසාදයට හේතු විය.
  • ඒ සමඟම ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුලුව මහ වැඩ වර්ජනයකට සැලසුමක් තිබුණු බව හෙලිකරන සාධක අහම්බයෙන් මෙන් හෙලි විය.
අකුරු ප්‍රමාණය (Font Size):


සාමාන්‍යයෙන් මහජනතාව විරෝධය දක්වන්නේ මහපාරේදීයැයි විශ්වාසයක් පවතී. පාරේ දී දැක්වෙන මහජන විරෝධය අපට දැක ගැනීමට හැකි වන්නේ උද්ඝෝෂණයක, පා ගමනක ආකාරයෙනි. එහෙත්, පසුගිය සතියේ එහෙම මහජන උද්ගෝෂණයක් නම් පැවැත්වුණේ නැත. ඒ වැඩ වර්ජනවලට එරෙහිව මහජනතාව තුළ කැකෑරෙමින් තිබුණු විරෝධය ප්‍රදර්ශනය කරවීමට අවශ්‍ය වූ පොදු සංවිධානයක් රටේ නොමැති නිසා විය යුතු ය. එසේ නැත්නම් තියෙන සංවිධාන හිතාගෙන ඉන්නේ මහජනතාව විරෝධය දැක්විය යුත්තේ බලයේ සිටින ආණ්ඩුවට එරෙහිව පමණකැයි කියා විය යුතු ය. 

මහජනතාවගේ අයිතීන් වෙනුවෙන් යැයි කියමින් මහ පාරේ සංදර්ශන පවත්වන සිවිල් සංවිධාන නම් වූ ජාතියක් රටේ බහුලව දැකිය හැකි වේ. නමුත් මේ ඊනියා වැඩවර්ජන නිසා උල්ලංඝනය වන මහජනතාවගේ අයිතින් ගැන සටන් කිරීම වෙනුවෙන් ඒ සිවිල් සංවිධන වලට කවුරුවත් අරමුදල් සපයන්නේ නැති නිසාදෝ ඔවුන් ද ඒ ගැන හඬක් නැඟුවේ නැත.

 

images 1මේ විරෝධය නැගුණේ වැඩ වර්ජකයන්ට හා වෘත්තීය සමිති වලට එරෙහිව පමණක් නොවේ.

මහජනතාවට සිය අයිතිය අහිමිවීම වෙනුවෙන් නැගෙන සාධාරණ විරෝධය සිය බල අවශ්‍යතාවය වෙනුවෙන් යොදා ගැනීමට හැකි නම් ඒ මහජන විරෝධය මහපාරේ දී සංවිධානාත්මකව ප්‍රදර්ශනය කරවීමට දේශපාලන පක්ෂ ද ක්‍රියා කරයි. එහෙත්, මේ විරෝධය නැගුණේ වැඩ වර්ජකයන්ට හා වෘත්තීය සමිති වලට එරෙහිව පමණක් නොවේ. එම වැඩවර්ජන සංවිධානය කිරීමට කෙලින්ම මෙන්ම වක්‍රව සහය දුන් දේශපාලන පක්ෂ වලට එරෙහිවත් එම විරෝධය එල්ල විය. එනිසා මේ විරෝධය දුරදිග යනවාට ඒ දේශපාලන පක්ෂ කැමති වූයේ නැත. එබැවින් සාමාන්‍යයෙන් ආණ්ඩුව මුල් කොට මහජනතවට ඇතිවන ප්‍රශ්නවල දී ස්වේච්ඡාවෙන්ම එම විරෝධය මහපාරට ගෙන එන්නට දඟලන දේශපාලන පක්ෂ වලට සිදුවුණේ තමන්ට එරෙහිවත් එල්ල වන ප්‍රබල විරෝධය නිසා තටු හකුලා ගෙන පැත්තකට වන්නට ය. 

 

එවන් තත්වයක් තුළ සම්ප්‍රදායික ව විරෝධයන් ප්‍රදර්ශණය කරන කිසිම මාර්ගයකින් සංදර්ශනාත්මකව දැක ගත නොහැකි වුණත් පසුගිය සතියේ ආරම්භය වන විට පැවති වර්ජන රැල්ලට වඩා ඉහළට නැඟුණු ජන රැල්ලක් හෙවත් ප්‍රබල මහජන විරෝධයක් ඊට එරෙහිව මතුවුණු බව සමස්ත රටවාසීන්ටම දැනෙන්නට විය.

රටේ උග්‍රව පැවතුණු ආර්ථික අර්බුදය ජයගත්තේයැයි පවසමින් ඉදිරි මැතිවරණය සඳහා ජයග්‍රාහී සටන් පාඨයක් ගොඩ නගාගෙන සිටින වර්තමාන ආණ්ඩුවට ඉටු කළ නොහැකි ඉල්ලීම් ඉදිරිපත් කර රාජ්‍ය සේවකයින්ගේ විරෝධය ආණ්ඩුවට එරෙහිව තීව්‍ර කරවීමත්, ආර්ථික අර්බු‍යෙන් රට ගොඩ ගත්තේය යන්න ආණ්ඩුවේ බොරුවක් බව මහජනතාවට ඒත්තු ගැන්වීමත් අරමුණු කරගෙන දේශපාලන පක්ෂ මෙම වර්ජන ව්‍යාපාරය සංවිධානය කළ බව පෙනේ. මේ වර්ජන ව්‍යාපාරය ක්‍රමයෙන් සැලසුම් කළ පසු එය තමන්ටම එරෙහිවම පාරා වළල්ලක් වූවා පමණක් නොව ආණ්ඩුව සූක්ෂමව මහජන ප්‍රසාදය වර්ධනය කර ගැනීමට ද එය භාවිතා කරන බවට ද වර්ජන සංවිධායකයින්ට තේරුම් ගියේ දුම්රිය වර්ජනයට ලැබුණු රළු මහජන ප්‍රතිචාර හේතුවෙනි. 

 

1719387057 tear gas 6උද්ඝෝෂණයේ යෙදුණු ගුරුවරුන් ලවා ජනාධිපති කාර්‍යාලය වට කරවීමට වෘත්තීය සමිති නායකයින් ගත් උත්සාහයේ දී පොලිසියෙන් කඳුළු ගෑස් හා ජලප්‍රහාර වලට ලක් වන්නට ගුරු විදුහල්පතිවරුන්ට සිදුවිය

මේ වර්ජන වැඩපිළිවෙල මැනවින් සැලසුම් කළ ක්‍රියාවලියක් බවට සාධක පෙනෙන්නට තිබුණි. එය පටන් ගත්තේ ගුරු විදුහල්පතිවරුන් වැඩවර්ජනය කර පාසල් වසා දමා ගුරු විදුහල්පතිවරුන් කොළඹ මහා උද්ඝෝෂණයකට කැඳවීමෙනි. එම උද්ඝෝෂණයේ යෙදුණු ගුරුවරුන් ලවා ජනාධිපති කාර්‍යාලය වට කරවීමට වෘත්තීය සමිති නායකයින් ගත් උත්සාහයේ දී පොලිසියෙන් කඳුළු ගෑස් හා ජලප්‍රහාර වලට ලක් වන්නට ගුරු විදුහල්පතිවරුන්ට සිදුවිය. මෙය අඬන්න උන් එකාගේ ඇහැට මිරිස් කුඩු ඇතුල්ලුවා වැනි වැඩක් වූ අතර ඒ හේතු කරගෙන ඊට පසු දිනත් පාසල් වසා වැඩ වර්ජනයක් කිරීමට ගුරු සංගම් නායකයෝ ක්‍රියා කළහ. එසේ හිතුවක්කාර ලෙස දෙවැනි දින පාසැල් වැසීමේ ගුරු සංගම් තීරණය දෙමව්පියන්ගේ දැඩි අප්‍රසාදයට හේතු විය.

වැඩ වර්ජනය නොකළ නිලධාරීන්ට වැටුප් වර්ධක-උසස්වීම්වර්ජනයේ ඊළඟ පියවර වූයේ රාජ්‍ය අංශයේ දින දෙකක සංකේත වැඩ වර්ජනයකි.

 

වර්ජනයේ ඊළඟ පියවර වූයේ රාජ්‍ය අංශයේ දින දෙකක සංකේත වැඩ වර්ජනයකි. ඒ සමඟම ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුලුව මහ වැඩ වර්ජනයකට සැලසුමක් තිබුණු බව හෙලිකරන සාධක අහම්බයෙන් මෙන් හෙලි විය. එසේ හෙලි වූ එක් සාධකයක් රජය ප්‍රවාහන ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශයට පත්කිරීමට ක්‍රියා කිරීම කළ අවස්ථාව හා සම්බන්ධ ය. ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කළ දින රූපවාහිනී මාධ්‍යයකට ප්‍රකාශයක් කළ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන වෘත්තීය සමිති නායකයෙකු තමන් විසින් සැලසුම්කර ඇති මහ වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව ප්‍රවාහන ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කල බව කීය. ඉන් ඇඟවෙන දෙය නම් ඔවුන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ මහ වැඩ වර්ජනයක් සංවිධානය කරමින් තිබුණු බව ය. 

එමෙන්ම ගුරුවරුන්ගේ වැඩවර්ජනය සංවිධානය කළ ප්‍රමුඛ සංගමයක් වූ ලංකා ගුරු සේවා සංගමය තමන් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට ගුරු විදුහල්පති සන්ධානයට යෝජනා කල බව ද පිළිගත්තේය. එයින් පැහැදිලි වන්නේ ලංගම වෘත්තීය සමිතියත් ලංකා ගුරු සේවා සංගමයත් අනුබද්ධව ඇති දේශපාලන පක්ෂය අඛණ්ඩ වැඩවර්ජනයකට සැලසුම් කරමින් සිටි බව ය. 

 


රාජ්‍ය  අංශයේ සියලු වෘත්තීය සමිති මගින් ක්‍රියාත්මක කළ දෙදින සංකේත වර්ජනයේ සංවිධාන කටයුතුවල දී කැපී පෙනෙන නායකයෙකු වූයේ ඉහත දේශපාලන පක්ෂයට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි. පලමු දින අවසානයේ පැවති මාධ්‍ය හමුවේ ද ඔහු කතාකරනු ද පෙන්නුම් කෙරිණි. දෙවැනි දින අවසානයේදීත් මාධ්‍යයට අදහස් පළ කළ ඔහු වෘත්තීය සමිති 200 එක්වී සාකච්ඡා කර ඉදිරි තීන්දු ගන්නා බව ද පවසනු ඇසිණි.

එදිනම මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති දෙකක් වැඩ වර්ජනයට යොමු වූයේ ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ අත්‍යවශ්‍ය සේවා නියෝග නොසලකා වර්ජනයට පිවිසීමක් ලෙස ය. ඒසමගම වර්ජනවලට එරෙහි මහජන විරෝධය ද තීව්ර විය. දුම්රිය වර්ජනය ආරම්භ කරනවාත් සමගම එදින දවල් දොලහට පෙර සේවයට වාර්තා නොකළොත් සේවය හැර ගියාසේ සලකන බවට නිවේදනය කරමින් ආණ්ඩුව ද වර්ජකයින්‍ට එරෙහිව ප්‍රති ප්‍රහාරය ආරම්භ කළේය. 1980 ජුලි වැඩ වර්ජනයෙන් පසු ප්‍රථම වතාවට ආණ්ඩුවක් වර්ජකයන්ට මෙබඳු දැන්වීමක් කළ ප්‍රථම අවස්ථාව ද මෙය බව මගේ මතකයයි.

 

ආණ්ඩුවේ මේ නිවේදනයට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු මහජන ප්‍රතිචාර ආණ්ඩුව දිරිගන්වන සුලු ඒවා විය. සත්‍ය වශයෙන්ම මහජනතාවගේ විරෝධය ඒ වන විට වර්ජකයන්ට ද වෘතීය සමිති නායකයින්ට ද ඒ සියල්ල පිටුපස වූ දේශපාලන බලවේගයට ද එරෙහිව එල්ල වෙමින් පැවැති බව ඉන් මනාව නිරීක්ෂණය විය. එසේ වුවද වර්ජිත දුම්රිය සමිති නායකයින් ආණ්ඩුවේ නිවේදනය පයිසෙකට ගණන් ගත්තේ නැත. ඔවුහු ඊට ප්‍රතිචාර දක්වමින් සියලු දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් කැඳවන බවටත් හැකි නම් ඔවුන්ව ගෙදර යවා දුම්රිය ධාවනය කර පෙන්වන ලෙසටත් පවසමින් ආණ්ඩුවට අභියෝගය කළේ ය. නමුත් එය නොතැකූ දුම්රිය බලධාරීහු ඊට පසු දින සේවයට වාර්තා නොකළ දහසක් පමණ දුම්රිය සේවකයන්ට සේවය හැරයාමේ ලිපි තැපැල් කළ බව වාර්තා කෙරිණි.

 

මේ වනවිට මෙම වර්ජනයට එරෙහි මහජන විරෝධයේ උණුසුම වර්ජනය පිටුපස සිටි දේශපාලන බලවේගයට හොඳින්ම දැනී තිබුණි. ආණ්ඩුවට එරෙහිව මහජන විරෝධය තීව්‍ර කරවන්නට සංවිධනය කළ වර්ජන රැල්ල තමන්ට එරෙහි මහජන විරෝධයක් ලෙස ආපසු හැරෙන බව දැනීමත් සමගම මේ අවස්ථාවේ වැඩවර්ජන වලට තමන් කිසිම අනුග්‍රහයක් නොදක්වන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර හානිය අවම කර ගැනීමේ පියවරකට මාරුවන්නට ඔවුන්ට සිදුවිය. එය ඔරුවේ පෙරළුණු පිට හොඳයි කීමකි. ඒ සමගම එතෙක් සමාජ මාධ්‍ය ඔස්සේ වර්ජනයට ආවඩමින් සිටි එම පක්ෂයේ අනුගාමිකයන්ට සිදුවූයේ වර්ජනයට එරෙහිව අදහස් පළ කරන්නට ය. 

 



ප්‍රවාහන ක්ෂේත්‍රයේ මහා වැඩවර්ජනයක පුරෝගාමීන් වී වාර්තාවක් තියන්නට හිතාගෙන එළියට බැස්ස දුම්රිය ස්ථානාධිපතිවරුන් හා පාලකවරුන් අවුරුදු 44කට පසු රාජ්‍ය සේවයේ වර්ජනයකින් සේවය හැර ගිය පලමු කණ්ඩායම වීමේ වාර්තාව තැබීමට ඔන්න මෙන්න තිබිය දී යම්තම් කරු ජයසූරිය මැදිහත් කරගෙන රැකියාව බේරා ගත්තෝය. 

 

image 19945a7f63රාජ්‍ය සේවයේ වර්ජනයකින් සේවය හැර ගිය පලමු කණ්ඩායම වීමේ වාර්තාව තැබීමට ඔන්න මෙන්න තිබිය දී යම්තම් කරු ජයසූරිය මැදිහත් කරගෙන රැකියාව බේරා ගත්තෝය.
මේ වන විට ඔය වර්ජන රැල්ල සංවිධානය කළ කෙනෙකුත් නැත. ඊට වග කියන්නට කෙනෙකුත් නැත. මේ අවස්ථාවේ වර්ජනය කළේ මහජනතාවයැයි කියා සිතෙන තරමට වර්ජන කිරීමේ අහිතකර ප්‍රති විපාක ගැන මහජනයාට කියන දේශපාලන වෘත්තීය සමිති කාරයින්ගේ කතාවලින් සමාජ මාධ්‍ය පිරෙමින් තිබේ.

 

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සටන රාජ්‍ය සේවා වර්ජනයෙන් අනාථ කරලා ! ගුරු සටන සංවිධානය කලේ ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් සමඟ ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ ය.
දැන් ඇත්තේ වර්ජන රැල්ලේ වගකීමෙන් ගැලවීයාමේ සටනකි. එම සටන ඇත්තේ වර්ජන රැල්ල සංවිධානය කළ සහෝදරවරුන් අතර ය. ගුරු සටන සංවිධානය කලේ ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් සමඟ ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ ය. එම ගුරු සටනේ ප්‍රමුඛ ඉල්ලීම වුණේ තමන්ට ලබා දුන් වැටුප් වැඩිවීමේ ඊළඟ කොටස ලබා දෙන ලෙසට ය. රාජ්‍ය සේවකයන් දින දෙකක් වැඩවර්ජනය කළේ විධායක නිලධාරීන්ට වැඩි කළායැයි කියන රුපියල් විසිපන් දහසක් තමන්ටත් ඕනෑ කියා ය.

ඉස්සර පුරුද්දට ඉල්ලීම් කීවාට දැන් වෘත්තීය සමිති නායකයින් හැසිරෙන අන්දම හා කතා කරන අන්දම බැලු විට ඉල්ලීම් නැත. ඇත්තේ තර්ජනයන්‍ ය. මේවා නොදුන්නොත් ඉස්කෝල වහනවා විභාග තියන්නේ නැත උත්තර පත්තර බලන්නේ නැත. වැඩ වර්ජනය කරනවාය ආදී වශයෙන් ආණ්ඩුවට තර්ජනය කිරීම දැන් ඉන්නා වෘත්තීය සමිති නායකයින්ගේ සිරිතය.

ඉස්සර නම් වැඩ වර්ජනයකට යන්නට පෙර තම ඉල්ලීම් මාලාව විධිමත්ව පාලකයින්ට ඉදිරිපත් කෙරේ. ඉන්පසු එන්නේ සාකච්ඡාවන් ය. සාකච්ඡාවේදී ඇති වන “හෙට්ටු කිරීම්” වල දී අත හරින ඉල්ලීම් ද ඔය ඉල්ලීම් අතරට ඇතුලු කිරීමට වෘත්තීය සමිති හායකයෝ උපායශීලී වෙති. ඒ සාකච්ඡාවේ දී දෙපැත්තටම දිනුමක් ලබාගෙන ප්‍රශ්නය අවසන් කරන්නට ය. පාලකයින් හිතුවක්කාරී ලෙස ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්නේනම් පිකටින් උද්ඝෝෂණ ආදිය සංවිධානය කරති. ඒ තමන්ගේ සාධාරණ ඉල්ලීම් ගැන මහජනතාව දැනුවත් කර ඔවුන්ගේ සහය තමන්ට ලබා ගන්නට ය. ඊළඟ අදියර සංකේත වර්ජනයයි. එය ද ඉල්ලීම් ඉටු කිරීමට සෑහෙන කල් දීමක් සහිතව කරන්නකි. ඒ ගැන පෝස්ටර් ගසන්නේ මහජනතාවට දැන ගන්නට ය. එවිට සංකේත වර්ජන දවසේ මිනිසුන් කාර්‍යාලවලට එන්නේ නැත. එයත් නොසලකා සිටියොත් අඛණ්ඩ වැඩවර්ජනයට යන්නේත් කලින් දැනුම් දීමෙන් පසුව ය. මේ වන විට රාජ්‍ය සේවකයින් වර්ජනය කරන්නේ ආණ්ඩුව ඔවුන්ගේ ඉල්ලීම් නොසලකන නිසාය යන්න ගැන මහජනතාව දැනුවත්‍ ය.ඒ නිසා වැඩ වර්ජන සම්බන්ධ මහජන විරෝධයක් එන්නේ නැත.

රනිල් ට හුස්මදෙන වැඩ වර්ජන ! - දුම්රියෙන් වැටී අයෙක් මරුටඋදේ දුම්රියෙන් කොළඹට එන මගියාට හවසට ගෙදර යන්න දුම්රිය නැත්තේ ඔය අන්දමේ නරුම වර්ජන නිසා ය.

 

දැන් කලක් තිස්සේ වෘත්තීය සමිති ඔය ක්‍රියාවලිය අතහැර ක්ෂණික වර්ජන වලින් අයිතිවාසිකම් ඉල්ලන ක්‍රමයක් අනුගමනය කරමින් සිටියි. ඒ මහජන සේවය නම් වන තමන්ගේ ප්‍රධාන වගකීම තුට්ටුවකට වත් නොතකමිනි. ඔවුන් හිටි හැටියේ වැඩ නතර කර එළයට බසින්නේ හදිසි ඉල්ලීමකට ය. 

උදේ දුම්රියෙන් කොළඹට එන මගියාට හවසට ගෙදර යන්න දුම්රිය නැත්තේ ඔය අන්දමේ නරුම වර්ජන නිසා ය. කොළඹ සිට රඹුක්කන බලා යන්නට පිටත් වූ දුම්රිය අඹේපුස්සේ නතර කොට රියැදුරන් වර්ජනය අරඹන්නේ ද ඔය නවීන විලාසිතාවට අනුව ය. රෝහලෙන් බෙහෙත් ගන්නට එන රෝගියා වැඩ වර්ජනය ගැන දැනගන්නේ රෝහල් ගේට්ටුවෙන් ඇතුළු වූ පසුව ය. මහජනතාව කෙරෙහි ඒ අන්දමේ පීඩනයක් එල්ල කර රජයෙන් ඉල්ලීම් දිනා ගැනීමේ නව සටන් ක්‍රමවේදයකට වෘත්තීය සමිති පුරුදු වීම බරපතල ඛේදවාචකයකි.

 

ගුරු අරගලය හරහා රාජ්‍ය සේවය දැකීම - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)ගුරුවරු පාසල් වසා වැටුප් වැඩි කිරීම් ඉල්ලති.
ගුරුවරු පාසල් වසා වැටුප් වැඩි කිරීම් ඉල්ලති. ඇතැම් විට ගුරු වර්ජනය ගැන සිසුන් දැන ගන්නේ උදේ පාසලට පැමිණි පසුව ය. මේ ක්ෂණික වර්ජන ක්‍රමය ඔස්සේ තර්ජනාත්මක ප්‍රවේශයකින් අරමුණු ඉටු කර ගන්නා වෘත්තීය සමිති නායකයින්ගේ හැසිරීම ද කථා විලාසය ද ක්‍රමිකව වෙනස් වී තිබේ. ආයතනයේ වෘත්තීය සමිති නායකයා ආයතන ප්‍රධානියා සමග සුහද බවක් නැත. අමාත්‍යංශය යටතේ ආයතන වල වෘත්තීය සමිති ඇමතිවරයා සමග සුහද සම්බන්ධතාවක් පවත්වා ගන්නවාට වඩා කරන්නේ ඇමතිවරයාට පාඩමක් ඉගැන්වීමට උත්සාහ කිරීමයි.

පසුගිය කාලයේ ඇමතිවරයකුට පාඩමක් උගන්වන බවට ප්‍රසිද්ධියේ පාරම්බෑ විදුලි වෘත්තීය සමිති හා ඛනිජ තෙල් වෘත්තීය සමිති පාඩම උගන්වන්න ගොස් ඇති වුණු මහන්සියට දැන් විවේක ගනිමින් සිටිති. 

 

මේ ආදී වශයෙන් පාලන අධිකාරීන් හා වෘත්තීය සමිති අතර යහපත් සම්බන්ධතාවක් නැතිවීමට ද වත්මන් අහඹු හා ක්ෂණික වැඩවර්ජන හේතු වී තිබේ. මේ හේතුන් සියල්ලෙන්ම අවසානයේ පීඩා විඳිනුයේ මහජනතාවයි. එම පීඩනයේ උග්‍ර අවස්ථාවේ මහජනතාව සෘජුවම වැඩවර්ජන වලට එරෙහි වීම පසුගිය සතියේ දැක ගත හැකි වීම එහි අළුත්ම තත්වයයි. අවසානයේ සිදු වුණේ ඉල්ලීම් හා වර්ජකයින් අතරමඟ දමා සංවිධායකයින්ම වර්ජන විරෝධීන් වීම ය. ඒ මදිවට ඔවුන් දැන් කියන්නේ මේ වෙලාවේ වර්ජන කරන්නේ ද්‍රෝහීන් කියා ය. එකට සටනට ගිය කොටසක් ද්‍රෝහීන් කර අනික් කොටස නිදහස් වීමේ ප්‍රතිපල ලෙස ඉදිරියේ දී ඔහුනොවුන් අතර හොඳ හොඳ ගැටුම් දැකගත හැකිවනු ඇත. 

මේ තත්වය මට සිහිපත් කළේ හද්දා පිටිසර ගැමියෙකුව සිටි මගේ ලොකු මාමාගේ කතාවකි. ලොකු මාමාගේ හේනේ පැල මගේ පාඩම් කරන ස්ථානය වූයේ මා සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්නා කාලයේ ය. ලොකු මාමා තේ බොන සීනි දමා ඇත්තේ හිස් හෝර්ලික්ස් බෝතලයකට ය. එහි මූඩිය ප්ලාස්ටික්‍ ය බෝතලය වීදුරු ය. තේ වක්කර ගෙන අල්ලට සීනි ටිකක් දමාගෙන බෝතලය අනික් අතින් වසා දුම් මැස්සේ තැබීම මගේ සිරිත ය. වමතින් මූඩිය කරකවා වහන සීනි බෝතලය හරියට වැහෙන්නේ නැත. ප්‍රතිඵලය සීනි බෝතලයට කූඹි රිංගීම ය. මේ දුටු ලොකු මාමා උපදෙස් දුන්නේ සීනි ටික පත්තර කැබැල්ලකට දමා දකුණු අතින් කරකවා මූඩිය තදකර තබන ලෙස ය. ඒ උපදෙස හරියටම හරි ගියේය. සීනි බෝතලය තදින්ම වැසුණි. එහෙත් දින කීපයකින් වෙනත් ප්‍රශ්නයක් මතු විය ඒ තදින් වෙර යොදා කැරකූ මූඩියේ පොට ගෙවී මූඩිය තද නොවීම ය. ඊළඟට යළිත් කූඹි රිංගීම ඇරඹුණි. එවිට ලොකු මාමා මට බැන්නේ “මෝඩයා වගේ වෙර දාල මූඩිය වහන්න ගිහින් පොට යවා ගත්ත නේද? ඉගෙන ගනින් මූඩියේ පොට තදකරන්න ඕන අතේ ගානට මිස ඇඟේ හයියට නෙවෙයි කියලා; ඇඟේ හයියට තදකරපුවම පොට යනවා එතකොට වහල හමාරයි” කියාය.

මේ වෘත්තීය සමිති ලොක්කන් කළේ ද අතේ හයියට නැතුව ඇඟේ හයියට පොට තදකර පොට යවා ගන්නා එකය. මේ වර්ජනයේදී අවුරුදු හතලිස් හතරකට පසුව සේවය හැර යාමේ ලිපි නිකුත් කරන්න ආණ්ඩුව තීරණය කළේ වෘත්තීය සමිති ඇඟේ හයියෙන් තද කරන්නගොස් පොට යවා ගත් නිසා ය.


(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...