The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

ජන උදාව : ජනතාවට වැඩ කරන, කම්මැලි නැති ජාතික නායකයාගේ කතාව

T

The Leader Desk

July 21, 2024 • 8:53 AM

ජන උදාව : ජනතාවට වැඩ කරන, කම්මැලි නැති ජාතික නායකයාගේ කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අන්න ඒ වගේ නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ?
  • ඒ තමයි ඡන්දෙ කල්දාන්න මොකක්ම හරි උප්පරවැට්ටියක් ජූලි මාසෙ මාසේ 17 වෙනිදාට පෙර ජනාධිපති රනිල් ගෙනේවි කියන එක.
  • ඇත්තටම එහෙම උත්සාහයක් ගත්තා තමයි.
  • හැබැයි ඒ ගත්ත උත්සාහය සමහර සමහර බලවේග තවමත් අත්හැරලා තියෙන බවක් නම් පේන්න නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):


අන්න ඒ වගේ නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ? ජනතාවට මොකක්ම හරි වැඩක් කරන්න බැරි උනොත් එයාට සතුටකුත් නෑ....

පහුගිය සතිය උදා වෙනකොට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිය කාර්යබහුල ජීවිතය තවත් වේගවත් කළා. ඒ මොකද දන්නවද.... මෙච්චර දවසක් දෙගිඩියාවක හිරවෙලා තිබිච්ච ප්‍රශ්නයකට උත්තරයක් හම්බ වෙන්න පටන් අරන්...

ප්‍රශ්නය තමයි ජනාධිපතිවරණය පවත්වන බලය ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසමට ලැබීම. පහුගිය දවස්වල රටේ බහුතරයකට ලොකු සැකයක් තිබුණා. ඒ තමයි ඡන්දෙ කල්දාන්න මොකක්ම හරි උප්පරවැට්ටියක් ජූලි මාසෙ මාසේ 17 වෙනිදාට පෙර ජනාධිපති රනිල් ගෙනේවි කියන එක.

 



ඇත්තටම එහෙම උත්සාහයක් ගත්තා තමයි. එකක් නෙවෙයි උත්සාහයන් දෙකක්... ජනාධිපතිගේ ධූර කාලය වසර පහක්ද හයක්ද කියලා ප්‍රශ්න කරන්න දෙපාරක්ම සංවිධානාත්මකව සැලසුම් කළ පුද්ගලයෝ දෙන්නෙක් පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ආවා.   

බුද්ධිමත් ජනතාවාදී විනිසුරු මඩුල්ල ඒ පෙත්සම් විභාග කරන්නවත් නොගෙන නිශ්ප්‍රභා කරලා දැම්මා...

ඔන්න ඔහොමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නීතිය ඉදිරියේ තහවුරු වුණේ. හැබැයි ඒ ගත්ත උත්සාහය සමහර සමහර බලවේග තවමත් අත්හැරලා තියෙන බවක් නම් පේන්න නෑ...

ඒ අතරේ ජනාධිපති කැබිනට් මණ්ඩලයට මහ අමුතු යෝජනාවක් ගෙනාවා. ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථාවේ තැන් දෙකක ව්‍යාකූලතාවයක් තියෙනවා. තැනක කෙලින්ම කියනවා දුර කාලය අවුරුදු පහයි කියලා. හැබැයි තවත් තැනක අනියමාර්ථයෙන් කියවෙනවා දූර කාලය අවුරුදු හයයි කියලා. මේ දුර්වලකම වෙනස් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි 22 සංශෝධනය ගේනවා කියලයි කිව්වේ...

ජනාධිපති එහෙම කියලා ඒකට කැබිනට් අනුමැතියත් ගන්නවා. මේකත් හොඳ ලෝ ඔපිනියන් එකක් උඩ ගෙන ආපු අලුත් උප්පරවැට්ටියක් බව රනිල් ගැන හොඳට දන්න දේශපාලන කරළියේ අතලොස්සක් දෙනෙකුට රහසක් උනේ නෑ...

 

”සක්වල” වැඩසටහන දියත් කරමින් සුහුරු පන්ති කාමර බිහිකළා.
ඔය කොයි එක වුණත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ සටනට සූදානම් වුණා. ඔහු ඒ උත්සාහය කොතනකවත් බාල කළේ නෑ...

ඔහු පළාතෙන් පළාතට නගරයෙන් නගරයට ගමින් ගමට ගොස් පොදු ජනතාවගේ දුක සැප සොයා බැලුවා. රටේ අනාගත පරපුරේ නැනස පාදන්න දීප ව්‍යාප්තව වසර ගණනාවක් තිස්සේ කරගෙන ආ පාඨශාලා කේන්ද්‍රීය වැඩසටහන් වේගවත් කලා. ”සක්වල” වැඩසටහන දියත් කරමින් සුහුරු පන්ති කාමර බිහිකළා. සැලසුම් සහගතව පාසැල්වලට අවශ්‍ය බස් රථ පරිගණක වගේ උපකරණ බෙදා හදා දුන්නා...

ඒ නමුත් සජිත් ප්‍රේමදාස අනාගත පරපුර වෙනුවෙන් රට පුරා කරගෙන ආ සක්වල වැඩසටහන ඡන්ද ඉලක්ක කරගෙන ආරම්භ කළේ නෑ.

අලුත් රටක් හදන්න අඩිතාලම දමන සූදානමෙන්. මුල්ම සුහුරු පන්ති කාමරය ලබාදෙන්නේ මොනරාගල වැල්ලවායේ තනමල්විල බෝධාගම මහා විද්‍යාලයට. ඒ 2021 දෙසැම්බර් 30 වෙනිදා. අද ඊයේ නෙවෙයි.

 



අද මේ වෙනකොට උතුර දකුණ නැගෙනහිර උතුරු මැද වයඹ ඌව පළාත් ද ඇතුළුව රට වටා සක්වල වැඩසටහන් 336ක් ක්‍රියාත්මක කරලා ඉවරයි.

පසුගිය සතිය ආරම්භයේත් සක්වල වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සජිත් වන්නි දිස්ත්‍රික්කයට ගියා. ඒ ගමන යන්නට පෙර හරි අපූරු අවස්ථාවකට එතුමා සහභාගි වුණා. ඒ තමයි සමගි බුද්ධි මණ්ඩපයේ ගම්පහ දිස්ත්‍රික් රැස්වීම. ඒක තිබුණේ “කලගෙඩිහේනෙ ග්ලාස්ගෝ” හෝටලයේ පහුගිය 14 වැනි ඉරිදා හැන්දෑවේ 6.00ට.

සමගි බුද්ධ මණඩපයේ සජිත් කරපු කතාව...

 

PHOTO 2024 07 21 10 34 44

සමගි බුද්ධිමණ්ඩපය ගැනත් යමක් කියන්න වෙනවා. දැන් අවුරුදු කීපයකට පෙර සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයට අනුබද්ධිතව සදගි බුද්ධි මණ්ඩපය කියලා දෙයක් පටන් ගත්තේ මේ රටේ උගතුන්ගේ වියතුන්ගේ බුද්ධිමතුන්ගේ අදහස් රාජ්‍ය පාලනයට හවුල් කරගන්න. ඔවුන් දේශපාලනයට කැමති පිරිසක් නෙවෙයි. හැබැයි රාජ්‍ය පාලනයට ඔවුන්ගේ අදහස් උදහස් ලැබුණොත් ඒක වඩා පරිපූර්ණයි. මෙන්න මේ අභියෝගය ජයගන්න.

ඉස්සෙල්ලම මේ රටේ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු. ඊළඟට නීතිවේදියෝ. ඊට පස්සේ වෛද්‍යවරු ඉංජිනේරුවරු වගේ වෘත්තිකයෝ. මේ ඔක්කොම සම්බන්ධිකරණය කරලා බුද්ධි මණ්ඩපය ආරම්භ කර පවත්වාගෙන යාමේ වැඩකටයුත්ත සජිත් මුලින්ම පැවරුවේ ආචාර්ය රන්ජන් බණ්ඩාරට. රන්ජන් බණ්ඩාර කියන්නේ කරු ජයසූරිය වගේ මේ රටේ කෘතහස්ත දේශපාලනඥයෝ ගණනාවකගේ පුද්ගලික ලේකම් ධූරයේ ඉඳලා අත්දැකීම් රාශියක් හරි හම්බ කරගත්ත රජරට පළාතෙන් බිහි වෙච්ච තරුණයෙක්.

 

PHOTO 2024 07 21 10 34 44 3 බුද්ධි මණ්ඩපය ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළුව උගත් වියත් වෘත්තිකයෝ වැඩිපුරම සාමාජිකත්වය දරන සංවිධානය බවට පත්වෙලා
දැන් ඒ බුද්ධි මණ්ඩපය ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළුව උගත් වියත් වෘත්තිකයෝ වැඩිපුරම සාමාජිකත්වය දරන සංවිධානය බවට පත්වෙලා. සාමාජිකයෝ 1628 දෙනෙක්...!

පහුගිය 14 වැනිදා. ඒ කිව්වේ ඉරිදා කොළඹ දිස්ත්‍රික්කයේ බෝක්කුන්දර මහින්ද විද්‍යාලයේ පැවැති 315 වැනි  සක්වල වැඩසටහන ඉවරවෙලා සජිත් ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි බුද්ධිමණ්ඩපයේ රැස්වීමට එන්නේ හැන්දෑවේ හතට. ඒ වෙනකොට ඒ රැස්වීම පටන් ගෙන. කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරු ගම්පහ නීතිඥවරු ගම්පහ වෛද්‍යවරු ඇතුළු බුද්ධිමතුන් 750ක් ඒ උත්සව ශාලාවේ.

උත්සවය පිළිගැනීම කතාව කළේ චන්දිම විජයරත්න නීතිඥතුමා. ගම්පහ ආරෝග්‍යා රෝහලේ අධිපති වෛද්‍ය අනුර ද සිල්වා එම රැස්වීමේ අරමුණ පැහැදිලි කළා. බුද්ධිමණ්ඩපය වෙනුවෙන් මහාචාර්ය ජී එල් පීරිස් කතාවක් කළා. මේ ඔක්කොම හරි ෂෝට් ඇන්ඩ් ස්වීට්.

ගම්පහ බුද්ධිමණ්ඩප රැස්වීමේ ප්‍රධාන ආරාධිත කතා දෙකයි. එකක් ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු විශ්‍රාමික මේජර් ජනරාල් ආචාර්ය බොනිපස් පෙරේරා පැවැත්තුවා. ඔහු තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ එදා මෙදා හිටපු ආචාර්ය උපාධියක් හිමි එකම තරුතුනේ ජෙනරාල් වරයා.

ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විසින් පැවැත්වුවා. මේ දෙකම ඉතා වටිනා දේශන දෙකක්. දෙන්නම කතා කළේ මේ රටේ අභියෝග ජයගන්න වගේම තියෙන ප්‍රශ්න විසඳන්න ශ්‍රී ලාංකික ජාතික නායකයෙක් ඕන කියලා...

ශ්‍රී ලාංකික ජාතික නායකයෙක් සතු විය යුතු සියලු ලක්ෂණ හා ගුණාංග අද නොඅඩුව තියෙන එකම නායකයා සජිත් ප්‍රේමදාස පමණයි කියන එක ඔවුන් දෙදෙනාම කිව්වා...

 

PHOTO 2024 07 21 10 34 44 2සජිත් දෙවනුව අවධානය යොමු කළේ සුභසාධන වැඩපිළිවෙළ ගැන.
ඉන් පස්සේ සජිත් කතා කළා. ඔහු වැඩිවෙලා කතා කළේ නෑ. හැබැයි ෂෝට් ඇන්ඩ් ස්වීට්. ඔහු මූලික අවධානය යොමු කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන... මැතිවරණ කල් දාගන්න ආණ්ඩුව දරන ලැජ්ජ නැති උත්සාහය ඔහුගේ දැඩි විවේචනයට ලක්වුණා.

සජිත් දෙවනුව අවධානය යොමු කළේ සුභසාධන වැඩපිළිවෙළ ගැන. තුන්වනුව මේ රටේ අනාගත පරපුර සුහුරු පරපුරක් කරවීමේ වෑයම ගැනත් කතා කළා. රටක් ඉදිරියට තල්ලු කිරීමට නම් ඒ රටේ ජනතාව නූතන තාක්ෂණ සාක්ෂරතාවයෙන් හෙබි ජනතාවක් විය යුතු බව ඔහු පෙන්වා දුන්නා. එය සඳහා අනාගත පරපුරට සක්වල වැඩසටහන තුළින් ලැබෙන පිටිවහල ගැනත් ඔහු කිව්වා. ඉන්දියාව අයි ටී දැනුම හා තාක්ෂණය ඔස්සේ ඉදිරියට ආපු හැටි, උගණ්ඩාව අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත් වුණ හැටි, වියට්නාමය කලාපයේ අනෙකුත් රටවල් අභිබවා සුහුරු තාක්ෂණික උපකරණ නිපදවන හැටි ඔහු කිව්වා, ඒ තුළින් ඒ රටවල් දියුණු වූ හැටි සජිත් විස්තර කරනකොට මහාචාර්යවරු පවා මවිතය පළ කරමින් බලා හිටියා.

අවසානයේ සජිත් ප්‍රශ්න ඇසීමේ සැසියකට සභාව යොමු කළා. සභාවෙන් මතුවුණු ප්‍රශ්නවලට ඔහු ඉතා තාර්කික නැණවත් උත්තර දුන්නා...

මේ ඔක්කොම කිව්වත් කළත් සජිත් එතන වැඩි වෙලා රැඳී හිටියේ නෑ. ඔහු එතනට පැමිණ සිටි විද්වතුන් අතරට ගොස් ඔවුන් හා ටික වේලාවක් කතාබස් කළා. සජිත්ට ඉතා ඉක්මනින් යන්න වුවමනා වුනේ පසුදා උදේ අටට වවුනියාවේ වැඩසටහන්වලට විනාඩියක්වත් ප්‍රමාද නොවී සහභාගී වන්න.

PHOTO 2024 07 21 10 34 43
”ඕගොල්ලෝ කතාබස් කරන්න. සාකච්ඡා කරන්න. කෑම බීම ගන්න. මට යන්න තියෙන්නේ දුර ගමනක්. ඒකටත් ප්‍රමාද නොවී යන්න ඕන....” කියමින් සජිත් එතනින් පිටත්ව ගියේ උතුරු මැද පැත්තට...

ඊට පස්සේ මහාචාර්යවරු සජිත්ගේ මෙම වැඩසටහන්වල තිරය පිටුපස සිටින පුද්ගලයා හමුවුණා. ඒ තමයි ලක්ෂ්මන් ඩි ෆොන්සේකා. එතන සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලක්ෂ්මන් එක්ක මෙන්න මෙහෙම කතාවක් කිව්වා...

“එයාගේ ස්පීච් එක බ්‍රිලියන්ට්... රට ගැන, අනාගත අභියෝග ගැන එයාට තියන අවබෝධය මේ රටේ අද ඉන්න කිසිම නායකයෙකුට නෑ. හැබැයි ඉතින් මට පේන්නේ නෑ එයා සතුටින් ඉන්න බව. එයා හරිම ටයඩ් ලුකින්. මහන්සි පාටයි. එහෙම වෙන්න දෙන්න එපා. ”

“ඒක හරි මහාචාර්යතුමා. එතුමාට අද කිසිම විවේකයක් නෑ. අද විතරක් නෙවෙයි මේ දවස් ටිකේම එහෙමයි. අද උදේ ඉඳලා පක්ෂ කාර්යාලයේ තිබුණු වැඩවලට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ඉස්කෝල පහකට ගියා සක්වල වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. විනාඩි පහකවත් විවේකයක් නැතුව මෙතනට ආවේ. දැන් ඔය පිටවෙලා ගියේ වවුනියාවට. හෙට උදෙන්ම තියෙනවා මන්නාරමේ කරුන්කන්ඩෙල් මහා විද්‍යාලයේ සක්වල වැඩසටහනකට සහභාගී වෙන්න. හෙට දවස පුරාම මන්නාරමේ ඉස්කෝල පහක්. ඊට පස්සේ මුලතිව්වල ඉස්කෝල හතරක්. නායකතුමා ඒ හැම තැනටම විනාඩියක්වත් පරක්කු කරන්නෙ නැතුව ෂෙඩූල් එකට යනවා. ”

“මගේ අම්මේ නායකයෙක් කොහොමද එහෙම ගමන් කරන්නේ... කිසි විවේකයක් නැතුව...”

“ඒ විතරක් නෙමෙයි මහාචාර්යතුමා... යන්නේ බයිරෝඩ්. දුර ගමන් රාත්‍රියේ. මට නම් වාහනේක ඔය වගේ ගමනක් ගියොත් දවසක්වත් විවේක ගන්න ඕන. හැබැයි නායකතුමා එහෙම නෑ...”

“ඔය වගේ තමයි එතුමාගේ තාත්තත් ඉස්සර වැඩ කරේ. ඒගොල්ලො ජනතාවට වැඩ කරන තරමට සතුටු වෙන අය. ජනතා සේවය පිණිස කැපවුණාම මහන්සියක් දැනෙන්නෙවත් නෑ...”මහාචාර්යවරයා දීර්ඝකාලීන අත්දැකීම් ඔස්සේ අතීතය මෙනෙහි කළේ එහෙම. ඔය කතාව එතනින් ඉවරයි.

 

PHOTO 2024 07 21 10 34 48ඔහු තමයි මන්නාරම මුලිතිව් දිස්ත්‍රික්ක දෙකේ සජිත්ගේ 15 වෙනිදා වැඩසටහන සම්බන්ධීකරණය කළේ.
පහුවදා උදෙන්ම සජිත්ව හමුවෙන්න රිශාඩ් බදියුදීන් ඇවිල්ලා හිටියා. ඔහු තමයි මන්නාරම මුලිතිව් දිස්ත්‍රික්ක දෙකේ සජිත්ගේ 15 වෙනිදා වැඩසටහන සම්බන්ධීකරණය කළේ. මන්නාරමේ පාසල් හයකට සක්වල වැඩසටහන් ක්‍රියාත්මක වුණා.

මන්නාරම පැත්තෙදි කරුන්කණ්ඩාල්, මූන්රාම්පති, වෙල්ලන්කුලම්, තොට්ඩියාවේලි, තුයා ජෝසප්වාස් පාසල් හයකට ගියා. උතුරු පළාතේ මුස්ලිම් නායකයෝ විතරක් නෙවෙයි සෙල්වම් අඩික්කලනාදන් වගේ දෙමළ ජාතික නායකයොත් මේ ගමනට සහභාගි වුණා.

අඩික්කලනාදන් මෙහිදී මුස්ලිම් පළාත්වල යනවා වගේම දෙමළ පළාත්වල ඇවිදින්නත් සජිත්ට ආරාධනා කළා...

ඔහුගේ මග පෙන්වීම මත පහුවදා (16) ඇවිද ගියේ මුලතිව් පළාතේ. කෝකිලායි විද්‍යාලය, ඉරණප්පලයේ විද්‍යාලය, තෝම්පුරම් විද්‍යාලය, සුතන්තේපුරම් විද්‍යාලය ආදි පාසල් හතරකටත් එහිදී සක්වල වැඩසටහන් ඔස්සේ සුහුරු පන්ති කාමර පහසුකම් සලසා දෙන්න සජිත් ක්‍රියා කරලා තිබුණා..

අඩික්කලනාදන් මන්ත්‍රීවරයා එහිදී ඔහු ළඟින්ම හිටියා. ඊළඟ ජනාධිපතිවරණයේදී නිසැකයෙන්ම උතුරේ දෙමළ ජනතාවගේ සහයෝගය මේ ජාතික නායකයාට හිමිවන බව ඔහුත් සහතික වුණා.

ඔන්න එදා ඒ වැඩසටහන් ඔක්කොම ඉවර වෙනකොට හොඳටම හවස් වෙලා. පහුවදා පොළොන්නරුව යන්න සජිත් සූදානම් වුණා.

මේ දවස් දෙක අතරේ පළමුදා රාත්‍රියේ මන්නාරමේ මුස්ලිම් ප්‍රජාව හමුවන රැස්වීමක් රිශාඩ් බදියුදීන් සූදානම් කරලා. විශේෂයෙන් මුස්ලිම් ජාතික ප්‍රජාව තම අනාගත ජාතික නායකයා එක්ක කතා කරන්න හුඟක් උනන්දුවෙන් හිටියේ...

“ඔබතුමා තමයි අපේ රටට ගැලපෙන එකම ශ්‍රී ලාංකික ජාතික නායකයා. ඔබතුමා ළඟ කවදාවත් ජාතිවාදය තිබුණේ නෑ . ඔබතුමා ළඟ ඉන්න අයගේත් ජාතිවාදය නෑ. ඒ නිසා ඔබව නායකයා කරගෙන මේ රටේ ජීවත් වෙන්න අපිට කිසිම බයක් නෑ...”

 

PHOTO 2024 07 21 10 34 47ඔබතුමා ළඟ කවදාවත් ජාතිවාදය තිබුණේ නෑ
මේ වෙලාවේ මුස්ලිම් නායකයෙක් කරපු ඒ කතාව ගැන සජිත් තරමක් සංවේදී වුණා. ඔහුට වුවමනා වුණා මේ මුස්ලිම් ජනතාව තමන් ගැන මේ විදියට විශ්වාස කරන්නේ ඇයි කියලා දැනගන්න. ඒ ගැන සජිත් ප්‍රශ්නයක් දෙකක් ඇහුවා....

ඒකට ඔහුට ලැබුණෙ ඔහු කිසි ලෙසකත් අපේක්ෂා නොකළ අන්දමේ හරි දාර්ශනික උත්තරයක්...

“ඔබතුමන්ලත් එක්ක හිටපු මීට කලින් ආණ්ඩු කරපු නායකයෝ හැම කෙනෙක්ම මේ රටේ ජයග්‍රහණය කළේ උතුරු නැගෙනහිර ජීවත්වන සුළු ජාතික පිරිස්වල ආශිර්වාදය ඇතුව. ජේ ආර් මැතිතුමා එහෙමයි. ඊට පස්සේ ඔබේ පියා ප්‍රේමදාස මැතිතුමත් එහෙමයි. ඊට පස්සේ ඔබතුමන්ලා එකතු වෙලා බලයට ගෙනාපු සිරිසේන මැතිතුමා දිනුවෙත් දෙමළ මුස්ලිම් මයිනොරටි එකේ සහයෝගය අරන්..

ඒ වෙලාවේ දකුණේ හිටපු සමහරු බය වුණා. මේ රට සුළු ජාතීන්ට වඩාත් පහසුකම් ලබා දෙන, ඔවුන්ට දිනුම දෙන රටක් වේවි කියලා. එහෙම හිතලා තමයි ඊට පස්සේ ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් සිංහල බහුතරය එකතු වෙලා ගෝඨාභය ජනාධිපතිව පත් කළේ.


ඒක වැරදි බව ඔප්පු වෙන්න වැඩි කලක් ගත වුණේ නෑ. ඒ නායකයා තනිකරම වැඩ කළේ සිංහල ජාතිවාදී අදහස් වලට පක්ෂව. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව ගැන තැකුවේ නෑ. මං ඒකට හොඳ උදාහරණයක් කියන්නම්...

කොයිඩ් වසංගතය වෙලාවේ අපේ මුස්ලිම් ජාතියේ වේදනාව අභිලාෂය වුවමනාව විශ්වාසය බලාපොරොත්තු සියල්ල විනාශ කර දමමින් ගෝඨාභය ජනාධිපති වැඩ කළා. එතෙන්දි අපිට දැඩි වේදනාවක් ජාතියක් වශයෙන් ඇතිවුණු කාරණාව තමයි කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව අපේ මෘත දේහ අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ඕන විදියට පුච්චලා දාපු එක. ජාතියක් විදිහට ඉස්ලාමිකයින් විදියට අපි මොන තරම් ඒ වෙලාවේ අසරණ වුණාද කියලා දන්නේ අපි විතරයි.

 

PHOTO 2024 07 21 10 34 43 2
ඇයි අපිව පිළිගත්තේ නැත්තේ. මුස්ලිම්වරු හැටියට අපේ විශ්වාසය තමයි අපි දෙවියන් වහන්සේ ළඟට ගියාම අපේ මෘත දේහ පොළොවේ භූමිදානය කරන්න ඕන. අපි ඒක ගැන කිව්වා. ඇහුවෙම නෑ. ඊට පස්සේ අපි ඒ ගැන විරෝධයක් දැක්වුවා. එයාලා කනකට ගත්තේ නෑ.

අපිට මතකයි ඔබතුමා විතරයි සිංහල බෞද්ධ නායකයෙක් හැටියට ඇවිත් අපිත් එක්ක එකට හිටගෙන ගෝඨාභයගේ ඒ වැඩේට විරුද්ධව දකුණු පළාතේ හඬක් නැගුවේ. මුස්ලිම් ජාතියක් හැටියට අපි ඔබතුමාට කොන්දේසි විරහිතව සහයෝගය දෙන්නේ අන්න ඒ කාරණාව මුල් කරගෙන... සමහර විට ඔබතුමා මේ කතාව දන්නෙත් නැතුව ඇති. සජිත් මැතිතුමනි... ඔබතුමා අපිට විශ්වාසයි”

එම මුස්ලිම් ප්‍රජා නායකයාගේ කතාව අසා සිටි සජිත්ගේ ඇස් කෙවෙනි අගට කඳුළක් මෝදු වූයේ දන්නේම නැතිව. ඔහු හැඟුම්බර වුනා. දිව ගොළු වුණා. එදා තමන්ගේම ළඟ හිටපු ඇතැම් දේශපාලන හිතවතුන් පවා එදා එම ස්ථාවරය නොගන්නැයි තමන්ට අවවාද කරද්දී තමන් එදා ඒ ගත් තනි තීන්දුව ගැන එවෙලේ සජිත්ට ලොකු ආඩම්බරයක් දැනෙන්නට ගත්තා... මුස්ලිම් වරුන්ගේ ඒ උද්ඝෝෂණයට සජිත් සහයෝගය දෙනකොට දකුණේ සමහර සිංහල කණ්ඩායම් සජිත්ව හෙළා දැක්කා..

“ජාතික නායකයෙක් වෙන්න ඔබතුමාට ඒ සුදුසුකම හොදටම ඇති... අන්‍ය ආගමිකයින්ගේ අන්‍ය ජාතිකයින්ගේ දුක වේදනාව සන්තාසය අභිලාෂය දැනෙන හදවතක් ඔබට තිබීම. ඔබ තමයි අපේ ශ්‍රී ලාංකික ජාතික නායකයා. වෙන කවුරුවත් නෙවෙයි....” රිෂාඩ් බදියුදීන් ඒ කතාව කියනකොට අඩික්කලනාදන් මන්ත්‍රීවරයත් එය අනුමත කරා. මේ වෙලාවේ සජිත්ගේ වෙහෙස මහන්සිය නිවී යන සියුම් සතුටක් ඇට ලේ මස් නහර පුරා දුවන්නට පටන් ගත් බව ඔහුට දැනෙන්නට වුණා...

ඔය සාකච්ඡාවේදී සමගි ජන බලවේගයේ ධජය ගැනත් පොඩි අදහක් මතුවුනා.

“ඔබතුමන්ගේ ධජය ඇතුලේ කොළපාට, කහ පාට අන්තර්ගත කරලා තියෙන්නේ ඇයි කියලා අපට වැටහෙනවා. හැබැයි මේ ඔරේන්ජ් කලර් එක ඇයි කියන එක අපට ප්‍රශ්නයක්...”

 

PHOTO 2024 07 21 10 34 46
සජිත් එහිදී පැහැදිලි කිරීම කරන්නට පැකිලුනේ නෑ...

“ඒ තමයි මේ ලෝකේ පීඩාවට පත්වුණු කාන්තාවන්ගේ විමුක්තියේ පැහැය... අන්තර්ජාතික වටිනාකමක් ඇති පැහැයක්...” සජිත් එහෙම පෙන්වා දෙනකොට ඔහු තුළ තිබෙන්නේ මොනතරම් දුරදිග පෙනෙන දර්ශනයක්දැයි එතන සිටි දෙමළ මුස්ලිම් ජනතාව අතර කතාබහක් ඇති වුණා...

මේ ඔක්කොම ඉවර කරලා එදා සජිත් ප්‍රේමදාස පොළොන්නරුව බලා ගියේ පහුවදාත් ඒවගේම වැඩසටහන් රැසක් පොළොන්නරුවේ ජන නායකයෝ එක්ව සූදානම් කර තිබූ නිසා...

සජිත් හමුවන්න දයාසිරිත් ඇවිල්ලා ..

දිනන සජිත් වටා දැන් දැන් අනෙකුත් ලොකු කුඩා පක්ෂවල නායකයෝ ඒකරාශී වෙන්න පටන් අරන්. පොහොට්ටුවේ එක්සත් ජාතික පක්ෂයේ විස්තරයක් නෙවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික නායකයොත් දැන් සජිත් ළඟට එනවා.

සජිත්ගේ වෙනසක් නෑ... රටේ අනාගත අභිවෘද්ධිය, දේශයේ විමුක්තිය වෙනුවෙන් කැපවෙන ඕනම කෙනෙක් දෑත් විදහා පිළිගන්න සජිත් කැමතියි...

ඔන්න ඔහොම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහලේකම් දයාසිරි ජයසේකරත් සජිත් හමුවන්න පැමිණියේ. මේ වෙලාවේ සජිත් හිටියේ පොළොන්නරුවේ. දයාසිරි තනියම නෙවෙයි ඇවිත් හිටියේ. එයාගේ මෑතකදී නිමවූ මානුෂීය  ජනතා සන්ධානයේ නිලධාරීන් පිරිසකුත් සමඟ...

මේ බැව් දැනගත් සජිත් වහාම දයාසිරිව පිළිගන්න බාර කළේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට...

“රංජිත්... මම නැහැ කියලා අඩුවක් තියන්න එපා. දයාසිරිලත් එක්ක මං වෙනුවෙන් කතා කරන්න ඕන හැම දෙයක්ම කතා කරගන්න. ඒගොල්ලන්ට හොඳ වෙල්කම් එකක් දෙන්න...” මහලේකම්තුමා ඒ උපදේශය අකුරටම පිළිපදින්න පියවර අරන් තිබුණා...

 

PHOTO 2024 07 21 10 34 46 2සජිත් 17 වෙනිදා පොළොන්නරුවේ පාසල් ගණනාවක සක්වල වැඩසටහන්වලට සහභාගි වුණා
සජිත් 17 වෙනිදා පොළොන්නරුවේ පාසල් ගණනාවක සක්වල වැඩසටහන්වලට සහභාගි වුණා. ඒ පාසැල් අතර විලේයාය ප්‍රාර්ථක පාසල, ගල්මුල්ල ප්‍රාතමිකය, කොට්ටපිටිය ප්‍රාථමිකය, කිරිමැටිය ප්‍රාථමිකය, කොහොම්බාන ප්‍රාථමිකය හා නූර් මුස්ලිම් පාසල ආදී දුප්පත්ම පාසල් හයක්. ඒ දරුවන් කිසිසේත්ම දුප්පත් නැති බවත් කොංවී  නැති බවත් සජිත් ඔවුන් අතරටම ගොස් කියලා දුන්නා. අනාගත ලෝකය දකින්න නම් සක්වළ තුළින් සුහුරු සුදුසුකම් ඇති කරගත යුතුම බව ඔහුගේ කතාවලින් ගම්‍ය වුණා...

සජිත් මේ හැම තැනකදීම පුංචි දරුවන්ගේ අදහස් දැනගන්න උනන්දුයි. ඒ විතරක් නෙවෙයි. වැඩිහිටියන්ගේ ප්‍රශ්න ගැනත් ඔහු සංවේදීයි. වැඩිහිටියෝ ළඟටම ගොස් ඔවුන්ගේ දූ දරුවන්ගේ අනාගතය ගැන තිබෙන අවිශ්වාසය දුරු කරන්න උත්සාහ ගත්තා.

 

PHOTO 2024 07 21 10 34 45 2සජිත් මේ හැම තැනකදීම පුංචි දරුවන්ගේ අදහස් දැනගන්න උනන්දුයි.

 

පොළොන්නරුවේ වැඩ ඉවර වෙනකොට හොඳටම හවස් වෙලා. කොළඹ වැඩ ගොඩගැහිලා. ඒ විතරක්ද පහුවදා දවස පුරාම කළුතර පාසල් පහක් බලන්න යන්න වෙලා. සක්වල වැඩසටහන උතුරට නැගෙනහිරට විතරක් නෙවෙයි, බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ දුප්පත්ම පාසල්වලටත් උවමනාම බව සජිත් දැන හිටියා.

පොළොන්නරුවේ වැඩ නිමකර ඔහු ඉතා ඉක්මනින් කොළඹ ආවේත් සුපුරුදු මාර්ග පද්ධතිය ඔස්සේ වෙහෙසකර ගමනකින්.

ඒ එන අතරත් ඔහුගේ දුරකථනයට කිසිත් ඉසිඹුවක් නෑ. දේශපාලන අනාගතය පිළිබඳ බියෙන් සැකයෙන් පසුවන අනෙකුත් පක්ෂවල නායකයින්ගේ මන්ත්‍රීවරුන්ගේ සංවිධායකවරුන්ගේ දුක් ගැනවිලිවලට දැන් ඉන්න එකම පිහිට සජිත්. විසදුමත් සජිත්.

 

PHOTO 2024 07 21 10 34 45
ඔහු ඒ දුරකථන ඇමතුම් එකක්වත් මගහැරියේ නෑ. සියල්ලටම නිසි උත්තර ලබා දුන්නා. බොහෝ දෙනකුට වුවමනා වුණේ ඔහුව හමුවන්න. ඒ අනාගතය ගැන ඔවුන්ට තිබෙන බය නිසා. සජිත්ගේ දෛනික කාල සටහනේ කොහේ හෝ තැනක පුංචි ඉඩකඩක් ඔවුන් වෙත ලබා දෙන්න තරමටම සජිත් කාරුණික වුණා.

ඔන්න ඔහොමයි පහුගිය සතියේ වැදගත්ම දවස් ගෙවිලා ගියේ. කාර්යබහුල කොළඹ කාර්යබහුල ජීවිතය කාටවත් මග අරින්න බෑ. 17ත් වෙනිදා රාත්‍රියේ ඊට අවතීර්ණ උණ සජිත් පහුවදා ආයෙත් කළුතර වැඩ කටයුතු ටික බලාගන්න රයිගම්කෝරලයට බලා පිටත්ව ගියා.

PHOTO 2024 07 21 14 04 32(මධුශංක අබේගුණවර්ධන)
Madushanka Abeygunawardena
madushankaunp@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...