The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

වැම්පයර් මිථ්‍යාව: එය මතු වූයේ කොහෙන් ද සහ ඇයි?

T

The Leader Desk

July 21, 2024 • 6:23 AM

වැම්පයර් මිථ්‍යාව: එය මතු වූයේ කොහෙන් ද සහ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන ශතවර්ෂයේ මුල් භාගයේදී, සර්බියාවේ මිනිසුන් විශාල ගණනක් අබිරහස් ලෙස මිය යාමට පටන් ගත්හ.
  • මෙම මරණ සිදු වූයේ ඔවුන්ගේ මියගිය අසල්වැසියන්ගේ අවතාර නිසා බවට ත් ඔවුන් මිය යාමට මොහොතකට පෙර හුස්ම හිරවීම හෝ අධික ලෙස හුස්ම ගැනීම සිදු වූ බවට ත් ප්‍රකාශ විය.
  • විශේෂයෙන් ම කුඩා ගම්මාන දෙකක් එනම්, සර්බියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි මෙඩ්වෙජා සහ ඊසාන දෙසින් පිහිටි කිසිලෙවෝ මෙම මරණ සිදු වූ බවට කටකතා පැතිර ගිය ප්‍රධාන ස්ථාන විය.
  • මෙම ගම්මාන එකිනෙකට කිලෝමීටර් 200ක් දුරින් පිහිටා තිබුණු නමුත් දශකයක් ඇතුළත සමාන රටාවක් ඇති කුතුහලය දනවන සිදුවීම් එම ගම්මානවලින් වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

18 වන ශතවර්ෂයේ මුල් භාගයේදී, සර්බියාවේ මිනිසුන් විශාල ගණනක් අබිරහස් ලෙස මිය යාමට පටන් ගත්හ. මෙම මරණ සිදු වූයේ ඔවුන්ගේ මියගිය අසල්වැසියන්ගේ අවතාර නිසා බවට ත් ඔවුන් මිය යාමට මොහොතකට පෙර හුස්ම හිරවීම හෝ අධික ලෙස හුස්ම ගැනීම සිදු වූ බවට ත් ප්‍රකාශ විය.

විශේෂයෙන් ම කුඩා ගම්මාන දෙකක් එනම්, සර්බියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි මෙඩ්වෙජා සහ ඊසාන දෙසින් පිහිටි කිසිලෙවෝ මෙම මරණ සිදු වූ බවට කටකතා පැතිර ගිය ප්‍රධාන ස්ථාන විය. මෙම ගම්මාන එකිනෙකට කිලෝමීටර් 200ක් දුරින් පිහිටා තිබුණු නමුත් දශකයක් ඇතුළත සමාන රටාවක් ඇති කුතුහලය දනවන සිදුවීම් එම ගම්මානවලින් වාර්තා විය.

ඒ අනුව, මෙම මරණවලට හේතුව කුමක්දැයි සොයා බැලීමට ඔස්ට්‍රියානු වෛද්‍යවරුන් ඒ වෙත යවන ලද අතර ඔවුහු තමන් විසින් සොයා ගන්නා ලද සෑම තොරතුරක් සම්බන්ධයෙන් ම සවිස්තරාත්මක වාර්තා සම්පාදනය කළහ. වැඩි කල් නොගොස් මෙම සොයා ගැනීම් පිළිබඳව ඔස්ට්‍රියානු මාධ්‍ය දැනගත් අතර ඒවා ශාස්ත්‍රීය කවයන් වෙත ප්‍රවේශ වූයේ ඉන් අනතුරුව ය.

ජර්මානු ඉතිහාසඥ තෝමස් එම්. බෝන්, 'Vampires: The Origin of the European Myth' ග්‍රන්ථයේ කතුවරයා පවසන්නේ, 1725 වසරේදී 'Wienerisches Diarium' නම් ඔස්ට්‍රියානු දිනපතා පුවත්පතක ‘වැම්පයර්’ යන වචනය මුලින් ම දැක ගැනීමට හැකි වූයේ ඒ ආකාරයෙන් බව ය.

වැම්පයර් කෙනෙකු යනු, මිනිසුන්ගේ රුධිරය ආහාරය පිණිස ගෙන ජීවත් වන බවට සැලකෙන මිථ්‍යා සත්වයෙකි.

ලොව පුරා සංස්කෘතීන් තුළ වැම්පයර්වරුන් පිළිබඳ විවිධ රසවත් කතා පැවති නමුත් බටහිර යුරෝපයේ 'වැම්පයර්' යන යෙදුම ප්‍රචලිත වූයේ, 18 වන සියවසේ එවැනි සිදුවීම් වාර්තා වීමත් සමග ය.

'යක්ෂයාගේ වැඩක්'

1725 වසරේදී කිසිලෙවෝහි දින දෙකක් ඇතුළත පුද්ගලයින් 9 දෙනෙක් මිය ගියහ. ඔවුන් සියල්ලෝ ම මරණයට පෙර එක්තරා අසල්වැසියෙකු ගැන සඳහන් කළහ.


ඔවුන් පැවසුවේ, මීට පෙර මියගිය පීටර් බ්ලගෝයෙවිච් (Petar Blagojevic) නම් පුද්ගලයෙකු සිහිනෙන් පැමිණ ඔවුන්ගේ ගෙළ සිර කිරීමට පටන් ගත් බව ය.

 

බ්‍රැම් ස්ටෝකර්ගේ 'ඩ්‍රැකියුලා' නවකතාව ශ්‍රේෂ්ඨතම වැම්පයර් නවකතාව ලෙස පිළිගැනෙන අතර 1931 දී 'ඩ්‍රැකියුලා' ඇතුළු චිත්‍රපට රැසකට ආභාසය ලබා දී ඇත

 

ඊට ප්‍රතිචාරයක් වශයෙන්, ප්‍රදේශවාසීන් බ්ලගෝයෙවිච්ගේ දේහය තැන්පත් කර තිබුණු වළ හෑරු අතර එහිදී ඔවුන්ට නරක් නොවූ ඉතා හොඳ තත්ත්වයේ පැවති මළ සිරුරක් හමුවිය. එය ඔවුන් සැලකුවේ 'යක්ෂයාගේ වැඩක්' ලෙසිනි.

"මුහුණ, අත් සහ පාද, ඇත්ත වශයෙන් ම මුළු ශරීරය ම ජීවමානව හිටියා වගේ ම යි," දේහය ගොඩට ගැනීමේ අවස්ථාවට පැමිණ සිටි ඔස්ට්‍රියානු නිලධාරියෙක් ලිවීය.

"මෘත දේහයේ මුඛයේ, මාව පුදුමයට පත් කළ දේ තමයි, මට අලුත් ලේ තිබිලා හම්බ වුණා. පොදු විශ්වාසය අනුව නම්, ඒ ඔහු මරලා දාපු අයගෙන් උරා බීපු ලේ."

ඩබ්ලින්හි ත්‍රිත්ව විද්‍යාලයේ මහාචාර්ය ක්ලෙමන්ස් රූත්නර් විශ්වාස කරන්නේ, ඔස්ට්‍රියානු වෛද්‍යවරුන් මෘත දේහ ගොඩට ගෙන සිදු වූ දේ තේරුම් ගැනීමට දේශීය පරිවර්තකයන් සමග කතාබහ කළ අවස්ථාවේ සිට 'වැම්පයර්' යන වචනය ආරම්භ වූ බව ය.

"පරිවර්තකයා සමහරවිට 'උපීර් (upir)' වැනි දෙයක් කියන්න ඇති. ඒක යක්ෂයෙකු හැඳින්වීම සඳහා පාවිච්චි කරන ස්ලෝවේනියානු වචනයක්. ඒ වරදවා වටහාගැනීමෙන් තමයි, 'වැම්පයර්' යන වචනය උපත ලබන්න ඇත්තේ," ඔහු පවසයි.

තමන් ‘ප්‍රබුද්ධ’ යැයි සිතූ ඔස්ට්‍රියානු නිලධාරීන් සහ ඔස්ට්‍රියානුවන් විසින් ‘ප්‍රාථමික’ ලෙස සැලකූ ප්‍රාදේශීය ගම්වැසියන් අතර ඇති වූ යටත් විජිත හමුවීම හරහා නව ජීවියෙකු බිහි වූ බව ඔහු වැඩිදුරටත් පවසයි.

පීටර් නැවැත්වීම සඳහා ගම්වැසියන් ඔහුගේ හදවත පසාරු කර ඔහුගේ සිරුර පුළුස්සා දැමූ බව කියනු ලබන අතර ඒත් සමග ගමේ වැම්පයර්වරුන් පිළිබඳ වාර්තා අවසන් විය.

මෙම සිදුවීම් අවධානයට ලක් වුව ද මහාචාර්ය බෝන් පවසන පරිදි, 'වැම්පයර්වාදය' (වැම්පයර්වරුන් පිළිබඳ විශ්වාසය හැඳින්වීමට භාවිත කරන යෙදුමක්) පිළිබඳ අදහස ඒ වන විටත් සාමාන්‍ය ජනතාවගේ විඥාණයට කා වැදීමට තරම් ලියලා වැඩී නොතිබිණි.

තාර්කිකව පැහැදිලි කළ නොහැකි කිසිවක් එම යුගයේ පැවති ප්‍රබුද්ධ මානසිකත්වය පිළිනොගත්තේ ය.

වැම්පයර් කෙනෙක් ද? අන් දොස් දැරූ අයෙක් ද?

ඉන් වසර හතකට පසු, 1732 වසරේ ජනවාරි මාසයේදී, මෙඩ්වෙජා ගම්මානය භීතියකින් වෙලී ගියේ ය.

මාස තුනක් ඇතුළත 17 දෙනෙක්, (ඔවුන්ගෙන් සමහරක් තරුණ හා සෞඛ්‍ය සම්පන්න අය වූහ) පැහැදිලි හේතුවක් නොමැතිව මිය ගියහ.

කිසිලෙවෝහි වාර්තා වුණු සිදුවීම් හා සමානව මියගිය සමහරක් අය මරණයට පෙර හුස්ම හිරවීමක් සහ පපුවේ දරුණු වේදනාවක් දැනුණු බව පැවසූහ.

මෘත දේහ ගොඩට ගන්නා ලෙසට ලද නියෝගය අනුගමනය කිරීමෙන් පසු, වෛද්‍ය යෝහානස් ෆ්ලූකින්ගර් වාර්තාවක් ලිවූ අතර එහිදී ඔහු 'වැම්පයර්වාදය' සම්බන්ධයෙන් ප්‍රධාන අපරාධකරු ලෙස යුද්ධ පුහුණුව ලද පුද්ගලයෙකු පිළිබඳව සඳහන් කළේ ය.

ඔහුගේ සිරුර ඒ වනවිටත් දිරාපත් වී නොතිබුණු අතර ඔහුගේ ඇස්, නාසය, මුඛය සහ කන්වලින් නැවුම් රුධිරය ගලා ආ බවට වාර්තා විය.

ඔහු සැබවින් ම වැම්පයර් කෙනෙකු බවට විශ්වාස කිරීමට මෙඩ්වෙජා වැසියෝ එය සාක්ෂියක් ලෙස දුටුවහ. ඒ නිසා ඔවුහු ඔහුගේ හදවත පසාරු කර ඔහුගේ ශරීරය ද පුළුස්සා දැමූහ.

 

h6756

එංගලන්තයේ ඓතිහාසික විට්බි ඇබේ බ්‍රැම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා පිටුපස ඇති ආභාසය ලෙස ප්‍රසිද්ධියක් උසුලයි

 

"මෙම පුද්ගලයාගේ ජීවිතය සහ ඔහුට සිදු වූයේ කුමක් ද යන්න ගැන තොරතුරක් නොමැති තරම් ය. වැටී මරණයට පත් වුණු මෙම පුද්ගලයා වෙත මිනිසුන් තම ප්‍රශ්නවලට වගකිව යුත්තා ඔහු යැයි දොස් පැවරූහ," තෝමස් බෝන් ඔහුගේ ග්‍රන්ථයේ ලියයි.

ඔහු විශ්වාස කරන්නේ, මෙම පුද්ගලයා කොසෝවෝ සිට පැමිණි ඇල්බේනියානු ජාතික ආනෝට් පව්ලේ බව ය.

"කිසිලෙවෝවල පීටර් බ්ලගෝයෙවිච් සහ මෙඩ්වෙජාවල ආනෝට් පව්ලේ කියන්නේ වැම්පයර් විශේෂයේ ප්‍රථම නියෝජිතයන්" යැයි ඔහු පවසයි.


විද්‍යාත්මක පැහැදිලි කිරීම

දිරාපත් නොවූ මළ සිරුරු පිළිබඳව ගැමියන් බියෙන් පසුවූ පසුබිමක නූතන ව්‍යාධි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, මියගිය අය හමුවූ තත්ත්වය දුලබ නොවන බව ය.

"වියානාවල ප්‍රමුඛ පෙළේ ව්‍යාධි විද්‍යාඥයෙකු වන ක්‍රිස්ටියන් රයිටර් සිතන්නේ, මේ සියලු සිද්ධීන් පිටුපස තිබුණේ, අතීත යුද්ධ සමයේදී සහ ඉන් පසු කාලවලදී සාමාන්‍ය සිදුවීමක් වුණු ඇන්ත්‍රැක්ස් වසංගතය කියලා," යැයි මහාචාර්ය රූත්නර් පවසයි.

ඇන්ත්‍රැක්ස් යනු, බැක්ටීරියා රෝගයක් වන අතර එය ආසාදිත සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර බොහෝ විට මරණයට හේතු වේ.

මරණයට පෙර හුස්ම හිරවීම පිළිබඳ වාර්තා නියුමෝනියාවට සම්බන්ධ විය හැකි බව රූත්නර් විශ්වාස කරයි.

"ඔබ වාර්තා හොඳින් කියවා බැලුවහොත්, කිසි කෙනෙක් තම ඇස්වලින් වැම්පයර් කෙනෙක් දැක නැති බව ඔබට පෙනේවි. ඔවුන් රුධිරය උරා බිව්වා යන අදහස ඔස්ට්‍රියානු වෛද්‍යවරුන් තේරුම් ගත්ත විදිහ," ඔහු පවසයි.

තෝමස් බෝන් සිතන්නේ, ලේ උරා බීම බටහිර වැසියන් විසින් නිර්මාණය කරන ලද මිථ්‍යාවක් බව ය.

 

romaniac

රුමේනියාවේ බ්‍රැන් කාසල් ඩ්‍රැකියුලා චරිතයට ආස්වාදයක් ලබා දෙන අතර සෑම වසරකම සංචාරකයින් ආකර්ෂණය කර ගනී

 

මෙඩ්වෙජාහි ඉතිහාසඥයෙකු වන ඊවන් නේසික් පවසන පරිදි, තවමත් වැම්පයර්වරුන් පිළිබඳ විශ්වාසය සහ බිය සමාජ මනෝභාවය තුළ පවතී.

ඔහු පෙන්වා දෙන්නේ, පීටර් බ්ලගෝයෙවිච් සහ ආනෝට් පව්ලේ මිය ගොස් බොහෝ කලකට පසුවත්, ප්‍රදේශවාසීන් තම පෞද්ගලික අවකාශය වැම්පයර්වරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට උත්සහ කළ බව ය.

"සර්බියානු වැම්පයර් කෙනෙක් සමේ ලේ පිරිණු බිබිලකට [සමානයි කියලා විශ්වාස කරනවා]," ඔහු පවසයි.

"කොහේ හරි සිදුරු වුණොත් බැලුමක් වගේ ඔහු හැකිළී යනවා කියලා [ඒ අය හිතනවා]. ඒ නිසා මිනිසුන් ආරක්ෂාව සඳහා ගේට්ටු, ජනෙල් හෝ දොරවල් මත හෝතෝන් ගස්වල අතු තැබුවා."


‘තුර්කි තර්ජනයට’ විකල්පයක්

කිසිලෙවෝ සහ මෙඩ්වෙජා යන ගම්මාන දෙක ම පිහිටා තිබුණේ සියවස් ගණනාවක් පැවති ඔටෝමාන් පාලනයෙන් පසුව, 1700 ගණන්වල හැබ්ස්බර්ග් රාජාණ්ඩුවේ අධිකාරියට යටත් වූ මායිම් ප්‍රදේශවල ය.

මහාචාර්ය රූත්නර් විශ්වාස කරන්නේ, වැම්පයර්වරුන් දුටු බව අවධානයට ලක්වූයේ මෙම සිදුවීම් එවැනි මතභේදාත්මක ප්‍රදේශවල වාර්තා වූ නිසා බව ය.

"ඔටෝමාන් අධිරාජ්‍යය සහ බටහිර අතර ඇති ප්‍රබල ගැටුම මෙම සිදුවීම් අතරතුර සිද්ධ වුණේ මොකක් ද කියන එක තේරුම් ගන්න ඉතා වැදගත්," ඔහු පවසයි.

1683 වසරේදී ඔටෝමාන් අධිරාජ්‍යයා වියානා යටත් කර ගැනීමට දෙවන වරටත් අපොහොසත් වූ පසු, ක්‍රිස්තියානි ධර්මයට එල්ල වූ 'තුර්කි තර්ජනයට' විකල්පයක් බවට වැම්පයර්වරුන් පත් වූ බව ද මහාචාර්ය බෝන් පෙන්වා දෙයි.

18 වන ශතවර්ෂයේ මැද භාගයේදී, හැබ්ස්බර්ග් රාජාණ්ඩුව තුළ 'වැම්පයර්වරුන්' දුටු බවට නව රැල්ලක් මතු වූ නමුත්, මිථ්‍යා විශ්වාසයන් මැඩපැවැත්වීම සඳහා මෙම පරිකල්පිත ජීවීන්ට එරෙහි සියලු සටන් තහනම් විය.

 

bradp

වැම්පයර් මිථ්‍යාව ආභාසය ලබා දුන් 'ඉන්ටර්වීව් විත් ද වැම්පයර්: ද වැම්පයර් ක්‍රොනිකල්ස්' වැනි චිත්‍රපටවල ජනප්‍රිය නළු බ්‍රැඩ් පිට් රඟපෑ චරිතය 'කඩවසම් සහ සුදුමැලි සමක් ඇති' වැම්පයර් කෙනෙකුට උදාහරණයක් සැපයීය

 

නමුත් වැඩි කල් නොයා වැම්පයර්වරුන් වෙනත් ආකාරයකින් නැවත අවදි කරනු ලැබිණි.

"රෝමාන්තික යුගයේ හිටියේ කඩවසම්, සුදුමැලි සමක් ඇති වංශක්කාර වැම්පයර්වරු. නැතුව රතු මුහුණැති, බඩ පිපුණු සර්බියානු ගම්වැසියන් වගේ අය නෙවෙයි," රූත්නර් පවසයි.

නූතන ප්‍රබන්ධවල දක්නට ලැබෙන චමත්කාරජනක සහ නවීන වැම්පයර් උපත ලැබුවේ, 1819 වසරේදී ඉංග්‍රීසි ලේඛක ජෝන් පොලිඩෝරි විසින් 'The Vampyre' ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමග ය.

බ්‍රෑම් ස්ටෝකර්ගේ 1897 වසරේ ප්‍රකාශයට පත් වුණු 'ඩ්‍රැකියුලා' නවකතාව ශ්‍රේෂ්ඨතම වැම්පයර් නවකතාව ලෙස සලකනු ලබන අතර එය අද දක්වා ම නූතන වැම්පයර් පුරාවෘත්තයේ පදනම සපය යි.

(මලිකා රැඩන්කෝවික් ජෙරමික්)
බීබීසී පුවත් සර්බියා

BBC සිංහල සේවය 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...