The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු

T

The Leader Desk

July 25, 2024 • 9:31 AM

වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන් ද සමුගත් පුවත බ්‍රහස්පතින්දා (ජූලි 25) අලුයම් කාලයේදී අසන්නට ලැබිණි.
  • වික්‍රමබාහුගේ මුල් විය වික්‍රමබාහු කරුණාරත්න මෙලොව එළිය දුටුවේ, බදුල්ලේ සිට කිලෝමීටර් 42ක් පමණ දුරින් පිහිටි දුෂ්කර ප්‍රදේශයක් වූ ලුණුගලදී ය.
  • වසරේ මාර්තු මස 8 වන දා ලුණුගලදී ඔහු උපත ලැබී ය.
  • පසුව, කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වී ද්විතියික අධ්‍යාපන කටයුතුවල නිරත වූ ඔහු, ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වී විදුලි ඉංජිනේරු විෂය පිළිබඳ පළමු පෙළ ගෞරව උපාධියක් හිමි කර ගත්තේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන් ද සමුගත් පුවත බ්‍රහස්පතින්දා (ජූලි 25) අලුයම් කාලයේදී අසන්නට ලැබිණි.

81 හැවිරිදි ඔහු අභාවප්‍රාප්ත වූයේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විෂය ක්ෂේත්‍රයන් දෙකක් ඔස්සේ සන්නාම සලකුණු තැබූ සුවිශේෂී පෞරුෂයකට හිමිකම් කී ශ්‍රී ලාංකිකයෙකි.

මේ ලිපියෙහි අරමුණ ඔහුගේ දේශපාලන ගමන්මග පමණක් නොව බොහෝ දෙනෙකු නොදත් ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වූ විද්‍යාඥයෙකුගේ ගමන්මග පිළිබඳව ද යම් අනාවරණයක් කිරීම ය.

 


වික්‍රමබාහුගේ මුල් විය

වික්‍රමබාහු කරුණාරත්න මෙලොව එළිය දුටුවේ, බදුල්ලේ සිට කිලෝමීටර් 42ක් පමණ දුරින් පිහිටි දුෂ්කර ප්‍රදේශයක් වූ ලුණුගලදී ය. ගුරු වෘත්තියේ නිරත වූ ඔහුගේ දෙමාපියන් එවකට සේවය කර තිබුණේ, ලුණුගල ප්‍රදේශයේ ය.

1943 වසරේ මාර්තු මස 8 වන දා ලුණුගලදී ඔහු උපත ලැබී ය.

පසු කලෙක ඔහුගේ දෙමාපියන් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශයේ පදිංචියට පැමිණි අතර, ඒ හේතුවෙන් වික්‍රමබාහුගේ ප්‍රාථමික අධ්‍යාපනය මතුගම, ආනන්ද ශ්‍රාස්ත්‍රාලයෙන් ඇරඹිණි.

පසුව, කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වී ද්විතියික අධ්‍යාපන කටයුතුවල නිරත වූ ඔහු, ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වී විදුලි ඉංජිනේරු විෂය පිළිබඳ පළමු පෙළ ගෞරව උපාධියක් හිමි කර ගත්තේ ය.

අධ්‍යාපනය එතැනින් අවසන් නොකළ වික්‍රමබාහු, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න බවට පත්වූයේ, පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගොස් ආචාර්ය උපාධියක් හිමි කර ගැනීමෙන් පසුව ය. ඔහු එම සුදුසුකම ලබා ගත්තේ, 1970 වසරේදී ය.

ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු ආපසු ශ්‍රී ලංකාවට පැමිණි ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් විය.

දේශපාලන ගමන්මග


වික්‍රමබාහු කරුණාරත්න ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටියදී 1962 වසරේදී ලංකා සම සමාජ පක්ෂයට එක් වෙමිනි.

ඔහු ඉන් වසර දහයකට පසු එනම් 1972 වසරේදී ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කමිටුවට තේරී පත් විය.

1972 වසරේදී ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය පළ කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය සමග ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් නිසා ඔහු එම පක්ෂයෙන් නෙරපා දැමූ බව සඳහන් වේ.

පසුව 1977 වසරේදී වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් සමග එක්ව නව සම සමාජ පක්ෂය ගොඩ නැගීමට දායක විය.

1978 වසර ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත්වූයේ, එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව දැක්වූ විරෝධතා හේතුවෙනි.

එහිදී, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අත්අඩංගුවට ගැනිණි.

‘සිද්ධිය ඇසින් දුටු’ මහාචාර්ය ජයදේව උයන්ගොඩ කී කතාව

මේ වන විට දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජයදේව උයන්ගොඩ 1978 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු විය.

"මට මතකයි, 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහත්මයා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවා ම, ඒකට එරෙහිව දැඩි විරෝධය පළ කළ කෙනෙක් තමයි, වික්‍රමබාහු කරුණාරත්න. මටත් මතකයි, මමත් එතකොට පේරාදෙණියෙ හිටියා. මම ගියා ගලහ හන්දියට. වික්‍රමබාහු එතන කළු කොඩි එසවූවා. ඒකට වික්‍රමබාහු අත්අඩංගුවට ගත්තා. හිර ගෙදරත් හිටියා," මහාචාර්ය ජයදේව උයන්ගොඩ සිය මතකය අවදි කළේ එලෙසිනි.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මාස කිහිපයක් රඳවාගෙන සිට මුදා හැරුණ ද, එම සිද්ධියෙන් පසු ඔහුට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරය අහිමි කෙරිණි.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ ප්‍රකාශ කළේ, එවකට මහනුවර ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණ සමග එක් නොවුණු විශාල පිරිසක් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න වටා එක්ව සිටි බව ය.

1983 වසරේ පැවති දැවැන්ත වැඩ වර්ජනයේදී ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළ බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි.

"ඔහු ඒ කාලේ විශ්වාස කළා මේ දැවැන්ත වැඩ වර්ජනය හරහා ශ්‍රී ලංකා දේශපාලනයේ විශාල පෙරළියක් සිද්ධ වෙයි කියලා. ඒත් එහෙම දෙයක් වුණේ නෑ."


1987 වසරේදී ආචාර්ය වික්‍රමබාහුගේ නව සම සමාජ පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව එක්සත් සමාජවාදී සන්ධානය පිහිටුවීය.

 

1988 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහ­ජන පක්ෂ­යෙන් තර­ග­කල ඔසීගේ සහා­යට වාසු සහ බාහු එක්වූ අව­ස්ථා­වක්.
පසුව, 1998 වසරේදී නව සම සමාජ පක්ෂය, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය එක්ව නව වාමාංශික පෙරමුණ පිහිටුවීය.

ඔහු 2010 වසරේ ජනාධිපතිවරණයේදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් මේසය ඡන්ද සලකුණ යටතේ, ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය.

දේශපාලනය නිසා සැඟවී ගිය ස්ටීවන් හෝකින් පරපුරේ විද්‍යාඥයා

මෙම ලිපියේ ඉහත සඳහන් කර ඇති පරිදි පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළු වූ වික්‍රමබාහු කරුණාරත්න, ලෝකයේ බිහිවූ අතිවිශිෂ්ට භෞතික විද්‍යාඥයෙකු ලෙස සැලකෙන ස්ටීවන් හෝකින්ගේ සමකාලීනයෙකි.

වරක් ජනක ලියනආරච්චි නමැති මාධ්‍යවේදියා සමග පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කර තිබුණේ මෙලෙසිනි.

 


"මගේ ඩිපාට්මන්ට් එක වුණේ, ඇප්ලයිඩ් මැතමැටික්ස් ඔෆ් තියරිටිකල් ෆිසික්ස්. සිංහලෙන් කියනවා නම් න්‍යායාත්මක භෞතික විද්‍යාවේ ව්‍යවහාරික ගණිත අංශය. මගේ ඩිපාර්ට්මන්ට් එකේ තමයි ස්ටීවන් හෝකින් හිටියෙ. අපි ඔක්කොම 25කට වැඩිය හිටියෙ නෑ. මම යනකොට හෝකින් පර්යේෂණ ශිෂ්‍යයෙක්. මමත් පර්යේෂණ ශිෂ්‍යයෙක් විදිහට සම්බන්ධ වුණේ. මම හිටියෙ හෝකින්ගෙ පර්යේෂණ කණ්ඩායමේ නෙමෙයි. තරංගවලට බාධක ඇති වන ආකාරය ගැන තමයි, මා ඇතුළු මගේ කණ්ඩායම පර්යේෂණ කළේ."

"හෝකින් ප්‍රියමනාප කෙනෙක්. ඔහු තුළ කිසි ම කුහකකමක් තිබුණෙ නෑ. යමක් ඇහුවොත් වුවමනාවෙන් කියලා දෙන්න හදනවා. එයාගෙ අදහස පැහැදිලි කරනවා. හිනාවෙන්න පුළුවන් දේවල් කියනවා. ඔහුගෙ තිබුණ විශේෂ ම ලක්ෂණය තමයි, ලේසියෙන් කෙනෙක්ව හිනස්සවන්න හැකි වීම. ඔහු විටෙක හාස්‍යයෙන් පිරුණු කෙනෙක්. ඒ වගේම හෝකින් කැමැති වුණේ නෑ එයාට අමාරුකම් තියනවා කියලා පෙන්වන්න. ඔහු හැම වෙලාවෙ ම කිව්වෙ මට ප්‍රශ්නයක් නෑ කියලා. ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන්න ඔහුට හැකි වුණා. ඔහුගෙ දර්ශනයත් හැදෙන්නෙ එහෙමයි. "ඔබ මනුස්සයෙක් නම් ඔබ නොපසුබස්නා වීර්යයෙන් යමක් කළ යුතුයි. ඔබ ලෝකයට වටිනා කෙනෙක්. ලැබුණු ජීවිතේ පුළුවන් තරම් ප්‍රයෝජනයට ගන්න" ඔහු හැම විට ම කිව්වෙ ඒක."

ලෝකය ස්ටීවන් හෝකින්ගේ දැනුමෙන් විශිෂ්ට ප්‍රයෝජන ලබා ගත්ත ද, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධූරය පවා අහිමි විය.

පසුව වසර 40ක් තිස්සේ ඉගැන්වීම් අතහැර පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වුව ද, ඔහු විවෘත විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වී පර්යේෂණ කිහිපයක නිරත විය.

ඔහු පැවසූ පරිදි වසර 40කට පසු ඔහුට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මැදිහත් වීමෙන් හිඟ වැටුප් සහිතව මහාචාර්ය පදවිය ද පිරිනැමිණි.

 

bahu with ranil
දෛවෝපගත සිදුවීමක් වන්නේ, 1978 වසරේ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරද්දී අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ, ඉන් වසර 40කට පසු අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුට හිඟ වැටුප් ගෙවා යළි සේවයේ පිහිටුවීම ය.

කෙසේ වෙතත්, ඔහුට ඒ සියල්ල හිමි වන විට විශ්‍රාම යාමේ වයස ඉක්මවා ගොස් තිබිණි.

ඒ අනුව, ඔහුගේ දැනුමෙන් ප්‍රමාණවත් සේවයක් මෙරටට ලබා ගැනීමට නොහැකි වූ බව බොහෝ දෙනෙකුගේ අදහස යි.

මේ අතර, පසු කාලීනව රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විරෝධයක් නොදැක්වීම හේතුවෙන් වාමාංශික දේශපාලනයේ ඔහු ගොඩ නගා ගත් පෞරුෂයට යම් කැළලක් සිදුවූ බව මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ අදහස යි.

‘ශ්‍රී ලංකා දේශපාලනයේ සන්නාමයක්’ - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ශ්‍රී ලංකා දේශපාලනය තුළ සුවිශේෂී හැසිරීමක් පෙන්නුම් කළ චරිතයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි බීබීසී සිංහල සේවයට පැවසීය.

 

1987/89 ජවිපෙ කැරපිකරුවන්ගේ ප්‍රහා­ර­ව­ලින් ආත්මා­ර­ක්ෂාව සල­සා­ගත් නස­සප ක්‍රියා­කා­රින් පිරි­සක් 1988 විවේකී මොහො­ත­කදී ආචාර්ය බාහු සම­ඟින් ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි අයුරු.
"1980 අග භාගයේ ජනතා විමුක්ති පෙරමුණේ නැගිටීමත් සමග වාමාංශික දේශපාලනයේ යම් යම් වෙනස්කම් ඇති වුණා. එක කොටසක් ජනතා විමුක්ති පෙරමුණට හිතවත් ආකල්පයක් දැරුවා. තව කොටසක් ආණ්ඩුව සමග එකතු වෙලා ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කරන්න උත්සහ කළා. නමුත්, වික්‍රමබාහු මේ පාර්ශව දෙකට ම අයිති වෙන්නෙ නැතුව යම්කිසි විදිහක වෙනස් දේශපාලනයක් සඳහා උත්සහයක් දැරුවා," මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැවසීය.

කෙසේ වෙතත්, 1990 වකවානුවෙන් පසු නිර්මාණය වූ දේශපාලන පරිසරයට හැඩ ගැසී ඉදිරියට ඒමට මහාචාර්ය වික්‍රමබාහු ඇතුළු පාර්ශවයට හැකියාවක් නොලැබුණු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රධාන සන්නාමයක් බව ය.

 

"ඔහු ලංකාවේ දේශපාලනයේ ඉතා වැදගත් පුරුකක්. අපට කියන්න පුළුවන් ඔහු ඇත්තට ම ප්‍රධාන සන්නාමයක් තමයි බාහු කියලා කියන්නේ. ඔහුගේ අභාවය දේශපාලන ලෝකයට දැනෙන සංසිද්ධියක්."

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 27 සෙනසුරාදා බොරැල්ල කනත්තේ දී සිදුකෙරෙන බව නව සම සමාජ පක්ෂය පවසයි.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු | The Leader