The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වික්‍රමබාහු ; වෙනම ටෙම්පො එකක් !

T

The Leader Desk

July 27, 2024 • 5:50 AM

වික්‍රමබාහු ; වෙනම ටෙම්පො එකක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බාහු සහෝදරයා එවකටත් නව සම සමාජ පක්ෂයේ නායකයා.
  • ඒත්, බාහු, අසූ අට අසූ නවයෙ හිටියෙ, පක්ෂයට සතුරු කඳවුරේ බව අපි දැනගෙන හිටියා.
  • ඒ අතීතය ප්‍රගතිශීලී ව්‍යාපාරවල අනාගත දේශපාලන සමගියට බැරියර් එකක් කරගන්නවද?" තාර්කික ප්‍රශ්නයක් අහලා වීරවංශ ඉඳගත්තා.
  • ට්‍රොට්ස්කිවාදී සංවිධාන ප්‍රතිපත්තියේ ලිහිල් බව ගැන උදාහරණයක්, තුන්වෙනි පන්තිය කරද්දී අලුතෙන් පාවිච්චි කරන්න අපට හම්බ වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

වුණා. බාහු සහෝදරයා එවකටත් නව සම සමාජ පක්ෂයේ නායකයා. ඉගැන්වීම් අනුව අපි බොල්ෂෙවික් එයා මෙන්ෂෙවික්.

හැබැයි බාහුගෙ විලාසය, ලියුම්කරුට එවකටත් ආස හිතෙන එකක්. එයා ෂර්ට් එකට උඩින් ජැකට් එකක් ඇන්දා. එක්කෝ ෂර්ට් එකේ බොත්තම් ඇරලා, ඊට යටින්  ඇන්ද ටී ෂර්ට් එක පේන්න ඕපන් කරලා ඇන්දා. ඒවා හෙන මොඩර්න් දේවල් හැටියට ඒ කාලෙත් පෙනුනා. ඒ විලාසයේ යම්කිසි පැරණි වමේ නැති අමුතු විලාසිතාවක් තිබ්බ.

 

එයා ෂර්ට් එකට උඩින් ජැකට් එකක් ඇන්දා. එක්කෝ ෂර්ට් එකේ බොත්තම් ඇරලා, ඊට යටින්  ඇන්ද ටී ෂර්ට් එක පේන්න ඕපන් කරලා ඇන්දා.

ඒත්, බාහු, අසූ අට අසූ නවයෙ හිටියෙ, පක්ෂයට සතුරු කඳවුරේ බව අපි දැනගෙන හිටියා. ඒ කාලේ යටිබිම්ගත සන්නද්ධ ව්‍යාපාර, මොනතරම් හැංගිලා හිටියත්, ඒ යටිබිම්ගත විශ්වයේ සිට අනුස්මරණීය ඡායාරූප ගැනීම ලෝකයට ම පොදුයි. ජවිපෙ සංහාරයට ආයුධ වලින් දායකත්වය දුන්න බාහුත් තමන්ගේ සන්නද්ධ සගයන් සමග ගත්ත එහෙම පින්තූරයක්, ඒ කාලෙත් ලියුම්කරු දැකල තිබුණා. වික්‍රමබාහු එක පිලක. අපි විජේබාහුගෙ පිලේ.

ඒ නිසා බාහු ගැන අපට තිබුණේ දේශපාලනිකව දුරස්ථ කමක්. එසේ තිබියදී පවා, රාජිතලා ඔසීලා ගැන නැති මෘදු අදහසක් බාහු වෙනුවෙන් ඉතුරු වුණේ කොහොමද.? ඒක අප තුල ශේෂ කරපු එක තමයි බාහුගෙ සුවිශේෂත්වය.

දෙදාහෙන් පස්සෙ වමේ පොදු එකතුවක පක්ෂය වැඩ කළා. ජනතා විමුක්ති පෙරමුණ, බාහුගේ නායකත්වයෙන් නව සම සමාජ පක්ෂය, සිරිතුංග ජයසූරිය නායකත්වයෙන් එක්සත් සමාජවාදී පක්‍ෂය එක්සත් ක්‍රියාමාර්ගවල නියැලුණා. මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණත් හිටියා වගේ මතකයි. එතකොට ඒකෙ නායකයා මුජිබර් රහුමාන්. එවකට තිබුණෙ චන්ද්‍රිකා පාලනය.

wikramabu jayasuriyaජනතා විමුක්ති පෙරමුණ, බාහුගේ නායකත්වයෙන් නව සම සමාජ පක්ෂය, සිරිතුංග ජයසූරිය නායකත්වයෙන්

මේ වමේ එකතුව ගැන ලියුම්කරු තුල තිබුණෙ ආස්වාදනීය හැඟීමක්. දිස්ත්‍රික් කමිටුව කැඳවන්න මූලස්ථානයෙන් එන සහෝදරයාගෙන් ඒ ගැන හැම වාරයකම වගේ ලියුම්කරු විමසුවා.

වමේ එකතුවේ පළමු උද්ඝෝෂණය පැවැත්වුණේ කොටුව ස්ටේෂන් එක ඉස්සරහ.  ජීවන වියදම අඩු කරනු, බඩු මිල පහත හෙළනු ආදී සටන් පාඨ අතර, ජාතිවාදී යුද්ධය පිටු දකිනු කියන යුද විරෝධී සටන්පාඨයත් තිබුණා. ඒ, යුදවාදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය හැදෙන්න කලින්. වමේ සටන්පාඨ හඬ නගන වමේ නායකයො එකට එක පේළියට දකිනකොට ලියුම්කරුට අමුතු ගැම්මක් ආවා.

වමේ පොදු අපේක්ෂකයා හැටියට තමයි නන්දන ගුණතිලක ජනාධිපතිවරණයට ඉදිරිපත් කරද්දී හඳුන්වා දුන්නේ. ඒ අනාගත දේශපාලන මොහොතට පස සකසන්න, ඊට කලින් ඉඳලා, වමේ එකතුව සම්මන්ත්‍රණ මාලාවක්  සංවිධානය කළා. ඒකෙ තේමාව, 'වම එක්සත් විය යුත්තේ ඇයි ?'


ගාල්ල, නුවර, මීගමුව වගේ තැන්වල සම්මන්ත්‍රණය තිබුණා. ඒ ඒ පක්‍ෂ ඒ ඒ දිස්ත්‍රික්කවල සම්මන්ත්‍රණය සංවිධාන කළා. මීගමුව සම්මන්ත්‍රණය සංවිධාන කළේ නසසප. තිබ්බෙ කම්කරු සෙවනේ. පුත්තලම දිස්ත්‍රික්කයේ අපි කීප දෙනෙකුත් එදා එතනට ගියා. එසපෙන් සිරිතුංග, නසසපෙන් බාහු, ජවිපෙන් විමල් වීරවංශ සම්මන්ත්‍රණයට ආවා.

 

photos 2එසපෙන් සිරිතුංග, නසසපෙන් බාහු, ජවිපෙන් විමල් වීරවංශ

ප්‍රධාන දේශන කීපය ඉවර වෙලා ප්‍රශ්න ඇසීමේ වාරය ආවා. එවකට මීගමුව නසසප සංවිධායක බ්‍රිටෝ නැගිට්ටා. "ජවිපෙ අපිව අසූ නවයේ ම.ර.න්න ආවනේ. කොහොමද ඕගොල්ලෝ විශ්වාස කරන්නෙ?" බ්‍රිටෝ ඇද්දා ගේමක්.

උත්තර දෙන්න වීරවංශ ආයෙත් පෝඩියම් එකට ආවා.  "ඒ කාලෙ එහෙන් මෙහෙට මෙහෙන් එහෙට උණ්.ඩ ගියා. ඒ අතීතය ප්‍රගතිශීලී ව්‍යාපාරවල අනාගත දේශපාලන සමගියට බැරියර් එකක් කරගන්නවද?" තාර්කික ප්‍රශ්නයක් අහලා වීරවංශ ඉඳගත්තා. අපි හිතුවෙ ඒක එතනින් ඉවර වෙයි කියල.  ඒත් ඒ එක්කම, යමක් කියන්න ඕන කියල බාහුත් නැගිට්ටා. මීගමුව නසසප සංවිධායක ජවිපෙ ප්‍රචාරක ලේකම්ගෙන්, පොදු එකඟතාව දෙදරවන ප්‍රශ්නයක් අහන එක අපි දන්න මධ්‍යගතභාවය අනුවත් පොඩ්ඩක් අවුල් තමයි. මොකද නසසප නායක බාහු එක අදහසක ඉන්නකොට සංවිධායක බ්‍රිටෝ වෙන අදහසක ඉන්න බෑනෙ දේශපාලන ස්ථාවරයන් ගැන. හිටියත් ප්‍රසිද්ධියේ අදහස් දක්වන එක තේරුම් ගන්න අමාරුයිනෙ. ඒක කමක් නෑ කියමුකෝ. දැන් අපි බලනවා නසසප නායකයා මොකක්ද නසසප සංවිධායකට ප්‍රසිද්ධියේ දෙන්න යන උත්තරේ කියල.

 

bahu 1"එහෙම කියන්න එපා සහෝදරයා, ඒ කාලෙ අපට වෙඩි තිබ්බෙ  ජවිපෙමයි කියල හරියටම කියන්න බෑනෙ. අනික අපි ගාවත් තුවක්කු තිබ්බනෙ. මම ඔයාටත් පිස්තෝලයක් දීල තිබ්බ, ඒක ඔයා නැති කර ගත්තනෙ"

බාහු මයික් එකට ඇවිත් මෙහෙම කිව්වා. "එහෙම කියන්න එපා සහෝදරයා, ඒ කාලෙ අපට වෙඩි තිබ්බෙ  ජවිපෙමයි කියල හරියටම කියන්න බෑනෙ. අනික අපි ගාවත් තුවක්කු තිබ්බනෙ. මම ඔයාටත් පිස්තෝලයක් දීල තිබ්බ, ඒක ඔයා නැති කර ගත්තනෙ"


සභාව එකම සිනා සාගරයක් වුණා. ට්‍රොට්ස්කිවාදී සංවිධාන ප්‍රතිපත්තියේ ලිහිල් බව ගැන උදාහරණයක්, තුන්වෙනි පන්තිය කරද්දී අලුතෙන් පාවිච්චි කරන්න අපට හම්බ වුණා.

බාහු, ජවිපෙන් වෙනස් වෙන තැන විතරක් නෙමෙයි, නලින් ද සිල්වගෙන් වාසුගෙන් කැඩෙන තැනත් ඒ ලිහිල් බවම තමයි කියලයි ලියුම්කරුට හිතෙන්නෙ.

ඒ වගේම, බාහුගෙ දුර්වලතාව වගේම  අනන්‍යතාවත් ඒ ලිහිල් බවම වෙන්න පුළුවන්. වමේ ව්‍යපාරයේ වීරයන් බහුතරයක් රැවුල විලාසිතාව කරගන්නකොට මෙල් ගිබ්සන් හරි කෙවින් කොස්ට්නර් වගේ


bahu ranil ms 1000pxබාහු, අවසාන කාලයේ වෙස්මුහුණකින් තොරවම දක්ෂිණාංශික රනිල් ගාව නතර වුණෙත් ඒ ලිහිල් බව එයාගෙ දේශපාලන ආත්මය තුලම තිබ්බ නිසා


ෆුල් ෂේව්ඩ් කරලා රතු ෂර්ට් එක ගහන්න පුළුවන් නිදහස් නිර්භීත කමක් එයා ගාව තිබුණා. වාසු, වෙස්වලාගත් දක්ෂිණාංශික මහින්ද ගාව නතර වෙනකොට, බාහු, අවසාන කාලයේ වෙස්මුහුණකින් තොරවම දක්ෂිණාංශික රනිල් ගාව නතර වුණෙත් ඒ ලිහිල් බව එයාගෙ දේශපාලන ආත්මය තුලම තිබ්බ නිසා වෙන්න පුළුවන්. එයාගෙ ශක්තිය වගේම දුර්වලකමත් ඒකමයි කියල ලියුම්කරුට හිතෙන්නේ ඒ නිසයි.

ඒත්, එයාගෙ ලියවිලි තුල ඒ ලිහිල් බව පැන නැංගේ ගැඹුරු දාර්ශනික ප්‍රබුද්ධත්වයක් විදිහට.  සිංහල බෞද්ධ ජාතිකවාදය එක්ක කොන්දේසි විරහිතව සටන් කරනකොට පවා, බෞද්ධ දර්ශනයේ අසිරිමත් බව දකින්න පුළුවන් විවෘත මනසක් බාහුට තිබ්බා. එයා  බෞද්ධ දර්ශනය මාක්ස්වාදය එක්ක මුහු කරන්න නිර්මාණාත්මක උත්සාහයක් ගන්න හැටි, ලක්බිමේ ගිය නිනව්ව තීරු ලිපියම හොඳ නිදසුනක්.


ලියුම්කරුට බාහුව පසුකාලයක එක දවසක මුණ ගැහෙනව, සලකුණ දේශපාලන සංවාදයෙදි.  අහන දේට තිතට නූලට අවංකව ඔහු පිළිතුරු දුන්නා.  "ගණිකා වෘත්තිය නීතිගත කරන්න ද ඔබ යෝජනා කරන්නෙ?" කියල සදාචාරවාදී කෝණයකින් ප්‍රශ්නයක් ඇහෙනකොට, ඔහු කිව්වා, "ඒක වෙනම සංවාදයක්, අපි ඉල්ලන්නෙ පාදඩ ආඥා පනතේ අමානුෂිකත්වය අහෝසි කරන්න" කියලා.

 

wickramabahu karunaratne 800x425 "ගණිකා වෘත්තිය නීතිගත කරන්න ද ඔබ යෝජනා කරන්නෙ?" කියල සදාචාරවාදී කෝණයකින් ප්‍රශ්නයක් ඇහෙනකොට, ඔහු කිව්වා, "ඒක වෙනම සංවාදයක්, අපි ඉල්ලන්නෙ පාදඩ ආඥා පනතේ අමානුෂිකත්වය අහෝසි කරන්න" කියලා.

මේ මනුෂ්‍යයාට සාධාරණයක් විය යුතුය කියන හැඟීමෙන් යුතුව, "ඔබේ ඔය අදහස් සිංහල බෞද්ධ මනෝභාවය සහිත මහ පොළොවක පැළ කළ හැකිදැ"යි ලියුම්කරු ඇසූ විට "බුදුන් වහන්සේ තරම් එවැනි වෘත්තීන්වල නියැළුණ අය කෙරෙහි දයාවෙන් කවුරු බැලුවාද, ඒ වෙනුවෙන් පෙරට ආ යුත්තේ බෞද්ධයන්ම නොවේදැ"යි බාහු පෙරළා ප්‍රශ්න කළා.

අර වමේ සමගිය තිබ්බ කාලයේ හලාවත තිබ්බ උද්ඝෝෂණයකට වරක් බාහු ආවා. ඔහුගේ පක්ෂයේ සගයන් කීප දෙනෙක් එක්ක. උද්ඝෝෂණය පැවැත්වුණේ පුත්තලම ප්‍රදේශයේ සිදු කළ කිසියම් පරිසර විනාශයකට එරෙහිව. පොදු සටන් පාඨ පත්‍රිකාවක් සකස් කර තිබුණා. හැමෝගේම අතට එය ලැබූණා. උද්ඝෝෂණය පටන් ගත්තා. ටිකක් වෙලා යනකොට බාහුලා පොදු සටන් පාඨ වේගයට වඩා වැඩි වේගවත් ටෙම්පො එකකින් වෙනත් සටන් පාඨ වගයක් කියන බව දැනුනා. ලියුම්කරුත් ඊට ළංවී මේ කියන්නේ මොනවාදැයි බැලුවා. "රේල්ලුවේ කොල්ලො වසයි. අත තිබ්බොත් බලාගෙනයි".. බලනකොට බාහු ඇවිත් තිබුණේ ඔහුගේ පක්ෂයේ දුම්රිය වෘත්තීය සමිතියක සගයන් කීප දෙනෙක් එක්ක. එක පාරටම වේගවත් ටෙම්පො එකකින් පොදු සටන් පාඨ මැදට රේල්ලුව ඇවිත් තියෙන්නෙ ඒ නිසා බව තේරුණා. ඉතින් ඒ තමයි බාහු.

vikramabahu karunaratne lk 1280x720එයා ලංකා වාම ව්‍යාපාරයේ  එයාටම අනන්‍ය ටෙම්පො එකක් තිබ්බ මිනිහෙක්. පිරමීඩයේ උඩට නගින්නට බොරු නොකිව්ව මිනිහෙක්.  

 

එයා ලංකා වාම ව්‍යාපාරයේ  එයාටම අනන්‍ය ටෙම්පො එකක් තිබ්බ මිනිහෙක්. පිරමීඩයේ උඩට නගින්නට බොරු නොකිව්ව මිනිහෙක්.   අවාසිදායකත්වයේ පතුලේදීත් තමන්ට අවංක වෙච්ච මිනිහෙක්. ඒ අමුතු නාගරික කටහඬත් ප්‍රියමනාප මුහුණත් හිමි බාහු සහෝදරය, අප අතර එකඟතා නොඑකඟතා එසේම තිබියදී..... සමුගනිමු !

 

WhatsApp Image 2024 07 27 at 11.04.17
(විමල් කැටිපේආරච්චි)
wimalketipe@gmail.com

 


[උපුටා ගැනීම - Wimal Ketipearachchi ගේ ෆේස්බුක් පිටුවෙන්...]

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වික්‍රමබාහු ; වෙනම ටෙම්පො එකක් ! | The Leader