The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : කමලාගේ වාසනාව

T

The Leader Desk

July 28, 2024 • 8:19 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : කමලාගේ වාසනාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජෝ බයිඩ්න්, ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂකත්වයෙන් විසිවී, ඒ තැනට කමලා හැරිස් පත් කෙරුණි.
  • කමලාගෙ මේ වාසනාව ගැන ආසියාතිකයන් වන අපට ද සතුටු වීමේ (කිරිබත් කෑමේ) අයිතියක් ඇත.
  • හැරිස් ජැමෙයිකානු උරුමයක් ඇත්තෙකි.
  • කෙසේ හෝ වේවා, පෙර පිනකට මෙන් කමලා දේවි හැරිස්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුවහොත්, ධවල මන්දිරයේ නවාතැන් ගැනීමට යන ප්‍රථම ආසියානු - ඇමෙරිකානු කාන්තාව ඇය වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ජෝ බයිඩ්න්, ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂකත්වයෙන් විසිවී, ඒ තැනට කමලා හැරිස් පත් කෙරුණි. කමලාගෙ පින නම් තිබුණේ කුලු මුල්ලේ නොව, ඩිමොක්‍රටික් පක්ෂ නිල ධූරාවලියේ උඩහ මුල්ලේය.

කමලාගෙ මේ වාසනාව ගැන ආසියාතිකයන් වන අපට ද සතුටු වීමේ (කිරිබත් කෑමේ) අයිතියක් ඇත. ඊට හේතුව, ඇය “ෆුල් ඇමෙරිකන්” නොව, “හාෆ් ඒෂියන්” කෙනකු වීමය.

im 121426කමලා හැරිස් කුඩා අවධියේ සිය පවුල සමඟ

කමලාගෙ අම්මා ෂසාමලා ගෝපාලන් ඉන්දියාවේ පැරණි තමිල්නාඩුවේ (වර්තමාන චෙන්නායි) හි උපත ලැබූ, බ්‍රාහ්මණ වංශික හින්දු කාන්තාවකි. ඇගේ අප්පා, ඩොනල්ඩ් ජේ. හැරිස් ජැමෙයිකානු උරුමයක් ඇත්තෙකි. ඔවුන් දෙදෙනාම උගත්, වැදගත් චරිතය.

කෙසේ හෝ වේවා, පෙර පිනකට මෙන් කමලා දේවි හැරිස්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුවහොත්, ධවල මන්දිරයේ නවාතැන් ගැනීමට යන ප්‍රථම ආසියානු - ඇමෙරිකානු කාන්තාව ඇය වනු ඇත.

jpegකමලා හැරිස්

 

කමලා හැරිස්ගේ වත්කම් ගැන අපි නොදනිමු.

ඇමෙරිකාවේ සිටි ජනකාන්ත ජනාධිපතිවරයකු වූ, ජෝන්. එෆ්. කෙනෙඩිගේ පියා, තම පුතා ජනාධිපති වනු දැකීමේ ආශාවෙන් පසු වූවෙකි. ඔහු, තරුණ කෙනඩිට මෙසේ පැවසීය.

“ජෝන්, ඇමෙරිකාවේ ජනාධිපති වෙන්න නම්, සුදුසුකම් තුනක් සඵල කරගත යුතුයි. එක, මුදල්. දෙක, මුදල්. තුන, මුදල්.”

කෙනඩිගෙ පියා කියූ මේ සත්‍යය, වර්තමාන සිරි ලංකාව සම්බන්ධයෙන්ද සැබෑවකයි කීමට බැරි නැත.

 

DeQ O3cVwAATAmG

මෑතකදී ඇස ගැසුණු “පෝස්ටුවක”ට අනුව, ලෝකයේ පොහොසත්ම නායකයන් සිටින්නේ දුප්පත්ම රටවලය. ඔවුන්ගෙ පැටිගිරිය සොයන විට පෙනී යන්නේ, ඒ බොහෝ දෙනකු රන්කිරි කට ගාගෙන උපන්නවුන් නොවන බවය. ක්‍රම ක්‍රමයෙන් මඩි තර කරගෙන, සුපිරි ධනවතුන් බවට පත්වූවන් බවය.

තවත් සමහරු පරම්පරා සල්ලිකාරයෝය. එහෙත්, ඒ පරම්පරාවල මුල් ඇත්තන් ධනය ඉපැයූ ආකාරය ගැන කරුණු සොයන විටද, දැකගත හැක්කේ, ලස්සන චිත්‍රයක් නොවේ. සොක්කන් ලොක්කන් වී ඇත්තේ කුසල් බලයෙන්ම නම් නොවේ.

බලය සහ ධනය නිවුන්නු වැනිය. එහෙත්, දේශපාලනය රැකියාවක් කර නොගත්, ශ්‍රේෂ්ඨ ජන නායකයන්ද ලොව නොසිටියා නොවේ. බලයට පත්වූ පසු, ඉක්මනින්ම කෝටි - ප්‍රකෝටිපතියන් වූ අය සේම, අවසාන කාලයේ දුගියන්, ණයකරුවන් බවට පත්වූ අය ගැන ද වාර්තා වේ.

මෑතකදී “ෆෝබ්ස්” සඟරාව වැටුප් නොගෙන සේවය කළ හා මුදල් හරිහම්බ නොකළ ලෝක නායකයන් ගැන ලිපියක් පළ කළේය.

 

jose mujica uruguay luiz inacio lula da silva manuela davilaහෝංස් මුහිකා 

ඒ අතුරින් වඩාත්ම ප්‍රකට චරිතය උරුගුවේ ජනාධිපතිව සිටි හෝංස් මුහිකා ය. මුල් කාලයේ ගරිල්ලා කණ්ඩායමක සාමාජිකයකුව සිටි මුහිකා, දූෂිතයන්ගේ ධනය සංසරණය වූ සමාජ ශාලා, බැංකු හා වෙනත් ආයතන කොල්ලකමින්, ඒ ධනය දිළිඳුන් අතර බෙදා දුන්නේය. ඒ නිසා ඔහුට “උරුගුවේ හි රොබින්හුඩ්” යන නම ද පටබැඳුණි.

මුහිකා අද මහළු වියේය. ඔහු ජීවත් වන්නේ කුඩා ගොවිපළකය. තනියට සිටින්නේ බිරිඳ හා බල්ලාය.

 

Face to Face Lal Bahadur Shastri Left and Morarji Desai Center June 1964ලාල් බහදූර් ශාස්ත්‍රී - මොරාජ් දේශායි
ඉන්දියාවේ ලාල් බහදූර් ශාස්ත්‍රී, මොරාජ් දේශායි හා නේපාලයේ සුෂිල් කොයිරාළ ද, ඉතා සරල, චාම් ජීවිත ගත කළ නායකයන්ය. ජීවන රටාව සරල වත්ම, මුදලේ අවශ්‍යතාවද අවම වෙයි. ශාස්ත්‍රීලාට, කොයිරාළලාට, මුදල් කඳු ගැසීමට අවශ්‍ය නොවූයේ එහෙයිනි.

වර්තමාන ඉන්දියාවේ දේශපාලන පක්ෂ දූෂිතයන් පිළිබඳව එකිනෙකාට චෝදනා කර ගනියි. එක් කාටූනයක දැක්වුණු අන්දමට, මෝදි මෙසේ කියයි.
“අපේ පක්ෂය තුළ දූෂිතයන්ට කිසිම ඉඩක් නෑ.”

එවිට, පසෙකින් බලා සිටින රහුල් ගාන්ධි මෙසේ අසයි.

“ඇයි දැනටමත් පිරිලද? තව එක් කෙනෙක්ටවත් ඉඩක් නැද්ද?”

 

rnමෝදි - රහුල් ගාන්ධි

දේශපාලන ලෝකයේ ශුද්ධවන්තයන් වෙනුවට වැඩිපුර සිටින්නේ “සුද්දවන්තයන්” ය. මහ උපාසක රාළගේ හැඹිලියේත් බිලි කටු හතක් ඇතැයි කියුමක් අපේ රටේ දකුණු පළාතේ ඇත්තේ ඒ නිසාය.

ඉන්දියානු යාං හෑල්ලක්, සිරි ලංකාවට ගැලපෙන සේ, මෙසේ සකස් කළෙමි.

එක්තරා දේවාලයක වැඩවිසූ දෙවි කෙනෙක් එහි එන බැතිමතුන්ගේ ඉල්ලීම් ඉටුකර දුන්නේ, පූජා වට්ටියක්වත් නොගෙනය. 

එක් දිනක් දේශපාලනඥයකු එහි යන විට දේවාලය වහලාය.

“ඇයි අද දෙවියො නැද්ද?”

දේශපාලනඥයා කපුරාලගෙන් ඇසීය.

 

පුරිසබන්ධන සූත්‍රය - (වායාම 65) - සුජිත් අක්කරවත්ත
“නෑ. සිරි ලංකාවෙ ඡන්දෙ ඉවර වෙනකල් එන එකක් නෑ.” 

කපුරාල කීය.

“ඒ මොකද?”

“දිනන්නෙ කවුද කියලා අහන්න එනවනෙ, කට්ටිය”

“කවුද අපේක්ෂකයොද?”

“නෑ. සන්ධාන ගහන්න බලං ඉන්න අය”

“මාත් ආවේ ඒකටම තමා” යැයි මිමිණූ දේශපාලනඥායා ආපසු හැරුණේය. මනි පොලිටික්ස් මෙන්ම, ගෙඹි පොලිටික්ස් ද ඩිමොක්‍රටික්ය!


කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා
(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...