ඊට හේතුව එම දේශපාලන මණ්ඩල මතය කෘත්‍රිම ආරෝපණයක් මත ඇති කරන ලද්දක් බවට විවිධ තොරතුරු වාර්තා වීම ය.
එම පුවතට අනුව ප්‍රකාශ වනුයේ එය නාමල් රාජපක්ෂ කඩිනමින් ජනපති පුටුව තෙක් රැගෙන යාමට රාජපක්ෂ පවුලේ සැලසුමක් මත ක්‍රියාත්මක වූවක් බවකි. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයක් වශයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක යන රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමි වී ඇති බව මේ වන විට පෙන්නුම් කොට තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට “රාජපක්ෂවාදීන්” සමඟ සිය මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණය සංවිධානය කිරීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ කියති.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමඟ එම පක්ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් ද තම ඉදිරි දේශපාලන මංපෙත සොයා ගත නොහැකිව දැඩි අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටින අතර ඔවුන් ද ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී සුදුසු ක්‍රියා මාර්ග වලට එනු ඇත. ඒ බොහෝ විට රාජපක්ෂ වරුනට හිතකර නොවන ආකාරයට ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ට සහාය නොදෙන බවක් මිස තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද? යන්න මේ තාක් ප්‍රකාශයට පත් කොට නැත. “සුදුසුම කෙනා අපි ළඟ ඉන්නවා වෙලාවට කියන්නම්” යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කරන ප්‍රකාශය “අන්දරේ ගේ ගල ඉස්සීමක්” බව දැන් මනාව තහවුරු වී තිබේ. පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් එය තවත් දින කිහිපයකින් ප්‍රමාද වනු ඇත. ඊට අමතරව පක්‍ෂය හැර යන දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් වෙනුවට නව සංවිධායකවරුන් පත්කිරීම ද පක්ෂය වෙත පැවරුණු අතිරේක වගකීමක් වනු ඇත.
ඇතැමුන් පවසනුයේ දැනට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණය වෙනස් වන්නට ඉඩ ඇති බවත් රනිල් වික්‍රමසිංහට සහාය සහය දීමට පක්ෂය අවසන් මොහොතේ හෝ තීරණය කරනු ඇති බවත් ය.
මේ අතර ඇතැමුන් පවසනුයේ දැනට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණය වෙනස් වන්නට ඉඩ ඇති බවත් රනිල් වික්‍රමසිංහට සහාය සහය දීමට පක්ෂය අවසන් මොහොතේ හෝ තීරණය කරනු ඇති බවත් ය. රනිල් වික්‍රමසිංහ අවශ්‍ය නැතැයි කියන පිරිසගේ ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ හෝ ධම්මික පෙරේරා යන නම් යෝජනා වී ඇති නමුත් පක්ෂයේ අර්බුදය විසඳාගන්නා තුරු ඔහු කවුරුන් දැයි නිශ්චය කොට වැඩ අරඹන්නට හැකියාවක් නැතැයි ඉහළ ආරංචි හෙළි කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට රාජපක්ෂ පවුල් කේන්ද්‍රීය දේශපාලන කණ්ඩායමක් බවට පත් වෙමින් තිබෙන බව ඇතැමුන් ගේ මතය වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා හිටපු සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය යන අයගේ ඥාති සොහොයුරු හා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු වන උදයංග වීරතුංග ඇතැමුන් හඳුන්වනුයේ රාජපක්ෂ පවුල් කැබිනෙට්ටුවේ මාධ්‍ය ප්‍රකාශක යන සරදම් නමිනි.
වර්තමාන දේශපාලන ක්ෂේත්‍රය හා සෘජු සම්බන්ධයක් නොමැති උදයංග වීරතුංග පසුගිය 30 වන දා දහවල් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි තීරණ සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය මෙසේ ය.
“ඊයේ පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන තීන්දුව ඉදිරිපත් කළා සවස හයට විතර; එහි ලේකම් සාගර කාරියවසම්. නමුත් ඒ බව මම ඒ තීන්දුව පොහොට්ටුව ගන්න බව කිව්වේ වසරකට කලින්. ඒ වගේම ඊයේ උදේ මං හරියටම කිව්වා මෙන්න මේ ටික තමයි කියන්නේ කියලා. අද මම කියනවා. ලබන බදාදා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ලෙස ප්‍රසිද්ධ ව්‍යාපාරික රටේ අනාගතය ආර්ථිකය ගොඩනගන්න පුළුවන් එකම නායකයා විදිහට ධම්මික පෙරේරා ඉදිරිපත් වෙනවා; පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක විදිහට. ඔය අතරේ සමහර අය මට චෝදනා කරනවා. මම කියන දේවල් වරදිනවා කියලා. විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණෙ ගැන. මම සාස්තරකාරයෙක් නෙමෙයි. කවුරු හරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පාලනයට දක්ෂයා කියල. නෑ; ඊට වැඩිය බැසිල් රාජපක්ෂ කියන්නේ ජ්‍යෙෂ්ඨයෙක් දේශපාලනය ගැන ඉතාම හොඳින් දන්න කෙනෙක්. බැසිල් අයියා අර මෛත්‍රී ආප්ප කාලා ගියා වගේ රනිල් එක්ක ඉඳලා ලස්සනට’හොඳ ටොක්කක්’ ඊයේ ඇන්නා. එතනින් නතර වෙන්නේ නෑ. ධම්මික පෙරේරා ගේනවා. ගේනවා විතරක් නෙමෙයි. ධම්මික පෙරේරා ඊළඟ ජනාධිපති කරලා තමයි බැසිල් රාජපක්ෂ නතර වෙන්නෙ. එච්චරට මට විශ්වාසයි මොකද පොහොට්ටුවේ ජාලය තරම් ශක්තිමත් ජාලයක් නැහැ.
හැබැයි අනුර කුමාරටත් තියෙනවා රට පුරා ජාලයක්. නමුත් ඊට වඩා සංවිධාන ශක්තිය වැඩි ගමේ ප්‍රභූවරුන් ද ක්‍රියාකාරීන් ද නොයෙක් තරාතිරමේ පුද්ගලයන් ඉන්න ජාලය තියෙන්නෙ අපේ පක්ෂයට; පොහොට්ටුවට. අනුර කුමාර ගාව ඉන්න සීයට තුන ඇරෙන්න ඉතුරු ටික ඔක්කොම මේ පොදුජන පෙරමුණෙන් තාවකාලික ගිය ඡන්ද ප්‍රතිශතයක්. ධම්මික පෙරේරා ඉදිරිපත් කරපු ගමන් ඒ ඡන්ද ටික නැවත පොහොට්ටුවට එනවා. පොහොට්ටුවේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට ප්‍රමාද වෙච්ච නිසා තමයි මෙහෙම වුණේ. අද පොහොට්ටුවට නායකයෙක් ඉන්නවා. රටට සවිමත් ආර්ථිකයක් ගේන්න පුළුවන් කෙනෙක්. ලබන බදාදා ඊට පස්සේ පහලොස් වෙනිදා ඉඳන් නොමිනේෂන් පස්සේ එදාම අනුරාධපුර නුවර කතරගම මේ හැම තැනම ගිහිල්ලා පුරුදු විදිහට මහින්ද රාජපක්ෂයන්ගේ ඒ ‘මහින්ද චින්තනය’ත් සමඟ වැඩ පටන් ගන්නවා. ඒ පරපුරත් එක්ක යන්න අපිට අලුත් නායකයෙක් ඉන්නවා. තරුණ නායකයෙක් ; මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි අපේ නාමල් රාජපක්ෂ. එහෙම නැත්තං ඊළඟ ආණ්ඩුවේ අගමැති තුමා තමයි නාමල් රාජපක්ෂ. සියලු දේශපාලන තීන්දු තීරණ ගන්නේ පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ.” උදයංග වීරතුංග බොහෝ විට එලෙස එළි දක්වනුයේ රාජපක්ෂ පවුලේ අභ්‍යන්තරික අදහස් විය යුතු ය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ පවත්නා රාජපක්ෂ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින සාගර කාරියවසම් පක්ෂය තුළ පවා බොහෝ දෙනකු ගේ දැඩි විවේචනයට ලක් වූවෙකි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව, ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත් කරන ලද ඔහු තම පාක්ෂිකයනට සේවය කරනු වෙනුවට රාජපක්ෂ පවුල වෙනුවෙන් අසීමාන්තිකව “කඩේ යාම” මුල් කොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මළ බෙර හඬවන දිනය වැඩි ඈතක නොවන බවට පාක්ෂිකයෝම කියති.
“නංගී පෙන්වා අක්කා දීමේ” වෑයමක්
මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර ගිය සෑම අයකුම සාගර කාරියවසම් දැඩි විවේචනයට ලක් කරනු පෙනෙයි. ඒ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය ගත් අවස්ථාවේ පවා ඒ අපේක්ෂකත්වය ධම්මික පෙරේරාට හිමි වීමට ඉඩ ඇති බවක් අඟවමින් අඩුම තරමින් ඔහු ගේ නම වත් නොකියවීම ගැන පාක්ෂිකයෝ බොහෝ දෙනෙක් කතා කරති. ඔවුන් ගේ මතය වනුයේ එසේ කතා නොකරනුයේ යම් හෙයකින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකත්වයට අන්තිම මොහොතේ හෝ නාමල් රාජපක්ෂ රිංගවා ගැනීමට ඇති හැකියාව විමසා බැලීමට ය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ ධම්මික පෙරේරා අපේක්ෂකත්වය “නංගී පෙන්වා අක්කා දීමේ” වෑයමක් බව ද පෙනෙයි.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකත්වයට පත් වීම ඔහු මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුතනුවන් වීම මත මිස ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය හැකියාවන් ආදී සුදුසුකම් මත පදනම් වූවක් නොවේ. නමුදු එම තනතුරට පත් වූ සැනින් ඔහු කියා සිටියේ තමන් පළමුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මහනගර සභා නගර සභා ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම් වලින් ශක්තිමත් කරන බව ය. ඒ අනුව එක් ග්‍රාමසේවා වසමකින් ක්‍රියාකාරී සාමාජිකයින් දස දෙනෙකු තෝරාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳ අසත්‍ය ප්‍රකාශ වලට පිළිතුරු දීම සදහා සූදානම් කරවන බවද නාමල් රාජපක්ෂ පැවසීය.
''දසබල සේනා” නමින් ඇරඹුණු එම වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීමට නියමිතව තිබිණ. මෙහි දී කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඉකුත් ජනවාරි මාසයේ මොරටුවෙන් ”දසබල සේනා” වැඩසටහන ආරම්භ කළ මුත් එක් ග්‍රාමසේවා වසමකින් තරුණ ක්‍රියාකාරී සාමාජිකයින් දස දෙනෙකු සොයා ගැනීමේ අපහසුව මත දසබල සේනා ව්‍යාපෘතිය මුළුමනින්ම අසාර්ථක විය. එහි දී එම ප්‍රදේශවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරුන් කියා සිටියේ නාමල් රාජපක්ෂ බිම් මට්ටමේ හෝ ප්‍රායෝගික තලයේ වැඩ සටහන් වලට දක්ෂයකු නොවන බව ය. ඒ මහින්ද රාජපක්ෂ ගම් කුකුළෙකු නම් නාමල් රාජපක්ෂ බ්‍රොයිලර් කුකුළෙකු ලෙස මීට කලින් විමල් වීරවංශ කළ ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු කරමිනි.
සජිත් ප්‍රේමදාස
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පසුගිය කාලය පුරා වේදිකාවල වචන දහයෙන් දහයට ” මගේ ආදරණීය; සදාදරණීය පියාණන් ” යනුවෙන් සීමාව ඉක්මවා පියගුණ වනන්නට යාම නිසා ඔහුට “පුතානෝ” යන සරදම් නමක් පට බැඳුණි. එනිසාම මේ වන විට ඒ පිය ගුණ වැයීම තාවකාලිකව හෝ නතර කළ ඔහු මේ වන විට දේශපාලනික වශයෙන් යම් ප්‍රගතියක් ලබමින් සිටියි.
එහෙත් නූතන ගෝලීයකරණ සංකල්ප මත තම සිතුම් පැතුම් ගොඩ නඟා ගත් කරුණ පෙළකට විකට ඇඳුමක් සේ පෙනී යන තම පරම්පරා සාටකය ඔස්සේ කිසිදු ඉතිහාසගත සාක්ෂියන් නොමැති රාජපක්ෂ වරුන් ගේ ප්‍රභූත්වයක් පෙන්වීමට අර අඳින නාමල් රාජපක්ෂට එක් ග්‍රාමසේවා වසමකින් නොව දිස්ත්‍රික්කයකින් වත් තරුණ ක්‍රියාකාරී සාමාජිකයින් දස දෙනෙකු සොයා ගත නොහැකි වීමේ අවදානමක් පැන නැඟී ඇති බවක් පෙනෙයි.
මෙම අලකලංචිය නිසා ජනපති රනිල් වික්‍රමසිංහට බෝනස් එකක් බඳු වාසියක් ලැබී තිබේ.
එය ශ්‍රී ලංකා පොදු පෙරමුණ තුළ රාජපක්ෂ පවුලේ දේශපාලන අනාගතය කුමක් විය හැකි ද යන්න සිහි බුද්ධිය ඇති කා හමුවේත් පැවසෙන ප්‍රබල අනාවැකියකි. එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ සිදු වූ මෙම අලකලංචිය නිසා ජනපති රනිල් වික්‍රමසිංහට බෝනස් එකක් බඳු වාසියක් ලැබී තිබේ. එනම් තමන් රනිල් රාජපක්ෂ යන අවඥා සහගත නමින් ඇමතුම් ලැබීමට නැවතුම් තිතක් වැටීම ය.
(හේමන්ත රන්බණ්ඩාර)
hemantharan72@gmail.com



