The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැදපෙරදිගට හේම්බිරිස්සාවක් ආවොත් ලංකාවට නියුමෝනියාව හැදෙනවා

T

The Leader Desk

August 1, 2024 • 7:32 AM

මැදපෙරදිගට හේම්බිරිස්සාවක් ආවොත් ලංකාවට නියුමෝනියාව හැදෙනවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමරිකානු ලේඛකයෙක් වූ හොවාර්ඩ් ෂුල්ට්ස් වරෙක ප්‍රකාශ කර තිබිණි.
  • පසුගිය 31 වෙනිදා උදෑසන ඉරානයේ ටෙහෙරාන් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් හමාස් නායක ඉස්මයිල් හනියේ ජීවිතක්ෂයට පත්ව ඇත.
  • මෙම සිදුවීම ලෝකයට නැවත වරක් කම්පනයට පත් කිරීමට සමත් වූයේ ගාසා තීරය පාදක කරගත් යුදමය වාතාවරණය නැවත වරක් මතුවනු ඇති බවත්, ඒ මඟින් ගෝලීය අර්බුදයන් ඇතිවනු ඇති බවත් වන පුරෝකථනයක් සමඟයි.
  • මෙම තත්වය තවදුරටත් දරුණු වී ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමරිකානු ලේඛකයෙක් වූ හොවාර්ඩ් ෂුල්ට්ස් වරෙක ප්‍රකාශ කර තිබිණි. එය එසේම යැයි තේරුම් ගත හැක්කේ රටක් මුහුණ පෑ  අර්බුදයක් ක්‍රමිකව පියමං කරමින් සිටින මොහොතක තවත් ඛේදවාචකයක අනතුරු හැඟවීම් එල්ල වන විටය. අද අපි මුහුණ දෙමින් සිටින්නේ,  හෙට දවසේ අපේ රටට ද එවැනි අනතුරක සේයාවක් මැදිපෙරදිග දෙසින් වේගයෙන් හමා  එමින් තිබෙන පසුබිමක ය.

පසුගිය 31 වෙනිදා උදෑසන ඉරානයේ ටෙහෙරාන් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් හමාස් නායක ඉස්මයිල් හනියේ ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම සිදුවීම ලෝකයට නැවත වරක් කම්පනයට පත් කිරීමට සමත් වූයේ ගාසා තීරය පාදක කරගත් යුදමය වාතාවරණය නැවත වරක් මතුවනු ඇති බවත්, ඒ මඟින් ගෝලීය අර්බුදයන් ඇතිවනු ඇති බවත් වන පුරෝකථනයක් සමඟයි.

මෙම තත්වය තවදුරටත් දරුණු වී ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟය. හිස්බුල්ලා සංවිධානය පවසන්නේ ෆුවාඩ් ෂුක්ර් ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී බදාදා පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

ජාත්‍යන්තර පුවත් වාර්තා කළ පරිදි ඉරාන නව ජනාධිපති මසූඩ් පෙසේෂ්කියන්ගේ පදවි ප්‍රාප්තියට පසුගිය 30දා හනියේ එක්වී සිටි අතර අනතුරුව ඔහු ඉරාන ජනපතිවරයාව සහ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙනිව හමුවී තිබුණි. පසුව 31 දින අළුයම 2ට පමණ හනියේ නවාතැන්ගෙන සිටි නිවසට එල්ල කළ ගුවන් ප්‍රහාරයක් මගින් ඔහු මිය ගොස් ඇත. මෙම ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ ආරක්ෂකයෙක් ද මරුමුවට පත්වුණි.

dsdfssw332

හනියේගේ ඝාතනයක් සමඟම ඉරානයේ නව ජනාධිපතිවරයා පවසා ඇත්තේ හනියේගේ ඝතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට කණගාටුවීමට තමා ඉඩ සලසන බවයි. ඉරානයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සහ ආත්මීය අභිමානය ආරක්ෂා කිරීමට තමා කැපවන බවත් මෙහිදී ඔහු පවසා ඇත.

 

කළාපීය අනතුරක සේයාවක්...

මෙම ප්‍රහාරයෙන් හමාස් දේශපාලන ප්‍රධානී ඉස්මයිල් හනියේ සහ හිස්බුල්ලා අණදෙන නිලධාරී ෆුවාඩ් ෂුක්ර් ඝාතනය කිරීමත් සමඟ කලාපීයව නැවත වරක් යුද උණුමක් මතුවෙමින් පවතින අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් ද කැඳවා ඇත. මෙම රැස්වීමේදී අදහස් දක්වමින් පලස්තීනයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ෆෙඩා අබ්දෙල්හාඩි නසාර් පවසා ඇත්තේ, “ජාත්‍යන්තර ප්‍රජාවට තේරීමක් කිරීමට තිබේ - එය සාමය සහ ආරක්ෂාව සඳහා වේවා, ඊශ්‍රායලයට අප සියල්ලන්ම අගාධයට ඇදගෙන යාමට ඉඩ නොදෙන්න” යනුවෙනි.

එසේම එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපති අමීර් සෙයිඩ් ඉරවානි මෙම රැස්වීමේදී අදහස් දක්වමින් පවසා ඇත්තේ “හනියේ ඝාතනයෙන් ඇඟවෙන්නේ ගාසා තීරයට එරෙහි යුද්ධය සමස්ත කලාපයටම ව්‍යාප්ත කිරීම ඊශ්‍රායලයේ අභිප්‍රාය බවයි“ යනුවෙනි.

කෙසේ වෙතත් මේ වන විට මැදපෙරදිග නැවත වරක් යුද උණුමකින් වෙළි යමින් ඇති අතර, ජාත්‍යන්තර අවධානය ද මේ වන විට මේ සඳහා යොමුව ඇත්තේ යම් හෙයකින් යළිත් ගාසා තීරණය පදනම් කර ගනිමින් ඊශ්‍රායල් - පලස්තීන - ඉරාන යුද්ධයක් ඇති වුණ හොත් එය ගෝලීයව ඉතා දරුණු තත්වයක් ඇති වීම නිසාවෙනි.

 

මැදපෙරදිග යුද ගැටුම සහ ශ්‍රී ලංකාව

මෙම තත්වය සම්බන්ධයෙන් පසුගියදා පැවැති පළාත් පාලන නියෝජිත හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අවධාරණය කළේය.

 

 “අද තව ප්‍රශ්න තියෙනවා අද පාන්දර ටෙහෙරාන් නගරයේදී හමාස් ලොක්කව මරලා දැම්මා.  ඒ ක්‍රියාව මමනං හෙලා දකිනවා. ඒක වැරදියි. ගාසා යුද්ධයේ විසදුමකට එන්න තිබ්බා. බයිජන් ජනාධිපතිතුමත් ක්‍රියා කළා. එහෙම අවස්ථාවක මේ ක්‍රියාවෙන් ආපහු මැදපෙරදිග ප්‍රශ්න උග්‍ර කරනවා. ඒකට මම එකඟ වෙන්නේ නෑ. රටක් හැටියට රාජ්‍යයක් හැටියට ජීවත් වෙන්න අයිතිය අපි හැමවෙලේම ආරක්ෂා කරනවා. ඒත් තියෙන තත්වය තවත් උග්‍ර කරන එක හරි නෑ. ඒ ජාත්‍යන්තර ප්‍රශ්නය උඩ තව කාරණා කිහිපයක් ඇති වෙලා තියෙනවා.

යුද්ධයක් ඇතිවුණොත් මොකක්ද තෙල්වලට වෙන්නේ? ප්‍රශ්නයක් ඇතිවුණොත් අපිට මැදපෙරදිග ඔක්කොම ආපහු ලංකාවට ගෙන්න ගන්න වෙනවා. ඕක තමයි අපිට 1991 කරන්න වුණේ, කුවේට් අල්ල ගත්තම හැමතැනින්ම ගේන්න වුණා ආපහු. ආදායම් නැතිවෙන තත්වයත්. දැන් නැගගෙන එන ලංකාවට එතෙන්ට මුහුණ දෙන්න අමාරුයි.“

 

මෙම තත්වය වඩාත් බරපතල වන්නේ, ජනාධිපතිවරයා විසින් කරුණු දැක්වූ ලංකාවේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් වූ ප්‍රකාශය හරහා ය.

 

“IMF ගිවිසුම අනුව අපි වැඩකරන්න ඕනේ.  ෂෙහාන් සේමසිංහ ඇමතිතුමා කිවුවා ඒක කැඩුණොත් අපි ආපහු වලට යනව කියලා. මොකද අපිට මුදල් දෙන්නේ අපිට උදව් කරන්නෙ කොන්දේසි උඩ. ඒ කොන්දේසියේ අපි අත්සන් කරල තියෙනවා. ඒ අනුව අපි යන්නේ. දැන් අපිට මුදල් තියෙන්නෙ දෙසැම්බර් මාසය වෙනකල් විතරයි. ජනවාරි මාසයේ ඊළඟ ගිවිසුම අත්සන් කරන්න ඕනේ IMF එකත් එක්ක. එතකොට අපිට ජනවාර පෙබරවාරි මාසේ මුදල් ලැබෙනවා. අපි මේක අලුතෙන් කතා කරන්න ගියොත් කොච්චර කල් යයිද?“

 

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත අතර, එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිතය.

පසුගියදා පළාත් පාලන නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අනුව මේ මොහොතේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා පැවැත්වෙන සාකච්ඡාව ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ක්‍රියාවලිය වෙනුවෙන් අතිශය වැදගත්වූ ද තීරණාත්මක වූ ද සාකච්ඡාවකි.

එනම් මේ වන විටත් ශ්‍රී ලකාවෙ සතුව ඇත්තේ එළඹෙන දෙසැම්බර් මාසය හෙවත් මේ වසර අවසානය දක්වා ගෙන යා හැකි ආර්ථීක තත්වයකි. ඒ අනුව එළඹෙන ජනවාරි හෝ පෙබරවාරි මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙනු ලබන සිව්වන වාරිකය ලබා ගැනීම අනිවාර්ය තත්වයක් වී ඇත. යම් හෙයකින් මෙම සිව්වන වාරිකය ලබා ගැනීම ප්‍රමාද වුවහොත් හෝ කඩාකප්පල් වුවහොත් ලංකාවේ ආර්ථිකයට නැවත වරක් පසුගිය 2021 - 2022 තත්වයට යාමට සිදු වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ,

“අපි බලාපොරොත්තු වෙන්නේ, 4 වෙනි වාරිකය නිදහස් කරගැනීමට. කිසිදු ප්‍රමාදයකින් තොරව මැතිවරණ කාලය තුළත් ඒ වැඩසටහනේ කිසිදු ආකාරයක විතැන් වීමක් සිදුනොවී රටේ පවතින ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට අරන් යන්න. මොකද තුන්වෙනි සමාලෝචනය තුළ ලැබෙන 4 වෙනි වාරිකය යම් ආකාරයකින් ප්‍රමාද වුවහොත් එය ලංකාවේ ආර්ථිකයේ ස්ථාවරත්වය විශාල බලපෑමක් ඇති කරනවා. ඒ බලපෑම ඇති නොවෙන්න ජනාධිපතිතුමා විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ පිළිබඳ ඉදිරි කාලය තුළ දී කොහොමද ණයහිමියන්ගේ මේ වැඩසටහන ආරක්ෂා කරගෙන වැඩසටහන ආරක්ෂා කරන්නේ කියන දේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා."  යනුවෙනි.

තත්වය මෙසේ තිබියදී අප ඉහතින් සාකච්ඡා කළ පරිදි මැදපෙරදිග කලාපය මූලික කර ගනිමින් යම් හෙයකින් යුදමය වාතාවරණයක් ඇති වුවහොත් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අතිශය දරුණු ලබපෑමක් වනු නොඅනුමානය.

 

ලංකාවේ ආර්ථිකයට වන බලපෑම!

ඉරානය මෙම යුදමය තත්වයට සම්බන්ධ වීමත් සමඟම ගෝලීයව ඉන්ධන අර්බුදයක් කරා ගමන් කරනු ඇත. ඊශ්‍රායලය හා සම්බන්ධ ගැටළුවේදී රැසියාවේ මැදිහත්වීම මත මෙම අර්බුදය තවදුරටත් තීව්‍ර වනු ඇත.

 kjhzdkfww33

මේ අතර, මැදපෙරදිග කලාපයේ අනාරක්ෂිත තත්වය හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට අනිවාර්ය මැදිහත්වීමක් සිදු කළ යුතුව ඇත. තත්වය වඩාත් උග්‍ර අතට හැරවුණ හොත් විදෙස්ගත ශ්‍රමිකයින් නැවත වරක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු සැලසිය යුතු අතර, මෙය අවස්ථා කිහිපයකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දරුණු ප්‍රහාරයන් එල්ල කරනු ඇත.

එක් අතකින් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබීමට බාධා එල්ල වන අතර, එම ශ්‍රමිකයින් නැවත වරක් ශ්‍රී ලංකාව තුළ පදිංචි වීමත් සමඟ ඔවුගේ වැය බර ශ්‍රී ලංකා රජයට දරා ගැනීමට සිදුවනු ඇත. මෙය ලංකාවේ මේ වන විට ඉහළට ගෙන යමින් ඇති ආර්ථික ක්‍රියාවලියට දරා ගැනීමට හැකිද යන්න නැවත වරක් සිහිපත් කළ යුතු අතිශය බරපතල කාරණාවකි.

 

මෙම කාලය තුළ ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2023 වසරේ ජනවාරි - ජූනි කාලපරිච්ඡේදය තුළ දී වූ එ.ජ.ඩො. මිලියන 2,823ට සාපේක්ෂව 2024 වසරේ ජනවාරි - ජූනි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ.ඩො. මිලියන 3,144ක් වී ඇත.

එසේම දළ නිල සංචිත 2024 වසරේ ජූනි මාසය අවසානය වන විට එ.ජ.ඩො. බිලියන 5.7ක් විය. එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, 2024 වසරේ ජූනි මාසය දක්වා අතිප්‍රමාණය විය. කොළඹ කොටස් වෙළඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2024 වසරේ ජනවාරි - ජූනි කාලපරිච්ඡේදය තුළ දී ශුද්ධ ලැබීමක් වාර්තා කර ඇත. මෙවන් තත්වයක් යටතේ මැදපෙරදිග කලාපය තුළ ඇතිවිය හැකි බරපතල යුදමය වාතාවරණය ලංකාවේ ආර්ථිකය කෙරෙහි දරුණු බලපෑමක් එල්ල වීම අනිවාර්යයකි.

මෙම තත්වයන් සම්බන්ධයෙන් අප පූර්ව විමසීමකින් කටයුතු කළ යුතුව ඇත. විපක්ෂයේ සරල ගණිත සූත්‍ර ක්‍රම හරහා නැවතත් රට ආපස්සට ඇද වැටීමක් මිස අනෙකක් සිදු නොවන බව ස්ථිරය. මෙම තත්වයන් සලකා බලමින් වත්මන් ජනාධිපතිවරයා විසින් මේ වන විටත් බොහෝ පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ගෝලීය සාමය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා යොමු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති අතර, පූර්ව සූදානම් ක්‍රියාවලියක් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක් ඒකාබද්ධ කර කඩිනම් ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

“මම මගේ ප්‍රධානත්වයෙන් අගමැතිතුමයි, විදේශ ඇමතිතුමයි, අපේ බලශක්ති ඇමතිතුමයි, රැකියා ඇමතිතුමයි ඇතුළු කොමිටියක් පත් කරල තියෙනවා අපේ ලේකම්වරු ඔක්කොම එක්ක.  ඒ වගේම ජාතික ආරක්ෂක උපදේශකතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ඒකට පත් කරල තියෙනවා මේකෙ ඇතිවෙන ආර්ථික බලපෑම මොකද්ද කියල බලන්න. කොහොමද අපි ක්‍රියාකරන්නෙ කියල බලන්න.“  

හමාස් නායක ඉස්මයිල් හනියේ සහ හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර්ගේ ඝාතනයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලය වෙත සෘජුව චෝදනා එල්ල වීමත්,  ඊශ්‍රායලයට එරෙහි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරාන නව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ ලෝක සාමය සම්බන්ධයෙන් බරපතල තර්ජනයක් මතුව ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් තවදුරටත් අනාරක්ෂිත වීම නොවැලැක්විය හැකි කාරණයක් බව අප අකමැත්තෙන් හෝ පිළිගත යුතු සත්‍යයකි.

එබැවින් මේ මොහොතේ අපට අත්හදා බැලීම් කරමින් කාලය ගත කිරීමට අවස්ථාවක් නැත. විපක්ෂය පාරම්බානා පරිදි නැවත වටයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, පැරිස් සාමුහිකය වැනි ජාත්‍යන්තර ආයතන සමඟ අලුතින් සාකච්ඡා පැවැත්වීමට හෝ නව ගිවිසුම් ගැන කතාබස් කිරීමට හෝ කාලය නොමැති බව වටහා ගත යුතුය. කළ යුතු දේ කළ යුතුව ඇත. නැතිනම් මිය යා යුතුව ඇත. දෙකෙන් එකක් පමණක් ඉතිරි වනු ඇත.

- රිද්ම අනුරාධ ගමගේ  
මාධ්‍යවේදී

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...