The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහජන මන්ත්‍රණ සභාව තේරිමට කුසපත් ඇදීමේ ක්‍රමයක්: ප්‍රදීප් වීරසිංහගේ යෝජනාවක්

T

The Leader Desk

August 1, 2024 • 4:44 PM

මහජන මන්ත්‍රණ සභාව තේරිමට කුසපත් ඇදීමේ ක්‍රමයක්: ප්‍රදීප් වීරසිංහගේ යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇදීමක් මගින් තෝරා ගන්නා නියැදියක් ලෙස ද්විතීය මහජන මන්ත්‍රී මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවිය යුතු යැයි මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
  • මෙම යෝජනාවට අනුව දැනට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන මැතිවරණ ක්‍රමයෙන් තේරී පත්වෙන නියෝජන මන්ත්‍රී මණ්ඩලයට සමගාමීව එම බලතල සහ කාර්ය පැවරෙන ද්විතීය මහජන මන්ත්‍රී මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුළ පිහිට විය යුතු බව ද ඔහු පවසා ඇත.
  • මෙම නිර්දේශය පිළිබඳ සාකච්ඡා පත්‍රය ඉදිරිපත් කරමින් මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ විසින් මෙහි අවශ්‍යතාවය මෙලෙස පැහැදිලි කළේය.
  • කුසපත් ඇදීමක් මගින් අහඹු නියැදි ද්විතීය මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ඉහත ගැටලු ආමන්ත්‍රණය කරමින්, මැතිවරණ නියෝජන ප්‍රජාතන්ත්‍රවාද දේශපාලන මොඩලයේ තිබෙන ගැටලු සමනය කරමින් ආණ්ඩුක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇදීමක් මගින් තෝරා ගන්නා නියැදියක් ලෙස ද්විතීය මහජන මන්ත්‍රී මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවිය යුතු යැයි මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඊයේ (31) කොළඹ මොනච් ඉම්පීරියල් හෝටලයේදී පැවැති ‍“ක්‍රමයේ වෙනසක් සඳහා වන නීති ප්‍රතිසංස්කරණ” ජාතික සමුළුවේ දී ය.

මෙම යෝජනාවට අනුව දැනට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන මැතිවරණ ක්‍රමයෙන් තේරී පත්වෙන නියෝජන මන්ත්‍රී මණ්ඩලයට සමගාමීව එම බලතල සහ කාර්ය  පැවරෙන ද්විතීය මහජන මන්ත්‍රී මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුළ පිහිට විය යුතු බව ද ඔහු පවසා ඇත.

මෙම නිර්දේශය පිළිබඳ සාකච්ඡා පත්‍රය ඉදිරිපත් කරමින් මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ විසින් මෙහි අවශ්‍යතාවය මෙලෙස පැහැදිලි කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවේශයෙන් පුරවැසියා අපේක්ෂා කරන අරමුණු ශ්‍රී ලංකාවේ දැනට පවත්නා මැතිවරණ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මොඩලයට සක්සාත් කිරීමට නොහැකි වී තිබෙන ක්‍රමයේ වෙනසක් සඳහා වන සටන් පාඨය විසින් මතු කරනු ලැබූ ගැටළුවේ මූලික හරය වේ.


දේශපාලන පක්ෂ මත පදනම් වන මැතිවරණ ක්‍රමයේ අකාර්යක්ෂමතාව, අහිතකර ප්‍රතිඵල, හදිසියේ සහ දුර්වල ලෙස නීති සම්පාදනය, නියෝජන ඌනතා, ආගමික වාර්ගික  ධ්‍රැවීකරණය, තේරී පත්වෙන නියෝජිතයන්ගේ විෂමාචාර, අල්ලස සහ දූෂණය, ප්‍රභූ  පන්තිය වෙත බලය කේන්ද්‍රගත වීම සහ මැතිවරණ සමයේ විද්‍යුත් මාධ්‍යවල දුෂ්චර්යාව ආදි සාධක මැතිවරණ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටීමට බලපා තිබේ.


කුසපත් ඇදීමක් මගින් අහඹු නියැදි  ද්විතීය මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ඉහත ගැටලු ආමන්ත්‍රණය කරමින්, මැතිවරණ නියෝජන ප්‍රජාතන්ත්‍රවාද දේශපාලන මොඩලයේ තිබෙන ගැටලු සමනය කරමින් ආණ්ඩුක්‍රමයේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමයි.

 රටේ නීති සම්පාදන ක්‍රියාවලියේදී බහුවිධ මහජන අභිලාෂ, අත්දැකීම්, සහ දැනුම් ප්‍රවේශයකින් ගැඹුරින් සංවිචාරණීය ක්‍රමවේදයක් ඔස්සේ පෝෂණය කිරීම මෙම නිර්දේශයේ තවත් අරමුණකි.

නිර්දේශ

පාර්ලිමේන්තුවේ දැනට තිබෙන මැතිවරණ ක්‍රමයෙන් තෝරා ගන්නා මන්ත්‍රී මණ්ඩලයට සමාන්තරව කාර්ය සහ එම බලතල සහිත එය සමග සහජීවනයෙන් ක්‍රියාත්මක වන ද්විතිය මහජන මන්ත්‍රී මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවීම.

යෝජිත මහජන මන්ත්‍රණ  සභාව ජනගහනයේ සංයුතිය, භූගෝලීය පැතිරීම, ජනවර්ග සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබිඹු වන ආකාරයේ ස්තෘත නියැදියක් (stratified) විය යුතුය.

යෝජිත මහජන මන්ත්‍රණ  සභාව ඉහත නියැදිය ට තේරෙන ආකාරයට වසර දෙකකට වරක් පවත්වන කුසපත් ඇදීමකින් තෝරා ගත යුතුය.

යෝජිත මහජන මන්ත්‍රණ සභාවේ මූලික කාර්ය වන්නේ දේශපාලන න්‍යාය පත්‍රය  අඛන්ඩ පුරවැසි පාලනයකට නතු කිරීම සහ මැතිවරණ ක්‍රමයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ සහ විධායකයේ ස්ථාවරත්වය, වගවිම සහ විවෘත භාවය ඒකාබද්ධ කිරීමයි.

යෝජිත මහජන මන්ත්‍රණ සභාවේ දී මහජන දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ඉදිරිපත්වන ‍ප්‍රස්තුත අවශ්‍යතා සහ ගැටලු, ඒ අරබයා ඉදිරිපත් වෙන එකිනෙකට වෙනස් අදහස්, අත්දැකීම් සහ විශේෂඥ මතවලට සාවදානව කන්දෙමින්, වෘත්තීය කාර්ය මණ්ඩලයක සහයෙන්  ඒවා විචාරශීලි ලෙස ඇගයීමට ලක් කරමින්, බුද්ධි ගෝචර විසඳුම් සොයා ගැනීමට කටයුතු කෙරේ.

මෙම සමුළුවේදී කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති මහාචාර්ය සම්පත්  පුංචිහේවා විසින් සමස්ත නිර්දේශ පිළිබඳව විවරණයක් ඉදිරිපත් කළ අතර ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය , නීතිඥ ලක්ෂ්මන් මදුරුසිංහ, මහාචාර්ය සෙල්ව කුමාර්, ආචාර්ය සුනිල් කුරේ, විජයානන්ද ජයවීර, අනුශා සීවලිංගම්, නීතිඥ චමත් ප්‍රනාන්දු, මහාචාර්ය ශාන්ත ගම්ලත්, transparency international ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ නදීෂානි පෙරේරා විසින් සාකච්ඡා පත්‍රිකා ඉදිරිපත් කරනු ලැබූහ.

මෙම සාකච්ඡා පත්‍රිකා මගින් ඉදිරිපත් කරනු ලැබූ අදහස් මහජන කතිකාව සඳහා විවෘත බව මෙහි දී සඳහන් විය. එමෙන්ම සාකච්ඡා පත්‍රිකාවල අඩංගු නිර්දේශ මැතිවරණයේ දී දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ  සඳහා ඇතුළත් කර ගැනීමට සලකා බලන මෙන් ද  ඉල්ලීමක් කෙරිණි.

මෙම සමුළුවේ මූලික අරමුණ වශයෙන් ප්‍රකාශ වූයේ නීති ප්‍රතිසංස්කරණ මගින්  රට තුළ ක්‍රමයේ වෙනසක් ඇතිකර ගැනීම සඳහා මාර්ග සිතියමක් සකස් කර ගැනීමට මහජන කතිකාවක් ආරම්භ කිරීමයි.

සමුළුවේ දී ඉදිරිපත් වූ යෝජනා අතර තෙවන ජනරජ ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම,  ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීම,  රාජ්‍ය හිමිකාරත්වය සහිත ජනමාධ්‍ය ස්වාධීන මහජන සේවා මාධ්‍ය බවට පත්කිරීම, ස්වාධීන අධිකරණයක් පිහිටුවීම, අල්ලස් හා දූෂණ වැළැක්වීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම, ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිෂන් සභාවක් පිහිටුවීම, මහජන නියෝජිතයින් මහජන යහපත සඳහා කටයුතු නොකරන්නේ නම් ඔවුන් නිල කාලය අවසාන වීමට පෙර ආපසු කැඳවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීම, කම්කරු නීති ප්‍රතිසංස්කරණ ය ආදිය ද විය.

මෙම අවස්ථාවට දේශපාලන පක්ෂවල ලේකම්වරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සිවිල්  ක්‍රියාකාරිකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, නීතිඥයින්, වෘත්තිකයින්, ආගමික නායකයින්, තරුණ නායකයින් , උපාධි අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම ජාතික සමුළුවේ සාකච්ඡා පත්‍රිකාවල පිටපත් සහ සාකච්ඡා පත්‍රිකා සඳහා ප්‍රතිචාර දැක්වීම systemchange.legalreforms@gmail.com ඊමේල් ලිපිනයට යොමු කළ හැකි ය.

(ජයසිරි අලවත්ත)

xfdgr5twe4

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...