The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විරුවාරදය හා පුනරුදාව - (උදන් ප්‍රනාන්දු )

T

The Leader Desk

August 2, 2024 • 8:42 AM

විරුවාරදය හා පුනරුදාව  - (උදන් ප්‍රනාන්දු )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට හේතුව වුණේ පෙරුම් පුරලා පෙරුම් පුරලා කල්ප ගණනක් බලන් හිටපු ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශ කිරීම.
  • මෙසේ ඒ අතට මේ අතට විරුද්ධ පාක්ෂිකයන් හතිලණ තුරු දුවන්නට සලස්වා, අවසානයේ ජනපතිවරණයේ දින වකවානු ඒ පිළිබඳව වගකීම දරන කොමිසමේ ලොක්කා ප්‍රකාශ කළේ ය.
  • එය දැනගෙන හෝ එසේ නොවී, ඊට අහවලා ඉදිරිපත් වන බවට හැඟවෙන පෝස්ටර කොළඹ පුරා ඇළ වී තිබිණ.
  • මැතිවරණ ලොක්කා අදාළ ප්‍රකාශය කළ ගැටස් කොලේ මුද්‍රණය වී එහි තීන්ත වේලෙන්නත් කලින් අහවලා කුකුලත් අතේ අරන් ඇප මුදල් තැන්පත් කරන්නට ගියේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට හේතුව වුණේ පෙරුම් පුරලා පෙරුම් පුරලා කල්ප ගණනක් බලන් හිටපු ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශ කිරීම. වරක් ලේනෙක් ද තව වරක් දඬුලේනෙක් ද ඊටත් පසු විසි දෙකකින් ද ජනපතිවරණය පිළිබඳ ව යම් යම් බාධා පැමිණෙතැයි බොහෝ දෙනා සැක සංකා පළ කළ හ. විරුද්ධ පාක්ෂික දනා, ලේනා ගසට ආවිට ඒ පිටුපස ද, දඬු ලේනා පැමිණි විට ඌ පිටුපස ද පන්න පන්නා සිටියහ. කෙටි දුර ධාවන පුහුණුකරුවෙකු සේ විරුද්ධ පාක්ෂික ධාවකයන්ට මඳකදු වෙහෙස නිවන්නට ඉඩ නොදී කපටි නරියා විසි දෙක මස් කට්ට ඈතට ඈතට විසි කළේ ය. හති හලමින් ඒ පිටුපසද විරුද්ධ පාක්ෂික ධාවක රෑන දිවී ය. මෙසේ ඒ අතට මේ අතට විරුද්ධ පාක්ෂිකයන් හතිලණ තුරු දුවන්නට සලස්වා, අවසානයේ ජනපතිවරණයේ දින වකවානු ඒ පිළිබඳව වගකීම දරන කොමිසමේ ලොක්කා ප්‍රකාශ කළේ ය.

 

 

එය දැනගෙන හෝ එසේ නොවී, ඊට අහවලා ඉදිරිපත් වන බවට හැඟවෙන පෝස්ටර කොළඹ පුරා ඇළ වී තිබිණ. මැතිවරණ ලොක්කා අදාළ ප්‍රකාශය කළ ගැටස් කොලේ මුද්‍රණය වී එහි තීන්ත වේලෙන්නත් කලින් අහවලා කුකුලත් අතේ අරන් ඇප මුදල් තැන්පත් කරන්නට ගියේ ය. මේ මුළු පරිච්ඡේදයේම තිබුණේ ක්‍රියාන්විතයක හැඩ රුව ය.

452955940 8629365563758144 7252582327284658804 nසමාජ මාධ්‍ය පෝස්ටුවක්

ඊට ටිකක් වෙනස් ක්‍රියාන්විතයකුත් සිකුරාදා දවල් වෙනකොට ම පටන් ගනු දක්නට ලැබිණ. ඒ බුකිය පුරා පුනරුදේ කියා පෝස්ටු ඇලවීම. ඇත්තටම මේ කෙරුවාව අදාළ පක්ෂයේ පරණ පුරුද්දකි. ඊට ඔවුන්ටලොකු දක්ෂතාවයක් තිබුණේ දන්න කියන කාලෙක සිටන් ය. මා කුඩාවෙකු කාලේ පාසැල් බසයේ ඉස්කෝලේට පානදුර ඉඳන් කොළඹට යන විට පාරේ දෙපැත්තෙ ගසා ඇති පෝස්ටර බැලීම මගේ විනෝදාංශයක්විය. අද බොහෝ දුරට කයිවාරුව තම පක්ෂයේ විශේෂ ප්‍රාගුණ්‍ය ලෙස සංවර්ධනය කරගෙන තිබුණත්, ඒ කාලේ ඔවුන්ගේ අද්විතීය කුසලතාවය තිබුණේ පෝස්ටර් ඇඳීම සහ ඇලවීම ලෙස ය.

 

හැත්තෑව දශකයේ අග හා අසූව දශකයේ මුල කාලයේ ජීවත් වූ අයට මතක ඇති, රත්මලානේ ගාලු පාරේ, වීදුරු ෆැක්ටරිය හා ජිල්-මයුරා හන්දිය ගාව තිබුණු ඉතාමත් උස හා දිග තාප්ප සම්පූර්ණයෙන්ම වැසෙන සේ ගැහෙන අතිවිශාල පෝස්ටරය. ඇත්තෙන්ම එය පූර්ව බිල්-බෝඩ් යුගය වූවත්, එම පෝස්ටර්වල දිග පළල හා ගුණරුව ගැන මතක් කිරීමේ දී  සිහිවන්නේ අද කාලේ තිබෙන විශාල වියදමක් දරා හැදෙන බිල් බෝඩයකට වඩා එම යෝධ පෝස්ටර් ආකර්ෂණීය ඒවා වූ බව යි. අද කයියෙන් රට හදනවා වගේ එදා ඔවුන් උත්සාහ කළේ රට පුරා තාප්ප වැසෙන්නට පෝස්ටර අලවා රට වෙනස් කිරීම යි. සන්නිවේදන මාධ්‍යයක භාවිතාවක් ලෙස මෙම පෝස්ටර් කලාව දේශපාලන ව්‍යාපාරයක කේන්ද්‍රීය සංඝටකයක් ලෙස යොදා ගැනීම අප අගය කළ යුතු දෙයකි.

punarසමාජ මාධ්‍ය පෝස්ටුවක්
පුනරුදේ පුනරුදේ යන්න පුනරුච්චාරණය කරමින් බුකිය පුරා ගැසුණු පෝස්ටු ද මා සළකන්නේ දශක කිහිපයකට පෙර තමන් විසින් භාවිතා වූ පෝස්ටර් කලාව තාක්ෂණයේ දියුණුවත් සමඟ යාවත්කාලීන කරගෙන ඩිජිටල් අවකාශයේ පාප්ප බාල්දි හා බුරුසු රැගෙන රාත්‍රී පමණක් නොව පැය විසි හතර පුරා ම එදා සිටි පෝස්ටර අඳින හා අළවන හමුදාව වෙනුවට පෝස්ටු උඩුගත කරන යතුරු පුවරු රණකාමීන් පිරිසක් ස්වේච්ඡා හෝ කුලී පදනම මත බඳවා ගැනීම යි. මීට දශක කිහිපයකට පෙර, අඳින ලද පෝස්ටර් බන්ඩල, පාප්ප හා බුරුසු ඉතාමත් සැලසුම් සහගත ව සෑම පළාතක් ම ආවරණය වන පරිදි එක රැයින් බෙදා හැර, ඉන් අනතුරුව එළඹෙන උදයේ ඒවා තාප්පවල උණු උණු පාප්ප සමග අපගේ දෙනෙතට හසුවන පරිදි කරන සුවිසල් ක්‍රියාන්විතය මෙන් ම ය මේ කාලයේ ඩිජිටල් අවකාශයේ පෝස්ටු උඩුගත වන්නේ. උඩ සිට පහළට යන මිලිටරි අණ-දම හෙවත් චේන් ඔෆ් කමාන්ඩය මෙහි භාවිත වන කළමනාකරණ ක්‍රමය යි. මධ්‍යගත යාන්ත්‍රණයකින් පෝස්ටුවේ අන්තර්ගතය හා මෝස්තරය තීරණය වේ. ඩිජිටල් අවකාශයේ එය බෙදා හැරීම එදා මෙන් අපහසු දෙයක් නොවේ. කළ යුත්තේ යතුරු පුවරුවේ ඒක යතුරකට දබරැඟිල්ලේ කොනෙන් හෙමින් තට්ටුවක් දැමීම පමණි. ඉන්පසු යට කී යතුරු පුවරු සොල්දාදුවන් වගේ වගක් නොමැති ව උඩින් පාත් වූ පෝස්ටුව උඩුගත කරගෙන කරගෙන යන්නට පටන් ගනී.

මේ අනගි මෙහෙයුමට ඉරිසියා කරන පිරිසක් ද සිටින බව පේන්නට ගත්තේ යට කී පෝස්ටු උඩුගත වෙමින් පවතින අවස්ථාවේ ම ය. ඊරිසියාකාරයන් කියන්නේ පුනරුදේ ශත වර්ෂ ගණනාවකට ඉස්සර තිබුණු දෙයක් කියා ය. දා හතරේ සිට දා හත් වැනි සත වර්ෂය යන කාලවකවානුවේ ඉතාලිය සහ තවත් රටවල් කිහිපයක ඇති වූ යම් පරිවර්තන ක්‍රියාවලියකට පුනරුදය කියා යම් නිශ්චිත තේරුමක් ඇතිව කියන බවට  අපට ඒ කතාබහෙන් ඇහෙන්නට ගත්තේ ය. ඒ ඉරිසියාකාරයන් කියන්නේ, අප ව දැන් ආයෙමත් සත වර්ෂ ගණනාවක් ආපස්සට ගෙන යන්නට හදන ක්‍රමයක් බවයි මාලිමීය පුනරුදේ. ඇත්තෙන් ම එය වැරදි කතාවකි. මෙතැන දී අදාළ පක්ෂය පුනරුදේ වචනය කුලියට හෝ බද්දට ගත්තේ ඒ නිශ්චිත ඉතිහාසයීය තේරුමෙන් නොවේ. ඔවුන් ඉන් අදහස් කළේ මතුපිට හෙවත් සුපෆිශල මට්ටම පමණක් ස්පර්ශ වන වාච්‍ය අර්ථය යි. 

අපි කවදාවත් ආපස්සට හැරිලා බැලුවේ නැහැ - වික්ටර් අයිවන්වික්ටර් අයිවන්

 

අවුරුදු දහයක පහළොවක පමණ මතක ශක්තියක් ඇති අයෙකුට ලංකාවේ දේශපාලන ව්‍යාපාර තුළ පුනරුදේ අලුත් දෙයක් නොවන බව පසක් විය යුතු ය. පුනරුද ව්‍යාපාරය කියා රට පුරා දේශපාලන කතාවක් පටන් ගත්තේ එකල රාවය සතිපතා පුවත්පතේ කතෘ ව සිටි හෝ උපදේශ කර්තෘ ව සිටි වික්ටර් අයිවන් මහතා ය. මගේ මතකය විදියට, ඒ කාලයේ මේ තරම් සමාජ මාධ්‍ය ඇබ්බැහියක් තිබුණේ නැත. අයිවන් මහතා ඇතුළු කණ්ඩායම ලංකාවේ විවිධ ප්‍රදේශවලට යමින්, ඒ ප්‍රදේශවල සිටින  දේශපාලන ක්‍රියාකාරිකයන් සමග රැස්වීම් හා සංවාද පැවැත් වූවා මතක ය. ඒ සාකච්ඡා පදනම් කරගෙන සමහර අවස්ථාවල රාවය පත්තරයේ දීර්ඝ ලිපිද පළ විය. වික්ටර් අයිවන් මහතා ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමී සාමාජිකයෙක් වූ අතර ඔහු ඇතුළු එකල පිරිස සටන් කලේ යතුරු පූවරු තළමින් නොවේ. යම් යම් විවේචන තිබුනත්, තමාගේ ජීවිතයේ මුල් කාලය කැප කළ පක්ෂයේ අනුප්‍රාප්තික පරපුරට පුනරුද ව්‍යාපාර සංකල්පය හා සන්නාමය සමහර වෙලාවට අයිවන් මහතා පුංචි තෑග්ගක් ලෙස දුන්නා ද කියා මා දන්නේ නැත. එසේ නැත්නම් තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පුරෝගාමිකයෙකුගෙන් කොපි කිරීම වරදක් නොවේ කියා වත්මන් පරපුර සිතුවා ද විය හැක.

 

FPfYQdIXIAIiZXA

මීට වසර කිහිපයකට පෙර, නිශ්චිත ව කියතොත්, 2019 දී ද මෙවැනි පෝස්ටු රැල්ලක් නිර්මාණය වූයේ 'වැඩ කරන විරුවා' නමිනි. රටවැසියන් පමණක් නොව නොරටුන් ද හරි හරියට මේ රැල්ලේ පීනා යනු දක්නට ලැබිණ. කලක මෙරට සිටි පසු ව නොරටුන් වූ ඩයස්මීවරු ඔද තෙද වඩවා චාටර් පදනම මත ගුවන් යානා කුලියට ගෙන සාඩීන් සේ පැට වී මව්බිමට පෙරළා පැමිණියෝ ඡන්දය දමා විරුවා දිනවන්නට ය. විරුවා උඩින් ම දිනූ අතර, වැඩි කලක් නොගොස් ඔහු වැඩ කරනවා වෙනුවට වැඩ අනා ගති. ලයිට්, වතුර පැට්‍රෝල්, පැට්‍රොල් නැතුව ජනතාව පෝලිම්වල දින ගණන් අව්වට වැස්සට තෙමින් සිටින විට 'විරුවාරදය' නමින් මෙතෙක් සොයා නොගත් රෝගයක් ජාතියටම වැළඳිණ. මේ වන විට,චාටර් ගුවන් යානාවලින් ආ අය ආ ගිය අතක් නැති වූ අතර රටේ ඉතුරු වූ අය නම් යහමින් චාටර් වූ හ.

විරුවාරාදයේ රෝග ලක්ෂණවලට බොහෝ සේ සමාන නව රෝගයක් අනාගතයේ යම් දිනෙක හට ගනී යයි සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ දිනවල දැඩි විමසල්ලෙන් සිටී. තාවකාලිකව ඒ රෝගී තත්ත්වයට ඔවුන් දී ඇති නම 'පුනරුදාව' ය. විරුවාරදය සමාජ ඇනටොමියේ හිස්කබල ආශ්‍රිත කලාපයේ හටගන්නා අතර, අපේක්ෂිත පුනරුදාව රෝගී තත්ත්වය හිස්කබලෙන් කශේරුකාව හරහා පහළට ගමන් කොට පශ්චාත් භාගය හා ඊට තදාසන්න ප්‍රදේශයන් හී ස්ථානගත වීමට ඉඩකඩ ඇතැයි සමාජ වෛද්‍ය මතයක්මේ වන විට පුරෝකතනය වී ඇත.

මධුර බස් චාරිකා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...