“ඇයි අපි කියල අහන්නෙ... ඡන්දය කියන්නෙ තම තමන් තනිව තීරණය කරල දෙන දෙයක්නෙ.”
“අපේක්ෂකයො හැමෝම කියන්නෙ රට වෙනුවෙන් ඡන්දය දෙන්න කියලා. එහෙම වුණාට, පොදුවෙ හිතන එක නේද හොඳ?”
“රට වෙනුවෙන් හිතනව නම්, ඒ එක්කෙනෙක්ටවත් නොදී ඉන්න එක තමයි හොඳම වැඩේ.”
කුෂ්වන්ත් සිං
ඉහත දෙබස කුෂ්වන්ත් සිංගේ, තීරු ලිපියක එන උපහාස කතාවක් ඇසුරින් සකස් කර ගත්තකි. ඉන්දියාවේ බොහෝ දේ සිරි ලංකාවට ගැලපෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කුෂ්වන්ත් සිංගේ උපහාස කතාවල විශේෂත්වයක් වූයේ, ඔහු තම සීක ජාතිය දෙසම සරදම් ඇසින් බැලීමය. එහෙත් සමහර සීකයන්ට එය දිරෙව්වේ නැත. එක් සීක ජාතික නීතිඥයකු, කුෂ්වන්ත්ගේ සිනා කතා තහනම් කළ යුතු යැයි නඩු දැමීමට සැරසුණි. ඒ පිළිබඳව ලියූ, සීක තීරු ලිපි රචකයකු සඳහන් කළේ, කුෂ්වන්ත් නඩුව තවත් හොඳ විහිළුවක් වනු ඇති බවය.
සිනහවට, කුලය, බලය, ජාතිය, ආගම අදාළ නොවන බව පෙන්වා දුන්නේය.
කුෂ්වන්ත්ගේ සිනා කතාවල එන සැන්ටා සහ බැන්ටා, ලොව පුරා සිටින උපහාසලෝලී පාඨකයන්ගේ සිත් දිනා ගත්තේය. කුෂ්වන්ත්, තමන්ටම සිනාසීම තුළින් පෙන්වා දුන්නේ, තමන් උසස් සංස්කෘතියක නියෝජිතයකු බවය.
ඔහු මිනිසුන්ට සිනාසීමට කියා දුන්නේය. සිනහවට, කුලය, බලය, ජාතිය, ආගම අදාළ නොවන බව පෙන්වා දුන්නේය.
කුෂ්වන්ත් සිං, කලක් ඉන්දීය රාජ්‍ය මන්ත්‍රණ සභාවේද සේවය කළේය.
එකල ඔහු පිළිබඳව ලියැවුණු තීරු ලිපියක මෙසේ දැක්වෙයි.
කොංග්‍රස් නායක මන්මෝහන් සිං සමඟ
මාධ්‍යවේදියකු, කුෂ්වන්න්ගෙන් මෙසේ අසයි.
“ඔබ අගමැති ධුරයට පත්වන්න කැමති නැද්ද?”
“මට ඒකට තව කල් තියෙනවා.”
කුෂ්වන්ත් සුපුරුදු උපහාසයෙන් යුතුව කියයි.
කලකට පසුව, ඔහුගේ 90 වැනි ජන්ම දිනයේදීද, මේ පැනයම අසනු ලැබුණි.
ඔහු සිනාසුණි.
වයස 99 දී ඔහු මිය ගියේය.
සෑම මන්ත්‍රීවරයකු හෝ අගමැතිවරයකු තුළම, අගමැති - ජනපති සිහිනය පවතින බව, නොරහසකි
සෑම මන්ත්‍රීවරයකු හෝ අගමැතිවරයකු තුළම, අගමැති - ජනපති සිහිනය පවතින බව, නොරහසකි. එහෙත් ඒ බව කෙළින් නොකියන ඔවුහු, “මට ඒකට තව කල් තියෙනවා” යැයි කියති. වියපත් කුෂ්වන්ත්ගේ උපහාස හීසරය එල්ල වූයේ ඔවුන් වෙතටය.
අගමැති - ජනපති සිහින දකින්නෝ කල් තියාම සූට් මසා ගනිති. එහෙත්, ඔවුන්ගෙන් බොහෝ දෙනකුට එම සූට් අඳින්නට වන්නේ, මියගිය පසුවය. කල් බැලූ අයත්, සූට් එකත් දෙකම කල් ඉකුත් වී ගොසිනි.
මේ නිසාදෝ දැන් දැන් සමහරු කල්පිරීමටත් කලින්, ජනාධිපති - අගමැති සිහින දකින්නට පටන්ගෙනය. එහෙත් තමන්ගේ සිහින සැබෑ කරවීමට ජනතාව සූදානම්දැයි ඔවුන් සිතා බලා නැති සේය. අපේ ජනවහරේ “කෑදත්තා, කන්දක් ගිලින්ඩ සැරසුණා වාගේ” යැයි කියන්නේ එවැනි අවස්ථාවලටය.
බොහෝ විට සිදුවන්නේ තමන්වත් පාලනය කරගත නොහැකි අය, දේශය පාලනය කිරීමට පැමිණීමය. එවිට, ඔවුහු විහිළුවට ලක් වෙති.
දේශපාලනය යන වචනයෙන්ම කියැවෙන පරිදි එහි අරුත, දේශය පාලනය කිරීමය. එහෙත් බොහෝ විට සිදුවන්නේ තමන්වත් පාලනය කරගත නොහැකි අය, දේශය පාලනය කිරීමට පැමිණීමය. එවිට, ඔවුහු විහිළුවට ලක් වෙති.
අප්‍රිකානු දේශපාලන විහිළු ඇතුළත් වෙබ් අඩවියක් නම් කර ඇත්තේ “ලැෆ්රිකා” (Laughrica) යනුවෙනි. එහි අරුත සිනා උපදවන අප්‍රිකාව යනුය.
අප්‍රිකාවේ, දේශයට හිතවත්, ජනතාවට සහන සැලසූ පාලකයන් මෙන්ම, උඩින් පාත්වූ ජෝකරයන්ද සිටියහ. දශක දෙකක පමණ කාලයක් ලෝකයා හිනැස්සූ, ගැම්බියා ජනපති යහියා ජාමේ (Yahya Jammeh) එවැන්නෙකි.
ගැම්බියා ජනපති යහියා ජාමේ
තමාට ඒඩ්ස් රෝගය වැළඳුණු බවත්, තමන් විසින්ම සොයාගත් බෙහෙතකින් ඉන් සුවපත් වූ බවත් ඔහු කියා සිටියේය. එතෙකින් නොනැවතී, එම දේශීය ඖෂධය රටේ ජනතාවටද නියම කළේය. ගැම්බියාවේ ඉන් මියගිය ඒඩ්ස් රෝගීන් ගණන විශාලය.
(කොරෝනා පැණිය ගැන, ගැම්බියාව දන්නේ දැයි නොදනිමු.)
ඒකාධිපතින්ගේ අවසානය සැමවිටම පාහේ අඳුරුය. ශෝකජනකය.
ඒකාධිපතින්ගේ අවසානය සැමවිටම පාහේ අඳුරුය.
ගැම්බියා ජනපති යහියා ජාමේටද සිදුවූයේ ඝාතන චෝදනා හා මූල්‍ය වංචා චෝදනාවන්ගෙන් බේරීමට රටින් පලා යාමටය.
පසු කලෙක, ගැම්බියා පුරවැසියකු මෙසේ කියා තිබුණි. “ඔහුගේ පාලනය යටතේ ජීවත් වෙනවාට වඩා, ඒඩ්ස් හැදිලා මළා නම් හොඳ යැයි අපිට හිතුණා.”
එහෙත්, යහියා ජාමේ, තවමත් මෙසේ කියනු ඇත.
“අපි තමයි හොඳටම කොලේ”
(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම - deshaya.lk)



