The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

නසසප ආයුධ සන්නද්ධ වීමේ යටගියාව. කවුද මේ බාහු ? - (ඥානසිරි කොත්තිගොඩ)

T

The Leader Desk

August 5, 2024 • 7:19 AM

නසසප ආයුධ සන්නද්ධ වීමේ යටගියාව. කවුද මේ බාහු ? - (ඥානසිරි කොත්තිගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුල් කාර්තුවේදී වැල්ලවත්ත රෙදි මෝල වසා දැම්ම නිසා මගේ රස්සාව නැතිවුණා.
  • මුලින් එකඟතාවයක් තිබුනත් අවසාන මොහොතේ ප්‍රතිචාරය වුනේ තවදුරත් ඔවුන් යටිබිම්ගත දේශපාලනයම පවත්වාගෙන යනවා කියලා. යාපනයේ සරණාගත කඳවුරුවලට යවනු පිණිස නෞකා මගින් අතරමැදි කඳවුරුවලට යවන ලද අනාථ දෙමළ ජනයා - අගෝස්තු 10, 1983 | සේයාරුව: JDS අනුග්‍රහයෙනි.
  • එහෙම මරලා දණෙන් පහළ එල්ලාගෙන ගිහින් පොළොවෙන් උඩට එන්න පස් නොගසා "දේශ ද්‍රෝහීන්" ලෙස වල දාන්න අණකළා.
  • හැකි වූ හැම මොහොතකම ඒ අණ බල්ලට දාලා ගෞරවණීය ලෙස වල දැම්මා. 1988 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහ­ජන පක්ෂ­යෙන් තර­ග­කල ඔසීගේ සහා­යට වාසු සහ බාහු එක්වූ අව­ස්ථා­වක්.
අකුරු ප්‍රමාණය (Font Size):

1983 මුල් කාර්තුවේදී වැල්ලවත්ත රෙදි මෝල වසා දැම්ම නිසා මගේ රස්සාව නැතිවුණා. ඒකට විරුද්ධව ගෙනගිය අරගලය අවසන් වුණේ වැල්ලවත්ත පොලිස් කූඩුවෙන්. රෙදි මෝලේ හිටිය නසසප මිත්‍රයන් පක්ෂ‍යට කියලා පොලිස් ඇපමත නිදහස් කරගෙන, මාව අරගෙන ගියේ නසසප ප්‍රධාන කාර්යාලයට. 

සංවර්ධනය වෙමින් පවතින රටක කොමිස්කාර ධනපතියන් පාලනය කරද්දී, අපි වගේ දුගියන්ගේ සිතුම් පැතුම් පොඩි පට්ටම් වෙන්නේ ඇයි කියන එකේ දේශපාලනය මුලින්ම තේරෙන බාසාවෙන් කියලා දුන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න. ඒ තමයි බාහු.

1983 කළු ජූලියේ ලේ පැල්ලම වහගන්න නසසප සහ කොමියුනිස්ට් පක්ෂය සමග තහනම් කරපු ජනතා විමුක්ති පෙ‍රමුණ (JVP) හිටියේ යටිබිම් ගතවෙලා.

 

1983 කළු ජූලියේ ලේ පැල්ලම වහගන්න නසසප සහ කොමියුනිස්ට් පක්ෂය සමග තහනම් කරපු ජනතා විමුක්ති පෙ‍රමුණ (JVP) හිටියේ යටිබිම් ගතවෙලා. මේ අත‍ර විජය කුමාරණතුංගගේ නායකත්වයෙන් එක්සත් සමාජවාදී පෙරමුණ (එසපෙ) ගොඩනැගුණා. සැගවී සිටි නසසප දේශපාලන මණ්ඩලය (PB) තක්සේරු කළේ මේ පෙ‍රමුණ කම්කරු පන්තියට හයියක් වෙනව කියලා. ඒ අනුව එකී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වීමේ නිවැරදි තීන්දුව අරගෙන නසසපය විවෘත බහුජන දේශපාලනයට එලියට ආවා. ඒ තමයි බාහු.

හබරාදූව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර හරහා යටිබිම්ගතව සිටි JVP හා නසසප මේ වෙද්දී අදහස් හුවමාරු කරගනිමින් හිටියේ. ඒ අනුව විජය, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවගම සමඟින් රජයට භාරවීමට නසසප ජවිපෙට යෝජනා කළා. මුලින් එකඟතාවයක් තිබුනත් අවසාන මොහොතේ ප්‍රතිචාරය වුනේ තවදුරත් ඔවුන් යටිබිම්ගත දේශපාලනයම පවත්වාගෙන යනවා කියලා. 

 

tamil refugees 1983 graham evans ticයාපනයේ සරණාගත කඳවුරුවලට යවනු පිණිස නෞකා මගින් අතරමැදි කඳවුරුවලට යවන ලද අනාථ දෙමළ ජනයා - අගෝස්තු 10, 1983 | සේයාරුව: JDS අනුග්‍රහයෙනි.
බාහු කිව්වා සුළු ධනේෂ්වර ගරිල්ලාවාදී පක්ෂ‍යක් හැමදාමත් කම්කරු පංතියේ ශක්තියට වඩා විශ්වාසය තියන්නේ තුවක්කුව මත කියලා. මාක්ස්ගේ ලෙනින්ගේ උදෘතයන් කියෙව්වාට ඕක තවත් "රතු බණ්ඩාරනායකවාදී පක්ෂයක්" කියලා. ඒ අනුව කොම්පඤ්ඤවීදියේ නිපොන් හොටලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා නසසපය ගත්ත තීන්දුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කළා. ඒ තමයි බාහු.

1987 ඉන්දියාවත් සමග එක්වී, ජේආර්ගේ ආණ්ඩුව ඉන්දු ලංකා ගිවිසුම හරහා දෙමළ ජනතාව නොඉල්ලපු පළාත් සභාවක් බලහත්කාරයෙන් ඔවුන් මත පැටෙව්වා. නමුත් ඒ ජනතාව එය පිළිගන්නවා නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න, එය ජාතිවාදීන්ගෙන් ආරක්ෂා කරන්න (බණ්ඩා - චෙල්වා, ඩඩ්ලි - චෙල්වා ගිවිසුමේදී වාමාංශිකයන් මෙන් නොවී) නසසප දේශපාලන තීන්දුවක් ගත්තා. දෙමළ ජනතාව මත බලෙන් පැටවූ මේ සොච්චම් සහනයට පවා විරුද්ධ වෙමින් JVP "දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය" (DJV) අටවාගෙන පුද්ගල ත්‍රස්තවාදයට ගියා. 

borella 1983 july jdsබොරැල්ල - නාරාහේන්පිට මාර්ගයේ විනාශ කළ වෙළඳ සැල් පසුකර යන ජනයා - 1983 ජූලි | © JDS

දේශප්‍රේමී කල්ලිය දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය වුන් 6,200 ක් රටපුරා මරා දැම්මා. මරා දැමූ බොහෝ දෙනෙක් පීඩිත ජාතීන්ගේ ජාතිකත්ව අයිතීන් ආරක්ෂා කිරීමට සිංහල මහජාතිවාදීන් එක්ක මුහුණට මුහුණ ලා අරගල කළ සටන්කාමී, මානවවාදී, ගෞරවණීය මිනිස්සු. එහෙම මරලා දණෙන් පහළ එල්ලාගෙන ගිහින් පොළොවෙන් උඩට එන්න පස් නොගසා "දේශ ද්‍රෝහීන්" ලෙස වල දාන්න අණකළා. හැකි වූ හැම මොහොතකම ඒ අණ බල්ලට දාලා ගෞරවණීය ලෙස වල දැම්මා. 

1988 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහ­ජන පක්ෂ­යෙන් තර­ග­කල ඔසීගේ සහා­යට වාසු සහ බාහු එක්වූ අව­ස්ථා­වක්.

මරා දැමුවන්ගෙන් 27 ක් නසසප නායකයන්. සමහරුන් ගම්වල හිටිය නායක‍යෝ. ‍රැස්වීම්වලට බෝම්බ ගැහුවා. වෙඩි තිව්වා. නසසප පළමු රැස්වීමට බෝම්බය ගැහුවේ මීගමුවේදී. ඒවෙද්දී නසසප කිසිදු ගිණි අවියක් පාවිච්චි කළේ නැහැ.

 

1988 පෙබරවාරි 16 වෙනිදා එසපෙ නායක විජය කුමාරණතුංගත් මරා දැම්මා. ඒ අවමඟුල් පෙරහැරට දස දහසකට වැඩි ජනතාවක් සහභාගී වුණා. නසසප ආරක්ෂක අංශය සහභාගී වුණේ කරේ එල්ලා ගත් බෑග් වලට වතුර පිර වූ වීදුරු බෝතල් දාගෙන. PB එක මැදිකරගත් ආරක්ෂකයන් බෑගයේ බෝතලය දකුණු අතින් අල්ලා ගෙන වටපිට බලමින් ගමන් කළේ බෑගයේ කුමක් හෝ ආයුධයක් ඇතැයි සතුරාට හැඟවීමේ උපක්‍රමයක් විදියට. නසසප පළමු ආරක්ෂක ලේකම් වුණේ ඩී.එම්.ඩී. චන්‍ද්‍රවිමල.

 

e5e756

ප්‍රේමදාස ආණ්ඩුවේත් ආශීර්වාදයෙන් තමයි ජවිපෙ මේ ෆැසිස්ට් පන්නයේ ත්‍රස්ත ක්‍රියා සිදු කළේ. විජය ඝාතන‍යෙන් පස්සේ රැස්වුණු නසසප PB එක තීන්දු කළා JVP - DJV යෙන් ආරක්ෂා වීමට නම් අපිත් ආයුධ ගන්න ඕන කියලා . ඒක හැංගි හොරා කළේ නෑ. පක්ෂයේ මුදුන් මණ්ඩලයේ තීන්දුව ප්‍රධාන ලේකම් බාහුගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් සකල ලංකාවටම දැනුම් දුන්නා. ඒ තමයි බාහු.

මාධ්‍ය නිවේදනයෙන් දිනකට පස්සේ ආරක්ෂක අමාත්‍යංශයෙන් 143 කාර්යාලයට කතා කළා.

කොම්පඤ්ඤවීදියේ 143 කාර්යාලය කියන්නේ නසසපයට සම්බන්ධ වෘත්තීය සමිතිවලට අයිති කාර්යාලය. ඒක තිබුනේ තට්ටු හතරක බිල්ඩිමේ තුන්වැනි තට්ටුවේ. 17 බැරක්ක පටුමගේ නසසප කාර්යාලය තිබුණේ පාර අයිනේ ගෙවල් පේළියක. JVP - DJV ත්‍රස්ත ප්‍රහාර නිසා දේශපාලන නායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාර්යාල දෙකේ පදිංචිය තාවකාලිකව මාරු කර ගත්තා. ඒ තමයි බාහු

143 ට ආව දුරකතන ඇමතුමට පිළිතුරු දුන්නේ බාහු. ඒ අය ඇහුවා ආයුද ගන්නවා කියලා නිවේදනයක් දැම්මාද කියලා. බාහු කිව්වා ඔව්. ඇයි එහෙම අහන්නේ. ඊට පස්සේ එහෙන් ඇහුවා ආයුධ ගන්නේ කොහෙන්ද කියලා. බාහු කිව්වා වෙඩි තියන්න පුලුවන්නම් කොහෙන් වුනත් කමක් නෑ, අපි ගන්නවා කියලා. විනාඩි දහයක් විතර කතාබහ ගියා. ආයුධ වලට කිල්ලක් නෑ. පත්තුවෙනවානම් කොහෙන් වුනත් ගන්නවා. අපේ ජීවිත ආරක්ෂා කරගැනීමේ අයිතියක් අපටත් තියෙනවා. දුරකතන සංවාදයෙන් පස්සේ බාහු කිව්වේ දැඩි ස්වරයකින්. ඒ තමයි බාහු.

 

1987/89 ජවිපෙ කැරපිකරුවන්ගේ ප්‍රහා­ර­ව­ලින් ආත්මා­ර­ක්ෂාව සල­සා­ගත් නස­සප ක්‍රියා­කා­රින් පිරි­සක් 1988 විවේකී මොහො­ත­කදී ආචාර්ය බාහු සම­ඟින් ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි අයුරු.
බාහු ඊට පහුවෙනිදාම විශේෂ PB එකක් කැදෙව්වා. ආරක්ෂක අමාත්‍යාංශය බලපත්‍ර සහිත ආයුධ දෙන්න එකඟයි, හැබැයි මුදල්වලට කියලා දැනුම් දුන්නා. අන්තිමේදී ඒ මොහොතේ පක්ෂයට සල්ලි තිබුණු විදියට සාමාන්‍ය වර්ගයේ පිස්තෝල තුනක් ගන්න තින්දු කළා. එක පිස්තෝලයක් රුපියල් 15, 000 වුණා. ඒ තමයි බාහු.

නසසප ආයුධ ගත්තේ ඔන්න ඔහොම. ඊට පස්සේ එසපෙ ට ලැබුණු ආයුධ ඒකේ සාමාජික පක්ෂවලට ලැබුණා. ඒකෙන් නසසපයටත් කෝටා එක අනුව රිපීටර්, ෂොට්ගන්, පිස්තෝල ලැබුණා. නසසප අනෙක් පක්ෂ වගේ ආණ්ඩුවේ ආරක්ෂක අංශවලට තමන්ගේ ආරක්ෂාව බාර දුන්නේ නෑ. මොකද එයාල පුරුදු පුහුණු කරලා, පඩි ගෙවන්නේ සිංහල බෞද්ධ ජාතිවාදී ඒකීය රාජ්‍ය ආරක්ෂා කරන්න. ඒනිසා පක්ෂ කාඩර්වරුන්ම තමයි ආරක්ෂාවට යොදා ගත්තේ. ඒක දේශපාලන තීන්දුවක්. ඒ තමයි බාහු.  

 

නලින් හේවගේ සිනාවෙන්නේ කාට ද? - (උපාලි ගජනායක)

එසපෙ සාමජික වූ අනෙක් හැම ප්‍රධාන කාර්යාලයක්ම එක්කෝ ගිණි තිබ්බා, නැතිනම් බෝම්බ ගැහුවා. ඒත් JVP - DJV නසසපයේ කාර්යාල පැත්ත පළාතේවත් ආවේ නැහැ. ඒ දුර දක්නා මාක්ස්වාදී න්‍යාය හා භාවිතාව බාහුගේ. එසේ වුවත් ආරක්ෂාව පිළිබඳව නසසපට තනිවම තීන්දුගත නොහැකි පොදු වේදිකාවක් වූ කඩවතදී බඩවැල් එළියට එන්න ජවිපෙ තුවක්කුකාරයන් බාහුට වෙඩි තිබ්බා. ඒත් වෙඩිකා අවුරුදු 81 ක් බාහු ජීවත්වුණා. ඒ විතරක් නෙමේ, නසසප ආයුද නොගත්තානම් වාසු ඇතුළු ඒ භීෂණ සමයේ නසසපයේ සිටි බොහෝ මුල් පෙලේ නායකයන් අද වෙනකොට ජීවතුන් අතරවත් නැහැ. ඒ තමයි බාහු.

පක්ෂය ආයුද සන්නද්ධ කරමින් ප්‍රධාන ලේකම් බාහුගේ නමින් විශේෂ බුලටීනයකුත් නිකුත් කළා. "ජවිපෙ කියන්නේ අපේ විප්ලවවාදී ගමනේ මිතුරු බලවේගයක්. නමුත් එය මේ මොහොතේ සතුරු බලවේගයක් බවට පත් වී ධනපති ජාතිවාදී රාජ්‍යයේ අතකොළුවක් වී තිබෙනවා.  එනිසා මේ මොහොතේ ඔවුන් සමග වාද විවාද කිරීමෙන් පලක් නැහැ. එවගේම හඹාගොස් පහර දීම් හෝ වෙනත් කණ්ඩායම් සමග එක්වී ඔවුන්ව දඩයම් කි‍රීම්, රජයේ ආරක්ෂක අංශයන්ට පාවා දීම් කිරීම නොකළ යුත්තක්. එය පක්ෂ විනය කඩ කිරීමක්. නමුත් තමුන්ව ඝාතනය කිරීමට ඔවුන් පැමිණියහොත් අවසාන උණ්ඩය දක්වා සටන් කළ යුතුයි. කිසිදු විටෙක යටත් නොවිය යුතුයි. විප්ලවවාදී පක්ෂයක් කිසි විටෙක ජාතිවාදී සුළු ධනේෂ්වරයේ පුද්ගල ත්‍රස්තවාදයට යටත් නොකළ යුතුයි" යි කියලා. ඒ තමයි බාහු.

 

nyuජවිපෙ නායක අනුර කුමාරත් බාහුට අවසන් ගෞරව දක්වන්න ඇවිත්
වෙඩි වැදුණු බාහු වෛද්‍යවරුන්ගේ දස්කම් නිසා ජීවිතය බේරා ගත්තත් ඉන්පසු විවිද අතුරු ආබාධ ආවා. වයසට වඩා ඉක්මනින් කාය ශක්තිය පිරිහී යන්නත් ඒක ප්‍රධාන හේතුවක් වුණා. ජවිපෙ නායක අනුර කුමාරත් බාහුට අවසන් ගෞරව දක්වන්න ඇවිත් තිබෙනවා. ඒත් පීඩිත ජාතීන්ගේ ජාතිකත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනිසා බාහුට තැබූ ජාතිවාදී මරණීය වෙඩිල්ලේ සළකුණ දකින්න නැතිව ඇති.

කඩවත රැස්වීමෙන් පස්සේ පක්ෂයේ ආරක්ෂක අංශය තීන්දු කළා වාසුයි බාහුයි නැවත එකවර එකම වේදිකාවක තියන්නේ නැහැ කියලා. නමුත් රැස්වීම අවසන් වෙනතුරු දෙන්නාගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන්ම වේදිකාවේ ඉන්න ඕන කියලත් තීන්දු කළා. ඒ එකඟ වූ තීන්දුව කඩ කරමින් කිරුළපනේ තිබුණු එසපෙ රැස්වීමක් අවසන් වෙන්නට පෙ‍ර වාසු වේදිකාවෙන් බැහැලා ආවා. බාහු වාසුටත් ඔහුගේ ආරක්ෂකයන්ටත් ඒගැන තදින් දෝෂාරෝපණය කළා. වාසු වරද පිළිගත්තා. ඊට පසු කවදාවත් එහෙම වුණේ නැහැ. ඒ තමයි බාහු.

පෞද්ගලික අංශ‍යේ හා රාජ්‍ය අංශයේ වෘත්තීය ශාඛා ඒකාබද්ධ වුණු බාහු අනුශාසකවරයා වූ වෘත්තීය සම්මේලන දෙකක් තිබුණා. ඒ කාල‍යේ මේ සම්මේලන දෙක බොහොම බලවත්. මේ සම්මේලන දෙකෙන් ඉල්ලා සිටියා අනෙක් සමිති සම්මේලන එන්නේ නැතිනම් මේ සම්මේලන දෙකේ කම්කරුවන්ගේ සමුළුවක් තියලා හරි යුද්ධ‍යට විරුද්ධ යෝජනාවක් සම්මත කර ගන්න කියලා. මධ්‍යම කාරක සභාවේත් මේ ගැන වාද විවාද කරළා ඒ වෘත්තීය සමිති නායකයන් එකඟ වුණා. දින සති ගෙවිලා ගියා. ඒත් වැඩේ වෙන්නේ නෑ.

 

ඒ තමයි බාහු
එක දවසක් දවල් දෙකට විතර 143 බාහු ඉන්න කාමරයෙන් එළියට ආවේ අව්කණ්නාඩියක් දාගෙන, රතු අත්කොට ෂ‍ර්ට් එකක් ඇඳගෙන, මෙගාෆෝන් එකක් කරේ එල්ලන් ඔක්කෝටම බැනගෙන. තමුසෙලාගේ මේ පක්ෂයයි, වෘත්තීය සමිතියි බල්ලට දානවා. මොකටද මේවා තියාගෙන ඉන්නේ. මේවා විසුරුවලා දානවා. අරහේ මහා ජනඝාතනයක් වෙනවා. තමුසෙලා මෙහේ බකංනිලාගෙන ඉන්නවා කියලා. ඒ තමයි බාහු.

එක්කෙනෙක් ඇහුවා බාහු සහෝදරයා කොහෙද මේ යන්නේ කියලා. මම යනවා මට පුලුවන් දේ කරන්න. තමුසෙලා එනවානම් එනවා. නැතිනම් තමුසෙලාත් ඔහොම පල් හෑලි කියව කියවා ඉන්නවා. එහෙම කියපු බාහු  143 පඩි පෙළ බහින්න වුණා. කොම්පඤ්ඤවීදියේ වතුපුරා රැස්වීම් තියමින් ගිය බාහු හවස හතර විතර වෙද්දී කොටුව දුම්‍ රියපොළ ඉදිරිපිට යුද විරෝධී රැස්වීමක් තනිවම කළා. ඒ තමයි බාහු.

බලහත්කාර‍යෙන් යුද්ධයට මුදල් කැපීම නැවැත්තුවා.

 

ආණ්ඩුව තීන්දු කරළා රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුපෙන් බලහත්කා‍රයෙන් යුද්ධයට මුදල් කැපුවා. ඉබ්බාගෙන් දියට දාන්නද ඇහුවාම කිව්වා වාගේ සියලුම වෘත්තීය සමිතිත් ඇන්නෑවේ කියලා කරබාගෙන හිටියා. එවකට රත්මලානේ නසසප දිස්ත්‍රික් ලේකම්වෙලා හිටියේ ප්‍රේමලාල් පෙරේරා. එයා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතියේත් නායකයා. බාහු එයාව කැඳවලා උපදෙස් දුන්නා මේ මුදල් කැපීමට විරුද්ධව අධිකරණයට යන්න කියලා. නඩුව දිනුවා. බලහත්කාර‍යෙන් යුද්ධයට මුදල් කැපීම නැවැත්තුවා. ඒ තමයි බාහු.

නලීන් ද සිල්වාගේ සිට මේ දක්වා අන්තිමට පක්ෂය හැරගිය නීල්, ලීනස්ලා ඇතුළු බොහෝ දෙනෙක් කරන එක චෝදනාවක් තමයි එයාලව පක්ෂ‍යෙන් එළෙව්වා කියළා. එහෙම චෝදනා කරනා අය අද ඉන්නා තැන බැලුවොත් මේ කතාවල සත්‍ය අසත්‍යතාවය දැක ගන්න පුලුවන්. එක්කෝ නසසප දෘෂ්ඨිවාදය ආත්මීය ලෙසම බිඳ වැටීම, සිංහල, බෞද්ධ මහජාතියේ ජාතිවාදයට බියෙන් ආරක්ෂණවාදී තීන්දු ගැනීම හෝ වෙනත් වානිජ අරමුණක් කියලා හොඳින් පෙනෙනවා. මොකද ලංකා සම සමාජ පක්ෂය වැරදියි කියලා එළියට ආව බාහු නසසප ඊට වඩා උතුම් දේශපාලන ආස්තානයක පිහිටෙව්වා. ඒ තමයි බාහු.

එහෙනම් බාහු වැරදියි කියලා එළියට ගිහිපු අයත් එහෙම පක්ෂ හදන්න එපැයි. කෝ එහෙම නැහැනේ.

 

දෙමළ වර්ග සංහාරයක් වෙද්දී ඒ වෙනුවෙන් පෙනී හිටියොත් ජාතික ප්‍රශ්නය අධිනිශ්චය වෙලා, පංති අරගලය දෙවැනි තැනට වැටෙන්න පුලුවන් කියලා බාහු බය වුණේ නෑ.
තවත් සමහරු කරන චෝදනාවක් තමයි කම්කරු පංතිය වෙනුවට සුළුතර ජාතීන්ගේ ජාතික ප්‍රශ්නය නසසප තුළ ප්‍රමුඛ වීම (අක්ත පත්‍රය ලෙස ගැනීම) බාහු පැටලුණු මතවාදී උගුලක් කියලා. ඔය චෝදනාව එලෙසම කරමින් පක්ෂ‍යෙන් ගිය, නැසීගිය ලීනස් ජයතිලක හා නීල් විජේතිලක ඇතුලු කල්ලිය නැවතුනේ කොහෙද? බාහුගේ බඩවැල් එළියට පනින්න වෙඩි තියපු DJV - JVP වැදුම් ගෙයින් එලියට ආ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අගුවේ. ආචාර්ය නිව්ටන් ගුණසිංහගෙන් ග්‍රාම්ස්චි කියවලා, අර්නෙස්ටෝ ලැක්ලාවු සහ ෂන්ටාල් මූෆ්ගේ  පස්සේ යන්නන් කුළු ගෙඩියටයි, මාලිමාවටයි මුවා වෙලා ඇට බෝල ගහමින් නේද ඉන්නේ කියලා බාහු හිටියනම් සමහර විට අහන්න ඉඩ තිබුණා. ඒ තමයි බාහු.

හැබැයි දෙමළ වර්ග සංහාරයක් වෙද්දී ඒ වෙනුවෙන් පෙනී හිටියොත් ජාතික ප්‍රශ්නය අධිනිශ්චය වෙලා, පංති අරගලය දෙවැනි තැනට වැටෙන්න පුලුවන් කියලා බාහු බය වුණේ නෑ. ඒනිසා කම්කරු පංතිය බලය අරගෙන ඒ රාජ්‍යයක් තුළ තමයි ජාතික ප්‍රශ්නයට විසදුම් දෙන්නේ (ජවිපෙ -  මාලිමා තියරිය) කියලා නසසප තීන්දු කළේ නෑ. අපි මාක්ස් ලෙනින්වාදීන් වුවත් ජාතීන්ගේ වෙන්වීමේ භූ විෂමතා අනුව තමයි බලන්න ඕන. ලංකාව කුඩා රාජ්‍යයක් නිසා මාක්ස් ලෙනින් න්‍යාය ඒ අයුරින්ම අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ (පෙසප - ගුණ‍රත්නම් තියරිය) කියලත් බාහු කිව්වේ නෑ. ඒ තමයි බාහු.

මේ දෙකේම සිංහල, බෞද්ධ, ඒකීය රාජ්‍යවාදී ජාතිවාදය බාහු පට්ට ගැහුවා. ඔහු හිටියේ ලෙනින්ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ අවධි දෙකේ තීසිසය න්‍යායක් බවට පෙරලූ ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ ලාංකීය පෙ‍රගමන්කරුවා විදියට. ඒ තමයි බාහු.

 

bahu 734ඒ ගුරුකොට ගැනීමෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාම ජයගන්නා විද්‍යාව මහපොළොවේ න්‍යායිකවත්, ප්‍රායෝගිකවත් අභ්‍යාස කරමින් ඒ අයගේ සෞරග්‍රහ මණ්ඩලයම දෙදරුම් කවපු එකට. 
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියන්නේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනාගත් කෙනෙක්. ඒ උපාධිය දිනා ගත්තේ electromagnetic radiation on solar flare නිබන්ධනයට. නැතිනම් සුර්ය අග්නි ජාලා මත උත්පාදනය වන විද්‍යුත් චුම්භක විකිරණය ගැන. ඒක ලියලා එංගලන්තේ ඉඳලා ලංකාවට ආපු බාහු ආකාරගත ‘විද්‍යාඥයෙක්’ හැටියට ‘සේවයක්’ කළේ නැහැ කියලා බොහෝ දෙනෙක් හොටු හූරණවා. එවැනි අය අද වගේම ඔහුගේ දශක හයකට ආසන්න දේශපාලන ජීවිතේ පුරාමත් හිටියා. 

ඒ උදවිය ඇත්තටම දුක් වුනේ/ වන්නේ, කිලෝමීටර් මිලියන 151කට එහා සිද්ධ වෙන දෙයක් පිළිබඳ අනුභූතික විද්‍යාව තමන්ගේ ගැලවිජ්ජාව කරනොගත්ත එක ගැන. සමාජයේ සුළුතරයක් එගොඩ කරන සුවපහසුව (ඔහු සමග වාම සමසමාජයෙන් ශ්‍රී ලාංකික දේශපාලනය උඩු යටිකුරු කරන්න පුරෝගාමී වූ අනිකුත් විශ්ව විද්‍යාල උගතුන් මෙන්) තෝරා ගත්තේ නැති එක ගැන. නැතුව බාහු අපෝහක භෞතිකවාදය පදනම් කරගත් මාක්ස්වාදය ගුරුකොට ගැනීම ගැනනම් නෙමේ. ඒ ගුරුකොට ගැනීමෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාම ජයගන්නා විද්‍යාව මහපොළොවේ න්‍යායිකවත්, ප්‍රායෝගිකවත් අභ්‍යාස කරමින් ඒ අයගේ සෞරග්‍රහ මණ්ඩලයම දෙදරුම් කවපු එකට. ඒ තමයි බාහු.

 

Jaffna Exodus 1කොළඹ ලොජ්වල හිටිය දෙමළ ජාතිකයන් බස්වල පටවලා යාපනේට යවන්න ගත්තා

ජවිපෙ විසින් මහින්ද ජනාධිපති කරවපු ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් වෙලා හිටියේ ගෝටා. එයා කොළඹ ලොජ්වල හිටිය දෙමළ ජාතිකයන් බස්වල පටවලා යාපනේට යවන්න ගත්තා. මේක ආරංචි වුණු බාහු ලොජ් ඉදි‍රියට වහාම ගිහිල්ල මේ ක්‍රියාවට විරෝධය පෑව. ටික වෙලාවකින් මනෝගනේෂන්, ජයලත් ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බාහුට එක්වුණා. මාධ්‍ය හරහා ලෝකයට මේ කතන්දරේ ගියා. කොළඹින් ඒවන විටත් යවපු බස් මහජන ගඟක් වව්නියාවේදී හරස් කළා. ආපසු කොළඹට එව්වා. ඒ තමයි බාහු.

බොහෝ ලාංකික දෙමළ විමුක්තිකාමීන් පිට‍රටකදී ලංකාවට දෙසා බෑවත් තමන් තමන් ඉන්න රටේ පාලකයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා ගැන කට පියාගෙන ඉන්නවා. ඒ අතර ලංකාවේ සිංහල දේශප්‍රේමියෝ ලංකාවේ ඉඳගෙන අධිරාජ්‍යවාදීන්ගේ පළු අරිනවා. හැබැයි ඒ රටවලට ගියාම අර පලු ඇරපු නායකයන්, නායිකාවන් එක්ක කාලාබීලා ෆේස්බුක් එකෙයි, මාධ්‍යවලයි මල්වෙඩි සංදර්ශන පවත්වනවා. බාහුනම් සිංහයාගේ ගුහාවටම ගිහිල්ල තමයි කට ගඳ‍යි කිව්වේ. ඒ තමයි බාහු.

 

image 3cdeca3dcdජවිපෙ හිටියේ ඒ මහ වැඩ වර්ජනයට විරුද්ධව ජේආර් එක්ක


1978 ජේආර්ගේ ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධව කළු කොඩි දමමින් මහපාරේ ආරම්බ කළ සටනේ ඊළග උච්චතම අවස්තාව වුණේ කම්කරු පංතියේ 80 මහා වැඩ වර්ජනය. මහා වැඩ වර්ජනය ජයග්‍රහනයෙන් නොනැවතී කම්කරු පංතිය බලය ගන්නා මාවතට අවතීර්ණ කළ යුතුයි. ඒ තිර අදිටනින් අගෝස්තු 8 කොළඹ නගරයේදී සත්‍යග්‍රහයක් පැවැත්වුවා. මේ නිසා ආණ්ඩුව පෙරලීමට කුමන්ත්‍රණ කිරීමේ චෝදනා නඟා බාහුව හිරගේ ලෑවා. ජීවිත කාලයම වදදුන් ඇඳුම රෝගය වැළදුනේ එලෙස නුවර බෝගම්බර හි‍රගෙදර පරෙවි බෙටි සහිත අඳුරු කාමරයක හිරකළ නිසා. ඒත් ඒ කිසිවකින් පසුබස්සන්න, අධෛර්ය කරන්න පුලුවන් වුණේ ඔහු නොවෙයි. ඒ තමයි බාහු.

එදත් ජවිපෙ හිටියේ ඒ මහ වැඩ වර්ජනයට විරුද්ධව ජේආර් එක්ක. ජවිපෙ නායක රෝහණ විජේවීර එදා කිව්වේ මේවා කැඳ කෝප්ප සටන්, වැඩ ව‍ර්ජනය කරනවා කියන්නේ සියතින් ගෙළ මිරිකා ගැනීමක් කියලා. පක්ෂයේ ඒ තීන්දුව නොතකා ජවිපෙ වෘත්තීය සමිතියක් වූ ලංකා ගුරු සංගමය වැඩ වර්ජනයට එක්වුණා. විජේවීරගේ මස්සිනා වූ එච්.එන්. ප්‍රනාන්දු ගුරු සංගම් නායකයා වැඩ වර්ජනයට එක්වීමට ගත් තීන්දුව නිසා ජවිපෙ විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කර තිබුණත් එය ව්‍යවර්ථ වුණා. මේ සියලු බාධක, පාවාදීම් මැඩගෙන බාහු සටන් කළා. ඒ තමයි බාහු.

 

ජන අරගල නාමය ලංකා දේශපාලනයේ වාක්කෝෂ‍යට ඇතුල් වුනේ එහෙමෙයි. ඒ තමයි බාහු.

මැයි දිනයන් තහනම් කරද්දී ඒ තහනම් නොතකා පෙළපාලි යමින්, ‍රැස්වීම් පවත්වමින් කම්කරුවන් ගේ අයිතීන් පාගා දැමීමට, යටපත් කිරීමට ඉඩ නොතබා ආරක්ෂා කළා. කම්කරු පංතියේ අයිතීන් වෙනුවෙන් කළ සටන් නිසා අනේක වාරයක් හිරගෙවල තපින්නන් වුණා. පොලිස් ප්‍රහාරයන්ට ලක්වුණා. මේ නිසා නසසප ජන අරගලකාරයන් යැයි මාධ්‍ය විසින් භෞතීස්ම කරණු ලැබුවා. ජන අරගල නාමය ලංකා දේශපාලනයේ වාක්කෝෂ‍යට ඇතුල් වුනේ එහෙමෙයි. ඒ තමයි බාහු.

නගර සබා, පළාත් සබා මන්ත්‍රීවරයෙක් ලෙසින් බහුජන ක්ෂේත්‍රයේ වැඩ කළා. පීඩිත ජාතීන්ගේ නිජබිමේ අයිතිය, සමානාත්මතාවය, ස්ව පාලනය. ස්වංතීරණ අයිතිය වෙනුවෙන් වෙඩි බෝමබ මැද, බඩ බොකුවැල් එළියට එන්න වෙඩි කමින් නොනිමි අරගලයක් කළා. ඒ තමයි බාහු.

 

රනිල් වික්‍රමසිංහ ලවා ජාතික ප්‍රශ්නයට විසදුමක් ලබාගත හැකි යැයි දැඩි අදිටනක ඔහු හිටියා.
නමුත් ජීවිතයේ අවසාන භාගයේ බාහුගේ අදහස් වෙනස් වෙන්න ගත්තා. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ කාරණා ඉටු කරගන්න වෙනත් මාවත් සොයා ගියා. මානව හිමිකම් සළු පොරවාගෙන ඉන්න ජාත්‍යන්තර ලිබරල්වාදී බලවතුන්ගේ බලපෑම් මගින් තුන්වැනි ලෝකයේ කොමිස්කාර ධනපතියන් මෙහෙයවා ගන්න පුලුවන් කියලා විශ්වාස කළා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ලවා ජාතික ප්‍රශ්නයට විසදුමක් ලබාගත හැකි යැයි දැඩි අදිටනක ඔහු හිටියා. යූඇන්පියෙන් චන්දය ඉල්ලුවෙත් ඒකට. ඒක ලිබරල් අදහසක්. බාහු කිරි කළයට ගොම බිඳක් දා ගත්තේ එතැනදී තමයි. ඒත් බාහු විරෝධීන්ට නම් ඒක ‍රසවත් චුයින්ගම් එකක්. හැබැයි කොයි කවුරු විරුද්ධ වුනත් බාහු තමන් විශ්වාස කරන ගමන යනවා. ඒ තමයි බාහු

වාසුදේව නානායක්කාර පක්ෂයේ සංවිධායක ලේකම්වරයා වුනත් ජනමාධ්‍ය මගින් නායකයා ලෙස ඔටුණු පළඳවා තිබුණේ. ඔහුගේ රශ්මි වළල්ලෙන් පක්ෂයේ ඉහළ නිලතලවලට අවස්ථාවාදීන් රැසක් පත්කර ගත්තා. ඒ ඔක්කෝටම යර්ස් කියාගෙන තමයි බාහුත් හිටියේ. ඒ අය පක්ෂයේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන රටාව අකුළා දැම්මා. එහෙම කරළා චන්ද්‍රිකා එක්ක ජාතිවාදී ධනපති සභාගයකට පක්ෂය අරගෙන යන්න පිටපොට ගැහුවා. මේකට විරුද්ධව 1992 දී එවකට අධ්‍යාපන ලේකම්ව සිටි රණත් කුමාරසිංහගේ නායකත්වයෙන් දොළොස් දෙනෙකුගේ කණ්ඩායමක් පක්ෂය තුළ අහ්‍යන්තර අරගලයක් ආරම්භ කළා.

 

1652242058032 01 1536x889
මේ අරගලයේදී විප්ලවවාදී පක්ෂයක සම්ප්‍රදායක් නොවන යෝජනාවක් බාහු ගෙනාවා. ඒකට රණත්ගේ කණ්ඩායම දැඩිව විරුද්ධ වුණා. ඒනිසා බාහු වාසුලා එක්ක එකතුවෙලා රණත් ඇතුළු කණ්ඩායමට කොක්කේ එල්ලාගෙන ගැහුවා. ඕනෑම විවාදයක් බොහොම සෞම්‍ය විදියට පටන් ගත්තත් අවසාන වෙන්නේ සාන්ත දාන්ත විදියට නෙමේ. දෙපැත්තම එහෙම තමයි.

94 දී වාසුලා පක්ෂයත් අරගෙනම චන්ද්‍රිකා ළගට යන්න නසසප මධ්‍යම කාරක සභාවේ විවාදයක් කළා. එතැනදී රණත්ගේ කණ්ඩායම එක්ක බාහු එකතුවෙලා වාසුලා පරාජය කරළා පක්ෂය බේරා ගත්තා. පසු කාලයකදී බාහු කායිකව බොහෝ දුර්වල වෙද්දී බාහුගේම යෝජනාමත 80 සත්‍යග්‍රහ නඩුවේ සම චූදිතයෙක් වූ රණත් කුමාරසිංහ පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට පත් කළා. ඒ තමයි බාහු.

 



සරළව බැලුවොත් පක්ෂයක් තුළ අරගලයත් විවාහ ජීවිතයක් වගේ. දික්කසාද වෙන්න බලාගෙනම ‍රණ්ඩුවක් පටන් ගන්නත් පුළුවන්. දෙන්න දෙමහල්ලන්ගේ අඩුපාඩු හදාගෙන ගමනක් යන්න රණ්ඩුවක් පටන් ගන්නත් පුලුවන්.

1974 දී ලංකා සම සමාජ පක්ෂයෙන් එළියට වැටුණු බාහු ඇතුළු 4 දෙනෙක් තමයි වාම ප්‍රවනතාවය ආරම්භ කළේ. අවසානයේ එය නසසප කියන මහා දේශපාලන වෘක්ෂයක් ලෙසින් ලංකා දේශපාලන භූමියේත්, ජාත්‍යන්තරයේත් විහිදී පැතිර ගියා. ඒ විහිදී පැතිර යෑමට බාහු මෙන් තවත් බොහෝ දෙනෙක් ජීවිතයෙන්ද, ශ්‍රමයෙන්ද, භෞතික සම්පත්වලින්ද යන විවිධ අයුරින් දායක වුණා. වසර 50ක් තිස්සේ විශාල පෙ‍රලීම් කළා. ඒ ආ ගමනේ නසසප තහනම් කළ, බොරැල්ලෙන් ඇරඹූ 83 කුප්‍රකට කළු ජූලිය ප්‍රධාන එක් දේශපාලන සංධිස්ථානයක්. බොරැල්ල කියන්නෙත් ලංකා දේශපාලනයේ බොහෝ සිදුවීම්වල නොමැකෙන නමක්. අවසානයේ ඒ අඳුරු කළු ජූලියේදී බාහු අප සැමට සමු දුන්නේත් බොරැල්ලේදීමයි.

ඉතින් ආද‍රණීය බාහු සහෝදරය, ඔබට සුභ ගමන් !

රට පිටරට පටවා ගොඩයාමට සැරසෙන රනිල්ගේ සංහිඳියා කෝඳුරු තෙල් - (ඥානසිරි  කොත්තිගොඩ)(ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)
koththigoda@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...