ස්ට්‍රයිකය``ලෙසයි. එය 1938 ජුලි 13 වැනිදා ආරම්භ කර දින කීපයක් තුල ජයග්‍රාහිව අවසන් කළ සටනක් යනුවෙන් වාර්තා විය.
එතැන් පටන් 86 වසක්ම තම මුලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ රබර් වතු කම්කරුවාගේ එදා කඳුළු වල වටිනාකමට වඩා අද කඳුලට වටිනාකමක් ලැබී තිබේ ද
යටත් විජිත පාලකයන් විසින් පළමුව කෝපි වගාවටත්, දෙවනුව තේ වගාවටත්, පසුව රබර් වගාවටත් දකුණු ඉන්දියාවේ සිට මෙරටට කම්කරුවන් රැගෙන විත් දැන් සිය වස් දෙකක් ඉක්ම ගොස් අවසන්ය. තේ වතු කම්කරුවන් ගැන වැඩි අවධානයක් තිබුන ද ඒ හා සමාන අර්ධ වහල් කම්කරු ප්‍රජාවක්වූ රබර් වතු කම්කරුවන් කෙරෙහි පවතින සැලකිල්ල අවමය.
ඔව්හු ද මෙරටට ගෙන එන ලද යුගයේ සිටම නොසලකා හරීමින් ද, යටත් භාවයට පාත්‍ර කරමින්ද, පුරවැසි පනත්, හදිසි නීති රෙගුලාසි, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ආදී අණපනත් ඔස්සේ මර්දනය කරමින් ද, ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා, රාජ්‍ය ත්‍රස්තවාදය, ජනපදකරණය, ආදී පිළිවෙත් මගින් වෙනස් ලෙස සැළකීමට භාජනය කරමින් ද දීර්ඝ කාලීන පීඩනයකට පාත්‍ර වූහ.

ශ්‍රම සූරාකෑමේත්, ජාතික පීඩනයේත් ගොදුරක් බවට පත්කොටගත් ඔවුහු, සියවස් දෙකකට වැඩි කලක සිට ලේ,කඳුළු,දහදිය කැප කොට ඇතැම් අවස්ථාවන්හි ජිවිත පවා පුදමින් ලංකා ආර්ථිකයට තීරණාත්මක දායකත්වයක් ලබා දෙමින් අවම ජීවන තත්ත්වයන් යටතේ අදටත් දිවි ගෙවති. එහෙත් ඔවුන් විසින් ලංකා ආර්ථිකයට එක් කළ අතිරික්ත වටිනාකම නිසා සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක වුවද, ඒවා වතු කම්කරුවන්ට කරා ලඟා වුයේ නැත. අදටත් ඔවුන්ට මෙරට බිම් අඟලක අයිතිය නොමැත. ජිවන වියදමට සරිලන වැටුපක් නොමැත.
රබර් වගාව ඇරඹීම
දකුණු ඇමරිකානු ඇමසන් වනයේ හටගත් රබර් ගස නිසා ඒ ආශ්‍රිත නිෂ්පාදන බ්‍රසීලයේ ඉමහත් ප්‍රචලිත වන්නට විය. 1876 දී වාණිජ වැවිල්ලක් ලෙසින් ආසියානු බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ට හඳුන්වා දෙන්නට පුරෝගාමී වුයේ ශ්‍රීමත් හෙන්රි වික්කම් [SIR HENRY WICKHAM] විසිනී. ජෝර්ජ් තවිටෙස් [GORGE THWAITES] 1881 දී හෙනරත්ගොඩ [ගම්පහ] උද්‍යානයේදී මෙරට පළමු රබර් පැලය රෝපණය කරනු ලැබිණි. එහෙත් ඒ වන විටත් සාර්ථකව පැවති තේ වගාව හේතුවෙන් එතරම් වේගයෙන් ප්‍රචලිත නොවුන ද 20 වැනි සියවස උදාවත් සමගින් ඇරඹි මෝටර් රථ කර්මාන්තයේ වර්ධනයත් සමගින් තෙත් කලාපය ආශ්‍රිතව රබර් වගාව පැතිර යන්නට විය. පසුව ප්‍රධාන අපනයන බෝග අතර තේ වලට පමණක් දෙවැනි වෙමින් රබර් වගාව ප්‍රචලිත වුයේ රටේ ආදායම ශක්තිමත් කරමින්ය. මේ සමගින් 1909දී යටත් විජිත වතු හිමියන් එක්ව කළුතර දී රබර් පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කරන්නට විය.
1956 වසරේදී කියුබානු විප්ලවය ජයග්‍රහණයෙන් අනතුරුව පිහිටවූ නව සමාජවාදී ආණ්ඩුවේ කර්මාන්ත ඇමැති අර්නස්ටෝ චේගවේරා කළුතර දිස්ත්‍රිකයේ යහලතැන්න වත්තට පැමිණියේ රබර් කර්මාන්තය ගැන අධ්‍යනයකටය, හැටේ දශකයේ දී එළඹී චීන-ලංකා රබර් -සහල් ගිවිසුමද රබර් නිෂ්පාදනය කෙතරම් වර්ධනය වුයේ ද යන්නට තවත් නිදසුනකි.
කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් අයත් සබරගමුව වැඩියෙන්ම රබර් වගා කෙරෙන පළාතවේ. රත්නපුර දිස්ත්‍රික්කයේ රබර් වතු 435 කි. ඉන් දැනට අත්හැර දමා ඇති වතු ප්‍රමාණය 51 කි. කෑගල්ල රබර් වතු 354 කි ඉන් දැනට අත්හැර දමා ඇති වතු ප්‍රමාණය 61 කි. කළුතර දිස්ත්රික්කයේ ¨ වතු 302 කින් දැනට අත්හැර ඇති වතු 49 කි. ගාල්ල දිස්ත්රික්කයේ වතු 153 කි. අත්හැර දමා ඇති වතු සංඛ්‍යාව 21 කි. මාතර දිස්ත්රික්කයේ වතු 118 කි අත්හැර දමා ඇති වතු 09කි. කොළඹ දිස්ත්රික්කයේ වතු 103 කි. ඉන් 14ක් අත්හැර දමා ඇත. රබර් වගා කරන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 130,000 කි.

රබර් වගාව සඳහා වැඩිම භුමි ප්‍රමාණයක් වන හෙක්ටයාර් 49,919 ක් කෑගල්ල දිස්ත්‍රික්කයෙනි. රත්නපුරය හෙක්ටයාර් 34,381 කි. කළුතර හෙක්ටයාර් 32,644 කි. කොළඹ හෙක්ටයාර් 9,954 කි. ඊට අමතරව මොණරාගල දිස්ත්රිකයේද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක රබර් වතු පිහිටා තිබේ. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 250 ට වැඩි රබර් වතු පහකි.
අගලවත්ත, බලන්ගොඩ, බෝගොවන්තලාව, ඇල්පිටිය, හපුගස්තැන්න, නමුණුකුල, හොරණ, කහවත්ත, කෑගල්ල, කැළණි වැලි, කොටගල, මල්වත්ත, උඩුපුස්සැල්ලාව, වටවල, දුන්හිඳ රබර් වගාව සම්බන්ධ වැවිලි සමාගම්වේ.
නව කම්කරු පන්තියක්
ලංකාවේ වතු කම්කරු ඉතිහාසයේ පළමු වැඩ වර්ජනය දියත් කර ඇත්තේ රබර් වතු කම්කරුවන් විසිනි. සටන්කාමි වෘත්තීය සමිති නායකයෙකු වූ එම්.ජි. මෙන්ඩිස් චරිතාප්‍රදානය ලියන ලයනල් සරත් සටහන් කොට ඇත්තේ ``එම්.ජි. කිරන්තිඩියේ වාසයට ගොස් මාස පහක් ගතවූ තැන එහි වූ සුද්දන්ගේ වතු යායේ වැඩ වර්ජනයක් ඇරඹිණි. ඊට මග පෙන්වන ලද්දේත් එය සංවිධානය කළෙත් ඇම්.ජි.``ලෙසයි. 1938 ජුලි 13 වැනිදා ආරම්භ කර දින කීපයක් තුල ජයග්‍රාහිව අවසන් කළ එම සටන ``ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්‍රයිකය`` යනුවෙන් ``සමසමාජය`` පත්‍රයේ මෙසේ වාර්තා විය.
``සහෝදර එම්,ජි. මැන්ඩිස් ගේ ආධාරයෙන් ඇතිවූ අන්නාසිගල වතු කම්කරුවන්ගේ මෙම ස්ට්‍රයික් එක ලක් ඉතිහාසයෙහි පළමුවරට සිදුවුවකි. පස්දුන් කෝරලවාසී සියළුම වතු කම්කරුවන්ට මෙම සමගි බල ජයග්‍රහණය ආදර්ශයක් විය යුතුය``
අතීතයේ රබර් වතු කම්කරුවන්ගේ ජය බිමක් ලෙස එසේ සටහන් වී ඇති කළුතර දිස්ත්‍රික්කයේ වත්මන් තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.
එස්.පත්මනාදන්
``එදා අපේ මිනිස්සුන්ව තමිල්නාඩුවේ ඉදන් මෙහෙ ගෙනවිත් වතු ලයින් වලට කොටු කරා. අදත් අපේ ජිවිතය තියෙන්නේ ඒ තත්වයේමයි.``යැයි කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය, අස්ක්වැලිය වත්තේ සංවර්ධන සමිතියේ සභාපති එස්.පත්මනාදන් පවසයි. එහෙත් ඔහුගේ වැඩිදුර පැහැදිලි කිරීම් අනුව එදා පැවති වාතාවරණයට වඩා අද වන විට ඔවුන් දිවි ගෙවන්නේ ඉමහත් දුෂ්කරතා මැදය.
``එදා මරණයක් වුනාම පෙට්ටි සල්ලි වත්තෙන් දුන්නා. සොහොන් බඳින්න සිමෙන්ති දුන්නා. ලයිමේ මිනිස්සුන්ගේ රෙදි සෝදන්න අරන් යන්න ඩොබි සුමානෙකට වතාවක් එනවා. කොන්ඩ කපන්න බාබර් එනවා. එයාලට පඩි දෙන්නේ වත්තෙන්. කෝවිල් උත්සවේ වියදම් දරන්නේ වත්තෙන්. පඩියෙන් කපා ගන්න සහන මිලට වියළි ආහාර දුන්නා. අද ඒ කිසිම සහනයක් නැහැ.`` පද්මනාදන්ට අනුව සහන කප්පාදුව සෑම රබර් වත්තකටම පොදු වුවකි. ඉහල යමින් තිබෙන ජිවන වියදම හමුවේ වැඩ කරන දිනකට ගෙවන රුපියල් 900 ක සොච්චම් වැටුප මේ කම්කරුවන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. වතු කම්කරුවන්ට වැඩි කරනු ලැබූ දෛනික වැටුප රුපියල් දහසද ඔවුන්ට අහිමිය.
සිය දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක්, ඔහුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සහ ඊට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමටත් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පිළිකාවක් වැළදීම නිසා විසි හතර වසක කිරි කැපීමේ සේවයට සමු දුන් සෙල්වී පවසන්නීය.
``දැන් මහත්තයා විතරයි වැඩ. ඒත් වත්තේ වැඩ හැම දාම නැහැ.වහින දවසට මුකුත්ම නැහැ.``
චින්තාමණි
චින්තාමණි, තිස් පස් වසරක් පුරා මාවතගම මොරතැන්න වත්තේ රබර් ගහින් ගහට ගොස් යුහුසුළුව කිරි එක්කාසු කරනා ජව සම්පන්න ස්ත්‍රියකි.දැනට විසිපස් වසරකට පෙර තේ වගා බිමක් වූ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර භූ ගෝලීය පිහිටීමක ඇති මොරතැන්න වත්තේ ද අනෙකුත් රබර් වතු වල මෙන්ම කිරි කැපීමේදීත්, කිරි එකතු කිරීමේදීත් ප්‍රමුඛ වන්නේ ස්ත්‍රින්ය.
``උදේම ගස් 300 ක කිරි කට්ටි කපන්න ඕනේ. පස්සේ පැයකින් විතර කිරි එකතු කරන්න ඕනේ කිරි බාල්දි උස්සා ගෙන කඳු බෑවුම් නැගලා බැහැලා යන්න වෙනවා ගහින් ගහට. ඔය වෙලාවට අපේ අය වැටිලා තුවාලත් වෙනවා. ඒ මදිවට කුඩල්ලෝ, සතා සර්පයෝ කනවා. එහෙම වෙලත් අපිට දවසේ පඩිය ලැබෙන්නේ රුපියල් 900 යි. ඒක මදි ජිවත් වෙන්න.``
උදෑසන හයට පමණ ආරම්භ කෙරෙන ඔවුන්ගේ දෛනික රාජකාරී සවස හතර පහ වන විට අවසන් වන්නට නියමිත වුවද රබර් කිරි රැගෙන යන බවුසරය පැමිණීමට ප්‍රමාද වුවහොත් තවත් අතිරේක කාලයක් වැය කරන්නට ඔවුන්ට සිදුවේ.
``හාල්,පිටි, සිනි හැම දෙයක්ම මිල ගනන් වැඩි වෙලා තියෙන්නේ. ඒත් අපේ කම්කරුවන්ගේ පඩිය වැඩි වෙලා නැහැ. ආණ්ඩුව මැදිහත් වෙලා මේකට විසදුමක් දෙන්න ඕනේ.`` ජිවන වියදම සරිලන වැටුපක් අවශ්‍ය බව තිදරු මවක් වූ චින්තාමණි අවධාරණය කරන්නීය.
දෙමාපියන් දෙදෙනාම රබර් වත්තේ රාජකාරි කළත් උපයන මුදල එදිනෙදා වියදමට මෙන්ම ළමුන්ගේ අධයාපනයට වියදම් කිරීමටත් ප්‍රමාණවත් නොවේ. පාසැල් අධ්‍යාපනය ලබන වයස් සිමාවේ පසුවන ළමුන් තිදෙනෙකු සිටින මොරතැන්න වත්තේ රංජනී කුමාර් ද ගෙවා දමන්නේ ඉතාමත් දුෂ්කර දිවි පෙවතකි.
මොරතැන්න වත්තේ රංජනී කුමාර්
``2004 අවුරුද්දේ ඉඳලා මම වත්තේ වැඩ කරනවා. දවස් 30 ම වැඩ කලොත් ඊපිඑෆ්,ඊටිෆ් කැපිල, යුනියන් එකට කැපිලා අතට ලැබෙන්නේ රුපියල් විසි හතර දාහක් වගේ ගානක්. ඒක මදි ළමයින්ගේ වැඩ කරන්න එක්කෙනෙක් ඒ ලෙවල් කරනවා අනිත් කෙනා ඕ ලෙවල් කරනවා.දුව හයේ පන්තියේ. මහත්තය මේසන් වැඩ හොයාගෙන යනවා.``
සෞඛ්‍ය හා ආරක්ෂණය

රබර් කර්මාන්තයේදී රසායනික ද්‍රව්‍ය යොදා ගන්න අවස්ථා බහුලය. විශේෂයෙන් ඇමෝනියා භාවිතය රබර් කම්කරුවන්ට අවදානමක් ගෙන එන්නකි. හම පිළිස්සීම හා සුදු මැලිවිම, ඇස් පිළිස්සීම, නාසයේ හා උගුරේ ආබාධ, දෘශ්‍ය ආබාධ ඇතිවීම, අත් ඇඟිලි තුවාල හා කැපීම් ආදිය ඇතිවීමේ අනතුරක් පවති. ඊට අමතරව සතුන් සපා කෑමේ තර්ජනය ද ඔවුන් කෙරෙහි ප්‍රබලව බලපාන්නකි.
එමෙන්ම මෙහිදී රසායනික ද්‍රව්‍ය වලින් මෙන්ම විදුලිය කාන්දු වීම් නිසාද අනතුරු සිදුවීමේ හැකියාව වැඩිය. මෙසේ විදුලිය කාන්දු වීමක් හේතුවෙන් 2018 වසරේදී ගාල්ල, බෝගහගොඩ කර්මාන්ත ශාලාවක් මුළුමනින්ම ගිනිබත් විණි. රසායනික ද්‍රව්‍ය මුසු අප ජලය පරිසරයට මුදා හැරීම නිසා බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කම්හලක් වසා දැමුනේ එම වසර තුලමය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිදේශ හා මාර්ගොපදේශයන්ට අනුව ක්‍රියා කරන බවට මෙරට රබර් කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගම් ඔවුන්ගේ වෙබ් අඩවි මගින් ප්‍රසිද්ධ කළ ද වැඩබිමේ දී ඒ කිසිවක් යතාර්ථයක් වී නොමැත.
කුරුණෑගල, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල, ආදී සෑම ප්‍රදේශයකම කම්කරුවන්ට අත් වැසුම්, පාවහන්, හිස් වැසුම් ආරක්‍ෂිත ඇඳුම් නොලැබෙන බවට නැගෙන චෝදනාවකි. වැඩබිමේ සෞඛ්‍ය හා ආරක්ෂණ පිළිවෙත් ගැන ඔවුන්ට අවබෝධයක් නොමැති තරම්ය. ඒවා ගැන දැනුවත් කිරීමට වෘත්තීය සමිති දක්වා ඇත්තේ ද උදාසීන බවකි.
වතු රෝහල් වල තත්වය ඉතාමත් ශෝචනීය. බොහෝ වතු සමාගම් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නැති තරම්ය.
``වතු රෝහල් වල දොස්තරලා නැහැ අනෙක් සේවකයෝ නැහැ බෙහෙත් නැහැ අනිත් උපකරණ නැහැ. ගොඩක් රෝහල් වසා දමලා.විශේෂයෙන් ළමා හා වැඩිහිටි සෞඛ්‍ය කෙරෙහි අවධානයක් නැහැ.``යැයි රත්නපුරේ පාසැල් ගුරුවරයෙකු එම්.චන්ද්‍රකුමාර් පවසයි. ඔහු දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායකවරයායි.
වතු අධ්‍යාපනය

දශක ගණනාවක් පුරා තමන්ගේ මුතුන් මිත්තන් ගේ සිට කරගෙන එන කිරි කැපීමෙන් සිය දුවා දරුවන් මුදා ගනිමින්, වඩාත් හොඳ සමාජ තත්වයක් හා ජිවන මාර්ගයක් ලබා දීම මෙහි සෑම දෙමාපියෙකුගේම අරමුණය. ඔවුන්ගේ එම සිහින සැබෑ කරගන්නට හැකි එකම මාර්ගය වන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමයි.
එහෙත් වතු පාසැල් අධයාපනයේ පවතින දුර්වල තත්වය හේතුවෙන් ඔවුන්ගේ ඉදිරි පරම්පරාව ද වත්තේ ලයින් කාමරවලටම සිමා වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබේ.
රබර් වතු කම්කරුවන් වැඩිවශයෙන් වෙසෙන රත්නපුරේ දිස්ත්‍රිකයේ දෙමළ මාධ්‍ය අධ්‍යාපනය ඇත්තේ ඉතාමත් සෝචනීය තත්වයකය. නිවිතිගල දොළොස්වල වත්තේ කම්කරු පවුලකට අයත් අන්තෝනි මන්සිල්මනි දිස්ත්‍රිකයේ වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරන්නට උත්සහා ගන්නා උද්යෝගිමත් තරුණයෙකි.
අන්තෝනි මන්සිල්මනි``සාමන්‍ය පෙළ දක්වා පාසැල් 40 ක් තිබ්බත් අපේ ළමයින්ට විද්‍යා ගණිත ඉංග්‍රීසි වගේම තාක්ෂණික විෂයන් වලට ගුරුවරු නැහැ. ඒ ලෙවල් කවුරු හරි පාස් කළොත් ඒ ඉතිං කලා විෂයන් වලින් විතරයි. රත්නපුරේ උසස් පෙළ තියෙන දෙමළ පාසැල් 22 ක් තියෙනවා.ඒත් විද්‍යා-ගණිත විෂයන් නැහැ. නුවර, කොළඹ පාසැල් වලට අපේ ළමයි ගන්නේ නැහැ.`` ඔහු පවසන්නේ වේදනා වෙනි. එහෙත් සිවිල් සමාජ සංවිධාන එක්ව වතු පාසැල් දරුවන් වෙනුවෙන් නොමිලේ උපකාරක පංති පවත්වමින් මන්සිල්මනි අනගි කාර්යක් ඉටු කරමින් සිටී.
``වතු ආශ්‍රිත දෙමළ පාසැල් 102 ක් දිස්ත්‍රික්කය පුරා තියෙනවා. ඒත් ඒවාට ගුරුවරු නැහැ,උපකරණ නැහැ,පහසුකම් නැහැ. ගුරුවරු එන්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් ඒත් එයාල වැඩි කාලයක් මෙහෙ ඉන්නේ නැහැ.`` යැයි පාසැල් ගුරුවරයෙකු චන්ද්‍රකුමාර් කියා සිටින්නේ දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට මැදිහත්වීමට වතු කම්කරු නියෝජනයක් නොමැති වීම බලවත් අඩුවක් බව අවධාරණය කරමින්ය.
කෑගල්ල, කුරුණෑගල, කොළඹ, ගාල්ල, මාතර, මොනරාගල, ආශ්‍රිත රබර් වතු පාසැල් අධ්‍යාපනයේ තත්වය ද පවතිනුයේ ශෝචනීය ඉරණමකය. කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ දෙමළ මාධ්‍ය පංති පැවතිය ද වතු ළමුන් කෙරෙහි අනෙකුත් සිසුන් හා ගුරුවරුන් දක්වන වෙනස් ලෙස සැලකීම හේතුවෙන් ඔවුන් දැඩි අපහසු තාවට පත්ව තිබේ.

``වත්තේ ළමයි කිව්වාම විද්‍යාගාර වලට, පිහිනුම් තටාකයට බහින්න දෙන්නේ නැහැ.මේවා ගුරුවරුත් විදුහල්පති ලත් අනුමත කරනවා. ආදී ශිෂ්‍ය සංගමයෙදී ඒ ගැන කතා කළොත් අපේ ළමයින්ට ගහන්න එනවා.``යැයි අස්ක්වැලිය වත්තේ වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති පත්මනාදන් පවසයි. ඒත් මීට විකල්පයක් වශයෙන් මතුගම නගරය ආසන්නයෙන් අක්කර පහක ඉඩමක් ආණ්ඩුවෙන් වෙන් කරවා ගෙන දෙමළ පාසලක් ගොඩනැගීමට ඇරඹි උත්සහාය තවමත් ප්‍රමාද වී ඇත්තේ ප්‍රදේශයේ බහුතරයක් වූ සිංහල අධ්‍යාපන පරිපාලන නිලධාරින් විසින් අනුමැතිය ලබා දීම දිනෙන් දින පමා කිරීම හේතුවෙනි.
දෙමළ බසින් `මුප්පනේ``ලෙසින් වහරන 60 දශකය ආරම්භයේදී පිහිටුවන ලැබූ මොණරාගල දිස්ත්‍රික්කය පැරණි මාගම් රාජධානියට මෙන්ම වැදි රටට අයත් ප්‍රදේශ කිහිපයකට හිමිකම් කියන්නකි. දිස්ත්‍රික්කය පිහිටුවීමෙන් පසු බහුතරයක් නව පදිංචි කරුවන් වුයේ මාතරින් පැමිණි ආගන්තුකයෝය. මොණරාගල, බිබිල සහ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුන අතරින් බඩල්කුඹුරේ ඇත්තේ තේ පමණක් වන අතර අනෙක් ඒවාහි බොහොමයක්ම රබර් වතුය. මොණරාගල කුමාරවත්ත ආසන්නයේ වූ අලියාවත්ත හා සිරිගල වත්ත ලයින් කාමර පමණක් ඉතිරි කරමින් කැලෑවට අත්හැර දමා තිබේ.

වතු කම්කරු දරුවන් වෙනුවෙන් වූ දෙමළ මාධ්‍ය පාසැල් තිබුන ද ඒවා ගුරුවරු හිඟය හා පහසුකම් අවම වීම ඔහුන්ගේ අධ්‍යාපනය ශෝචනීය තත්වයට පත් කර ඇත. බොහෝ පාසැල් සිමා වන්නේ 10 වසරට පමණි. උසස් පෙළ හැදෑරිමට නම් වත්තේ සිට දුෂ්කර මාර්ග ඔස්සේ කිලෝ මීටර් හයක දුරක් ගෙවා නගරාසන්නයේ පාසලකට පැමිණිය යුතුයි. එහෙයින් ඔව්හු අධ්‍යාපනය අතර මැද අත් හැර වත්තේ කිරි කට්ටියක හෝ වෙනත් රැකියාවකට යොමු වෙති.
බදුරලිය අස්ක්වැලිය වත්තේ සෙල්වීඉකුත් සියවස් දෙකම පොදුවේ වතු කම්කරු ජනතාව සිය ජිවිත ගත කරනු ලැබුවේ ලයින් කාමර නමින් යටත් විජිත පාලකයන් හදුන්වා දුන් වර්ග අඩි 10 ක තරම් වූ කුඩා ඉඩකඩකය. වත්තේ වැඩ ලැබුන ද එහි නිවෙසක හෝ කිසිදු බිම් අඟලක අයිතිය මෙතෙක් ඔවුන් සතු වී නොමැත. ඇතැම් අවස්ථා වලදී සිය ලයින් කාමර තම වියදමින් අලුත් වැඩියා කර ගැනීමේ හා පුළුල් කර ගැනීමට අවසරය ලැබුනත් එය ඉතා කලාතුරකින්ය.
``මේ පුංචි ලයිමේ තමයි ගැහැණු පිරිමි ඔක්කොම වැටිලා ඉන්නේ. උයන්න පිහින්න, ළමයින්ට පාඩම් කරන්න,නිදා ගන්න හැම දෙයක්ම කරන්න වෙන්නේ මේ පුංචි ඉඩකඩේ තමයි.``යැයි බදුරලිය අස්ක්වැලිය වත්තේ සෙල්වී පවසන්නේ වතු පාලකයනට කෙතරම් කරුණු කීවද පලක් නොවන බව පැහැදිලි කරමින්ය. ඇතැම් වතු සමාගම් කම්කරුවන්ට කිසිදු ගෙවතු වගාවකට අවසර ලබා නොදෙන අතර කිසියම් වගාවක් දමා තිබුන හොත් බලහත්කාරය යොදා උදුරා දමන්නට ප්‍රමාද නොවේ.
ලයින් කාමර නිවාස වලට විදුලිය, ජලය හා වැසිකිලි පහසුකම් ද පවතින්නේ අවම මට්ටමකයි. ආරක්‍ෂිත ලෙස විදුලිය සැපයීම නොවුණු අවස්ථා රැසකදීම විදුලිය කාන්දුවීමෙන් ලයින් කාමර ගිනි බත් වීමෙන් උපයාගත් සියල්ලම අහිමි වූ කම්කරුවන්ගේ සංවේදී කතා ඉකුත් සියවස් ගණනාව පුරාම සෑම වත්තකින්ම අසන්නට දකින්නට ලැබුණි.

නිවිතිගල,දොළොස්වල වත්තේ මන්සිල්මනිට අනුව ඇතැම් අහඹු ස්වභාවික අනතුරු විපත් හරහා වුවද කම්කරුවන්ට බිම් කැබැල්ලක් හිමිවීමේ අවස්ථා ද වාර්තා වී තිබේ.``පහුගියදා තිබුණු සුළං නිසා කිරිබත්ගල රබර් වත්තේ ලයින් පේලියක් ගාව තිබුණු බෝ ගහක් කඩා වැටිලා ඔක්කොම විනාශ වුණා. පවුල් හයකට ඉන්න තැනක් නැති හින්දා කොහොම හරි ගෙයක් හදා ගන්න පර්චස් 10 ගානේ පවුල් හයකට ලැබුනා.`` එහෙත් ඊළඟට පැන නැගෙන ගැටලුව තමයි තාවකාලික හෝ නිවස ඉදි කරගැනීමට අවශ්‍ය මුදල් කම්කරුවන්ට නොමැති වීම. ``දොළොස්වල වත්තේ කම්කරු පවුල් 30 කට වත්තෙන් අක්කර හතරක් වෙන් කරලා දීලා තිබුනත් ගෙවල් හදා ගන්න සල්ලි නැහැ.``යැයි මන්සිල්මනි කියයි.
1930 පසු කම්කරුවන් වෙනුවෙන් නව ලයින් කාමර ගොඩනගා නොමැති බැවින් මේ වන විට ජනගහන ව්‍යාප්තිය නිසා එක් ලයින් කාමරයක පවුල් තුනක් හෝ හතරක් දිවි ගෙවන්නේ කළ හැකි අන් යමක් නොමැති නිසාවෙනි. වතු පාලකයන්ගේ අවසරයෙන් හෝ අනවසරයෙන් නිවසක් ඉදි කර ගත්ත ද එහි හිමිකමක් ඔවුන්ට නොමැත. අනවසර ඉදි කිරීම් ලෙස කම්කරුවන්ට එරෙහි නඩු රැසක් අධිකරණ වල විභාග වෙමින් තිබේ.
ලයින් කාමරබතලගොඩ ජයග්‍රාහි සටන
ඉඩම් අයිතිය ඉල්ලා වතු කම්කරුවන් ගෙන යන දීර්ඝ කාලින උද්ඝෝෂණයේ යම් ජයක් ලබා ගැනීමට කුරුණෑගල, බතලගොඩ රබර් වත්තේ කම්කරුවෝ පසුගිය දිනෙක සමත් වුහ. පවුල් 10 කට අයත් බතලගොඩ වත්ත අක්කර 281 කි. ඉකුත් මැයි මාසයේදී වත්තේ කොටසක් පෞද්ගලික ආයෝජකයෙකුට විකිණීමට හිමිකරුවන් සුදානම් වෙද්දී, වහා ක්‍රියාත්මක වූ කම්කරුවෝ බලහත්කාරයෙන් බිම් කැබලි අත්පත් කරගත්හ. ඒ රබර් වගාව අත් හළ වල් වැදී තිබු වත්තේ ඉඩම් කොටසකි. වතු හිමිකරුවන් පොලිසිය කැඳවා කම්කරුවන් ඉවත් කිරීමට සැරසුන ද, ප්‍රදේශයේ ගොවි -කම්කරු හා ආන්තික සමාජ කොටස් වල ප්‍රශ්න කෙරෙහි මැදිහත්වීමේ ඉතිහාසයකට හිමිකම් කියන ඉබ්බාගමුව. දේවසරණ සංවර්ධන කේන්ද්‍රය ඇතුළු සිවිල් සමාජ සංවිධාන වල මැදිහත් වීමෙන් එය වැළකිණි. වත්ත විකිණීමට එරෙහිව නඩු මගට පිවිසි කම්කරු පවුල් 28 ක් වෙනුවෙන් පර්චස් 10 බැගින් ලබා දීමට වතු හිමියෝ එකඟ වුහ. ඒ දෙපාර්ශවය අතර ඇති කරගන්නා වූ ගිවිසුමක් අනුවයි. මාස හයක් ඇතුලත කම්කරුවන් දැනට පදිංචි ලයින් කාමර වලින් ඉවත් විය යුතුය. ඊට ප්‍රථම ලැබුණු ඉඩමේ තාවකාලිකව හෝ නිවසක් ඉදි කරගැනීමේ අභියෝගය ඔවුන් හමුවේ පවතී. ඒ අවශ්‍ය මුදල් නොමැතිවීමයි.
ගම හා වත්ත අතර සමගිය සහ ගැටුම
තෙත් කලාපය ආශ්‍රිත පිහිටි වතු බොහොමයක්ම ඇත්තේ බහුතරයක් වූ සිංහල ගම්මාන වලට මැදිවය. වත්තේ ලයින් කාමර වල දිවි ගෙවමින් රැකියාවේ නිරත දෙමළ කම්කරුවන් හා අවට ගම්වලින් වත්තේ වැඩට පැමිණෙන සිංහල කම්කරුවන් ලෙස පැහැදිලි වාර්ගික පදනමක් මෙහි දක්නට ලැබේ. එබැවින් කම්කරුවන්ගේ දෛනික ජිවිතයේ සෑම කාර්යකදී මෙන්ම ආශ්‍රිත ගම්මානවල ජනයාගේ ආකල්ප හා ක්‍රියාකාරිත්වය ඉතාමත් බලපෑම් සහගතය.
පී.දේවරාජා``මොරතැන්න සහ ගෝනගල්දෙනිය කියන ගම්මාන දෙකේ සිංහල මිනිස්සුත්, මොරතැන්න වත්තේ දෙමළ මිනිස්සු අතර තියෙන්නේ දිගු කාලින බැදීමක්.ගමේ සෑම සංස්කෘතික ආගමික වැඩකට වගේම වත්තේ සෑම වැඩකටම දෙගොල්ලොන්ගේම සහභාගිත්වය, සහයෝගය නොඅඩුව තියෙනවා.``යැයි මොරතැන්න වත්තේ වෘත්තීය ක්‍රියාධරයෙකු වූ පී.දේවරාජා පවසන්නේ ඉමහත් සොම්නසිනි.
ගම සහ වත්ත අතර සහයෝගී පැවැත්ම පෙන්නුම් කරනු ලැබූ මෑත ඉතිහාසයේ දියත් වූ දෙල්හේන-රද්දල්ගොඩ රම්බොඩගල්ළ රබර් කම්කරුවන්ගේ අරගලය මනා නිදසුනකි.දින 45 පුරා ඇදුනු එම අරගලය ජයග්‍රහණය කරා ගෙන යාමට මහත් රුකුලක් වුයේ ඒ අවට සිංහල -මුස්ලිම් ගම්මානවල ජනයාගේ නොමසුරු සහයෝගයයි.වතු පාලකයන් විසින් කම්කරුවන්ගේ ආහාර සලාකය කපා හැරීමෙන් පසු ඔවුන්ගේ කුසගින්න නිවන්නට මැදිහත් වුයේ අවට ගම්මුන්ය. පවුල් 101 ක 544 දෙනෙකුගෙන් වත්තේ වැඩ කරන කම්කරුවන් වුයේ 144 කි. ඉන් 66 දෙනෙක් ස්ත්‍රී කම්කරුවන් වුවාය. මෙම අරගලය දියත් කිරීමට මුලික වුයේ ප්‍රධාන පෙලේ වතු වෘත්තීය සමිතියක් නොවන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී වතු සේවක සංගමය සහ ප්‍රගතිශීලි කාන්තා පෙරමුණයි.
``මතුගම, අගලවත්ත, කළුතර, හොරණ වගේ ආසන වල ඉස්සර හිටියේ කොල්වින්, චම්ලි, අනිල් මුණසිංහ වගේ වාමාංශිකයෝ. වතු කම්කරුවන්ගේ ජන්දේ හමුවුනේ ඔවුන්ට.නමුත් 1977න් පස්සේ මේ තත්වය වෙනස් වුණා.දැන් එළිපිටම ජාතිවාදය ක්‍රියාත්මක වෙනවා. බදුරලිය ලත්පඳුර හන්දියේ දෙමළෙන් සින්දුවක් වත් දාන්න දෙන්නේ නැහැ.``යැයි නම් සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටී කම්කරුවෙක් පැවසීය.
කාලයක් මතුගම ප්‍රදේශයේ එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයාව සිට, මෑතකදී මියගිය පාලිත තෙවරප්පෙරුම හිටපු රාජ්‍ය ඇමතිවරයා කෙරෙහි වතු කම්කරුවන්ට නම් ඇත්තේ පහන් හැඟීමක් නොවේ. ඒ ඔහු වතු කම්කරුවන්ට එරෙහිව බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වය මුදා හැර ඇති බැවිනි. ප්‍රදේශයේ වතු කම්කරුවන් අතර යටහත් පහත්, බියමුසු හැඟීම් ඇතිකිරීමටද මේ ක්‍රියා බලපෑමක් වී ඇත.
මොනරාගල රබර් වතු කම්කරුවන් ද තමන් වටා ඇති සිංහල ගම්මාන පසුකරමින් ඒ ආසන්නයේ පිහිටි බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර,ලුණුගල වැනි දෙමළ ජනයා බහුතරය වෙසෙන ප්‍රදේශ කරා ගමන් කරන්නේ බිය සැක මුසුවයි. ඔවුන් පවසන පරිදි හිතට සැනසුමක් ලැබෙනුයේ මේ සිංහල ගම්මාන හැකි ඉක්මනින් පසු කොට යාමෙන් ය.
කම්කරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ශ්‍රම සුරාකෑම හරහා මෙන්ම ජාතික වාර්ගික පීඩනය ඔස්සේද ඉතිහාසය පුරා දියත් වී තිබේ. නිදහසින් පසු මෙම තත්වය බරපතල ලෙස වර්ධනය වූ අතර කම්කරු අයිතීන්ට එරෙහිව සිදුවීමක් මෑතකදී දුන්හිඳ වැවිලි සමාගමට අයත් දුම්බර වත්තෙමන් වාර්තාවිණි.
``පසුගිය මැයි 6 වැනිදා, වැඩට ආවේ නැහැ කියලා වත්තේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී,කේෂේත්‍ර නිලධාරි සහ මුරකරු එකතුවෙලා කම්කරු කාන්තාවකට පහර දුන්න. මේ පහර දීම නිසා ඇය හොරණ රෝහලේ දවස් තුනක් විතර ප්‍රතිකාර ගත්තා. කිරිඇල්ල පොලිසියට පැමිණිලි කළත් දවස් හතරක් ගෙවෙනකම්ම චුදිතයන්ව අල්ලන්නේ නැතුව නොයෙක් බොරු හේතු කියමින් පොලිසිය මග හරියා. ඒත් සිවිල් සංවිධාන,දේශපාලන අධිකාරියේ හා ගම්මුන්ගේ බලපෑම නිසා චුදිතයෝ පොලිසියට බාර වුණා. උසාවියට ඉදිරිපත් කරාට පස්සේ පොලිසිය ඇප දෙන්න විරුද්ධ නොවුණු නිසා ඔවුන් මුදා හැරියා.``යැයි දේශපාලන ක්‍රියාධරයෙකුවූ චන්ද්‍ර කුමාර් පවසන්නේ චුදිතයන්ට එරෙහිව ගොනු කළ නඩු විභාගය ඉදිරියට යන බවය.
ඒ හා සමාන සිදුවීමක් ඊට ආසන්න දැලතුර වත්තේන් ද මෑතකදී වාර්තා විය. සිය බිරිඳ වත්තේ කිරි කැපීමට නොපැමිනිම නිසා ඇගේ සැමියාට අමානුෂික ලෙස පහර දීමට වත්තේ මුරකරු හා ඔහුගේ සහචරයන් දෙදෙනෙකු ක්‍රියාකර ඇත. චන්ද්‍රකුමාර් ලා දැක්වූ විරෝධය හමුවේ එකී චුදිතයන් ඇප මත මුදා නොහැර සති දෙකකට රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
වතු පාලකයන්ගේ මෙවැනි අඩම්තේට්ටම් වලට නිරන්තරයෙන්ම මුහුණ දීමට කම්කරුවන්ට සිදුවේ. ඒ වාගේම 1977,1981,සහ 1983 වැනි මෑත ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට බහුලව ගොදුරු වුයේ වතු කම්කරු ජනයායි.රත්නපුර,කිරිඇල්ල, නෑබඩ,මතුගම,ගාල්ල,කුරුණෑගල,කෑගල්ල වතු වල ලයින් කාමර ගිනිබත් කිරීම්, කෝවිල් හා පල්ලිවලට පහර දීම්, කොල්ල කෑම්, ස්ත්‍රීන්ට එරෙහිව ලිංගික බලහත්කාරය, තුවාල කිරීම් හා මරා දැමීම් පිලිබඳව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පසුව ජනධිපති ජේ.ආර් ජයවර්ධන විසින් පත් කළ සන්සෝනි කොමිසම සමත් වී තිබිණි. එකී වාර්තාවට අනුව 1977 අගෝස්තුවේ ප්‍රචණ්ඩ ක්‍රියා තුලින් 500 කට ආසන්න දෙමළ ජාතිකයන් මරා දමා තිබේ.
නෙලුම්දෙණිය,ගස්නාව වතුයායේ පදිංචි කම්කරු ස්ත්‍රියක් වූ සෙල්වරානි කුලේන්දයි ගම්මුන් පිරිසක් විසින් සාමුහිකව ලිංගික බලහත්කාරයට ලක්කළ බව සන්සෝනි කොමිසම හමුවේ පවසා ඇත. අගෝස්තු 19 වැනිදා වතු අධිකාරිවරයා කම්කරුවන්ට දන්වා ඇත්තේ ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් ආරක්‍ෂිත ස්ථානයක් සොයා යන ලෙසයි. ඒ අනුව ඇය සිය මව ද කැටුව වත්ත මායිමේ පිහිටි ගුණපාල නමැත්තාගේ නිවසට ගියාය. එදින රාත්‍රී එම නිවසට කඩා වැදුණු මැර පිරිසක් සෙල්වරානිටත්, ඇගේ මවටත් පහර දී නිවස පිටුපසට රැගෙන ගොස්, මිනිසුන් සය දෙනෙකු විසින් සෙල්වරාණිව ලිංගික අපයෝජනයට ලක් කොට ඇත. පසුදින ඇගේ ලයින් කාමරය වෙත ගිය විට එය කොල්ල කා තිබු අතර අගෝස්තු 22 වැනිදා දැදිගම පොලිසියට පැමිණිලි කරමින්, තමන්ට ලිංගික අපරාධ කළ පිරිස ලෙස සුනිල්, තිලකරත්න, ආරියවංශ, තිලකේ, සහ කුලසිරි හඳුනාගත් බව කියා තිබේ. ඇය විසින් නම් කළ සියලු දෙනාව විසි හැවිරිදි වියේ පසුවූ ගස්නාව වත්ත ආසන්නයේ ජිවත් වුවන්ය.
රොයිස් වත්තේ පී.සින්න කරුපන්, අඹන්පිටිය වත්තේ පී.ජෙබමාලෙයි සහ කරඳපොත වත්තේ එස්. සෙල්ලයි නම් කම්කරු ස්ත්‍රීන් තිදෙනා ද සන්සෝනි කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ ප්‍රචණ්ඩව හැසුරුණු මැරයෝ ඔවුන්ව බලහත්කාරයෙන් සාමුහික බලහත්කාරයට ලක් කළ බවයි.
මතුගම, ශාන්ත ජෝර්ජ් වත්තේ කම්කරුවෙකු වූ කේ.එගම්බරම් පවසන්නේ අගෝස්තු 23 වැනිදා රාත්‍රී මැර පිරිසක් විසින් ලයින් කාමර වලට පහර දීම නිසා බියපත් වූ කම්කරුවෝ පළා ගියද , ප්‍රහාරයට ලක්වූ ඔහුගේ මාමණ්ඩිය වූ ගුරුසාමි තුවාල ලබා පසු දින මිය ගිය බවයි. කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එගම්බරම් කියා ඇත්තේ සිය මාමණ්ඩිය මිය යාමයට පෙරත්, ඉන් පසුත් පොලිසියට දැනුම් දුන්න ද ඒ කිසිවක් මායිම් නොකළ පොලිසිය කියා ඇත්තේ ``යාපනේ අපේ පොලිස් රාළහාමිලා මරද්දී, ඇයි උඹලගේ මිනිස්සු මරපුවාම ඇති වැරැද්ද`` යනුවෙනි.
ඒ නිසාම කිසිදු පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව සිය මාමණ්ඩියගේ සිරුර මිහිදන් කරන්නට ඔහුට සිදුව තිබේ. ඒ ආසන්නයේ තවත් ලයින් කාමරයක සිටී වේලු නමැති කම්කරුවාට ද වෙඩි තබා තුවාල සිදු කර තිබු අතර ඔහු දින හතරක් රෝහලේ ප්‍රතිකාර ලබා ඇත.
1981 වසරේදී සිදුකළ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා වලට විශේෂයෙන් සබරගමු පළාතේ වතු කම්කරුවෝ ගොදුරු වුහ. එවකට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයා වූ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලෛ අමිර්තලිංගම්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවත් සමගින් ප්‍රහාර ආරම්භ වී ඇත.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල නැගී ආයුධ සන්නද්ධ කල්ලි කහවත්ත, රක්වාන, නිවිතිගල, පැල්මඩුල්ල, බලන්ගොඩ වතු වලට ඇතුල්වී සුපුරුදු පරිදිම කම්කරුවන්ට පහරදීම, දේපල හානි කිරීම හා ගිනිබත් කිරීම, කොල්ලකෑම, ස්ත්‍රීන්ට එරෙහිව ලිංගික බලහත්කාරය, මිනිස් ඝාතන යළිත් සිදුවිය. රබර් සහ තේ වතු හතළිස් තුනකට එල්ලවූ ප්‍රහාරයෙන් කම්කරුවෝ 15,000ක් පමණ සරණාගත භාවයට පත්වුහ.
ඇන්ටනී මසිල්මනි අට හැවිරිදි වියේදී ප්‍රචන්ඩ ප්‍රහාරයන්ට ලක්වන්නට ගොස් අහඹු ලෙස දිවි ගලවා ගත්තෙකි. ඒ බියකරු අත්දැකීම මෙසේ මාධ්‍ය හා බෙදා ගන්නේ පළමු වරටයි.
``1981 ජුලි මාසයේ කහවත්ත ශාන්ත අන්මාල් පල්ලියට අවට වතුවල ඉඳන් ළමයි 30 දෙනෙක් ඇවිත් හිටියේ සත් ප්‍රසාදයට. නිවිතිගලින් මමත් ගිහින් හිටියා. කහවත්තේ මැරයෝ කට්ටියක් ඇවිත් පල්ලියේ හිටිය මිනිස්සුන්ට ගහන්න පටන් ගන්නකොට අපි ළමයි තිස් දෙනාම අල්තාරය පිටිපස්සේ තිබුණු පොඩි කාමරේක එකට ගුලි වෙලා හැංගිලා හිටියා උන් යනකම්ම.``
මැරයෝ සිය මෙහෙයුම් අවසන් කරද්දී පල්ලියේ ආවතේව කටයුතු වල යෙදුනු කුඩා ළමයෙකු ඇතුළු තවත් හත්දෙනෙකු කපා කොටා මරා දමා තිබිණි. පල්ලිය වත්තේ තැන තැන විසිර තිබුණු මල සිරුරු දැකීමෙන් මසිල්මනි ඇතුළු ඔහුගේ සගයන්ට දැනුනු කම්පාව අදටත් සිත පෑරුම් දෙන්නකි.
``පින්කන්ද වත්තේ ජිවත් වෙන්නේ රබර් කිරි කපන කම්කරුවෝ. 77 දීත් 81 දීත් 83 දීත් ප්‍රහාර එල්ල වුනු වත්තක්. අපේ අප්පා වත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙක් 77 දී මැරයෝ අපේ ගෙට පැනලා ගහනකොට අපි කැලේට පැනලා බේරුනේ. සෝමපාල කියන වත්තේ ට්‍රැක්ටර් ඩ්‍රයිවර් ඇතුළු කට්ටියක්ම වත්තේ ගෑනු ළමයෙක්ව බලහත්කාරයෙන්ම සාමුහික බලහත්කාරයට ලක් කළා. මේ අපරාදේ ගැන හැමෝම දැන ගත්තත් පැමිණිලි කරන්න බය වුණා. පොලිසිය වුනත් අපරාධ කාරයන්ව ආරක්ෂා කළා. ඒ දින වල මේ වගේ සිදුවීම් ගොඩක් ආරංචි වුණා. ආරක්ෂාව සපයන මුවාවෙන් සැලසුම් සහගතව තමයි මේ ලිංගික අපරාධ වුනේ.`` කාලයත් සමග යටපත් වුවද,මෙවැනි අපරාධ මතකයෙන් අත්හල නොහැකි බව ද මේහලා පවසන්නීය.
`` වතු කම්කරුවෝ ගමේ මිනිස්සු අතර සංහිඳියාවක් ගොඩ නගන්න ඕනේ මුලින්ම.``
පුරවැසි පනත් හරහා පිටමං කිරීම

1947 රාජ්‍ය සභා මැතිවරණයෙන් උඩරට කඳුකරයේ වතු කම්කරු නියෝජිතයන් රැසක් ද පහත රට වතු කම්කරුවන් ජිවත් වන ප්‍රදේශ වල දී වාමාංශිකයන් ද රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වන්නට මග පෑදුනේ වතු කම්කරුවන්ගේ ජන්දයයි. මේ ගැන කල්පනා කළ ධනපති නායකයන් විසින් 1948 අංක 18 දරන පුරවැසි පනත ගෙන ආවේ වතු කම්කරුවන්ගේ බලය හීන කිරීමේ අරමුණු ඇතිවය. පියා හෝ භාරකරු ලංකාවේ උපන් අයෙකු බව සහතික කිරීම වතු කම්කරුවන්ගේ පුරවැසි බවට කොන්දේසි පැනවිණි. එම කොන්දේසි තවත් දැඩි කරමින් 1949 දී අංක 03 දරන ලංකා පුරවැසි පනත සම්මත කෙරනි.
මෙම පනත් නිසා ඉන්දීය හා පකිස්තානු සම්භාවයන් ඇති වතු කම්කරුවන් ඇතුළු අනෙකුත් ජනයා බොහෝ දෙනෙකුට පුරවැසිකම, ජන්ද අයිතිය ඇතුළු අනෙකුත් නීතිමය තත්වයන් අහිමිවීම බරපතළ අර්බුදයක් නිර්මාණය විය.
මෙය සුහදව විසඳා ගැනීමේ අරමුණින් ලංකා අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල සහ ඉන්දීය අගමැති ජවහල්ලාල් නේරු අතර 1954 දී ගිවිසුමක් අත්සන් කෙරිණි.
එම්.කන්දයියා``මේ ගිවිසුමේ ප්‍රශ්නය විසඳා ගන්න බැරි වුනු නිසා ඊට අවුරුදු 10 කට පස්සේ 1964 සිරිමා -ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කරලා පුරවැසිකම අහිමි කරලා හිටපු වතු කම්කරුවෝ ලක්ෂ 9,75 000 ක් රටවල් දෙක අතරේ බෙදා ගත්තා. ඉන්දියාව ලක්ෂ 5,25 000 ක් ගත්තා. ලංකාව ලක්ෂ 3 ක් බාර ගත්තා.ඉතිරි ලක්ෂ 1,50 000 ඊටත් අවුරුදු 10 කට පස්සේ 1974 සිරිමා- ඉන්දිරා ගිවිසුම මගින් 75,000 ගානේ රටවල් දෙක බෙදා ගත්තා.``යැයි කඳුරටින් පිටමන් කළවුන්ගේ සංවිධානයේ කැඳවුම්කරු එම්.කන්දයියා පෙන්වා දෙයි. දේශපාලන හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙකු වූ ඔහු 1983 කළු ජූලියෙන් පසුව ඉන්දියාවට සංක්‍රමණයවූ වෙකි.
``ඉන්දියාවට ආපු අයට රබර් සහ තේ වතු වල වැඩ හම්බ වුණා. කන්‍යාකුමාරි දිස්ත්‍රික්කයේ, කර්ණාටක, කේරල හා අන්ද්‍රා ප්‍රාන්තවල රබර් වතු වල පවුල් 4000 ක් විතර වැඩ කරනවා.
පුරවැසිභාවය හා සම්බන්ධ පෙරකී ගිවිසුම් වලට අනුව ලංකාවෙන් පිටමං කෙරුණ වතු කම්කරුවන් සංඛ්‍යාව 4,61,000 කි. තමිල්නාඩුව, කර්ණාටක,අන්ද්‍රා ප්‍රදේශ්,කේරළය සහ අන්දමන් දුපත් මොවුන්ගේ වාසස්ථාන බවට පත්වී හමාරය. නෑ හිතමිතුරන් බැලීමට වසරකට වරක් වත් ලංකාවට පැමිනීම මේ වන විට මොවුන්ට සාමන්‍ය දෙයකි.
වතු ජනසතුව හා පෞද්ගලිකරණයේ බලපෑම
1970 වසරේදී බලයට පැමිණි සමගි පෙරමුණු ආණ්ඩුව විසින් එතෙක් බ්‍රිතාන්‍යයන් සතුව තිබු ප්‍රධාන පෙලේ තේ,රබර් සහ පොල් වතු රැසක් ``ජනසතුකරණය``යටතේ ආණ්ඩුවට පවරා ගනු ලැබිණි. ජනතා වතු සංවර්ධන මණ්ඩලය [ජනවසම], රාජ්‍ය වැවිලි සංස්ථාව, සහ උඩරට වතු සංවර්ධන මණ්ඩලය [උසවසම] වැනි රාජ්‍ය ආයතන පිහිටුවා ඒමගින් වතු පාලනය කරන්නට විය. මේ ආයතන සමන්විත වුයේ රාජපාක්ෂික හිතවතුන්ගෙන් වූ අතර වතු කම්කරුවන්ට ජනසතු කරණයෙන් යහපතක් වන්නට මෙම තත්වය හේතු විය.
කොල්වින් ආර්. ද සිල්වාතේ, රබර්,පොල් වතු කම්කරුවන් සාමුහිකව ඉල්ලා සිටියේ දෛනික වැටුප වෙනුවට මාසික වැටුපක් ලබා දෙන ලෙසයි. එහෙත් වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිති නායකයෙකු, වාමාංශික ඉදිරිපෙළ නියමුවෙකු වූ සමගි පෙරමුණු ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත ඇමැති කොල්වින් ආර්. ද සිල්වා විසින් එම ඉල්ලීම ප්‍රතිෂේප කර ඇත.
වතු කම්කරු ජනයාගේ ඉතිහාසය මැයෙන් කෘතියක් සම්පාදනය කරමින් කොමියුනිස්ට් වෘත්තීය නායකයෙකු වන එස්. නඩේසන් සඳහන් කරන්නේ ලෝකයේ කිසිදු රටක වතු කම්කරුවන්ට මාසික වැටුපක් ලබා නොදෙන බව කොල්වින් ආර්.ද සිල්වා පැවසූ බවයි. වතු ජනසතුකරණය යටතේ කම්කරුවන්ගේ ලයින් කාමර හා වෘත්තීය සමිති නායකයන්ට වත්තට ඇතුළුවීමේ දී එතෙක් පනවා තිබු නීති රීති කිහිපයක් ඉවත් කිරීමට පියවර ගත්තද නිවාස හා ඉඩම් අයිතිය පිලිබඳ ප්‍රශ්නය තවදුරටත් පැවතිණි.
රාජ්‍ය පාලනය යටතේ පැවති වතු කළමනාකාරිත්වයේ දුර්වලතා හේතුවෙන් ඒවා පාඩු ලබන බැවින් පෞද්ගලිකරණයට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව 1992 දී ක්‍රියා කළේ වතු වෘත්තීය හා දේශපාලනයේ ප්‍රමුඛයෙක් වූ ලංකා කම්කරු කොංග්‍රසයේ ද සහයෝගය ද ඇතිවයයි. ශ්‍රීලංකා මහ බැංකුවේ 1992 වාර්ෂික වාර්තාවන්ට අනුව ආණ්ඩුවේ පුද්ගලීකරණ වැඩසටහන යටතේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් හා රාජ්‍ය වැවිලි සංස්ථාවෙන් පාලනය වූ වතු 449 ක් පෞද්ගලික සමාගම් පාලනයට නතුවිණි. ඉන් රජය සතුව තිබු 131 රබර් වතු වේ.
වැඩිවන ජිවන වියදම් අංකයට සරිලන පරිදි දිනකට රුපියල් 20 ක දීමනාවක් කම්කරුවනට ලබා දීම වතු පෞද්ගලිකරනයෙදී සමාගම් වෙත පැවරුණු කොන්දේසියකි. එහෙත් එම කොන්දේසි ඉටුකරන්නට වතු සමාගම් පාලකයෝ දැක්වුයේ මැලිකමකි. එමෙන්ම කම්කරුවන්ට එතෙක් හිමිව තිබු සහන එකෙන් කප්පදු කරන්නට වුයෙන් කම්කරුවන් අතර උද්ඝෝෂණ ඇරඹිණි.
වතු පෞද්ගලිකරණ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙනගිය 1994 දී බලයට පත්වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව කම්කරුවන් හා වතු හාම්පුතුන් අතර ආරවුල් සමථ කරන්නට ත්‍රෛපාර්ශික ගිවිසුමක් හදුන්වා දුන්නේය. සෑම දෙවසරකට වතාවක් කම්කරුවන් වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතයන්, වතු සමාගම් හා කම්කරු කොමසාරිස් රජය වෙනුවෙන් මැදිහත්ව ගිවිසුම අත්සන් කෙරෙන අතර එහිදී කම්කරුවන්ගේ වැටුප් හා අනෙකුත් සහන පිළිබඳව දෙපාර්ශවය සාකච්ජා කර ගිවිසුමට එළඹේ. ඒ හරහා යම් සහනයක් ලැබුව ද මේ වන විට වතු කම්කරුවන් දැඩි පිඩාවට පත් කරමින් එකී සාමුහික ගිවිසුම් ක්‍රියාවලිය බිඳ වැටි ඇත. දැන් පවතිනුයේ ආණ්ඩුවටත් පාලනය කර ගත නොහැකි වතු සමාගම් වල ඒකාධිකාරියකි.
රබර් කම්කරුවාගේ හෙට දවස

කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල දැමීමේ ආණ්ඩුව ගත් තීරණය වතු සමාගම් විසින් නිෂ්ප්‍රභා කිරීම බරපතල අර්බුදයක් නිර්මාණය වී තිබේ. රබර් කර්මාන්තයේ නිෂ්පාදන පිරිවැය ඉහල යාම හේතුවෙන් එවැනි මුදලක් කම්කරුවන් වෙත ලබා දිය නොහැකි බව සමාගම් පෙන්වා දුන්න ද . මුදල් සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශ වාර්තා සඳහන් කරන්නේ පසුගිය වසර කිහිපය තුල රබර් අපනයනය ඉහල ගොස් ඇති බවයි.
ඉදිරි වසර කිහිපය ඉලක්ක කරගනිමින් 2017 දී ප්‍රකාශයට පත් කළ රබර් කර්මාන්තය සඳහා වූ මහා සැලැස්මට [Master Plan 2017-2026] අනුව 2026 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක ආදායමක් රබර් අපනයන තුලින් අපේක්ෂිත බවට වැවිලි කර්මාන්ත ඇමැති රුමේෂ් පතිරණ පවසයි. කෙසේ වෙතත් ඉහල යන ජිවන වියදමට සරිලන වැටුප් වැඩි වීමක් අපේක්‍ෂා කරන කම්කරුවාගේ ඉල්ලීමට සාධාරණයක් ඉටු නොකොට මේ ඉලක්ක කරා යා හැකි ද යන්න ගැටලුවකි.
``අද වතු වලින් බිහිවෙන්නේ බර අඩු ළමයි. මොකද ඒ ළමයින්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන්න වතු කම්කරු දෙමාපියන්ට ආදායමක් නැහැ.``යැයි මාවතගම මොරතැන්න වත්තේ වෘත්තීය ක්‍රියාධරයෙකු වූ ඒ. දේවරාජ් පවසන්නේ වැටුප් වැඩි වීමක් මෙන්ම, සහන මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට සමුපකාර ක්‍රමයක් යළි වතු වල ක්‍රියාත්මක කලයුතු බවයි.
අඩු වැටුප්, අනෙකුත් සහන කප්පාදුව, රැකියාවේ අවීනිශ්චිතබව ආදී බොහෝ හේතු සාධක නිසා වතුකරයෙන් පිටමං වීමට කම්කරුවෝ බොහෝ දෙනා පෙළඹී සිටිති.
වේලු ජිවරත්නම්``ගැහැණු විතරක් නොවේ පිරිමිත් දැන් මැදපෙරදිග රස්සා හොයාගෙන යන්න පුරුදු වෙලා බොහෝ කල්. තරුණ කට්ටිය නම් වත්තෙන් පිට මොකක් හරි රස්සාවක් හොයා ගන්න බලනවා. කඩවල, සුපර් මාර්කට් වල, ඇතැම් විට ගෙවල් වල ගාමන්ට් වල ගොඩක් ඉන්නේ වතු වලින් ගිය ළමයි.`` යැයි මොරතැන්න වත්තේ රබර් කිරි කපන්නෙකු වූ වේලු ජිවරත්නම් කියයි. ඔහුගේ බිරිඳ ද මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස රැකියාවකට ගොස් ඇති අතර ජිවරත්නම් සිය දරුවන් ද සමගින් වත්තේ රැකියාවේ සිටී.
තෙත් කලාපයේ බොහෝ රබර් වතු වෙනත් ව්‍යාපෘතීන් වෙනුවෙන් එලි පෙහෙළි කරමින් යොදා ගැනීමත්, සමාගම් විසින් තිබෙන රබර් ගස් වලින් ආදායම ලැබීමට උත්සුක වනවා මිස අලුතින් රබර් වගාව කෙරෙහි උනන්දුවක් නොමැති වීම, ඇතැම් සමාගම් රබර් ගස් උදුරා ඒවායෙහි කටුපොල්,ඩ්‍රැගන් ෆ්රුට්, වැනිලා වැනි වෙනත් ආර්ථික බෝග වෙත මාරුවීම වැනි හේතුන් නිසා රබර් වගා කෙරෙන බිම් ප්‍රමාණය හැකිලෙමින් තිබීම ද බලවත් ගැටලුවකි. රබර් පර්යේෂණ ආයතන වාර්තාවන්ට අනුව 2014 වන විට බහුලව රබර් වගා කෙරෙන දිස්ත්‍රික් ලෙස සැලකෙන කෑගල්ල හෙක්ටයාර් 34,453ක් ද, කළුතර හෙක්ටයාර් 24,195 ක්ද, රත්නපුර හෙක්ටයාර් 22,065 ක්ද, වශයෙන් භුමි ප්‍රමාණයක රබර් වගාව පැවතිය ද එය පෙර වසර හා සැසඳීමේදී කෑගල්ල හෙක්ටයාර් 15,466 කින් ද, රත්නපුර හෙක්ටයාර් 12,316 කින් ද, කළුතර හෙක්ටයාර් 8,449 කින්ද පහත වැටීමකි.
දිළිඳු බවේ පතුලටම ගිලී සිටින මුත් රටේ ආර්ථිකයට වැඩි කොටසක් එක් කරන රබර් වතු කම්කරුවන්ට ජිවන වියදමට සරිලන වැටුපක්, නිවාස හා ඉඩම් අයිතිය, අධ්‍යාපන, සෞඛ්‍ය , ජල හා ප්‍රවාහන වැනි මුලික පහසුකම් මෙන්ම ඔවුන්ට ගෞරවණිය පුරවැසියන් ලෙස සැලකීම, සහෝදරත්වය හා සහයෝගිතාව තුලින් ඔවුන්ගේ ජිවිත යම් පමණකට හෝ නගා සිටිනු ඇත.
කම්කරුවන්ගේ ශ්‍රමය සුරා කමින් ඔවුන්ට සරිලන වැටුප් සහන කප්පාදු කරමින් තවදුරටත් ඉදිරියට යන්නේ නම් රබර් කර්මාන්තයේ අවශ්‍ය ඉලක්ක, ජයග්‍රහණ කරා යා නොහැකිය. එවිට සිදුවන්නේ පිඩනයට එරෙහිව කම්කරුවන්ගෙන් සටන් පැන නැගීමයි.
සටහන හා සේයා
ඉෂංඛා සිංහආරච්චි
ishanka.singhe@gmail.com
[මෙම ලිපිය ඉන්ටර් නිවුස් අනුග්‍රහයෙන් සම්පාදනය කරන ලද්දකි ]




