The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

ජනපති අපේක්ෂකයන් 'හිර වෙන' තැන් - (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

August 9, 2024 • 9:41 AM

ජනපති අපේක්ෂකයන් 'හිර වෙන' තැන් - (සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව සමගි ජනබලවේගය මුල් කරගත් කණ්ඩායමේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ය.
  • ජාතික ජන බලවේගය ලෙස තරඟ කරන ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක ය.
  • අන්තිමටම එළියට ආවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල අපෙක්ෂකයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ ය. මෙම ජනාධිපතිවරණයේ සුවිශේෂීම අපේක්ෂකයා වනු ඇත්තේ ස්වාධීනව තරඟයට ඉදිරිපත් වන වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ය.
  • ස්වාධීනව තරඟ වැදුණත් රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධාන ඡන්ද පදනම වනු ඇත්තේ ඔහුගේ දේශපාලන ජීවිතයේ ආරම්භයේ සිට පසුගිය මහ මැතිවරණය දක්වාම ඔහුගේ ප්‍රතිවාදී දේශපාලන බල කේන්ද්‍රය ලෙස පැවතුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන කඳවුරේ බහුතරය බව පැහැදිලි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව සමගි ජනබලවේගය මුල් කරගත් කණ්ඩායමේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ය. ජාතික ජන බලවේගය ලෙස තරඟ කරන ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක ය. ජාතිකවාදී හා පැරණි වමට අදාල කණ්ඩායමේ අපේක්ෂකයා දිලිත් ජයවීර ය. දිලිත්ගේ ඡන්ද පදනමට තරඟයක් දෙන්නේ විජයදාස රාජපක්ෂ ය. අන්තිමටම එළියට ආවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල අපෙක්ෂකයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ ය. 

 

454255586 996119475857776 1866535195377599386 n

මෙම ජනාධිපතිවරණයේ සුවිශේෂීම අපේක්ෂකයා වනු ඇත්තේ ස්වාධීනව තරඟයට ඉදිරිපත් වන වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ය. ප්‍රථම වතාවට රටේ විධායක බලය දරමින් ස්වාධීනව තරඟ කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමත් මේ සියලු තරඟ කරුවන් අතර වඩාත් පරිණත අත්දැකීම් සහිත තරඟකරුවා වීමත් රනිල් වික්‍රමසිංහ මේ තරඟයේ සුවිශේෂත්වයට පත් වන හේතූන්‍ වේ.

103680656 2536417633124394 7090207037874551306 n

 

ස්වාධීනව තරඟ වැදුණත් රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධාන ඡන්ද පදනම වනු ඇත්තේ ඔහුගේ දේශපාලන ජීවිතයේ ආරම්භයේ සිට පසුගිය මහ මැතිවරණය දක්වාම ඔහුගේ ප්‍රතිවාදී දේශපාලන බල කේන්ද්‍රය ලෙස පැවතුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන කඳවුරේ බහුතරය බව පැහැදිලි ය. ඔහුගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම මේ වන විට අතිශය කුඩා වීම ඔහුගේ මේ ස්වාධීන තරඟ වැදීමට ප්‍රමුඛ හේතුවක් වුණාට සැක නැත. එසේම මේ වන විට දේශපාලන පක්ෂ වලට සීමාවී බලය පිහිටුවීමේ ක්‍රමය මුලුමනින්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව රනිල් සිය පරිණත අත්දැකීම් වලින් අවබෝධ කරගෙන ඇති බවත් ඔහුගේ මේ නිර්පාක්ෂික අපේක්ෂකත්වයෙන් පැහැදිලි වේ. 

කෙසේ වුවත් මේ එක් එක් අපේක්ෂකයා ජනතාව ඉදිරියට පැමිණ කියන දේ හා කියන්න බලාපොරොත්තු වෙන දේවල් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත්‍ ය.

 

පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක් - (අජිත් පැරකුම් ජයසිංහ)
සියලුම අපේක්ෂකයින් ආමන්ත්‍රණය කරන්නේ මේ රටේ ලියාපදිංචි ඡන්ද දායකයින් මිලියන 17කට ය. සමගි ජන බලවේගය පක්ෂයේ සජිත් ප්‍රේමදාස මේ ඡන්ද දායකයන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රධානතම වේදිකාව ලෙස මෙතෙක් යොදාගත්තේ පාසල් ය. ඔහු විසින් සිය අනුග්‍රාහකයන් මගින් පාසල් වලට බස් රථ හා සුහුරු පංති කාමර ලබා දෙමින් ඒවා පාසලට බාරදීමේ අවස්ථාව තම දේශපාලන ප්‍රතිපත්තිය පැහැදිලි කිරීමට යොදා ගත්තේ ය. ඔහුට අනුව ආර්ථික අර්බුදය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභයගේ ආණ්ඩුව අනුගමනය කළ වැරදි ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයකි. එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩු හොරකමට හා දූෂණයට ඉඩ හදා ගැනීමට රට පවුල් පාලනයක හිර කිරීම ද මේ රට අර්බුදයට යාමට ප්‍රධාන හේතුවකි. තමන් හොරකමට ඉඩ නොතබන බවත් බලය ගත් සැනින් හොරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන බවත් හොරකම් කළ ධනය සියල්ල රටට ගෙන එන බවත් සජිත් ප්‍රේමදාස දැඩිව අවධාරණය කරයි. තමන් අනුගමනය කරන පාලන ක්‍රමය ජනාධිපති ලෙස තමන් කේන්ද්‍රීය පාලනයක් බව ඔහු අඟවන්නේ සියල්ල ජනාධිපති වන තමන් විසින්ම විසඳන බව ප්‍රකාශ කිරීමෙනි. 

 



සජිත් ප්‍රේමදාසගේ ඇතැම් ප්‍රකාශ මත ඔහු ගේ පියා වන හිටපු ජනපති ආර් ප්‍රේමදාස හා සම්බන්ධ “වන් මෑන් ෂෝ” ප්‍රවාදය අපට සිහි ගැන්වෙනු ඇත. සජිත් දිස්ත්‍රික් විසිපහට ජනාධිපති කාර්යාල මඟින් විධායක බලය විමධ්‍ය ගත කර ක්‍රියාත්මක කරන බවත් පවසයි. බොහෝ විෂයන් වලට ජනාධිපති කාර්ය සාධක බලකා ඇතිකරන බව ද පවසයි. සෞඛ්‍ය හා අධ්‍යපනය මූලික අයිතිවාසිකමක් බවට පත්කරන බව ද පවසයි. ඔහු වර්තමාන විපක්ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තු වේදිකාව යොදා ගන්නේත් රටේ යම්‍ යම් අංශ වල පවතින ප්‍රශ්න හා ගැටළු ආණ්ඩුවට ඉදිරිපත් කරමින් ඒ සඳහා විසඳුම් දෙන ලෙසට ආණ්ඩුවට බල කිරීමට ය. මේ හරහා ප්‍රශ්න සහිත බහුතර ජනයාගේ හිත දිනා ගැනීමටත් ඔහු උත්සාහ ගනිමින් සිටියි.

නමුත් සජිත් ප්‍රේමදාස හිරවී ඇත්තේ විපක්ෂය ලෙස තමන් කරන සක්වළ හා සුහුරු පංතිකාමර වැඩසටහන හුස්ම වැඩ සටහන වැනි වැඩ සටහන් සඳහා අරමුදල් සපයන්නේ කවුරුන්දැයි ප්‍රකාශ කිරීමට ඇති නොහැකියාවේ ය. ඒගැන විරුද්ධවාදීන් විමසන විට සජිත් හෝ ඔහුගේ පාර්ශවයෙන් කිසිවෙක් කෙලින් පිළිතුරක් දෙන්නේ නැත. ගෝඨාභය බලය දුන් අවස්ථාවේ බාරනොගෙන මඟ ඇර ගියේ ඇයි යන්න ද සජිත්ට සාර්ථක පිළිතුරක් දීගත නොහැකි ප්‍රශ්නයකි. හොරු රකින්න බැරි නිසා ආණ්ඩුව භාරගත්‍තේ නැතැයි කියා යම් පිළිතුරක් දුන්නත් ඒ හොරුන්ගේ ගොඩේ හිටිය යම් යම් පිරිස් දැන් තමා ළඟට ගෙන ඇත්තේ ඇයිදයි අසන විට ඔහු යළිත් හිරවෙයි.




ආර්ථික අර්බුදයට හේතූන් ලෙස ගෝඨා ආණ්ඩුව බදු අඩුකිරීම, අයි එම් එෆ් නොයාම හා රුපියලේ අගය අවප්‍රමාණ නොකිරීම වැනි හේතු පෙන්වා දෙන ආර්ථික ප්‍රවීණයන් සිටින සමගි ජන බලවේගය ආණ්ඩුව අර්බුදය විසඳීමට කළ බදු වැඩි කිරීම, අයිඑම්එෆ් සමග එකඟ වුණු වැඩ සටහනට පාර්ලිමේන්තුවේ දී ඊට ද විරුද්ධ විය. ජනතාවට ජීවත් වීමට නොහැකි ලෙස ජිවන වියදම වැඩිවී ඇත්තේ ආණ්ඩුවේ වැරදි ආර්ථික කලමනාකරණය යැයි සමගි ජන බලවේගය චෝදනා කර‍යි. අර්බුදයට හේතු ලෙස තමන් පෙන්වන හේතූන් වලට ආණ්ඩුවෙන් පිළියම් යොදන විට ඊට විරුද්ධ වන්නේ ඇයිදැයි පැහැදිලි කිරීමට සජිත් පාර්ශවයට හැකිවී නැත.

අයි එම් එෆ් සමග ආණ්ඩුව සාකච්ඡා කරන විට එය විවේචනය කළ සජිත් කිව්වේ තමන් නම් එම සාකච්ඡාව කරන්නේ ‘සිංහ සෙයියාවෙන්’ බව ය. මේ සිංහ සෙයියා කතාව හුදු වාගාලාපයකි. මේවායෙන් පෙනෙන්නේ තමන්ට අනන්‍ය විකල්ප වැඩ පිළිවෙලක් නොමැතිව හුදු තාවකාලික ජනප්‍රියත්වය සඳහා සියල්ල විවේචනය කරමින් ජනතාව රැවටීම දැයි නගන ජනතා ප්‍රශ්නයේ සජිත්ව හිර වෙමින් සිටින්නේ ද යන්න දැන් ඇති ගැටළුවයි. 

 

 

ජාතික ජන බලවේගයේ අනුර දිසානායක ජනතාව ඉදිරියට යන්නේ ජනතාව පතන වෙනස තමන්ට ලබාදිය හැකි බව පවසමිනි. ජනතාව ඉදිරියට යාම සඳහා ඔවුහු තමන්ගේම වන සංවිධාන ව්‍යුහයන් ගොඩ නගා ගෙන සිටිති. ඒ කොට්ඨාශ සභා ප්‍රාදේශීය කමිටු දිස්ත්‍රික් සභා තරුණ හා කාන්තා කමිටු ගොවි සම්මේලන රණවිරු සංවිධාන වෘත්තීය සමිති ආදී ඔවුන්ගේම සංවිධාන ව්‍යුහයකි. එසේම සංවිධානාත්මකව ආකර්ෂණීය විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ඔවුන් විසින් දියත්කර තිබෙනු ද නිරීක්ෂණය වෙයි. ඔවුන්ට අනුව වසර හැත්තැ හයක් තිස්සේම මෙරට පාලනය කල දේශපාලන පක්ෂ රට විනාශ කර ඇත. රටේ ජාතික සම්පත් බලවත් මංකොල්ලයකට ලක් කරමින් පාලකයින් දිගු කලක් තිස්සේ විශල ධනයක් උපදවා ගෙන රටින් පිට කර ඇත. නිදහසෙන් පසු පාලකයන් සිදුකර ඇත්තේ රට මංකොල්ල කෑම ය. අපට වඩා පසුපසින් සිටි බොහෝ රටවල් මේ කාලය තුළ අප පසුකර ඉදිරියට ගොස් ඇත. රට නිෂ්පාදන ආර්ථිකයකට යොමු කළ යුතු ය. නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය ජාතික සම්පත් ආරක්ෂා කිරීම ආදී ආකර්ශනීය අදහස් ජනගත කරමින් සිටිති.

 

රනිල් ඝාතකයෙක් ද..? - (රන්ජන සේනානායක)

එසේම ජනතා විමුක්ති පෙරමුණේ දැඩි විනය යටතේ ක්‍රියා කළ යුතු නිසා නායක මට්ටමේ අය අවංක භාවයකින් සිය කටයුතු කිරීම ද ජාතික ජන බලවේගයට ඇති වාසිදායක කරුණකි. රටේ පවත්නා ප්‍රශ්නය වන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වන්නේ හොරකම ය. පාලකයින් විසින්‍ රටේ සම්පත් හොරකම් කිරීම නිසා වියදමට සරිලන ආදායමක් නැතිව ණය වීමත් ණය ගැනීමෙන් ලබාගත් මුදල් ද හොරකම් කිරීමත් නිසා අවසානයේ ණය ගෙවා ගත නොහැකිව රට අර්බුදයට ගොස් ඇති බව ඔවුන්ගේ විග්‍රහයයි. අර්බුදය විසඳීම සඳහා ඔවුන්ගේ වැඩ පිළිවෙල වන්නේ හොරකම නතර කිරීම, හොරු ඇල්ලීම හා හොරකම් කළ ධනය ආපසු ගැනීම යන ත්‍රිවිධ පියවර බව පෙනේ. මේ හැර ඔවුන් පවසන ආකර්ශණීය අදහස් සාක්ෂාත් කර ගැනීමට අදාල පැහැදිලි ආර්ථික වැඩ පිළිවෙලක් මෙතෙක් ඉදිරිපත් කර නැති වීම ඔවුන්ගේ ඇති ප්‍රධනතම දුර්වලතාවයයි.

ජාතික ජනබලවේගය(NPP) හි ඉදිරි අභියෝග..! - (රන්ජන සේනානායක)

 

වංචාව, දූෂණය, නාස්තිය මත ජාතික ධනය නම් ජලය කාන්දු වීමට පිළියම් යෙදීම ඉතා හොඳ ය. එහෙත්, පවත්නා ගෝලීය ආර්ථිකය තුළ එම ජල බඳුනට අලුතින් ජලය පිරවිය හැකි ක්‍රමෝපායන් ඔවුන් විධිමත් ලෙස අනාවරණය කොට නැත. එහි දී ඔවුන් යෝජනා කරනුයේ ආර්ථික අර්බුදය නම් බරපතල ව්‍යාධියට අත් බෙහෙත් මිස නිශ්චිත විධිමත් ප්‍රතිකාර මාලාවක් නොවේ. අනික් අතට නිදහසින් පසු රට සමාජ ආර්ථික වශයෙන් ලබාගෙන ඇති පරිනාමය; දියුණුව ඔවුන්ට අමතක වී ඇත. රට ප්‍රධාන ආහාරයෙන් ස්වයං පෝෂිතවීම, යටිතල පහසුකම් දියුණුවීම සෞඛ්‍ය හා අධ්‍යාපනික දර්ශකවල දියුණුව මේ කිසිවක් ඔවුන් පෙන්වන්නේ නැත. එසේම ඔවුන්ගේ දැඩි විවේචනයට ලක්වන ආණ්ඩු බලයට ගෙන ඒම සඳහා ගත වූ කාලය තුළ තමන් සිදු කළ කාර්ය භාරය සඟවා කතා කිරීම ද ගැටලුවකි. එසේම ඉකුත් කාලය තුළ තමන්ගේ සන්නද්ධ දේශපාලන භාවිතයෙන් ජනතාවට රටට සිදුවූ හානිය ද ඔවුන්ටම අභියෝගයක්ව ඇත. 

රටේ සම්පත් භාවිතා කරමින් නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය හා තාක්ෂණය දේශීයව නැත. බොහෝ කොට තාක්ෂණය හා ප්‍රාග්ධනය කේන්ද්‍රගතව ඇත්තේ බහුජාතික සමාගම් හා දියුණු ධනේශ්වර රාජ්‍යයන් තුළ ය. මේවා සමග ගනුදෙනු කිරීමේදී ජාතික ජන බලවේගයේ පදනම් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති සමග දැවැන්ත ගැටීමක් ඇතිවීමේ අවකාශය මත ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලිව ප්‍රකාශ නොවීමට ද හේතු වී ඇත.

 

ජාජබ vs ජවිපෙ - (එරන්ද ගිනිගේ)

එසේම අනුර කුමාර, ටිල්වින්, ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, හරිනි අමරසූරිය වැනි ප්‍රමුඛ නායකයින් කියන දේවල් අතර යම් බලවත් පරස්පරයන් නිරීක්ෂණය වීම වැඩිවීමත් ජාතික ජන බලවේගයේ ගමනට බාධක බවට පත්ව තිබේ. ජාතික ජන බලවේග ක්‍රියාකාරීන් ආරම්භයේ සිටම අන් සියලු පක්ෂවල ක්‍රියාකාරිකයින් හා හිතවතුන් කෙරෙහි දැඩි විවේචනශීලී හා අපහාස කිරීමේ ප්‍රතිපත්තියක් සමාජ මාධ්‍ය ඔස්සේ අඛන්ඩව පවත්වාගෙන යාම නිසා එම පිරිස් ජාතික ජන බලවේගයට සහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ට ව්‍යාප්ත වීමට දැන් ලොකුම බාධාවක් වී ඇත. ඒ අනුව අනුර දිසානායක ද ඇත්තේ යම් ස්ථානයක නතර වී වගේ ය.

ඊළඟ අපේක්ෂකයා ජනපති රනිල් වික්‍රමසිංහ ය. ඔහුට ආමන්ත්‍රණය කිරීමට ඔහුටම අනන්‍යව ගොඩ නගාගත් ජනතා බලවේගයක්වත් තිබුණේ නැත. ඔහු විසින් තමාගේ දීර්ඝ දේශපාලනය තුළ ගොඩ නැගූ දෙවන පරපුර හා නායකයින් මෙන්ම ඔහුගේ පක්ෂයේ සිටි බහුතරය ද ඇත්තේ ඔහුට ප්‍රතිවිරුද්ධව ය. ඔහුගේ පක්ෂයේ ජන පදනමක් සහිත කිසිවෙක් ඔහු සමග රැඳුණේ ද නැත. 

සත්‍ය වශයෙන්ම රනිල් වික්‍රමසිංහට මේ ජනාධිපතිවරණයේදී යොදා ගන්නට ඇති ශක්තිය වන්නේ පසුගිය වසර දෙක තුලදී ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව පරිණත භාවය හා පරිපුර්ණත්වය හා ඔහු විසින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ වැඩ සටහන පමණි. ඔහු එය භාර ගත්තේ ද තමන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග බර්ටෝල් බ්‍රෙෂ්ට් නම් ජර්මානු ජාතික මහා නාට්‍ය කරුවාගේ “හුනු වටයේ කතාව” ගෲෂා නම් මෙහෙකාරිය මයිකල් නම් අනුන් ගේ දරුවකු ද රැගෙන අති බිහිසුණු වැල් පාලමේ ගමන් කිරීමකට උපමා කරමිනි. එහෙත් ඔහුගේ මෙම වැල් පාලමේ උපහැරණය වැටහුණේ අප රටේ ජනතාව අතුරින් මධ්‍යම පාන්තික සුළු පිරිසකට පමණි. රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කතා වල එලෙස හරි හැටි ඉලක්කගත නොවන කතා වරින් වර දැකිය හැක. 

 



නමුත් දැවැන්‍ත ආර්ථික අර්බුදයක ගිලී මියයමින් තිබුණු ශ්‍රී ලංකාව යළි ජීවත් කරවීමට නොපැකිලව ඉදිරිපත්වීම සඳහා රනිල් වික්‍රමසිංහව පෙළඹ වූ අද්විතීය ආත්ම විශ්වාසය මේ ජනපතිවරණයට ඉදිරිපත් වීමට ද ඔහුව පොළඹ වන්නට ඇත. 

මේ දක්ෂතා ශක්තීන් හා අත්දැකීම් යොදාගනිමින් රට අනතුරුදායක ස්ථානයකින් මුදා ගැනීමට පමණක් නොව ඔහුව අවස්ථා ගණනාවක පරාජය කළ ශ්‍රීලනිප හා පොහොට්ටුව ප්‍රමුඛ ජන බලවේගයේ බලවත් නායකත්වය ද අභිබවමින් ඒ ජන බලවේගයේ නායකත්වය ද දිනාගෙන ප්‍රබල තැනකට පත්වීමට ජනපති රනිල් වික්‍රමසිංහ සමත්වී ඇති බව පැහැදිලි ය. ඔහුගේ ජනපතිවරණ සම්ප්‍රාප්තිය සමඟ ශීඝ්‍රයෙන් ග්‍රමීය ජන ව්‍යුහයේ සිට ඉහල නාගරික ධනවත් සමාජ පංතිය දක්වා ජන කොටස් තුළ බලයක් ස්ථාපිත කර ගනිමින් සිටියි. 

එපමණක් නොව ඔහු වර්තමානයේ කතා කරන්නේ අතීතයේ මෙන් සරල සිල්ලර ජනප්‍රිය භාවය අපේක්ෂිත කතා නොව වෙනත් තරඟ කරුවෙකු කතා නොකරන අමිහිරි කටුක සත්‍යයයි. ඔහු කියන්නේ තමා ඉමහත් පරිශ්‍රමයෙන් පසුගිය වසර දෙක තුළ පදනම දමූ වැඩ පිළිවෙල හැර වෙන වැඩ පිළිවෙලක් රටේ අර්බුදයෙන් ගොඩ ඒමට නැති බව ය. රට ගොඩ ගන්නට තමා දැමූ පදනම ස්ථාවර කර දියුණු රාජ්‍යයක් කරා යන ගමන තහවුරු කිරීමට තව වසර පහකට ජනවරමක් තමාට අවශ්‍ය බව ඔහු පවසයි.

 

ඔහුට ඇති ශක්තීන් අතර ප්‍රතිවාදී පිලෙන් දිනාගෙන ගොඩ නැංවූ දක්ෂ තරුණ නායකයන් පිරිසක් ඔහු සමගවීම පක්ෂ පවුල් හෝ වෙනත් සමාජීය සීමාවක කොටු නොවීම ඕනෑම ගැටලුවකදී ජ්‍යාත්‍යන්තර තත්වයන්ට ගැලපෙන තීරණ ගැනීමට ඇති හැකියාව හා පැහැදිලි ආර්ථික වැඩ පිළිවෙලක් සහිත වීම ප්‍රමුඛ වේ. ඔහුට ඇති සීමාවන් වන්නේ ඔහුගේ දර්ශනය ජනතාව වෙත ගෙනයාමට සමත් දියුණු සංවිධාන ව්‍යුහයක නොමැති වීම රාජ්‍ය පාලන ව්‍යුහයන් ට ගැලපෙන ප්‍රතිසංස්කරණය හඳුන්වා නොදී පවතින ව්‍යුහයට පිටින් ගොස් “ෂෝට් කට්” මඟින් අවශ්‍ය දේ කර ගැනීමේ කෙටි ක්‍රම භාවිත කිරීමෙන් කිසියම් හිතුවක්කාරී ඒකාධිපති හැසීරීමක් පෙන්නුම් කිරීම හා ඔහු වටා රොක්වී සිටින බොහෝ දෙනා ඔහුගේ දර්ශනය ජනතාව අතරට ගෙනයනවාට වඩා “ලොක්කා වැඩ කාරයා ගේමක් දීල දිනයි” කියා සිතාගෙන ඔහු ළඟට වෙන කිසිවෙකුට කිට්ටුවීමට ඉඩ නොතැබීම ආදී දේවල් ය.

මීළඟට ඉන්නා අපේක්ෂකයින්ගෙන් කිරුළ හිමි කුමරා යන සරදම් නමින් පවා හැඳින්වෙන නාමල් රාජපක්ෂට ජනතාව හමුවේ ගෙන හැර දැක්වීමට ඇත්තේ තමන්ගේ පියාගේ පාලන කාලයේ සංවර්ධනය යුද ජයග්‍රහණය ආදී පැරණි රසාංග ය. ඒ හැර ඔහු ගොඩ නඟා ගත් දෙයක් නැත. ඔහුගේ පියා ඉමහත් මහන්සියෙන් ගොඩ නඟාගත් ජනප්‍රසාදය නැති කිරීමට ප්‍රබල දායකත්වයක් ලබාදුන් බවට චෝදනා ඇත්තේ ද පසුගිය කාලයේ ජනතා මුදල් වලින් සුකුමාර දිවියක් ගෙවූ නාමල්ටම ය. 

 

ඔහුගේ පක්ෂය ද ගොඩ නගාගෙන ඇත්තේ ද කොවුලන් ගේ කූඩු තැනීමක් බඳු අනුන්ගේ පක්ෂයක ව්‍යවස්ථාවක් මත ය. ඊට තමන්ට කැමති නමක් හා ළකුණක් අක්‍රමවත්ව දාගෙන බලය ගත්තාට පක්ෂ ව්‍යවස්ථාවත් යාවත්කාලීන කර ගැනිමටවත් සැලකිල්ලක් නොදැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෛතික භාවය ද අභියෝගයකට ලක්වීමේ අවදානමක ඔහු සිටියි. 

විජේදාස රාජපක්ෂත් දිලිත් ජයවීරත් සමග සිංහල බෞද්ධ ජාතිකවාදී ඡන්ද පදනම බෙදා ගැනීමට සටන් වදින්නට ඔහුට සිදු වනු ඇත. 

මේ දැනට ජනාධිපතිවරණයේ ඇති තත්වයයි. දැනටම තුන්කොන් සටනක් වී ඇති මෙය දෙකොන් සටනක් බවට පත් වන්නට නම් සුලු ජාතික ඡන්ද හා පැරණි එජාප ඡන්ද වලින් සෑහෙන ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ විසින් දිනා ගත යුතුව ඇත.

(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

සබැඳි ලිපි :
අප්පට සිරි ගජ! පොහොට්ටුව නීති විරෝධීයි ? – (සුනිල් කන්නන්ගර)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...