The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

අන්නාසි සමීක්ෂණ හා සාරවිට නිරීක්ෂණ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

August 11, 2024 • 3:16 PM

අන්නාසි සමීක්ෂණ හා සාරවිට නිරීක්ෂණ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරහැර එන්නට පෙර ම, පෙරහැර එන මග දෙපස කෑකෝ ගහමින් එන යන පිරිසකි අන්නාසි වෙළෙන්දන් හා සාරවිටකාරයන්.
  • සාරවිට තට්ටුවේ ඇති වෛවර්ණ විට පෙළ නොබෝ වේලාවකින් එන පෙරහැරේ විසිතුර ගෙන හැර පායි.
  • විට දෙකට තුනට නවා, කටේ ඇතුලාන්තයේ දත් වලට හිර කරගෙන, කරදමුංගු, කරාබු නැටි, සාදික්කා වසාවාසි සමග පැණි රස මුසු කරන පොල් සමග බුලත් විට හපන විට, පෙරහැර එන්නට පෙර යම් භ්‍රමණ තත්ත්වයක් ද මනසේ ඇති කරයි.
  • ඒ තීරණය ගැනත් නිලමේලා ප්‍රශ්න කරන බව දන්වා සිටියේ ගුණවර්ධන නිලමේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


පෙරහැර එන්නට පෙර ම, පෙරහැර එන මග දෙපස කෑකෝ ගහමින් එන යන පිරිසකි අන්නාසි වෙළෙන්දන් හා සාරවිටකාරයන්. බොහෝ වෙලාවක් පෙරහර එනතුරු හිටගෙන හෝ ඇන තියාගෙන ඉන්න දෙනෝ දාහක් ජනතාවට තමන්ගේ පවස ගැනීමට, අන්නාසි වෙළෙන්දා බේසමක් තම හිස මත තබාගෙන, එහි පිළිවෙලට අන්නාසි තට්ටුවක් අඩුක් කරගෙන එන අතර, පරණ හාර්පික් බෝතලයක බහාලු ලුනු හා මිරිස් කුඩු මිශ්‍රණය, අන්නාසි කෑල්ලේ එහාට මෙහාට ඉස, දෙන අන්නාසි පළුව, පෙරහැර නරඹන්නාට දරාගත හැකි මිලකට ගත හැක.


ටොනික් පියන් තලා සාදාගත් ගෙජ්ජි වළල්ල සොලවමින් එන සාරවිටකාරයා පෙරහරට යම් පූර්වාලෝකයක් එකතු කරයි. සාරවිට තට්ටුවේ ඇති වෛවර්ණ විට පෙළ නොබෝ වේලාවකින් එන පෙරහැරේ විසිතුර ගෙන හැර පායි. විට දෙකට තුනට නවා, කටේ ඇතුලාන්තයේ දත් වලට හිර කරගෙන, කරදමුංගු, කරාබු නැටි, සාදික්කා වසාවාසි සමග පැණි රස මුසු කරන පොල් සමග බුලත් විට හපන විට, පෙරහැර එන්නට පෙර යම් භ්‍රමණ තත්ත්වයක් ද මනසේ ඇති කරයි. මේ ආදී තවත් වෙළෙඳ ප්‍රභේද ද යාචකයින් ද ගැට කපන්නන් ද  පෙරහැර එන්නට පෙර ද පසුව ද පෙරහැර යන අතරේ ද එනු යනු අපට දැක බලා ගත හැක.


දැන් අප බලා සිටින්නේ මැතිවරණ පෙරහැර එනතුරු ය. එහෙත් මෙපමණ කාලයක් අපිට පෙරහැර කරනවා ද නැද්ද යන්න ගැන හරි අවබෝධයක් තිබුණේ නැත. ඊට හේතුව වූයේ ජනපති නිලමේ ඒ ගැන හරි හැටි තීරණයක් තීන්දුවක් නොගත් නිසා ය.  මැතිවරණ පෙරහැර කරවන එක නිත්‍යානුකූල ද නැද්ද යන්න ව්‍යාකූල තත්ත්වයක් නිලමේලා නිර්මාණය කළ නිසා, අවසානයේ දී ඒ ගැන අඩි හප්පා තීරණයක් ගන්නට සිදුවූයේ නඩුකාර හාමුදුරුවන්ට ය. ඒ තීරණය ගැනත් නිලමේලා ප්‍රශ්න කරන බව දන්වා සිටියේ ගුණවර්ධන නිලමේ ය. මහා නඩුකාර උන්නාන්සේ  හා නිලමේලාගේ කතා උන්නාන්සේ එක්කාසු වී මේ ගැන හරි හමන් තීරණයකට පැමිණිය යුතු යි  කීවේ ජනපති නිලමේ ය. ඔහු එසේ කීවේ, තමනුත් පෙරහරේ එන්නට සූදානම් නිසා, තීන්දු තීරණවලට තමන් සම්බන්ධ වීම අකැප නිසාවෙනි. මේ සියලු ව්‍යාකූල හා අඩමාන කාලය නිමා කොට, හිටි අඩියේ ම පෙරහැර කරවන දින වකවානු දැන්වුයේ පෙරහැර කොමසාරිස්තුමා ය.

මැතිවරණ පෙරහැර එන්නට තව මාසයක් හමාරක් පමණ කාලය තිබේ. එහෙත් පෙරහරේ වැඩි අවධානයක් ගන්නේ කසකරුවා ද මල් බයිසිකල් කරු ද කරඬුව පිටේ තියාගෙන එන ඇතා ද ගැන කතා බහ පටන් ගත්තේ, පෙරහරේ දින වකවානු කොමසාරිස් තුමා දැනුම් දෙන්න මාස කිහිපයකටත් කලින් ය. මේ වෙළෙඳාමට  කියන්නේ මැතිවරණ සමීක්ෂණ කියා ය. තවත් සමහරු කියන්නේ ඔපීනියන් පෝල් කියා ය. කෙසේ හෝ මේ කර්මාන්තයේ දී තීරණය කරන්නේ, පෙරහැර බලන අයගෙන් වැඩියෙන් අවධානය ගන්නේ කවුද කියා ය. මේ වැඩේට මුලින් ම අත ගැහුවේ ලෙඩ දුක ගැන හොයන බලන සවුක්කිය කොම්පැනියක් ය. එය නිකම් ම නිකං  කොම්පැනියක් පමණක් නොව, ජාතියන්තර සවුක්කිය කොම්පැනියක් ය. සවුක්කිය ගැන කතා කරන පී.ඇච්.අයි මහත්තයෙක්ට මැතිවරණ පෙරහැර ගැන දැනුමක් ඇත්තේ කෙසේදැ යි කවුරුත් ඇසුවේ නැත.

ihslfijwer

කෙසේ හෝ සවුක්කිය සමීක්සනයේ කතාබහ කරන ලද දහ පාලොස් දෙනාට අනුව, පෙරහැරේ වැඩි අවධානය ගනිමින් සිටින්නේ කසකරුවා ය. ඔහුට පිටුපසින් රෝද තුනේ බයිසිකලය එක තැන පදිමින් පැමිණෙන්නේ මල් බයිසිකල්කරු ය. මුල් සමීක්සනය අනුව ඇතා පේන තෙක් මානයක සිටියේ නැත. කසකරුවාගේ පවුලේ උදවිය හා හිතමිත්‍රාදීහූ සවුක්කිය සමීක්සනයේ ප්‍රතිඵල අසා, හතර වටේ ම සටස් පටස් ගා කස පහර ගසමින් සතුටින් සිටිය හ. මල් බයිසිකල්කරුට වැඩියෙන් ඕනෑ කර තිබුණේ ඉස්කෝලේ යන්න ය. කිසියම් හේතුවකට මල් බයිසිකරුට කුඩා කාලයේ ඉස්කෝලේ මග හැරුණ නිසා වත්දෝ ඔහු හමුවෙන හැම දිනයක් පාසා කොහේ හරි ඉස්කෝලෙකට යන්නට වගබලා ගත්තේ ය.

sdt435345

කසකාරයාගේ පාර්ශවය සවුක්කිය කොම්පැනිය ඉහළට ඔසවා තැබුවේ අපක්ෂපාතී වෘත්තීය මට්ටමේ කට්ටියක් ලෙස ය. ඒ කොම්පැනියේ සමීක්සන ප්‍රතිඵලවල  පාට පාට පින්තූර කසකරුගේ ගෝලබාලයෝ බුකියේ හැම තැනම ඇළවූ හ. තත්ත්වය වෙනස් වූයේ ඊයේ පෙරේදා ය. ඒ හිටි අඩියේම සවුක්කිය කොම්පැනියේ ප්‍රතිඵලවල හැටියට, මල් බයිසිකල්කාරයා පළවෙනි තැනට එස වී, කසකාරයා පෙරහරේ දෙවැනි තැනට පල්ලම් බැස තිබූ නිසා ය. සුවාදීන නමැති වියපත් ඇතෙක් ද පෙරහරට ගොඩ වී තරමක කුලප්පු ස්වභාවයක් පෙන්නන බව ඉහත සමීක්සනය ම වාර්තා කළේ ය.  

kjerr666


මේ අතරේ ම, වැරෑටි නම් කොම්පැනියක් තමන්ගේ සමීක්සනයක ප්‍රතිපලය ලෙස වාර්තා කළේ ජනපති නිලමේ කළ රාජකාරී වැඩ ගැන වැසියන්ගේ ප්‍රසාදය තුන් ගුණයකින් වැඩි වී ඇති බව ය. මින් කිපුණේ ඇතා නොව කසකරුවා සහ මල් බයිසිකල් කරුවා ය. එහි ප්‍රතිඵලයක් ලෙස යට කී සමීක්සන කොම්පැනි දෙක ම සවුක්කියට අහිතකර අන්නාසි විකුණන බවට චෝදනා කර ඔවුන් පෙරහැර භූමියෙන් පන්නා දැමිය යුතු යි කී හ. වලංගුභාවය, විශ්වාසනීයත්වය හා නියැදියේ තාක්ෂණික පදනම ආදී කාරණා කසකාර පාර්සවය ඉස්මතු කරන්නට ගත්තේ තමන් පෙරහැරෙන් පල්ලම් බසින ප්‍රථිපල අදාළ කොම්පැනිය කියන විට ය.  තමන් පෙරහැරේ ඉස්සරහින් යන ප්‍රථිපල කියන තාක් කසකරුවෝ වලංගුභාවය ආදී කාරණා ගැන මීක් සද්දයක් කළේ නැත.


අන්නාසි වෙළෙන්දා මෙලෙස පෙරහර භූමියෙන් පන්නා දැමුණු පසු ව, ටොනික් ගෙජ්ජි සොලවමින්  මැතිවරණ පෙරහර භූමියට පිවිසියේ සාරවිටකාරයා ය. ඔහුගේ රාජකාරිය වන්නේ පෙරහැර නියමාකාර ව කෙරෙනවාද නැද්ද යනු නිරීක්ෂණය කිරීම ය. පෙරහැර එන්නට ඔන්න මෙන්න තිබෙද්දි, තම නිල ඇඳුමෙන් පෙරහැර නැරඹීමට පැමිණි නර්ස් නෝනා මහත්වරුන් පිරිසක් ගැන නිරීක්ෂකයන්ට පෙර නිරීක්ෂණය කළේ පෙරහැර ගැන අවධියෙන් සිටි කණ්ඩායම් කිහිපයක් ය. තම ටොනික් ගෙජ්ජි රවුම රිද්මයානුකූලව සොලවමින් නිරීක්ෂකකරුවන් තමන්ගේ මතය තාක්ෂණික ලෙසත් ඇඟ බේරා ගන්නා ලෙසත් යුහුසුළු ව ඉදිරිපත් කළ හ. එක් නිරීක්ෂකයෙක් හෙදියන් ආ ගමන ගැන විශ්ලේෂණාත්මකව හා විවේචනාත්මකව කතා කළ අතර, තවත් නිරීක්ෂකයෙක් කීවේ එය සැළකිය යුතු මට්ටමක උල්ලංඝනයක් නොවන බව යි. සමහරු කීවේ එම සාරවිටකාරයාට කලකට පෙර කසකාර අතීතයක් හා කසකාරත්වය ගැන මුදු කොනක් තිබුණ බව යි.  නිරීක්ෂණය එක සාරවිටි කාරයෙක්ගෙන් තව සාරවිටිකාරයෙක්ට වෙනස් වන්නා සේ, නිරීක්ෂකයන්ට ද වෙනස් වෙනස් යථාර්ථයන් පෙනෙන බව ජනතාව තේරුම් ගත් හ.

xdt435h


මේ අල්ලේ පනල්ලේ, කසකාරයාගේ හා මල් බයිසිකල් කාරයාගේ නෑදෑ හිත මිත්‍රාදීන්, තමන්ගේම කියා සාරවිටිකාරයෙකු තෝරාපත් කර ගති. කසකාරයාගේ සාරවිටිකාරයා ලෙස බඳවා ගත්තේ පැන්සන් ගිය පොලිශ් රාළහාමි කෙනෙක් ය. ඔහුගේ පොලිශ් රාජකාරියේ කොටසක් ලෙස සාරවිට විකුණා ඇති බව කසකාරයාගේ පුවත්පත් නිවේදනයක පළ විය. ඒ මග ම යමින් මල් බයිසිකල්කරු ද සාරවිට කමිටුවක් පත් කර ගති. පැද්දි පැද්දී ක්‍රමයෙන් ඉදිරියට එන සුවාදීන ඇතා ගාව කොහොමටත් කැපේ කියා කීර්තිමත් සාරවිට කාරයෙක් සිටියේ ය.    


Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අන්නාසි සමීක්ෂණ හා සාරවිට නිරීක්ෂණ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු) | The Leader