The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

මේ ආර්ථිකයෙන් රට ගොඩගන්න පුළුවන්ද? - (නිරංජන් වාමින්ද කරුණාතිලක)

T

The Leader Desk

August 14, 2024 • 12:00 PM

මේ ආර්ථිකයෙන් රට ගොඩගන්න පුළුවන්ද? - (නිරංජන් වාමින්ද කරුණාතිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයින් කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද මුහුණ දිය යුතු මූලිකම ගැටලුව වන්නේ දැනට අප රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය තිරසාර උපක්‍රම හා සැලසුම් සකස් කිරීම ය.
  • නව ලිබරල්වාදය ලෝකයට අහිතකර බව පෙන්වන කාටූනයක් අතීතයේ මිනිසුන් ඡන්දය භාවිත කළේ තමාට ලැබෙන ප්‍රතිලාභ මොනවද?
  • ආර්ථික සහ දේශපාලන සාක්ෂරතාවය ඇති බහුතරයක් කල්පනා කරන්නේ තම ඡන්දයෙන් සමාජයීය වශයෙන් ලැබෙන්නේ කුමනාකාර ප්‍රතිලාභ ද යන්න ය.
  • කලකට පෙර මිනිසාගේ පරම විමුක්තිය ලබා දෙන දේශපාලන ක්‍රමය ලෙස පිළිගැනීමට ලක්වූයේ සමාජවාදයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එයින් කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද මුහුණ දිය යුතු මූලිකම ගැටලුව වන්නේ දැනට අප රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය තිරසාර උපක්‍රම හා සැලසුම් සකස් කිරීම ය. පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට යම්කිසි ආකාරයක සහනශීලී තත්ත්වයක රට තුළ පවතී. 

පසුගිය කාලයේ විදුලි බලය, ගෑස්, ඉන්ධන, ආහාරපාන වැනි ජනතාවගේ මූලික අවශ්‍යතාවන් පවා ඉටු කර ගැනීමට නොහැකිව තිබූ ආකාරය සියලු දෙනාටම මතක ය. රට පුරා පෝලිම් පැවති අතර අරගලයක් පැන නැගී හිටපු ජනපතිවරයාට ද සිය බලය අතහරින තැනට පත් වූයේ මේවායේ හිඟකම නිසා ය. පසුව එයට දේශපාලන මුහුණුවරක් ලබා දීමට උත්සාහ ගත්ත ද ජන අරගලය මුලින්ම පැන නැංගේ ජනතාව අතරින් මිසක දේශපාලන බලපෑමක් නිසා නොවේ. සැබෑ කතාව වනුයේ දේශපාලන පක්ෂ පසුව ඊට එක් වීම පමණි.කෙසේ හෝ මේ වන විට යම් ස්ථාවර තත්ත්වයක පවතින ආර්ථිකය මේ ආකාරයට ඉදිරියට පවත්වාගෙන යනවාද, යනවා නම් ඒ කෙසේද සහ මෙවැනි ආර්ථික ක්‍රමයක් අප රටට ගැලපෙනනවාද වැනි ගැටලු මතු වෙයි.

neo1

නව ලිබරල්වාදය ලෝකයට අහිතකර බව පෙන්වන කාටූනයක්

 

අතීතයේ මිනිසුන් ඡන්දය භාවිත කළේ තමාට ලැබෙන ප්‍රතිලාභ මොනවද? යන්න මත පදනම්ව ය. නමුත් වර්තමාන සමාජය මෙන්ම ඡන්ද දායකයා ද අතීතයට වඩා දියුණු ය. ආර්ථික සහ දේශපාලන සාක්ෂරතාවය ඇති බහුතරයක් කල්පනා කරන්නේ තම ඡන්දයෙන් සමාජයීය වශයෙන් ලැබෙන්නේ කුමනාකාර ප්‍රතිලාභ ද යන්න ය. එමෙන්ම විවිධ මාර්ගයන්ගෙන් ලබා ගන්නා දේශපාලන දැනුම මත පදනම්ව දැනට පවතින දේශපාලන ක්‍රමය සහ අප රටට වඩාත් යෝග්‍ය කුමනාකාර දේශපාලන ක්‍රමය ක්‍රමයක් ද යන්න පිළිබඳවත් වැටහීමක් බොහෝ දෙනෙකුට තිබේ.

කලකට පෙර මිනිසාගේ පරම විමුක්තිය ලබා දෙන දේශපාලන ක්‍රමය ලෙස පිළිගැනීමට ලක්වූයේ සමාජවාදයයි. නමුත් සමාජවාදය යන්න මේ වන විට යල් පැන ගොස් ඇති, ප්‍රයෝගික නොවන දේශපාලන ක්‍රමයක් බවට පත්ව තිබේ. අද ලෝකයේ බොහෝ රටවල පවතින්නේ නව ලිබරල්වාදය (Neoliberalism) ආර්ථික ප්‍රතිපත්තියයි.ඒ බව අප රටේ සමාජවාදී පක්ෂ ප්‍රධානීන් ද නිල ලෙස පිළිගෙන තිබේ.

 

neo2

සුඛ පරමවාදය (Hedonism) පෙන්වන සිතුවමක්

 

නව ලිබරල්වාදය යනු නිදහස් වෙළඳ පොළ ධනවාදය, නියාමනය. පෞද්ගලීකරණය සහ ආර්ථික කටයුතුවලදී රාජ්‍යය ඉතා අවම භුමිකාවක් දරන්නා වූ දේශපාලන හා ආර්ථික දෘෂ්ටිවාදයකි. එය 20 වැනි සියවසේ අග භාගයේදී, විශේෂයෙන්ම 1980 ගණන් වලදී, එක්සත් ජනපදයේ රොනල්ඩ් රේගන් සහ එක්සත් රාජධානියේ මාග්‍රට් තැචර් වැනි දේශපාලන චරිතවල නායකත්වය යටතේ ඇති වූ නව ආර්ථික දෘෂ්ටිවාදයක් ලෙස මෙය සැලකේ.

ආර්ථිකය තුළ අවම රාජ්‍ය මැදිහත් වීමක් සහිත නිදහස් වෙළෙඳ පොල, ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලට බාධාවක් ලෙස පවතින විවිධ නියාමනයන් ඉවත් කිරීම, රජයේ ව්‍යවසායකත්වය අවම කොට පුද්ගලික ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සුබසාධන කටයුතු සඳහා රාජ්‍ය වියදම් අවම කිරීම, ව්‍යාපාර සහ ඉහළ ආදායම් ලබන්නවුන් මත වූ බදු කප්පාදු කිරීම, සීමා මායිම් නොමැතිව ප්‍රාග්ධනය ගලා යන ආකාරයේ ගෝලීයකරණයක් ඇතිකිරීම ආදී ලක්ෂණ නව ලිබරල්වාදය තුළින් දැකිය හැකිය.

 

neo3

සාරධර්ම බිඳ වැටුණු ඇනෝමීය සමාජය

 

ඉහත කාරණාවලින් පැහැදිලි වන පරිදි මේ නව ලිබරල්වාදය පිළිබඳ ලෝකයේ වැඩි විවේචන පවතින බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ තුළ සුබසාධනය, සහනාධාර ආදී කාරණාවලට ඉඩක් නොමැත. කෙසේ නමුත් නව ලිබරල්වාදය යනු ධනවාදය, සමාජවාදය මෙන් යම් ආර්ථික විද්‍යාඥයෙක්, සමාජ විද්‍යාඥයෙක් හෝ කණ්ඩායමක් විසින් ගොඩනගන ලද න්‍යායක් නොව ඉබේ ගොඩනැගුනකි. අප රටේ ද යම් ආර්ථික ප්‍රතිලාභයක් සිදුව ඇත්නම් එය පසුපස ඇත්තේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති බව පැහැදිලිය. නව ලිබරල්වාදය පිළිබඳ ඉහතින් සඳහන් කොට ඇති විස්තරයට අනුව මේ තුළ රාජ්‍ය ව්‍යවසායකත්වයට ඇති ඉඩ ඉතා අවමය. ඒ තුළ ඇත්තේ ලාබ ඉපයීමේ අරමුණ ඇති පෞද්ගලික ව්‍යවසායකත්වය පමණි.

නව ලිබරල්වාදය ආර්ථික වර්ධනය හා කාර්යක්ෂමතාවය මෙහෙයවීම සඳහා ඉවහල් වන ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස ඵලදායී වුවත් එහි සෘණාත්මක බලපෑම් ද කිහිපයක් ඇති අතර එය තිරසාර සමාජයක යහපැවැත්ම කෙරෙහි අයහපත් බලපෑමක් එල්ල කරයි.

 

neo4

තව ලිබරල්වාදය ලොවට හඳුන්වා දෙන්නට මුල් තැන ගත්තේ රොනල්ඩ් රේගන් සහ මාග්‍රට් තැචර් වැනි නායකයින්

 

සුළු පිරිසක් අතර පමණක් ධනය සංකේන්ද්‍රණය වීම නිසා ඇතිවන විෂම ආදායම් තත්ත්වය, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සුබසාධක කටයුතු මත යොදවන රාජ්‍ය සේවාවන් අවම කිරීම නිසා ඒවා මත යැපෙන දිළිඳු ජනතාව අවදානමකට පත්වීම, ශ්‍රම වෙළෙඳපොලේ නියාමනයන් ඉවත්කිරීම සහ වෘත්තීය සමිතිවල බලය අවම කිරීම නිසා රැකියා සුරක්ෂිතතාව අඩු වී ශ්‍රම සූරෑකෑමක් ඇති වීම, ලාබය පමණක් අරමුණු කරගෙන ඇති බැවින් ස්වාභාවික සම්පත් සූරාකෑමෙන් ඇති වන පරිසර හානිය, ප්‍රජාවන් අතර බෙදීම් ඇති වී සාමූහික සමාජ අරමුණු පිළිබඳ හැඟීම තුරන්ව යාම, මූල්‍ය අර්බුද, ධනේෂ්වර ප්‍රභූන් පිරිසක් අතර පමණක් බලය කේන්ද්‍රගතවීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්වීම වැනි ඍණාත්මක ලක්ෂණ නව ලිබරල්වාදය තුළ දැකිය හැකිය.

neo5එමිල් ඩර්ක්හෙයිම්මේ කාරණය නිසා නව ලිබරල්වාදය ඔස්සේ අපට රටක් ලෙස කෙතරම් දුරක් ගමන් කළ හැකි ද යන ගැටලුව නිතැතින්ම පැන නැගේ. නව ලිබරල්වාදයේ අවසානයේ ‘සුඛ පරමවාදී’ (Hedonism) තත්ත්වයක් ඇති වෙයි. සුඛ පරමවාදය යනු ජීවිතයේ ඉහළතම අභිප්‍රේරණය වන්නේ සතුට බවය. මෙය කෙළවර වන්නේ ඇනෝමීය සමාජය’ (anomic society) යන තත්ත්වයෙනි. එයින් අදහස් වන්නේ සාර්ධර්ම පිරිහුණු සමාජයක් යන්නය. ප්‍රංශ සමාජ විද්‍යාඥ එමිල් ඩර්ක් හෙයිම් විසින් සිය The Division of Labor in Society (1893) කෘතියෙන් ‘ඇනෝමි’ යන සංකල්පය ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී. මේ කාරණාවලින් පැහැදිලි වන්නේ නව ලිබරල්වාදය සහ එයින් ලැබෙන අවසන් ප්‍රතිඵලවලට අනුව මෙය තිරසාර ක්‍රමයක් ලෙස අනුගමනය කළ හැක්කක් නොවන බවය. මේ නිසා අප යොමු විය යුත්තේ ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදය’ (Social democracy) වෙතය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු සමාජ සාධාරණත්වය සහ ආර්ථික සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමේදී රාජ්‍යයට ප්‍රබල භුමිකාවක් සමඟ ඒකාබද්ධ වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන, සමාජීය සහ ආර්ථික දෘෂ්ටිවාදයකි. එය ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යයන් හරහා සාධාරණ සමාජයක් බිහි කිරීමේ අරමුණින් සමාජ සුබ සාධනය සහ පොදු සේවාවන්හි අවශ්‍යතාවය සමඟ ධනවාදයේ මූලධර්ම තුලනය කිරීමට උත්සාහ කරයි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාවට අවබෝධයක් තිබිය යුතු බවත්, අගහිඟකම් ඇති මිනිසුන්ට උපකාර කිරීම සඳහා ධනේශ්වර ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් යන අදහස මතය.

කෙසේ නමුත් අප රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව අපට එකවර මේ ක්‍රමයට අනුගත වීමේ හැකියාවක් නැත. ඒ සඳහා අප රට ආර්ථික වශයෙන් තවත් ශක්තිමත් තැනකට පැමිණිය යුතුය. ලෝකයේ දැනට පිළිගෙන ඇති පරිදි පවතින හොඳම ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. අද ලෝකයේ හොඳම සමාජ ක්‍රම පවතින බවට විශ්වාස කෙරෙන ස්කැන්ඩිනේවියානු රටවල ක්‍රියාත්මක වන්නේ මෙයයි. 

අප රට නව ලිබරල්වාදය ඔස්සේ ආර්ථික වශයෙන් යම් ස්ථාවරත්වයකට පැමිණි පසු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා පදනම සකස් කර ගත හැකිය. නව ලිබරල්වාදය යනු වාහන එන්ජිමක ජවය නම්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු එහි මාර්ග නීති පද්ධතිය ලෙස හැඳින්විය හැකිය. නව ලිබරල්වාදයෙන් ඇති විය හැකි අයහපත් ප්‍රතිඵල පිළිබඳ දැනුවත් බැවින් ඒ ක්‍රමය මනා කළමනාකාරිත්වයකින් යුක්තව ඉදිරියට පවත්වාගෙන ගොස් පසුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සඳහා යොමුවීමට සැලසුම් සකස් කරගැනීම අප රටට අනුගමනය කළ හැකි හොදම පියවර බව සඳහන් කළ හැකිය.

එසේ නොමැතිව මේ වන විට අප සමාජය තුළ ප්‍රවර්ධනය වෙමින් පවතින නව ලිබරල්වාදී ව්‍යුහය සෘජුවම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් බවට පත් කිරීමට ඇතැමුන් කරන යෝජනා අප දකිනුයේ කුරුම්බැට්ටි වලින් කිරි ගෙන කිරි බතක් පිසීමට දරන වෑයමකට ය.එනිසා දැනට කළ යුත්තේ නව ලිබරල්වාදී ක්‍රමය තුළින් හිස එසවිය හැකි දුර්දාන්ත ලක්ෂණ පාලනය කිරීම පමණි.එසේ නොකොට පවත්නා වාතාවරණය තුළ නව අත්හදා බැලීම් කරන්නට ගිය හොත් අපේ රට තිබුණු තැනටත් වඩා බරපතල ආගාධයකට ඇද වැටීමට ඇති හැකියාව සුළුපටු නැත.

(නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...