The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

රටවැසියාගේ එකම ගැලවුම්කාරයා අධිකරණය විය යුතු ද? - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

August 16, 2024 • 5:16 AM

රටවැසියාගේ එකම ගැලවුම්කාරයා අධිකරණය විය යුතු ද? - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ව්‍යාවස්ථාදායකය තෝරා පත්කරගන්නේ කවුද?
  • එසේ නම්, ජනතාවම තෝරා පත්කරගන්නා මේ ආයතන දෙකෙන් ජනතාව ආරක්ෂා කරදීම, ජනතාව විසින් සෘජුව තෝරාපත්කර නොගන්නා ආයතනයකින් ඉල්ලා සිටීමට සිදුව ඇත්තේ ඇයි?
  • මේ ප්‍රශ්නය එසේ ඉදිරිපත් කිරීම දෝෂසහිත බව ඇත්ත.
  • එබැවින්, ඒ කියන පාලන සැකැස්මේ කිසි විකෘතියක් ඇතැයි කෙනෙකුට 'විවේචනයක්' වශයෙන් ඉදිරිපත් කළ හැකි තත්වයක් නොපවතී.
අකුරු ප්‍රමාණය (Font Size):


ව්‍යවස්ථාදායකය කාගේද? ජනතාවගේ ය. විධායකයත් එසේ ය. ව්‍යාවස්ථාදායකය තෝරා පත්කරගන්නේ කවුද? ජනතාවයි. විධායකයත් එසේ ය. අධිකරණය පමණක්, ජනතාව විසින් සෘජුව තෝරාපත්කරගනු නොලැබේ.

 

ව්‍යාවස්ථාදායකය තෝරා පත්කරගන්නේ කවුද? ජනතාවයි. විධායකයත් එසේ ය.

එසේ නම්, ජනතාවම තෝරා පත්කරගන්නා මේ ආයතන දෙකෙන් ජනතාව ආරක්ෂා කරදීම, ජනතාව විසින් සෘජුව තෝරාපත්කර නොගන්නා ආයතනයකින් ඉල්ලා සිටීමට සිදුව ඇත්තේ ඇයි? මේ ප්‍රශ්නය එසේ ඉදිරිපත් කිරීම දෝෂසහිත බව ඇත්ත. ජනතාව වෙනුවෙන් පෙනී සිටීමත්, ජනතාවට එරෙහිව කටයුතු කිරීමත් යන පරස්පර කාරණා දෙකම එක වර කිරීමේ හැකියාවෙන් යුක්ත ආයතන දෙක වන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකයයි. ඒ නිසාම, ඒ දෙකෙන් රටවැසියාට සේවයක් සලසාගන්නා අතරේම ඒ දෙකෙන් ආරක්ෂා වීමේ යාන්ත්‍රණයකුත් රටවැසියාට  තිබිය යුතු වීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකදී අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. ඒ දෙකෙන් ආරක්ෂා වීම යන කාරණයේදී, අනිවාර්යයෙන්ම පිහිට පැතිය යුතු වන්නේ, එම ආයතන දෙකට හැම අතකින්ම පරිබාහිර ස්වාධීන ආයතනයකිනි. අධිකරණය යනු එයයි. එබැවින්, ඒ කියන පාලන සැකැස්මේ කිසි විකෘතියක් ඇතැයි කෙනෙකුට 'විවේචනයක්' වශයෙන් ඉදිරිපත් කළ හැකි තත්වයක් නොපවතී.

එහෙත්, යම් හෙයකින් විධායකය හෝ ව්‍යවස්ථාදායකය හෝ ඒ දෙකම ජනතාව පෙළන චර්යාවක නිරන්තරයෙන් නියුතු වෙත් නම්, ඒ සෑම විටකම එකම ආකාරයකින් අර කියන අධිකරණය විසින් ජනතාව ආරක්ෂා කර දෙනු ලැඛෙතැයි සිතීමත් ප්‍රායෝගික නැත. මේ ලිපියේ නිමිත්ත එයයි.  

 

ව්‍යවස්ථාදායකයට සහ විධායකයට ජනතාවගේ අයිතීන් උදුරාගත හැකි අවකාශය සහ ශක්තිය අවම කිරීම වශයෙන් එය හැඳින්විය හැකිය
'සිස්ටම් චේන්ජ්' හෙවත් 'ක්‍රමයේ වෙනසක්' වශයෙන් අදහස් විය යුතු එක වැදගත් දෙයක් මේ කියන කාරණයෙහි ගැබ් වෙයි. ව්‍යවස්ථාදායකයට සහ විධායකයට ජනතාවගේ අයිතීන් උදුරාගත හැකි අවකාශය සහ ශක්තිය අවම කිරීම වශයෙන් එය හැඳින්විය හැකිය. මේ ආයතන දෙකෙන්, අද වන විට ලංකාවේ වැසියාට වැඩිම ප්‍රශ්නකාරී තත්වයක් ඇති කර තිඛෙන්නේ, විධායකයෙන් නිසා, මේ ලිපියේ සාකච්ඡාවට ගැනෙන්නේ එයයි.

පසුගිය කාලයේ, අධිකරණයට පවා පාලනය කළ නොහැකි සීමාවන් වෙත විධායක ජනාධිපති ධුරය ගමන් කිරීමට උත්සාහ ගෙන ඇති බව මෑත ඉතිහාසයෙනුත් පෙනෙයි. ඒ බොහෝ අවස්ථාවල, විධායකය තරමක් දමනය කිරීමේ හැකියාව අධිකරණයට තිබුණි. ඒ අර්ථයෙන් ගත් විට, මා සිතන අන්දමට, පසුගිය වසර කිහිපය අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දීප්තිමත්ම අවදියක් වශයෙන් හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. එහි වැදගත් ආරම්භයක් සනිටුහන් කෙරුණේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් හිතුමතේට නීත්‍යානුකූල ආණ්ඩුවක් පලවාහැර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අනීතික ආණ්ඩුවක් දින 52 ක් තිස්සේ පවත්වාගෙන ගිය දීන ක්‍රියාව ආපස්සට හැරවීමට තරම් අදීනත්වයක් අපේ ශ්‍රේෂ්ඨාධිකරණය පෙන් වූ අවස්ථාවයි. 

අප නූපන් පරපුරට කරන ද්‍රෝහිකමක් ? - කරු ජයසුරිය කියයිමහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අනීතික ආණ්ඩුවක් දින 52 ක් තිස්සේ පවත්වාගෙන ගිය දීන ක්‍රියාව ආපස්සට හැරවීම

ඉන්පසු, ඊටත් මෙහා අතීතයට අප ආවොත්, එකදිගටම අපේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ දේශපාලනික අත්තනෝමතිකත්වයන් මැඩලීමට කටයුතු කර ඇති බව පෙනේ. ඉන් වැදගත් අවස්ථා කිහිපයක් පමණක් මෙසේ කෙටියෙන් දැක්විය හැකිය:

1. රටේ වර්තමාන ආර්ථීක කඩාවැටීමට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු ආණ්ඩුව වගකිවයුතු බවට අධිකරණය තීන්දු කිරීම: මෙහිදී ඒ කිසිවෙකුට එකී අපරාධය වෙනුවෙන් වන්දියක් ගෙවීමට අධිකරණයෙන් නියම නොකළත්, රාජ්‍ය පාලනයේ වගවීම නමැති උත්තුංග සිද්ධාන්තය ඉතා ඈතකට ගෙන ගොස් විමසා බැලීමක් එහිදී සිදු කෙරුණි. එය, ජනතාවගේ පැත්තෙන් සහ යුක්තිධර්මය පැත්තෙන්, පාලකයාගේ වගවීම යන කාරණය ඉතා පුළුල්ව නිර්වචනය කිරීමේ එක් අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. 

පාස්කු ප්‍රහාරය ගැන තමාට තොරතුරු ලැබුණු හැටි මෛත්‍රී හෙළිකරයිපාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු පොලිස්පති ඇතුළු පිරිසක් වරදකරුවන් කර විශාල වන්දියක්ද ඔවුන්ගෙන් අය කරගැනීමට අධිකරණය නියම කිරීම

2. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු පොලිස්පති ඇතුළු පිරිසක් වරදකරුවන් කර විශාල වන්දියක්ද ඔවුන්ගෙන් අය කරගැනීමට අධිකරණය නියම කිරීම: මෙයද, ජනතාව කෙරෙහි තිබිය යුතු පාලකයාගේ වගකීම සහ වගවීම යන කරුණු අවධාරණය කෙරුණු වැදගත් අවස්ථාවකි.

 

2. බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වූ ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීම අවලංගු කිරීම: අප ඉතා සාඩම්බරයෙන් භාවිතයට ගන්නා වචන කිහිපයක් තිබේ. 'ජනතා ස්වෛරීත්වය' සහ 'ජනතා ස්වාධිපත්‍යය' ඉන් ප්‍රධානයි. එහෙත් පටු දේශපාලනික අවශ්‍යතා මත, ඒ කියන ස්වෛරීත්වයට සහ ස්වාධිපත්‍යයට පිටුපෑමටත් අපි පසුබට නොවෙමු. ඇමරිකානු පුරවැසියෙකු වශයෙන් සිටිය ගෝඨාභය රාජපක්ෂව මෙරටේ ජනාධිපති වශයෙන් පත්කරගැනීම එක් උදාහරණයකි. ඩයනා ගමගේ යනු, තමන්ගේ පෞද්ගලික අයිතියේ ඇති පක්ෂ නාමයක් සමගි ජනබලවේගයට කුලියට දී ඊට හිලව්වක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබාගත් කාන්තාවකි. ඊටත් වඩා, එසේ ඉල්ලාගත් මන්ත්‍රී පදවිය තියාගෙන, ඒ පක්ෂයටත් පයින් ගසා රාජපක්ෂලාගේ ඔඩොක්කුවටත් ගිය කාන්තාවකි. ඒ සියල්ල පැත්තකින් තියන්න: ඇය, මේ ප්‍රතිපත්ති විරහිත ක්‍රියාකාරීත්වයේ යෙදෙන සමස්ත කාලය තිස්සේම, බ්‍රිතාන්‍යයේ පුරවැසියෙක්ද වූවාය. එය, ජනතා ස්වෛරීත්වය සහ ස්වාධිපත්‍යය සර්වප්‍රකාරයෙන් ආරක්ෂා කරනු වස් ඇති කරගත්, ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ පාර්ලිමේන්තුවට තේරීපත් විය නොහැකිය යන අපේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය උල්ලංඝණය කිරීමකි.

 

ගෝඨා ගෝ හෝම්' ස්ථාවරයේ වෙනසක් නැහැ - ඇමති හරින්හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර

3. මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී නසීර් අහමඩ් එම පක්ෂ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමත්, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සජබ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමත් මත, ඔවුන්ව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා දැමීම නීත්‍යානුකූල බවට අධිකරණය තීන්දු කිරීම.

 

4. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වශයෙන් පත්කරනු ලැබීම අත්හිටුවීම.

 

ගෝඨාගේ පළිගැනීමේ කොමිසමේ' නිර්දේශ අහෝසියි'පළිගැනීමේ' කොමිසමක් බවට පරිණාමය වූ කුප්‍රකට උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසම

5. යහපාලන කාලයේ පළිගැනීම් පිළිබඳ සොයාබැලීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කළ සහ පසුව 'පළිගැනීමේ' කොමිසමක් බවට පරිණාමය වූ කුප්‍රකට උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසම දෙන ලද සියලූ නිර්දේශ අවලංගු කර එම කොමිසමත් අවලංගු කිරීම.

6. ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ක්‍රියාත්මක වෙමින් තිබුණු ඉලෙක්ට්‍රොනික වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය අවලංගු කර වර්තමාන ඇමතිවරයා විසින් එම කාර්යය වෙනත් සැකකටයුතු විදේශ ආයතන දෙකකට පවරනු ලැබීම තාවකාලිකව අත්හිටුවීම.

 

ඉහත කී සිදුවීම් අතරින් බහුතරයක්, මේ රටේ විධායකය විසින් ගන්නා ලද තීරණයන්ට සම්බන්ධයි. ඒ අතරින්, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කරනු ලැබීම කැපීපෙනෙයි. ඉතා පැහැදිලි සහ විධිමත් සංවරණ සහ තුලන ක්‍රමවේදයන් පවා, විධායක ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් විකෘති කරන ලද අවස්ථාවක් වශයෙන් එය දැක්විය හැකිය. 

 

පොලිස්පති පුටුවේ අවුල ලිහන්න ව්‍යවස්ථා සභාව රැස්වේව්‍යවස්ථා සභාව
රටේ ඉහළ තනතුරුවලට කරන පත්වීම්වලදී, විධායක ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව කටයුතු කිරීමට ඇති හැකියාව මැඩලීම සඳහා අප ඇති කරගත් ක්‍රමවේදය වන්නේ, 'ව්‍යවස්ථා සභාවක්' සහ 'ස්වාධීන කොමිෂන් සභා' ක්‍රමයක් ස්ථාපිත කරගැනීමයි. පසුගිය වර පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම 'ව්‍යවස්ථා සභාව' විසින් අනුමත කෙළේ නැත. එසේ වූ විට, එම පත්වීම කළ නොහැක. එහෙත්, කතානායකවරයා සහ ජනාධිපතිවරයා එක් වී, ඒ පත්වීම 'ව්‍යවස්ථා සභාව' විසින් අනුමත කෙළේ යැයි කූට ලෙස සලකා, පොලිස්පති තනතුරට දේශබන්දු තෙන්නකෝන්ව පත්කෙළේය. විධායකය මෙල්ල කිරීම සඳහා යොදාගත් මේ උසස් ප්‍රජාතන්ත්‍රීය යාන්ත්‍රණය පවා (ව්‍යවස්ථා සභාව) විධායකය විසින්ම විකෘති කරන ලද අවස්ථාවක් වශයෙන් මෙය සැලකිය හැකිය. එයින් පෙන්නුම් කෙළේ, විධායක ජනාධිපති ධුරය මොන තරම් හිතුවක්කාරී විය හැකිද යන්නයි. 

දැන් මගේ ප්‍රශ්නය මෙයයි: එනම්, විධායකය (හෝ ව්‍යවස්ථාදායකය) මගින් ගන්නා මෙවැනි අත්තනෝමතික පියවරයන් සාර්ථකව මැඩලීම අධිකරණයට හැම අවස්ථාවකම, හැමදාමත් කළ හැකි වෙයිද යන්නයි. මීට කලකට පෙර, සරත් නන්ද සිල්වා අගවිනිසුරු වශයෙන් සිටියදී, සුනාමි සහනාධාර වංචා කළ මහින්ද රාජපක්ෂව එම චෝදනාවෙන් නිදොස් කළා පමණක් නොව, එම සුනාමි වංචාව ගැන පැමිණිලි කළ පාර්ශ්වවලට දඩ ගැසීමට පවා සාහසික විය. 

නීතිය අංග විකල කිරීම - වික්ටර් අයිවන්සරත් නන්ද සිල්වා

තවද, සරත් නන්ද සිල්වා නීතිපති වශයෙන් සිටියදී, මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් එවකට කටයුතු කළ ඉහත කී උපාලි අබේරත්න විෂමාචාරය සම්බන්ධයෙන් ලක්ව සිටි චෝදනාවන්ගෙන් නිදහස් කරහැරීමට, සරත් නන්ද සිල්වා අගවිනිසුරු වූ පසු පියවර ගත්තේය. එයින් අදහස් වන්නේ, අධිකරණය පවා එහි අසුන් ගන්නා පුද්ගලයන්ගේ හැටියට වෙනස් විය හැකි බවයි. පුද්ගල ස්වභාවයන්, යන්ත්‍රානුසාරයෙන් හෝ රොබෝ ක්‍රමයකට පිළියම් කළ නොහැකි නිසා, වෙනත් ආකාරයක විසඳුම් ක්‍රමයක් කෙරෙහි අපේ අවධානය යොමු විය යුතුය.

එහිදී අපේ සැලකිල්ල යොමු විය යුතු වැදගත්ම ඉසව්ව වන්නේ, විධායකය මගින් අධිකරණය වෙත පැටවෙන පීඩාව අවම කෙරෙන පරිදි විධායකය යළි සකස් කරගත යුතු බවයි. විධායකය අද දවසේ විශේෂ ප්‍රශ්නයක් වී ඇත්තේ, (ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන) අනෙක් ආයතන දෙකටම වඩා අත්තනෝමතික බලය අභ්‍යාස කිරීමේ අවකාශයක්, පවතින විධායක ජනාධිපති ක්‍රමය විසින්ම ඊට සපයා ඇති බැවිනි. යම් දවසක එම බලයට අධිකරණය පවා යට විය හැකිය. ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව දැනටමත් ඊට යට වී තිබේ. 

 

විසිවැනි සංශෝධනයේ මුලික අරමුණ කුමක්ද? - මහාචාර්ය රොහාන් සමරජීවඅධිකරණය අපේ සදාතනික මුරදේවතා වෙතැයි සිතා සිටියොත්, ඕනෑම මොහොතක ඒ ප්‍රාර්ථනාව අපේ ඔළුව උඩට කඩාවැටීමේ අවදානමකුත් ඇති බව අප අමතක නොකළ යුතුය.

ඒ නිසා, අධිකරණය අපේ සදාතනික මුරදේවතා වෙතැයි සිතා සිටියොත්, ඕනෑම මොහොතක ඒ ප්‍රාර්ථනාව අපේ ඔළුව උඩට කඩාවැටීමේ අවදානමකුත් ඇති බව අප අමතක නොකළ යුතුය. එබැවින්, ප්‍රශ්නයට පිළිතුර සෙවිය යුත්තේ, වෙනත් ක්ෂේත්‍රයක් තුළ ය. අධි බලැති මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හැර වෙන මාවතක් ඊට නැත. තවත් විදිහකින් කිවහොත්, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුන අතරේ වඩාත් යහපත් තුලනයක් ඇති කෙරෙන ආකාරයෙන් සහ අනවශ්‍ය තෙරපීමක් අධිකරණය හෝ ව්‍යවස්ථාදායකය කෙරෙහි විධායකය මගින් නිරන්තරයෙන් මුදාහැරිය නොහැකි ආකාරයෙන් විධායකය යළි සකස් කළ යුතු බවයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද? -(ගාමිණී වියන්ගොඩ)විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සෑම නායකයෙකුම (ගෝඨාභය රාජපක්ෂ හැර) රටට පොරොන්දු වී තිබේ.

 

ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැමිණීමට නියමිත වාතාවරණයක් තුළ මේ කාරණය අපේ විශේෂ සැලකිල්ලට ගත යුතුව තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සෑම නායකයෙකුම (ගෝඨාභය රාජපක්ෂ හැර) රටට පොරොන්දු වී තිබේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට රාජ්‍ය නායිකාවක් ලවා ඇගේ අත්සන සහිත ප්‍රතිඥාවක් ගත් ප්‍රථම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. ඒ 1994 දී චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මොහොතේ ය. ඇගේ ඒ ප්‍රතිඥාව මත, ජනතා විමුක්ති පෙරමුණෙන් ඒ තරගයට ඉදිරිපත් කිරීමට සිටි අපේක්ෂකයා පවා ඔවුන් තරගයෙන් ඉවත් කරගත්තේය.  

 

සජිත් අනුරට පැරදුනේ ඇයි?- (එරන්ද ගිනිගේ)ඔවුන් දෙන්නාගෙන්, පුරවැසියන් වශයෙන් අප ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම්, ඔවුන් බලයට පත්වුණොත් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේද යන්නයි.
මේ මොහොතේ ජනාධිපතිවරණ සටනේ පෙරමුණේ සිටින බව අපට පෙනෙන්නේ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාසයි. ඔවුන් දෙන්නාගෙන්, පුරවැසියන් වශයෙන් අප ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. එනම්, ඔවුන් බලයට පත්වුණොත් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේද යන්නයි. ඊට ඔවුන් දෙන පිළිතුර 'ඔව්' නම්, එසේ කරන්නේ ඔවුන් බලයට පත්වීමෙන් කොපමණ කලකින්ද යන්නයි. අපේ අත්දැකීම වන්නේ, බලයට පත් වූ සැනින් එය නොකළොත් කල්ගත වී කොහෙත්ම එය නොකෙරෙන බවයි. ඒ නිසා, එම කාල වකවානුව අවුරුද්දකට අඩු වීම වඩාත් යෝග්‍යයි. 

මේ ප්‍රශ්නය වර්තමාන ජනාධිපතිවරයාට යොමු නොකරමි. හේතුව, ඔහු දැනටමත් ඒ විධායක තනතුර අපයෝජනය කර ඇති කෙනෙකු වන බැවිනි. තමාගේ ජනාධිපති බලය යොදවා කතානායකවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයත් තමාගේ මතයට නම්මවාගැනීමට ඔහු තැත්කොට තවම මාසයක්වත් නැති බැවිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය පරිදි වැඩබලන පොලිස්පතිවරයෙකු තවමත් පත්නොකර සිටීමට තරම් සාවඥ ආකල්පයක් අධිකරණය කෙරෙහි ඔහු දක්වන බව මේ මොහොතේත් පෙනෙන්ට ඇති බැවිනි. 

එක පොහොට්ටුවට නිලමැස්සො දෙන්නෙක් ! - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...