මෙම ලිපිය සඳහා ප්‍රධාන කොටම පරිශීලනය කළේ, අගෝස්තු මස 9 වැනි දා සිට 12 වැනිදා දක්වා පළ වු සිංහල දෙමළ ඉංග්‍රිසි ප්‍රධාන ධාරාවේ පුවත්පත් වලින් සමන්විත නියැදියකි.)
මැතිවරණ උණුසුම වැඩිවත්ම අපගේ අධ්‍යයනයට අදාළව, දේශපාලන කරළියේ වැඩි වශයෙන් අවධානය යොමු වුණු සිදුවීම් දෙකක් පසුගිය සතියේ සිදුවිය. ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් තෝරා පත් කරගැනීම සහ වතු සේවකයන්ගේ පඩි වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පසුගිය අගෝස්තු 9 වැනිදා, පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කිරීම එම සිදුවීම දෙකය. මේ සිදුවීම් ද්විත්වය පිළිබඳ ප්‍රගතිය සහ ඒ පිළිබඳ විවිධ සංවාද, විසංවාද, විවේචනවලට බොහෝ පුවත්පත් වල මුල් පිටුවේ සිටම වැඩි ඉඩක් ලබා දී තිබුණි.
දෙමළ ‘පොදු අපේක්ෂකයා’
දෙමළ පක්ෂ හතක් සහ සිවිල් සංවිධාන හතක් විසින් ගොඩනැගූ සංධානයක් විසින් දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් බව ප්‍රකාශ කිරීම
දෙමළ පක්ෂ හතක් සහ සිවිල් සංවිධාන හතක් විසින් ගොඩනගා ගන්නා ලද සංධානයක් විසින් දෙමළ පොදු අපේක්ෂකයාලෙස ඉදිරිපත්වන්නේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් බව අගෝස්තු 8 වැනිදා, ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එම සිදුවීම, ඊට පසුදින ඩේලි මිරර් (අගෝස්තු 09) පුවත්පතේ හැර අප අධ්‍යයනය කළ අනෙක් සියලුම සිංහල දෙමළ ඉංග්‍රිසි පුවත්පත් වල මුල් පිටුවල පළ වී තිබුණි. මෙහිදී අප කළ සිත්ගන්නා සුළු නිරීක්ෂණයක් වන්නේ, එම මුලික නිවේදනයට අදාළ පුවත වාර්තාකිරීමේ දි සිංහල පුවත්පත් වලට වඩා බහුතරයක් ඉංග්‍රිසි පුවත්පත් එම සිදුවීම, විස්තරාත්මකව මෙන්ම ඡායාරූප සහිතව වැඩි විචිත්‍රබවකින් යුක්තව ඉදිරිපත් කර තිබිමය. සිලෝන් ටුඩේ, දි අයිලන්ඩ්, ඩේලි නිව්ස්, සන්ඩේ ටයිම්ස් වැනි ඉංග්‍රීසි පුවත්පත් එයට හොඳම උදාහරණය.
දෙමළ ජනතාවට වෙන්වුණු අපේක්ෂයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධව, උතුරේත් දකුණේත් මුල සිටම විවිධ පාර්ශවයන් විසින් එයට පක්ෂව මෙන්ම විපක්ෂව විවිධ අදහස් මතුකරමින් තිබුණි. දෙමළ අපේක්ෂකයා නියත වශයෙන්ම ප්‍රකාශයට පත්වීමෙන් පසු එම තත්වය පුවත්පත් වාර්තාකරණය තුළ වඩාත් තීව්ර වූවා සේය. මේ බව වඩාත් ප්‍රකට වූයේ දෙමළ පුවත්පත් තුළය. දෙමළ පුවත්පත්වලට සාපේක්ෂව අඩු තීව්රතාවයකින් යුතුව දෙමළ අපේක්ෂකයා පිළිබඳව, විශේෂයෙන් විපක්ෂව නැගෙන අදහස් සිංහල පුවත්පත්වල පළ වි තිබුණු අතර, ඉංග්‍රීසි පුවත්පත්වල මේ කාලය තුළ පොදු අපේක්ෂකයා පිළිබඳව පක්ෂ හෝ විපක්ෂව මත එතරම් පළ වී තිබුනේ නැත.
අගෝස්තු 9වැනි දා දෙමළ පොදු අපේක්ෂකයා කවුරුන් ද යන්න පිළිබඳ සැළවීමෙන් පසු ගතවුණු දින කිහිපයේ දෙමළ පුවත්පත්පළ වල ඒ පිළිබඳ සාපේක්ෂව වැඩි වශයෙන් වාර්තා වීම දක්නට ලැබුණි. එහි දී එම තීරණයට පක්ෂව දැක්වුණු අදහස්වලට වඩා බහුලව දක්නට ලැබුනේ තරමක් දුරට එයට බාධා පමුණුවන ගණයේ පුවත් වාර්තාය.
අගෝස්තු 9 වැනි දා තිනකරන් පුවත්පතේ පළ වූ පුවත
අගෝස්තු 9 වැනි දා තිනකරන් පුවත්පතේ පළමු පිටුවේ දැක්වෙන පරිදි, දෙමළ අපේක්ෂකයෙකු පත් කිරීම නිෂ්පල බවත්, එය දෙමළ ප්‍රශ්නය දුර්වල කරන බවත්, එසේම ජනාධිපතිවරණයේදී දෙමළ අපේක්ෂකයෙක් පත් කිරීම අමනෝඥ තීරණයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසා තිබුණි.
අගෝස්තු 10 වැනි දා ඊළනාඩු පුවත්පතේ 5 වැනි පිටුවේ සහ 12 වැනිදා කලෙයිමුරුසු පුවත්පතේ පළමු පිටුවේ දැක්වෙන පරිදි, තමිල් අරසු කච්චි පක්ෂයේ (ITAK) මධ්‍යම කාරක සභිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනේත්‍රන්, පක්ෂය දැනුවත් කිරීමකින් තොරව දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇත. අරියනේත්‍රන් විසින් ඒ පිළිබඳ සාධාරණ පැහැදිලි කිරීමක් ලබාදෙන තුරු පක්ෂයේ කිසිදු රැස්වීමකට හෝ හමුවකට ආරාධනා නොකිරීමට තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කර ඇති බව අගෝස්තු මස 12 වැනිදා කලෙයිමුරුසු පුවත්පතේ පළමු පිටුවේ වාර්තා කර තිබුණි.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් විසින්, දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ඉතා දැඩි ලෙස විවේචනය කරනවා පමණක් නොව දෙමළ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ පල විපාක පිළිබඳව කරන අනතුරු ඇඟවිමක් ද සහිත වාර්තාවක් දිනමුරසු වාර මලර් පුවත්පතේ දෙවැනි පිටුවේ පළ වී තිබුණේය. එම වාර්තාවේ දැක්වෙන පරිදි, දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණු පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් එම තනතුර සඳහා දුර්වල පුද්ගලයෙකු බව සඳහන් කරමින් මනෝ ගනේෂන් දැඩි විවේචනයක් මතු කොට ඇත.


සිංහල පුවත්පත් අතරින් ලංකාදීපයේ අගෝස්තු මස 9 වැනි දා මත පළ කෙරෙන ලිපි දෙකක් මඟින් උතුරු නැඟෙනහිර දේශපාලකයන් විසින් දෙමළ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරිම සියුම් ලෙස විවේචනය කර තිබුණි. එහි එක් ලිපියක් අගෝස්තු 9 වැනිදා, ලංකාදීප මැතිවරණ අතිරේකයේ පළ වී තිබුණු අතර එය අගෝස්තු 4 වැනි දා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ ඉංග්‍රීසි ලිපියේ සෘජු පරිවර්තනයකි. එහි මූලිකම අරමුණ වී තිබුනේ දෙමළ පක්ෂ, මත කීපයක් ඔස්සේ බෙදී ක්‍රියාකරන බවත්, දෙමළ පොදු අපේක්ෂකයක් ඉදිරිපත් කිරීම කිසිදු ප්‍රතිපලදායක ක්‍රියාවක් නොවන බවත් ඇඟවීමය.
අනෙක් ලිපිය ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පිටු අතරේ අවසන් පිටුවක පළ වී තිබුණු, යම් තරමක උපහාසාත්මක භාෂා විලාසයකියන් ලියන ලද තීරු ලිපියක් වූ අතර එය ආමන්ත්‍රණය කොට තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී සි.වී විග්‍නේෂ්වරන් වෙතය. එම ලිපිය ලියා ඇති ලියුම්කරුට අනුව දෙමළ නියෝජනය පෙන්වීම ඉලක්කමක් පමණි, ඒ නිසා ඉන් දෙමළ ජනයා වෙත ලැබෙන්නේ මොනවා ද යන්න නැවත සිතා බැලිය යුතුය. එසේම ඔහු පවසන්නේ උතුර දකුණ බෙදී සිටියා දැන් හොඳටම ඇතිය, ‘රට ගැන සිතා’ සියල්ලෝම එක්විය යුතු බවකි. මෙවර දෙවැනි මනාපයක් ගැනද කතා බහක් ඇතිවී තිබෙන නිසා ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව විසින් ‘මනාව තේරුම් ගත යුතු’ වගකීමක් පිළිබඳව ඔහු යෝජනා කරයි. එහෙත් සිංහලෙන් ලියන ලේඛක තෙමේ සිංහලයා ‘මනාව තේරුම් ගත යුතු’ වගකීම ගැන ලියා නැත.

දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත්වීම ලාංකීය දේශපාලන ඉතිහාසයේ වැදගත් සිදුවීමකි. ඉංග්‍රිසි පුවත්පත්වල එම සිදුවීම විචිත්‍රව විස්තරාත්මකව පළ වන්නේ ඒ නිසාය. දෙමළ පුවත්පත් වල ද එම සිදුවීමට වැඩි අවකාශයක් ලැබෙන්නේ ඒ නිසාය. දකුණේ සිංහල පුවත්පත් වලට ද එය වැදගත් සිදුවීමකි, ඒ නිසා බොහෝ පුවත්පත් වල මුල් පිටුවේ එම පුවත වාර්තා කර තිබුණ ද, එය දකුණේ බහුතරයක් දේශපාලන පක්ෂ වලට, ප්‍රීතිජනක කාරණයක් නම් නොවේ. බුරුතු පිටින් පොරොන්දු දෙමින්, මැතිවරණ සමයට දෙමළ ඡන්ද කුට්ටිය මතින් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට උත්සාහ කරන දකුණේ දේශපාලකයන්ට මෙය සැබවින්ම මරු පහරක් වැදුනා හා සමානය. ඒ ඒ පක්ෂවලට සහය දක්වන පුවත්පත්, විශේෂයෙන් සිංහල පුවත්පත් එම සිදුවීමට සාපේක්ෂව වැඩි අවකාශයක් ලබා නොදෙන අතරවාරයේ එය විවේචනය කිරීමටත්, එම ව්‍යාපාරය අධෛර්යමත් කිරීමට තුඩු දෙන වාර්තා පළ කරන්නටත් පෙළඹෙන්නේ ඒ නිසා බව පෙනෙයි.
වතු සේවකයන්ගේ පඩි වැඩි වීම
ඩේලි නිව්ස් පුවත්පතේ පළමු වාර්තාව
අගෝස්තු මස 9 වැනි දා, අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවේ දී, වතු සේවකයන්ගේ දෛනික පඩිය 1700 ක් දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කරන ලදැයි පැවසූ බව අගෝස්තු මස 10 වැනි දා දිනමිණ පුවත්පතේ පළමු පිටුවේ පුවතක් ලෙස වාර්තා වී තිබුණි. වෙන කිසිදු පුවත්පතක එදින එම පුවත පළ වී තිබුනේ නැත. ඉන් අනතුරුව අගෝස්තු මස 11 වැනි දා, එනම් සති අන්තයේ රාජ්‍ය පාලිත සිළුමිණ සහ සන්ඩේ ඔබ්සර්වර් යන පුවත්පත් දෙකෙහි, වතු සේවකයන්ට පඩි වැඩි කිරීමේ ප්‍රගතියට අදාළ පුවත් පළමු පිටුවේම වාර්තා වී තිබුණි. එම පුවත් වාර්තා දෙකෙහි දී ම ප්‍රමුඛතාව ලබා දී තිබුණේ වතු සේවකයන්ගේ පඩි වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත් වීමත්, ඒ සඳහා ඔහු ගෙන ඇති පියවරත් විස්තර කිරීම සඳහාය.
එසේම අගෝස්තු මස 12 වැනි දින ඩේලි නිව්ස් පුවත්පතේ පළමු පිටුවේ විශාල ඉඩක පළ වූ වාර්තාවකින් දැක්වූයේ, ඉතිහාසයේ පළමු වරට වතුකරයේ ජනතාවට ලැයිම් කාමර වෙනුවට, ඔවුනට ඉඩම් අයිතිය ලබා දී, ප්‍රජා පහසුකම් සහිත ගම්මානයක ජීවත් විමේ අවස්ථාව ලබා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දෙන ලෙද පොරොන්දුවක් පිළිබඳව ය.
අගෝස්තු 9 වැනි දා වතුකරයේ ජනතාවගේ පඩි වැඩි කිරීම පිළිබඳ තීරණය ප්‍රකාශ වීමත් සමඟ එළැඹුනු දින දෙක පුරා, ප්‍රධාන කොටම එම පුවත ජනතාව අතරට රැගෙන ගියේ රජයේ පුවත්පත් මඟින් පමණක් වීම විශේෂයෙන් නිරීක්ෂණය කළ කාරණයක් විය. පුද්ගලික සමාගම් මඟින් ප්‍රකාශයට පත් කරන පුවත්පත් වල එම පඩි වැඩි විම පිළිබඳව වාර්තා පළ වී තිබුනේ අගෝස්තු 12 වැනි වන විටය. එපමණකින් නොනැවති එම පුවත්පත් වල ඉහත කී සිදුවීම පිළිබඳ විරෝධාකල්ප දැක්වෙන පුවත් ද පළ වී තිබෙනු දක්නට හැකි විය. එවැනි ආකාරයේ විරෝධතා පුවත් කිසිවක් මුලින් සඳහන් කළ රජයේ පුවත්පත් වල පළවි තිබුනේ නැත.
අගෝස්තු මස 11 වැනිදා, කාලෙයිමුරසු පුවත්පතේ පුවත
අගෝස්තු මස 11 වැනිදා, කාලෙයිමුරසු පුවත්පතේ 24 වැනි පිටුවේ ‘වතු කම්කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් බොරු පොරොන්දු දුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඉදිරි මැතිවරණවලදී ජනතාව විසින් නිසි පිළිතුරක් දෙනු ඇත’ යන සිරස්තලය යටතේ පුවතක් වාර්තා වී තිබුණි. එම සිරස්තලයේ දැක්වෙන පාඨය පවසා තිබුනේ ජාතික කම්කරු සංගමයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් විසින් හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. වතුකම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබා දෙන බව ජනාධිපතිවරයා සහ අමාත්‍ය මනූෂ නානායක්කාර පුරසාරම් දොඩන නමුත්, වැටුප් වැඩිවීමක් තවමත් සිදුවී නැති බවත්, ඔවුන් දෙදෙනාම බොරුකාරයන් බවත් දිගම්බරන් පැවසූ යැයි එම වාර්තාවේ සඳහන් වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැකිනම් වතුකරයේ දෙමළ ඡන්ද ලබාගෙන පෙන්වන්නැයි, දිගම්බරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන අභියෝගයක් ද සහිතව, එම පුවතම අගෝස්තු 12 වැනි දා සිලොන් ටුඩේ පුවත්පතේ පළමු පිටුවේම ඡායාරූප සහිතව සවිස්තරාත්මක වාර්තාවක් ලෙස පළ වී තිබුණි. එසේම අරුණ පුවත්පත ද දිගම්බරන් ගේ එම ප්‍රකාශය රැගත් පුවත ඡායාරූප සහිතව, පළමු පිටුවේ වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත්, එම ප්‍රකාශන ආයතනයෙන්ම පලකෙරෙන, ද මෝර්නින් පුවත්පතේ, අගෝස්තු 12 වැනි දා මුල් පිටුවේ පළ වී තිබුනේ තරමක වෙනස් ආකාරයක පුවතකි. එහි සඳහන් වූයේ වතු සමාගම් කිහිපයක් වතු සේවකයන්ගේ දෛනික වැටුප 1700 ක් දක්වා වැඩි කිරීමට එකඟ වූ බවට වාර්තා පළවන නමුත්, වතු සේවක වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ එවැන්නක් සිදුවන ආකාරය පිළිබඳ විශේෂ තොරතුරු ඔවුන් වෙත ලැබී නොමැති බවයි. පඩි වැඩි වීම ක්‍රියාවට නගන්නේ කෙසේද යන්න ඔවුන් සාකච්ඡා කිරීම අතිශය වැදගත් බවත්, මේ ආකාරයෙන් හෝ පඩි වැඩි වීම හොඳ දෙයක් නමුත්, ජිවන වියදම සැලකූ විට මීට වඩා වැඩි පඩියක් වතු සේවයකයන්ට ලැබිය යුතු බව ද එම එකමුතුව වැඩි දුරටත් පවසා තිබුණි.
අගොස්තු 12 වැනිදා මව්බිම පුවත්පතේ පුවත
අගොස්තු 12 වැනිදා මව්බිම පුවත්පතේ ‘වසර 200ක ඉතිහසායේ අපේ වතු ප්‍රජාවට ලැබුණේ පුරවැසිභාවය විතරයි’ යන සිරස්තලය යටතේ පිටුවේ වැඩි ඉඩක් පුරා ‘වැවිලි ප්‍රජාව අභිමානවත් පුරවැසිභාවයක් කරා’ යන මැයෙන් පවත්වන ලද මාධ්‍ය හමුවක දී, මහනුවර රදගුරු වැලන්සි මෙන්ඩිස් පියතුමා දැක්වූ අදහස් පිළිබඳ විස්තරයක් දක්වා තිබුණි. එම වාර්තාවේ එතුමා පැවසී යැයි දිගින් දිගටම සඳහන් කොට තිබුනේ, වතු ප්‍රජාවට සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස සම්බන්ධ ගැටළු රාශියක් ඇති නමුත් ඒවා විසඳෙන්නේ ඉතා සෙමින් බවත්, දේශපානඥයන් විසින් ඔවුන්ව අතකොළු ලෙස පාවිච්චි කිරීම පෙනෙන්නට තියෙන බවත් ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම වතුකරයේ ජනතාව පිළිබඳව, වතුසේවක වැටුප් පිළිබඳව ඇති ගැටළු කඩිමුඩියේ විසඳීමට උත්සාහ කරන්නේ හෝ ඒ වගක් අඟවන්නේ සහ ඒ පිළිබඳ වැඩි ප්‍රචාරයක් රජයේ පුවත්පත් විසින් ලබාදෙන්නේ ඇයි දැයි යන්න මේ රටේ දේශපාලනය පිළිබඳව සබුද්ධික ඕනෑම පුරවැසියෙකුට වැටහීයන කාරණයකි. එහෙත් වතුකරයේ ජනතාව පිළිබඳව, මැතිවරණයක් අබියස මේ කලබලයේ මතු වී ඇති ආණ්ඩුවේ අනුකම්පාවේ අර්ථය කුමක් ද, සැබවින්ම එම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සැබෑ ලෙස ඔවුන් කුමන පියවර ගෙන ඇත්තේ ද යන්න වැටහී යන්නේ විරුද්ධ පාර්ශවයේ හෝ සැබෑවටම එම ජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් ඒ පිළිබඳව කරන මැදිහත්වීම් දැක්වෙන පුවත් වාර්තා පරිශීලනයේ කිරීමේදී පමණි.
දෙමළ මාධ්‍ය දැන සිටි නාමල් හැරවුම සහ දකුණේ පුවත් සැඟවුම
තිනකරන් පුවත්පතේ වාර්තාව
නාමල් රාජපක්ෂගේ දේශපාලන හැරවුම් ලක්ෂයක් පිළිබඳව මැතිවරණ කතාබහ ආරම්භයේ සිටම වටින් ගොඩින් ආරංචි මාත්‍ර පැමිණියේ දකුණේ සිංහල හෝ ඉංග්‍රිසි පුවත්පත් හරහා නොව දෙමළ පුවත්පත් මාර්ගයෙන් පමණක් වීම ඉතා සිත්ගන්නා සුළු කාරණයකි. එය වඩා පැහැදිලි කරගැනීමට මෙම ලිපියට පදනම් වෙන කාලරාමුවෙන් මඳක් ආපස්සට ගොස් කරුණු විමසුවහොත්, අගෝස්තු මස 3 වැනි දින තිනකරන් පුවත්පතේ මුල් පිටුවේ නාමල් රාජපක්ෂ පැවසී යැයි සඳහන් වන කුතුහලය දනවන විස්තරයක් සහිත වාර්තාවක් මුල් පිටුවේ පළ වි තිබුණි.
එහි සඳහන් වී තිබුනේ පොදු ජන පෙරමුණ, උතුරේ දෙමළ තරුණයන් සමඟ සමීපව කටයුතු කරන අතර උතුරු නැගෙනහිර දෙමළ තරුණ නියෝජනය වැඩි කිරීමට ඔවුන් ක්‍රියා කරමින් සිටින බව නාමල් රාජපක්ෂ පැවසූ බවය. එසේම එවැනි තරුණයන් කෙදිනක හෝ රටේ ජනාධිපති හෝ අගමැති ධූරය දැරිය යුතු බව ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ යැයි එම වාර්තාවේ සඳහන් වී තිබුණි. එහෙත් එම පුවත් වාර්තාව තුළ නාමල් රාජපක්ෂ එම ප්‍රකාශය සිදු කළ මාධ්‍ය සාකච්ඡාව කුමක් ද යන්න සඳහන් වී තිබුණේ නැත. එසේම මෙය කිසියම් දේශපාලකයකු විසින් කළ, බහුතර අවධානයට ලක් විය හැකි ආකාරයේ අදහසක් වුවත් එවැනි ප්‍රකාශයක් සහිත පුවත් වාර්තාවක් අප අධ්‍යයනය කළ වෙනත් කිසිදු දෙමළ, සිංහල, ඉංග්‍රීසි පුවත්පතක ඒ දිනවල පළ වී තිබුණේ නැත.
ඉන්අනතුරුව අගෝස්තු මස 8 වැනිදා, කාලෙයිකදීර් පුවත්පතේ හතරවැනි පිටුවේ, නාමල් රාජපක්ෂගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සිතිය හැකි අදහස් දැක්වීමක්, මත දැක්වීමේ ලිපියක සඳහන් වී තිබුණි. එම ලිපියේ අදහස් දැක්වීම සංක්ෂිප්තව දැක්වුවහොත් මෙසේය : නාමල් රාජපක්ෂ විසින් දෙමළ තරුණ තරුණියන්ගේ සහය අපේක්ෂා කිරීමේ කිසිදු වරදක් නැත. එහෙත් යුක්තිය සාධාරණත්වය පතන දෙමළ තරුණ පිරිසට ඔහු හා පහසුවෙන් පෙළ ගැසිය නොහැක.
නාමල් රාජපක්ෂ, ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බව පැවසූ තම පියාගේ මාවතේ ගමන් කළහොත් දෙමළ තරුණ තරුණියන්ගේ සහය ඔහුට නොලැබෙනු ඇත. එම නිසා ඔහු, මේ රට සියලු මිනිසුන්ට සමාන සහ සාමකාමි ස්ථානයක් බවට පත් කිරිමට අඩිතාලම දැමිය යුතුය. එමනිසා දෙමළ ජාතිකයෙක් අගමැති සහ ජනාධිපති විය යුතුය යන්න පැවසීම පමණක් එකම විසඳුම නොවන බව නාමල් තේරුම් ගත යුතුය. එවැන්නක් සිදුවීමට නම් අවබෝධය, සම්මුතිය, සමාන අවස්ථා අවශ්‍ය බව අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කළ යුතුය.
නාමල් රාජපක්ෂ සහ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් අතර සිදු වූ සාකච්ඡාව
ඉන්පසු අපගේ නිශ්චිත කාල රාමුවට නැවත පැමිණෙන්නේ නම්, අගොස්තු 11 වැනි දා ඊළනාඩු සහ කාලෙයිකදිර් පුවත්පත්වල වාර්තා දෙකක් පළ වී තිබුණි. ඒ වාර්තා ද්විත්වයම පදනම් වී තිබුණේ නාමල් රාජපක්ෂ සහ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් අතර සිදු වූ සාකච්ඡාවක් පිළිබඳවය. ඊළනාඩු පුවත්පතේ පළමු පිටුවේ දක්වා තිබුනේ එම සාකච්ඡාවේදි උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලුවලටත්, දිස්ත්‍රික්ක වල සංවර්ධනයටත් විසඳුම් ලබා දෙන බවට නාමල් රාජපක්ෂ සහතික වූ බවය. එසේම කාලෙයිකදිර් පුවත්පතේ පළමු පිටුවේ පළ වූ වාර්තාවක සඳහන්කොට තිබුණේ, යහපාලන රජය සමයේ යෝජනා කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කිරීමට තමා සූදානම් බවත්, ඔහු ඒ සම්බන්ධව අඛණ්ඩව ක්‍රියා කිරීමෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට ප්‍රගතිශීලී විසඳුමක් ලබා ගත හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසු බවයි.
දකුණේ සියලු පුවත්පත් වලින් වසන් වුණු, මේ ආකාරයේ සංවාදයක්, නාමල් රාජපක්ෂගේ දේශපාලනයේ කිසියම් දිශානතියේ වෙනස්කමක් පිළිබඳ නැඹුරුවක් දෙමළ පුවත්පත් වරින් වර වාර්තා කරයි. පුදුමයට කාරණය නම් ඒ කිසිම පුවතක්, දකුණේ සිංහල හෝ ඉංග්‍රිසි පුවත්පත් වලට වැදගත් පුවතක් නොවීමයි.
සැබවින්ම නාමල් රාජපක්ෂ වැන්නෙකු දෙමළ තරුණ තරුණියන් සමඟ දේශපාලනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එය සතුටට කාරණයකි. තම පවුලේ වැඩිහිටි පරම්පරාව මේ භුමිය මත පැළ කළ ආගම්වාදි ජාතිවාදී ශාපයෙන් ගැලවී, සියලු ජනතාවට සම අයිතීන් සමඟ ජිවත්වීමේ රටක් ගොඩ නැඟීමේ හීනය ඔහුට සැබවින්ම ඇත්නම්, ඔහු අවංකවම ක්‍රියාවෙන් පෙන්විය යුතුය. එසේම මේ මැතිවරණ සමයේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනිමට දෙමළ ජනතාව අමතක කර දේශපාලනය කළ නොහැකිය යන්න නාමල් රාජපක්ෂට නොතේරෙනවා නොවේ. එසේම ඔහු දෙමළ ජනයා වෙනුවෙන් හදිසියේ මේ දක්වන සහකම්පනය මුළුමනින්ම දකුණේ පුවත්පත් වලින් වසන් වීමට හේතුව බොහෝ විට ඉදිරියේ දී දේශපාලන කරළියේ දිගහැරෙන සිදුවිම් වලින් අපට තේරුම්ගත හැකි වනු ඇත.
(සටහන : සුභාෂිණී චතුරිකා)
සබැඳි ලිපි:
ආණ්ඩුවේ ඊනියා සමාව ගැනීම සහ සුපුරුදු මැතිවරණ පොරොන්දු මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු



