The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

සමාජ මාධ්‍ය කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය අවදානමට ලක් කරන්නේ කොහොම ද ?

T

The Leader Desk

August 18, 2024 • 5:29 AM

සමාජ මාධ්‍ය කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය අවදානමට ලක් කරන්නේ කොහොම ද ? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'පරිපූර්ණ යෝනියක’ පෙනුම හෝ සුවඳ කෙබඳු විය යුතුද යන්න පිළිබඳව ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් සාකච්ඡාවට ලක් කරමින් පවතී.
  • නාරිවේද වෛද්‍යවරු මෙම නිෂ්පාදනවලට එරෙහිව අනතුරු අඟවා සිටින්නේ ඒවායින් යෝනි මාර්ගයේ pH අගය වෙනස් කර ආසාදන ඇති කළ හැකි වීම හේතුවෙනි.
  • යෝනි මාර්ගයට සහ ලිංගික අවයවවලට ඒවාටම අවේනික සැකැස්මක් ඇති අතර, බාහිරින් එන්නත් කරන ඕනෑම රසායනික ද්‍රව්‍යයකට ඒවායේ ව්‍යුහයට බාධා කළ හැකි බවට නාරිවේද වෛද්‍ය මුජ්දේගුල් සයිෆොලු කරකා අනතුරු අඟවයි.
  • ඉස්තාන්බුල් හි විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක වන අයිලුල් ගුල්සේ කාරා පවසන්නේ සමාජ මාධ්‍ය තුළ කාන්තාවන් මුහුණ දෙන පීඩනයෙන් තමන් වෙහෙසට පත්ව සිටින බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

'පරිපූර්ණ යෝනියක’ පෙනුම හෝ සුවඳ කෙබඳු විය යුතුද යන්න පිළිබඳව ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් සාකච්ඡාවට ලක් කරමින් පවතී.

මිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් නරඹන ලද, මෙම පෝස්ට් සහ වීඩියෝවලින් සමහරක්, කාන්තා ලිංගික අවයවවල සුවඳ සහ පෙනුම වෙනස් කිරීමට භාවිතා කළ හැකි නිෂ්පාදන පවා යෝජනා කරයි. නාරිවේද වෛද්‍යවරු මෙම නිෂ්පාදනවලට එරෙහිව අනතුරු අඟවා සිටින්නේ ඒවායින් යෝනි මාර්ගයේ pH අගය වෙනස් කර ආසාදන ඇති කළ හැකි වීම හේතුවෙනි.

යෝනි මාර්ගයට සහ ලිංගික අවයවවලට ඒවාටම අවේනික සැකැස්මක් ඇති අතර, බාහිරින් එන්නත් කරන ඕනෑම රසායනික ද්‍රව්‍යයකට ඒවායේ ව්‍යුහයට බාධා කළ හැකි බවට නාරිවේද වෛද්‍ය මුජ්දේගුල් සයිෆොලු කරකා අනතුරු අඟවයි.

" ‘යෝනී සඳහා වූ සුවඳ විලවුන්’ ගැන මම මුලින්ම ඇහුවාම මට බය හිතුණා...යෝනි මාර්ගයට විතරද? පුරුෂ ලිංගයට සුවඳ විලවුන් නැද්ද?” ඇය විමසයි.

ලිංගේන්ද්‍රිය යනු කාන්තාවකගේ හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවයෙන් වෙනස් වූ පුද්ගලයෙකුගේ සියලුම බාහිර ලිංගික අවයව සඳහා යොදන නමයි. යෝනි මාර්ගය යනු සිරුරේ පිටත සිට ගැබ්ගෙල දක්වා දිවෙන මාංශපේශී මාර්ගයකි.

ඉස්තාන්බුල් හි විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවක වන අයිලුල් ගුල්සේ කාරා පවසන්නේ සමාජ මාධ්‍ය තුළ කාන්තාවන් මුහුණ දෙන පීඩනයෙන් තමන් වෙහෙසට පත්ව සිටින බව ය.

“සමාජයේ නිර්ණායකවලට ගැළපෙන විදියට ජීවත් වෙන්න හැමතිස්සෙම අපිට වෙලා තියෙනවා කියලා මට දැනෙනවා" ඇය පවසයි.

"දැන් අපේ යෝනියේ පාට අඳුරු වෙලාද?"

'පරිපූර්ණ යෝනියක් නැහැ'

වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ ‘පරමාදර්ශී’ හෝ ‘පරිපූර්ණ’ යෝනියක් යැයි යමක් නොමැති බව ය.

ලන්ඩනයේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ ලියාපදිංචි වෛද්‍යවරයකු වන බෙරින් ටෙස්කන් පවසන ආකාරයට “සෑම කාන්තාවකටම ආවේණික වූ ලිංගේන්ද්‍රයක් තිබේ."

“කිසිම කාන්තාවකගේ ලිංගේන්ද්‍රය තවත් කාන්තාවකගේ ලිංගේන්ද්‍රයට හැඩයෙන්, ප්‍රමාණයෙන් හෝ වර්ණයෙන් හෝ පෙනුමෙන් සමාන වන්නේ නෑ." "රෝගීන්, ඔවුන්ගේ යෝනි මාර්ගයෙහි යම් අසාමාන්‍ය බවක් තියෙනවා කියලා බයෙන් මං ළඟට ආවම, කිසිම ප්‍රශ්නයක් නෑ, ඒක සම්පූර්ණයෙන්ම සාමාන්‍ය බව එයාලට පැහැදිලි කරලා දුන්නම එයාලගෙන් 90% කටම ඒකෙන්ම සහනයක් දැනෙනවා."

නමුත් සමහර රටවල කාන්තාවන්ට විශ්වාසවන්ත නාරිවේද වෛද්‍යවරයකු හමුවීමේ හැකියාව නොමැත.

 


නමුත් සමහර රටවල කාන්තාවන්ට විශ්වාසවන්ත නාරිවේද වෛද්‍යවරයකු හමුවීමේ හැකියාව නොමැත.

නිදසුනක් වශයෙන්, ඉරානයේ, කාන්තා ලිංගික සෞඛ්‍යය තවමත් ප්‍රසිද්ධියේ කතා නොකෙරන දෙයක් ලෙස පවතියි. එනිසාම ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට කාන්තාවන් දක්වන්නේ ලැජ්ජාවකි.

සමහර සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසන්නේ ඇතැම් වෛද්‍යවරුන් විසින්ම කාන්තාවන් තම ශරීරය පිළිබඳව සුබවාදී නොවන දේ සිතීමට පොළඹවන බවයි.

“මගේ මිතුරියක් ලැබියාප්ලාස්ටි හෙවත් යෝනි තොල් කුඩා කිරීමේ ශල්‍යකර්මයක් කළා. පේන විදියට ඒක ඉතා අපහසු ශල්‍යකර්මයක් නිසා අපි එයාගෙන් ඒක කළේ ඇයි කියලා ඇහුවා.” යනුවෙන්, කළින් ට්විටර් යනුවෙන් හැඳින්වූ, X සමාජ මාධ්‍යයේ සටහනක් පළවී තිබුණි.

"ඇය කියා සිටියේ: 'මගේ නාරිවේද වෛද්‍යවරයා මගෙන් දිගින් දිගටම ඇහුවා මගේ යෝනි තොල් මෙතරම් ලොකු ඇයි? කැත ඇයි කියලා...යොනි විවරය මෙතරම් පළල් ඇයි කියලා? ඒක නිසා තමයි මම ශල්‍යකර්මය කළේ.’’

 

සමහර රටවල කාන්තාවන්ට විශ්වාසවන්ත නාරිවේද වෛද්‍යවරයකු හමුවීමේ හැකියාව නොමැත.

 

ලැබියාප්ලාස්ටි යනු කාන්තා ලිංගික රූපලාවන්‍ය සැත්කම් අතරින් වඩාත් සුලභ සැත්කම වන අතර, එය ලොව පුරා තරුණියන් අතර වේගයෙන් ප්‍රචලිත වෙමින් ඇති රූපලාවන්‍ය සැත්කම් අතුරින් එකකි.

එය යෝනි තොල් ලෙස පොදුවේ හඳුන්වන යෝනි විවරයේ දෙපස ඇති සමේ නැමීම් නැවත සකස් කරන සැත්කමකි.

වයස අවුරුදු 18 ට අඩු ගැහැනු ළමයින් සඳහා මෙම සැත්කම නොකළ යුතු වන්නේ, වැඩිවිය පැමිණීමෙන් පසුවද වැඩිහිටි විය දක්වාම යෝනිය වර්ධනය වීම හේතුවෙනි.

මේ සැත්කම, සනීපාරක්ෂක ගැටළු, ලිංගික සංසර්ගයේදී ඇති වන දුෂ්කරතා හෝ ව්‍යායාම කිරීමේදී අපහසුතාවයන් ඇති කාන්තාවන්ට හෝ විවිධ ලිංගික පුද්ගලයින්ට ප්‍රතිකාරයක් විය හැකිය.

කෙසේ වෙතත්, වැඩි වැඩියෙන් මෙම සැත්කම කෙරෙහි යොමු වන්නේ තම ලිංගේන්ද්‍රියේ පෙනුම ගැන සැළකිලිමත් වන්නන් ය.

ලැබියාප්ලාස්ටිවල වර්ධනයක්

ඕස්ට්‍රේලියාවේ මිලියන භාගයකට වැඩි පිරිසක් මේ වනවිට ලැබියාප්ලාස්ටි සැත්කමක් කර ඇති බව හෝ එය සිදු කිරීම පිළිබඳව සලකා බලා ඇති බව මෑතකදී එළි දැක්වූ වාර්තාවක් පෙන්වා දෙයි.

කාන්තා සෞඛ්‍ය පිළිබඳ වික්ටෝරියා සඟරාවේ ජූනි කලාපයේ ප්‍රකාශයට පත් කරන ලද යෝනි තොල් විවිධත්ව වාර්තාවට වයස අවුරුදු 18 ත් 50 ත් අතර කාන්තාවන් සහ බාහිර යෝනි තොල් සහිත පුද්ගලයින්ගේ 1,030 ක් ඇසුරින් කළ සමීක්ෂණයක දත්ත ඇතුළත් විය.

"අසභ්‍ය වීඩියෝ සහ සමාජ මාධ්‍යවල කාන්තාවකගේ යෝනිය කෙබඳු විය යුතු ද යන්න පිළිබඳ විකෘති කතිකාවක් ඇතිකර තිබෙනවා. එම රූප සහ වීඩියෝ නිසා වැරදි වැටහීම් ඇතිකර ගැනීම, යෝනි සැත්කම් කරන හෝ ඒවා කිරීම ගැන සලකා බලන පුද්ගලයින් වැඩි වීමට හේතු වී තිබෙනවා." යනුවෙන් වාර්තාව හෙළි කළේ ය.

රූපලාවන්‍ය ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ ජාත්‍යන්තර සංගමයට (ISAPS) අනුව, 2019 වසරට සාපේක්ෂව 2023 වසරේදී ලොව පුරා ලැබියාප්ලාස්ටි සැත්කම් සංඛ්‍යාව 14.8% කින් වැඩි වී තිබේ.

ISAPS විසින් සිදු කරන ලද වාර්ෂික ගෝලීය සමීක්ෂණයට අනුව, ලැබියාප්ලාස්ටි සඳහා ප්‍රමුඛතම රට බ්‍රසීලයයි. එරට 28,000 කට අධික පිරිසක් මෙම සැත්කමට යොමු වී තිබේ.

“බ්‍රසීලියානු කාන්තාවන් ඔවුන්ගේ පෙනුම ගැන දැඩි උනන්දුවක් දක්වනවා. ඔවුන් ප්ලාස්ටික් සැත්කම් සඳහා සංස්කෘතිකමය වශයෙන් වැඩි නැඹුරුවක් දක්වනවා.” යි 

ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ බ්‍රසීලියානු සංගමයේ සාමාජික ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය රෙනාටා මාගල්හේස් පවසයි.

 

vag2

27 හැවිරිදි බ්‍රසීලයේ කායවර්ධන මලල ක්‍රීඩිකාවක් වන වැල් සැන්ටානා පැවසුවේ මෙම ක්‍රියා පටිපාටිය ඇයගේ ආත්ම විශ්වාසය සහ ජීවන තත්ත්වය වැඩි දියුණු කළ බවයි

 

27 හැවිරිදි බ්‍රසීලයේ කායවර්ධන මලල ක්‍රීඩිකාවක් වන වැල් සැන්ටානා පසුගිය වසරේදී ලැබියාප්ලාස්ටි සැත්කම කිරීමට තීරණය කළාය.

“මෙම ශල්‍යකර්මය සිදු කිරීමට තීරණය කළේ මීට වසර හයකට කලින් මම කාය වර්ධනය සහ ඇනබලික් ස්ටෙරොයිඩ් භාවිතා කිරීම ආරම්භ කිරීමෙන් පසුවයි." ඇය BBC බ්‍රසීල සේවයට පැවසුවා ය.

"බෝල්ඩෙනෝන් සහ ඔක්සැන්ඩ්‍රොලෝන් වැනි ඖෂධ භාවිතා කිරීමේ එක් අතුරු ආබාධයක් විදියට මගේ ක්ලිටෝරිස් එක විශාල වීම සිදු වුණා."

ඇයගේ මූලික අවධානය යොමු වූයේ ලිංගික සංසර්ගයේදී ඇයට කෙතරම් ස්වයං දැනීමක් ලැබුණේ ද යන්න පිළිබඳව ය.

ඇයගේ ශල්‍යකර්මය පිළිබඳව සමාජ මාධ්‍ය වේදිකාවක් වන Instagram හි සිය අත්දැකීම බෙදා ගනිමින් සැන්ටානා පැවසුවේ මෙම ක්‍රියා පටිපාටිය ඇයගේ ආත්ම විශ්වාසය සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කළ බවයි.

අවදානම් රැසක්


එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) උපදෙස් දෙන්නේ ලැබියාප්ලාස්ටි සිදු කිරීමට පෙර, යමෙකු ඒ පිළිබඳව හොඳින් සිතා බැලිය යුතු බවයි.

“එය අවදානම් ගණනාවක් ඇති මිල අධික සැත්කමකි. එහෙත් එයින් ඔබ බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ඔබට ලැබෙනු ඇති බවට සහතිකයක් නැහැ, එයින් ඔබේ ශරීරය ගැන ඔබට හොඳ හැඟීමක් ඇති කරනු ඇතැයි යන්න ද සහතික කළ නොහැකියි” NHS පවසයි.

ලැබියාප්ලාස්ටි නිසා ඉඳහිට ලේ ගැලීම, ආසාදනය, පටක කැළැල් ඇතිවීම, ලිංගික අවයවවල සංවේදීතාව අඩු වීම වැනි ආබාධ ඇති විය හැක. ඕනෑම ආකාරයක ශල්‍යකර්මයක් මගින් නහරයක රුධිර කැටි ගැසීමේ හෝ නිර්වින්දනයට අසාත්මිකතා ඇතිවීමේ කුඩා අවදානමක් තිබේ.

“සමහර කාන්තාවන්ට ලේබියාප්ලාස්ටි කිරීමට අවශ්‍ය වන්නේ ඔවුන් තම යෝනි තොල්වල පෙනුමට අකමැති නිසාය. නමුත් ඔබේ යෝනි විවරය වටා ඇති සමේ නැමීම් කැපී පෙනෙන ලෙස තිබීම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්,” NHS පවසයි.

vag3

නාරිවේද වෛද්‍යවරුන් පවසන්නේ කාන්තාවන් තම ලිංගේන්ද්‍රිය ගැන වැඩි විස්තර දැනගෙන, තමන්ගේම ශරීරය සමඟ සාමයෙන් විසීමට පුරුදු විය යුතු බව ය

 

නාරිවේද වෛද්‍ය මුජ්දේගුල් සයිෆොලු කරකා පෙන්වා දෙන්නේ ඕනෑම ශල්‍යකර්මයක් කිරීමට තීරණය කිරීමට පෙර,කාන්තාවන් තම ලිංගේන්ද්‍රිය ගැන වැඩි විස්තර දැනගෙන, තමන්ගේම ශරීරය සමඟ සාමයෙන් විසීමට පුරුදු විය යුතු බවයි.

විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක වන අයිලුල් ගුල්සේ කාරා එයට එකඟ වේ.

“කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය පිළිබඳ දැනුම වැඩි කිරීමට අපට සමාජ මාධ්‍ය භාවිතා කිරීමට සිදුවනවා. ශල්‍යකර්ම හෝ ක්‍රීම් ප්‍රවර්ධනය කරමින් කාන්තාවන් මත ඇති කරවන පීඩනයට එරෙහිව අපි දැනුවත් කිරීම් සිදු කළ යුතුයි" ඇය පවසයි.

(ඔස්ගේස් ඔස්ඩෙමියර්)
බීබීසී තුර්කි පුවත් සේවය

අතිරේක වාර්තාකරණය :

BBC බ්‍රසීල පුවත් වාර්තාකාරිනී ජූලියා ග්‍රාන්චි විසිනි.

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...