එය ලියුවේ නම් පොඩි එකකු නොව, ප්‍රකට කාටූන් ශිල්පියකු වූ හෙන්රි තෙන්නකෝන්ය. ඔහුගෙන් පසුව, පියල් සමරවීර ද එය රසවත්ව ඉදිරියට ගෙන ගියේය.
පොඩි එකකු දකින ආකාරයෙන් ලියුවද, එය මහ එකකුටවත් ලිවිය නොහැකි අන්දමේ, උපහාසයෙන් පිරි තීරු ලිපියකි.

මේ එම ලිපියකින් උපුටාගත් කොටසකි.
“ගෑනුයි, බීමයි, සිංදුවයි තියෙනව නම් වෙන මුකුත් ඕන නෑ කියල, කයියං කියන පිටරට කයියෙක් කියාපු එකක්, දවසක් තාත්තා වර්ණනා කළාය. ඒක ඔයිට වඩා ලස්සනට තියෙනවයි කියල, එතකොට මාමා ගුත්තිල පොත අරන්, “අම රඟනන් රුවට – මා හැඟි අමා රසයට – ඒ ඇදුරු වෙන නදට – මෙලොව කවරෙක් නොවන්නෙද තුට” කියන කවිය කිවුවාය. ඒ වුණාට ඒක තාත්තාගේ ගුරුවරයෙක්වත්, ගෝලයෙක්වත්, යාළුවෙක්වත් ලියපු එකක් නෙවෙයි හින්දා, තාත්තා ඒක පල් කීවාය. අපේ තාත්තා විශ්වවිද්‍යාල කථිකාචාර්ය කෙනෙක්මි...”
එම ‘ලියුම’ අවසන් කරන්නේ මෙලෙසිනි.
“තාත්තාට ව්‍යාකරණ බෑය. ඒ හින්දා මම රචනාවල් ලිව්වාම, තාත්තාට කියල ලියාගෙන ආවා කියලා මිස් මට බණිති. තාත්තාට ‘ඇ’ කාරයත් පේන්න බැරිය. ඒ හින්දා අපේ ගෙදර වැඩට හිටිය මැයි නෝනගෙ නමේ ඇ කාරේ අයින් කරල, තාත්තා දවසක් කතා කළාය. කියල, මැයි නෝනා පහුවදාම ගමට ගියේය.”
කිසිදා අමතක නොවන, ‘පොඩි එකාගේ ලියුම’ කලකට පසු, නැවත මතකයට ආවේ, සමාජ ජාලයෙන් දුටු, තවත් පොඩි එකකුගේ ලියමනක් නිසාය.
“පුතා ලොකු වෙලා මොකද කරන්නේ” යනු, කුඩා අයගෙන් අහන ප්‍රශ්නයකි. එයට උත්තර වශයෙන්, “ඩොක්ටර් කෙනෙක් වෙනවා, ටීචර් කෙනෙක් වෙනවා, බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා” වැනි පිළිතුරු ලැබේ. කිසිම ළමයෙක්, අනාගතයේ දී මන්ත්‍රී කෙනෙක් වෙනවා යැයි නම් කියන්නේ නැත. ඉඳහිට, පොඩි එකෙක් “මං ජනාධිපති වෙනවා” යැයි කියුවත්, ඒ නොදන්නාකමටය. සිරි ලංකාවේ ජනාධිපති වීමට නම්, ඊට කලින් ඒ ළමයාගේ තාත්තා හෝ අම්මා ජනාධිපතිව සිටිය යුතු බව, ඔහු නොදනියි.
මෑතක දී පොඩි එකකු කියා තිබුණේ, ලොකු වී මහ බැංකුවේ රස්සාවකට යන බවය.
මෑතක දී පොඩි එකකු කියා තිබුණේ, ලොකු වී මහ බැංකුවේ රස්සාවකට යන බවය. තවත් දරුවකු කිව්වේ, ක්‍රිකට් බෝඩ් එකට යන බවය. මේ පිළිතුරුවලින් පෙනී යන්නේ, දැන් හැදෙන එවුන්ට, මහ එවුන්ට වඩා රටේ තත්ත්වය ගැන දැනුම් තේරුම් තිබෙන බවය.
මා මුලින් කියූ පොඩි එකා ද, ‘අකලට පැහුණු’ එකෙකි. 8 ශ්‍රේණියේ දී ඔහු රචනයක් ලියයි. එහි මාතෘකාව ‘මගේ අනාගත බලාපොරොත්තුව’ ය.
“අනාගතයේ දවසක, සොරකු වී මේ රටට සේවය කිරීම මගේ බලාපොරොත්තුවය. සොරකු වීම සඳහා, මහන්සි වී ඉගෙනීම අවශ්‍ය නැත. එසේම, පිටරට විශ්වවිද්‍යාලවල උගත් අය පවා, මේ රටේ දී හොරු බවට පත්ව සිටිති.
දේශපාලනයේ ද හොරු සිටිති. එක් පක්ෂයක අය, තවත් පක්ෂයක අයට, ‘හොරු’ යැයි චෝදනා කරන්නේ ඒ නිසාය.
සොරුන්ට, ජනමාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලැබේ. එ මගින් ඔවුන්ට ගමේ දී කියන, විකට නම්වලට පවා ප්‍රචාරයක් ලැබෙන අතර, මුල් පිටුවේම ඔවුන්ගේ ඡායාරූප ද පළ කෙරේ. රටේ සිටිනා, වැදගත්, උගත්, සම්මානනීය පුද්ගලයන්ට එවැනි ප්‍රසිද්ධියක් ලැබෙන්නේ ඔවුන් මියගිය පසුවය.
දේශපාලනයේ ද හොරු සිටිති. එක් පක්ෂයක අය, තවත් පක්ෂයක අයට, ‘හොරු’ යැයි චෝදනා කරන්නේ ඒ නිසාය. ඒ අනුව බලන කල, පාර්ලිමේන්තුවට පවා හොරුන්ට ඇතුළු විය හැකි අතර, ඒ පිළිබඳව, පොලිසියෙන් සොයා බැලීමක් ද නොකෙරේ. ඒ වෙනුවට ඔවුන්ට, පොලිස් ආරක්ෂාව ද ලැබේ.
සොරුන් නැති වුවහොත්, රටක ආර්ථිකය කඩා වැටේ.
සොරුන් නැති වුවහොත්, රටක ආර්ථිකය කඩා වැටේ. පොලිසිය, බන්ධනාගාරය, උසාවිය වැනි ආයතන රැසක් පවතින්නේ, රටක සොරු සිටින නිසාය. තාප්ප, මුරකාවල් ආදියේ සිට සී.සී.ටී.වී. කැමරා දක්වාම යොදා ගන්නේ, සොරකම් සිදුවන නිසාය. ලැප්ටොප්, ජංගම දුරකථන, ටෙලිවිෂන්, යාන වාහන වැනි දෑ සොරාගත් විට, මිනිස්සු අලුතින් ඒවා මිලදී ගනිති. මේ නිසා, රටක වෙළෙඳ ව්‍යාපාර දියුණුවට ද, සොරකම අවශ්‍යය.
සොරකම, පහසුවෙන් මුදල් ඉපැයිය හැකි, ජීවනෝපාය මාර්ගයකි. සිරි ලංකාවේ සුඛෝපභෝගී ජීවිත ගත කරන බොහෝ දෙනා, කිසියම් ආකාරයකින් සොරකමකට සම්බන්ධය. මේ නිසා, කවදා හෝ දවසක, හොඳ සොරකු වී, මගේ රටට සේවය කිරීම, මගේ එකම අනාගත බලාපොරොත්තුවයි.”
එකම වෘත්තිය, නම් දෙකකින් හඳුන්වන අවස්ථා ද නැත්තේ නොවේ.
මේ ළමයා මෙසේ ලියුවද, කිසිම සොරෙක් ‘මම සොරෙක්’ යැයි, කීමට කැමති නැත. එහෙත් කිසිම දේශපාලනඥයෙක් ‘මම දේශපාලනඥයෙක්’ යැයි කීමට පසුබට වන්නේ නැත. එකම වෘත්තිය, නම් දෙකකින් හඳුන්වන අවස්ථා ද නැත්තේ නොවේ.
(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' - deshaya.lk )




“ගෑනුයි, බීමයි, සිංදුවයි තියෙනව නම් වෙන මුකුත් ඕන නෑ කියල, කයියං කියන පිටරට කයියෙක් කියාපු එකක්, දවසක් තාත්තා වර්ණනා කළාය. ඒක ඔයිට වඩා ලස්සනට තියෙනවයි කියල, එතකොට මාමා ගුත්තිල පොත අරන්, “අම රඟනන් රුවට – මා හැඟි අමා රසයට – ඒ ඇදුරු වෙන නදට – මෙලොව කවරෙක් නොවන්නෙද තුට” කියන කවිය කිවුවාය. ඒ වුණාට ඒක තාත්තාගේ ගුරුවරයෙක්වත්, ගෝලයෙක්වත්, යාළුවෙක්වත් ලියපු එකක් නෙවෙයි හින්දා, තාත්තා ඒක පල් කීවාය. අපේ තාත්තා විශ්වවිද්‍යාල කථිකාචාර්ය කෙනෙක්මි...”