The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

ජනපතිවරණයෙන් පසු සම්මුතිවාදී ආණ්ඩුවක් - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

August 19, 2024 • 5:38 AM

ජනපතිවරණයෙන් පසු සම්මුතිවාදී ආණ්ඩුවක් - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වය පවතින බවට සාක්ෂියකි.
  • මැතිවරණ නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසම පොදුරාජ්‍ය මණ්ඩලීය සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන්ට ආරාධනා කර ඇත.
  • මැතිවරණ පැවැත්වීමට වඩා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම වැනි ප්‍රකාශ තවදුරටත් අසන්නට ලැබෙන්නේ නැත.
  • විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දදායකයන් වෙතින් ඈත්වී සිට අහිමි කරගත් කාලය පිරිමසාගන්නා බවක් පෙනෙන්නට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වය පවතින බවට සාක්ෂියකි. මැතිවරණ නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසම පොදුරාජ්‍ය මණ්ඩලීය සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන්ට ආරාධනා කර ඇත. දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ එක් අපේක්ෂකයකුට හෝ තවකෙකුට කැපවී සිටිති. මැතිවරණ පැවැත්වීමට වඩා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම වැනි ප්‍රකාශ තවදුරටත් අසන්නට ලැබෙන්නේ නැත. ඊට පටහැනිව, මැතිවරණ ව්‍යාපාරය ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන අතර, මැතිවරණවලින් පසු IMF ගිවිසුම සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීම වැනි පොරොන්දු අසන්නට ලැබේ.

විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දදායකයන් වෙතින් ඈත්වී සිට අහිමි කරගත් කාලය පිරිමසාගන්නා බවක් පෙනෙන්නට තිබේ. මැතිවරණ ක්‍රියාවලියට ප්‍රසිද්ධියේ කැප වූ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගෙන් අවසන් පුද්ගලයා වූයේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාදවීම නිසා, ඔහු මැතිවරණය කල්දැමීමට සැලසුම් කර ඇති බවට හෝ, ඔහුට ජයග්‍රහණය කිරීමට ඉඩක් නොමැති බව හැඟේ නම් තරඟයෙන් ඉවත් වීමේ විකල්පය තෝරාගැනීමට ඔහු සැලසුම් කරමින් සිටින බවට අනුමාන කිරීම් පැවැතිණි. ප්‍රධාන තරඟකරුවන් දෙදෙනා වන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට වඩා ජනාධිපතිවරයා පසුගාමී බව මහජන මත විමසුම් මගින් පෙන්වා දී ඇත. නාමල් රාජපක්ෂ සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ධුරාවලියෙන් සහාය ලබාගැනීමට ජනාධිපතිවරයාට නොහැකිවීම ඔහුගේ අපේක්ෂකත්වයට තවත් අභියෝගයක් වනු ඇත.
 
IMG 20240807 WA0002නාමල් රාජපක්ෂ සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ධුරාවලියෙන් සහාය ලබාගැනීමට ජනාධිපතිවරයාට නොහැකිවීම ඔහුගේ අපේක්ෂකත්වයට තවත් අභියෝගයක් වනු ඇත.
 
කෙසේවෙතත්, මෑත කාලීන ජනමත විමසුම්වලින් පෙන්නුම් කෙරෙන්නේ, ජනාධිපතිවරයා තවමත් තුන්වැනි ස්ථානයේ සිටියද, අනෙක් අයව හඹායමින් සිටින බවයි. සමාජ මාධ්‍යවල සිදුකෙරෙන ප්‍රචාරක ව්‍යාපාරයක් මගින්, රට වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීමේ හැකියාව ඇත්තේ, ජනාධිපතිවරයාට පමණක් බව නිරූපණය කෙරෙමින් ඇත. ආර්ථිකය ධනාත්මකව වර්ධන වන බව සංඛ්‍යාලේඛන ඔස්සේ ප්‍රකාශවී ඇති අතර, මෙම පෙරළිය ජනාධිපතිවරයාගේ නිපුණතාවට බැර වේ. උද්ධමනය අඩුවීම සහ විදේශ විනිමය සංචිත ඉහළයෑමත් සමඟ ආර්ථිකය ස්ථාවරවී ඇත. දරිද්‍රතා මට්ටම් කෙරෙහි බලපෑමක් ඇති කිරීම සඳහා මෙය තිරසාරව හා ඉහළ මට්ටමක පැවතිය යුතු වුවද, පසුගිය වසර පුරා ආර්ථික වර්ධනයක් සිදුවිය.

ජාතික ආණ්ඩුව 
 
Bangladesh Protestබංග්ලාදේශයේ විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව ආක්‍රමණය කර ගිනිතබා ඇත.
විශේෂයෙන්ම, නීතිය හා සාමය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ගෞරවය පිරිනමනු ලබන අතර, ඔහු ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව සිදු වූ හානිය සාපේක්ෂව අඩුය. මෙය වර්තමානයේ බංග්ලාදේශයේ පවතින ප්‍රචණ්ඩත්වයට හා අවිනිශ්චිතතාවට හාත්පසින්ම වෙනස් වන අතර එහිදී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව ආක්‍රමණය කර ගිනිතබා ඇත. නරකම දෙය නම්, ප්‍රචණ්ඩත්වය අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, හිටපු පාලක පක්ෂයේ සාමාජිකයන් සමඟ වාර්ගික සහ ආගමික සුළුතරයන් ඉලක්ක කර ගැනීමයි. පිහිටුවා ඇති අන්තර්වාර ආණ්ඩුව ප්‍රධාන වශයෙන් දේශපාලන නොවන නායකයන් සහ සිවිල් සමාජ සාමාජිකයින්ගෙන් සමන්විත වන අතර, ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයන් ද ඊට ඇතුළත් වේ. එය සමනය වන ගැටළුවක් බව පෙනෙන්නට නැත.

තම නායකත්වය යටතේ රජය අත්කර ගෙන ඇති දේ පිළිබඳ තර්ක කර පෙන්වීමට මෙන්ම එය සාධාරණීකරණය කිරීමටද ජනාධිපතිවරයා සිය මැතිවරණ කතාවලදී සමත් වේ. මහජන මත විමසුමේදී ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉහළ යෑමට මෙය හේතුවිය හැක. තවත් වැදගත් සාධකයක් වනුයේ ඔවුන්ගේ පක්ෂ නායකත්වයේ තීරණ නොතකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමේදී ඔහු ලබා ඇති සාර්ථකත්වයයි. පාර්ලිමේන්තුවේ විශාලතම තනි කණ්ඩායම වන ඔවුන්ගෙන් අතිමහත් බහුතරය ජනාධිපතිවරයාට සහාය පළකිරීමට ප්‍රතිඥා දී ඇති බව පෙනේ. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් දැනටමත් ජනාධිපතිවරයා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යෙදීසිටිති.
 


මෑතකදී පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදී තමා විවේචනය කරන අය ඇතුළුව, ඔහුව පුළුල් ලෙස ප්‍රශ්න කෙරුණු පාර්ශ්වයන් රාශියක් ඉදිරිපත් කළ ගැටලුවලට ඔහු කිසිදු පැකිළීමකින් තොරව පිළිතුරැ ලබාදුන්නේය. තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් ජාතික ආණ්ඩුවකට තමන් හා එක්වන ලෙස ප්‍රධාන විරුද්ධවාදීන්ට ආරාධනා කරන බවද ඔහු කියාසිටියේය. 2028 වන විට නැවත ණය ගෙවීමට අවශ්‍ය බැවින්, තමා ජයග්‍රහණය කළහොත් සියලුදෙනා සමඟ එක්ව කටයුතු කරන බවත්, සියලුදෙනාට තමා සමඟ එක්වන ලෙස ආරාධනා කරන බවත් ඔහු පැවැසීය. ජාතික ආණ්ඩුවක් සඳහා වූ මෙම ඉල්ලීම වසර දෙකකට පෙර පාර්ලිමේන්තු ඡන්දයකින් ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් පසු ඔහු කළ ආරාධනය පුනරුච්චාරණය කිරීමකි. 'අරගලය' විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් නීත්‍යානුකූලභාවය අහිමි වූ පාර්ලිමේන්තුවකින් ඔහු ජනාධිපති ලෙස තේරී පත්වූවා සේ සැළකීම නිසා, ඔහුගේ යෝජනාව එකල පිළිගත්තේ නැත. ඊට හාත්පසින්ම වෙනස්ව, මෙවර ජනාධිපතිවරයා මහජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන අතර, ඔවුන්ගෙන් ජනවරමකින් සන්නද්ධ වනු ඇත.
ෆොක්ස් ගිවිසුම

ජනාධිපතිවරණයෙන් පසු පිහිටුවිය යුතු ජාතික ආණ්ඩුවක් පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමට අමතරව ජනාධිපතිවරයා තවත් යෝජනාවක් කළේය. ආණ්ඩු වෙනස්වීම් නොතකා රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථාවර වන පරිදි සියලු ප්‍රධාන අපේක්ෂකයන් මූලික කරුණු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය යුතු බව එයින් කියැවිණි. “අපට අවශ්‍ය වන්නේ තොරතුරු මත වෙනස්වුවද, මූලික මූලධර්මවලට අනුබල දෙන දේශපාලන ක්‍රමයක්. අපේ රටට අවශ්‍ය සහ සියලුදෙනාගේ ආශාව මෙයයි." ජනාධිපතිවරයාට සහ සෑම ජනාධිපති අපේක්ෂකයකුටම ඇති අභියෝගය වන්නේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ තමන් නොවුණත් ජයග්‍රාහකයාට සහාය දැක්වීමට ඇති අකමැත්තයි. 

unnamed 11
“මම දිනුවොත් සජිත්, අනුර, නාමල් එක්ක වැඩකරන්න මම ලෑස්තියි” යනුවෙන් ජනාධිපතිවරයා උපුටා දක්වමින් පුවත්පතක සිරස්තලයක් පළවිය. “මම පැරදුණොත් සජිත්, අනුර, නාමල් එක්ක වැඩකරන්න මම ලෑස්තියි” යන්නද එහි ඇතුළත් විය යුතුය. ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ගැඹුරු එදිරිවාදිකම් සහ ජයග්‍රාහී මානසිකත්වයකින් සමන්විත වේ. ජනාධිපති වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය අතර දැනට පවතින අවබෝධය බිඳවැටීම ඇතුළු ගැටලුවල මෑත ඉතිහාසය, සම්මුතිය සාක්ෂාත් කර ගැනීමේ සහ පවත්වාගෙන යෑමේ දුෂ්කරතා සිහිපත් කිරීමක් ලෙස හඳුනාගත හැකිය. සමහර විට දේශපාලන උපායමාර්ගයක් ලෙස ජනාධිපති වික්‍රමසිංහ විසින් යෝජනා කරන ලද සම්මුතිවාදී පාලනයක් සඳහා සියලු දේශපාලන නායකයන්ගෙන් සංවාදයකට සහ සම්මුතියකට කැපවීම මෙන්ම, සම්මුති පාලනයකට සහාය වීම සඳහා ආයතනික යාන්ත්‍රණයන් පිහිටුවීමද අවශ්‍ය වේ.
රට මුහුණදුන් වඩාත්ම බෙදුම්වාදී ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාදීමට අපොහොසත් වුවද, එය විසඳීම ඉලක්ක කරගත් ද්විපාර්ශ්වික ගිවිසුමක කොටස්කරුවකු වීමේ අත්දැකීම් ජනාධිපතිවරයාට ඇත. 1997 දී ඔහු එල්ටීටීඊය සමඟ සාම සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම සඳහා එක්සත් රාජධානියේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ආචාර්ය ලියම් ෆොක්ස් විසින් මැදිහත් වූ ගිවිසුමකට අත්සන් කළ දෙදෙනකුගෙන් ඔහු එක් අයෙකි. එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම ගිවිසුමකට අත්සන් තැබුවේ, “ජනවාර්ගික ගැටුම විසඳීමේ අරමුණින්...ආණ්ඩු පක්ෂය විසින්, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ඇතුළු වෙනත් කිසිදු පක්ෂයක්, කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු සමග සිදුකරන සාකච්ඡාවක් හෝ ගනු ලබන තීරණයක් විපක්ෂයේ සිටින පක්ෂ වළක්වන්නේ නැත. ...”  යනුවෙන් සහතික වෙමිනි. 

හොඳම තෑග්ග
 
image d42a70f4e6මැතිවරණවලදී ප්‍රතිවාදීවූවන් මැතිවරණයෙන් පසු ජාතික අවශ්‍යතා වෙනුවෙන් එක්ව, ගැටලුවලට පිළිතුරු සෙවීමට ක්‍රියාකරන ආණ්ඩු ක්‍රමයක්
මැතිවරණයෙන් පසු සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා වන ඉල්ලීම, ප්‍රායෝගික දේශපාලන උපායමාර්ගයක් පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය සහ දේශපාලන ආචාරධර්මවල මූලධර්ම තුළ මුල් බැසගත් අදාළත්වයක් ද සහිත වන්නකි. ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, මෙයින් අදහස් කරන්නේ ආර්ථික ප්‍රකෘතිය, නීතියේ ආධිපත්‍යය සහ වාර්ගික ගැටුම් නිරාකරණය වැනි ප්‍රධාන ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගැනීම සඳහා දේශපාලන පක්ෂ එකතු විය යුතු බවයි. මැතිවරණවලදී ප්‍රතිවාදීවූවන් මැතිවරණයෙන් පසු ජාතික අවශ්‍යතා වෙනුවෙන් එක්ව, ගැටලුවලට පිළිතුරු සෙවීමට ක්‍රියාකරන ආණ්ඩු ක්‍රමයක් සහ ජාතික නායකත්වයක් මේ දේශපාලක පරම්පරාවෙන් මතු පරපුරට ලැබෙන හොඳම දායාද වනු ඇත.
 

jehan perera

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...