The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි! - (සමන් සී ලියනගේ)

T

The Leader Desk

August 20, 2024 • 5:52 AM

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි! - (සමන් සී ලියනගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් පෙන්වා දෙන්නේ, එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය බවයි.
  • පළාත් සභා මැතිවරණ නොපවත්වා, පළාත් සභාවල පරිපාලනය විධායකය යටතට පත් කොට ඇති වාතාවරණයක් තුළ පළාත් සභාවලට අදාළ විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව මධ්‍යම ආණ්ඩුවට මෙසේ තනිව තීරණ ගැනීම ව්‍යවස්ථාවට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බව ඔවුහු අවධාරණය කරති.
  • වත්මන් ජනාධිපතිවරයාගේ උපදේශකත්වය මත, අගමැතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩල කමිටුවක් විසින් සම්පාදනය කරන ලද ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එළිදැක්විණි.
  • එය නිර්දේශ 41ක් සහිත පිටු 33ක වාර්තාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් පෙන්වා දෙන්නේ, එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය බවයි. පළාත් සභා මැතිවරණ නොපවත්වා, පළාත් සභාවල පරිපාලනය විධායකය යටතට පත් කොට ඇති වාතාවරණයක් තුළ පළාත් සභාවලට අදාළ විෂය ක්ෂේත්‍රයක් පිළිබඳව මධ්‍යම ආණ්ඩුවට මෙසේ තනිව තීරණ ගැනීම ව්‍යවස්ථාවට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බව ඔවුහු අවධාරණය කරති.




ජනාධිපතිවරණ උණුසුමත් සමග අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදය යළි පෙරට පැමිණ තිබේ. වත්මන් ජනාධිපතිවරයාගේ උපදේශකත්වය මත, අගමැතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩල කමිටුවක් විසින් සම්පාදනය කරන ලද ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එළිදැක්විණි. එය නිර්දේශ 41ක් සහිත පිටු 33ක වාර්තාවකි. රටක අධ්‍යාපනය වැනි තීරණාත්මක වැදගත්කමක් දරන ක්ෂේත්‍රයක ප්‍රතිපත්ති සම්පාදනය අදාළ ක්ෂේතය්‍රට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් මෙන්ම මහජනතාවගේද පුළුල් සහභාගීත්වයෙන් යුතුව සිදු විය යුතු වුවත් මෙහිදී එවැනි පිළිවෙතක් අනුගමනය නොකෙරිණි. අදාළ ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍ය ප්‍රජාව, ගුරු සංගම්, සිවිල් සමාජ සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින්ද සිය විරෝධය පළ කොට තිබේ.

 

පාර්ලිමේන්තුවේ, අධ්‍යාපනය සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව එම යෝජනාවලිය පිළිබඳව රැස්වීම් වාර 5කදී සාකච්ඡාවට ලක් කළ අතර, අදාළ ආයතන ප්‍රධානීන් සහ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ද එම සාකච්ඡා සඳහා සහභාගී කර ගැනිණි. 2024 මැයි 09 වැනිදා, කාරක සභාව සිය සමාලෝචන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එමගින් අදාළ ප්‍රතිපත්ති රාමුවෙහි සඳහන් නිර්දේශ 41 අතුරින් 31ක්, අවශ්‍ය සම්පත් සැපයීමට හා කාරක සභාව විසින් යෝජිත සංශෝධනවලට යටත්ව අනුමත කර ඇති අතර නිර්දේශ 10ක් සඳහා අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කොට තිබේ. යෝජිත ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් වැඩිම විරෝධයට හේතු වූ උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ගෙන් මුදල් අය කිරීම ඇතුළු අරමුදල් සම්පාදනය පිළිබඳ යෝජනා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ‘ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව’ බවට පත් කිරීම, පළාත් අධ්‍යාපන මණ්ඩලවලට විශ්වවිද්‍යාල පිහිටුවීමේ බලය ලබා දීම, ජාතික පාසල් අහෝසි කොට සියලු පාසල් පළාත් සභා යටතට පැවරීම ඇතුළු ආන්දෝලනාත්මක යෝජනා එම ප්‍රතික්ෂේපිත යෝජනා අතර වේ. මෙය පැහැදිලිවම, යෝජනාවලියෙහි දුෂ්ඨ අරමුණුවලට එරෙහිව හඬ නැගූවන්ගේ ජයග්‍රහණයකි.

එසේ වුවද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අදාළ කේන්ද්‍රීය ගැටලුවක් සම්බන්ධයෙන් එම කාරක සභාවේද අවධානය යොමු වී නැත. එනම්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මධ්‍යම ආණ්ඩුවට මෙන්ම පළාත් සභා විෂයපථයටද අයත් වන අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පළාත් සභාවල අදහස් විමසීමකින් තොරව මධ්‍යම ආණ්ඩුවේ තනි අභිමතය පරිදි තීරණ ගැනීමයි. පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් මේ වන විට කිසිදු පළාත් සභාවක මහජන නියෝජිතයින් නොමැති අතර ඒවා පාලනය වන්නේ විධායකය විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් යටතේය. යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මෙම ගැටලුව මුල් වරට අවධාරණය කළේ සිවිල් සංවිධාන 57ක් නියෝජනය කරන අධ්‍යාපන සංවර්ධන සන්ධානයයි.  

බලය බෙදාහැරීම හා පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් සාධනීය අදහසක් දරන විද්වතුන් සහ විශේෂයෙන් වාමාංශික ප්‍රතිපත්ති නියෝජනය කරන දේශපාලන නායකයින් මේ පිළිබඳව දරන අදහස කුමක්ද? අප සමග අදහස් පළ කළ බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිපත්ති රාමුව ඒකපාර්ශ්විකව ක්‍රියාවට නැංවීම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එමෙන්ම, යෝජිත ප්‍රතිපත්ති රාමුවෙහි අරමුණු සම්බන්ධයෙන්ද ඔවුන්ගෙන් පළ වූයේ දැඩි විරෝධයකි.

 

Sumanasiri Liyanage 2මහාචාර්ය සුමනසිරි ලියනගේ
මහාචාර්ය සුමනසිරි ලියනගේ සිය අදහස් දැක්වීම ආරම්භ කළේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදය මුලින්ම අවධාරණය කරමිනි.

“පළාත් සභා අක්‍රීය කිරීමත් මධ්‍යම ආණ්ඩුවේ දේශපාලන ව්‍යපෘතියේ වැඩක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය, මහමැතිවරණය ආණ්ඩුවට නොපවත්වා ඉන්න බැහැ. ඒ වගේම පළාත් සභාවත් එවැනි නිශ්චිත කාලයකදී පවත්වන්න ආණ්ඩුවට බලකෙරෙන නීති සම්පාදනය වෙන්න ඕන. ආණ්ඩුව කියන්නෙ ලබන වසර මුලදි එය පවත්වන බව. නමුත් ඒ අතරෙ තමයි මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉදිරියට දාල තියෙන්නෙ. ලංකාවේ අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය අඩුයි. එතනින් පළාත් පාලන මුදල් කොමිසමට ලැබෙන ප්‍රමාණය තවත් අඩුයි. එතනින් මුදල් බෙදීමෙත් විෂමතාවක් තියෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම මේ යෝජනාවලියේ අරමුණ බව ඉතා පැහැදිලියි. මේ ප්‍රතිපත්ති රාමුවෙ අඩංගු කරුණු දිහා බලපුවම ඒව ක්‍රියාවට නැගුණොත් නිදහස් අධ්‍යාපනය මේ පවතින මට්ටමින් වත් ගෙනියන්න බැරි වෙනවා. අධ්‍යාපනය අද මුහුණ දෙන ගැටලු එකකටවත් විසඳුම් ඔය හැදුවෙ කවුද කියන එකවත් නොදන්න ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ නැහැ.”

යහපාලන රජය සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ නීතිඥ ලාල් විජේනායක පෙන්වා දෙන්නේ, විමධ්‍යගත කළ බලතට යළි මධ්‍යගත කිරීමක් මෙමගින් සිදු වන බවයි.

 

Lal Wijenayakeනීතිඥ ලාල් විජේනායක
“මේ මොහොත වනවිට පළාත් සභාවල තියෙන්නෙ පරිපාලන ව්‍යුහය විතරයි. දේශපාලන නායකත්වයක් නැහැ. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි යෝජනා ගෙන ඒම ව්‍යවස්ථානුකූල නෑ. මොකද ප්‍රතිපත්ති තීරණය කරන්නෙ දේශපාලන නායකත්වය. පළාත් සභාවට රටේ යම් තීරණාත්මක වගකීමක් පවරන්න අදහස් කරනව නම් ඉස්සරවෙලා කරන්න ඕන පළාත් සභා මැතිවරණය පවත්වලා පළාත් සභා සක්‍රීය කරන එක. ඊට පස්සෙයි මෙවැනි තීරණවලට යා යුත්තේ.

අනිත් වැදගත් කාරණය තමයි විමධ්‍යගත කරපු බලතල වෙනත් ආකාරයකින් මධ්‍යගත කිරිමක් මෙතනදි සිද්ධ වෙනවා. දැන් පළාත් සභාවලට නායකත්වය දෙන්නේ ආණ්ඩුකාරවරයා. ආණ්ඩුකාරවරයා පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඔහුගේ නියෝජිතයා හැටියට. ආණ්ඩුකාරයා විසින් තමයි කොමිෂන් සභා, කමිටු ආදිය පත් කරන්නෙ. පළාත් රාජ්‍ය සේවා කොමිසමට නිලධාරීන් පත්කරන්නෙ ආණ්ඩුකාරවරයා විසින්. දැන් අනියම් ආකාරයෙන් පළාත් සභා සතු බලතල විධායකය අතට අරගෙන තියෙනවා.” 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාමලා කුමාර් යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් ගැටලු රැසක් අවධාරණය කළාය.

Shamala Kumar copy මහාචාර්ය ශාමලා කුමාර්“ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන ඔය ලියවිල්ලෙ ප්‍රශ්න රාශියක් තියෙනවා. ලියල තියෙන ස්වරූපයෙ ඉඳලම ප්‍රශ්න. අපේ රටේ අධ්‍යාපනය කියන්නෙ ප්‍රශ්න ගොඩක්. නමුත් මේ ප්‍රතිපත්ති සම්පාදකයෝ කවුරු වුණත් ඒව නිවැරදිව තේරුම් අරගෙන නැහැ. පළාත් සභා ක්‍රියාත්මක නැති මොහොතක රටේ ඉහළම ක්ෂේත්‍රයක් වන අධ්‍යාපනය සම්බන්ධයෙන් පළාත් සභාවලට වගකීම් පැවරීමට කරන යෝජනාවේ ඇත්ත අරමුණ මොකක්ද කියන එක අපි තේරුම් ගත යුතුයි. මේ වාර්තාව සියලු පාසල් පළාත් සභාවලට පැවරීමට යෝජනා කරනවා. ඒත් රෝයල් කොලේජ් වැනි අති සුපිරි පාසල් එහෙම නොකරන බවත් වාර්තා වෙනවා. මේක එක පන්තියක වරප්‍රසාද ආරක්ෂා කරන්න ගේන යොජනාවක් නොවෙයිද? විශ්වවිද්‍යාල මූල්‍යමය අතින් ස්වාධීන කරන බව කියනවා. ඒත් පළාත්වල මූල්‍යමය විෂමතා තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය උපයන මුදල යාපනය විශ්වවිද්‍යාලයට හෝ වෙනත් පළාතක විශ්වවිද්‍යාලයකට උපයන්න පුළුවන්ද? මේවා සම්බන්ධයෙන් කතා කරන්න අද පළාත් සභාවල මහජන නියෝජිතයින් නැහැ. පළාත් සභා අක්‍රිය කරලා, ඒවාට පත්වන මහජන නියෝජිතයින්ට මේ ගැන අදහස් දක්වන්න තියෙන අවස්ථාව අහිමි කරලා මේ කරන්නෙ මොකක්ද? 

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පරාජය කළ යුතු සැලසුමක් බවයි.

 

Nirmal Ranjith Dewasiri copy මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

 

“පළාත් සභාවලට අධ්‍යාපනයේ බර දෙන්න පළාත් සභා තියෙන්න එපැයි. නීතිමය පැත්ත කොහොම වුණත් මේක සදාචාර සම්පන්න නෑ. පළාත් සභා විතරක් නෙවෙයි, මුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයම අක්‍රීය වෙච්ච මොහොතක් මේක. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු, මහජන මතයක් නැති ජනාධිපතිවරයෙක් එයාගේ මතය අනුව වැඩකරනවා. එතකොට ජනතාවට වගකියන්න ඕන කියන අදහසක් එතන තියෙන්න බෑ. ප්‍රතිපත්ති පිළිබඳ බරපතළ සිතා බැලීමක් ඇතුළෙ නොවෙයි මේව සිද්ධ වෙන්නෙ. දැන් මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන එක බැලුවම පැහැලිවම පේනව මේක ව්‍යාපාරික සැලසුමක් කියල. රට නිරවුල් මොහොතක, ජනතාව නිදහසේ හුස්ම ගන්න මොහොතක මෙවගේ සැලසුම් ගේන්න බෑ කියන එක දන්න පාලකයො රට අවුලට පත් කරල තමන්ගේ කඳවුරේ අවශ්‍යතා ඉෂ්ට කර ගන්න උත්සාහ කරනවා. ජනතාව මෙවා තේරුම් අරගෙන මේ සැලසුම් පරාජය කළ යුතුයි.”

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මෙසේ පැවසුවේය.

 

DEW Gunasekaraහිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර
“අධ්‍යාපනයේ සියලු වගකීම් පළාත් සභාවට පවරලා අණ්ඩුවට අත පිහදා ගන්න බෑ. ප්‍රතිපත්ති හදන්න ඕන මහ ආණ්ඩුව. මොකද ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය හින්දා. ඊළඟ කාරණය අධ්‍යාපනය ගෙනියන්න පළාත් සභාවලට මුදල් නෑ. අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහ ආණ්ඩුවෙන් දෙන්න ඕන. පරිපාලනය පළාත් සභාවලට පැවරීමේ වරදක් නෑ. වැදගත්ම කාරණය ප්‍රතිපත්තිය. මේ සංකල්පය නීතියක් බවට පත්වෙන්න නම්, එය පාර්ලිමේන්තුවට පනතක් ලෙස ඉදිරිපත් කරලා සම්මත කර ගත යුතුයි. එහෙම නැතිව යොජනා හැටියට ආවට ඒවට නෛතික බලයක් නෑ. දැන් පළාත් සභාවලට බලතල පැවරෙන්නෙ පළාත් සභා පනත අනුව. මේ මොහොතේ පළාත් සභා නැති නිසා මේක ක්‍රියාවට නගන්න වෙන්නෙ පළාත් සභා ඇති කළ පසුවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අධ්‍යාපනයේ වගකීම් පළාත් සභාවලට වැඩිපුර පැවරීම සාධනීය ලෙස දකින්නෙකි. එහෙත් පළමුව පළාත් සභා සක්‍රිය කිරීම පළමු අවශ්‍යතාව බව ඔහුද අවධාරණය කළේය.

 

Mano Ganeshanපාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්
“පළාත් සභාවලට අධ්‍යාපනයේ වගකීම වැඩිවැඩියෙන් භාර දීම හොඳයි. අපි ඒ ගැන සතුටුයි, මොකද මධ්‍යම ආණ්ඩුව තමන්ගේ බලතල පල්ලෙහා යාන්ත්‍රණවලට යවන එක හොඳයි. නමුත් ආණ්ඩුව රටේ පළාත් සභා නවයම අක්‍රිය කර තිබෙන බවත්, පළාත් සභා ඡන්දය පවත්වා ඒවා නැවත පිහිටුවන්නට කිසිම උත්සාහයක් නොගත් බවත් අපි දන්නවා. මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කලින් කරන්න ඕන පළාත් සභා පිහිටුවන එක. පළාත් සභාවලට මුදල් අයිතිවාසිකම් ලබා දෙන්න ඕන. මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපනයට වෙන් කර මුදල වැඩි වෙන්න ඕන. ඒවායෙන් සාධාරණ පදනමක් යටතේ පළාත් සභාවලට මුදල් වෙන් කරන්න ඕන. එතකොටයි පළාත් සභා යටතේ අධ්‍යාපනය වැඩිදියුණු කරන්නට පුළුවන් වෙන්නෙ.” 

හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම මධ්‍යම පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකුද වන ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් මෙම ගැටලුව පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක්ම අනාවරණය කළේය.

 

Radhakrishnan copyහිටපු අධ්‍යාපන අමාත්‍යවරයකුද වන ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන්
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති හැටියට කටයුතු කළේ මම. එතන යෝජනාවක් ආව සියලුම පාසල් ජාතික පාසල් කරන්න කියලා. එතනදි අපි ඊට විරුද්ද වෙලා කියා සිටියා සියලුම පාසල් පළාත් පාසල් කරන්න, ඒවා දියුණු කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ආණ්ඩුවෙන් දෙන්න කියලා. එතනදි කිව්වා ආනන්ද, නාලන්ද, රෝයල්, ඩී.එස්. එහෙම කරන්න බෑ කියලා. අපි කිව්වා ආයෙත් අලුත් ජාතික පාසල් ඇති කරන්න එපා කියලා. මම මධ්‍යම පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමති. මධ්‍යම ආණ්ඩුවෙත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය හැටියට කටයුතු කළා. මම වැඩියෙන් ජනතාවට සමීපව වැඩ කළේ පළාත් ඇමති කාලෙ. පළාත් සභා අවශ්‍යයි. ඒකෙන් විශාල වැඩ කොටසක් කළ හැකියි. මෙතනදිත් පළාත් සභාව පිහිටුවන්නෙ නැතිව, ඒකෙ මතය විමසන්නෙ නැතිව අධ්‍යාපන බලතල පලාත් සභාවටට දෙන්න බෑ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවේ බලතලවල යම් වෙනසක් වෙනව නම්, ඒ කියන්නේ බලතල අපහු ගන්නව නම් හෝ වැඩි බලතල දෙනව නම් ඒකට පළාත් සභාවේ එකඟත්වය අවශ්‍යයි.” 

හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම ප්‍රධාන අමාත්‍ය සංසදයේ සභාපතිවරයාද වූ පා.ම. ෂාන් විජයලාල් ද සිල්වා පෙන්වා දෙන්නේ යෝජිත ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථා විරෝධී බවයි.

 

Shan wijelal copyපා.ම. ෂාන් විජයලාල් ද සිල්වා
“පළාත් පාසල්වලට හැමදාම මධ්‍යම ආණ්ඩුවෙන් ලැබුණෙ කුඩම්මාගේ සැලකිලි. ප්‍රතිපාදන වෙන් කිරීමෙදි පමණක් නොවෙයි, පළාත් පාසල්වලට ගුරුවරුන් ලබා දීමෙදිත් නොසලකා හැරිම් සිද්ධ කළා. මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරු තමන්ට හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන පාසල් ජාතික පාසල් කළා. අද රටේ පාසල් පද්ධතිය හැම අතින්ම අවුලට පත්වෙලයි තියෙන්නෙ. ග්‍රාමීය ප්‍රදේශවල දුෂ්කර, අති දුෂ්කර පාසල් වැසෙන්නට පටන් අරන්. එහෙම වටපිටාවක් ඇතුළෙ ආණ්ඩුව පළාත් සභාවලට පාසල් අධ්‍යාපනයේ වගකීම බාරදෙන්න යනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව බලතල වෙන් කරපු පළාත් සභා ක්‍රියාත්මක නොකර රටේ තීරණාත්මක ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් මෙහෙම ක්‍රියාකරන එක නීති විරෝධී වගේම සදාචාර විරෝධී ක්‍රියාවක්. මධ්‍යම ආණ්ඩුවට පළාත් සභාව සම්බන්ධයෙන් එහෙම තීරණ ගන්න අයිතියක් නෑ. මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පළාත් සභාවේ මතය විමසුම් කළ යුතුයි. පළාතේ මහජන මතය නියෝජනය කරන්නෙ මහජනයා පළාත් සභාවට පත් කර එවන මහජන නියෝජිතයින් මිසක් ජනාධිපතිගේ නියෝජිතයා වන ආණ්ඩුකාරයා හෝ ඔහුට වගකියන පළාත් නිලධාරීන් නොවෙයි. මේක පැහැදිලිවම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොතකා හැරීමක් ලෙසයි මම දකින්නෙ.”

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය අවධාරණය කරන්නේ, මෙම ප්‍රතිපත්ති රාමුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ උවමනාව නියෝජනය කරන අතර එය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු බවයි.

 

Sirithunga Jayasuriyaසමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය
“නිදහස් අධ්‍යාපනය වළලා දැමීමේ සූක්ෂම සැලැස්මක් අතේ තියාගෙන තමයි රනිල් වික්‍රමසිංහ වැඩ කරන්නෙ. අධයාපනය වැනි රටේ ඉතාම වැදගත් විෂය ක්ෂේත්‍රයක වැඩි බර පළාත් සභාවට පවරලා අන්තිමේදි පළාත් සභාවට කරගන්න බෑ පුද්ගලික අංශයට දෙන්න වෙනව වගේ එකක් තමයි ඕකෙන් එළියට එන්නෙ. දැන් ඔය ආණ්ඩුව පළාත් සභා හරහා ක්‍රියාත්මක කරන්න යන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව වගකීම භාරගන්නෙ ආණ්ඩුකාරයාද? ඕකට තමයි කියන්නෙ නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ කියලා. රනිල්ට ඕන කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි නිදහස් අධ්‍යාපනය ඉවරයක් කරල දාන්න. නීතියකුත් නෑ. සදාචාරයකුත් නෑ. අපි මේ ගැන දැනට සාකච්ඡා කරමින් යනවා. මේ වැඩ පිළිවෙළ පරාජය කිරිම සඳහා පුළුල් ජනතා විරෝධයක් එළියට ගන්න.”

ඉහත සියලුම අදහස් දැක්වීම්වලින් පැහැදිලිවම අවධාරණය කෙරෙන්නේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි අරමුණු මෙන්ම එය ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති ආකාරයද ගැටලුසහගත බවයි. වඩාත් ගැඹුරින් විමසා බලන විට එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව සමග බැඳී පවතින්නකි. පුරවැසියන් ලෙස අපේ පළමු අභියෝගය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීමයි. එළැඹෙන ජනාධිපතිවරණය, ඒ සඳහා ලැබෙන අනගි අවස්ථාවකි.

Saman C. Liyanage 2(සමන් සී. ලියනගේ)
'සමසමාජය' පුවත්පතේ කර්තෘ
samanmedia@gmail.com

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි! - (සමන් සී ලියනගේ) | The Leader