The Leader News
BREAKING
නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●
Top Ad
විශේෂාංග

ජනාධිපති අපේක්ෂකයන්ගේ අභියෝග සහ සීමාවන් - (අජිත් රාජපක්ෂ)

T

The Leader Desk

August 20, 2024 • 4:24 PM

ජනාධිපති අපේක්ෂකයන්ගේ අභියෝග සහ සීමාවන්  - (අජිත් රාජපක්ෂ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දින නියම කරන්නත් මාස ගානකට කලින් තමයි ජාතික ජන බලවේගය ඒ ගොල්ලොන්ගෙ මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තෙ.
  • ඒක ඉතා හොදට සැලසුම් කර දියත් කරන වැඩපිලිවෙලක් බව පේනවා.
  • ඉතා අඩු චන්ද ප්‍රතිශතිශතියක් සහිතව තරගය ආරම්භ කරපු වර්තමාන ජනාධිපතිවරයා සීග්‍රයෙන් ඉදිරියට එමින් සිටින බව තමයි වාර්තාවන්නෙ.
  • කෙසේ වෙතත් බහුතරයක් තවම චන්දය දෙන්නේ කාටද කියල තවමත් තීරනය කරල නැති බව තමයි බොහෝ සමීක්ෂණ වලින් පෙන්නුම් කරන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

දින නියම කරන්නත් මාස ගානකට කලින් තමයි ජාතික ජන බලවේගය ඒ ගොල්ලොන්ගෙ මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තෙ. ඒක ඉතා හොදට සැලසුම් කර දියත් කරන වැඩපිලිවෙලක් බව පේනවා. ඒ නිසාම ඒ අය ආර්ම්භයේදී ගොඩක් ඉදිරියෙන් තමයි හිටියෙ. නමුත් අනිත් තරගකරුවන්ගේ සම්ප්‍රාප්තියත් සමග ඒ තරගය දැන් තීව්‍ර වෙන්න පටන් අරන්.


ඉතා අඩු චන්ද ප්‍රතිශතිශතියක් සහිතව තරගය ආරම්භ කරපු වර්තමාන ජනාධිපතිවරයා සීග්‍රයෙන් ඉදිරියට එමින් සිටින බව තමයි වාර්තාවන්නෙ. ඒ වගේම සමගි ජන බලවේගයත් සියලු ජන කොටස්වලින් යුත් පුලුල් සංධානයක් සමග ජාජබයට කරට කර සටනක් දෙන්න සමත්වී තියෙනව. කෙසේ වෙතත් බහුතරයක් තවම චන්දය දෙන්නේ කාටද කියල තවමත් තීරනය කරල නැති බව තමයි බොහෝ සමීක්ෂණ වලින් පෙන්නුම් කරන්නෙ. ඒ නිසා ඉදිරි සති කිහිපය කාටත් ඉතා තීරනාත්මක වෙනව.



කලින් මැතිවරණ හා සසදා බලන විට මේ මැතිවරණයේ තියෙන සුවිශේෂ වෙනසක් තමයි කිසිම පක්ශයක් තවමත් ඔවුන්ගේ මැතිවරණ වැඩපිලිවෙලක් ඉදිරිපත් කර නොතිබීම. රටේ වෙනසක් කිරීමට අත්‍යාවශ්‍ය කාරනා බොහොමයක් අමතක කරලයි තියෙන්නෙ. නව ව්‍යාවස්තාවක්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජාතික ප්‍රශ්නය විසදීම, සංහිඳියාව ඇතිකිරීම, දූශනය පිටු දැකීම, ආර්ථිකය ගොඩනැගීම යන කාරනා හුදෙක් මැතිවරණ වේදිකාවලට පමනක් සීමා වෙලා තියෙනව. කිසිම පක්ශයක් තවමත් පැහැදිලි, ඉලක්කගත, වැඩපිලිවෙලක් ඉදිරිපත් කරල නෑ.


රනිල් වික්‍රමසිංහ

zdsdee44

රනිල් වික්‍රමසිංහ මෙවර ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන්නෙ විශාල කණ්ඩායමකගෙ සහයෝගයක් ලබාගැනීමේ පරමාර්ථයෙන්. තනි පුද්ගලයකු ලෙස එජාපය නියෝජනය කල රනිල් ඉතා දක්ශ ලෙස බලයේ සිටි රාජපක්ෂ කදවුර ආක්‍රමණය කරල තියෙනව. රාජපක්ෂ කදවුරේ සිටි කැබිනට්ටු ඇමතිවරුන් ඇතුලු මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් රනිල්ට සහය දෙන්න ඉදිරිපත් වෙලා. මේ තාක් කල් රාජපක්ෂ පවුලේ ව්‍යාප්පෘති වලට කර ගැසූ මේ මන්ත්‍රීවරුන් දැන් යම් ස්වාධීන බවක් බුක්ති විදින බවක් පේනව. ඒ නිසාම ඔවුන් විවිධ කණ්ඩායම් විදියට රනිල්ට එකතුවෙලා.  


බැසිල් රාජපක්ෂගේ විවිධ යෝජනාවලට එකග නොවී කල් මරමින් සහ ඒවා මගහරිමින් සිටි රනිල් පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහය සම්පූර්ණයෙන්ම පාහේ ඔහුගේ පැත්තට ගන්න සමත් උනා. කලකිරීමටත් කෝපයටත් පත් රාජපක්ෂලා එයාලගෙ පුතා නාමල් ඉදිරිපත් කරන්න තීරනය කරන්නෙ අඩුතරමේ පොහොට්ටු පක්ශයේ යම් පදනමක් ඒ ගොල්ලො වටේ තියාගන්න කරන උත්සාහයක් විදියටයි. ඒ ඔවුන්ගේ ඉදිරි දේශපාලන අරමුනු වෙනුවෙන්.


කැමති උනත් නැතත් පොහොට්ටු මන්ත්‍රීවරුන්ටත් වෙන විකල්පයක් ඉතුරුවෙලා තිබුනෙ නෑ. ඔවුන්ට යම් සැනසිල්ලක්, උද්‍යෝගයක් ලැබුනෙ රනිල්ගෙ ආර්ථික වැඩපිලිවෙල නිසයි. ඒ නිසා ඒ අයට නව පනක් ලැබිල තියෙනව. ඒ නිසා රනිල් සියල්ලටම කියන්නෙ එයාගෙ ආර්ථික වැඩපිලිවෙල ඉදිරියට ගෙනියන්න සහයෝගය දෙන්න කියලයි. ඒ වගේම එයා අනතුරු අගවනවා වෙන අය අත්හදා බලන්න ගියොත් රට නැවතත් බංකොලොත් වේවි කියල.

රනිල්ට සහයෝගය දෙන සමහරෙක් කියන්නෙ ඔහු බලයට පැමිනියහොත් ආර්ථික තලයේ අත්‍යාවශ්‍ය වෙනස්කම් කරමින් නව මාවතකට රට ගෙනයාවි කියලයි. ඇත්තටම කාලයක් තිස්සේ රනිල්ට බෑ කියන මතය රටේ ගොඩනගල තිබුනෙ ඔය කියන පොහොට්ටු පක්ශයේ අයම තමයි. රනිල්ව ලේබල් කරල තිබුනෙ බටහිරට ගැති, බෞද්ධ විරෝධී, දේශීයත්වය නොතකන, රට බෙදන,  ලිබරල්වාදියෙක් ලෙසයි. දෛවයේ සරදමකට වගේ එදා රනිල්ගේ ඉමේජ් එක විනාශ කරපු අයම අද රනිල්ව පුම්බන්න පටන් අරන්. එදා රනිල් කරන වැඩවලට විරෝධය පෑ ජාතිකවාදීන් සියල්ලම පාහේ දැන් ඉන්නෙ ඔහුගේ පැත්තෙයි.

සමහරු කියන්නෙ කදක් නැතිව අතරමංව හිටපු රනිල්ට දැන් හොද කදක් ලැබිල තියෙනව කියලයි. ඒ නිසා රනිල් ජයග්‍රහණය කලහොත් ඔහු ඉතා ශක්තිමත් ජනාධිපතිවරයෙක් ලෙස ක්‍රියා කරනු ඇත. මේ නිසාම අනාගතයේදී රනිල් ඉතා නරක ඒකාධිපතියෙකු ලෙස හැසිරීමේ අවදානමකුත් තියෙනව. විශේෂයෙන් ඔහු පසුගිය කාලයේ නීතිපති සහ පොලිස්පති තනතුරුවලට පත්වීම් කිරීමේදි ක්‍රියාකල ආකාරය ප්‍රජාතන්ත්‍රවිරෝදී බවට චෝදනා එල්ලවුනා. ඒවගේම නොයෙකුත් උසාවි තීන්දු හෑල්ලුවට ලක්කලා. ජනාධිපතිවරනය පැවත්වීම සම්බන්ධයෙනුත් නොයෙකුත් උප්පර වැට්ටි දැම්මා කියල චෝදනා තිබුනා. ඒ නිසා මේ සැකය වැඩිවෙලා තියෙනව. ඊට අමතරව රනිල්ගේ උද්දච්ච හැසිරීම් සෘණාත්මක ලෙස බලපාල තියෙනව.


නමුත් ජාත්‍යන්තර දේශපාලනය සහ ආර්ථික ස්තාවරත්වය යන කාරනා දෙකෙන් රනිල් ඉදිරියෙන් සිටින බවක් පේනව. ජාත්‍යන්තර දේශපාලනය තුලත් ඉංදීය සහ බටහිර කදවුරේ හිතවත් ආධාරකරුවකු ලෙසත් ඔහුට පිලිගැනීමක් තියෙනව. ඒ නිසා ඔවුන් නොදන්නා යකාට වඩා දන්න යකා හොදයි කියන න්‍යාය පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම ඉංදියානු රජය සමග ඉදිරියේදී විශාල ව්‍යාප්පෘති ප්‍රමාණයක් කිරීමට රනිල් පොරොන්දු වෙලා ඉන්නව. ඒ නිසා ඉංදියානු සහය ඔහුට ලැබීමට තිබෙන ඉඩකඩ වැඩියි.


රනිල්ගේ ජයග්‍රහණයත් සමග තවත් සිදුවියහැකි ඍණාත්මක ප්‍රතිපලයක් තමයි දූෂිත පොහොට්ටු මන්ත්‍රීවරුන්ට නැවත වටයකින් බලයට ඒමට ඉඩක් ලැබීම. මේ කාරනය පිලිබඳව රනිල්ගෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට ඔහු කීවේ තමා දූශිතයින් ආරක්ශා නොකරන බවයි. දූශිතයින් පාර්ලිමේන්තුවට එවනවද නැද්ද යන්න ජනතාව තීරණය කලයුතු බවයි. කෙසේවෙතත් රනිල්ට සහය වැඩිවීමට හේතුවී ඇත්තේ රටේ ආර්ථිකය පිලිබඳව බොහෝදෙනා තුල ඇති බිය සැක නිසයි. අඩුතරමේ මේ තියෙන තත්වය රැකගතයුතුයැයිද අවදානම් අතහදාබැලීම් නොකල යුතුයි යන්නද රනිල්ගේ චන්ද ව්‍යාපාරයේ ප්‍රදාන තේමාවක් වී ඇත.


අනුර කුමාර දිසානායක

zdr4w35e

අනුරගේ චන්ද ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වාගේ මූලික කරගෙන තියෙන්නෙ හොරකම් දූශන නැවත්වීම සම්බන්ධ කරගෙනයි. හොරු ඇල්ලීම, හොරුන්ට දඩුවම් කිරීම, හොරකම්කල ධනය නැවත පවරාහැනීම, සහනාධාර ලබාදීම යනාදී ජනප්‍රිය කාරනා මූලික කරගෙනයි. රටේ ආර්ථික අර්බුදයේ සත්‍ය මෙය නොවුනත් මේ මතය ජනගත කරන්න ජාජබයට පුලුවන් වෙලා තියෙනව. ඒ වගේම ඒ අය බුද්දිමත් විශාල කොටසක් තමා වටා සිටින බව පෙන්වීමට විවිධ වෘත්තිකයින්, විදේශීය රටවල ජීවත්වන බුද්දිමතුන් සහ පර්යේෂකයින් යොදාගෙන රැස්වීම් මාලාවක් පැවත්වූවා. ජාජබයට රටක් පාලනය කිරීමට තරම් දක්ශ බුද්දිමත් කණ්ඩායමක් නෑ කියන චෝදනාවට පිලිතුරක් ලෙස තමයි බොහෝදුරට මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න පෙලඹෙන්න ඇත්තෙ.

නමුත් ජාජබයේ ප්‍රධාන පක්ශය වන ජවිපෙ නායකයන් විවිධ තැන්වල ආර්ථික සහ සමාජයීය කාරනාවලදී පරස්පර විරෝධී අදහස් දැක්වීම සෘණාත්මකව බලපාල තියෙනව. විශේෂයෙන් ජාජබ ආර්ථික කමිටුවේ ප්‍රදානියා වන සුනිල් හදුන්නෙත්ති ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන ලද ආන්දෝලනාත්මක දේවල් ඔවුන්ගේ ආර්ථික වැඩපිලිවෙල පිලිබඳව සැකයක් මතුකරල තියෙනව. ඒ වගේම ජවිපෙ විසින් බලය ලබාගැනීම පිනිස ජාජබය කෙමනක් ලෙස භාවිතා කරන්නේද යන සැකය ඇතිවෙලා තියෙනව. ජවිපෙහි චීන ලැදි ප්‍රතිපත්තියත්, සමාජවාදී ආභාසයත් තවත් ඔවුන් කෙරෙහි සැක උපදවන කාරනා කිහිපයක්. ඒ වගේම ඔවුන් ක්‍රියාත්මක කරන සමාජ ආර්ථික වැඩපිලිවෙල හරියටම පැහැදිලි කරල නෑ.


රනිල් යන ආර්ථික වැඩපිලිවෙලේම ඉතුරු ටිකත් යායුතු යැයි අනුර වරක් පැවසුවා. ඒ කියන්නෙ රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිලිවෙල ඒ අයත් ක්‍රියාත්මක කරන වගයි. නමුත් තවත් තැන්වල සමාජවාදය, රාජ්‍ය අංශය ප්‍රවර්ධනයන කරනවා වාගේ කතා කියල තියෙනව. ඒ වගේම බදු සහන, වැටුප් ඉහල නැංවීම, හොරු ඇල්ලීම, විදේශීය ආයෝජන වගේ දේවල් කරන්නෙ කොහොමද කියල පැහැදිලි වැඩපිලිවෙලක් තවම ඉදිරිපත් කරල නෑ. කෙසේ වෙතත් ජාජබය වෙත ආකර්ෂණය වී ඇති බහුතරය පසුගිය මැතිවරණයේදී ගෝටාබය රාජපක්ෂකට චන්දයදුන් පිරිසයි. ලැජ්ජාවටත් කෝපයටත් පත්වූ මේ පිරිස්වලට රාජපක්ෂලා කෙරෙහි ඇත්තේ ලොකු වයිරයක්. ඒ නිසා ඒ කදවුරට පාඩමක් ඉගැන්වීම සදහා මාලිමාවට ඔවුන් එක්තුවී සිටින බවක් තමයි පේන්නෙ.


අනිත් කාරනය තමයි මේ පිරිස් ජාජබයට එන්නෙ මහත්වූ බලාපොරොත්තු තියාගෙනයි. වැටුප් වැඩිකිරීම, බදු සහන, හොරු ඇල්ලීම, හොරුන්ට දඩුවම් කිරීම යනාදී වශයෙන්. විශේෂයෙන් ජාජබය විවිධ වෘත්තිකයින්, වෘත්තීය සමිති සතුටු කිරීමට විවිධ පොරොන්දු දීල තියෙනව. ඒ නිසා බලයට පැමිනි විගස මේ බලාපොරොත්තු තියාගෙන සිටින පිරිස් සැනසීමේ අභියෝගයට ජාජබයට මුහුන දෙන්න වෙනව. පොරොන්දු ක්‍රියාත්මක කරන්න නොහැකි වුවහොත් මේ බලවේගයම ඔවුන්ට පාරාවලල්ලක් වෙන්න පුලුවන්. මේ විවිධ පාර්ශ්වයන් සතුටු කරමින් පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිලිවෙලත් ක්‍රියාත්මක කරන්න අමාරුයි.


ඊලග අභියෝගය තියෙන්නෙ විදේශීය ප්‍රතිපත්තිය තුලයි. විශේෂයෙන් ඉංදියාව ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට දැනටමත් සූදානම් කර ඇති ව්‍යාප්පෘති සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්න පැහැදිලි නෑ. ඒ වගේම ජාජබය ජයගතහොත් සමාජයේ පහලම ස්තරයන් බලගැන්වීම තුලින් විශාල භීශනයකට මගපෑදීමට ඉඩ ඇති බවටද යම් කණ්ඩායම් සැක පහල කරල තියෙනව. ජවිපෙ යම් යම් නායකයන් කියපු කතාත් මීට හේතුවෙලා තියෙනව. ඒ නිසා මේ බිය නැතිකිරීම ජාජබ නායකයින්‍ විසින් ඉතා ඉක්මනින් කල යුතු වනවා.



සජිත් ප්‍රේමදාස

srt4563

සජිත්ගේ කණ්ඩායමේ ආර්ථිකය මෙහෙයවීමට දක්ශයින් කිහිප දෙනෙක් සිටීම ඔහුට විශාල වාසියක් ලෙස තියෙනව. කබීර් හශීම්, හර්ශ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ඒ අතර ඉන්නව. දක්ශයෙක් ලෙස බොහෝ අය විශ්වාස කරන චම්පිකගේ එක්වීමද සජිත්ට විශාල වාසියක් වෙලා තියෙනව. ඒ වගේම සජිත්ට මුස්ලිම් සහ ද්‍රවිඩ ප්‍රජාවේ සහයෝගය ලබාගැනීමට පුලුවන් වෙලා තියෙනව. සජිත් කියන්නෙ එයා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. ධනය සීමා සහිත පිරිසක් අතර රැස්වන එක වලක්වල දුප්පත් පොහොසත් පරතරය අඩුකරනව කියල ඔහු කියනව.


සජිත් කාලයක් තිස්සේ දුප්පතාට උදව් කරන දුප්පතාගෙ හිතවතා ලෙස ප්‍රතිරූපයක් ගොඩ නගා ගත්තා. ඒක චන්ද ව්‍යාපාරයට උදව් වෙන බවක් පෙනෙනව. මේ නිසා විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඔහුට විශාල ආකර්ෂණයක් තියෙන බවක් පේනව. ඔහුගේ පියාගෙ ප්‍රතිරූපය ගොඩ නැගිල තිබුනෙත් එලෙසයි. ආර්ථික සහ විදේශීය ප්‍රතිපත්ති වලදී ඔහුගේ සහ රනිල්ගේ වැඩපිලිවෙල අතර වෙනසක් නැති තරම්. නමුත් සජිත් පෙනීසිටින්නේ රනිල්ට වඩා ජනතා හිතවාදි චරිතයක් විදියටයි.


සජිත්ට තියෙන විශාල සෘණාත්මක දේ තියෙන්නෙ ඔහු කරන කියන දේ සම්බන්ධවයි. බස් රථ ධාවනය කරමින්, ක්‍රිකට් ගහමින් යනාදී විවිධ දේ කරමින් නොමේරූ පුද්ගලයකු සේ හැසිරීම සමාජයේ හාස්‍යට ලක්වෙල තියෙනව. ඒ වගේම ඕනෑවට වඩා තමාගේ ඉංග්‍රීසි දැනීම හෝ වෙනත් විශයන් සම්බන්ධයෙන් දැනීම පෙන්වීමට උත්සාහ කිරීම තුලින් ඔහු නැවතත් විහිලුවට ලක්වෙලා තියෙනව. ඒත් මේ කාරනා ඔහුගේ චන්ද පදනමට කොතරම් බලපාවිද කියල කියන්න අමාරුයි.


ඒත් ඔහු බංකොලොත් වෙච්ච රටක් බාරදීමට තරම් දක්ශතාවයක් සහ පලපුරුද්ද තියෙන කෙනෙක්ද යන්න බොහෝ අය නගන ප්‍රස්නයක්. ඒ වගේම ඔහු වටයේ සිටින ඔහුගේ පව්ලේ සමීපතයන් රටට බරක් වීමට ඉඩ ඇති බවටද සමාජයේ බියක් තියෙනව. විශේෂයෙන් ඔහුගේ පියාගෙ සමයේ සිදුවූ එවැනි සිදුවීම් නැවත සිදුවීමට ඉඩ ඇති බවට සැක සංකා පවතිනව.

 

නාමල් රාජපක්ෂ

xdgew5554

නාමල් රාජපක්ෂ තරගබිමට ඇවිත් ඉන්නෙ එයාගෙ අනාගතයෙ පදනම් බේරගන්නයි. මේ වෙලාවෙ පැත්තකට වෙලා හිටියොත් තියෙන චන්ද කිහිපයත් නැතිවෙලා යන්න පුලුවන්. ඒ වගේම රාජපක්ෂලාට තවමත් කඩේ යන්න සූදානමින් ඉන්න කොටස අතරමං වෙනවා. අන්න ඒ පදනම බේරගන්න තමයි නාමල් උත්සාහ කරන්නෙ. කොහොම උනත් නාමල් දේශපාලන වශයෙන් යම් පරිණත බාවයක් පෙන්නුම් කරල තියෙනව. ඔහුගේ කතාවලින් ඒක පෙන්නුම් කරනව. නාමල් එයාලගෙ අප්පච්චි කරපු දේශපාලනයම තමයි කරන්නෙ. එයාගෙ චන්ද ව්‍යාපාරයෙත් ජාතිකවාදී අදහස් මතුකරන්න තමයි උත්සාහ කරන්නෙ.

නාමල්ට සැලකියයුතු චන්ද ප්‍රමාණයක් ගත නොහැකි වුවත් තවම එයා දේශපාලනයෙන් අතුගා දාන්න බෑ. පිලිපීනයෙන් 1986 දී රටින් පලවාහැරි එකාධිපති ෆර්ඩිනන්ඩ්ස් මාකෝස් අපට මතකයි. එයාගෙ පුතා  2022 දී නැවත බලයට ආව වගේ නාමල්ටත් නැවත එන්න බැරිකමකුත් නෑ. චන්ද දායකයන්ට අතීතය අමතක වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ.
 

නුවන් බෝපගේ
awer3w423
 
මේ මැතිවරණයේදී නුවන් බෝපගේ නියෝජනය කරන්නෙ ජන අරගල කන්ඩායමයි. ඒ තරුණ රැඩිකල් දාරාවයි. ඒ කියන්නෙ මාක්ස්වාදී, විප්ලවවාදී, සමාජවාදී, සිස්ටම් චේන්ජ්, අපේක්ශා කරන කොටසයි. මේ කොටස ගෝල්ෆේස් අරගලයේදී ඒකාබද්ධව ක්‍රියා කල කණ්ඩායමක්.  අනිත් අපේක්ෂකයන් හා සසදා බලන විට වඩාත්ම රැඩිකල් විසදුම් යෝජනා කර ඇත්තේ ඔවුන් විසිනුයි. විශේෂයෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජාතික ප්‍රස්නයට ස්වයං පාලනය පදනම් කරගත් දහතුන්වන සංශෝධනයෙන් එහා යන විසදුමක් ඉදිරිපත් කිරීම වගේ කාරනා ඔවුන්ගේ වැඩපිලිවෙල තුල යෝජනා කරල තියෙනව. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ධනේශ්වර ආර්ථික වැඩපිලිවෙල ඔවුන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරල තියෙනව.
 

ජාජබය සහ අනිකුත් අපේක්ෂකයන්ගේ ලිබරල්වාදී වැඩපිලිවෙල ඔවුන් ප්‍රතික්ෂේප කරල තියෙනව. මේ යෝජනා අද පවතින ලෝක තත්වයන් තුල ක්‍රියාත්මක කල නොහැකි, අතාත්වික වැඩපිලිවෙලක් ලෙසයි හංවඩු ගැහැන්නෙ. බලයට ඒම තම ඉලක්කය කර නොගත් පක්ශයකය ඔවැනි ක්‍රියාත්මක කල නොහැකි පොරොන්දු ලබාදිය හැකිබව තමයි අනිකුත් විරුද්ධ පක්ශ සදහන් කරන්නෙ. නමුත් යම් දේශපාලන මතවාදයක් පෙරටුකරගෙන ඒ ගොල්ලොන්ට දේශපාලනය කිරීමට ඇති අයිතිය කාටවත් හෙලාදකින්න බෑ. මේ හා සමාන වාමවාදී මතවාද පෙරටුකරගෙන තවත් වාමාංශිකයින් කිහිප දෙනෙක්ම ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙලා තියෙනව. සමාජවාදී සමානතා පක්ශය, එක්සත් සමාජවාදී පක්ශය සහ නව සම සමාජ පක්ශයේ නියෝජිතයන් ඒ අතර ඉන්නව.

‍සැප්තම්බර් 21 වනදා මේ තරග කරන කාව ජනාධිපති උනත් ඉතා අමාරු සහගත අනාගතයක් තමයි ලංකාවට තියෙන්නෙ. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය W. A. විජේවර්ධන මෑතකදී ප්‍රකාශ කල පරිදි සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නම් ඉදිරි අවුරුදු විසිපහ තුල සියයට අටක හෝ නමයක වාර්ශික වර්ධනයක් නොකකඩවා පවත්වාගෙන යන්න ඕන. මේක විශාල අභියෝගයක්. ඒ නිසා බලයට එන පුද්ගලයාට පොරොන්දු දේශපාලනය වෙනුවට රටේ අනාගත අභිවුර්දිය බලාගෙන වැඩ කිරීම අත්‍යාවශ්‍ය වනවා. එක අදූරදර්ශි  ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් අපට අහිතකර බාහිර සිදුවීමක් ඇති රට නැවතත් අගාධයට වැටෙන්න. අපි සම්පූර්ණයෙන්ම සංචාරක කර්මාන්තයත් විදේශීය ශ්‍රමිකයන්ගෙන් ලැබෙන සම්ප්‍රේෂනත් මතත් යැපීම ඉතා අනතුරු දායකයි. ඒවා බාහිර සිදුවීම් වලට ක්ශනිකව ගොදුරු විය හැකියි. ඒ නිසා බලයට එන කාට උනත් තමන්ගේ වාරය තුල ඉතා ප්‍රවේශමෙන් තමයි රට පාලනය කරන්න වෙන්නෙ. ඉදිරියේදී ණය ගෙවීමට ඩොලර් සංචිත ගොඩනැගීමට මුල්තැනක් දෙන්න වෙනවා. ඒ කියන්නෙ තවත් කාලයක් පටි තදකරගෙන යන්න වෙනවා.

ඒ වගේම ඉදිරි පාර්ලිමේන්තුවේ සංයුතියත් අපි හිතනවාට වඩා ගොඩක් වෙනස්වන්න පුලුවන්. කිසිම පක්ශයකට බහුතරයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙන්නත් පුලුවන්. එහෙම උනොත් හැමෝටම සාමූහිකත්වයෙන් වැඩකරන්න බල කෙරෙනව. නැත්නම් ඉදිරි කාලය දේශපාලන තලයේ විශාල කැලඹීම් ඇතිකරන කාලපරිච්ඡේදයක් වීමට බොහෝ ඉඩ තියෙනව.

Ajith Rajapaksha(අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...