මෙවර එක ම කාන්තාවක හෝ ඉදිරිපත්ව නැත.
ජනගහනයෙන් 52% වැඩි කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ, එකම කාන්තාවක්වත් ජනාධිපතිවරණයට තරග නොකළද ඊට ඉදිරිපත්ව සිටින පිරිමි අපේක්ෂකයන් ගණන 39ක් වන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම පිරිසක් අපේක්ෂකත්වය දරන ජනාධිපතිවරණය යි.
මෙරට ඉතිහාසය තුළ ජනාධිපතිරණය සඳහා අවස්ථා කිහිපයක දී කාන්තාවන් හතර දෙනෙකු තරග කර ඇති අතර ඉන් එක් අපේක්ෂිකාවක් දෙවතාවක්ම රටේ පාලන බලය ලබා ගැනීමට සමත් විය.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂිකාවන් කවුද?
සිරිමාවෝ බණ්ඩාරනායක
1988 පැවති ජනාධිපතිවරණයට සිරිමාවෝ බණ්ඩාරනායක අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ අතර 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ශ්‍රීමතී දිසානායක ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂිකාවන් ලෙස තරග කළ අතර ඉන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජයග්‍රාහණය කළාය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
1999 පැවති ජනාධිපතිවරණයට ද ඉදිරිපත්වී ජය ලැබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2005 වසර දක්වා රටට නායකත්වය දුන් අතර ඉන් පසුව තත්ත්වය වෙනස් විය.
ආචාර්ය අජන්තා පෙරේරා2005 වසරේ සිට 2015 දක්වා ම කිසිදු අපේක්ෂිකාවක ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ අතර 2019 පැවති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස ආචාර්ය අජන්තා පෙරේරා ඉදිරිපත් වූයේ විසි වසරකට පසු තරග කළ එක ම කාන්තාව ලෙසයි.
එහෙත් දශක දෙකක් පුරා ජනාධිපතිවරණවල පැවති අපේක්ෂිකාවක නොමැති තත්ත්වය යළිත් වරක් උදාවී ඇත.
දශක දෙකක් පුරා ජනාධිපතිවරණවල පැවති අපේක්ෂිකාවක නොමැති තත්ත්වය යළිත් වරක් උදාවී ඇත
'හබලක් නැති ඔරුවක්' කාන්තා ඇමැතිනිය කනස්සල්ලෙන්
දිර්ඝ ජනාධිපතිවරණ අපේක්ෂක ලයිස්තුව තුළ එක් හෝ කාන්තා නියෝජනයක් නොමැතිවීම ගැන ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ කනස්සල්ල පළ කර තිබුණේ, එම අපේක්ෂක ලැයිස්තුව “හබලක් නැති ඔරුවක්” ලෙස හඳුන්වමිනි.
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ කනස්සල්ල පළ කර තිබුණේ, එම අපේක්ෂක ලැයිස්තුව “හබලක් නැති ඔරුවක්” ලෙස හඳුන්වමිනි.
කාන්තාවන්ට නිසි තැන, සම තැන දිය යුතු යැයි පක්ෂ නායකයින් උජාරුවෙන් කතා කළ ද පාර්ලිමේන්තුවේ ද ඇත්තේ 6%කට අඩු කාන්තා නියෝජනයක් බව ද ඇය මාධ්‍ය වෙත පවසා තිබිණි.
බෞද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක් මෙන් ම හිටපු ජනාධිපතිවරුන්ගේ පුතුන් දෙදෙනෙකු තරග බිමට පිවිස ඇති මෙවර ජනාධිපතිවරණයට එකදු හෝ කාන්තාවක් ඉදිරිපත් කිරිමට දේශපාලන පක්ෂ අසමත් වූයේ ඇයි? ස්වාධීන අපේක්ෂිකාවක ලෙස හෝ කාන්තාවක් මැතිවරණයට ඉදිරිපත්ව නැත්තේ ඇයි? යන්න අද රටේ හමුවේ ඇති ප්‍රශ්නයි.
දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය
පාර්ලිමේන්තුවේ ද ඇත්තේ 6%කට අඩු කාන්තා නියෝජනයක්
2018 සිට පළාත් පාලනය ආයතනවලට කාන්තාවන් සඳහා වන 25%ක කෝටා ක්‍රමය හැර ඔවුන්ව දේශපාලනිකව සවිබල ගැන්වීමට ආයතනික හෝ නීත්‍යනුකූල පියවරක් ගෙන නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂ්ණි සිල්වා බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවාය.
ජාතික නායකත්වයට සුදුසු හෝ යෝජනා කළ හැකි කාන්තාවක වර්තමාන දේශපාලන පරිමණ්ඩලය තුළ නොමැති බව මේ හරහා අදහස් වන බව කී කථිකාචාර්යවරිය ඉන් ගම්‍ය වන කරුණු කිහිපයක් විග්‍රහ කළාය.
කාන්තාවන් සම්බන්ධව නාම යෝජනා ලබා දීමේදී හා ජාතික වශයෙන් වැදගත් තනතුරුවලට පත් කිරිමේදී සාධනීය දායකත්වයක් ලබා ගන්නේ නැහැ.
“අපි ගත්තොත් හැම පක්ෂයක ම කාන්තා බල මණ්ඩලයක් ඉන්නවා නමුත් මේ කාන්තාවන් සම්බන්ධව නාම යෝජනා ලබා දීමේදී හා ජාතික වශයෙන් වැදගත් තනතුරුවලට පත් කිරිමේදී සාධනීය දායකත්වයක් ලබා ගන්නේ නැහැ. හැම මණ්ඩලයක ම ඉන්නේ පිරිමි. ඒ වගේ ම කාන්තාවන් සම්බන්ධව පසුගිය කාලේ අපි කරපු පර්යේෂණයකදී අහපු ප්‍රශ්නකයට ගොඩක් පිළිගත් දේශපාලන පක්ෂවලට කිසි ම කාන්තාවක මේ කාර්ය සඳහා ඇතුළත් කර ගැනීමට යෝජනාවක් හෝ අදහසක් පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් තිබුණේ නැහැ.” යැයි මෙරට පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන සඳහන් කරමින් ඇය පැවසුවාය.
සමාජ සංස්කෘතික සාධක හේතුවෙන් ද කාන්තාවන් දේශපාලනයට නොපැමිණෙන බව කථිකාචාර්ය ක්‍රිෂ්ණි සිල්වා පැහැදිලි කළාය.
දේශපාලනය පිරිමින්ට අයිති දෙයක් ද?
“තවමත් ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා කල්පනා කරනවා දේශපාලනය කියන්නේ පිරිමින්ට අයිති දෙයක් කියලා. කාන්තාව පුද්ගලික පරිමණ්ඩලයටත්, පුර්ෂයා ප්‍රසිද්ධ පරිමණ්ලයටත් වෙන් කර කටයුතු කිරිමේ රටාව ලංකාවේ තවමත් වෙනස් වෙලා නැහැ. මේකේ ඉතාම නරකම තත්ත්වය තමයි කාන්තාවන් දේශපාලනයට නුසුදුසුයි කියලා කාන්තාවන් ප්‍රතික්ෂේප කරන්නේ කාන්තාවන් විසින්ම වීම.”
දේශපාලනයට එන කාන්තාවන්ට මඩ ගැසීම, අවලාද නැගීම සහ අපහාස කිරීම තුළ කාන්තාවන් සහ ඔවුන්ගේ පවුලේ අය ගොඩාක් අකමැතියි මේ දේශපාලනයට පය තියන්න
“ඒ වගේම තමයි ගොඩක් අයගේ අදහසක් තියෙනවා කාන්තාවට දේශපාලනය ආරක්ෂිත නෑ. දැන් තියෙන දේශපාලනය ජරාජීරණ වෙලා, පාදඩ දේශපාලනයක් තියෙන්නේ, පිරිමි කෙනෙකුටත් ඒ දේශපාලනය තුළ ආරක්ෂා වෙන එක ඉතාම අමාරු කාර්යයක්. ඉතින් කාන්තාව කොහොමද මේ දේශපාලන පොර පිටියට ඇවිල්ලා තරග කරන්නේ කියලා. විශේෂයෙන්ම ගොඩක් දේශපාලනයට එන කාන්තාවන්ට මඩ ගැසීම, අවලාද නැගීම සහ අපහාස කිරීම තුළ කාන්තාවන් සහ ඔවුන්ගේ පවුලේ අය ගොඩාක් අකමැතියි මේ දේශපාලනයට පය තියන්න. මොකද ඔවුන් කල්පනා කරනවා ඔවුන්ගේ වැදගත් ජීවිතය එතනින් අවසන් වෙලා ඔවුන් ඉතාමත්ම නරක අනාරක්ෂිත තත්වයකට පය තියෙනවා කියලා.”
“අපේ රටේ කාන්තාවෝ කියන්නේ දුවන්න බැරි අශ්වයෝ”
කාන්තාව ස්වාභාවයෙන් ම කල්පනා කරනවා දේශපාලනය ඔවුන්ට අයිති විෂයක් නෙමෙයි කියලා
කාන්තාවන්ගේ දේශපාලන දැනුවත්භාවය සම්බන්ධයෙන් මෙන් ම ආර්ථික ශක්තිය ගැන ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂ්ණි සිල්වා අදහස් පළ කළාය.
“කාන්තාව ස්වාභාවයෙන් ම කල්පනා කරනවා දේශපාලනය ඔවුන්ට අයිති විෂයක් නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා කිසි ම අවස්ථාවක කාන්තාවන් විශේෂ උනන්දුවක් දක්වන්නේ නැහැ පුරුෂයන්ට සාපේක්ෂව දේශපාලනය සම්බන්ධයෙන් හදාරන්න සහ කියවන්න. ඉතින් කාන්තාව ස්වේච්ඡාවෙන්ම මෙතනින් අයින් වෙලා තියෙනවා. ඒ නිසා කාන්තාවෝ කල්පනා කරනවා රටේ නායකත්වය දැරීම, තීරණ ගැනීම වගේ දේවල් පුරුෂයන්ට හිමි වෙන්න ඕන දේවල් හැටියට. ඒකත් එක හේතුවක් කාන්තාවෝ දේශපාලනයට එන්නේ නැති වෙන්න.”
ලංකාවේ කාන්තාවෝ පුර්ෂයන්ගේ ආර්ථිකයත් එක්ක සංසන්දනය කර බැලිමේ දී ඔවුන් පුර්ෂයන්ට වැඩිය ඉතාම පහළ මට්ටමක ආර්ථික වශයෙන් ඉන්නේ.
“ඊළඟ කාරණය තමයි වර්තමානයේ දේශපාලනයේ නිරත වෙන්න විශාල දේශපාලන ආර්ථික සවියක් අවශ්‍යයි. ලංකාවේ කාන්තාවෝ පුර්ෂයන්ගේ ආර්ථිකයත් එක්ක සංසන්දනය කර බැලිමේ දී ඔවුන් පුර්ෂයන්ට වැඩිය ඉතාම පහළ මට්ටමක ආර්ථික වශයෙන් ඉන්නේ. ආර්ථික ශක්තිය මැන බැලුවොත් එහෙම පුර්ෂයන්ගේ ආර්ථික ශක්තිය හැම වෙලාවෙදිම කාන්තාවන්ට වැඩිය දෙගුණයක් ඉස්සරහින් තියෙනවා. ඒ නිසා මේ වගේ කාන්තාවන්ව බල ගන්වලා, අර්ථික වශයෙන් සවියක් වෙලා ඔවුන්ව දේශපාලනයේ ඉදිරියට ගෙන ඒමට කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. සරලවම කියනවා නම් අපේ රටේ කාන්තාවෝ කියන්නේ දුවන්න බැරි අශ්වයෝ.”
කාන්තාවන් හුදෙක් දේශපාලනයට ගෙන ඒමෙන් ඵලක් නැතැයි කී කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂ්ණි සිල්වා යෝජනා කරන්නේ ඔවුන් ගුණාත්මක ලෙසත් දේශපාලනිකවත් සංවර්ධනය කළ යුතු බවටයි.
(BBC සිංහල සේවය)




