ගතවූ වසර තුල ඔහු ගැන සිහිපත්වූවත් ඒ මුල් වසර දෙකට වඩා බෙහෙවින් වෙනස් ආකාරයකිනි. එය ඔහු සිටියානම් " රටේ පවතින තත්ත්වයට කිසියම්ම හෝ විසඳුමක් ගෙන ආ හැකිව තිබුණා" යන ඉච්චා භංගත්වයේ කංකෙඳිරි ගෑමට වඩා වෙනස් අයුරක සිතිවිල්ලකි. දැන් දැනෙන්නේ සිදුවූ වෙනස්කම් දැක ගැනීමට මෙන්ම සිදුවීමට නියමිත වෙනස්කම් දැක ගැනීමට ඔහු සිටියානම් යන පශ්චාත්තාපයයි.

ඔහු නික්ම යෑමට පෙර රට පත්විය හැකි ආර්ථික අවදානම ගැන, ජාති ආගම් ලෙස එකම රටක මිනිසුන් බෙදීමෙන් වියහැකි භයානක ප්‍රතිඵල ගැන, සංඝ කල්ලිය ගැන (සුපේෂල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලා නොවේ), බොහෝ දේශපාලකයන් මෙන්ම ඇතැම් උසස් රාජ්‍ය නිළධාරීන්ද අවිද්‍යාව සහ මිත්‍යා විශ්වාස පසුපස හඹායෑමේ ආදීනව ගැන කිවූ සෑම පුරෝකථනයක්ම පාහේ සැබෑවිය.
ඔහු තරයේ විශ්වාස කල රටේ සියලුම ජනතාවට එකට ජීවත් විය හැකි බව, අතීතයේදී ඔවුන් එකට ජීවත් වූ බව දැන් දැන් බොහෝ දෙනෙක් වටහාගෙන ඇත.

ජාතිවාදය තදින් බලපැවැත්වූ වකවානුවේදී වුවත් රටේ ප්‍රධාන ජාතීන් වන සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීන්ට යළිත් එකමුතුකම හා විශ්වාසය ගොඩනගා ගත නොහැකි වීමට හේතුවක් ඔහු නොදැක්කේය. එය ඔහුගේ විශ්වාසය මෙන්ම ප්‍රාර්ථනාව විය. ජනප්‍රිය නොවූ මාතෘකාවක් වූවත් ඒ සඳහා කටයුතු කිරීමට ඔහු අධෛර්යමත් නොවුනි.
එකල ද්‍රෝහියෙක් ලෙස හංවඩු වැදුනත් එය එසේ නොවන බව බොහෝ දෙනෙක් අද වටහාගෙන ඇති බව පෙනෙයි. හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව බලයට ගෙන ආ ජාතිවාදී බලවේගවල නපුරු කූටෝපායයන් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සෑහෙන කොටසක් මේ වන විට අවබෝධ කර ගෙන ඇති බව පෙනේ.
ගෝත්‍රික වාදයෙන් මෙන්ම රාජාණ්ඩු වහල් මානසිකත්වයෙන්ද ඉවත්වී, පාර්ලිමේන්තුව පිරිසිදු කර ගෙන පාර්ලිමේන්තුවට විධායක බලතල ලබාදී, එක තැනකට කේන්ද්‍රගතව ඇති විධායක බලය විමධ්‍යගත කරන තුරු කොහෙන් 225 ගෙනාවත් වෙනසක් නොවෙන බව ඔහුගේ අදහස විය. එසේම මනාප ක්‍රමය යටතේ ආසනයක් නොව දිස්ත්‍රික්කයක් දිනා ගැනීමට තරඟකරුවකුට විශාල මුදලක් අවශ්‍ය වන හෙයින්, පාතාල ලෝකය තම කළු සල්ලි සුදු කරන තැන බවට පාර්ලිමේන්තුව පත් කරගෙන තියෙන බව ඔහු නිර්භයව කියා සිටියේය.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය බලය ඇත්තේ පුරවැසි ජනතාව සතුව වුවත්, පාර්ලිමේන්තු බල අධිකාරියේ සංකේතය වන අජීවී සෙංකෝලයට ඇති බලයවත් අද පුරවැසියන්ට නැතැයි මට නම් සිතේ. නොඑසේනම් පරමාධිපත්‍ය බලය හිමි ජනතාව ඔවුන්ගේ චන්ද බලයෙන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කල අයෙක් රටේ විධායකයට පත්වන්නේ කෙසේද? පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම විකෘතියක් බව ඔප්පු කිරීමට මෙයටත් වඩා සාක්ෂි අවශ්‍යද?

එසේම ඔහු ශ්‍රමණ වේශයෙන් සිටින චීවරධාරීන් කවුදැයි නම් කිරීමට කිසිවිටෙකත් පසුබට නොවීය. "සිංහල බෞද්ධ" දේශයේ ද්‍රෝහියා ලෙස හංවඩු වැදුනත්, සත්‍යය ඇති ලෙසින්ම පැවසීමට ඔහු නිර්භීත විය. "සිංහල බුද්ධාගම" වෙනුවට ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධ දර්ශනයට ගෞරව කලා පමණක් නොව, එය අසීමිතව විශ්වාස කලේය. එසේම ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොව, සිංහල බෞද්ධ බහුතරයකින් සමන්විත බහු ආගමික, බහු වාර්ගික රටක් යැයි ඔහු එදා හුදකලාව හඬ නැගුවේ එයින් වියහැකි දේශපාලන සියදිවි නසා ගැනීම නොදැන නොවේ.

ඔහු ආරම්භකළ "රැඩිකල් මැද - සැබෑ දේශප්‍රේමියෝ" වැනි තරුණ, බහු වාර්ගික, සංවිධාන තුලින් ඔහු අපේක්ෂාව වූයේ යල් පැනගිය, අකාර්යක්ෂම, මුග්ධ නියෝජිතයින් වෙනුවට රාජ්‍යය පාලනය සඳහා උගත් තරුණ තරුණියන් බහුතරයකගේ දායකත්වය ලබා ගැනීමයි.
පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් පසු වරක් සම්මුඛ සාකච්චාවකදී ඔහු සිනහසෙමින් පැවසූවේ ශ්‍රී ලංකාවේ පුරවැසියනට ලබාගත නොහැකිවූ හොඳම ජනාධිපතිවරයා ඔහු බවයි.
ඇත්තෙන්ම මංගල සමරවීරයන් අද යුක්තිය සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවය ඉල්ලා හඬ නගන, මානව හිමිකම් වෙනුවෙන් සටන් කරන පුරවැසියනට මඟහැරීගිය, නූතන ලෝකයට ඔබින නායකයෙක් විය හැකිව තිබිණි.
මානව හිතකාමී මංගල සමරවීර වැන්නකු නායකයා ලෙස ලැබීමට තරම් පුරවැසියෝ භාග්‍යසම්පන්න නොවූහ.

මංගල සමරවීරයන් බලාපොරොත්තුවූ සැබෑ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, මගේ ජීවිත කාලය තුලදී දැකගත හැකිවේයැයි මා නොසිතුවත්, පසුගිය තෙවසර තුල සිදුවූ විපර්යාසයන්ට අනුව කිසියම් ධනාත්මක පරිවර්තනයක් සිදුවනු ඇතැයි ඉමහත් බලාපොරොත්තුවක් මා තුල ඇත.
එය එසේ සිදුවේනම් එය දැක ගැනීමට ඔහුත් සිටියානම්.......
(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com



