මෙම ලිපියට පාදක කොට ගත්‍තේ අගෝස්තු 13 වැනි දා සිට 19 වැනි දා දක්වා දිනවල පළවු සිංහල දෙමළ ඉංග්‍රිසි ප්‍රධාන ධාරාවේ පුවත්පත් වලින් සමන්විත නියැදියකි.)
වතුකරයේ මලයහ ජනතාව
පඩි පාලක සභාව විසින් වතුකරයේ දෛනික සේවක පඩිය, මූලිකව රු. 1350 ක් සහ තවත් රු. 350ක් නෙළන දළු ප්‍රමාණය අනුව ගෙවන ලෙස, පඩිය වැඩි කිරීමට අනුමැතිය පළවූයේය.
අගෝස්තු 12 වැනි දා වන විට පඩි පාලක සභාව විසින් වතුකරයේ දෛනික සේවක පඩිය, මූලිකව රු. 1350 ක් සහ තවත් රු. 350ක් නෙළන දළු ප්‍රමාණය අනුව ගෙවන ලෙස, පඩිය වැඩි කිරීමට අනුමැතිය පළවූයේය.
අගෝස්තු 13 වැනි දා වන විට සිංහල දෙමළ ඉංග්‍රීසි සෑම පුවත්පතකම පාහේ මුල් පිටුවේ එම පුවත වාර්තා කොට තිබුණි.
එසේම එදින දිනමිණ, ඩේලි නිව්ස් සහ තිනකරන් යන රජයේ පුවත්පත්වල, ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජිවන් තොන්ඩමන් විසින් එම පඩි වැඩිකිරීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ පාර්ශවයන්ට, වතු සේවකයන් වෙනුවෙන් ස්තූතිය පළ කිරීම පිළිබඳ වාර්තා ද පළ වී තිබුණේය.
මේ අතර අගෝස්තු 14 වැනි දා දිවයින, අරුණ සහ මව්බිම පුවත්පත්වල සේම, ඊළනාඩු පුවත්පතේ ද එම පඩි වැඩි වීම පිළිබඳ විරෝධතාවන් සහිත වාර්තා ද දක්නට ලැබුනේය.
ඊළනාඩු පුවත්පතේ පළමු පිටුවේ පළ වුණු වාර්තාව
ඊළනාඩු පුවත්පතේ පළමු පිටුවේ පළ වුණු වාර්තාවකින් දක්වා තිබුනේ කම්කරු ජාතික සංගමයේ සභාපති පලනි දිගම්බරම් විසින්, එම පඩි වැඩි වීම පිළිබඳ දක්වන විරෝධතාවයි. එම වාර්තාවේ දැක්වෙන පරිදි පඩි ප්‍රශ්නයේ දී විශාල පාවා දීමක් සිදු කර ඇති බව සහ එය වතුකරයේ ජනතාවට කරන ද්‍රෝහිකමක් ලෙස පෙන්වා දී තිබුණි.
දිවයින, අරුණ සහ මව්බිම පුවත්පත්වල පිළිවෙලින් හත්වැනි, දෙවැනි සහ පස්වැනි පිටුවල, පළ වී තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, කඳුරට ජනතා පෙරමුණේ නායක, වී. රාධා ක්‍රිෂ්ණන් එම පඩි වැඩි කිරීම පිළිබඳව විවේචනාත්මකව අදහස් දක්වන වාර්තාවකි.
වී. රාධා ක්‍රිෂ්ණන් පවසන පරිදි, පඩි පාලක සභාව විසින් අනුමැතිය දී ඇති නමුත්, එම පඩි වැඩි කිරිම සිදුවන තෙක් පවතින්නේ අවිනිශ්චිතතාවකි. එසේම වතු සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල(EPF) සහ සේවක භාරකාර අරමුදල( ETF) ගෙවන්නේ මූලික පඩිය වන 1350 පදනම් කරගෙන වන අතර, වසර තුනක් යන තුරු නැවත පඩි වැඩි නොවන ලෙස සහ වෘත්තීය සමිති වලට එවැනි ඉල්ලීම්, වසර තුනක් යන තුරු කළ නොහැකිවන ලෙස වතු සමාගම් කොන්දේසි පනවා ඇති බව ද ඔහු පවසා තිබුණි. අරුණ පුවත්පතේ ද දෙවැනි පිටුවේ, අඩුවැඩි වශයෙන් එම අන්තර්ගතයම සහිත වාර්තාවක් පළ වී තිබුනේය.
වී. රාධා ක්‍රිෂ්ණන් පවසන පරිදි, පඩි පාලක සභාව විසින් අනුමැතිය දී ඇති නමුත්, එම පඩි වැඩි කිරිම සිදුවන තෙක් පවතින්නේ අවිනිශ්චිතතාවකි.
වතුකරයේ පඩි වැඩිවීම පිළිබඳ සිදුවීම, බොහෝ පුවත්පත් හුදු පුවතක් ලෙස හෝ එයට විරෝධය දැක්වෙන වාර්තා ලෙස හෝ පළ කෙරෙන අතරවාරයේ, රජයේ පුවත්පත්, මැතිවරණය සමයේ විශේෂයෙන් එය, ජනාධිපති රනිල් වික්‍රමසිංහට වාසි සහගත ලෙස හුවා දැක්වීමට උත්සාහ කිරීම දක්නට ලැබුණු ලක්ෂණයකි.
වතුකරයේ පඩි වැඩි විම සහ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම එකිනෙකාට ස්තූති ප්‍රංශසා කරගන්නා පුවත් රජයේ පුවත්පත්වල වැඩි වශයෙන් පළවෙන අතරවාරයේ, අගෝස්තු 13 වැනිදා පුද්ගලික සමාගමකට අයත් සිලෝන් ටුඩේ පුවත්පතේ එම පඩි වැඩි වීම පිළිබඳ පුවත, මුල් පිටුවේ කුඩා වාර්තාවක් ලෙස හෝ පළ වී තිබුනේ නැත.
ඩේලි නිව්ස් පුවත්පත් වාර්තාව
එහෙත් එදින එම පුවත්පතේ පළමු පිටුවේ, ඡායාරූප සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ වතුකරයේ පක්ෂ කිහිපයක් අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් පිළිබඳ පුවතක් වාර්තා කර තිබුණි. එම පුවතම එදින ඩේලි මිර්ර් 4 වැනි පිටුව, දිවයින 8 වැනි පිටුව, දි අයිලන්ඩ් 1 සහ 2 වැනි පිටුවල ඡායාරූප සහිතව වාර්තා කර තිබුණි.
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කම්කරු ජාතික සංගමයේ සභාපති පලනි දිගම්බරම්, සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. උදයකුමාර් තමන් නියෝජනය වන ජනතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව පුවත්පත් වල වාර්තා වූයේය. එසේම එම අවබෝධතා ගිවිසුම පරිච්ඡේද හතකින් සහ වගන්ති 48ක් සමන්විත වන ලියවිල්ලක් වන අතර එහි අඩංගු වන්නේ වතුකරයේ ජනතාවගේ ජීවිත නගාසිටුවීමේ සැලැස්ම මිස සමගි ජනබලවේගයේ පාලනයක් තුළ ඇමතිධූර බෙදාගන්නා ආකාරය නොවන වග සජිත් ප්‍රේමදාස පැවසූ බව, එම පුවත්පත් වාර්තා සඳහන් කොට තිබුණි.
දි අයිලන්ඩ් පුවත්පත් වාර්තාව
මේ සිදුවීම පිළිබඳ දෙමළ පුවත්පත්වල ද වාර්තා පළවී තිබුනේය. අගෝස්තු 13 වැනි දා කාලෙයිකදිර් පුවත්පතේ පළමු පිටුවේ ‘සජිත් සමග දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි’ යන සිරස්තලය යටතේ පළ වු පුවතක ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්ගේ අදහසක් වාර්තා කොට තිබුණි.
කාලෙයිකදිර් පුවත්පතේ වාර්තාව
“වතුකර දෙමළ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් මෙවැනි පුළුල් එකඟතාවක් ජනාධිපති අපේක්ෂකයකු සමඟ මේ රටේ කිසිදා ඇතිකරගෙන නැහැ. දේශපාලන, සමාජීය, සංස්කෘතික හා ආර්ථික අභියෝග ලේඛනගත කර එක්සත් ජනතා සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමඟ අප අවබෝධතා ගිවිසුමක් අවසන් කර තිබෙනවා. මේ අනුව මෙම සිදුවීම ඉන්දීය සම්භවයක් සහිත වතුකර ජනතාවගේ දේශපාලන ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස සටහන් වෙනවා.”
එසේම එම දිනයේම කාලෙයිමුරුසු පුවත්පතේ 3 වැනි පිටුවේ, “ වතුකරයේ ජනතාව සවිබල ගැන්වීම මගේ ප්‍රධාන අරමුණයි” සජිත් ප්‍රේමදාස කියයි’ යන සිරස්තලය යටතේ එම අවබෝධතා ගිවිසුම පිළිබඳ කුඩා වාර්තාවක් පළ කොට තිබුනි. එම වාර්තාවේ සඳහන් කොට ඇති පරිදි, පොරොන්දු සහ සහනවලට සීමා නොවී වතුකරයේ ජනතාව සවිබල ගැන්වීම සමගි ජන බලවේගයේ රජයේ ප්‍රධාන අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණි.
මෙහි දී නිරීක්ෂණය කළ වැදගත් කාරණයක් නම්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ පාර්ශ්වය වතුකරයේ ජනතාවගේ පඩි වැඩි කිරීම පිළිබද විවේචනාත්මක ලිපි ඊට ආසන්න දිනවල සිංහල සහ දෙමළ පුවත්පත්වල පළවී තිබුණ ද මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳ එවැනි ආකාරයේ විරෝධතා දක්වන ලිපි අප අධ්‍යයනය කළ කිසිදු පුවත්පතක පළ වී නොතිබීමය.
ජනාධිපතිවරණයක් අභියස, බලය ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ එතෙක් ඉටුනොවුණු ඉල්ලීම් ලහි ලහියේ ලබා දෙමින්, වතුකරයේ ඡන්ද ගොඩ තමන් සතු කර ගැනීමට වැර වෑයම් කරන සැටි මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, බලය නැති නිසා පොරොන්දු රොත්තක් මඟින් වතුකරයේ ඡන්ද එක්රැස් කරගැනීමට දරන උත්සාහය සිංහල දෙමළ ඉංග්‍රීසි පුවත්පත් වල වාර්තා වූයේ ඒ ආකාරයෙනි.
මෙහිදි සිදුකළ වැදගත් නිරීක්ෂණයක් නම් භාෂා භේදයකින් තොරව, ආණ්ඩුවට හිතවාදී පුවත්පත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරන, ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම්, පොරොන්දු දීම් වැඩි වැඩියෙන් හුවා දක්වන අතරවාරේ පුද්ගලික සමාගම් හරහා ප්‍රකාශයට පත්වෙන බොහෝ පුවත්පත් සජිත් ප්‍රේමදාසගේ එවැනි ක්‍රියා මතු කොට දැක්වීමට උත්සාහ ගැනීමය.
උතුරේ දෙමළ ඡන්ද කුට්ටිය
කාලෙයිකදිර් පුවත්පතේ වාර්තාව
උතුරේ සංඛ්‍යාවෙන් සුළුතර ජාතීන්ගේ ඡන්ද කුට්ටිය ද මෙවර දකුණේ ජනාධිපති අපේක්ෂකයන්ගේ ජය හෝ පරාජයට තුඩු දෙන තීරණාත්මක සාධකයකි. උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පසුගිය සතියේ ප්‍රකාශ වීමත් සමඟ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස උතුරේ දෙමළ ඡන්ද ගොඩ පිළිබඳ අපේක්ෂා අත් හැරියා නොව තව තවත් ඒ පිළිබඳ අධිෂ්ටානශීලි වූවා සේය. ඔවුන් දෙදෙනාම පසුගිය දිනවල උතුරේ දෙමළ අපේක්ෂකයා නියෝජනය කරන පාර්ශ්ව සාකච්ඡාවලට ආරාධනා කළේ තරගයට මෙනි.
ඒ අනුව උතුරේ දෙමළ අපේක්ෂකයා නියෝජනය කරන පාර්ශ්ව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගෝස්තු 12 වැනිදා ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට පසු දින, එනම් අගෝස්තු 13 වැනිදා ද මුණ ගැසී තිබුණි. එම මුණගැසීම් වලදී සිදුවුණු සාකච්ඡා පිළිබඳව දෙමළ පුවත්පත් විසින් පළමු පිටුවේම, සවිස්තරාත්මක වාර්තා පළ කර තිබුණු නමුත්, ඊට ආසන්න දිනවල විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජනතා නියෝජිතයන්ගේ හමුව පිළිබඳ කිසිදු වාර්තාවක් දකුණේ සිංහල, ඉංග්‍රීසි පුවත්පත් වල පළ වී තිබුනේ නැත.
එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග දෙමළ ජනතා නියෝජිතයන් සමඟ කරන ලද හමුවීම, අගෝස්තු 15 වැනි දා දිනමිණ සහ දිවයින පුවත්පත් වාර්තා කර තිබුණි. දැන් දකුණේ නායකයන්ට සිදු වී ඇත්තේ රැවුලත් කැඳත් එකවර බේරාගැනීමේ හටනකට මුහුණ දීමටය: දකුණේ සිංහල බෞද්ධ ජන්ද ගොඩට හානියක් කර නොගෙන, දෙමළ ඡන්ද ගොඩත් හීන් සැරේ වැඩි කරගැනීමය.
අගෝස්තු 13 වැනිදා, කාලෙයිකදිර් පුවත්පතේ රනිල් වික්‍රමසිංහ සහ දෙමළ සන්ධානයේ කොටස්කරුවන් වන ටෙලෝ, ප්ලොට් සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්‍ෂ නායකයන් මුණ ගැසුණු බව පළමු පිටුවේ වාර්තා කොට තිබුණි. එම වාර්තාවට අනුව රනිල් වික්‍රමසිංහ පවසා තිබුනේ ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලැබුණහොත් පමණක් ෆෙඩරල් ක්‍රමය ගැන කතා කළ හැකිය, එතෙක් කතා කළ හැක්කේ පළාත් සභාව පිළිබඳ පමණක් ය යන්නය.
එම දිනයේම ඊළනාඩු පුවත්පතේ පළමු පිටුවේ, දෙමළ නියෝජිතයන් සමඟ සිදුවූ එම හමුවේ දී රනිල් වික්‍රමසිංහ පැවසුවේ යැයි වාර්තා කොට තිබුනේ “ මට ෆෙඩරල් ක්‍රමය ලබා දෙන්න බැහැ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් හැදුවොත් ඒ ගැන සලකා බලන්න පුලුවන්,” යනුවෙනි. එසේම ෆෙඩරල් ක්‍රමය ලබාදෙන තුරු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසුවේ යැයි එම පුවත්පත් වාර්තාවේ සඳහන් වූයේය.
අගෝස්තු 13 වැනිදා කාලෙයිමුරුසු පුවත්පතේ පළමු පිටුවේ, එම හමුවීම පිළිබඳ පළ වී තිබුනේ තරමක සවිස්තරාත්මක වාර්තාවකි. එහි දි දෙමළ පුවත්පත්වල සඳහන් වුණු කාරණාවලට අමතරව, දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කිරීමට හා දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලු විසඳීමට රනිල් වික්‍රමසිංහ විසින් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැනගැනීම සඳහා එම දෙමළ නියෝජිතයන් එම හමුවට සහභාගි වූයේ යැයි සඳහන් කර තිබුණි. එසේම එම වාර්තාව මතු කර තිබූ තවත් කාරණයක් වන්නේ, ප්‍රධාන වශයෙන්ම දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් විසඳීමේ ක්‍රමය වන ෆෙඩරල් ක්‍රමය නොලැබීම හේතුවෙන් දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ තීරණය ගත්තේය යන්න දෙමළ නියෝජිතයන් පැවසු බවය.
දෙමළ ජනතාව වෙනුවෙන් අතුරුදහන් වූවන් සඳහා යුක්තිය
එයට ප්‍රතිචාර වශයෙන් අනෙක් දෙමළ පුවත්පත් වාර්තා කල කාරණාවලට අමතරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූවේය යැයි කියන වෙනත් කාරණා කිහිපයක් කාලෙයිමුරුසු පුවත්පතේ පළ වී තිබුණි. එනම් එම වාර්තාවට අනුව දෙමළ ජනතාව වෙනුවෙන් අතුරුදහන් වූවන් සඳහා යුක්තිය, ඉතිරිව සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් නිදහස් කිරීම සහ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම වැළැක්වීම, දෙමළ තරුණයන් සහ කාන්තාවන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීම, ප්‍රශ්න කිරීම් මුවාවෙන් ත්‍රස්ත මර්දන ඒකකය සිදුකරන තර්ජන, ඉන්දීය ධීවරයින් ආක්‍රමණය කිරීම නිසා අපේ ධීවරයන් පීඩාවට පත් වීම ඇතුළු ගැටලු රැසක් විසඳිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත. කාලෙයිමුරුසු පුවත්පතේ පළවුණු මෙම වාර්තාවට අඩු වැඩි වශයෙන් සමාන වාර්තාවක්, අගෝ 14 වැනිදා තිනකරන් පුවත්පතේ හතරවැනි පිටුවේ ද පළ වී තිබුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුරේ නියෝජිතයන්ට ෆෙඩරල් ක්‍රමය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ වුණු පොරොන්දු දකුණේ සිංහල සහ ඉංග්‍රිසි පුවත්පත් වල පළ වූයේ නැත.
අගෝස්තු 14 වැනිදා ඊළනාඩු පුවත්පතේ පළමු පිටුවේම එම හමුව ගැන විස්තර පළ වී තිබුණි. ඔහු පවසා තිබුනේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර දෙමළ ජනතාවගේ සියළු ප්‍රශ්න විසඳන බවය. එසේම දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම මඟින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ යැයි ද ඔහු පවසා තිබුණි. එම දිනයේම කාලෙයිකදිර් පුවත්පතේ පළමුවැනි පිටුවේ තරමක සවිස්තරාත්මක වාර්තාවක් පළ වි තිබුණේය
දිවයින පුවත්පතේ වාර්තාව
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමන් ජනාධිපතිධූරයට පත් වුවහොත්, වහාම පළාත් සභාවට ‘බලය බෙදීම’ ක්‍රියාත්මක කරන බව පැවසූ අතර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා විශේෂ කාර්ය බළකායක් පිහිටුවා තම සෘජු අධීක්ෂණය යටතේ විසඳුම් ලබා දෙන බවට ද ඔහු සහතික වි තිබුණි. එදිනම තිනකරන් පුවත්පතේ 4 වැනි පිටුවේ කාලෙයිකදිර් පුවත්පතේ වාර්තාවට තරමක් සමාන පුවතක් පළ වී තිබුණේය. එසේම අගෝස්තු 14 වැනිදා තමිල් මිරර් පුවත්පතේ පළමු පිටුවේ ද “13 ක්‍රියාත්මක කර දෙමළ ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳනවා! ජනාධිපති අපේක්ෂක සජිත් පවසයි” යන සිරස්තලයෙන් කුඩා පුවතක් පළවි තිබුණි.
සජිත් ප්‍රේමදාස සහ දෙමළ නියෝජිතයන් මුණ ගැසීම අගෝස්තු 14 වැනිදා දිවයින දිනමිණ යන සිංහල පුවත්පත් දෙක පමණක් වාර්තා කර තිබුණි. එම පුවත්පත් දෙකෙහිම අන්තර්ගතය අඩු වැඩි වශයෙන් සමාන යැයි කිව හැකිය. එම පුවත්පත දෙකම එම සිදුවීම වාර්තා කොට තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්, එම හමුවීම පිළිබඳ කරන ලද අදහස් දැක්වීමක් උපුටා දක්වමිනි. දිවයින පුවත්පතේ මුල් පිටුවේ දැක්වුණු වාර්තාව පළ වි තිබුනේ ‘ව්‍යවස්ථාවට හානි නොවන ලෙස දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සජිත් පොරොන්දු වුණා’ යන සිරස්තලය සමඟිනි.
එම වාර්තාවේ දැක්වෙන අඩෙයිකලනාදන්ගේ ප්‍රකාශයේ, දෙමළ ප්‍රශ්නය විසඳීම සඳහා පළාත් සභාවලට ‘වැඩිබලතල’ ලබා දෙන බවට සජිත් පැවසුවේ යැයි සඳහන් කොට තිබුණි. එසේම දිනමිණ 8 වැනි පිටුවේ පළ වු වාර්තාවේ ද ඒ ආකාරයටම තමන් ජනාධිපතිධූරයට පත් වුවහොත් පළාත් සභාවලට ‘වැඩිබලතල’ ලබා දෙන බවට සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ බව මන්ත්‍රී අඩෙයිකලනාදන් සඳහන් කොට තිබුණි. එහෙත් මෙහි දී වැදගත් කාරණාව නම්, දෙමළ පුවත්පත් එය වාර්තා කොට තිබුණේ, පළාත් සභාවට ‘බලය බෙදිම’ යන අර්ථය ගම්‍ය වන ආකාරයට වන අතර එය සිංහල පුවත්පත් ද්විත්වයම වාර්තා කොට තිබුනේ ‘වැඩිබලතල’ යන වදන භාවිතා කොට ගනිමිනි.
13 වන ව්‍යවස්ථා සශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා/ ව්‍යවස්ථාවට හානි නොවන ලෙස දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා, පළාත් සභාවේ බලය බෙදනවා/ පළාත් සභාවට වැඩිබල තල දෙනවා... මේ හුදු සරල වචන වෙනස්කම් පමණක්ද? නැතිනම් යටි පෙළ කියවා ගත හැකි වචන වෙනස් කිරීම් ද? උතුරේ දකුණේ ජනාධිපති අපේක්ෂක පොරයේ උණුසුම, පුවත්පත් පිටු අතරින් මතුවන ආකාරය අනුව ඒ පිළිබඳ වඩා වැඩි අවබෝධයක් ඉදිරියේදි අපට ලබා ගත හැකිය.
(සටහන - සුභාෂිණී චතුරිකා)
සබැඳි ලිපි :
දෙමළ ‘පොදු අපේක්ෂක,’ වතුකම්කරු පඩිය සහ නාමල්ගේ ආගමනය මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු
ආණ්ඩුවේ ඊනියා සමාව ගැනීම සහ සුපුරුදු මැතිවරණ පොරොන්දු මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු





