The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ සංචාරක කර්මාන්ත පක්ෂියා අහස්ගත වන ළකුණු – (රේණුකා දමයන්ති)

T

The Leader Desk

August 24, 2024 • 4:57 PM

අපේ සංචාරක කර්මාන්ත පක්ෂියා අහස්ගත වන ළකුණු – (රේණුකා දමයන්ති)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දක්වා කාලය තුළ සංචාරකයන් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කොට ඇත.
  • ඒ අතුරින් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයන් බව ද පැවසෙයි.
  • එම සංඛ්‍යාව 237,649ක් බව අනාවරණය වී තිබේ.
  • එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ඇතුළු රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ ඇතැයි ද පැවසෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දක්වා කාලය තුළ සංචාරකයන් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කොට ඇත. ඒ අතුරින් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයන් බව ද පැවසෙයි. එම සංඛ්‍යාව 237,649ක් බව අනාවරණය වී තිබේ. එමෙන්ම රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීනය සහ ප්‍රංශය ඇතුළු රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින් දිවයිනට පැමිණ ඇතැයි ද පැවසෙයි.

මේ මස මුල් දින 11 තුළ පමණක් විදෙස් සංචාරකයින් 73,373 දෙනෙකු දිවයිනට පැමිණ තිබීම විශේෂත්වයකි.

මේ අතර මෙම සංචාරක අවකාශය පුළුල් කරනු වස් රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට පසුගිය දා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහා එම අවස්ථාව ලැබෙන එම රටවල් වනුයේ එක්සත් රාජධානිය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, පෝලන්තය, කසකස්ථානය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, චීනය, ඉන්දියාව,  ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මලයාසියාව, ජපානය, ප්‍රංශය, එක්සත් ජනපදය, කැනඩාව, චෙක්රාජ්‍යය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියාව, ඊශ්‍රායලය, බෙලරූස් රාජ්‍යය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියාව, ඊශ්‍රායලය, බෙලරූස් ඉරානය, ස්වීඩ, දකුණු කොරියාව, කටාර්, ඕමානය, බහරේන් සහ නවසීලන්තයයි.

srte4556


ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට ලක්වූ දිවයිනක් බව ඓතිහාසිකව පවා තහවුරු වන්නකි. ක්‍රිස්තු පූර්ව යුග වල සිටම ග්‍රීසිය, අතීතයේ පර්සියාව ලෙස හැඳින්වුණු මැද පෙරදිග, පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය ආදී රටවලින් අතීතයේ පටන් විදේශිකයන් අප රටට පැමිණි බවට සාක්ෂි එමට ය. ඔවුන් ගේ එම පැමිණීම සඳහා හේතු වූයේ අප රට පාරිසරික හා ස්වභාව සෞන්දර්ය අතින් අනූන වීම පමණක් නොවේ. ඒ වන විට අප රට ආර්ථික, සංස්කෘතික හා දේශපාලනමය වටිනාකමින් යුක්ත වීම ද ඊට හේතු වූ බව පෙනෙයි.



1960 දශකයේ සිට විදේශිකයන්ගේ පැමිණීම සංචාරක ව්‍යාපාරයක් හා කර්මාන්තයක් බවට පත්ව තිබේ. එහෙත්, සංචාරකයා යන අර්ථ දැක්වීමට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විදේශිකයෙකුම සංචාරකයකු නොවන බව පෙනී යයි.ඒ සඳහා සංචාරක කර්මාන්තයේ අරමුණු ද සැලකිල්ලට ගත යුතු ය.ශීතාධික රටවල දේශගුණික අපහසුතාව, ආධ්‍යාත්මික සුවය හා සරල ඡීවිතය, ස්වාභාව සෞන්දර්යෙන් ලබන වින්දනය,වන අලින් ඇතුළු වන ජීවීන් නිරීක්ෂණය,විවේකය, ඓතිහාසික, වටිනාකම අදී කරුණු අගය කරමින් ලංකාවට පැමිණෙන විදේශිකයන් සංචාරකයන් වශයෙන් හැදින්විය හැකිය.

නූතනයේ සංචාරක කර්මාන්තයේ ප්‍රභේද පනහකටත් වැඩි ගණනක් දක්නට පුළුවන. සංවර්ධනය වෙමින් පවත්නා රටවල් රාශියක් සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් සිය රටවල් වෙතට අද්දවා ගනී. මේ වන විට ලොව සංචාරක ව්‍යාපාරයේ වපසරිය මොන තරම් පුළුල් වී තිබේ ද කිව හොත් ආපදා සංචාරක ව්‍යාපාරය (Disaster tourism ) නම් වන කොටසක් පවා ඊට එක්ව තිබේ. ආපදා සංචාරක ව්‍යාපාරය යනු ස්වභාවික හෝ මිනිසා විසින් සාදන ලද පාරිසරික ව්‍යසනයක් සිදු වූ ස්ථාන නැරඹීමේ පුරුද්දයි. යම් රටකට බලපාන විවිධ ව්‍යසනයන් පසුකාලීන ආපදා සංචාරක ව්‍යාපාරයේ විෂය වුවද, වඩාත් සුලභ ආපදා සංචාරක ස්ථාන වන්නේ ගිනිකඳු පිපිරීම් අවට ප්‍රදේශ වේ.ආපදා සංචාරක ව්‍යාපාරය නිසා එසේ ආපදාවට පත් වූ රට වල් වල ආර්ථිකයට පවා සාධනීය බලපෑම් එල්ල වී තිබේ. 1960 දශකයේ සිට එළඹි දශක කීපය තුළ විටෙක අඩපණ වෙමින් ද විටෙක වර්ධනය වෙමින්ද පැවති ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නූතනයේ අපේ ආර්ථිකයට අඩු වැඩි තරමින් බලපෑම් කරන්නට සමත් වී ඇත.1963 දී එය රුපියල් දශ ලක්ෂ 6ක පමණ අදායමක් ලබා ගත් අතර 1969 දී එම ප්‍රමාණය රුපියල් දශ ලක්ෂ 17 දක්වා වර්ධනය වී ඇත.

dry546456
1977 න් පසුව ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු වූ විවෘත භාවය සංචාරක ව්‍යාපාරයෙහි දියුණුවට බෙහෙවින් ඉවහල් විය.අද වන විට අප රට තුළ ක්‍රියාත්මක වන නව ලිබරල්වාදී ආර්ථිකයට මත, විදේශීය, ආයෝජකයින්ට ඉඩ ප්‍රස්ථා සැලසීම, නව ආර්ථික ප්‍රතිපත්ති සංචාරක ව්‍යාපාර විෂයෙහි මහත් බලපෑම් ඇති කිරීමට සමත් වී තිබේ. 1980 දී ලංකාවට සංචාරකයින් 321,780ත් පැමිණි අතර එම වසරේ විදේශ විනිමය ඉපයුම රුපියල් දශ ලක්‍ෂ 1830කි. 1981 දී මෙය 39% කින් වැඩි වී තිබිණි. 1992 දී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඉපයුම දශ ලක්‍ෂ 18500 විය.ගත වූ දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ වැඩි පිරිසක් බටහිර යුරෝපා රටවලින් පැමිණ තිබිණ.


පොදුවේ ගත් විට මානසික සැහැල්ලුව, ජීවිතයේ විවිධත්වය පදනම් කර ගත් විනෝදය, ව්‍යාපාරික කටයුතු, සාකච්ඡා සම්මේලන, නෑදෑ හිත මිතුරන් හමුවීම සෞඛ්‍ය පහසුව ලබා ගැනීම ආදී හේතූන් මත විදෙස් සංචාරකයෝ ලංකාවට පැමිණෙති. ශ්‍රී ලංකාවේ දර්ශනීය මුහුදු වෙරළ, මධ්‍ය කඳුකරය, වන සහ වනජීවී සම්පත, ඓතිහාසික නටඹුන්, ආගමික හා සංස්කෘතික ස්ථාන, ප්‍රණීත ආහාරපාන සේම ලාංකිකයන්ගේ ආචාරශීලී භාවය ද සංචාරකයන්ගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමෙහි සමත් වී ඇති බව පෙනේ.

සංචාරක ව්‍යාපාරයේ වර්ධනයත් සමඟ ඒ ආශ්‍රිත නොයෙකුත් කර්මාන්ත දියුණු වූ බව නොරහසකි. සංචාරක ව්‍යාපාරය සෘඡුව මෙන්ම වක්‍රාකාරවද අවස්ථා උත්පාදනයට යම් තරමකින් හෝ හේතු වූ බව කිව හැක.හෝටල් නවාතැන්, සංචාරක රථ,විනෝද ශාලා සංචාරක කාර්යාල ආදියෙහි ලාංකිකයන්ට සෘඡුවම රැකියා අවස්ථා උදා විය,. බතික් ඇඳුම්, විසිතුරු බඩු නිෂ්ෂාදනය, රන් රිදී පිත්තල බඩු ලී කැටයම් හා කුඩා ආපන ශාලා මඟින් අතිරේක ආදායම් මාර්ගයක් ලබා ගැනීමට ලාංකිකයන්ට ඉඩ සැලසිණි. තත්වය එසේ වුව ද 1980 දශකයේ ඇති වූ කළු ජූලිය උතුරේ හා දකුණේ ඇති වූ සන්නද්ධ ක්‍රියාකාරකම් වැනි අරගලකාරී තත්වයන් මත සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවිය. එනිසා දහස් ගණනකට රැකියා අහිමි වන තත්වයක්ද උද්ගත විය.

නමුත් සංචාරක ව්‍යාපාරයේම කොටසක් ලෙස නාගරික සංවර්ධන කටයුතු ද පුළුල් වී ඇති බව පෙනේ. නගර පිරිසිදුවටත් අලංකාර ලෙසත් තබා ගැනීම සේම නිර්මාණත්මක ලෙස නගර ඉදිකිරිම, මාර්ග හා ගුවන් තොටුපළ පුළුල් කිරිම, වෙරළ බඩ දර්ශනීය ස්ථාන ආරක්ෂා කිරීම, සංචාරක ව්‍යාපාරයේම ප්‍රවර්ධනයට හේතු වී තිබේ. සංචාරක ව්‍යාපාරයේ අතුරු ප්‍රතිඵල ලෙස අපේ සාම්ප්‍රදායික කලා මාධ්‍යයන්ද දියුණුවට පත් වී ඇත.උඩරට පහත රට, බලිතොවිල්, වෙස් මුහුණු ආදී කලාවන්ගේ නවතාවයක් ඇති වූ බව පෙනේ.

නමුත් මෙම තත්වයේ විපරීතයක් ලෙස පසුගිය කාලයේ සංචාරක රාජ්‍ය අමාත්‍ය පදවිය දරමින් සිටිය දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් නෙරපූ ඩයනා ගමගේ මෙම තිරසාර මංපෙත පිටු දකින අමුතු අමුතු කතා කියනු අසන්නට ලැබිණ. ඇය නිතර නිතර කීයේ ”රාත්‍රී ආර්ථිකයක්” වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බවකි. ඇයට මේ ප්‍රතිශතයන් මත පදනම් වූ ගණනයන් කවරකු කුමන අවස්ථාවක දී කියා දුන් ඒවා දැයි අපි නොදනිමු. එහි වඩාත් බරපතල තත්වය අවුයේ ඇ‍ය ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ද එවැනි කතා කීම ය. එනිසා ඇගේ එම අවිචාරවත් කතාවල වගකීම සංචාරක රාජ්‍ය අමාත්‍ය පදවිය ලබා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද භාරගත යුතුම ය.

sdt45435
ඩයනා ගමගේ පැවසූ එම රාත්‍රී ආර්ථිකය සුරාව, ගණිකාව හා දූ කෙළිය මත පදනම් වන්නකි. එය අපේ රටට කෙසේවත් නොගැලපෙන සුඛපරමවාදී (Hedonistic ) සමාජ ලක්ෂණයකි. එහි අවසන් ප්‍රතිඵලය සාරධර්ම විරහිත සමාජයක් (Anomic society ) බව මේ වන විට ලොව පුරා සමාජ විද්‍යාඥයන් විසින් තහවුරු කොට තිබේ. කිනම් හෝ රටක ක්‍රියාත්මක කෙරෙන ධනෝපායන මාර්ගයකින් එම සමාජයේ සදාචාර මට්ටම පහළට වැටේ නම් එය අතිශය විපත්තිකර දෙයකි.


ගත වූ කාලය තුළ අපේ සංස්කෘතිය කෙරෙහි වැඩි වශයෙන් බලපෑම් සිදු කොට ඇත්තේ සාමාන්‍ය සංචාරකයන් වශයෙන් පැමිණි අසංස්කෘතික “හිපියන්”ය. හිපියා (Hippie)යනු 1960 සහ 1970 ගණන් වලදී, ප්‍රධාන ධාරාවේ ඇමරිකානු ජීවිතයේ බොහෝ දේ ප්‍රතික්ෂේප කළ ප්‍රති සංස්කෘතික ව්‍යාපාරයක සාමාජිකයෙකි. මෙය එවක ඔඩු දිවූ ඇමරිකානු තරුණ අසහනයේ ප්‍රතිඵලයකි. මෙම හිපි ව්‍යාපාරය ආරම්භ වූයේ එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල වලිනි. පසුව එය කැනඩාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු අනෙකුත් රටවලට ව්‍යාප්ත වූ අතර මෙම අසංකෘතික තරුණ පිරිස් ලක්ෂ ගණනින් එම සමාජමය අතෘප්තිය මත පෙරදිගට ඇදෙන්නට වූහ.

අද වන විට හිපියන් නොවන එහෙත්, නා නා විධ අසංස්කෘතික සංචාරක පිරිස් ද නිරතුරුවම මෙහි එති, මත් ද්‍රව්‍ය භාවිතය නූතනයේ අපේ තරුණ පරපුර බිලි ගන්නා පිළිලයක් බවට පත් එය ද හේතුවක් වී තිබේ. ගණිකා වෘත්තිය ද වර්ධනය වී ඇති බව පෙනේ. කොළඹ, මහනුවර, හික්කඩුව, බෙන්තොට, මීගමුව වැනි ප්‍රදේශ වල ඇතැම් කාන්තාවන් පමණක් නොව කුඩා පිරිමි ළමුන් ද බහුල ලෙස ගණිකා වෘත්තියට යොමු වී ඇති බව ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම මෙම ඇතැම් පිරිස් අප සංස්කෘතියට අයත් ආධ්‍යාත්මික සිද්ධස්ථාන වල හැසිරෙන ආකාරය අපේ ශිෂ්ඨත්වයට තර්ජනයකි. ශීඝ්‍රයෙන් පැතිර යන සමාඡ රෝගයන්ට හේතුව මෙකී සංචාරකයන්ගේ ක්‍රියා කලාපය ඉවහල් නොවේයැයි කිසිවකුටත් කිව නොහැක.

කෙසේ නමුත් පසුගිය දශක කීපය තුළ සාධනීය සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා රාඡ්‍ය මට්ටමින් පියවර රාශියක් ගෙන ඇති බව පෙනේ. මෙහි මූලාරම්භය වූයේ 1966 ලංකා සංචාරක මණ්ඩල පනත හා ලංකා හෝටල් සංස්ථා පනතයි. එහෙත්, අද වන විට ඒ අන පනත් බොහොමයක් අක්‍රිය බවය පත්ව ඇති අයුරක් පෙනෙයි. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධ තුලනාත්මන විග්‍රහයක යෙදෙන විට එම නිශේධනීය ප්‍රතිඵල වලක්වා ගැනීමට නව පියවර රාශියක් ගත යුතු බව අප ගේ වැටහීම ය. මේ සියළු තත්වයන් යටතේ අපට කිව හැක්කේ පසුගිය කාලයේ සංචාරක රාජ්‍ය අමාත්‍ය පදවිය දරමින් සිටි ඩයනා ගමගේ ප්‍රසිද්ධියේ හෙළි කළ දුරාචාර සංචාරක ව්‍යාපාර සංකල්පය පදනම් කර ගත් විපත්තිකර පියාපත් බිම තබා අපේ සංචාරක කර්මාන්ත පක්ෂියාට අහස්ගත වීමේ යම් හැකියාවක් පවතින බවකි.

Renuka Damayanthi(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...