The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'අධිවේගයෙන්' පාරට විසි කළ මිනිස්සු - (විශාඛා වේහැල්ල)

T

The Leader Desk

August 26, 2024 • 11:02 AM

'අධිවේගයෙන්' පාරට විසි කළ මිනිස්සු - (විශාඛා වේහැල්ල)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සමග, කතරගම වන්දනාකරුවන් ඉලක්ක කරගෙන හම්බන්තොට සිට කතරගම දක්වා නගර ආශ්‍රිතව කාලාන්තරයක් තිස්සේ ගොඩනැගී තිබුණු වෙළෙඳපොළ දැවැන්ත කඩාවැටීමකට ලක් විය.
  • සති අන්තයේ කතරගම සංචාරය කර, වීරවිල වැව අවට පිහිටි සංචාරක හෝටල්වල නවාතැන්ගත් සුපිරි මොටර් රථ කිහිපයක් සන්සුන්ව ප්‍රධාන මාර්ගයට ඇතුළු වී, මත්තල අධිවේගී පිවිසුම දෙසට හැරිණි.
  • අච්චර අත දාලත් නැවැත්තුවෙ නෑ.” බලාපොරොත්තු සුන් වූ තරුණයා හිස් බැල්මෙන් බලා සිටියේය. උදෑසන 8.30 වන විටත් පළාතම හිරු එළියෙන් නැහැවී උණුසුම් ව තිබිණි.
  • 'හේදිලා ගිය' කඩපෙළ එම් ඒ ආරියපාල අප, වසා ඇති කඩපේළි ඡායාරූපගත කරනු දුටු වෙළෙඳ සැල් හිමියකු වූ එම්.
අකුරු ප්‍රමාණය (Font Size):

බවට පෙරළිණි. ඒ සමග, කතරගම වන්දනාකරුවන් ඉලක්ක කරගෙන හම්බන්තොට සිට කතරගම දක්වා නගර ආශ්‍රිතව කාලාන්තරයක් තිස්සේ ගොඩනැගී තිබුණු වෙළෙඳපොළ දැවැන්ත කඩාවැටීමකට ලක් විය. ඒ හේතුවෙන් ජීවන මාර්ග අහිමිවුණු දහස් සංඛ්‍යාත පිරිසකගේ ඉරණම පිළිබඳ පැතිකඩක් මෙම ලිපියෙන් විවරණය කෙරේ.

 

wvhy 

සති අන්තයේ කතරගම සංචාරය කර, වීරවිල වැව අවට පිහිටි සංචාරක හෝටල්වල නවාතැන්ගත් සුපිරි මොටර් රථ කිහිපයක් සන්සුන්ව ප්‍රධාන මාර්ගයට ඇතුළු වී, මත්තල අධිවේගී පිවිසුම දෙසට හැරිණි. බොහෝ වේලාවක් මීගමුවට යන බස් රථය ගැන හෝඩුවාවන් අසමින් සිටි තරුණයෙක් නොනවත්වා ගිය වැල්ලවාය- මීගමුව බස්රියට සාප කළේය.

“පැය භාගයක් තිස්සේ ඔය බස්එකට බලං හිටියෙ. අච්චර අත දාලත් නැවැත්තුවෙ නෑ.” බලාපොරොත්තු සුන් වූ තරුණයා හිස් බැල්මෙන් බලා සිටියේය. 

උදෑසන 8.30 වන විටත් පළාතම හිරු එළියෙන් නැහැවී උණුසුම් ව තිබිණි. වැල්ලවාය හම්බන්තොට මාර්ගයේ වීරවිල හන්දියේ මාර්ගයට මුහුණලා පිහිටි කඩපේළි සියල්ල තවමත් වැසුණු ගමන්ය. තැනක කඩයක් ඉදිරිපස හිස් කිරි හට්ටි මුණින් නවා තනා තිබූ රටාව ඉහිරී ගොස්ය. කිරි හට්ටි උඩින් පැනයන වඳුරෝ හටිටි රටා අවුල් කර දමති.

'හේදිලා ගිය' කඩපෙළ

 

එම් ඒ ආරියපාල
අප, වසා ඇති කඩපේළි ඡායාරූපගත කරනු දුටු වෙළෙඳ සැල් හිමියකු වූ එම්. ඒ. ආරියපාල මහතා, වේගයෙන් අප වෙත ළඟාවිය. ප්‍රශ්නය ඇරඹුණු දා සිට පළාතේ දේශපාලන නියෝජිතයින් මෙන්ම මාධ්‍ය හමුවේද හත් අට වතාවක් නැතහොත් දහ දොළොස් වතාවක් උස්ව වරනැගූ ගැටලුව ඔහු අප ඉදිරියේද වෙහෙසකින් තොරව පුනරුච්චඡාරණය කළේය.

“කතරගමට හයිවේ එක ඇරපු දා ඉඳලා මේ පාර හේදිලා වගේ ගියානෙ.”

වැසී ගිය කිරිකඩ“එදා ඉඳලා මේ කඩපේළි ඔක්කොම පාහේ වහල දාලා. පාරෙ වාහන යනවනං තමයි අපට වෙළෙඳාමක් තියෙන්නෙ. නැතුව කාට වෙළෙඳං කරන්නද? මත්තල ඉඳලා මෙහාට කිලෝ මීටර් 22ක් තියෙනවා. මත්තලින් හයිවේ දාන වාහන කිරි ගන්න කියලා මෙහේ එන්නේ නෑ. දැන් මත්තලින්ම කිරි අරං යනවා. මත්තලට අලුතෙන් කඩ වැටුණා, අපිට කණකොකා තමයි.” තම වැසීගිය වෙළෙඳ සැල පෙන්වමින් ඔහු වේදනාවෙන් පැවසීය. 

හම්බන්තොට වැල්ලවාය ප්‍රධාන මාර්ගයට මුහුණාලා වීරවිල ගුවන් හමුදා කඳවුර හන්දියේ සිට කිලෝමීටර් දෙකක් පමණ දිගට විහිදෙන ලෙස තැන තැන මෙම කඩ පේළි ඉදිකිරීම ඇරඹී තිබුණේ මෙයින් වසර විස්සකට පමණ පෙරාතුවය. 2002 - 2004 පාලන කාලයේ සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිකිරීම් අරඹා අවසන් අදියරට පැමිණ තිබූ මෙම වෙළෙඳසැල්වල වැඩ නිමවා, ප්‍රදේශයේ ස්වයං රැකියාවල නිරතවූ පිරිස් අතරේ බෙදා දී තිබුණේ 2005- 2006 කාලයේ එවක ජනතා විමුක්ති පෙරමුණු පළාත් සභා මන්ත්‍රීවරයකු වූ ජයන්ත වන්නිආරච්චි මහතා විසිනි. 

තල් කොළයෙන් වියූ ජීවිත

 

තල්කොළ නිෂ්පාදන 2
මේ වෙළෙඳසැල් බහුතරයක අලෙවි කළ ප්‍රධානතම නිෂ්පාදනය වූයේ රුහුණු මී කිරිය. ඒ හැරුණු විට වැඩියෙන්ම අළෙවි කෙරුණේ තල් කොළ ආශ්‍රිත නිෂ්පාදනයි. වීරවිල තල්කොළ ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළක් බිහිවුණේ චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා රාජපක්ෂ මහත්මියගේ අසීමිත උත්සාහයෙන් බව අදත් මෙහි කාන්තාවෝ කෘතඥතාපූර්වකව සිහිපත් කරති.

“අපි තල්කොළ ගැනවත් මේ බෑග්මලු වියමන ගැනවත් මොකවත්ම දැනං හිටියෙ නෑ. චන්ද්‍රා රජපක්ෂ මැඩම් තමයි මේ අදහස මතු කරලා, ගමේ අපි එකතු කරලා සමිතියක් හදලා, අපිට මාස 06ක හොඳ පුහුණුවක් දීලා මේ වැඩේ පටන්ගත්තෙ. ඒ විතරක් නෙවෙයි මෝස්තර මධ්‍යස්ථානෙ, ජාතික ශිල්ප සභාව, තල් සංවර්ධන මණ්ඩලේ, සමෘද්ධි බැංකුව මේ හැම ආයතනයක්ම අපිට අඳුන්නල දීලා, අපිට අඩු පොලියට සමෘද්ධි බැංකුවෙන් ණය හදලා දීලා අපි ඉහළට ගෙනාවෙ චන්ද්‍රා මැඩම් තමයි.”

එච්. කේ.අමරාවතීඑච්. කේ.අමරාවතීවසා දැමුණු තම තල්කොළ නිෂ්පාදන අලෙවිසල ඉදිරිපිටදී අප හමුවුණු එච්. කේ. අමරාවතී මහත්මිය සඳහන් කළා.

1996 වසරේ මෙසේ තල් කොළ ආශ්‍රිත නිෂ්පාදන පුහුණුව ලැබූ කාන්තාවන් විස්සකට වැඩි පිරිසකුත්, ඒ පුහුණුකාරියන්ගෙන් පුහුණුව ලැබූ තවත් කාන්තාවන් විස්සක තිහක පමණ පිරිසකුත් වීරවිල මංසන්ධියේ සිට විහිදෙන ප්‍රධාන මාර්ගය තල්කොළ ආශ්‍රිත විසිතරු වර්ණ රටාවන්ගෙන් සරසාලූහ. 

එතෙක් මී කිරිවලට තිබූ මුල්තැන අභිභවා යන තරමේ වෙළෙඳපොළක් තල් ආශ්‍රිත නිෂ්පාදනවලින් වීරවිලට ලැබිණි. ඒ වීරවිල ගැහැනුන්ගේ අත මිටද හදවතද ශක්තිමත් කරමිනි.

“මට පුතාල තුන්දෙනයි. ඒ තුන් දෙනාටම අඩුවක් නැතුව කන්න බොන්න දීලා උගන්නලා කරලා ගන්න මට පුළුවන් වුණේ මේ තල්කොළ බෑග් වියමනෙන්. මම තිබුණු පරණ ගේ වෙනුවට කාමර දෙකකුයි කුස්සියකුයි එක්ක ගෙයක් හදාගත්තා. මගේ මහත්තය ඒ කාලෙ ඉඳලම මොනවහරි දෙයක් හම්බ කළානම් ඊට වැඩි ගාණක බීව්වා. එදා ඉඳන් එයාටත් කන්න බොන්න දුන්නෙ මම මේ කරන කර්මාන්තෙන්.” අමරාවතී මහත්මිය සිහි කරන්‌නේ අභිමානයෙනි.

තල්කොළ නිෂ්පාදන

අධිවේගයේ නපුරු සුළඟ

කොළඹ සිට හම්බන්තොට දක්වා පැමිණි අධිවේගී මාර්ගය, මත්තල දක්වා දීර්ඝ වුණේ ඒ අභිමානවත් ගැහැනුන්ගේ වෙළෙඳපොළ මුළුමණින්ම අවුරා දමමිනි. එතෙක් කොළඹ හෝ ඉන් ඔබ්බේ සිට කතරගම දක්වා පැමිණෙන සියල්ලන්ගේ ප්‍රධාන ගමන් මාර්ගය වූ මෙම මාර්ගය, ඉඳහිට වාහනයක් යන පාළු පාරක් බවට පත් විය. එතෙක් කතරගම යන වන්දනා නඩවලට මී කිරි, තල්කොළ බෑග් ඇතුළු නිෂ්පාදන අලෙවි කර, අභිමානයෙන් ජීවත්වූ වීරවිල ප්‍රදේශයේ ගැහැනු මිනිස්සු ඇතුළු පවුල් දෙතුන් සියයක් මහපාරට වේළෙන්නට අත්හැරිණි.

මේ එසේ පීඩවට ඇද දැමුණු දිස්නා කොඩිතුවක්කුගේ හඬයි:


දිස්නා කොඩිතුවක්කුදිස්නා කොඩිතුවක්කු“මමත් මේ තල්කොළ බෑග් වියන්න මුලින්ම පුරුදු වුණු කණ්ඩායමේ කෙනෙක්. පුහුණුවුණු තැන ඉඳලම අපි මේ වැඩේ පටන්ගත්තා. 2003 අවුරුද්දේ ඇක්සිඩන්ට් එකකින් මගේ මහත්තය නැති වුණා. ඒත් මේ බෑග් වෙළෙඳාම තිබුණු නිසා මම කරදරයක් නැතුව දරුවට උගන්නගත්තා. පුතා දැන් එච්.එන්.ඩී.ඊ. එකේ අයිටී ඉගනගෙන ප්‍රැක්ටිකල්වලට යනවා. 

අපි ගෙවල් දොරවල් හදාගත්තෙ, මේ බයික් එක ගත්තෙ, හැම දේම කරගත්තේ මේ වෙළෙඳාමෙන්. ඒත් දැන් මොනම වෙළෙඳාමක්වත් නෑ. පහුගිය ජනාධිපතිවරණෙට කලින් නාමල් මහත්තය මෙහේ මහලේකම් කාර්යාලෙ රැස්වීමක් තියලා පොරොන්දු වෙලා තියනවා මේ අයට මත්තලින් කඩ හදලා දෙනව කියලා. ඒ වුණාට ඒ ඡන්දෙන් පස්සේ නාමල් මහත්තය අපි දැක්කෙම නෑ.”

පාර පාළුවට ගියද, ඉඳ හිටක එන වාහනයකට, විදේශීය සංචාරක බස් රථයකට තල් කොළ බෑගයක් මේස දරනුවක් විකුණාගැනීමටත්, සංචාරක හෝටලයකින් ඇනවුමක් ලැබේය යන විශ්වාසයටත් තවමත් කඩ ඇරගෙන තල්කොළ වියන ගැහැනුන් නැතුවා ‌නොවේ. කේ. එම් ජී. සෝමලතා එවැන්නියකි.

කේ. එම් ජීකේ. එම් ජී. සෝමලතා“හයිවේ එක මෙහාට එන්න ඉස්සර අපි දවසකට බෑග් හයක්- හතක් විකිණුවා. දැන් සමහර දවසට මොනම වෙළෙඳාමක්වත් නෑ. ඉස්සර කතරගම සීසන් කාලෙට පාර දිගට වාහන නවත්ත නවත්ත කිරි, කිරි, කිරි, කිය කියා අහනවා. හවස හතර පහ වෙනකොට අපිට කියන්න තියෙන්නෙ, ‘ඉවරයිනේ මහත්තයා- ඉවරයිනේ නෝනා‘ කියලා තමයි. 

මගේ මහත්තය ගොවිතැන් කළේ. ගොවිතැනේ හැමදාම ප්‍රශ්න තිබුණා. එත් අපේ වැඩෙන් අපි කරදරයක් නැතිව පවුල නඩත්තු කළා. මට දරුවො තුදෙනයි. මහත්තය හාට් ඇටෑක් එකකින් නැති වුණා. මම මේ වෙළෙඳාමෙන් තමයි පවුල සම්පූර්ණයෙන්ම ගොඩ දැම්මෙ.”

මේ පාරෙන් එන්න!

අධිවේගී මාර්ගයට ඔවුන් විරුද්ධ නැත. එය ආපසු හැරවිය නොහැකි යථාර්ථයක් වී අවසන්ය. ඔවුන් යෝජනා කරන්නේ කතරගම දක්වා යන බස්රථ මත්තලින් වැටුණු මාර්ගය ඔස්සේ කතරගමට යෑමටත්, යළි ඒමේදී වීරවිල ඇතුළු මාර්ග ඔස්සේ හම්බන්තොටින් පිටවන ලෙසත් සැකසූයේ නම් මේ ගැටලුව විසඳෙන බවයි.

“වන්දනාවක් කියන්නෙ හයිවේ එකෙන් ඇවිල්ලා, නාලා කාල වැඳලා, හයිවේ එකෙන්ම පිටවෙලා යන එක නෙවෙයිනේ. ඉස්සර කතරගම වන්දනාවේ ආ මිනිස්සු මේ පාර දිගට තියන කිරින්ද, සිතුල්පවුව, උණුදිය පොකුණ, යෝදකණ්ඩිය වැව, බුන්දල යාල වනෝද්‍යාන, වැවුරුකන්නල, හුම්මානය, දෙවුන්දර වගේ හැම තැනම දැක බලාගෙන වඳින තැන් වන්දනා මාන කරගෙන තමයි ආවේ ගියේ. සමහර වන්දනා නඩ අපේ කඩ ළඟ නවත්තලා, අපෙනුත් උදව් ඇතුව මේ තැන්වල තියාගෙන කෑම උයලා, අපිටත් දීලා කාලා, අපෙන් නඩේටම කිරි හට්ටි හත අට, දහය දොළහ අරගෙන තමයි ආයෙ ගියේ.” 

මී කිරි වෙළෙඳාම පවුලෙන්ම උරුම කරගෙන, සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස රැඳී සිටි අතීතය සිහිපත් කරමින් ඕ.කේ. ප්‍රියන්ත මහතා පවසයි. 

 

ඕ. කේ. ප්රියන්ත ඕ.කේ. ප්‍රියන්ත
“හයිවේ එක එන්න කලින් මම මේ කඩේ කළේ ගෝලයො දෙන්නෙක් දාගෙන. මට මී හරක් 30ක් 40ක් හිටියා. ඩිමෝ බට්ටෙක් අරගෙන තව කිරි එකතු කරා. අපි මෙතනම තියාගෙන කිරි උණුකරල තමයි කිරි හට්ටි හැදුවේ. දැන් කඩේ වහල දැම්මා. ඩිමෝ බට්ටා විකුණලා දැම්මා. හරක් ටික වෙන කෙනෙකුට බදු දුන්නා. කඩේ ඇරගෙන ඉන්නවට වඩා කොහේ හරි කුලී වැඩකට යන එක ලාබයි. එතකොට කන්න බොන්න දීලා තුන්දාහක් දවසට දෙනවා. මේක ඇරගෙන ඉඳලා දවසටම රුපියල් පනහක් ලැබෙන්නෙ නැති දවස් තියනවා. හදපු කිරි හට්ටි වීසි කරන්න සිද්ධවෙන දවස් එනවා. ” 

රටක සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ ඒ රටේ මිනිසුන් අත්නොහරිමිනි. කොළඹ සිට හම්බන්තොටට අධිවේගී මාර්ගයක් ඉදිවෙද්දී සාකච්ඡා වුණේ දකුණේ මාළු ඇඹුල්තියල්වලට, මී කිරිවලට හොඳ වෙළෙඳපොළක් සැකසෙන බවයි. එත් සිදුවී ඇත්තේ මේ මිනිසුන් කලක පටන් සරුවට පවත්වාගෙන ගිය වෙළෙඳාමද ඔවුන්ට අහිමි වී යෑමයි. ඒ වෙළෙඳපොළ වෙනත් මහා පරිමාණ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු අතට එකතු කිරීමට දේශපාලන බලධාරීන් සැලසුම් කරන බවටයි, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

'කවුරුවත් අපට කිව්වෙ නෑ'

හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්. පී. සුමනසේකරහම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්. පී. සුමනසේකර

මේ ගැටලුවෙන් තම ව්‍යාපාර අඩාළ වූ පිරිස්වලට රජය ලබාදෙන විසඳුම කුමක්දැයි අප හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතාගෙන් විමසීමක් කළෙමු. වීරවිල ආශ්‍රිතව එවැනි ගැටලුවක් ඇති බවට කිසිවෙකු විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුවත් කර නැති බව ඔහු පැවසුවේය. වීරවිල වසා දැමුණු කඩපේළිවල ස්වයං රැකියා කළ පිරිස් වෙත මත්තලින් වෙළෙඳසැල් ඉදිකර දීමේ සැලැස්මක් හෝ එවැනි යෝජනාවක්, දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට ඇතුළත්ව නැති බවද ඔහු පවසයි. 

 

අමාත්ය මහින්ද අමරවීරකෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර
අපගේ විමසීමට ප්‍රතිචාර දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතාද සඳහන් කළේ, එවැනි ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් තමන් දැනුවත් කර නැති බවයි. තල්කොළ ආශ්‍රිත නිෂ්පාදන, ප්‍රදේශයේ කාන්තාවන්ට ඉතා හොඳ ස්වයං රැකියා වෙළෙඳපොළක් සකසා දී තිබූ බව පැවසූ ඇමතිවරයා, එය බිඳවැටීම වළක්වා ගැනීම වෙනුවෙන් සුදුසු විසඳුමක් සපයා දීමට මැදිහත් වන බවට පොරොන්දු විය.

මහජන යහපත වෙනුවෙන් යැයි සකස් කරන සංවර්ධන සැලසුම් මෙන්ම මහජන නියෝජිතයන් යැයි කියන දේශපාලනඥයින්ද මහජනයාට සේවය කිරීමට සිටින රාජ්‍ය නිලධාරීන්ද මහජනයාගෙන් මෙතරම් දුරස් වූයේ කෙසේදැයි අපට පුදුම සිතිණි. පුදුම නමුත් ඇත්ත ඒකය!

Vishaka wehella(සටහන - විශාඛා වේහැල්ල)
wehella@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අධිවේගයෙන්' පාරට විසි කළ මිනිස්සු - (විශාඛා වේහැල්ල) | The Leader