The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ ප්‍රශ්න කිහිපය ඡන්දදායක ඔබටයි - (කුසල් පෙරේරා)

T

The Leader Desk

August 26, 2024 • 6:32 PM

මේ ප්‍රශ්න කිහිපය ඡන්දදායක ඔබටයි - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඡන්දදායකයින් “සුපිරි” නම්, අපේක්ෂකයින් “ඩප්පි” විය නොහැක.
  • ඡන්දය සතුව ඇත්තේ පුරවැසියෙකු, වඩාත් පැහැදිලිව කියන්නේ නම්, මේ සමාජයේ සාමාජිකයෙකු ලෙස පුද්ගලයෙකු සතු අත් හළ නොහැකි සමාජ වගකීමකි.
  • සංවර්ධන වැඩපිළිවෙල යනු සාම්ප්‍රදායික මැතිවරණ පොරොන්දු ප්‍රකාශ නොවේ.
  • රටේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස ඔවුන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පියවරෙන් පියවර පැහැදිලි කෙරෙන සැළසුමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

කතා නැතිව ය. ඡන්දදායකයින් “සුපිරි” නම්, අපේක්ෂකයින් “ඩප්පි” විය නොහැක. අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේද ඡන්දදායකයින්ගේ සමාජයෙන්ම වන හෙයිනි. එනිසා ඡන්දදායකයින් ඔවුන්ගේ ඡන්ද අපේක්ෂකයින්ට ලබා දෙන්නේ කුමන හේතුවකටදැයි ඡන්දදායකයින්ගෙන්ම ඇසිය යුතු ය. මේ ඒ සඳහා වන ප්‍රශ්න කිහිපයකි.

01. ඡන්දය දෙන්නේ ඇයි? නැතිනම්, ඡන්දය දිය යුත්තේ ඇයි?

vote

ඡන්දය සතුව ඇත්තේ පුරවැසියෙකු, වඩාත් පැහැදිලිව කියන්නේ නම්, මේ සමාජයේ සාමාජිකයෙකු ලෙස පුද්ගලයෙකු සතු අත් හළ නොහැකි සමාජ වගකීමකි. එහි වෙනත් පෞද්ගලික කිසිවක් නැත. ඒ සමාජ වගකීම වන්නේ, මේ රටේ සමස්ථ ජනතාවගේම අනාගත අභිවෘද්ධිය, දියුණුව, දිවි පැවැත්මේ ගුණාත්මක තත්ත්වය, නිදහස් හා සාමකාමී, ස්ථාවර සමාජයක වර්ධනය කර ගැනීම වෙනුවෙන් පිළිගත හැකි වැඩ සැළැස්මක් ඉදිරිපත් කරන්නාවූ දේශපාලන පක්ෂයක්/කණ්ඩායමක් ආණ්ඩු පාලනයට පත්කර ගැනීමේ වගකීම ය. එනිසා ඡන්දය දිය යුත්තේ ඒ වෙනුවෙන් පමණි.

 

02. ඒ වගකීම ඉටු කිරීමට නම් පක්ෂ හෝ අපේක්ෂකයින් රටට ඉදිරිපත් කරන ඔවුන්ගේ ජාතික සංවර්ධන වැඩපිළිවෙලක් තිබිය යුතුය. සංවර්ධන වැඩපිළිවෙල යනු සාම්ප්‍රදායික මැතිවරණ පොරොන්දු ප්‍රකාශ නොවේ. රටේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස ඔවුන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පියවරෙන් පියවර පැහැදිලි කෙරෙන සැළසුමකි. ඔබ අතට එය පත් විය යුතුය. එය ඔබ කියවා තිබිය යුතුය. ප්‍රශ්නය, මෙතෙක් කිසිදු මැතිවරණයකදී ඔබගේ ප්‍රදේශයේ පක්ෂ නියෝජිතයෙකුගෙන් එවැනි සංවර්ධන සැළසුමක් ඔබ ඉල්ලා තිබේද? පක්ෂ නියෝජිතයෙකු එවැන්නක් ඔබට ලබා දී තිබේද?

fw5345

වෙළඳ සන්නාහ නාම වැනි නම් යෙදූ මැතිවරණ පොරොන්දු ප්‍රකාශන නොවන සැබෑ “සංවර්ධන” සැළසුම් සැළකූ විට, ඒ ප්‍රශ්න දෙකටම, නිසැකයෙන්ම දිය හැකි පිළිතුර නම්, “නැත” යන්න ය. මේ සමාජයේ තවමත් පක්ෂ වෙතින් හෝ අපේක්ෂකයින්ගෙන් එවැනි ජාතික සංවර්ධන සැළසුම් කිසිවකුට ලැබී නැත. ඡන්දදායකයින් ඉල්ලා ඇත්තේද නැත. එනිසා එවැනි දේශපාලන සංස්කෘතියක් මේ සමාජයේ ගොඩ නැගී ඇත්තේද නැත.

 

03. දැනට ප්‍රධාන වශයෙන් කතා වන්නේ ආර්ථික බංකොලොත් බවෙන් රට ගොඩ දැමීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් කොන්දේසි සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමය. ඒ සම්බන්ධ ඔබට ගැටළු තිබේද? ඔබේ ඒ ගැටළු ඔබ අපේක්ෂකයින් වෙත යොමු කර තිබේද?

erw3452

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ල සහ ආණ්ඩුව විසින් අත්සන් කළ සම්පූර්ණ ගිවිසුම පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නැතැයි කියවුනත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හෝ ලොකු ඉල්ලීමක් නැත. පාර්ශව කිහිපයක් සමග ආණ්ඩුව එකඟ වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි ගැන ඇසීමක්ද නැත.  ඒ සියල්ල සිංහල සහ දෙමළ භාෂා වලින් ප්‍රසිද්ධ කරන මෙන් පළමුව ඉල්ලා සිටිය යුතු වූවත් මේ සමාජයේ ඡන්දදායකයින් කිසිවකු එවැනි වගකීම් ගැන නොසිතන හෙයින් මේ රටේ ඡන්දදායකයින්ට ඒ කිසිත් ප්‍රශ්න නොවන්නේ යැයි පක්ෂ නායකයින් තීන්දු කිරීමේ වරදක් ඇත්තේද නැත.

 

04. අවුරුදු දෙකක පමණ කාලයක් ප්‍රධාන මාතෘකාව කරගෙන ඇති ආර්ථික අර්බුදය හැරුණු විට, මේ සමාජයේ ජීවත් වන්නකු ලෙස ඔබට වහා විසඳුම් ලැබිය යුතු වෙනත් බරපතල ප්‍රශ්න මේ සමාජයේ නොමැතිද?

dstw4534

කිසිදු මැතිවරණ වේදිකාවක, සමාජ ව්‍යසන හා සමාජීය විනය පිරිහීම ගැන වගකීමක් ඇතිව කෙරෙන කතා ඇසෙන්නේ නැත. සීඝ්‍රයෙන් වැඩිවන ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දැරිවියන් දූෂණය කිරීම, ළමා අපචාර හා ලිංගික හිංසන, ලමුන්ට කුරිරු ලෙස සැළකීම හා ශාරීරිකව පහරදීම, කප්පම් ගැනීම, කොන්ත්‍රාත් මිනී මැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි කිසිවක් පාලනය කරන්නේ හා වළකා ගන්නේ කෙසේදැයි කතා කරනු අසන්නට නැත. පාසල් හා උසස් අධ්‍යාපනයේ වාව ගත නොහැකි පිරිහීම, සෞඛ්‍ය සේවාවේ හැම අංශයක්ම අඩාලවීම, පොදු මගී සේවා ගැන කිසිදු අවධානයක් ඡන්ද ව්‍යාපාරයෙහි නොමැත. එවැනි කිසිවක් වෙත දේශපාලන පක්ෂවල හා අපේක්ෂකයින්ගේ අවධානයක් නොමැති වීමට ප්‍රධානම හේතුව නම්, ඒ කිසිවක් ගැන ඡන්දදායකයාගේ උනන්දුවක් නොමැතිවීමය. ඡන්දය දෙන්නේ ඒ කිසිවක් විසඳා ගැනීමට නොවන බව එබැවින් පැහැදිලි ය.

 

05. එවැනි කිසිවක් ගැන උනන්දුවක් ඔබට නොමැති නම්, එවැනි සමාජීය අර්බුද විසඳ ගැනීමට පිළිගත හැකි සාර්ථක වැඩපිළිවෙලක් ඉල්ලා සිටින්නට තරම් වුවමනාවක් ඔබට නොමැති නම්, ඔබ ඡන්දය දෙන්නේ කුමක් සඳහාද?

ser45

එයට කිසිදු ඡන්දදායකයෙකු ප්‍රසිද්ධියේ පිළිතුරු නොදෙනු ඇත. එයටද හේතු ඇත. මෙතෙක් ඉතිහාසයේ ඡන්දයක ඇති සමාජ වගකීම ගැන මේ සමාජයේ කතා කර නැති හෙයින් සමාජ වගකීමක් ගැන නොදන්නා ඡන්දදායකයා තම පෞද්ගලික කාරණා විසඳා ගැනීමට ඡන්දය හිලව් කිරීමට පෙළඹී ඇත. එය ප්‍රසිද්ධියේ කතා කළ යුතු කාරණාවක් නොවන්නේ යැයි ඒ ගැන කිසිවකු කතා නොකළත් එය ප්‍රසිද්ධ කතාවකි.


මේ රටේ බරපතලම අර්බදුය ඇත්තේ එතැනය. කිසිදු ඡන්දදායකයෙකු තමන්ගේ ඒ සමාජ වගකීම ඉටු කිරීම වෙනුවෙන්, සර්වජන ඡන්දය පළමු වරට භාවිත කිරීමේ අයිතිය ලැබුණු 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ සිට මෙතෙක් අවුරුදු 93 ක් කිසිදු මැතිවරණයක භාවිත කර නැත. මෙවර භාවිත වන්නේද ඒ වෙනුවෙන් නොවේ.

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 අගෝස්තු 26

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...