The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දෙමළ ජනාධිපති අපේක්ෂක, අනුරපුර නාමල්ගේ සත්‍යක්‍රියාව සහ දකුණට මඟ හැරෙන උතුරු කතන්දර

T

The Leader Desk

August 28, 2024 • 6:43 PM

දෙමළ ජනාධිපති අපේක්ෂක, අනුරපුර නාමල්ගේ සත්‍යක්‍රියාව සහ දකුණට මඟ හැරෙන උතුරු කතන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරේ ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය සහ දකුණේ පුවත් සිරස්තල උතුර නැ‍ඟෙනහිර ස්වාධීන ජනාධිපති අපේක්ෂකයා‍ ලෙස ඉදිරිපත් වුණු පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්, අගෝස්තු 18 වැනි ඉරිදා මුලතිව් හි දී තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළේය.
  • එහි සඳහන් වූයේ මෙවර ජනාධිපතිවරණයට සහාය දැක්වීම පිළිබඳ මත කිහිපයක්ම(එම මත මොනවාදැයි එහි විස්තරාත්මකව සඳහන් කර තිබුණි) පළ වූ අතර ඒ පිළිබඳ විවාද කිරීමේදී ඇතිවුණු උණුසුම් තත්වය නිසා අවසානයේ පක්ෂයේ නායක එස්.
  • ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සභාවෙන් නැඟිට ගිය බවය.
  • ඒ පුවත්පත් තුනේම පළ වු වාර්තාවල ඉඩ වෙන් කොට තිබුනේ, මූලිකව දෙමළ ස්වාධින අපේක්ෂකයා ඉදිරිපත් කිරීම නිසා දෙමළ පක්ෂ භේද භින්න වී ඇති බව වාර්තා කිරීමටය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

උතුරේ ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය සහ දකුණේ පුවත් සිරස්තල

 

උතුර නැ‍ඟෙනහිර ස්වාධීන ජනාධිපති අපේක්ෂකයා‍ ලෙස ඉදිරිපත් වුණු පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්, අගෝස්තු 18  වැනි ඉරිදා මුලතිව් හි දී තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළේය. ඔහුගේ එම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම පිළිබඳව විවිධ විස්තර දැක්වෙන වාර්තා, ඊට පසු දිනවල දෙමළ පුවත්පත් බොහොමයක පළ වී තිබුණි.  

 

දෙමළ පක්ෂ හතක් සහ සිවිල් සංවිධාන හතක් විසින් ගොඩනැගූ සංධානයක් විසින් දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් බව ප්‍රකාශ කිරීම

එහෙත් ජනාධිපති අපේක්ෂක අරියනේත්‍රන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය ගැන අගෝස්තු 19 වැනිදා, අරුණ පුවත්පතේ 8 වැනි පිටුවේ පළවූ කුඩා පුවතක් හැර ඒ පිළිබඳ වෙනත් කිසිදු සිංහල හෝ ඉංග්‍රීසි පුවත්පතක වාර්තාවක් පළ වී නොතිබුණි.

එසේ වුව ද ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය(ITAK)  විසින් මෙවර ජනාධිපතිවරණයේ දී සහාය දැක්විය යුත්තේ කාට දැයි තීරණය කිරීමට, අගොස්තු 18 වැනිදා වව්නියාවේ දී පවත්වන ලද මධ්‍යම කාරක සභා රැස්වීමක් පිළිබඳ, දෙමළ දේශපාලනය ගැන වෙනදා නැති තරමේ විස්තරාත්මක වාර්තාවක් අගෝස්තු 20 වැනි දා දිනමිණ පුවත්පතේ පළ කොට තිබුණි. එහි සඳහන් වූයේ මෙවර ජනාධිපතිවරණයට සහාය දැක්වීම පිළිබඳ මත කිහිපයක්ම(එම මත මොනවාදැයි එහි විස්තරාත්මකව සඳහන් කර තිබුණි) පළ වූ අතර ඒ පිළිබඳ විවාද කිරීමේදී ඇතිවුණු උණුසුම් තත්වය නිසා අවසානයේ පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සභාවෙන් නැඟිට ගිය බවය.

 

නමුත් එදිනම ලංකාදීප සහ අරුණ පුවත්පත්වල එම පුවත පළ වී තිබුනේ පිළිවෙලින් පහත සිරස්තල සහිතවය: ‘ජනපතිවරණයේ සහාය කාටද? ‘දෙමළ සන්ධාන රැස්වීමේ ගාලගෝට්ටි’/ ‘සහාය දෙන අපේක්ෂකයා ‍තෝරන ඉලංකෙයි තමිල් අරසු රැස්වීම ගාලගෝට්ටියකින් කෙළවර වෙයි.’

 

ලංකාදීප පුවත්පත් වාර්තාව - පළමු පිටුව
එසේම අගෝස්තු 21 වැනි දා දිනමිණ, ඩේලි නිව්ස් සහ ඩේලි මිරර් යන සිංහල ඉංග්‍රීසි පුවත්පත්වල මුල් පිටුවේම (ITAK) පක්ෂයත්, දෙමළ ජාතික සන්ධානයත් සම්බන්ධ කොට, දෙමළ ස්වාධීන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ පැන නැගී ඇති අර්බූදය පිළිබඳව වාර්තා කොට තිබුණි. දිනමිණේ එම පුවත වාර්තා කොට තිබුණේ, ‘දෙමළ සන්ධානය එක් පක්ෂයකට සීමා වෙයි’ යන සිරස්තලය සමඟය. ඉංග්‍රීසි පුවත්පත් වලින් ඩේලි නිව්ස් පුවත්පත ‘දෙමළ පොදු අපේක්ෂකයා නිසා දෙමළ ජාතික සන්ධානය තුළ මත බේද’ සහ ඩේලි මිරර් පුවත්පත ‘දෙමළ පොදු අපේක්ෂකයාට එරෙහිව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය දැඩි ක්‍රියාමාර්ග ගැනීම’ වැනි සිරස්තල යොදා තිබුණි. ඒ පුවත්පත් තුනේම පළ වු වාර්තාවල ඉඩ වෙන් කොට තිබුනේ, මූලිකව දෙමළ ස්වාධින අපේක්ෂකයා ඉදිරිපත් කිරීම නිසා දෙමළ පක්ෂ භේද භින්න වී ඇති බව වාර්තා කිරීමටය.  

 

දිනමිණ පුවත්පත් වාර්තාව - පළමු පිටුව


දෙමළ පොදු අපේක්ෂකයා විවේචනය කරමින්,  ඔහුට ඡන්දය දීමෙන් වලකින ලෙසත්, දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන ලෙසත් ඊ.පී.ඩී.පී මාධ්‍ය ප්‍රකාශක අයියාතුරෙයි ශ්‍රී රංගේෂ්වරන් පැවසූ බවට පුවතක් අගෝස්තු 22 වැනි දා දිනමිණ පුවත්පතේ 17 වැනි පිටුවේ පළ වූයේය.  

 

ඩේලි නිව්ස් පුවත්පත් වාර්තාව - පළමු පිටුව

එසේම අගෝස්තු 24 සහ 25 යන දිනවල ඉතා විවාදාත්මක සිරස්තල සහිත පුවත් කිහිපයක් දෙමළ ස්වධීන අපේක්ෂකයා පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්වල දක්නට ලැබුණේය. අගෝස්තු 24 වැනිදා ලංකාදීප පුවත්පතේ 6 වැනි පිටුවේ ‘දෙමළ සන්ධානය පුපුරයි’යන ප්‍රධාන සිරස්තලය යටතේ වාර්තාවක් පළ වී තිබුණි. එවැනි සිරස්තලයක් සහිත පුවතින් වාර්තා කොට තිබුනේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් දෙමළ ස්වාධීන අපේක්ෂකයාට සහාය දීමට තීරණය කිරීම පිළිබඳ පුවතයි.

 

ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව - පළමු පිටුව (2024.08.21)

ඩේලි මිරර් පුවත්පතේ ද එම වාර්තාව පළ වී තිබුණු අතර එම වාර්තාව සිරස්තලයේ සිට අන්තර්ගතය දක්වා ලංකාදීප පුවත්පතේ පළවු පුවතට සමානය. දකුණේ පුවත්පත් වලට, දෙමළ ස්වාධීන අපේක්ෂකයා හෝ එම අපේක්ෂකයාට සහාය දෙන්නේ කවුරුන්ද යන්න එතරම් වැදගත් නැත, එහෙත් එම අපේක්ෂකයා නිසා දෙමළ පක්ෂ භේද භින්න වීම  ඔවුන් මහත් අභිරුචියෙන් පලකළ පුවතකි. එම බෙදීමට හේතුවූ මත ගැටුම කුමක්දැයි සිංහල පාඨකයාට පහදා දෙන්නට කිසිදු පුවත්පතක් උනන්දු වූ බවක් පෙනෙන්නට නැත.

ඉන්පසු අගෝස්තු 25 වැනිදා සන්ඩ් ටයිම්ස් පුවත්පත ද දෙමළ ස්වාධීන අපේක්ෂකයාට, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක සිවඥානම් ශ්‍රීධරන් සහාය දීමට කළ තීරණය වාර්තා කොට තිබුනේ ‘පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් ITAK  පක්ෂය තුළ විශාල බෙදීමක්’ වැනි අදහසක් අඟවන, නොමඟ යවන සුළු සිරස්තලයක් සහිතවය. මේ සටහන ලියන විටත් ITAK නායකයාගේ තීන්දුවෙන් පසු එම පක්ෂයේ වෙනත් කිසිදු වගකිවයුත්තකු ජනාධිපතිවරණයේ දී ගන්නා ස්ථාවරය ගැන කිසිත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැත.  

 

lhker32සති අන්තයේ අරුණ පුවත්පතේ ලිපිය - 7 පිටුව (2024.08.25)

එසේම මෙවර සති අන්තයේ අරුණ පුවත්පතේ (25) දෙමළ ස්වාධීන අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකට පිටු භාගයක් තරම් ඉඩ ප්‍රමාණයක් වෙන් කොට තිබුණි. මෙම අධ්‍යයනය තුළ, දෙමළ ස්වාධීන අපේක්ෂකයා පිළිබඳ එවැනි ආකාරයේ විස්තරාත්මක ලිපියක් සිංහල හෝ ඉංග්‍රීසි පුවත්පතක පළ වී තිබීම නිරීක්ෂණය කළේ පළමු වතාවටය. සිංහල පාඨකයාට පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් නම් දෙමළ දේශපාලකයා පිළිබඳව, උතුරු නැ‍ඟෙනහිර දෙමළ දේශපාලනය, දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් සහ දෙමළ ජනතාවට වෙනම අපේක්ෂයකු ඉදිරිපත් කිරීමට ඇති හේතු පිළිබඳව සැළකිය යුතු මට්ටමින් පැහැදිලි වෙන ආකාරයට එම ලිපිය සකසා තිබුණි. එහෙත් එහි සිරස්තලය වූයේ ‘ මා පරාදයි’ යන්නය.

 

අරියනේත්‍රන් එම ලිපියේ වරෙක ජනමාධ්‍යවේදියා නඟන ප්‍රශ්නයකට මෙසේ පිළිතුරු දෙයි. “අනිත් සමහර අපේක්ෂකයෝ වගේ මම බොරු කියන්නේ නැහැ. මම ඉදිරිපත් වුනාට මම ජයග්‍රහණය කරනවා කියලා මම කියන්නේ නැහැ” තමන් ඉදිරිපත් වන්නේ මැතිවරණ ව්‍යාපාරය තුල දෙමළ අභිලාෂය ඉස්මත්තට ගෙන ඒමට විනා රටේ ජනාධිපති වීමට නොවන බව ඔහු (අනිකුත් බහුතර සිංහල අපේක්ෂකයන්ට වෙනස්ව) මේ වනවිට පැහැදිලිව දක්වා තිබේ. ‘මා පරාදයි’ සිරස්තලයෙන් තවත් ජනාධිපති අපේක්ෂකයකු පලකරන පත්තරයක් සිංහලයා අතර ජනගත කරන්නට හදන්නේ අරියනේත්‍රන් ඡන්දයෙන් පරාජය වීමද, නැතහොත් ඔහු නියෝජනය කරන දෙමළ දේශපාලනය පරාජය වීම ද යන්න සිතා බලනු වටී.

 

මේ වන විට උතුරේ දෙමළ ජනයා වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් නම් හිටපු මන්ත්‍රී සහ මාධ්‍යවේදියා බව සිංහල ජනතාව අතරින් අති බහුතරය නොදැන සිටීම පුදුමයට කරුණක් නොවේ. එහෙත් එම ‍අපේක්ෂකයා නිසා උතු‍රේ දෙමළ පක්ෂ අතර මතභේද ඇති වී ඇති බවත්, දෙමළ ජනයා පෙර සේම දකුණේ ජනාධිපති අපේක්ෂයකුට ඡන්දය නොදී ඔවුන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම නිවැරදි නොවන තීරණයක් බවත් සිංහල ජනතාව ගේ මනසේ මේ වන විට පැළපැදියම් වී ඇතිනම් සහ බහුතරයක් සිංහල ජනතාව ඒ පිළිබඳ සිය අප්‍රසාදය පළ කරන්නේ නම්  එය ද පුදුම වීමට කාරණයක් නොවේ. ඒ  ජනමාධ්‍ය අධිකාරය ජන මනස මෑනවීමේ පලවිපාකය.

 

රාජපක්ෂ පොහොට්ටුව අනුරපුරේ  

 

August 3 Thinakaran තිනකරන් පුවත්පතේ වාර්තාව - අගෝස්තු මස 3

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අගොස්තුවේ මුල් දින කිහිපයේ, තම ජනාධිපති අපේක්ෂකත්වයට අදාළ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භකිරීමටත් ප්‍රථම, නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදු ජන පෙරමුණ, උතුර නැ‍‍ඟෙනහිර දෙමළ තරුණ තරුණියන් සමඟ සමීපව වැඩ කිරීමට සහ උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සූදානම්ය යන කතා බහ දෙමළ පුවත්පත් කිහිපයක(තිනකරන්, කලෙයිකදිර්, ඊළනාඩු) පමණක් පළ වෙමින් තිබුණි. එය සැබවින්ම බැලු බැල්මට කිසිවෙකුට වැටහී යන්නේ නාමල් රාජපක්ෂ තම පවුලේ අතීත උරුමයේ බරින් නිදහස් වී, සැබවින්ම දෙමළ ජනතාවත් සමඟ එක්ව දේශපාලනය කිරීමට කිසියම් කොළ එළියක් දල්වන බවයි. ඒ දිනවල දෙමළ පුවත්පත්වල ඒ සම්බන්ධයෙන් වාර්තා පළ වූයේ ද, නාමල්ගේ දේශපාලනික හැරවුම පිළිබඳ ගැටළුකාරි එහෙත් තරමක සුබවාදි අපේක්ෂාවක් ඇතිව මෙනි.  

 

එහෙත් නාමල් රාජපක්ෂගේ පළමු ජන රැළියේ සිට කොකාගේ සැබෑ සුද පෙන්වීම ආරම්භ වූයේය.

නාමල් රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ පළමු ජනරැළිය අගෝස්තු  21 වැනි දා අනුරාධපුරයේ පැවැත්වුණු අතර ඒ පිළිබඳ පසුදින, දිවයින සහ අරුණ පුවත්පත් පින්තූර සහිත විස්තරාත්මක වාර්තාවක් සපයා තිබුණි. අ‍ගෝස්තු 23 වැනි ලංකාදීප සහ සති අන්තයේ(25), සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ද විස්තරාත්මක වාර්තා පළ වී තිබුණේය. මේ වාර්තා හතරේම හරයාත්මකව සහ ඉදිරිපත් කිරීමේ හැඩය පුදුම එළවන ලෙස සමානය. ඉංග්‍රීසි පුවත්පත ද ඇතුළු අනෙක් සිංහල පුවත්පත් තුනම වාර්තාව වර්ණ ගැන්වීමට රාජපක්ෂ පවුලේ සාටකයේ වර්ණය භාවිතා කිරීමට උත්සුක වී තිබීම පැහැදිලි කාරණයකි.

 

srt34534fලංකාදීප වාර්තාව - 8 පිටුව (2024.08.23)

එසේම සිංහල පුවත්පත් වාර්තා තුනම පැහැදිලි ලෙස ඉතා දර්ශණිය ඡායාරූප කිහිපයක් භාවිතා කොටගෙන වාර්තාව විචිත්‍ර ලෙස ඉදිරිපත් කොට තිබුණි. එම වාර්තා හතර තුළම එක සමාන ලෙස සඳහන් කොට තිබුණේ නාමල් රාජපක්ෂ විසින්, ස්වොත්තමවාදය කරපින්නා ගත් සිංහල බෞද්ධ පුරවැසියාට ආමන්ත්‍රණය කරන ආකාරය ය. එම කතාව තුළ යුද්ධය සහ රණවිරුවා උත්කර්ෂයට නංවන අතරවාරේ දෙමළ ජනයාගේ භාෂාව සංස්කෘතිය ආරක්ෂා කරන්නට පොරොන්දු වූ නමුත් උතු‍රු ‍නැ‍ඟෙනහිර ජනයාට ඉඩම් හෝ පොලිස් බලතල ලබා නොදෙන බවටත්, උතුරු නැ‍ඟෙනහිර කිසිවිටෙක යා නොකරන බවටත් නාමල් රාජපක්ෂ පැවසු බව එම වාර්තාවල අඩු වැඩි වශයෙන් සඳහන් වී තිබුණි.

08.22 කාලෙයිමුරසු උතුරු නැගෙනහිර පිළිබඳ නාමල්ගේ ප් රකාශයකාලෙයිමුරසු උතුරු නැගෙනහිර පිළිබඳ නාමල්ගේ ප්රකාශය (2024.08.22)

දෙමළ ජනතාව ගේ ප්‍රශ්න පිළිබඳ සැබෑවට සංවේදී දේශපාලකයකු තරුණ නාමල් රාජපක්ෂ තුළින් බිහිවේවි යැයි යන්තමින් හෝ අපේක්ෂා සහගත වුණු දෙමළ පුවත්පත් ද ඉතා කෙටියෙන් එම කතාවේ අන්තර්ගතය වාර්තා කොට තිබුණි. කාලෙයිමුරුසු, ඊළනාඩු, තමිල් මිරර්, තිනකරන් යන පුවත්පත් වල, ඒ පිළිබඳව පළ වූ සෑම වාර්තාවකම පාහේ, උතුර නැ‍ඟෙනහිරට කිසිවිටෙක ඉඩම් සහ පොලිස් බල තල ලබා නොදෙන්නේය,  උතුර නැ‍ඟෙනහිර කිසිවිටෙක ඒකාබද්ධ නොකරන්නේ ය යන පොදු ජන පෙරමුණේ ස්ථාවරය පිළිබඳ වාර්තා කොට තිබුණි.

klxd45සන්ඩේ ඔබ්සර්වර් වාර්තාව - පළමු පිටුව

අනුරාධපුර රැළියේ නාමල් රාජපක්ෂ ඇතුළු එහි ජනතාව ඇමතූ කිසිදු දේශපාලකයකුගේ කතා අන්තර්ගතය රජයේ කිසිදු  සිංහල පුවත්පතක් වාර්තා කොට තිබුණේ නැත. එදින ජනතාව ආමන්ත්‍රණය කළ ඩබ්ලිව්. ඩී. වීරසිංහ, සාගර කාරියවසම්, සරත් වීරසේකර, ජොන්ස්ටන් ප්‍රනාන්දු , මහින්ද රාජපක්ෂ වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ නාමල් රාජපක්ෂ කළ කතා ඒකීය රාජ්‍යය, 13 වැනි ව්‍යවස්ථාව බලාත්මක නොකිරීම, රණ විරුවා පවා නොදීම, යුද්ධය නිම කිරීම, සිංහල බෞද්ධ ප්‍රෞඩ ඉතිහාසහය වැනි දෙමළ ජනතාවගේ ඉල්ලීම් නොතකා හරින, සිංහල ජාතිකත්වය පෙරදැරි කොටගත්, දේශ‍ප්‍රේමය උත්කර්ෂයට නංවන වගාලාප වලින් පිරී පැවතීයේය. ඒ කතා අන්තර්ගතය සහමුලින්ම ආමන්ත්‍රණය කරන්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයටයි. මේ මොහොතේ සියළුම සම්ප්‍රදායික පක්ෂ, බයි ‍ටොයි අච්චාරුවක සිටින අතරවාර‍යේ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පොදු ජන පෙරමුණ මේ උත්සාහ දරන්නේ, ‘කළු සිංහලයාගේ’ සමාජ තීරුව අවදි කර, අඩුම තරමේ ජනාධිපතිවරණයේ ඇප නැතිවෙන තරමේ සෝදාපාලුවෙන්  තමන් බේරා ගැනීමටය.

08.23 තමිල්මිරර් උතුරු නැගෙනහිර පිළිබඳ නාමල්ගේ ප් රකාශය.jpgතමිල්මිරර් උතුරු නැගෙනහිර පිළිබඳ නාමල්ගේ ප්රකාශය (2024.08.23)

එහෙත් නාමල් රාජපක්ෂගේ එම උත්සාහයෙන් අවදානමට ලක් වන්නේ, අනෙක් දකුණේ සිංහල ජනාධිපති අපේක්ෂකයන්ගේ, ඉල්ලීම් සහ පොරොන්දු ලබා දෙමින් සංඛ්‍යාත්මකව සුළුතර ජනතාවගේ ඡන්ද මල්ල ඩැහැගන්නට උත්සාහ කරන අතරවාරයේ, ඉතා පරිස්සමින් රැකගන්නා සිංහල බෞද්ධ ඡන්ද ගොඩය. රජයේ සිංහල පුවත්පත්වල නාමල් රාජපක්ෂගේ ‘දේශාභිමානී’ අදහස් ප්‍රකාශ කිරීම් ගැන කිසිවක් පළ නොවන්නේ, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වටා දැනට ගොනු වී ඇති සිංහල බෞද්ධ ඡන්ද ගොඩ අහිමි වීමේ අවදානමෙන් ඔහුව බේරා ගැනීම සඳහාය. එසේම සන්ඩේ ඔබ්සර්වර් වැනි රජයේ ඉංග්‍රීසි පුවත්පතක්, රජයේ සිංහල පුවත්පත්වලට වඩා තරමක් වෙනස් මාධ්‍ය භාවිතාවක යෙදුණේ, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවටත්, කොළඹ කේන්ද්‍රීය දෙමළ ජනතාවටත් නාමල්ගේ සිංහල බෞද්ධවාදී බව හුවා දක්වන්නට දරන උත්සාහයක් නිසා වන්නට පුළුවන.  

ඒ කොයි හැටි වෙතත්, මේ රට තුළ මහා විනාශයක් සිදු කළ යුද්ධයත්, දෙමළ ජාතිය ජනසංහාරයකට පාත්‍ර ‍කළේ යැයි චෝදනා ලබන ලේ වැකි අතීතයත් තවදුරටත් සිංහල ‍බෞද්ධ ජනතාව අතර උත්කර්ෂයට නැංවිය හැක්කේ මොන පරිමාණයෙන්ද, මෙරට දේශපාලකයාට බලයට ඒමට කොයි තරම් දුරකට ජාතිවාදය, ආගම්වාදය තවමත් පාවිච්චි කොට ගත හැකි ද යන්න මෙවර නාමල් රාජපක්ෂට ලැබෙන ජන්ද මල්ලෙන් අපට කියවා ගත හැකිය.


උතුර උණුසුම් වන දකුණට නොදැනෙන පුවත්

 

UN Strictures sunday times 8 25 pg 1සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාව - පළමු පිටුව (2024.08.25)

 

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වොල්කර් ටර්ක් අගොස්තු 22 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කළ අතර වසර එකහමාරක කාල පරිච්ඡේදයක් තුළ දී, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා වී ඇති වදහිංසා සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධ පැමිණිලි 3,000කට ආසන්න ප්‍රමාණයක් එහි සඳහන් වේ. අගෝස්තු 23 වැනි දා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළමු පිටුවේ පළවුණේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහකොමසාරිස්ගේ එම චෝදනා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව දැක්වෙන වාර්තාවකි. එම ලිපියේ වොල්කර් ටර්ක් වාර්තාවේ දක්වා තිබුණු චෝදනා සමහරක් ද සඳහන් කොට තිබුණි.

 

kls5345ඊළනාඩු පුවත් වාර්තාව - පළමු පිටුව (2024.08.23)

 

08.23 ඊළනාඩු ශ් රී ලංකා හමුදාව නව ඉඩම් අත්පත් කර ගැනීම නතර කළ යුතුයි.  ඊළනාඩු ශ් රී ලංකා හමුදාව නව ඉඩම් අත්පත් කර ගැනීම නතර කළ යුතුයි. (2024.08.23)

 

මීට සමගාමීව, අගෝස්තු 23 වැනි දා පුදියසුහන්දිරන් සහ ඊළනාඩු පුවත්පත් දෙකේ පළමු පිටුවේම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව පළ වූ එම වාර්තාව පිළිබඳව සඳහන් කොට තිබුණි. එහෙත් දකුණේ කිසිදු සිංහල පුවත්පතකට එම වාර්තාව වැදගත් පුවතක් වුයේ නැත, එසේත් නැත්නම් මැතිවරණයක් අබියස එම වාර්තාව, සිංහල ජනතාවගෙන් වසන් කළ යුතු පුවතක් වන්නට ඇත.

 

klsjt4පුදියසුහන්දිරන් පුවත පළකර තිබූ අයුරු -පළමු පිටුව (2024.08.23)

pu පුදියසුහන්දිරන් - ලංකා හමුදාව ජනතාවගේ ඉඩම් නිදහස් කළ යුතුයි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා ඇත (2024.08.23) 

උතුරේ දිස්ත්‍රික්ක පහ නියෝජනය කරන, අතුරුදහන්වූවන්ගේ ඥාතින් එක් වී අගෝස්තු 20 වැනි දා කොක්කුතොඩුවායි සමූහ මිනීවල අසල විශාල උද්ඝෝෂණයක් දියත් කරන ලදි. ඔවුන් ඉල්ලා සිටියේ පුද්ගලයන් 54 කගේ ඇටසැකිළි ගොඩගැනීමෙන් පසු අධිකරණ නියෝග මත වසා දැමුණු කොක්කුතොඩුවායි සමූහ මීනී වල යළිත් විවෘත කොට, සත්‍යය හෙළිදරව් කිරීම සඳහා ජාත්‍යන්තර දායකත්වයෙන් යුත් විමර්ශනයක් ඔස්සේ යුක්තිය ඉටු කරන ලෙසය. එම සිදුවීම පුදියසුහන්දිරන්, ඊළනාඩු, තිනකරන් වැනි දෙමළ පුවත්පත් විස්තරාත්මකව වාර්තා කොට තිබුණි.

 

f5656ggතිනකරන් පුවත් වාර්තාව - 7 පිටුව (2024.08.21)

අගෝස්තු 21 වැනි දා අරුණ පුවත්පත හැර වෙන කිසිදු දකුණේ සිංහල හෝ ඉංග්‍රිසි හෝ පුවත්පතක් එම සිදුවීම ගැන වාර්තා කොට තිබුනේ නැත. ‘සමූහ මිනී වලක්’  යන වදන පවා සදාචාරසම්පන්න, වග වන සමාජයක ජන විඥාණය කම්පිත කරවන ඇඟවුමකි. එහි මිහිදන් වී ඇත්තේ කාගේ හෝ ආදරණීයයන් පිරිසකි. උතුරේ තමන්ගේ අතුරුදහන් වූ ආදරණියයන් පිළිබඳ සොයන, විඳවන ඒ වෙනුවෙන් අරගල කරන ඥාතින් පිරිසකි. එවැනි සමූහ මිනී වලක් තුළ මතුවන මිනිස් ඇටසැකිළි ඉදිරියේ එම ඥාතින්ගේ දුක්මුසු හැඟීම්වල බර, සමාජයක් ලෙස අපට දරා ගත හැකිද? එවැනි තත්වයක් තිබියදී මෙවැනි ආකාරයේ පුවතක් කුමන හෝ හේතුවක් නිසා සිංහල සමාජයෙන් වසන් කළ ද, ඒ බිහිසුණු මිලේච්ඡත්වයත්, තම ආදරණීයන් අහිමි කිරීමේ අධර්මිෂ්ඨ බවත්  සැබෑ වින්දියන්ගේ මතකයන් තුළින් නම් වසන්  වී නොයනු ඇත. 

Kokkuthuduwai mass grave Aruna 8 21 pg 7අරුණ පුවත්පත් වාර්තාව 7 පිටුව (2024.08.21)

(සටහන - සුභාෂිණී චතුරිකා)

සබැඳි ලිපි :

දෙමළ ‘පොදු අපේක්ෂක,’ වතුකම්කරු පඩිය සහ නාමල්ගේ ආගමනය මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු

ආණ්ඩුවේ ඊනියා සමාව ගැනීම සහ සුපුරුදු මැතිවරණ පොරොන්දු මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු

දෙමළ මනාප පිටියේ රනිල් සජිත් පොරය

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෙමළ ජනාධිපති අපේක්ෂක, අනුරපුර නාමල්ගේ සත්‍යක්‍රියාව සහ දකුණට මඟ හැරෙන උතුරු කතන්දර | The Leader