The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෙවර ජනපතිවරණයේ ප්‍රතිඵල 'උඩු රැවුල, දරුවන්, සාටක' ආදී බාහිර ප්‍රතිරූප මත තීරණය වෙයි ද?

T

The Leader Desk

August 31, 2024 • 4:43 PM

මෙවර ජනපතිවරණයේ ප්‍රතිඵල 'උඩු රැවුල, දරුවන්, සාටක' ආදී බාහිර ප්‍රතිරූප මත තීරණය වෙයි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉලක්ක කර ගත් විවිධ අපහාසාත්මක අදහස් අපට අසන්නට දකින්නට ලැබිණි.
  • දරුවන්, උඩු රැවුල, උත්තුංග දේහය, ඉංග්‍රීසි සහ සිංහල කථන හැකියාව, ඇඳුම ආදී විවිධ බාහිර කරුණු මත දේශපාලනඥයින්ට ඡන්දය දීමේ යම් ක්‍රමයක් පැවති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නේ ය.
  • කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ජනතා අරගලයක් සිදුවී වසර 2කට පමණ පසු වන අතර, මෙවර ජනාධිපතිවරණයේදී බාහිර ප්‍රතිරූපය නමැති සාධකය කෙතරම් වලංගු වන්නේ ද යන්න සලකා බැලිය යුතු කරුණකි.
  • 'බාහිර ප්‍රතිරූපය' යනු වෙනත් පාර්ශ්වයක් යම් පුද්ගලයෙකු පිළිබඳව කරන සියලු සංජානන, හැඟීම් සහ විනිශ්චයන්ගේ එකතුවක් බව සාමාන්‍යයෙන් සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉලක්ක කර ගත් විවිධ අපහාසාත්මක අදහස් අපට අසන්නට දකින්නට ලැබිණි.

දරුවන්, උඩු රැවුල, උත්තුංග දේහය, ඉංග්‍රීසි සහ සිංහල කථන හැකියාව, ඇඳුම ආදී විවිධ බාහිර කරුණු මත දේශපාලනඥයින්ට ඡන්දය දීමේ යම් ක්‍රමයක් පැවති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ජනතා අරගලයක් සිදුවී වසර 2කට පමණ පසු වන අතර, මෙවර ජනාධිපතිවරණයේදී බාහිර ප්‍රතිරූපය නමැති සාධකය කෙතරම් වලංගු වන්නේ ද යන්න සලකා බැලිය යුතු කරුණකි.

'බාහිර ප්‍රතිරූපය' යනු වෙනත් පාර්ශ්වයක් යම් පුද්ගලයෙකු පිළිබඳව කරන සියලු සංජානන, හැඟීම් සහ විනිශ්චයන්ගේ එකතුවක් බව සාමාන්‍යයෙන් සැලකේ.

"බාහිර ප්‍රතිරූපය මුල් කර ගත් දේශපාලනය" ආසියානු කලාපයේ බහුලව දැකිය හැකි වුව ද, යුරෝපයේ ද එය ක්‍රියාත්මක වන බව දක්නට ලැබේ.

පසුගිය දා, බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් ද ජයග්‍රහණයෙන් පසු බාහිර ප්‍රතිරූපය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ශ්‍රීමත් කියර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු සිය ජයග්‍රාහී කතාවේදී ජනතාව "වෙනසකට සූදානම්ව" සිටි බව පැවසූ අතර, "බාහිර ප්‍රතිරූපය මුල් කර ගත් දේශපාලනය අවසන් කරන" බවට පොරොන්දු විය.

ඉතිහාසයේ ජනතාව දුන් තීන්දු

මහින්ද රාජපක්ෂ උඩු රැවුලක් සහිත උත්තුංග දේහයකට හිමිකම් කී දේශපාලනඥයෙකු වූ අතර, ජාතිකත්වය පෙන්නුම් කරමින් සිය බාහිර ප්‍රතිරූපය නංවා ගැනීමට ඔහු උපක්‍රම රැසක් ක්‍රියාත්මක කළේ ය.

ජාතික ඇඳුම, කුරහන් සාටකය, ජාතිය ආගම සම්බන්ධයෙන් නිතර පාවිච්චි කළ වචන පමණක් නොව 30 වසරක් පැවති සිවිල් යුද්ධය අවසන් කිරීම ද ඔහුගේ බාහිර ප්‍රතිරූපය වර්ධනය වීමට ප්‍රබල ලෙස බලපෑවේ ය.

ඊට අමතරව, මහින්ද රාජපක්ෂ රෙද්ද, බැනියම අඳින ගැමියෙකු යන අදහස ද සමාජගත වී තිබිණි.

වරක් අයවැය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව 'කොහොම ද ගමේ බයියගේ වැඩ?' යනුවෙන් ඔහු උපහාසාත්මකව කළ ප්‍රකාශය හේතුවෙන් ඔහුගේ ආධාරකරුවන්ට 'බයියා' යන නාමය ද පටබැඳිණි.

හෙල්පිං හම්බන්තොට මුදල් වංචාව ආදී විවිධ චෝදනා ඔහුට එරෙහිව එල්ල වුව ද, ඔහු ගොඩනගාගත් ප්‍රතිරූපය හමුවේ දෙවරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමට ඔහුට හැකියාව ලැබිණි.

tyrt7654
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීම සඳහා ද මහින්ද රාජපක්ෂ ගොඩනගා ගත් ප්‍රතිරූපය බලපෑ අතර, ඊට අමතරව, ශක්තිමත් නායකයෙකු ලෙස ගෝඨාභය ද ප්‍රතිරූපයක් ගොඩනගාගෙන තිබිණි.

මේ අතර, රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් වැඩි දෙනෙකු අතර ගොඩනැගී තිබූ ප්‍රතිරූපය ඊට වඩා වෙනස් ය.

ඔහුගේ ඇඳුම්, ඉංග්‍රීසි කථනය සහ සිංහල කථනයේ අඩුපාඩු, බාහිර පෙනුම, යුද්ධයට වඩා සාකච්ඡාමය මාර්ග කෙරෙහි නැඹුරුවක් දැක්වීම ආදී කරුණු හේතුවෙන් රනිල් වික්‍රමසිංහ යනු 'රට පාවා දෙන, බටහිර ගැති' පාලකයෙකු ලෙස විරුද්ධ පක්ෂ විසින් ප්‍රතිරූපයක් ගොඩනගා තිබිණි.

රනිල් වික්‍රමසිංහට දරුවන් නොමැතිවීම සම්බන්ධයෙන් ද විවිධ අපහාසාත්මක විවේචන එල්ල විය.

බොහෝවිට ඔහු වටා ගොඩනැගුණු එම ප්‍රතිරූපය ඔහුගේ දේශපාලන ගමන්මගට අවාසිසහගත විය.

සජිත් ප්‍රේමදාසට ද දරුවන් නොමැතිවීම පිළිබඳව අපහාසාත්මක විවේචන එල්ල වූ අතර, රනිල්ට සාපේක්ෂව ඔහුට එම විවේචන එල්ල වූයේ, මදක් අඩුවෙනි.

දැන් තත්ත්වය කෙබඳු ද?

"ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෝ බහුතරයක් අවුරුදු ගාණක් තිස්සේ බාහිර ප්‍රතිරූපය දිහා බලලා නායකයෝ පත් කරගෙන පාඩම් ඉගෙනගෙන තියෙනවා. මම නම් හිතන්නේ මේ ජනාධිපතිවරණයේදී බාහිර ප්‍රතිරූපය කියන කාරණය වලංගු වෙන එකක් නෑ. විශේෂයෙන් ම ආර්ථික අර්බුදයකට ලක්වීමෙන් පස්සේ, අරගලයක් හරහා ජනාධිපතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක ජනතාව බාහිර ප්‍රතිරූපය දිහා බලයි කියලා හිතන්න අමාරු යි," මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසීය.


ඇය පෙන්වා දුන්නේ, රටක් නිවැරදිව පාලනය කිරීමට දේශපාලනඥයෙකුගේ බාහිර ප්‍රතිරූපය වැදගත් නොවන බව ය.

"දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නෙ රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්, යම් පැහැදිලි වැඩපිළිවෙළක් තියෙන, දැක්මක් තියෙන, විදේශ රටවල් සමග ගනුදෙනු කරන්න පුළුවන් පුද්ගලයෙකු නායකත්වයට පත් කරන්න යි. බාහිර ප්‍රතිරූපය මත රැල්ලට ගහගෙන යන ඡන්ද දායකයින් ප්‍රතිශතය දැන් අඩු වෙලා කියලා මට හිතෙනවා," මහාචාර්යවරිය ප්‍රකාශ කළා ය.


'මේ පාර තත්ත්වය වෙනස්'

මෙවර ජනාධිපතිවරණ සමයේදී අපේක්ෂකයින්ගේ බාහිර ප්‍රතිරූපය සම්බන්ධයෙන් විවේචන හෝ අපහාස එල්ල වීමක් මෙතෙක් සිදුවූ බවක් දක්නට නොලැබෙන බව දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මීට පෙර පැවති ජනාධිපතිවරණවලදී එවැනි විවේචනයන්ට වඩාත් ම ලක්වූ දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ බව ය.


"රනිල් වික්‍රමසිංහ ගත්තොත් එතුමාට ඔය විවේචන එල්ල කළේ, පොදුජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ වගේ පාර්ශව. මේ ජනාධිපතිවරණයේදී තාම එවැනි විවේචන එල්ල වුණේ නෑ. එතුමාට ඉස්සර විවේචන එල්ල කරපු බොහෝ දෙනෙක් ඉන්නෙ දැන් එතුමා එක්ක ම යි. දැන් දෙගොල්ලො ම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ පිහිට ලබමින් ඉන්න නිසා ඒවා මතු කරන්නෙ නෑ."


කෙසේ වෙතත්, අසරණ තත්ත්වයක පසුවන ජනතාව ඉදිරියට යාමේදී රනිල් වික්‍රමසිංහ ජනතාවට සමීප බවක් දක්නට නොලැබෙන බව මහාචාර්යවරයාගේ අදහස යි.

"මම දැකල තියෙනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ ඡන්ද දායකයින් අමතන්න රැස්වීම්වලට යන්නෙ ඉතා වටිනා සූට් එකක් ඇඳගෙන. එතුමාගේ සූට් එක, සපත්තු දෙක, ටයි එක විශාල වටිනාකමක් තියෙන ඒවා. ඒත් ලංකාවේ බහුතර ජනතාව ඉන්නේ එදාවේල හොයාගන්නවත් සල්ලි නැති අවධියක. ඉතින්, ඒ වගේ තත්ත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ ගැන ජනතාව අතර කුමන ප්‍රතිරූපයක් ඇති වෙයි ද කියන එක ප්‍රශ්නයක්."

 

'දැන් ජනතාවට නායකයින්ගේ බාහිර ප්‍රතිරූපයෙන් වැඩක් නෑ'

ආර්ථික අර්බුදය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට අපේක්ෂකයින්ගේ බාහිර ප්‍රතිරූපයෙන් ඵලක් නැතැයි ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, ප්‍රතිරූප මත දේශපාලනය තීරණය වීමේ තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති බව ය.


"මේ වෙලාවේ බාහිර ප්‍රතිරූපය සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල අඩු වෙලා තියෙනවා. මිනිස්සු මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මිනිස්සුන්ට ඕන වෙලා තියෙන්නේ පැහැදිලි වැඩපිළිවෙළක් ඇති නායකයෙක්. ඒ නිසා දැන් ඒ දේවල් ගැන කතාබහ වෙනවා අඩු යි කියල යි මට හිතෙන්නේ," ආචාර්ය දයාන් ජයතිලක පැවසීය.


රට ගොඩනැගීමට නිශ්චිත වැඩපිළිවෙළක් ඇති බව ජනතාවට ඒත්තු ගැන්වීමට සමත් වන අපේක්ෂකයා මෙවර ජයග්‍රහණය කරනු ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.

(කුමුදු ජයවර්ධන)
BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...