මේ දිනවල මැතිවරණ රැස්වීම්වලට සහභාගී වන සෙනග දිහා බලලනම් ජයග්‍රාහකයා ගැන අනුමාන කරන්න ටිකක් අපහසුයි. මොකද සෑම දේශපාලන පක්ශයක්ම බස් රථ යොදාගනිමින් විවිධ පලාත්වලින් රැස්වීම් වලට සෙනග අරගෙන යනව. ඒ වගේම ජන මත විමසුම් සමීක්ෂණ වාර්තාත් ඒතරම්ම විශ්වාස කරන්න බෑ. හේතුව ඒ සදහා යොදාගන්නා නියැදි එතරම් විශ්වාසදායී නෑ. ඒ නිසා ඒවායින් යතාර්ථය පිළිබිඹු වෙන්නෙ නෑ.
චීන යුධ නෞකා තුනකුත් ඉංදියානු යුධ නෞකාවකුත් කොලඹ වරායට
මේ අතර මැතිවරණ ව්‍යාපාරයට ජාත්‍යන්තර බලපෑමුත් තදින් එල්ලවී තිබෙන බව පැහැදිලිවම පේන්න තියෙනවා. ඒ නිසා චන්දදායකයාට අමතරව ගෝලීය බලවතුනුත් මේ මැතිවරණයේ අවසාන ප්‍රතිපලය තීරනය කිරීමට ලොකු බලපෑමක් එල්ල කරනවා. 2015 පැවති ජනාධිපතිවරනයේදීත් ඉන්දියානු, චීන සහ ඇමරිකන් මුදල් විශාල වශයෙන් ප්‍රදාන අපේක්ෂකයන් දෙදෙනාගේ චන්ද ව්‍යාපාරවලට යොදවල තිබුන. ඒ ගැන ජාත්‍යන්තර මාධ්‍ය වල පවා වාර්තා උනා. දේශපාලනය ගැන හොද අවබෝධයක් තියෙන කෙනෙකුට මේ මැතිවරණ ව්‍යාපාර දිහා බැලුවම ප්‍රධාන අපේක්ෂකයන් පිටුපස සිටින්නේ කුමන බලවේගද යන්න තේරුම් ගැනීම ඒ තරම් අපහසු නෑ. විශේෂයෙන් මැතිවරණ ව්‍යාපාරයට වියදම් කරන මුදල් කන්දරාව දිහා බැලුවම ඒක පැහැදිලියි.
එදා දැඩි විශ්වාසයකින් තරගයට අවතීර්ණ වූ මහින්ද රාජපක්ෂ පසුව තමාව පැරද්දුවේ ඉංදියාව කියල ප්‍රසිද්ධියේ චෝදනා කලා. මේ නිසා බොහෝ විචාරකයින් පවසන්නෙ අවසාන තරගය තියෙන්නෙ චීන සහ ඉංදියානු අශ්වයන් දෙදෙනා අතරේ කියලයි. මේ භූ දේශපාලනික අවශ්‍යතා පෙන්නුම් කරමින් පසුගිය සතිය තුල චීන යුධ නෞකා තුනකුත් ඉංදියානු යුධ නෞකාවකුත් කොලඹ වරායට පැමිනියා.
ඔහු ප්‍රදාන අපේක්ෂකයන් තුන් දෙනා සමගම දීර්ඝ සාකච්ඡා පවත්වල තියෙනව.
ඒ වගේම මැතිවරණය අත ලග තිබියදී ඉංදියානු ආරක්ශක උපදේශක අජිත් දොවාල් ගෙ පැමිනීමත් මේ භූ දේශපාලන තරගයේ තීව්‍රතාවය පෙන්නුම් කරනව. ඔහු ප්‍රදාන අපේක්ෂකයන් තුන් දෙනා සමගම දීර්ඝ සාකච්ඡා පවත්වල තියෙනව. ඒ වගේම මේ මැතිවරණයේ තීරනාත්මක සාධකයක් විය හැකි දමිල පක්ශ නියෝජිතයන් සමගත් සාකච්ඡා කරල තියෙනව. ඒ සාකච්ඡාවලදි ද්‍රවිඩ ජනයා දකුනේ ප්‍රධාන අපේක්ෂකයෙකුට සහයෝගය දීමේ ඇති වැදගත්කම ඔහු අවධාරණය කරල තිබුන.
ITAK (ඊලන්කේ තමිල් අරසු කච්චි) සංවිධානය තමන්ගේ සහය සජිත් ප්‍රේමදාසට ලබාදෙන බවට ප්‍රකාශ කිරීම විශේෂ සිද්ධියක්
ඊට දින දෙකකට පසුව ITAK (ඊලන්කේ තමිල් අරසු කච්චි) සංවිධානය තමන්ගේ සහය සජිත් ප්‍රේමදාසට ලබාදෙන බවට ප්‍රකාශ කිරීම විශේෂ සිද්ධියක් විය. ඒ වගේම ද්‍රවිඩ පොදු අපේක්ෂකයකු ලෙස තරගයට ඉදිරිපත් වූ පුද්ගලයාට තරගයෙන් ඉවත්වන ලෙසටද ඔවුන් ඉල්ලීමක් කරල තියෙනවා. මේ බලවතුන්ගේ සහයෝගය නොලැබෙන සමහර ප්‍රදාන අපේක්ෂකයන් දැනටමත් තරග කරන්නෙ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්ම නොවන බවත් පේන්න තියෙනව. විශේෂයෙන් ඉංදියානු කදවුරේ අණුග්‍රහය නැතිව බලයට ආවත් රට පාලනය කරන්න තියෙන අසීරු කම සෑම අපේක්ෂකයෙක්ම වාගේ තේරුම් අරගෙනයි සිටින්නෙ.
මේ අතර රනිල් වික්‍රමසිංහ කදවුර නියෝජනය කරන රාජිත සේනාරත්න විදේශීය බලවේග වලට චෝදනාවක් එල්ල කරල තිබුන. ඔහු ප්‍රකාශ කලේ සමහර බලවත් රාජ්‍යයන් තමන්ගේ වාසිය සදහා ශ්‍රී ලංකාව තුල දුර්වල රජයක් පිහිටුවන්න උත්සාහ කරන බවයි. මේ විදේශීය බලපෑම් මොනවා වූවත් සෑම අපේක්ෂකයෙක්ම පලමුව ජනතාවගෙන් චන්දය ලබාගෙන මැතිවරණය ජයග්‍රහණය කරන්න ඕන. එසේ නැත්නම් කුමන බල කදවුරේ සහයෝගය තිබුනත් වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා මේ දිනවල හැමෝම වගේ තරගෙට විවිධ පොරොන්දු දෙන්න පටන් අරගෙන. ඒ වගේම බොහෝ අපේක්ෂකයන් තමන් බලයට පැමිනියහොත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිලිවෙලත් එලිදක්වල තියෙනව. මේ සෑම වැඩපිලිවෙලකම ආකර්ෂණීය පොරොන්දු තමයි තියෙන්නෙ.
ඡායා : Bharatha Prabhashana Thennakoon
අපි පොරොන්දු දේශපාලනයට තිත තිබියයුතු යැයි පැවසුවත් නැවත වරක් අපි දකින්නෙ ඒ පොරොන්දු දේශපාලනයමයි. මේ පොරොන්දුවල ඉතා ආකර්ෂණීය දීමනා, වැටුප් වැඩිකිරීම්, බදුසහන, සහනාධාර, රැකියා අවස්ථා යනාදිය අඩංගුවෙලා තියෙනවා. නමුත් මේවාට අවශ්‍ය මුදල් සොයාගැනීමට ඉදිරිපත් කරල තියෙන්නෙ ඒ තරම් විශ්වාසනීය වැඩපිලිවෙලක් නොවෙයි. එවැනි එක වැඩපිලිවෙලක් තමයි මේ තාක් රාජ්‍යයට එකතුකරගැනීමට නොහැකිවෙලා තියෙන බදුමුදල් එකතුකරගන්නවා කියන කාරනය. පලමුව මේ බදුමුදල් එකතුකර ගැනීමට නිශ්චිත වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කොට, නැවත භාන්ඩාගාරයේ තත්වය තක්සේරු කර, මෙවැනි සහනාධාර ලබාදෙනව නම් තමයි වඩාත් යෝග්‍ය. නමුත් බොහෝ පොරොන්දු ඉදිරිපත් කරල තියෙන්නෙ මේ අනාගතයේදී ලබාගතහැකියැයි විශ්වාස කරන බදු මුදල් පදනම් කරගෙනයි. ඒ නිසා බංකොලොත් වී යන්තමින් නැගිටමින් සිටින ආර්ථිකයක් සහිත රටක එවැනි අවදානම් සහිත පොරොන්දු ලබාදීම වගකීම් රහිත ක්‍රියාවක් කියල කියන්න පුලුවන්.
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඒ අය සමග දැනට ඇතිකරගෙන තියෙන සම්මුතීන්වල යම් යම් වෙනස්කම් කරන බවට කියන අදහස්ද ඒ තරම් විශ්වාසදායී නෑ. ජාත්‍යන්තර අරමුදල ණය තිරසාර විශ්ලේෂණය හදල තියෙන්නෙ ඒ අයගෙ ප්‍රමිති වලට අනුවයි. ඒවාට ලබාගත් දත්ත අපිට අවශ්‍ය විදියට වඩා ඒ අයගේ අවශ්‍යතාවයන්ට අනුව තමයි භාවිතා කරන්නෙ. විශේෂයෙන් විවිධ අවදානම් පිලිබඳව ඔවුන්ට ඔවුන්ගේම විශ්ලේෂණයක් තියෙනව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හැසිරීම් ගෝලීය බලකදවුරුවල සහ ප්‍රාග්ධනයේ නියෝජිතයන්ගේ ඕනෑ එපාකම් වලට අනුව හැසිරෙන අකාරය අපි ඉතිහාසය පුරා දැකල තියෙනව. සාමාන්‍යයෙන් බලවත් සහ යුරෝපයේ රටවල්වලට බෙදන හැන්දෙන් නොවෙයි කුඩා රටවලට බෙදන්නෙ. විශේෂයෙන් ඇමරිකාවට හිතවත් රාජ්‍යයන්ට මුදල් ලබාදෙන්නෙ අඩු කොන්දේසි පදනම් කරගෙනයි. ඒ අය ස්වාධීන බවක් පෙන්නුම් කලාට සත්‍යය භාවිතය තුල එහෙම නොවෙයි කියන එක වසන් කරන්න බෑ. ඒ නිසා මේ අපේක්ෂා කරන වෙනස්කම් කිරීම් කරුනු කාරනා ගොඩක් මත රදාපවතිනවා වගේම පහසු දෙයක් නොවෙයි.
විශේෂයෙන් ඩොලර් කෝටි ගනණක ණය උගුලක හිරවී සිටින රටකට බොහෝ යෝජනා ක්‍රියාත්මක කරන්න ලැබෙන්නෙ නෑ. අපි තවමත් ණයප්‍රතිව්‍යහගත ක්‍රියාවලියවත් අවසන් කරල නෑ.
ඒ වගේම අපේක්ෂකයන් ඉදිරිපත් කරල තියෙන බොහෝ යෝජනාවලට නිශ්චිත ක්‍රමවේදයක් හෝ කාලපරිච්ඡේදයක් සදහන් කරල නෑ. බොහෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා, යෝජනා කරනවා, පොරොන්දු වෙනවා, බලාපොරොත්තු වෙනවා, යන ආකාරයට තමයි සදහන් කරල තියෙන්නෙ. ඒ නිසා මේවා ක්‍රියාත්මක කරන්නත් පුලුවන් නොකරන්නත් පුලුවන්. විශේෂයෙන් ඩොලර් කෝටි ගනණක ණය උගුලක හිරවී සිටින රටකට බොහෝ යෝජනා ක්‍රියාත්මක කරන්න ලැබෙන්නෙ නෑ. අපි තවමත් ණයප්‍රතිව්‍යහගත ක්‍රියාවලියවත් අවසන් කරල නෑ. ඒ වගේම මූලිකත්වය දෙන්න වෙන්නෙ 2028 ආරම්භ කිරීමට නියමිත ණයවාරික ගෙවීමට මුදල් සොයා ගැනීමටයි. වියදම් කිරීමට වඩා ඉතිරිකිරීමට තමයි මූලිකත්වය දෙන්න ඕන. කෙසේවෙතත් මේ ලිපියේ අරමුණ ප්‍රදාන අපේක්ෂකයන් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල අඩංගු ප්‍රදාන කරුනු දෙස සංසන්දාත්මකව බැලීමයි.
අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)
ජාතික ජන බලවේගය පිටු 192 ක දීර්ඝ වැඩපිලිවෙලක් ඉදිරිපත් කරල තියෙනව.
ජාතික ජන බලවේගය පිටු 192 ක දීර්ඝ වැඩපිලිවෙලක් ඉදිරිපත් කරල තියෙනව. මේ වැඩපිලිවෙල දිහා බැලූවම පේන්නෙ සමාජයේ සියලුම කොටස් සතුටු කරන්න ඉදිරිපත් කරපු වැඩපිලිවෙලක් ලෙසයි. දීර්ඝ ලේඛනයකින් ප්‍රශ්න හදුනාගැනීමත් පැහැදිලි කිරීමත් කරල තියෙනව. ඒ සදහා දත්ත ඉදිරිපත් කරල තියෙනව. නමුත් මුලින්ම කී පරිදි බොහෝ යෝජනා ක්‍රියාත්මක කිරීමට බංකොලොත් බවේ ගිලී සිටින රටක් ප්‍රතිපාදන සොයා ගන්නේ කෙසේද යන්න ප්‍රස්නයක්. ඒ වගේම සමහර යෝජනා ඉදිරිපත් කරල තියෙන්නෙ කාල සීමාවන් සදහන් නොකරයි. උදාහරණයකට නව විශ්වවිද්‍යාල, පාසැල්, සැමට විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය දීමනා, බදුසහන, වැට් බදු අඩුකිරීම වගේ පොරොන්දු සියල්ල ඉෂ්ට කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවෙනවා.
මේ අතරින් ආර්ථිකයට බලපාන ප්‍රධානම කාරනය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන ණය තිරසාර විශ්ලේෂණය (debt sustainability analysis) වෙනස් කිරීමට කර ඇති යෝජනාවයි. මේ යෝජනාව විශාල ආන්දෝලනයකට හේතුවෙලා තියෙනවා. විපක්ෂයේ සමහර ආර්ථික විද්වතුන් මේ යෝජනාව මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන වැඩපිලිවෙල කඩාවැටී නැවත රටතුල අර්බුදයක් නිර්මානය වීමට හේතු වියහැකි බව ප්‍රකාශ කරල තියෙනවා.
ජාජබය ඉදිරිපත් කර ඇති ආකර්ෂණීයම පොරොන්දුව තමයි 2015-2019 කාල පරිච්ඡේදයේදී යහපාලන ආණ්ඩුව ආරම්භ කල නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාවක් සකස් කිරීමේ වැඩපිලිවෙල ඉදිරියට ගෙනයෑම
ජාජබය ඉදිරිපත් කර ඇති ආකර්ෂණීයම පොරොන්දුව තමයි 2015-2019 කාල පරිච්ඡේදයේදී යහපාලන ආණ්ඩුව ආරම්භ කල නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාවක් සකස් කිරීමේ වැඩපිලිවෙල ඉදිරියට ගෙනයෑම. නව ව්‍යාවස්තාවක් තුලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ නව පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති කිරීමට පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරුන්ට ලබාදී ඇති දීමනා සහ වරප්‍රසාද අහෝසි කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, තීරුබදු රහිත බලපත්‍ර අහෝසි කිරීම, අමාත්‍ය මණ්ඩලය 25 කට සීමා කිරීම වාගේ ආකර්ෂණීය සහ ජනප්‍රිය පොරොන්දු දීල තියෙනව. ඒ වගේම චන්ද දායකයාට මන්ත්‍රීවරුන් නැවත කැදවීමේ බලය ලබාදෙනව කියලත් සදහන් කරල තියෙනව.
මීට අමතරව පාස්කු ප්‍රහාරයට දැනට වරදකරුවන් වී සිටින අයට නඩු පවරන බවත් නොවිසඳුණු ඝාතන හා පැහැරගනීම් විමර්ශනය කොට නීතිය ක්‍රියාත්මක කරන බවටත් පොරොන්දු වෙලා තියෙනව. උතුරු නැගෙනහිර පලාත්වල බලය බෙදීම ගැන සදහන් කර නොමැති වුවත් වසරක් ඇතුලත පලාත්සබා චන්දය පවත්වන්න පොරොන්දු දීල තියෙනව. ඊට අමතරව දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, දේශපාලන ඝාතන, මිනීමැරුම් විමර්ශනය කොට යුක්තිය ඉෂ්ට කිරීම, රැකවරණය අවශ්‍ය යුධ වැන්දඹුවන්ට, අනාතයන්ට සහ ආබාධිත අයට සහන ලබාදීමට පොරොන්දු දීල තියෙනව.
තවත් වැදගත් පොරොන්දුවක් තමයි සොරාගත් වත්කම් ආපසු ලබාගැනීම (STAR) සහ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳව එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය (UNODC) ආදී ජාත්‍යන්තර ආයතන වල තාක්ශනික සහය සහ උපදෙස් ලබාගැනීම සදහා ආයතනයක් පිහිටුවීම. ඒ වගේම අල්ලස් සහ දූශන නඩු කාර්‍යක්ශම කිරීමට ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පිහිටුවීමට පොරොන්දු දීල තියෙනව. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකම දූශන විරෝධී කාර්‍යාලයක් පිහිටුවීමටත්, චෝදනා මාස 6 ක් ඇතුලත විමර්ශනය කිරීමටත් පොරොන්දු වෙලා තියෙනව.
නව ගුරුවරුන් 20,000 ක් බදවාගැනීමටත්, තවත් රැකියා අවස්ථා 15,000 ක් උපාධිධාරීන් සදහා ඇතිකිරීමටත් පොරොන්දු දීල තියෙනව.
ආර්ථිකය ඉහල නැංවීම සම්බන්ධයෙන් කිරි නිශ්පාදන ගොවිපල 15,000 ක් සහ කුකුල් ගොවිපල 5,000 ක් පිහිටුවීමට යෝජනා කරල තියෙනව. වසර පහක් තුල කෘෂි ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීමටත් අපනයන කෘෂි ගම්මාන 1000 ක් බිහිකරන බවත් ප්‍රකාශ කරල තියෙනව. ඒ වගේම ජාතික කර්මාන්ත සැලසුම් බුද්ධි මණ්ඩලයක් (Industrial Think Tank) ස්තාපිත කිරීමටත් විවිධ ඛනිජ ද්‍රව්‍ය නිශ්පාදනය කිරීම සදහා කර්මාන්ත ශාලා ආරම්භ කිරීමටත් යෝජනා කරල තියෙනව. ඒ වගේම නව ගුරුවරුන් 20,000 ක් බදවාගැනීමටත්, තවත් රැකියා අවස්ථා 15,000 ක් උපාධිධාරීන් සදහා ඇතිකිරීමටත් පොරොන්දු දීල තියෙනව.
එලෙසම 2030 වසර වනවිට තොරතුරු තාක්ශන ක්ශේත්‍රයේ ශ්‍රම බලකාය 200,000 දක්වා ඉහල නංවන බව සදහන් කරල තියෙනවා. මීට අමතරව පුද්ගලයකුගේ මාසික අදායම් බදු සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහල දැමීමට පොරොන්දු වෙලා තියෙනවා. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිලිබඳව සදහන් වන්නේ එක් එක් ආයතනය වෙන් වෙන්ව සලකාබලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
සජිත් ප්‍රේමදාස (සමගි ජන බලවේගය)
සමගි ජන බලවේගය චන්ද දායකයාට තමාගේ සමාජ ආර්ථික වැඩපිලිවෙල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එකක් බව ඒත්තු ගැන්වීමට උත්සාහ කරල තියෙනව.
සමගි ජන බලවේගය චන්ද දායකයාට තමාගේ සමාජ ආර්ථික වැඩපිලිවෙල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එකක් බව ඒත්තු ගැන්වීමට උත්සාහ කරල තියෙනව. සමාජ සාධාරණත්වය මුල්කරගත් සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් බිහිකරන බවට ඔවුන් පොරොන්දු වෙලා තියෙනව. එමගින් දුප්පත් කම අඩුකිරීමටත් දුප්පත් සහ පොහොසත් අය ඇති විශාල පරතරය අඩුකිරීමටත් කටයුතු කරන බවට පොරොන්දු දීල තියෙනව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන මූලික ගිවිසුම දිගටම ක්‍රියාත්මක කිරීමට ඔවුන් පොරොන්දු වෙලා තියෙනව. ඔවුන්ගේ සමාජ ආර්ථික වැඩපිලිවෙලට අනුව පීඩාවට පත්ව ඇති සමාජයේ දුගී කොටස්වලට සහන ලබාදීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙලට යම් සංශෝධන ඉදිරිපත් කරන බව පවසල තියෙනව.
දූශනය පිටුදකින බවටත් දූශන විරෝධී නීති ශක්තිමත් කරන බවටත් පොරොන්දු දෙන ඔවුන්ද ජාත්‍යන්තර STAR (Stolen Asset Recovery) වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන බවත් ඊට සම්බන්ධ සියලු ජාත්‍යන්තර ආයතන සමග කටයුතු කරන බවත් ප්‍රකාශ කරල තියෙනව. එම වැඩපිලිවෙල තමන් බලයට පැමින මාසයක් ඇතුලත ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වෙලා තියෙනව. දැනට පිහිටුවා ඇති දූෂණ විරෝධී ත්‍රී පුද්ගල මහාධිකරණය යලි බලගන්වා අල්ලස් සහ දූෂණ නඩු අප්‍රමාදව දිනපතා විභාග කිරීමට කටයුතු කරන බව පවසා තියෙනව.
ඒ වගේම පොදු ප්‍රසම්පාදන පනත (public procurement act) බලාත්මක කරන බවටත් සහතික වෙලා තියෙනවා. අපනයන ආර්ථිකය දිරිගැන්වීම සදහා විශේෂ බදුසහන යෝජනා කරල තියෙනව. ඒ සදහා අපනයන කරුවන් සදහා ආයතනික බද්ද 30% සිට 6% දක්වා අඩුකිරීමට යෝජනා කරල තියෙනවා. ඒ වගේම බදු මගහැරීම සදහා ලාබාංශ වෙනත් ස්තාන වලට මාරුකිරීමට උත්සාහ කරන බහුජාතික සමාගම් සදහා 15% ක විශේෂ බද්දක් යෝජනා කරල තියෙනවා. විශ්‍රාමිකයන්ගේ බැංකු තැන්පතු සදහා 15% ක පොලී අනුපාතයක් ලබාදීමටත් පොරොන්දු වෙලා තියෙනව.
සහල් මාෆියාව නැතිකිරීම සදහා සමූපකාර ක්‍රමයට රට පුරා "ශක්ති" නමින් සහල් මෝල් වැඩපිලිවෙලක් ඇතිකිරීමට පොරොන්දු වෙලා තියෙනව.
සහල් මාෆියාව නැතිකිරීම සදහා සමූපකාර ක්‍රමයට රට පුරා "ශක්ති" නමින් සහල් මෝල් වැඩපිලිවෙලක් ඇතිකිරීමට පොරොන්දු වෙලා තියෙනව. ඒ මගින් සහල් මිල අඩුකිරීමට අපේක්ෂා කරන බව සදහන් කරල තියෙනවා. ඒ වගේම කෘෂි නිෂ්පාදන කල්පවත්වා ගැනීම සදහා දේශගුණය පාලනය කල හැකි සිසිල් කාමර සහිත ගබඩා ඇතිකරන බවට පොරොන්දු වෙලා තියෙනවා. "ප්‍රභාෂ්වර" ලෙස නම්කර ඇති මේ වැඩපිලිවෙල යටතේ මෙවැනි ගබඩා රට පුරා තෝරාගත් ස්ථාන වල ඇතිකරන බවත් එමගින් දැනට අස්වැන්න නෙලාගැනීමෙන් පසුව ඇතිවන 40% ක් පමනවූ නාස්තිය වලක්වා ගතහැකි බවත් පවසා තියෙනවා. කෘෂිකර්මාන්ත ක්ශේත්‍රයට ආකර්ෂණීය තවත් පොරොන්දුවක් තමයි සියලු ගොවි ණය අහෝසි කරන බවට දී ඇති පොරොන්දුව. ඒ වගේම සෑම ගොවියෙකුටම කිලෝග්‍රෑම් 50 ක පොහොර බෑගයක් Rs. 5,000 කට ලබාදීමට පොරොන්දු දීල තියෙනවා. තවද ගොවියන්, ධීවරයින්, ත්‍රී රෝද රථ රියදුරන්, පාසැල් ප්‍රවාහන සේවාවන් සදහා ඉන්ධන සහනාධාර ලබාදීමට යෝජනා කරල තියෙනවා.
දුප්පත්කම තුරන් කිරීමට ජනසවියට සමාන වැඩ සටහනක් සදහා දුගී අයට මසකට රුපියල් 20,000 බැගින් වසර දෙකක් ලබාදීමටත් සහතික වෙලා තියෙනවා. රජය සතු ආයතන කළමනාකරණය කිරීම සදහා සිංගප්පූරුවේ ටෙමසෙක් (Temasek) ආකෘතියට සමාන සමාගමක් ඇතිකිරීමට යෝජනා කරල තියෙනවා. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් අවම වශයෙන් 24% කින් ඉහල නැංවීමටත් ඒ අනුව අවම වැටුප රුපියල් 57,500 දක්වා ඉහල යන බවත් ප්‍රකාශ කරල තියෙනවා. මීට අමතරව අදායම් බදු සීමාව මසකට රුපියල් ලක්ෂය දක්වා ඉහල දැමීමට පොරොන්දු වෙලා තියෙනවා.
බලය විමද්‍යගත කිරීම සම්බන්ධයෙන් දහතුන් වන ව්‍යාවස්තාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සජබෙ පොරොන්දු වෙලා තියෙනව. ඒ වගේම පලාත්සබා මැතිවරණය මාස 6 ක් ඇතුලත පැවැත්වෙන බවත් ප්‍රකාශ කරල තියෙනවා. ඒ වගේම තමන් බලයට පැමින මාස තුනක් ඇතුලත නව කොමිෂන් සබාවක් පත්කර පාස්කු ප්‍රහාරය පිලිබඳව විමර්ශනයක් කොට වින්දිතයන්ට සාධාරණය ඉශ්ට කරන බවත් වැරදිකරුවන් සියල්ල නීතිය හමුවට ගෙනගොස් දඩුවම් ලබාදෙනබවටත් පොරොන්දු වෙලා තියෙනවා.
රනිල් වික්‍රමසිංහ
රනිල් වික්‍රමසිංහ තමන් මේතාක් ක්‍රියාත්මක කල ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යෑම අත්‍යාවශ්‍ය බවත් එයින් ඉවත්වීම අනතුරු දායක බවත් පවසනවා.
රනිල් වික්‍රමසිංහ තමන් මේතාක් ක්‍රියාත්මක කල ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යෑම අත්‍යාවශ්‍ය බවත් එයින් ඉවත්වීම අනතුරු දායක බවත් පවසනවා. පසුගිය වසර දෙක තුල බංකොලොත් වූ රට ඒ අගාධයෙන් ගොඩගැනීමට තමන් සමත්වූ බව ඔහු පවසනවා. ජාත්‍යන්තර මුදල සමග ඇතිකරගත් සම්මුතියට අනුව ඉදිරියට යන බව පවසන ඔහු තමන් දියත් කල ආර්ථික වැඩපිලිවෙලෙන් ලබාගත් ප්‍රතිපල ඉදිරියේදී ජනතාවට බුක්ති විදිය හැකි බවද පවසනවා.
ලබන වසරේ සිට සෑම රාජ්‍ය සේවකයකුටම අඩුම වශයෙන් සියයට 24 ක වැටුප් වැඩිකිරීමක් පොරොන්දු වී ඇති ඔහු ඒ අනුව රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 55,000 දක්වා ඉහල යන බව පවසයි. තවද ඉදිරි වසර තුල රැකියා අවස්ථා ලක්ෂයක් ලබාදීමටත් ඔහු පොරොන්දු වෙලා තියෙනවා. නව ආර්ථික කලාප ඇතිකරමින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමත් යෝජනා කරල තියෙනවා. නව ව්‍යාවස්තාවක් ඉදිරි වසරතුල සම්මත කරගැනීමටත්, ද්විතීයික රාජ්‍ය සභාවක් පිහිටුවීමටත් යෝජනා කරල තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවාද නැද්ද යන්න පාර්ලිමේන්තුවට තීරණය කිරීමට ඉඩ දෙන බව ඔහු පවසා තියෙනවා. දූශනය නැවත්වීමට තමන් දැනටමත් අනපනත් සම්මත කරගෙන තිබෙන බව පවසන රනිල් වික්‍රමසිංහ ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.
රාජ්‍ය ආයතන (SOEs) සම්බන්ධයෙන් දැනට ආරම්භ කල ඇති වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාමට ඔහු බලාපොරොත්තු වනවා. ඒ වගේම ඔහු ඉංදියානු සහයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ව්‍යාප්පෘති ගනනාවක් සදහන් කරල තිබුනා. විවිධ ප්‍රදේශවල වෙළද කලාප ඇතිකිරීම, සුලං සහ සූර්ය බල ශක්ති ව්‍යාප්පෘති ආරම්භ කිරීම. තෙල් පිරිපහදු දෙකක් ගොඩනැගීම, මුහුද යටින් ඉංදියාවට තෙල් නල මාර්ගයක් ඉදිකිරීම, දෙරට අතර විදුලි පද්ධතීන් සම්බන්ධ කිරීම ආදී ව්‍යාප්පෘති මේ අතර සදහන් වෙනවා.

මීට අමතරව සෑම අපේක්ෂකයෙක්ම ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම, කෘෂිකර්මාන්තය සදහා නව තාක්ශනය යොදාගැනීම, වැට් බදු අඩුකිරීම, අඩු ආදායම් ලාභීන් හා ආබාධිතයින් සදහා සහනාධාර ලබාදීමට පොරොන්දු වෙලා තියෙනවා.
ජනාධිපති අපේක්ෂකයන්ගේ මේ පොරොන්දු පත්‍රිකා දිහා බැලුවම බංකොලොත් වූ රටක මේවා ඉෂ්ට කිරීමට ප්‍රාග්ධනය සොයාගන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවෙනවා. ඩොලර් කෝටි ගනනක ණය උගුලක සිරවී සිටින රටක ඉදිරි වසර පහ තුල ක්‍රියාත්මක කල හැකි දේ ඉතා සීමිතයි. මේවා ඉෂ්ට කරගැනීමටනම් නැවතත් ණය ලබාගැනීමට තමයි සිද්ධවෙන්නෙ.
මේ යෝජිත වැඩපිලිවෙලවල් පිලිබඳව අදහස් දක්වා ඇති ස්වාධීන ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන ආයතනයක් වන ඇඩ්වකටා (Advocata) සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා සදහන් කරන්නේ මේවා ශ්‍රී ලංකාවේ මූල්‍ය අවකාශය තුල ක්‍රියාත්මක කිරීමට ඉතා අපහසු පොරොන්දු බවයි. විශේෂයෙන් රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීම, රාජ්‍ය අංශය පුලුල් කිරීම සහ බදුසහන ලබාදීම ක්‍රියාත්මක කලොත් එහි පල විපාක දැරිය නොහැකිවනු ඇතිබවට අනතුරු අගවල තියෙනවා. ඒ වගේම කල නොහැකි පොරොන්දු ලබාදීම තුලින් ජනතා බලාපොරොත්තු ඉහල නැංවීම අවදානම් බවත් ඒවා ඉදිරියේදී ඉතා නරක ප්‍රතිපල ඇතිකල හැකි බවත් තවදුරත් පවසනවා.
විශේෂයෙන් 2019 දී බලයට පැමිනි ජනාධිපතිවරයා බලයට පැමිනියේ මෙවැනි ආකර්ෂණීය පොරොන්දු ගනනාවක් දීලයි. ඒ පිලිබඳව ජනතාවගේ දැඩි විශ්වාසයක් සහ බලාපොරොත්තු තිබුනා. නමුත් ඒවා එකින් එක කඩාවැටෙන විට ඉතා කැරලිකාරී තත්ත්වයක් රටේ උදාවුනා. ඒ නිසා කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කලත් ඔහුට මුහුනපාන්න වෙන ගැටලු ඉතා අභියෝගතමකයි. ඒවගේම කලාපයේ අනිකුත්, පකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින වාගේ රටවල ඇතිවී ඇති තත්වයන් සහ එම රටවල් තුල සිදුවන ලෝක බලවතුන්ගේ මැදිහත්වීම් අපේ රටේ අනාගතය කෙරෙහිත් ලොකු අවිනිශ්චිත බවක් ඇතිකරනවා. ඒ වගේම ගෝලීය ආර්ථික ඉදිරි දැක්මත්, සුපිරි බලවතුන්ගේ බලය තහවුරු කරගැනීම සදහා ඇතිවියහැකි කලාපීය යුධ ගැටුම්වලට ඇති ඉඩකඩත් ඉතා අයහපත් ලෙස අපිට බලපාන්න පුලුවන්.
(අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)



