The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සමාජ-ප්‍රජාතන්ත්‍රීය අවකාශයේ හිස් තැන පිරවීමට 'මාලිමාව' සමත් වෙයි ද? - (ගාමිණී වියන්ගොඩ)

T

The Leader Desk

September 6, 2024 • 5:47 AM

සමාජ-ප්‍රජාතන්ත්‍රීය අවකාශයේ හිස් තැන පිරවීමට 'මාලිමාව' සමත් වෙයි ද? - (ගාමිණී වියන්ගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බරපතළ පරිවර්තනීය අවධියකට පැමිණෙන ඕනෑම සමාජයක් ගමන් කරනු ඇත්තේ අවදානම්කාරී අත්හදාබැලීම් මැද්දෙනි.
  • එයින් ඇතැම් අත්හදාබැලීම් සාර්ථක වෙයි.
  • මේ කාලය තුළ, විප්ලවය විසින් කිසිසේත් අපේක්ෂා නොකළ, භීෂණකාරී අවධීන් ඇති විය.
  • ප්‍රතිවිප්ලවකාරී අවධීන් ඇති විය.
අකුරු ප්‍රමාණය (Font Size):

බරපතළ පරිවර්තනීය අවධියකට පැමිණෙන ඕනෑම සමාජයක් ගමන් කරනු ඇත්තේ අවදානම්කාරී අත්හදාබැලීම් මැද්දෙනි. එයින් ඇතැම් අත්හදාබැලීම් සාර්ථක වෙයි. තවත් ඒවා අසාර්ථක වෙයි. මේ කියන බරපතළ පරිවර්තනීය අවධිය තුළ කිසිවක් පිළිබඳ අවසානාත්මක නිගමනයකට පැමිණිමට නොහැකි වීම සාමාන්‍ය ස්වභාවයයි. එය පවතින්නේ, නිරන්තර වෙනස්වීම් ජාලයකින් සමන්විත ක්‍රියාසන්තතියක් වශයෙනි.

ප්‍රංශ විප්ලවය උදාහරණයට ගත්තොත්, එහි ආරම්භක අභිලාෂයන් ස්ථාවර පදනමකින් ස්ථානගත වීමට දීර්ඝ කාලයක් ගත විය. මේ කාලය තුළ, විප්ලවය විසින් කිසිසේත් අපේක්ෂා නොකළ, භීෂණකාරී අවධීන් ඇති විය. ප්‍රතිවිප්ලවකාරී අවධීන් ඇති විය. විප්ලවයෙන් අපේක්ෂා කළ ජනරජය වෙනුවට, විප්ලවය ඔළුවෙන් සිටවූ නව අධිරාජ්‍ය යුගයක් පසු කිරීමටත් ඊට සිදු විය.

 

democracy 2022.01.04

ඒ බව කීවේ, එම තත්වය අපේ වර්තමානයට සමාන යැයි කීමට නොවේ. අස්ථාවර බවක් සහ අනාරක්ෂාවක් සමග උද්වේගයක්, ඕනෑම සමාජ අත්හදාබැලීමක් සමග එකට ගමන් කළ හැකි බව පෙන්වා දීමට පමණි. එසේ වෙතත්, ප්‍රංශ විප්ලවය සිදුවන අවස්ථාවේ එරටට නොතිබුණු බලසම්පන්න ආරක්ෂක පවුරක් අද අපට ඇත. එය අප හඳුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නමිනි. මේ කියන ප්‍රජාතන්ත්‍රවාදය විසින්, එක්තරා ආකාරයක සීමානිර්ණයක් සිදු කෙරේ. අපේ සෑම හැලහැප්පීමක්ම එකී සීමාවන් තුළ පවත්වාගැනීමට, ධනේශ්වර මෙන්ම සමාජවාදී ව්‍යාපාරයනුත් කටයුතු කිරීම, නූතනත්වයේ ඇති විශිෂ්ටතම ජයග්‍රහණයයි. ඒ නිසා, ප්‍රංශ විප්ලවයේ අත්හදාබැලීමේ අතුරු අනිසි ප්‍රතිවිපාක ඒ ආකාරයෙන්ම අපටත් අත්විය හැකැයි සිතිය යුතු නැත. 

ධනවාදය ඇත්තේ කොහේ ද ?- ජ.වි.පෙ. හා පෙරටුගාමීන් තොත්ත බබාලා වීම !

 

ප්‍රජාතන්ත්‍රවාදය නමැති අමු පාලන ක්‍රමය, විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, වර්ධනීය අවධියකට හෙවත් ඔප්නැංවූ මාදිලියක් වෙත පරිණාමය වී තිබේ. එය අප හඳුන්වන්නේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය, සමාන්තරව වර්ධනය වූ දේශපාලනික ක්‍රමවේදයක් සහ ආර්ථීක ක්‍රමවේදයක් වන නිසා, බොහෝවිට සිදු වුණේ, ධනවාදය විසින් සමානුපාතික නොවන ආකාරයකින් සහ සමාජ සාධාරනිය නොවන ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදය තුළට සිය ආක්‍රමණය සිද්ධ කිරීමයි. ඒ ප්‍රශ්නයට මාක්ස්වාදීන්ගේ පිළිතුර වුණේ, ධනවාදය අහෝසි කර සමාජවාදී ආර්ථීකයක් ස්ථාපනය කිරීමයි. එය අසාර්ථක ව්‍යාපෘතියක් වූ බව අපි දනිමු. 

මාක්ස්වාදීන්ගේ මේ යෝධ අත්හදාබැලීමට ප්‍රතිචාරයක් වශයෙන්, අතරමැදි ස්ථානයක් වෙත සම්ප්‍රාප්ත වීම තුළ ඇති වටිනාකම ලෝකයාට අවබෝධ වුණි. දියුණු ධනපති රටවල සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාර ආරම්භ වන්නේ එවැනි පසුබිමක් මතයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදයට, එකට ගමන් කළ හැකිය සහ ගමන් කළ යුතුය යන ස්ථාවරය එහි අරටුව වශයෙන් තිබේ. එකක් වෙනුවෙන් අනෙක අත්හළ යුතු නැත. සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය යනු, සමාජ හිතකාමී දෘෂ්ටියක් තුළ, දේශපාලනික, සමාජයීය සහ ආර්ථීක දර්ශනයක් ස්ථාපිත කරගැනීමකි. මූලික මිනිස් අයිතීන් ආරක්ෂා කෙරෙන, 'සමාජ-වෙළෙඳපොල ආර්ථීකයක්' හෙවත් ගාල කඩාගෙන යාමට වෙළෙඳපොළට ඉඩ නොතබන ක්‍රමයක් ඇති කෙරෙන, සියලූ ජන කොටස් ආරක්ෂා කෙරෙන සමාජ-දේශපාලන ක්‍රමයක්, 'සමාජ ප්‍රජාතන්ත්‍රවාදී' ක්‍රමයක් වශයෙන් හැඳින්විය හැකිය.

 

හරි පාර' : අලුත් දේශපාලන සිතියමේ අපි සිටිය යුත්තේ කොතනද ? - (රවී කරුණානායක)

අපට සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයක්වත්, සමාජ-වෙළෙඳපොල ආර්ථීක ක්‍රමයක්වත් උරුම නොවුණේ, අපේ දේශපාලනික සංස්කෘතියේ දිළිඳු බව නිසා ය. සංස්කෘතියක් යනු නීතියකින් හෝ අණපනතකින් ඇති කළ හැකි දෙයක් නොවේ. එහෙත්, දේශපාලනික සංස්කෘතියක් ඇති කරගැනීමට, නීතියක් සහ ශක්තිමත් ආයතනික පද්ධතියක් අවශ්‍ය කරයි. දේශපාලනික සංස්කෘතිය ගොඩනැගෙන්නේ ඒ යටිතල පදනම මතයි. අපේ ආයතනික පද්ධති (අධිකරණය, පොලීසිය, නීතිපති, රාජ්‍ය සේවය, පාසල් පද්ධති සහ රාජ්‍ය ආදායම් උපයන ආයතන ආදිය) අද තිඛෙන්නේ දුර්වල මට්ටමකයි. මෙය නිවැරදි කිරීම, දීර්ඝ ක්‍රියාවලියකි. එහෙත් ඒ සඳහා ආරම්භයක් ගත යුතුව තිබේ. ඒ ආරම්භය ගත හැක්කේ, රාජ්‍ය නායකත්වයටයි. රට කරවන සියලූ බලවේගයන් ඊට අයත් ය. ඒ අතරේ, අපේ වර්තමාන සංයුතිය තුළ, ප්‍රමුඛ තැනක් ගන්නේ, ජනාධිපතිවරයා ය.

zzsri lankan politics kusal perera 3 530x365

 

ජනාධිපතිවරණයක් ළඟදී එළැඹෙන වත්මන් මොහොතේ විශේෂත්වය මෙයයි: පණිවිඩයක් තිබේ. පණිවිඩකරුවෙක් සිටී. පණිවිඩය ලබන්නාගේ අපේක්ෂාවට පණිවිඩය ගැළපෙයි නම් සහ පණිවිඩකරුවා කෙරෙහි විශ්වාසයක් පණිවිඩය ලබන්නා තුළ පවතින්නේ නම්, පණිවිඩය සාර්ථක වෙයි. පණිවිඩය, සත්‍යයක්ද නැත්ද යන්න කිසිසේත් අදාළ නැත. සත්‍යයට කිට්ටු බවක් හෝ සත්‍යයේ සේයාවක් හෝ තිබුණොත් හොඳටම ඇති. මෙය අපි සජීවී උදාහරණයකින් සලකා බලමු: ''75 වසරක් තිස්සේ රට කරපු එවුන් මෙතෙක් කර ඇත්තේ මේ රට කාපු එකයි.'' පසුගිය වසර දෙක තුනක කාලය තුළ මෙය ජනප්‍රිය ව්‍යවහාරයට පත්ව ඇත.

වර්තමාන කතිකාව තුළ එය අසත්‍යයකියි කියන්නේ කවුද? ඒ තරමට එය ඉතා ආකර්ශනීය සටන්පාඨයකි. අප නිදහස ලබන අවස්ථාවේ, රටක එක පුද්ගල ආදායම අතින් ගත් විට, අපේ කලාපයෙන් අප සිටියේ තුන්වැනි ස්ථානයේ ය. එදා අපට ඉදිරියෙන් සිටියේ ජපානය සහ මැලේසියාව පමණි. දකුණු කොරියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව සිටියේ අපට පසුපසිනි. ඒ සියලූ රටවල් අද අප පසු කර ගොස් ඇත. අත්කරගත යුතුව තිබුණු දියුණුව අපෙන් මඟහැරී ඇති බව පැහැදිලියි. එහෙත්, මේ කියන සටන්පාඨය මේ මොහොතේ මෙතරම් ආකර්ශනීය වුණේ වෙන කිසිවක් නිසා නොව, ගෝඨාභය රාජපක්ෂගේ අත්හදාබැලීමක් පුපුරායාම නිසා පමණක්ම බව, මොහොතක් නතර වී කල්පනා කර බැලූවොත් කෙනෙකුට පෙනේවි. 'රට කෑම', සැබවින් ඊට අනුරූප නොවන දැඩි මාත්‍රාවකින් අපේ ඇඟට එන්නත් කෙළේ ඔහු ය. නොඑසේව, අවුරුදු 75 ක ඔය කියන 'කාබාසිනියාව' සම්පූර්ණ ඇත්තක් නම්, සැප්තැම්බර් 21 වැනිදාට අප ජනාධිපතිවරයෙකු පත්කරගත යුත්තේ, අවුරුදු පහකට නොව, අවුරුදු පනහකට ය. මන්ද යත්, ඔය කියන තරම් 'කාබාසිනියාවක්' පිළිසරක කිරීම ඊට මෙහා කාලයකින් කිසිසේත් කළ හැකි දෙයක් නොවන බැවිනි.

විරෝධතාකරුවන් අරගල භූමියෙන් අද ඉවත්වේ !

 

නැත, 'දියුණුව' යැයි ගන්නා සම්මත ශ්‍රේණිය තුළ අප අත්පත් කරගෙන ඇති සාපේක්ෂ සාර්ථකත්වයන් රාශියක් තිබේ. 1948 දී අපේ අධ්‍යාපනික මට්ටම, අපේ සෞඛ්‍ය මට්ටම, මන්දපෝෂණය, අපේ පරමායුෂ, ළමා මරණ අනුපාතිකය සහ මාතෘ මරණ අනුපාතිකය, ජනගහනයට සමානුපාතිවකව වෛද්‍යවරුන් සහ ගුරුවරුන් සංඛ්‍යාව, රෝහල් සංඛ්‍යාව, විශ්වවිද්‍යාල පද්ධතිය, ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය, විදුලිය පහසුකම, දියුණු පරිපාලන සේවය, සන්නිවේදන සම්බන්ධතා, සමස්ත රටේ යටිතල ව්‍යුහය සහ ලෝකය සමග සබඳතා ආදී සියලූ ක්ෂේත්‍රවලින් විශාල දුරක් අප පැමිණ ඇති බව පිළිගැනීම, මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයන්ට දෙන සහතිකයක් යැයි ගත යුතු නැත. ඒ දේශපාලනඥයන්ගෙන් බහුතරයක් මේ රටේ ධනය සොරාකා ඇති බව අපි දනිමු. අන්ත දූෂිතයන් වී ඇති බවත් අපි දනිමු. එසේ වෙතත්, අපේ චිත්‍රය තද කළු නැත. අපේ කලාපයේම බොහෝ රටවල්, ඒකාධිපතිත්වයන් දක්වා ගමන් කරද්දී, මේ දක්වා කෙනෙකුට අවශ්‍යතාව තිබුණත්, එවැනි මාර්ගයක ගමන් කිරීමට කිසිවෙකුට නොහැකි තරමට අපේ ප්‍රජාතන්ත්‍රීය සම්ප්‍රදාය සාපේක්ෂ ශක්තියක් ප්‍රදර්ශනය කර ඇති බව කෙනෙකු පිළිගත යුතුය.

 

ජාතික සංහිඳියාවට අහිතකර ලෙස විශ්වාසනීයත්වය පිළිබඳ පරතරය වර්ධනය වේ - ජෙහාන්  පෙරේරා

ඇත්ත වශයෙන්ම, මේ කියන කාලය තුළ අපි අසාර්ථක වී ඇති ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් තිබේ. එකක් වන්නේ, 'ජාතික රාජ්‍යය' යැයි සැලකෙන, සියලූ ජාතීන් එක් කරගත් සාමූහිකය ඇති කරගැනීමට අප අපොහොසත් වීමයි. දීර්ඝ සිවිල් යුද්ධයකට අප මුහුණදුන්නේ එබැවිනි. මෙය, සමාජ-දේශපාලනික අසාර්ථකත්වයකි. දෙවැන්න වන්නේ, නිදහස ලැබීමේදී තිබුණු, පංති විසමතාව ආර්ථීක ප්‍රගතියත් සමග අවම වෙනවා වෙනුවට උග්‍ර වීමයි. එනම්, සමාජයේ වැඩිම ආදායම් ලබන සියයට 20 සහ අඩුම ආදායම් ලබන සියයට 20 අතර ඇති පරතරය විශාල වී තිබීමයි. අද වන විට, සමාජයේ ඉහළම සියයට 20 තීරුව, රටේ සමස්ත ගෘහ ආදායමෙන් සියයට 50 ක් භූක්ති විඳින අතර පහළම සියයට 20 තීරුවට හිමි වන්නේ සියයට 5 ක් යැයි පිළිගැනීමට සිදු වී තිබීමම, අප අසාර්ථක වී ඇති තරම පෙන්වයි.

සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යකරණයක් සහ සැබෑ සමාජ-වෙළෙඳපොල ආර්ථීක ක්‍රමයක් අපට අද අවශ්‍ය කරන්නේ මේ සමස්ත පරිහානියෙන් ගොඩඒමටයි. නිදහසේ පටන් දශක කිහිපයක්, මේ කියන සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය මහපොළොවේ ස්ථාපිත කිරීමට සුදුසුකම් ඇතැයි සිතුණු දේශපාලනික ව්‍යාපාර කිහිපයක් තිබුණි. මේ වන විට, එක්කෝ ඒවා වඳ වී ගොසිනි. නැත්නම්, වෙනත් දේශපාලනික භාවිතයන් බවට රූපාන්තරණය වී ගොසිනි. එබැවින්, අඩුම වශයෙන් දැන් දශක දෙකක් තිස්සේවත්, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන විශාල පුරප්පාඩුවක් අපේ දේශපාලනික අවකාශය තුළ තිබේ.

 

නව අනාගතයක් පිළිබඳ සමාජ පරිකල්පනය - (සුමිත් චාමින්ද)
එය, එක පැත්තකින් අලූත් දේශපාලනික සංස්කෘතියක් ඉල්ලා සිටින පුරප්පාඩුවකි. අනිත් පැත්තෙන්, සමාන ආර්ථීක අවස්ථා සැපයෙන, ආර්ථීක ප්‍රගතියට සමානුපාතිකව, පවතින සමාජ විසමතා අවම කෙරෙන සමාජ-වෙළෙඳපොළ ආර්ථීකයක් ඉල්ලා සිටින පුරප්පාඩුවකි. අනුර කුමාර දිසානායක නායකත්වය සපයන 'මාලිමාව' මේ කියන මුල් කාරණයේදී, අනෙක් ප්‍රධාන ප්‍රතිවාදියා පරයන තත්වයක සිටින බව කිව හැකිය. එනම්, අලූත් දේශපාලන සංස්කෘතියක් තථ්‍ය වශයෙන් අපේක්ෂා කළ හැක්කේ ඔහුගේ කණ්ඩායමෙන් පමණක් යැයි විශ්වාස කරන විශාල ජන්ද පදනමක් බිහි වී ඇති බවයි. මේ මතවාදය එතරම් ශක්තිමත්ව සමාජගත වීම සහ ඒ මතවාදයට හිමිකාරීත්වය 'මාලිමාවට' හිමි වීම, 'අරගලයේ' අතුරු ඵලයකි.

 

2020 මහ මැතිවරණය: ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක

කෙසේ වෙතත්, මෙවැනි මතවාදයක් දැඩි සමාජ අවශ්‍යතාවක් වශයෙන් ගැඹුරින් ප්‍රකාශයට පත්වීම පසුපස ඇති මනෝවිද්‍යාවක් තිබේ. එහිදී, මේ මතවාදය සූත්‍රගත කරන නායකත්වය සතු චරිත ස්වභාවය මුලින්ම වැදගත් වෙයි. අනුර කුමාර දිසානායකගේ චරිතය, වෙනත් සම්ප්‍රදායික පක්ෂ නායකයන්ගෙන් කැපීපෙනෙන වෙනසක් පෙන්නුම් කරයි. අනිත් නායකයන්, රාජ්‍ය බලය හොබවා ඇති කඳවුරකට අයත් වීමත්, අනුර කුමාර දිසානායක එවැනි කඳවුරකට සෘජුව අයත් නොවීමත්, ඔහුගේ චරිතයේ ජනතාව දකින මේ විශේෂත්වයට හේතු විය හැකිය යන කාරණය බැහැර කළ නොහැක. (එය, ඔහුට පමණක් නොව, ඔහුගේ මුළු කඳවුරටම අදාළ සාධකයකි). එබැවින්, අලූත් දේශපාලන සංස්කෘතියක්, එවැනි කුළුදුල් කෙනෙකුගෙන් බලාපොරොත්තු වීම අස්වාභාවික නැත.

දෙවැන්න වන්නේ, මේ මතවාදය (අලූත් දේශපාලන සංස්කෘතියක අපේක්ෂාව) වෙත ආකර්ශනය වන ජනතාවගේ තත්කාලීන මනෝභාවයයි. ඒ වනාහී, ගෝඨාභය රාජපක්ෂ විසින් ඇති කරන ලද කඩාවැටීම, සමස්ත සම්ප්‍රදායික දේශපාලනික කුලකයේම විශ්වසනීයත්වය භංග කරවන සාධකයක් වශයෙන් ක්‍රියාවට නංවා ඇති තත්වයක් වශයෙන් හඳුනාගත හැකිය. එසේ හෙයින්, අලූත් දේශපාලන සංස්කෘතියක් බිහි කළ හැකි බලවේගය, සම්ප්‍රදායික දේශපාලනික කුලකයට අයත් නොවන 'මාලිමාව' බවට පොදු සමාජ මතයක් මේ මොහොතේ ඇතිව තිබේ.

 

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන් ද? - (අජිත් පැරකුම් ජයසිංහ)
ජනප්‍රිය මහජන අපේක්ෂාවක් ඡන්දයකින් ජයග්‍රහණය කරවීම, අදාළ අපේක්ෂාව සාක්ෂාත් කරගැනීමේ මුල්ම සහ පහසුම අදියරයි. එහෙත්, ඒ අපේක්ෂාව මහපොළොවේ යථාර්ථයක් කරගැනීම, හුදෙක් ජනතා අපේක්ෂාවේ හාස්කමකින් පමණක් කරගත හැකි දෙයක් නොවන තරමට දුෂ්කරයි. සොරකම, දූෂණය සහ නාස්තිය නතර කිරීම හෝ අවම කිරීම සම්බන්ධයෙන් 'මාලිමාවට' ඇති ශක්‍යතාව, අප කියන අලූත් සංස්කෘතියට අවශ්‍ය කරන එක් යෝධ අංගයකි. මේ කාර්යභාරය 'මාලිමාවෙන්' ඉටු වෙතියි විශ්වාස කළ හැකි අතර, එසේ නොවෙතියි කීමට විශේෂ තර්කයක් නැත. එහෙත්, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී නිවහන ඊට වඩා විශාලයි. එහිදී, සමාජ-වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමයක් එහි පිටිවහලට අවශ්‍ය කෙරේ. ඒ සම්බන්ධයෙන් 'මාලිමාව' මේ දක්වා ප්‍රකාශයට පත්කර ඇති අදහස්වල සංගත බවක් දක්නට නැත. අනුරූප බවක් දක්නට නැත. සමහරවිට පරස්පරතාද දක්නට ලැබේ. 

භක්තිය සහ විශ්වාසය අතර වෙනසක් තිබේ. විශ්වාසය, තර්කයට සහ වියහැකියාවට, වඩාත් කිට්ටුයි. භක්තිය, එයින් බොහෝ ඈතයි. ඒ සඳහා, තර්කයක් සහ ප්‍රායෝගිකත්වයක් පිළිබඳ නිශ්චිත අදහසක් අවශ්‍ය නොකෙරේ. අවශ්‍ය කරන්නේ, පොදුවේ ගත හැකි මහා ආඛ්‍යානයකි. මේ මොහොතේ ඒ මහා ආඛ්‍යානය වන්නේ, ''අවුරුදු හැත්තෑ පහක් උන් රට කෑවා'' යන්නයි. ඉතිං, ඒ කෙරෙහි වන මහා පිළිකුල සහ කෝපයම පමණක්, 'රට කෑමට' සහභාගී වී නැතැයි සැලකෙන පිරිසක් කෙරෙහි වන භක්තියක් බවට පෙරැළෙයි. අද 'මාලිමාව' වටා පෙළගැසී සිටින අති-බහුතරය, එවැනි භක්තිවන්තයන්ගෙන් සමන්විතයි. මෙවැනි අවස්ථාවක බොහෝවිට සිද්ධ වන්නේ, නායකත්වයේ අවංක අභිලාෂයට හානියකි. 'මේරියන්ස්' සංගීත කණ්ඩායම කළ එක් කෙටි වීඩියෝවක්, 'මාලිමාවට' අගතියක් වී ඇතැයි යන පදනම යටතේ, එකී සංගීත කණ්ඩායම විසින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන තත්වයකට පත්කර ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණු නායකත්වය විසින් නොවේ. අර කියන අන්ධ භක්තිවන්තයන් විසිනි. 'මේරියන්ස්ලා' යනු ව්‍යාපාරික කලාකාර ඒකකයක් වන බැවින් ඔවුන් බිය වුණේ භක්තිවන්තයන්ටයි. (ඔවුන්ගේ වෙළෙඳපොළ ඇත්තේ එතැන බැවිනි). කෙසේ වෙතත්, 'මේරියන්ස්' හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ කලා සංස්කෘතික හෝ වෙනත් ප්‍රකාශනයක් මොනම ආකාරයකින්වත් වාරණය කිරීමේ ප්‍රතිපත්තියක් තමන්ට නැතැයි, මෙය ලියන මොහොත දක්වා, 'මාලිමාවෙන්' ප්‍රකාශයට පත්ව නැත.

 

සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී හිඩැස පිරවීම සඳහා, විවෘත භාවය සහ අනෙකා ඉවසීම අත්‍යාවශ්‍යයි. භක්තිවන්තයාගේ ඡන්දය වටිනා එකක් වුණත්, ඡන්දයෙන් පසුව ඒ භක්තිවන්තයාගේ බර තමන්ගේ කරට නොගැනීමට තරම් පැහැදිලි දෘෂ්ටියක් ව්‍යාපාරයකට තිබිය යුතුයි. බලයට පත්වන 'මාලිමාවක්' මුහුණදෙන එක් ප්‍රධාන අභියෝගයක් එයයි. එය දෘෂ්ටිවාදී ය. දෙවැනි අභියෝගය වන්නේ, අප ඉහතින් කී විශාල සහ පෘථුල ප්‍රහාරක පරාසයට (75 වසරක් උන් රට කෑවා යන්නට) සහමුලින් යුක්තිය ඉෂ්ට කෙරෙන සමාජ-ආර්ථීක මොඩලයකට හිමිකම් කීමයි. 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදල' සමග ඉදිරියට යාමට 'මාලිමාව' එකඟ වී සිටීම, ඒ අතින් සාධනීයයි. එහෙත්, ගමන් කළ යුතු මුළු දුර ඊට වඩා හුඟාක් ඈතයි.     

 

මුහුණදිය යුතුව ඇති අභියෝගය, ''උන් සහ අපි'' යන සරල සමීකරණයෙන් පමණක් ආවරණය කළ හැකි දෙයක් නොවන බව පසක් වන්නේ රාජ්‍ය බලය පරිහරණය කිරීමේදී ය. ඒ අර්ථයෙන් ගත් විට, අපේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයේ හිඩැස 'මාලිමාවට' පිරවිය හැකි වෙයිද යන්න ඉදිරියේදී දැකගැනීමට ඇති කාරණයකි.    

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමාජ-ප්‍රජාතන්ත්‍රීය අවකාශයේ හිස් තැන පිරවීමට 'මාලිමාව' සමත් වෙයි ද? - (ගාමිණී වියන්ගොඩ) | The Leader