අවසන් ය. මෙහි අවධානය යොමු කෙරෙන්නේ ඔවුන් අධ්‍යාපනය ගැන දක්වා ඇති අදහස්, යෝජනා සහ පොරොන්දු වලට ය. මා උත්සාහ කරන්නේ ඒ සියල්ලන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පොදු විවරණයකට, කතිකාවකට ගැනීමට ය.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ “පුළුවන් ශ්‍රී ලංකා” යැයි හදන ගුවන් මාළිගාවෙහි “දැනුමෙන් සන්නද්ධ සමාජයක්” පොරොන්දු වන්නේ, “අනාගතයේ අප හමුවේ ඇති තාක්ෂණ, ආර්ථික හා සමාජීය අභියෝග ජය ගැනීමට නම්, දැනුමෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් සන්නද්ධ සමාජයක් නිර්මාණය කළ යුතුයි”කියා ය. ඒ වෙනුවෙන් පොරොන්දු ගොන්නක් ඇත.

“සැමට ජයක්”යැයි ඇත්තේ සමගි ජන බලවේගයෙහි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ පොරාන්දු මල්ල ය. එහි “අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ තාරුණ්‍ය”යැයි ආරම්භ කෙරෙන්නේ “අධ්‍යාපනය යනු මූලික අයිතිවාසිකමකි. මානව ප්‍රාග්ධනය අපගේ ප්‍රමුඛතාවයි”කියා ය. ඒ යටතේ අධ්‍යාපනය නවීකරණය කිරීමට පොරොන්දු 19 ක් ඇත. ඒවා අප්‍රමාදව හෝ 2025 ට පෙර හෝ 2025 සිට ක්‍රියාත්මක කරන්නටද පොරොන්දු වන්නේය.

ජාතික ජන බලවේගය “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්”යැයි ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ යෝජනා සඳහන් මැතිවරණ පොරොන්දු ප්‍රකාශනය ප්‍රසිද්ධකර ඇත. එහි පූර්විකාවෙහි “අද ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇති සමාජ පරිවර්තනය”ගැන කියන්නේ “එය දැවැන්ත සමාජ පරිවර්තනයකි. නිදහසෙන් අවුරුදු 76 කට පසු ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පරිවර්තනයකට එහා ගිය සමස්ත සමාජ පරිවර්තනයකි; පුනරුදයකි”යැයි කියා ය. ඔවුන් කියන අයුරු, “ශිෂ්ට සම්පන්න හා වගකීම් සහගත පුරවැසි සමාජයක පැවත්ම හා සංවර්ධනය රඳා පවතින්නේ එම සමාජයේ ගුණාත්මක අධ්‍යාපන ක්‍රියාවලිය මතය”.

“ඔබ වෙනුවෙන් දියුණු රටක්” යැයි වන නාමල් රාජපක්ෂගේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශයෙහි අධ්‍යාපනයට සම්බන්ධ පොරොන්දු සමූහයද අන්තර්ගතයකින් තොර එහි සඳහන් අයුරුම “ව්‍යුහාත්මක වෙනසකට”සීමා කෙරෙන යෝජනා ය. ඒවායේ ඇති හිස් බව නිසාම, ඔහුගේ ප්‍රකාශනයෙහි කියන්නාවූ “...... ලෝකයේ ඕනෑම රටක රැකියාවක නිරත විය හැකි පරිදි මෙරට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබනු ලැබේ” යන්න නිකම්ම හිස් කතාවක් පමණක් බැව් එය කියවූ විගස තේරුම් යන්නකි.
අධ්‍යාපනය කුමකට ද?
නූතන ලෝකයේ ආර්ථික ක්‍රියාවලිය විධිමත් අධ්‍යාපනයෙන් ඉල්ලා සිටින්නේ “රැකියාභිමුඛ” ඉගැන්වීමකි.
මේ අපේක්ෂකයින්ගේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අපගේ වර්තමාන ජාතික අධ්‍යාපන ක්‍රමයෙහි ඇති බංකොලොත් බව ඔවුන් තේරුම් නොගත් බව පමණක් නොව, නූතන සමාජයක අධ්‍යාපනය මගින් අපේක්ෂා කරන්නේ කුමක්දැයි ඔවුන් නොදන්නා බවත් ප්‍රදර්ශනය වන්නේය. නූතන ලෝකයේ ආර්ථික ක්‍රියාවලිය විසින් විධිමත් අධ්‍යාපනයෙන් ඉල්ලා සිටින්නේ “රැකියාභිමුඛ” ඉගැන්වීමකි. යහපත් සමාජයක් සඳහා සත් පුරුෂයෙකු හැදීමේ වගකීමත් එනමුත් ඉන් අත් හැරී නැත. අප ගැන කතා කළහොත් අපට අවශ්‍ය විධිමත් අධ්‍යාපනයෙන් අපගේ බහු සංස්කෘතික සමාජයේ ගෞරවනීය සමානයින් ලෙස ජීවත් විය හැකි ආකල්පමය අවබෝධයක් ඇති පුරවැසියෙකු ශ්‍රම වෙළඳපල සඳහා ජීවන කුසලතා සමගින් හැදිය යුතුය. එය නොවන බැව් අපි දනිමු.
ජාතික අධ්‍යාපනය”සඳහා ආණ්ඩු විසින් තව දුරටත් ප්‍රමුඛතාවක් නොදෙති.
කෝල්බෲක්-කැමරන් කොමිසම විසින් 1833 දී පාසල් අධ්‍යාපනය යටත් විජිත පාලනයේ වගකීමක් විය යුතු යැයි නිර්දේශ කළ දින සිට, අවුරුදු 190 ට වැඩි කාලයක් ජාතික අධ්‍යාපනය ආණ්ඩුවක වගකීමක් ලෙස පවතින ශ්‍රී ලංකාවේ නිල වශයෙන් නොවුනාට, “ජාතික අධ්‍යාපනය”සඳහා ආණ්ඩු විසින් තව දුරටත් ප්‍රමුඛතාවක් නොදෙති. නිදහස් අධ්‍යාපනය යැයි සිතා සිටින රජයේ පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පිටත සංවිධානයවී ඇති නාගරික මැදපංතිකයින් සඳහා වන පෞද්ගලික අධ්‍යාපනය ආණ්ඩු හා දේශපාලන පක්ෂ විසින් පිළිගෙන තිබෙන්නකි. මෙවර හැම ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙකුම ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනවල පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් ලබා දිය හැකි සහන සහ පිළිගැනුම සහතික කර ඇත.
මේ විලම්බීත අධ්‍යාපනය (1) රැකියාභිමුඛ අධ්‍යාපන ක්‍රියාවලියක් ලෙසත් (2) බහු සංස්කෘතික සමාජයක සත් පුරුෂයෙකු හැදීමේ වගකීමත් ඇති වැදගත් පලදායි ජාතික අධ්‍යාපනයක් බවට පත් කළ හැක්කේ කෙසේද?
පළමුවැන්න, අධ්‍යාපනය අවසානයේ රැකියාවක් කිරීමේ සුදුසුකම් ඇතිව සමාජයට පය තබන තරුණයෙකු, තරුණියක හදන්නාවූ අධ්‍යාපනයක් සැළසුම් කිරීමය.
එයට මූලික කාරණා දෙකක් පාදක විය යුතුය. පළමුවැන්න, අධ්‍යාපනය අවසානයේ රැකියාවක් කිරීමේ සුදුසුකම් ඇතිව සමාජයට පය තබන තරුණයෙකු, තරුණියක හදන්නාවූ අධ්‍යාපනයක් සැළසුම් කිරීමය. එයට නියත වශයෙන් පැනවෙන කොන්දේසියක් ඇත. ආර්ථිකය විසින් නොකඩවා රැකියා උත්පාදනය කෙරෙන්නේද යන්නට අමතරව, ඒ කවර ක්ෂේත්‍ර සඳහා කවර වර්ගවල රැකියාද යන්න පුරෝකතනය කරන්නට හැකි විය යුතුය. ඉදිරි අවුරුදු 20 ක 25 ක කාලයේ ආර්ථික ක්‍රියාවලිය විසින් ඉල්ලා සිටින්නේ කවර වෘත්තීන්, තාක්ෂණ හා කාර්මික ක්ෂේත්‍ර සඳහාවන ශ්‍රමික ප්‍රජාවක්දැයි අධ්‍යාපනය සැළසුම් කිරීමේදී දැන සිටිය යුතුය. සරළ කතාව නම්, ආර්ථිකය ගැන කතා නොකර, රැකියාභිමුඛ අධ්‍යාපන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කතා කළ නොහැක. ආර්ථික ක්‍රියාවලිය තීන්දු වන්නේ ජාතික සංවර්ධන සැළසුමක ප්‍රමුඛතා අනුවය. සරළ පැහැදිලි කිරීමක් වන්නේ, “ජාතික සංවර්ධන”සැළසුමට අනුව, ඉදිරි දසකයක දෙකක කාලයේ ග්‍රාමීය ආර්ථික වර්ධනය සඳහා වැඩි අවධාරණයක් තබන්නේ නම්, අපට වැඩියෙන් අවශ්‍ය වන්නේ කෘෂි ව්‍යාප්ත සේවය වෙනුවෙන් තාක්ෂණික ක්ෂේත්‍ර නිලධරයින් නම්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විධිමත් අධ්‍යාපනයෙහි එයට ඉඩ තැබිය යුතුය. එවැනි කිසිදු සංවර්ධන සැළසුමක් නොමැතිව, අන්තර්ජාල හා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රයක් පිහිටුවීම ගැන ලෝවට කීමේ අරුතක් නැත.
‘56 සිට ගොඩ නැගූ අතීතකාමයට සීමා වුනු අන්තර්වර්තික දැනුම වෙනුවට ලෝකයට විවෘත වන දැනුමකට ළමුන් යොමු කරනවාද නැද්ද
වර්තමාන ලෝකයේ රැකියාභිමුඛ අධ්‍යාපනයක් සැළසුම් කිරීම, දේශීය හා ගෝලීය ආර්ථිකය අතර නිෂ්පාදන හා වාණිජ සබඳතා සම්බන්ධ ගනුදෙනුව ස්ථානගත කෙරෙන්නේ කෙසේද යන්නත් සමග තීන්දු කළ යුත්තකි. එය දේශපාලන තීන්දුවක් බවද කිව යුතුය. එවැනි සංවර්ධන සැළසුමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පදනම් විය යුත්තේ, පාසල් අධ්‍යාපනයේ ළමුන්ට හඳුන්වා දෙන දැනුමෙහි වපසරිය හා අන්තර්ගතය කවරේද යන්නත් එය අපගේ අනාගතයට වැදගත් වන්නේ කෙසේද යන්නත් අනුවය. ඒ දැනුම, වාර්ගික හා ආගමික බෙදීම් ප්‍රචණ්ඩ ස්වරූපයෙන් මහ ජාතිය විසින් දිග හරින බහු සංස්කෘතික සමාජයක, ආත්ම ගරුත්වය සහතික කෙරෙන සහජීවනයක් සඳහා කෙතරම් වලංගුද යන්න, විෂය මාලාව පිළිබඳ ප්‍රශ්නයට කලින් මතුවන ප්‍රශ්නයකි. ‘56 සිට ගොඩ නැගූ අතීතකාමයට සීමා වුනු අන්තර්වර්තික දැනුම වෙනුවට ලෝකයට විවෘත වන දැනුමකට ළමුන් යොමු කරනවාද නැද්ද යනු අන්තර්ගතය පිළිබඳ තීන්දුවක් මිස විෂය මාලා පිළිබඳ තීන්දුවක් නොවේ. එනිසා පාසල් දිවියෙහි ළමුන්ට ලබා දෙන දැනුමෙහි වපසරිය, අන්තර්ගතය තීන්දු කිරීම, ප්‍රතිසංස්කරණ සැළසුම් කිරීමේ මූලික ප්‍රථම වගකීම ය.
ඒ සම්බන්ධ කිසිදු අවධානයක් කිසිදු අපේක්ෂකයෙකුගේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශනවල නොතිබීම ඔවුන්ගේ පොරොන්දු හිස් පොරොන්දු ලෙස ඉවත දැමීමට අවසර දෙන්නකි.
ඒ සම්බන්ධ කිසිදු අවධානයක් කිසිදු අපේක්ෂකයෙකුගේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශනවල නොතිබීම ඔවුන්ගේ පොරොන්දු හිස් පොරොන්දු ලෙස ඉවත දැමීමට අවසර දෙන්නකි. බිඳ වැටී ඇති ජාතික අධ්‍යාපනය අනාගතය වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කිරීමේදී මේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශනවල ඇතුළත් කිසිදු වැදගත් එල්ලයක් අර්ථයක් නැති අධ්‍යාපන පොරොන්දු කිහිපයක් නිදසුන් ලෙස ගතහොත් :
ඡායා : Bharatha Prabhashana Thennakoon
01. අපේක්ෂක රනිල් වික්‍රමසිංහගෙන්
* පාසලෙන් පිටවන දරුවන්ට වෘත්තීය පුහුණුව ලබා ගැනීම සඳහා සහාය වෙනවා. නියමු ව්‍යාපෘතිය වශයෙන් 2025 දී සිසුන් 50,000 ට අවශ්‍ය මුදල් රජයෙන් සපයනවා
* “තාක්ෂණ හා කලමනාකරණ විශ්ව විද්‍යාල විද්‍යාතන”හැම පළාතකම පිහිටුවනවා
* 2029 වන විට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට “දේශගුණික විපර්යාස ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය සහ කෘෂිකර්ම තාක්ෂණ විශ්ව විද්‍යාලය”එකතු කරනවා
02. අපේක්ෂක සජිත් ප්‍රේමදාසගෙන්
* ආගම ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරු පුරප්පාඩු පුරවනු ඇත.
* රජය ශ්‍රී ලංකාව පුරා සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප්‍රවාහන පහසුකම් සපයනු ඇත.
* රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපනය කරනු ඇත.
03. අපේක්ෂක අනුර කුමාර දිසානායක
* පූර්ව ළමා විය (අවුරුදු 03 - 05) සඳහා බහුසංස්කෘතික විවිධත්වයට කටයුතු කිරීමට හුරුකරවන වැඩසටහන්
* ශිෂ්‍යාධාර සහ මහපොළ, ජීවන වියදමට සරිලන ලෙස ඉහළ දැමීම
* ජාතික මට්ටමින් විභාග ඇගයීම් ක්‍රියාවලියට දායක වන පරීක්ෂකවරුන්ගේ “බුද්ධිමය දායකත්වයට සරිලන”ගෙවීම් ක්‍රමයක්
විවෘත වෙළඳපල ආර්ථිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සමගින් පවත්වා ගැනීමට පොරොන්දු වන ජනාධිපති අපේක්ෂකයින්ට, බිඳ වැටී ඇති මේ “ජාතික අධ්‍යාපනය”ප්‍රතිසංස්කරණය කළ නොහැකි බව අලුතින් කිව යුත්තක් නොවේ.
මේ කිසිවක් අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ක්‍රියාත්මක කළ නොහැකි බැව් එක සත්‍ය කතාවකි. විවෘත වෙළඳපල ක්‍රියාකාරිත්වය ඇත්තේ රාජ්‍ය මැදිහත්වීමකින් තොරව, ආයෝජකයින්, තැරැව්කරුවන්, වෙළඳුන් විසින් ඔවුන්ගේ ලාභ වෙනුවෙන් වෙළඳපල හසුරුවා ගැනීමෙහිය. ආණ්ඩු විසින් මුල පුරන “සංවර්ධන සැළසුම්” සඳහා යැයි ඉඩ ඇත්තේ වෙළඳපල ව්‍යාප්තිය වෙනුවෙන් ව්‍යාපාරිකයින් ඉල්ලා සිටින පහසුකම් සැපයීමෙහි පමණි. එවැනි විවෘත වෙළඳපල ආර්ථිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සමගින් පවත්වා ගැනීමට පොරොන්දු වන ජනාධිපති අපේක්ෂකයින්ට, බිඳ වැටී ඇති මේ “ජාතික අධ්‍යාපනය”ප්‍රතිසංස්කරණය කළ නොහැකි බව අලුතින් කිව යුත්තක් නොවේ.
ගුරුවර ගුරුවරියන් අති බහුතරය ඉතා පසුගාමී, වර්ගවාදී ආගම්වාදී පිරිසක් බැව් පසුගිය වසර වල ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළහ.
ඔවුන්ගේ බොල් යෝජනා අත හැර, පාසල් ළමුන්ට හඳුන්වා දිය යුතු දැනුමෙහි අන්තර්ගතය තීන්දු කළ විගස මතුවන බරපතලම ගැටළුව වන්නේ, මේ ඉන්නා දෙලක්ෂ හතළිස් දහක් පමණ ගුරුවර ගුරුවරියන් සමග අලුත් දැනුමක් ළමුන්ට හඳුන්වා දෙන්නේ කෙසේද යන්න ය. මේ ගුරුවර ගුරුවරියන් අති බහුතරය ඉතා පසුගාමී, වර්ගවාදී ආගම්වාදී පිරිසක් බැව් පසුගිය වසර වල ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළහ. මේ ගුරු පිරිස් ළමුන්ට සැළකීමේදී අතිශය කුරිරු පිරිසක් බැව් ළමුන්ට ශාරීරිකව පහර දෙන හා ලිංගිකව අතවර කරන සිදුවීම් පිළිබඳව නිරන්තරව පළ වෙන ප්‍රවෘත්තී වාර්තා මගින් පමණක් නොව, පොලීසියේ හා ළමා ආරක්ෂක අධිකාරියේ පැමිණිලි මගින්ද කියන්නකි. එනිසා මේ ගුරුවරුන් සමග කිසිදු අධ්‍යාපනයක් ගොඩ දැමිය නොහැකි බව කණගාටුවෙන් වුවද කිව යුතුය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ සමාජ සංවාදයක් දැන් ආරම්භ කළ යුත්තේ, අධ්‍යාපනයෙහි අන්තර්ගතය හා වෘත්තීය ගුරු සේවාවක් හදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සමාජය දැනුවත් විය යුතු හෙයිනි. මේ ජනාධිපතිවරණයෙන් එය විසඳා ගැනීමට නොවේ. මේ ජනපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයෙකු මගින් එය සිදුවන්නේ නැත. අධ්‍යාපනය ඇතුළු රාජ්‍ය ප්‍රතිපත්ති නිශ්චිත වශයෙන් තීන්දු වන්නේ ඊළගට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත් වන ආණ්ඩුවකින් ය.(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 සැප්තැම්බර 06 වන දින
(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )



