The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශපාලන අධි උණුසුම වහා ගිනි ඇවිළෙන සුළුය – (ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

September 6, 2024 • 11:57 AM

දේශපාලන අධි උණුසුම වහා ගිනි ඇවිළෙන සුළුය – (ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතැමෙකුට පෞද්ගලික ප්‍රශ්නයක් වන එය මේ වන විට ප්‍රසිද්ධියේ කතා කිරීමට තරම් ප්‍රබල හේතුවක් ද තිබේ.
  • මේ වන විට අප සමාජයේ බොහෝ දෙනකුගේ කතා බහ සේම ක්‍රියා කලාපයන් ද ඉදිරි ජනපතිවරණයට අනුරූප අයුරින් වෙනස් වී ඇති බව ඉහත පැනයෙන්ම පෙනේ.
  • ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු 1931 වසරේ සිට එය රහස් ඡන්දයක් වශයෙන් පවතින බව අපි දනිමු.
  • නමුදු ඇතැම් අවස්ථාවල ඒ රහසිගත බව ඡන්දය ප්‍රකාශ කරන මොහොතට පමණක් සීමා වී ඇති අයුරක් අපට හැඟේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැමෙකුට පෞද්ගලික ප්‍රශ්නයක් වන එය මේ වන විට ප්‍රසිද්ධියේ කතා කිරීමට තරම් ප්‍රබල හේතුවක් ද තිබේ. ඊට හේතුව මේ වන විට ජනපතිවරණ උණුසුම වේගයෙන් ඉහළ නැංවෙමින් පැවතීම ය. මෙම උණුසුම බාහිරට විද්‍යාමාන වන එකම දර්ශකය ඒ සම්බන්ධ සමාජ චර්යාවන් ය. මේ වන විට අප සමාජයේ බොහෝ දෙනකුගේ කතා බහ සේම ක්‍රියා කලාපයන් ද ඉදිරි ජනපතිවරණයට අනුරූප අයුරින් වෙනස් වී ඇති බව ඉහත පැනයෙන්ම පෙනේ. කොටින්ම අද ඉළව්- මඟුල් වශයෙන් හැඳින්වෙන ප්‍රජා සහ සමාජ චර්යාත්මක සංසිද්ධීන් තුළින් මතු වනුයේ ද “මෙදා කාටද? ඡන්දෙ දෙන්නේ ?” යන මාතෘකාවම ය. මෙය එක්තරා අයුරකින් සමාජ සන්ත්‍රාසයක (Social panic) ස්වභාවය දරයි.

ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු 1931 වසරේ සිට එය රහස් ඡන්දයක් වශයෙන් පවතින බව අපි දනිමු. නමුදු ඇතැම් අවස්ථාවල ඒ රහසිගත බව ඡන්දය ප්‍රකාශ කරන මොහොතට පමණක් සීමා වී ඇති අයුරක් අපට හැඟේ. ඒ බොහෝ දෙනකු ඉන් පෙර තමන් ඡන්දය ප්‍රකාශ කරන අපේක්‍ෂකයා මුල් කොට තමන් ඥාති හිත මිත්‍රාදීන් හා බාහිර සමාජය ඉදිරියේ සිදුකරන ප්‍රවර්ධනාත්මක කටයුතු මුල් කර ගනිමිනි.

 

ජනාධිපතිවරණය : ජවිපෙන් සිවිල් අපේක්ෂකයෙක්

අප කවුරුත් දන්නා පරිදි ඡන්ද හිමියා, ඡන්ද දායකයා යනු නිදහස් පුරවැසියෙකි. එහෙත්, පාක්ෂිකයා යනු ඒ ඡන්ද හිමි, ඡන්දදායක සීමාවෙන් ඔබ්බට ගොස් කිසියම් අපේක්‍ෂකයකු ගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රජා හා සමාජ ක්‍රියාකාරකම් වල යෙදෙන්නෙකි. කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කැපවී ක්‍රියා කරන්නෝ කේඩරය (Cadre) යනුවෙන් හැඳින්වෙති. වාමාංශික දේශපාලන පක්ෂ වල මොවුන්ගේ කාර්ය භාරයට වැඩි අගයක් ලබා දී තිබේ. වාමාංශික දේශපාලනයේ සිංහලෙන් “සහෝදරයා” යනුවෙන් හැඳින්වෙන වදන ජාත්‍යන්තරව ව්‍යවහාර වනුයේ Comrade යනුවෙනි. එමෙන්ම එම කේඩර ක්‍රියාකාරීන් වාමාංශික දේශපාලන ව්‍යාපාර තුළ “සහෝදර” නමින් හැඳින්වෙන අතර එම දේශපාලනික කටයුතු උදෙසා මොවුන් විශේෂයෙන් පුහුණු කිරීමක් ද සිදුකරනු ලැබේ.

එමෙන්ම යම් වාමාංශික පක්ෂයක් බලයට පත් වූ පසු රටේ පාලන කටයුතු උදෙසා ද මෙම කේඩර ක්‍රියාකාරීන් ගේ සහාය ලබා ගන්නා අවස්ථා වාර්තා වී තිබේ. ඇතැම් විටෙක ප්‍රාථමික මට්ටමේ සිවිල් පරිපාලනමය සහ ආරක්ෂක කටයුතු සේම ප්‍රාථමික අධිකරණ කටයුතු සඳහා ද ප්‍රජා සහභාගීත්ව නාමයෙන් මෙම කේඩර කණ්ඩායම් සම්බන්ධ කරන අවස්ථා තිබේ. ශ්‍රී ලංකා සම සමාජ කොමිනියුස්ට් යන පක්ෂ වලින් ද සැදුම් ලත් 1970-1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමඟි රජය මගින් ස්ථාපිත කරවන ලද මෙවන් කේඩර සංයුතියකින් යුතු “ජනතා කමිටු” නම් වන ප්‍රජා ක්‍රියාකාරීත්ව ව්‍යුහයන් සම්බන්ධයෙන් එවක බරපතල සමාජ විවේචන එල්ල විය.

සමාජවාදී දේශපාලනික ව්‍යුහය තුළ සාධනීය තත්ත්වයක් සේ සැලකෙන කේඩර ක්‍රියාකාරීත්වයන් සඳහා ප්‍රාථමික අධිකරණ බලය පවා හිමි කොට ප්‍රති විරුද්ධ දේශපාලන මතවාදීන් මර්දනය කෙරුණු අවස්ථා සම්බන්ධයෙන් ද ලොව නන් දෙසින් තොරතුරු වාර්තා වෙයි. නමුත් එක් දේශපාලනඥයකු මෙවර තම අපේක්ෂකයා ජයග්‍රහණය කළ හොත් අධිකරණ බලය ගමට ගෙන එන බවට කළ ප්‍රකාශය මෙම කේඩර ක්‍රියාකාරීත්වය යළි පිබිදවීමක් පිළිබඳ ප්‍රකාශයක් ද යන්න අවිනිශ්චිත ය.

 

රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය අකැපද?

නමුත් මෙසේ ඡන්ද හිමි, ඡන්දදායක භූමිකාව අතික්‍රමණය කොට කිසියම් පක්ෂයක් උදෙසා ක්‍රියාකාරී භූමිකාවක යෙදෙන පාක්ෂිකයෝ පක්ෂ ආධාර කරුවන් ලෙස ද පොදුවේ හැඳින්වෙති. අතීතයට සාපේක්‍ෂව වර්තමානයේ මෙවන් පක්ෂ ආධාරකරුවන් ලෙස හැඳින්වෙන පිරිස් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බවක් හැඟේ. එය වඩාත් තහවුරු වනුයේ සමාජ මාධ්‍ය පරිශීලනයේදී ය. මේ වන විට අප සමාජයේ සැළකිය යුතු පිරිසක් තම සමාජ ජාල භාවිතය මුළුමනින් ඉදිරි ජනාධිපතිවරණය උදෙසා කැප කොට ඇති අයුරු පෙනේ. ඒ අතුරින් ඇතැමුන් ඉදිරි ජනාධිපතිවරණය හා සම්බන්ධ නිදහස් ඡන්දයකට බාධා පමුණුවන අසත්‍ය ද්වේෂ සහගත ප්‍රකාශ ද සමාජ ජාල ඔස්සේ වපුරවනු දක්නට පුළුවන. ඒ ඇතැම් ක්‍රියාකාරකම් මගින් මැතිවරණ නීති උල්ලංඝනය වුව ද එය මැඩලීමේ සවිමත් හා විධිමත් යාන්ත්‍රණයක් අප රට තුළ ක්‍රියාත්මක වන බවක් නොපෙනේ.

පක්ෂ කේන්ද්‍රීය ව්‍යුහය ඉක්මවා පුද්ගල කේන්ද්‍රීය ව්‍යුහයක් ලෙස ස්ථාපිත වීම මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධානතම ලක්ෂණයකි. ඒ අනුව වාමාංශික දක්ෂිණාංශික යනුවෙන් හඳුන්වන ලද දේශපාලනමය කඳවුරුවල “සිතියම්” වල උතුර-දකුණ ද සැලකිය යුතු ලෙසින් මාරු වී ඇති වගක් පෙනෙයි. එමෙන්ම 1978 වසරේ ජේ. ආර්. ජයවර්ධනයන් විසින් ස්ථාපිත කරන ලද විධායක ජනාධිපති ක්‍රමය කෙරෙහි පසුගිය කාල පරාසය පුරා එල්ල වූ දැඩි විරෝධය මේ වන විට යස අගේට සමහන් වී ඇති අයුරක් ද පෙනේ. හුදු දේශපාලනික පක්ෂ ව්‍යුහය යටපත් කොට ජනපතිවරණ අපේක්‍ෂකයන් හුවා දක්වමින් ඔවුනට මීළඟට රටේ පාලන බලය හිමිකර දෙන ලෙස සිදු කෙරෙන ජනපතිවරණ ප්‍රචාරක කටයුතු දෙස බලන විට මගේ සිතට නැඟෙන උපහාසාත්මක සිතුවිල්ලක් ද වෙයි. එනම් “පහුගිය කාලේ උඹල රටට ඔය තරම් බරපතල විනාශ කරලත් අන්තිමේ උඹලට මම මහගත්තු මගේ පරණ කෝට් එකම ඇඳ ගන්න වුණා නේද?” යනුවෙන් ජේ. ආර් .ජයවර්ධනයන් නොපෙනෙන ලොවක සිට ඔහුට හුරුපුරුදු “හේහ් හේහ්” හඬින් සිනාසෙනු ඇතැයි යන්න ය. ඒ අනුව අප රටේ ප්‍රතිපත්ති දේශපාලනය මෙතරම් වෙනස් වන සුළු ද යන සිතුවිල්ල ද අප තුළ නැඟෙනු නියත ය.

මෙවර ජනපතිවරණ තරග බිමෙන් නිරුවත් උන්ඩියෙක් මතුවේ ද? – (ප්‍රණීත් අභයසුන්දර)

කවර හෝ මැතිවරණයක් ළංවන විට ඒ සඳහා උණුසුමක් තිබිය යුතු ය. එසේ නොමැති නම් සමාජයේ යම් පිරිසක් ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිතා කිරීමට මැළිවනු ඇත. එමෙන්ම දේශපාලන පක්ෂ කවර හෝ මැතිවරණයක් හමුවේ ඒ ඡන්ද උණුසුම ඉහළ නංවන ක්‍රම දෙකක් තිබේ. ඉන් පළමු වැන්න පොරොන්දු දේශපාලනයයි.තම දේශපාලන ප්‍රතිවාදීන් කෙරෙහි අප්‍රසන්නතාව, වෛරය, පිළිකුල මෝදු කරවීම ඒ සඳහා යොදා ගන්නා දෙවැනි ක්‍රමයයි. මගේ වැටහීම අනුව මෙවර ජනපති වරණයේ දී ඉහත සඳහන් අංග දෙකින් දෙවැන්න වඩාත් ප්‍රවර්ධනය වී ඇති බවක් හැඟේ.

විශේෂයෙන් විපක්ෂ දේශපාලන වේදිකාවලින් නැඟෙන ජනතාවගේ භාවයන් කුපිත කරවන ප්‍රකාශ අනුව එම ඡන්ද උණුසුම ගිනි ඇවිළීමේ සීමාව තෙක් ඉහළ නංවා ඇති බවක් පෙනේ. කිසියම් සමාජ, ආර්ථික හෝ දේශපාලන ක්‍රමයක් නිර්දය විවේචනයට ලක් කිරීමේ අයිතිය සෑම පුරවැසියකු සතුවම තිබේ. එහෙත්, ඒ සඳහා නිශ්චිත පදනමක් තිබිය යුතු ය.

රාජ්‍ය පාලකයන් විසින් රටේ ජනතාව බරපතල ලෙස නොතකා හැරීමකට නැතහොත් සමාජමය බැහැරලීමකට (Social exclusion ) පත් කොට ඇතැයි යන්න එක් පාර්ශවීය මතයකි. එහෙත්, ඒ මතය ප්‍රලාප මට්ටම ඉක්මවා තහවුරු කෙරෙන විධිමත් සාක්ෂි ඉදිරිපත් කිරීමක් බොහෝ විට සිදු නොවේ. නමුත් ඉහත සඳහන් සමාජයීය බැහැරලීම නම් වන ක්‍රියාවලිය සමාජ විද්‍යාත්මක වශයෙන් විශේෂ අවධානයකට ලක් කළ යුත්තකි.

සමාජයේ විවිධ කොටස් සමාජ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමෙන් හා ඒවායේ ප්‍රතිලාභ ඔවුන් වෙත ප්‍රදානය කිරීමෙන් වැලකීම මෙනමින් හැඳින්වේ. යුරෝපාකරයේ වුව සුළු ජන කොටස්, ආබාධිත වූවන්, ලිංගික අසමතා සහිත වූවන් ආදී විවිධ ප්‍රජාවන් සමාජමය කොන් කිරීමකට ලක් කිරීම මෙනමින් හැඳින්වෙන අතර ඒවාට එරෙහි සංවිධාන ද කොතෙකුත් බිහි වී තිබේ.

 

නොනගතය ඉවරයි, දැන් වැඩ අල්ලන කාලයයි - ගාමිණි වියන්ගොඩ

නමුත් අප රටේ දේශපාලන වේදිකා වලින් නැඟෙන ප්‍රකාශ අනුව එදා මෙදා තුර දේශපාලනඥයන් විසින් ජනතාව සතු සියළු සම්පත් පැහැර ගෙන බලහත්කාරයෙන් භුක්ති විඳිමින් ඔවුනට රිසි පරිදි වංචා දූෂණ ආදී වශයෙන් වන වෙනම සමාජ ව්‍යුහයක් ද සකසා ගෙන තිබේ. ඒ අප රටේ සමාන්‍ය ජනතාව දුහුවිල්ලකට වත් මායිම් නොකරමිනි.

එහෙත්, එම කතා සම්බන්ධ ප්‍රායෝගික තත්ත්වයන් විමැසීමේ දී විමර්ශකයින් හමුවේ පැන නඟින ගැටළු රාශියකි. එම දේශපාලනඥයන් පවසන අවිචාරවත් දේශපාලන සංස්කෘතිය කවර යුගයක සාධක මත පදනම්ව කවරාකාරයකින් පැන නඟින ලද්දක් දැයි ඔවුන් නොපැවසීම හේතුවෙනි. නමුදු අප සමාජයේ ජනවාර්ගික ගැටළු පැන නැඟීමට හේතු සම්බන්ධයෙන් නම් වැඩිදුර විමර්ශන සඳහා ප්‍රමාණවත් තොරතුරු ගොනු වී ඇති අතර ඒ ඔස්සේ ශාස්ත්‍රීය විමර්ශන ගණනාවක්ම මේ දක්වාම සිදු වී තිබේ.

නමුත් මෙම දේශපාලන ප්‍රලාප හා ඒවා අතර කිසිදු සබැඳියාවක් නැත. එසේම අද රටේ වැඩ කරන ජනතාවගේ ඊරි මාංශ බොමින් ජනතාව නිරන්තර දුක් විඳින වහලුන් ගේ තත්වයට පත් කොට උන් පමණක් සුර සැප විඳින බවට දේශපාලන වේදිකාවලින් නැඟෙන ආවේගාත්මක ප්‍රලාප වලින් ජනතාව තුළ තමන් බරපතල ව්‍යසනයකට පත්ව ඇති වගක් සාමාන්‍ය ජනතාවට හැඟෙනු ඇත. එමෙන්ම ඒ සඳහා වන කාලනිර්ණය ලෙස ඔවුන් පවසනුයේ නිදහසින් පසු එළැඹි හැත්තෑ හය වසර ය. 

කිසිවකුටත් ලිහා ගත නොහැකි අසම්පූර්ණ දත්තයන් සහිත ගණිත ගැටළුවක් බඳු පොදු පිළිතුරකි. මෙම ප්‍රකාශ මඟින් ඇති විය හැකි රංචු චර්යා (Herd behavior) නම් සමාජ මනෝ විද්‍යාත්මක සාධකය මත ඊනියා දේශපාලන “රැලි”නිර්මාණය වීමේ පහසු අවකාශයක් පවතී.

 

මැතිවරණවාදය තුළ ගිලිහෙන දෛනික ජීවිතයේ දේශපාලනය - (සුමිත් චාමින්ද)
මෙහිදී පාලකයන් ජනතාව සතු සම්පත් මහා පරිමානයෙන් කොල්ල කන බවත් තමන් බලයට පැමිණි පසු ඒ සාහසික ක්‍රියාදාමය නතර කොට ඒ සියලු සම්පත් නැවත ජනතාව සතු කරන බවත් ජනනන්දනීය ප්‍රකාශයක් බව ඇත්තකි. එහෙත්, පාලකයන් විසින් එසේ කොල්ල කන ලද ජනතාව සතු සම්පත් ප්‍රමාණය ආසන්න වශයෙන් හෝ කොපමණ ද ? ඒවා කොල්ල කනු ලැබුවේ කිනම් දේශපාලඥයන් විසින් කවරාකාරයෙන්ද? එමෙන්ම ඔවුන් විසින් එසේ කොල්ල කනු ලැබූ ජාතික සම්පත් නැවත ජනතාව සතු කෙරෙන ක්‍රමෝපායන් මොනවාද? ඉන්පසු ඒ සඳහා වරද කළවන්නවුන් හට ලබා දෙන දඬුවම් මොනවාද? යන්න පිළිබඳව විධිමත් තොරතුරක් මේ කිසිදු දේශපාලන වේදිකාවකින් නැඟෙන බවක් නොපෙනේ.

ඒ අනුව අපට හැඟී යනුයේ යම් දේශපාලනඥයකු හෝ කිහිප දෙනෙකු විසින් ජාතික සම්පත් ගසා කෑම පසෙක තිබියදී එය පිටුදැකීම පිණිස ගනු ලබන දේශපාලනික උපාය මාර්ගයන් ගන්නා බව පැවසීමට ද කිසිදු යථාර්ථවාදී පදනමකින් යුතු හුදු ප්‍රලාප නොඉක්මවන බව ය. එය හරියට “හිටපන්කො; මම උඹට හොඳ වැඩක් කරන්න”යනුවෙන් ඇතැමුන් කරන සාපරාධී නොවන තර්ජන මෙනි. නමුත් මෙම ප්‍රලාප වල බොළඳ බව අබිබවන ආශ්වාදනීය බවක් තිබේ. ඒවා ජනානන්දනීය වනුයේ එබැවිනි. නමුදු ඒ සම්බන්ධයෙන් හෙළි කළ යුතු තවත් අමිහිරි සත්‍යයක් තිබේ. එනම් සොරකම වංචාව දූෂණය යනු හුදෙක් එක් පාර්ශවයකට පමණක් වගකීම පැවරිය නොහැකි පොදු සමාජමය ප්‍රපංචයක් බව ය. නමුත් ඔවුන් ගේ අලාභය පියවා ගැනීමට සැරසෙනුයේ පුද්ගලයන් ද නොවන දේශපාලන පාර්ශව කිහිපයකින් පමණි. ඒ අනුව මෙහි අවසානය “මෝල් ගහ මිනී මැරීමේ”නඩු තීන්දුවක් වීමේ පහසු අවකාශයක් පවතී.

එමෙන්ම වර්තමාන නව ලිබරල්වාදී ක්‍රමය මුල් කොට සිදුවන සමාජ ආර්ථික විෂමතා අනුව අඩු ආදායම් ලාභීන් හා දුක් විඳින ජනතාව යන විෂය ක්ක්‍ෂත්‍රයන් ද වේගවත් විචල්‍ය බවකට පත් වෙමින් තිබෙනු පෙනෙයි. නිදසුනක් ලෙස නාගරික අඩු ආදායම්ලාභීන් යනුවෙන් මින් පෙර හැඳින්වුණු ජන කොටස ගේ නව ආදායම් ඉපැයීමේ ක්‍රමෝපායන් අනුව ඔවුන් නොවිධිමත් ආදායම්ලාභීන් ලෙස හඳුන්වාලීමේ යෝග්‍යතාවයක් පැන නඟිමින් තිබේ. කලින් නාගරික පැල්පත් ලෙස හැඳින්වුණු ජනාවාස වලින් මේ වන විට මධ්‍යම පාන්තික නිවාස මතු වීමේ ප්‍රවණතාව ද අප මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. ඒ මේ වන විට ශ්‍රී ලාංකේය මධ්‍යම පාන්තික සමාජ ශීඝ්‍ර විස්තාරණයකට ලක් වීමේ පසුබිම තුළ ය. ඒ අනුව වත්මන් සමාජයේ බහුතරය අඩු වැඩි වශයෙන් එම සමාජමය ප්‍රතිලාභය භුක්ති විඳින බව පෙනේ.

අප රටේ අනාගත ජනාධිපතිවරයා කවරකු හෝ ඔහු සතු ප්‍රධානතම වගකීමක් තිබේ. එනම් පසුගිය කාලයේ මුළුමනින්ම බිඳවැටී මේ වන විට යථාවත් වෙමින් පවතින අප රටේ ආර්ථිකය ස්ථාවර බවට පත් කිරීම ය. ඒ සඳහා මේ කාලයේ ලොව පුරා ප්‍රචලිත නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය හා ශ්‍රී ලංකා ආර්ථිකය සුසංයෝග කළ යුතුම ය. එහෙත් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන ඇතැම් අපේක්ෂකයන් ඒ සඳහා යොදා ගන්නා උපාය මාර්ග මොනවාදැයි මෙතෙක් හරි හැටි පහදා දී නැත. ඇතැමුන් ඒ සඳහා යෝජනා කරනුයේ පොලොස් පැහි විදේශ වෙළට ඉදිරිපත් කොට නිෂ්පාදන ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම වැනි “වැලි බත් පිසීමේ”යෝජනා ය. ඒ අතර ඔවුන් ගේ පාක්ෂිකයන් ද “දැන් නොකිව්වාට බලයට පත් වුණාම මොනවා හරි කරන්නේ නැතැ”යි යන බොළඳ සිතුවිල්ලේ නිමග්නව හිඳිනු පෙනෙයි.

 

වර්තමාන පාර්ලිමේන්තුව ජනතාවගේ මුදල් නාස්ති කරන තැනක් නොවේ'
කිසියම් සමාජ ආර්ථික දේශපාලනික ව්‍යුහයක් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවට එය මුළුමනින්ම වෙනස් කිරීම අතිශයින් අවදානම් කටයුත්තක් බවට ලෝක දේශපාලනයෙන් ලද හැකි සාක්ෂි බොහොමයකි. ඒ අනුව දේශපාලනික වශයෙන් සංස්ථාපන විරෝධී (Anti-establishment ) අදහස් ආකල්ප සමාජය පුරා පැතිරවීම ද ඉතා ප්‍රවේශම් සහගතව කළ යුතු ය.මක් නිසා ද ඉන් ඇති වන සමාජමය අසංතෘප්තිය රාජ්‍ය යාන්ත්‍රණය බෙලහීන වීමට හා ජාතික ආදායම අවප්‍රමාණ වීමට ද නිසැක ලෙසම හේතු වනු ඇත. විශේෂයෙන් වත්මන් පාර්ලිමේන්තුවේ ඇති මන්ත්‍රී ආසන දෙසිය විසි පහෙන් ජනතාවට නිසි සේවයක් සිදු නොවන බවට පවත්නා උපකල්පනය මත වත්මන් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ඉවත් කළ යුතු බවට නැඟෙන දේශපාලනික මත හුදෙක් සොටු ගැලීම මත නාසය කපා දැමීමට වෙර දැරීමක් මෙනි. කොටින්ම එය පාර්ලිමේන්තුව තුළට මිරිස් කුඩු ගෙන ඒමේ අඥාන ක්‍රියාවටත් වඩා බෙහෙවින්ම බරපතලය; අනර්ථකාරී ය.

මේ සියලු කරුණු මුල්කොට ඉදිරි ජනපතිවරණය මුල් කොට විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විසින් ජනතාව තුළට නිශේධනාත්මක බලපෑම් එක්කිරීම මත ඔවුන් ගේ මානසික සෞඛ්‍යය ප්‍රබල බිඳ වැටීමේ අවදානමක් දැඩිව පවතී. ඒ අනුව මැතිවරණ ආතති ආබාධය ( Election stress disorder) යනුවෙන් හැඳින්වෙන එම සහලක්ෂණය ආදී මනෝ විද්‍යාත්මක හේතු මුල් කොට ජන සමාජය තුළ පවත්නා ඒකාබද්ධතා බිඳී ගොස් සමාජ අසමගිය භේද භින්නතා ගැටුම් සේම සාපරාධී ක්‍රියා ද ප්‍රවර්ධනය වීමේ පහසු අවකාශයක් ඉදිරි කාලය තුළ උදා වීමට බොහෝ දුරට ඉඩ තිබේ.එනිසා සම්බන්ධයෙන් අප විශේෂයෙන් කල්පනාකාරී විය යුතු ය.


z PraneethAbayasundara(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දේශපාලන අධි උණුසුම වහා ගිනි ඇවිළෙන සුළුය – (ප්‍රණීත් අභයසුන්දර) | The Leader