The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොරොන්දු බැලුවම ලෙඩ වෙනවනං ජනාධිපතිවරණයෙන් පස්සෙ (කුසල් පෙරේරා)

T

The Leader Desk

September 8, 2024 • 8:59 AM

පොරොන්දු බැලුවම ලෙඩ වෙනවනං ජනාධිපතිවරණයෙන් පස්සෙ (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිතෙන්නේ ජනාධිපතිවරණයෙන් පසු කවුරුන් දිවුරුම් දුන්නත් අපේ ප්‍රතිකාරක සෞඛ්‍ය සේවාව ලෝකයේම නොවුනත් ආසියාවේ ඉස්තරම්ම සෞඛ්‍ය සේවාව බවට පත් කෙරෙන බව ය. එබැවින් තියෙන ලෙඩ මැතිවරණයෙන් පස්සට කල් තබන ක්‍රමයක් ඒ පොරොන්දුවල තියේදැයි නැවත කියවා බලන්නටද සිතුනි.
  • ප්‍රධාන තුන් හතර දෙනාගේම මැතිවරණ පොරොන්දු ප්‍රකාශනවල “ජාතික සෞඛ්‍ය සේවාව” නගා සිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල “බූරු කුට්ටම” ඇනුවාක් වැනිය.
  • රාජ්‍ය සේවා ලෙස සෞඛ්‍ය සංවිධානය කිරීමේදී, රෝග නිවරණය සඳහා ප්‍රජා සෞඛ්‍ය සේවාවන්ද ප්‍රතිකාර සඳහා රෝහල් කේන්ද්‍රීය වෛද්‍ය සේවාවන්ද යැයි කොටස් දෙකක් ඇත.
  • අනෙක බෝ නොවන රෝග ලෙස හඳුන්වනු ලබන, දෛනික ජීවන රටා සහ පරම්පරාගතව ඇතිවන රෝග වන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

හිතෙන්නේ ජනාධිපතිවරණයෙන් පසු කවුරුන් දිවුරුම් දුන්නත් අපේ ප්‍රතිකාරක සෞඛ්‍ය සේවාව ලෝකයේම නොවුනත් ආසියාවේ ඉස්තරම්ම සෞඛ්‍ය සේවාව බවට පත් කෙරෙන බව ය. 

එබැවින් තියෙන ලෙඩ මැතිවරණයෙන් පස්සට කල් තබන ක්‍රමයක් ඒ පොරොන්දුවල තියේදැයි නැවත කියවා බලන්නටද සිතුනි.

ප්‍රධාන තුන් හතර දෙනාගේම මැතිවරණ පොරොන්දු ප්‍රකාශනවල “ජාතික සෞඛ්‍ය සේවාව” නගා සිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල “බූරු කුට්ටම” ඇනුවාක් වැනිය. සැවොම යෝජනා කරන්නේ වෙළඳපල ආර්ථිකයෙහි ලාභ වෙනුවෙන් සෞඛ්‍ය සේවා පවත්වා ගැනීමට ය. එය වැඩිවන රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාරක සේවා පෞද්ගලීකරණය කිරීමකි.

නිදහසින් පසු තිබුණ සෞඛ්‍ය සේවාව

 


ඒ මැතිවරණ පොරොන්දු ගැන කතා කරන්නට සෞඛ්‍ය සේවා ගැන යම් අදහසක් තිබිය යුතුය. එනිසා සෞඛ්‍ය සේවා ගැන ඉතා කෙටියෙන් විස්තරයක් කළ යුතු යැයි සිතුවෙමි.

පර්යේෂණ කාර්යන් හැරුණු විට, සෞඛ්‍ය සේවා ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර දෙකකි. එකක් “රෝග නිවාරණ” සේවාව ය. අනෙක “රෝග ප්‍රතිකාරක” සේවාව ය. රාජ්‍ය සේවා ලෙස සෞඛ්‍ය සංවිධානය කිරීමේදී, රෝග නිවරණය සඳහා ප්‍රජා සෞඛ්‍ය සේවාවන්ද ප්‍රතිකාර සඳහා රෝහල් කේන්ද්‍රීය වෛද්‍ය සේවාවන්ද යැයි කොටස් දෙකක් ඇත. ඒ වෙනුවෙන් රෝග කාණ්ඩ දෙකකට බෙදුණි. එකක්, වසංගත දක්වා සීඝ්‍රයෙන් පැතිර යා හැකි රෝග විය. අනෙක බෝ නොවන රෝග ලෙස හඳුන්වනු ලබන, දෛනික ජීවන රටා සහ පරම්පරාගතව ඇතිවන රෝග වන්නේය.

 

මැලේරියා, බරවා, වසුරිය, පෝලියෝව, වැනි එන්නත් වර්ග සොයා ගනු ලැබුවේ වසංගතයක් වූ රෝග පාලනය කිරීමට ය. එනමුත් 30 දසකයේ සිට පැතිර ගිය මැලේරියාව ඇතුලු අනෙක් වසංගත සියල්ල 60 දසකය ආරම්භ වන විට අපේ රටෙන් තුරන් කිරීමට හැකි වූයේ එන්නත් නිසාම නොවේ. අනෙක් රට වලටද අපට ලැබුණු එන්නත් ලැබුණි. ඒ රටවලට නොහැකි වූයේත් අපේ රටින් ඒ සියලු වසංගත මුළුමනින් තුරන් කරන්නට අපට හැකි වූයේත්, නිදහසින් පසු පළමු දසක 03 හි පත් කෙරුණු සේනානායකලාගේ හා බණ්ඩාරනායකලාගේ ආණ්ඩු දූෂණයෙන් තොර ඉතාම සාර්ථක හා කාර්යක්ෂම ප්‍රජා සෞඛ්‍ය සේවාවක් දියුණු කර නඩත්තු කළ හෙයිනි.

ඒ අතීත දියුණුව ගැන කතා කරන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පවා ගෞරවයෙන් සඳහන් කරන වින්නඹු මාතාවන් යැයි එදා හැඳින් වුනු වර්තමානයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කළ එන්නත් කිරීමේ ව්‍යාපාර වලට අමතරව, පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම, සමස්ථ දියුණුවට හේතු වූ බැව් කිව යුතුය. ඔවුන්ගේ සහායට එකල “සැන්ටිබෝඩ් මහත්තයා” යැයි කියූ පළාත් පාලන ආයතනවල “සනීපාරක්ෂක මණ්ඩල” පරීක්ෂකවරුන්ද දායක වූහ. 60 දසකය වන විට පිරිසිදු පානීය ජලය හා වැසිකිළි භාවිතය දුප්පත් ග්‍රාමීය සමාජයේද ඇබ්බැහිවීමක් වූයේ මේ සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ කැපවීම හා කාර්යක්ෂමතාව නිසා වෙනි.

 

ප්‍රතිකාරක වෛද්‍ය සේවාවේ වගකීම් වූයේ බෝ නොවන රෝග සඳහා සායන පැවැත්වීම හා ප්‍රතිකාර කිරීමය. අධි රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව, කොලොස්ටෙරෝල් සහ උදර දැවිල්ල (ගැස්ට්‍රයිටිස්), පිලිකා, හන්දි රෝග (ආතරයිටිස්) වැනි බෝ නොවන රෝග 60 දසකය වන විට සමාජීය කණස්සල්ලකට හේතු නොවුනු මට්ටමකට පාලනය කර තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 35 ත් 64 ත් අතර ලක්ෂයක ජනතාවගෙන් 1950 දී මිය ගිය පිරිමි සංඛ්‍යාව 960 ක් පමණ විය. ස්ත්‍රීන් සංඛ්‍යාව 880 ක් පමණ විය. එය 1960 වන විට පිරිමි 750 ට පමණ සහ ස්ත්‍රීන් 630 ට පමණ අඩු විය.

 

වෙළඳපල සෝබනයට යහපත් සෞඛ්‍ය යටවීම

 


පෞද්ගලික ලාභ මත පැවැති විවෘත වෙළඳපල ආර්ථිකය විසින් 80 දසකයේ සිට විශේෂයෙන් නාගරික ජීවන රටා සීඝ්‍රයෙන් වෙනස් කරන්නට විය. බොහෝ තැන්වල ලියා කියා තිබුණාට වඩා, අවුරුදු 45 ක අත්දැකීම වන්නේද, නිදහස් වෙළඳපල විසින් අසීමිත තේරීමක් අතර රැඳවූ පාරිභෝගිකයින් සඳහා විවිධ අලුත් “අවශ්‍යතා” එකතු කළ බවය. ලාංකීය පුරවැසියා, වැඩි වැඩියෙන් මුදල් සෙවිය යුතු තරගකාරී පාරිභෝගිකයකු බවට පත් කළ බවය. පාරිභෝගික තරගය සඳහා ක්‍රෙඩිට් කාඩ් පත්, බැංකු ණය, උකස් ගැනීම්, කල් බදු වැනි ණය ක්‍රම හඳුන්වා දෙනු ලැබිණ. ණය පොලී අය කර ගැනීමේ බලහත්කාරය හමුවේ පාරිභෝගිකයින් වෙලාව අවේලාව නොබලා මුදල් හොයන්නට අතුරු ආදායම් මාර්ග, අර්ධ කාලීන රැකියා මත යැපුණි. හතිලමින් දුවන එවැනි මැදපංතිකයින්ගේ සෞඛ්‍ය පිරිහීම ඔවුන්ම නොදත්හ.

බෝ වන රෝග වලට අදාල දත්ත අනුව, වැඩිහිටියන් සේ ගැණෙන අවුරුදු 35 ත් 64 ත් අතර වයස් කාණ්ඩයේ අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග වලින් මිය ගිය ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයේම එකතුව 1950 දී ලක්ෂයක ජනගහනයෙන් 226 ක් වන විට, 1985 ආරම්භයේදී එය 349 ක්ව තිබිණ. පිලිකා මරණ සංඛ්‍යාව දෙගුණ වී තිබිණ. එවැනි වැඩිවීම් හමුවන්නේ 77 න් පසු බව අමතක නොකළ යුත්තකි.

රෝග වලට ගොදුරු වු පසු වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්ය වූවත් බෝ නොවන රෝග වළකා ගැනීමේ සහ පාලනය කිරීමේ ප්‍රධානම පියවර වන්නේ හතිලන නාගරික ජීවිත අධි තරගකාරී, පරිභෝගික ජීවන රටාවෙන් මුදවා ගැනීමය. එනමුත් එය සෞඛ්‍ය සේවාවකට කළ හැක්කක් නොවේ. සෞඛ්‍ය සේවාවකට කළ හැක්කේ උපදෙස් අවවාද දීම පමණි. “එතකොට අපේ ආදායම් හදලා දෙන්නේ සෞඛ්‍ය සේවයෙන් දැයි” ඇසූ විට, සෞඛ්‍ය සේවයට උත්තර දිය නොහැකි ය. මේ වෙළඳපලේ පාරිභෝගිකයින් වන ඔවුන්ද ඒ ආදායම් උගුලේම හිරවී, අමතර ආදායම් සොයා ගන්නේ රෝගීන්ගෙන්ම ය.

කණපිට හැරවූ සෞඛ්‍ය සේවාවට පත්තු බැඳීම

 

ඡායා : Bharatha Prabhashana Thennakoon
දැන් අපි ජනාධිපති අපේක්ෂකයින්ගේ යෝජනා මඳක් විමසා බලමු.
 

රනිල් වික්‍රමසිංහට කරන්න පුළුවන් සියල්ල අතරින් මේ කිහිපයක් පමණි.


* ජන අනුපාතයට සමපාත වන අයුරින් රජයේ රෝහල් ඉදිකොට, ඉදිරි වසර 15 අවසානයේ සෞඛ්‍ය සේවාවන් උසස්ම මට්ටමට ගෙනෙනවා

* කෘතිම බුද්ධිය, ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය භාවිත කරමින් සුහුරු සෞඛ්‍ය සේවාවක් හරහා නාස්තිය අවම කිරීමට පියවර ගන්නවා

* පළාත් නවය පුරා පුද්ගලික රෝහල් ආරම්භ කරලීම දිරිමත් කරනවා

සජිත් ප්‍රේමදාසගේ පොරොන්දු සියල්ලම මෙවැනිය -

* වැඩිහිටියන් සහ නිදන්ගත රෝගවලින් පීඩා විඳින්නන් රැකබලා ගැනීමටත් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත් සත්කාරක පහසුකම් සපයන මධ්‍යස්ථාන වැඩිකිරීමට අවශ්‍ය මැදිහත්වීම කරනු ඇත.

* ශ්‍රී ලාංකිකයන් වෙත වෛද්‍ය සේවා සම්පාදනය වැඩිදියුණු කිරීමේ “හුස්ම” වැඩසටහන අපගේ රජයේ (රජය හා ආණ්ඩුව අතර වෙනස ස.ජ.බ නොදනී) ප්‍රමුඛතම කාර්යයක් වනු ඇත.

* ඩිජිටල් හැඳුනුම්පත මගින් ද සියලු පුරවැසියන් වෙත සෞඛ්‍ය සේවා සම්පාදනය කෙරෙනු ඇත.

අනුර කුමාරගේ පොරොන්දු වඩා හැඩය -

* සෞඛ්‍ය සේවා තොරතුරු පද්ධතිය ඵලදායි හා කාර්යක්ෂම කිරීම සඳහා රෝගීන්ගේ වාර්තා සහ තොරතුරු ඩිජිටල්කරණය  

* රෝහල්වලට ඇතුළත් කරනු ලබන සෑම නේවාසික රෝගියෙක් සඳහාම ඇඳක් සහ අනෙකුත් පහසුකම්

* “සුවසැරිය” (ඉන්දීය ඔත්තු සේවාවේ යැයි ප්‍රතික්ෂේප කළ) ඇතුළු අනෙකුත් ගිලන්රථ සේවා සඳහා පුහුණු හදිසි සෞඛ්‍ය ප්‍රතිකාර කණ්ඩායම් අනුයුක්ත කිරීම

 

අපේක්ෂක සියල්ලන්ගේ යෝජනා මීට වඩා වැඩි වෙනසක් නොවන හෙයින් ඒවා උපුටා දැක්වීම මෙතැනින් නතර කරමි.

 

මරබිය සමාජගත කිරීමේ මෙහෙයුමක් !
සමස්ථයක් ලෙස ගත් විට, මේ සැවොම සෞඛ්‍ය සේවය දකින්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සේවයක් වශයෙනි. වැඩිවන රෝගීන් සංඛ්‍යාවට ඔරොත්තු දිය හැකි අයුරු රෝහල් වැඩි කිරීම, වෛද්‍ය සායන වැඩි කිරීම, රෝහලවල වෛද්‍ය වෘත්තිකයින්ගේ සහ අනෙක් සහායක සේවාවන්ගේ සංඛ්‍යා වැඩි කිරීම, රෝහල් පහසුකම් වැඩි දියුණු කිරීම වැනි පියවර ය.

ලොව දැවැන්තම මාෆියා අතුරින් දෙවන හෝ තෙවන ස්ථානයේ ඇතැයි සඳහන්වන ගෝලීය ඖෂධ කර්මාන්තයේ ලාභ තීන්දු වන්නේ වැඩිවන රෝගී සංඛ්‍යාවෙන් මිස අඩුවන තරමට නොවේ. කලාපීය හා දේශීය ඖෂධ වෙළඳුන් දක්වාම එය සැබෑය. එබැවින් 70 දසකය අවසන් වන විට ජාතික සෞඛ්‍ය තත්ත්ව ගණනය කිරීමේදී “රෝගීන් - ඇඳන් සහ වෛද්‍යවරුන්ගේ අනුපාතය” ලෝක සෞඛ්‍ය සංවිධානයද හවුල් වී ඉදිරිපත් කෙරුණි. ඒ සමග ජනගහනය හා වෛද්‍යවරුන් අනුපාතයද එකතු කෙරුණි. අනුර කුමාරගේ මැතිවරණ ප්‍රකාශනයේ “ජනගහනය 5,000 සිට 10,000 දක්වා ආවරණය වන පරිදි පවුල් වෛද්‍යවරයෙක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක්” පිහිටුවන්නේ යැයි කියන්නේ එබැවින්ය.

අවසන් වශයෙන් කිව යුතු කාරණාව නම්, විවෘත වෙළඳපල ආර්ථිකයේ නිමක් නැති පාරිභෝගික තරගයක් සමග නොකඩවා වැඩි වන රෝගීන් සඳහා රෝහල්, ඇඳන්, වෛද්‍යවරුන්, හෙදියන්, පරිපූරක වෛද්‍ය ශිල්පීන්, ඖෂධ වර්ග, නිරන්තරව නවීකරණය කෙරෙන අධි මිලැති අධි සංවේදී වෛද්‍ය උපකරණ සහ ඒවායේ නඩත්තුවද වෙනුවෙන් වාර්ෂිකව වැය කළ යුතු ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් අපගේ වැනි රටක ආණ්ඩුවකට දැරිය නොහැකිය. ඒ හේතුවෙන් පසුගිය දසක කිහිපයේ රජයේ රෝහල් අඩාල විය. එමගින් මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ වෙළඳපලක් වර්ධනය කෙරුණි. ප්‍රතිකාරක වෛද්‍ය ක්ෂේත්‍රය පෞද්ගලික රෝහල් සමග තහවුරු වූයේ එළෙසින්ය.

 

zsri l 530x365
දැන් කතාව පැහැදිලි විය යුතුය. විවෘත වෙළඳපල ආර්ථිකය ආරම්භ කෙරෙන තෙක් නිදහසින් පසු පළමු අවුරුදු 30, රට කෑවා යැයි කියන පැරැන්ණන් ඉතා සාර්ථක, කාර්යක්ෂම රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවාවක් මගින් නිරෝගී සමාජයක් පවත්වා ගත්තේය. 1977 න් පසු ගෝලීය ආර්ථිකයට ගැට ගැසූ අපගේ විවෘත වෙළඳපල ආර්ථිකය මගින් පොකුරු ගසන සිල්ලර අවශ්‍යතා පසුපස දුවන්නට ආදායම් සොයන තරගකාරී පාරිභෝගික සමාජයක් හැදුවේය. බෝ නොවන රෝගීන් වැඩි වැඩියෙන් හැදීමේ සියලු සාධක ඉන් සැපයින. අනතුරුව, වැඩිවන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ වෛද්‍ය සේවාවක් බවට සෞඛ්‍ය සේවය පරිවර්තනය කෙරින.

රෝගීන් වැඩිවන සමාජයක වැඩි වැඩියෙන් රෝහල් සහ වෛදවරුන් හදන්නට බදු මුදල් වැය කරන්නට හා පෞද්ගලික රෝහල් සඳහා යෝධ බිල්පත් ගෙවන්නට අපට අවශ්‍ය නැත. අපට දැන් අවශ්‍ය වන්නේ රෝග නිවාරණ දියුණු ප්‍රජා සෞඛ්‍ය සේවාවක් සඳහා සංවර්ධන සැළසුමකි. ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර අප අත ගැසිය යුත්තේ ඒ සඳහාවන සමාජ කතිකාවකට ය.

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 සැප්තැම්බර 07 වන දින

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොරොන්දු බැලුවම ලෙඩ වෙනවනං ජනාධිපතිවරණයෙන් පස්සෙ (කුසල් පෙරේරා) | The Leader