The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනාධිපති අපේක්ෂකයන්ට උපන් ඇඳුමෙන් කඩේ යන්න රාජ්‍ය නිලධාරීන්ට පුළුවන් ද? – (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

September 8, 2024 • 9:52 AM

ජනාධිපති අපේක්ෂකයන්ට උපන් ඇඳුමෙන් කඩේ යන්න රාජ්‍ය නිලධාරීන්ට පුළුවන් ද? – (සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ මැතිවරණ රාජකාරියේ නිරත රාජ්‍ය නිලධාරීන් හා ස්වකීය රාජකාරියේ අත්‍යාවශ්‍යතාවය නිසා මැතිවරණ දින ඡන්ද පොලට ගොස් ඡන්දය භාවිතාවට ඉඩක් නැති රාජ්‍ය නිලධාරීන්ට ය.
  • ඒ නිලධාරීන්ගේ ඡන්දය භාවිතා කරන දිනය තැපැල් ඡන්ද දිනය ලෙස හැඳින්වේ.
  • මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය නිමවී ඇත.
  • තැපැල් ඡන්දය නියමිත දිනවල භාවිතා කිරීමට නොහැකි වූ අය සඳහා පමණක් ඉදිරි දිනකදී ඊට අවස්ථාව දෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ මැතිවරණ රාජකාරියේ නිරත රාජ්‍ය නිලධාරීන් හා ස්වකීය රාජකාරියේ අත්‍යාවශ්‍යතාවය නිසා මැතිවරණ දින ඡන්ද පොලට ගොස් ඡන්දය භාවිතාවට ඉඩක් නැති රාජ්‍ය නිලධාරීන්ට ය. ඒ නිලධාරීන්ගේ ඡන්දය භාවිතා කරන දිනය තැපැල් ඡන්ද දිනය ලෙස හැඳින්වේ.

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය නිමවී ඇත. තැපැල් ඡන්දය නියමිත දිනවල භාවිතා කිරීමට නොහැකි වූ අය සඳහා පමණක් ඉදිරි දිනකදී ඊට අවස්ථාව දෙනු ඇත.

මා තේරීම් භාර නිලධාරි ලෙස කටයුතු කළ 2015, ජනාධිපතිවරණය දා රාත්‍රි 9.00 පසුවී මඳ වෙලාවකින් මගේ ජංගම දුරකතනයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඇමතුමක් ලැබිණි.

 

හොඳම ජනපති 'මොඩලය' තෝරන්නේ කොහොම ද? – (සුනිල් කන්නන්ගර)

එලෙස කලින් ඡන්දය ප්‍රකාශ කළාට තැපැල් ඡන්ද ප්‍රතිපල දැන ගැනීමට සිදුවන්නේ ද මැතිවරණ දිනයේ මධ්‍යම රාත්‍රියෙන්ද පසුව ය. අප රාජ්‍ය සේවයේ යෙදී සිටියදී තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රි නවයේ ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශයටත් පෙර කොළඹට වාර්තා කළ අවස්ථා කීපයක්ම තිබුණි. ඒ රත්නපුර මැතිවරණ කාර්යාලය තැපැල් ඡන්ද ප්‍රතිඵල ඉක්මනින් ලබාදීමට විශේෂ වැඩ පිළිවෙලක් සංවිධානය කර ක්‍රියාත්මක කළ නිසා ය. ඒ වාර්තාව අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් රාත්‍රි දහයට පෙර තැපැල් ඡන්ද ප්‍රතිපල නිකුත් කිරීම රත්නපුර දිස්ත්‍රික්කයෙන් දිගටම සිදුවිය.

මා තේරීම් භාර නිලධාරි ලෙස කටයුතු කළ 2015, ජනාධිපතිවරණය දා රාත්‍රි 9.00 පසුවී මඳ වෙලාවකින් මගේ ජංගම දුරකතනයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඇමතුමක් ලැබිණි.

“මිස්ටර් කන්නන්ගර මට දැනගන්න පුලුවන්ද? රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිපලය කීයට විතර දෙනවද? කියල”.

“ඔව්; මැඩම් තව විනාඩි දහයක් පහලොවක් ඇතුලත ප්‍රතිඵලය කොළඹින් නිකුත් කරයි”.

“ආ, ඒ කියන්නෙ ඔයගොල්ලො ගණන් කරල ඉවරවෙලා ප්‍රතිඵල කොළඹටත් යැව්වද?”

“ඔව්, මැඩම් දැන් විනාඩි පහකට කලින් කොළඹට යැව්වා.”

“මිස්ටර් කන්නන්ගර මට දැනගන්න පුලුවන්ද? රිසල්ට් එක”

“මැඩම්; ප්‍රතිඵලය කොළඹින් අනුමත කරන කම් කියන්න විදියක් නම් නෑනෙ”.

“අනේ වෙරි සොරි මිස්ටර් කන්නන්ගර; මම එහෙම අහපු එකත් වැරදියි. මට ටීවී එකෙන් බැලුවැකිනෙ විනාඩි දහයකින්. ඒක නෙවෙයි ඔයාල හරී ඉක්මනට ගැනල තියෙනවනෙ. බොහොම ස්තූතියි ඔයාලට.”

කියා ඇය දුරකතනය විසන්ධි කළා ය.

මා පැවසූ ලෙසම විනාඩි දහයක් තුළ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිපලය රූපවාහිනියෙන් ප්‍රකාශයට පත්විය. මා විසින් සහතික කළ ප්‍රතිපලයවත් කොළඹින් අනුමත කරනතුරු එළියට නොදීමට තරම් එදා රාජ්‍ය සේවයේ අපට විනයක් තිබිණි.

 

පුවත් - Results from #5496

අද වන විට තැපැල් ඡන්දය පාවිච්චි කොට නිම වූ විගස සමාජ මාධ්‍යයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිවේදනය කරන පෝස්ට් සිය ගණනකි. සමහරුන්ට අනුව 92% ඔවුන්ගේ හිතවත් අපේක්ෂකයාට ය. තව සමහරුන් එය දොලහක් අඩු කොට කියන්නේ 80%බව ය. මේ ආදී වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තැපැල් ඡන්ද ප්‍රතිඵල කියා සංඛ්‍යාලේඛන ප්‍රතිශත පෙන්වමින් තම තමන්ගේ අපේක්ෂකයාට ඡන්දය දෙන්නැයි ආයචනා කරන්නෝ දහස් ගණනකි. මේ අය බොහෝ දෙනෙක් නියමිත දින තැපැල් ඡන්දය භාවිතා කළ රාජ්‍ය සේවකයෝ ය.

මේ අයගේ සමාජ මාධ්‍ය පිටු රැසක් පරීක්ෂා කර බැලීමේදී හෙලිදරව් වනුයේ ඔවුන් ජනාධිපතිවරණයේ තරඟ කරන එක අපේක්ෂකයෙකුව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැඩිසේ ප්‍රවර්ධනය කරමින් සිටින බව ය. ඊටත් වඩා ඛේදජනක වන්නේ ඇතැම් අය රජයේ සේවාවේ මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරු දරන්නවුන් බව ද දැන ගැනීමට ලැබීමයි.

 

ඡන්දෙට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් ගැන තීරණයක්
රාජ්‍ය සේවයේ දේශපාලන අයිතිවාසිකම් සහිත නිලධාරීන් සහ දේශපාලන අයිතිවාසිකම්‍ රහිත නිලධාරීන් ලෙස නිලධාරීන් දෙවර්ගයකි.මේ රාජ්‍ය සේවයේ නිලධාරීන් දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට අදාල පරිපාලන රීති සංග්‍රහය වන ආයතන සංග්‍රහයේ දැක්වෙන්නේ xxxii පරිච්ඡේදයේ ය.

දේශපාලන අයිතිවාසිකම් නැති නිලධාරීන් වන්නේ අධිකරණ නිලධාරීන්, සන්නද්ධ සේවා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ රජයේ සේවයේ නියුක්ත අධීක්ෂණ නිලධාරීන් හෝ මාණ්ඩලික නිලධාරීන්, යන අයයි. මේ දේශපාලන අයිතිය නැති රාජ්‍ය නිලධාරීන්ට ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, ජනමතවිචාරණ, පලාත් පාලන මැතිවරණ ආදී කිසිදු මැතිවරණයකට තරඟ කිරීම, එබදු මැතිවරණයකට තරඟ කරන අපේක්ෂකයෙකුට කවර ආකාරයක හෝ ආධාරයක් කිරීම, ඉහත මැතිවරණයක තරඟ කිරීමට තමන් නම් කරගනු ලැබීමට කවර ක්‍රියාවක් හෝ කිරීම සපුරා තහනම්‍ ය. කොටින්ම මේ මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීම හැර අන් සියලු ක්‍රියා ඉහත දේශපාලන අයිතිය නැති නිලධාරීන්ට තහනම් වේ. එසේම තමන්ට තහනම් ක්‍රියාවල සිය කලත්‍රයා ද නොයෙදෙන බවට වග බලා ගැනිමට මේ නිලධාරීහු බැඳී සිටිති.

ඉහත නිලධාරීන් හැර සෙසු නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් හිමි වන්නේ ද සෑම විටම රජයේ සේවාවේ ඔවුන් කරන වැඩ කටයුතුවලට හානියක් නොවන පරිදි ය. මේ විධිවිධානයන් උල්ලංඝණය කිරීම රාජ්‍ය සේවයේ සේවයෙන් පහ කිරීමට තරම් වන බරපතල වැරදි ගණයට අයත් වරදක් වන්නේ ය.

 

රට ඇද වැටෙන්න මූලික හේතුව රාජ්‍ය සේවයයි' -(චින්තන ධර්මදාස)
ආයතන සංග්‍රහයේ ඉහත කී විධිවිධානයන් අනුව නම් තැපැල් ඡන්දය හිමි කවර හෝ රජයේ නිලධාරියෙකුට දේශපාලන කටයුතුවල නිරත විය නොහැක. දේශපාලන අයිතිය හිමි රාජ්‍ය නිලධාරියෙකු වුව ද තැපැල් ඡන්දය සඳහා තෝරා ගැනීම නිසා මැතිවරණ රාජකාරි සඳහා යෙදෙවන නිලධාරියෙකු බවට පත් වේ. මැතිවරණ රාජකාරි පැවරුණු නිලධාරියෙකු සිය දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට යාම එම රාජකාරිවලට හානියක් බැවින් ආයතන සංග්‍රහය අනුව එබඳු අයට ද දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳිය නොහැක.

ආයතන සංග්‍රහයේ ඉහත විධිවිධාන අමු අමුවේ උල්ලංඝණය කරමින් රාජ්‍ය සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් හා මැතිවරණ රාජකාරිවල යෙදවීමට ඉඩ ඇති බැවින් තැපැල් ඡන්දයට හිමිකම ලබා එය භුක්ති විඳි නිලධාරීන් කිසිදු ලැජ්ජාවකින් හෝ බියකින් තොරව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා යම් යම් අපේක්ෂකයින්ට සහය දක්වන ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීම බරපතල වරදකි.

ප්‍රසිද්ධියේ සිදුකරන මේ දේශපාලන ක්‍රියාවන් අනිකුත් පක්ෂවල ආධාරකරුවන්ගේ ද අවධානයට ලක්වේ. එවිට මේ නිලධාරියා අහවල් අපේක්ෂකයාට සහය දක්වන්නෙකි ආදී වශයෙන් නිශ්චිත මතයක් ඔවුන් තුළ ඇති වේ. යම් හෙයකින් ඡන්ද ගණන්කිරීමේ ශාලාවක හෝ ඡන්ද පොලක මෙබඳු නිලධාරීන් සේවයේ යෙදී සිටියදී සිදුවන සුලු අතපසු වීමක් වුවද ඡන්දයේ අපක්ෂපාතී බවට කැළලක් වන විශාල සිද්ධියක් සේ අර්ථ දැක්වීමට ඉඩ මේ නිසා විවරවීමට ඉඩ ඇත.

 

මෙවර ඡන්ද පොළට යාමට පෙර ඡන්ද දායකයින් දැන සිටිය යුතු දේ
ඒ නිසා මැතිවරණ රාජකාරිවල යෙදෙන දේශපාලන අයිතීන් හිමි නිලධාරීන් වුවද තමන් ට හිමි දේශපාලන අයිතීන් භුක්ති විඳීමට මැතිවරණය නිමවන තුරු ඉඩක් නැති බව වටහා ගත යුතුය. දේශපාලන අයිතිය හිමි නැති නිලධාරීන් සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ සිදුකරන අපේක්ෂකයින් ප්‍රවර්ධනය ස්වකීය තනතුරෙන් නෙරපා හැරීමට තරම් වන වරදක් බවත් තේරුම් ගත යුතු ය.

රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ අඳ බාල හයක් හතරක් නොදත් නිලධාරීන්ට නිසි මග පෙන්වීම කළ යුතු ය. ගැටලුව වී ඇත්තේ මේ දිනවල ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද ඡන්ද රාජකාරි තිබියදී ජනාධිපති වෙතැයි සිතන අපේක්ෂකයින් රහසිගතව මුණ ගැසී නම ලකුණුකර එන්නට ප්‍රමුඛත්වය දී තිබීම ය. මැතිවරණ කොමිෂන් සභාව ද මැතිවරණ රාජකාරිවල යොදවන නිලධාරීන් පිළිබඳ යම් සොයා බැලීමක් කර රාජකාරියට මුළුමනින් පස්ස හරවා ජනාධිපති අපේක්ෂකයින්ට උපන් ඇඳුමින් කඩේ යන නිලධාරීන් ගණන් කිරීමේ කාර්ය සඳහා නොයෙදීමට කටයුතු කරන්නේ නම් අගනේ ය.


sunil kannangara(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...