The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අනුර කුමාර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හඳුන්නෙත්තිට විහිළුවක් - (කුසල් පෙරේරා)

T

The Leader Desk

September 9, 2024 • 8:38 AM

අනුර කුමාර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හඳුන්නෙත්තිට විහිළුවක් - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොදු ප්‍රවාහනය ගැන ලියන්නට වාඩි වූ විට කල්පනා වූයේ, මේ පොරොන්දු කිසිවක් ජනාධිපතිවරයෙකුට ක්‍රියාත්මක කිරීමට නොහැකි බවය. මේවා සම්බන්ධ තීන්දු සහ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල, අවශ්‍ය නීති හෝ නීති සංශෝධන ඇමති මණ්ඩලයක් විසින් සම්මත කර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
  • ඒවා බලාත්මක කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රියාවලියක් තුලය.
  • ප්‍රතිපල නිකුත් කළ දිනයේම පැය කිහිපයක් ඇතුළත මෛත්‍රිපාල සිරිසේන දිවුරුම් දුන් අයුරු අනුර කුමාරටද දිවුරුම් දිය හැක.
  • ඔහු කියන බොහෝ දේ දැන් සමාජයෙහි සැළකෙන්නේ තර්කයක් නැති, දේශපාලන අර්ථයක් නැති මැටි මෝල් කතා ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පොදු ප්‍රවාහනය ගැන ලියන්නට වාඩි වූ විට කල්පනා වූයේ, මේ පොරොන්දු කිසිවක් ජනාධිපතිවරයෙකුට ක්‍රියාත්මක කිරීමට නොහැකි බවය. 

මේවා සම්බන්ධ තීන්දු සහ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල, අවශ්‍ය නීති හෝ නීති සංශෝධන ඇමති මණ්ඩලයක් විසින් සම්මත කර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ඒවා බලාත්මක කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රියාවලියක් තුලය. අනතුරුව ඒවා ක්‍රියාත්මක කෙරෙන්නේ ඇමතිවරයෙක් යටතේ අමාත්‍යාංශයක් මගින්ය.

පාර්ලිමේන්තුවක් කුමට ද?

 

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8

එය පැහැදිලි කරන්නේ නම්, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පොරොන්දු වන “ජන අනුපාතයට සමපාත වන අයුරින් රජයේ රෝහල් ඉදිකොට, ඉදිරි වසර 15 අවසානයේ සෞඛ්‍ය සේවාවන් උසස්ම මට්ටමට ගෙනෙනවා” යැයි වන පොරොන්දුව ක්‍රියාත්මක කිරීමට, සෞඛ්‍ය ඇමතිවරයෙකු විසින් එය පියවරෙන් පියවර කාල වකවානු ඇතිව සැළසුම් කෙරුනු කැබිනට් පත්‍රිකාවක් මගින් ඇමති මණ්ඩල අනුමැතිය ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එය ක්‍රියාත්මක කිරීමට අවසර දෙන්නේද නැද්ද යැයි තීන්දු කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය විසින් ය. එනිසා මේ ජනාධිපති අපේක්ෂකයින්ට ඔවුන්ගේ පොරොන්දු ක්‍රියාත්මක කරන්නට නම්, පාර්ලිමේන්තුවේ තමන්ගේ ආණ්ඩුවක් තිබිය යුතුය. පාර්ලිමේන්තු මැතිවරණයක් මග හැරිය නොහැක්කේ එබැවිනි.

ජනාධිපතිවරණයෙන් වසරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට සිදුවන අතර, ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ව්‍යවස්ථාමය අවසරය දැන් ජනාධිපතිවරයාට ඇත. 

 



තමන් ජයගත් වහාම, පසු දිනයේම, පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව අනුර කුමාර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ජනතාවට කියුවේ, මේ තියෙන්නාවූ පාර්ලිමේන්තුවෙන් ඔවුන්ට ආණ්ඩු පාලනයක් ගෙන යා නොහැකි බැව් කාටත් වැටහෙන්නක් වන බැවින්ය. එහෙත් ඔහු කියූ එක දෙයක් ව්‍යවස්ථාවට අනුව කළ නොහැකිය. ප්‍රතිපල නිකුත් කළ දිනයේම පැය කිහිපයක් ඇතුළත මෛත්‍රිපාල සිරිසේන දිවුරුම් දුන් අයුරු අනුර කුමාරටද දිවුරුම් දිය හැක. එහෙත් ඔහු කියන ආකාරයේ අන්තර්වාර ඇමති මණ්ඩලයක් පත් කරමින් පාර්ලිමේන්තුව පසු දිනයේම විසුරුවා හරින්නට ප්‍රායෝගිකව නොහැක.

හඳුන්නෙත්තිගේ විහිළුවෙන් එහා

 

ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ජනප්‍රිය දේශපාලන ප්‍රකාශකයෙකු වන සුනිල් හඳුන්නෙත්ති කියන්නේ, අනුර කුමාර ජනාධිපති ලෙස දිවුරුම් දුන් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර, ඊළග මැතිවරණයෙන් ආණ්ඩුවක් පත් කෙරෙන තුරු අමාත්‍යාංශ ලේකම්වරුන් සමග තාවකාලික ආණ්ඩුව පවත්වා ගෙන යන බවය. ඔහු කියන බොහෝ දේ දැන් සමාජයෙහි සැළකෙන්නේ තර්කයක් නැති, දේශපාලන අර්ථයක් නැති මැටි මෝල් කතා ලෙස ය. ඇමතිවරුන් මිස අමාත්‍යාංශ ලේකම්වරුන් ආණ්ඩුවක් වන්නේ නැත. පාර්ලිමේන්තුව විසුරුවා හරින මොහොතේ ඉන්නා ඇමතිවරුන් තාවකාලික ආණ්ඩුවක් වන්නේ එහෙයින්ය. ඒ ගැන ඉතාම කෙටියෙන් කිව යුත්තේ හඳුන්නෙත්තිගේ විහිළු පාලන සඳහා කිසිදු ව්‍යවස්ථාමය ඉඩක් නොමැති බව පමණි. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු ඊළග පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිපල නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන තෙක් අන්තර්වාර නැති නම් වැඩ බලන ආණ්ඩුවක් ලෙස ව්‍යවස්ථානුකූලව පවතින්නේ එතෙක් පැවති ඇමති මණ්ඩලය වන්නේය. අනුර කුමාර ඒ වෙනුවට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ඔහුගේ අභිමතය අනුව තාවකාලික ඇමති මණ්ඩලයක් පත් කර ගන්නා බව ප්‍රකාශ කර ඇත. ඔහුගේ තේරීමෙහි මූලික කොන්දේසිය වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඔහු ඉවත්ව, ඒ පුරප්පාඩුව සඳහා ඔවුන්ගේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ ඊළගට ඉන්නා ලක්ෂමන් නිපුනආරච්චි මන්ත්‍රී ලෙස පත් කිරීම ය. ඔහු ඉන් බලාපොරොත්තු වන්නේ නිපුනආරච්චි මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි විට ඔහුව ඇමති මණ්ඩලයට ඇතුළු කර ගැනීම ය. ඒ සඳහා අනුර කුමාරට නිපුනආරච්චි දිවුරුම් දෙන තෙක් සිටිය යුතු වන්නේය. ඔවුන් වෙනුවෙන් කෙතරම් වේගයෙන් ඒ කාර්ය මැතිවරණ කොමිසම ඉටු කළද, ඊට අවම දින දෙකක් හෝ ගත වනු ඇත.

වඩාත් වැදගත් වන්නේ නිපුනආරච්චි මන්ත්‍රී ලෙස දිවුරුම් දීම නොවේ. ජනාධිපති වශයෙන් තේරී පත් වුවහොත් අනුර කුමාර ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්නේද නැතිනම්, ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තීන්දු ගැනීමට “මැතිවරණ ජයග්‍රහණය” ජන වරමක් ලෙස යොදා ගන්නේද යන්න ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සදාචාරය

 

සාධාරණ සමාජයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව - වික්ටර් අයිවන්
අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48.1 අනු ව්‍යවස්ථාවෙන් කියන්නේ, “පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන තෙක් ක්‍රියා කළ අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුව ද, දිගටම ක්‍රියා කළ යුතු” බව ය. එනිසා අනුර කුමාරට හා ජ.වි.පෙට අවශ්‍ය වැඩ බලන ඇමති මණ්ඩලය, පාර්ලිමේන්තුව විසුරුවන්නට පෙර දින පත් කර ගත යුතුය. වැඩ බලන ඇමති මණ්ඩලය සඳහා අනුර කුමාරගේ පළමු තේරීම වන, ඔහු ජනාධිපති වශයෙන්ද ජ.වි.පෙ/ජා.ජ.බ මන්ත්‍රීවරුන් තිදෙනද ඇතුළත් සිව් දෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩලය එළෙසින් පත් කර ගැනීමට සිදු වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44.2 අනු ව්‍යවස්ථාවට අනුව ය. ඉන් අවසර දෙනු ලබන්නේ 44.1 අනු ව්‍යවස්ථාව යටතේ අග්‍රමාත්‍යවරයාගේ අදහස් විමසා හෝ නොවිමසා “......අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාවද, අමාත්‍යාංශ සංඛ්‍යාවද, ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය හා කාර්යන්ද නිශ්චය කළ” පසු 44.2 අනු ව්‍යවස්ථාව යටතේ, “...... අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කිරීමට” ය.

අනුර කුමාරගේ දේශපාලන තීන්දුව අනුව වැඩ බලන ඇමති මණ්ඩලය පත් කර ගැනීමට ඔහුට අගමැතිවරයෙකු පත් කිරීමටද සිදු වන්නේය. ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 03 ගෙන් එක් අයෙකු අගමැති ලෙස පත් කළ හැකිය. ප්‍රශ්නය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43.4 අනු ව්‍යවස්ථාවෙන් ජනාධිපතිගේ මතය අනුව “පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා” අගමැති වශයෙන් පත් කළ යුතුයැයි වන කොන්දේසිය ය. මන්ත්‍රීවරුන් 135 ට වැඩි සංඛ්‍යාවක් සිටි රාජපක්ෂ ආණ්ඩුවේ අගමැති දි.මු. ජයරත්නට වඩා මන්ත්‍රීවරුන් 47 ක් සිටි එ.ජා.ප නායක වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර වැඩි විශ්වාසයක් ඇතැයි ඔහුව 2015 ජනවාරි 09 වන දින අගමැති වශයෙන් පත් කරගත් මෛත්‍රීපාල සිරිසේනගේ තේරීමට වඩා, ජ.වි.පෙ මන්ත්‍රීවරුන් 03 ගෙන් එක් අයෙකුට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසයක් ඇතැයි සිතීම, මනෝ විකාරී විහිළුවක් වනු නියත ය.

 



අනුර කුමාරගේ දෙවන විකල්පය ලෙස වාර්තා වන්නේ ඔහු සැප්තැම්බර 05 වන දින ජා-ඇල රැළියක් අමතමින් ඉදිරිපත් කළ, සියලු අමාත්‍ය මණ්ඩල විෂයන් තමන් බාරයේ තබා ගෙන, පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යාම ය. ආරම්භයක් ලෙස එය ව්‍යවස්ථානුකූල යැයි තර්ක කළ හැකිය. ඇමති මණ්ඩල විෂයන් තාවකාලිකව තමන් වෙත පවරා ගැනීමේ ව්‍යවස්ථාමය බලයක් ජනාධිපතිට ඇත. එහෙත් එය 44.3 අනු ව්‍යවස්ථාව යටතේ අගමැතිගේ එකගත්වයක් නොමැත්තේ නම්, දින 14 ට සීමා වන්නේය. බරපතල ගැටළුව ඇත්තේ පාර්ලිමේන්තුව විසිරුවා හැර දින 14 ක් ඇතුළත නැවත මැතිවරණයක් පැවැත්වීමේ නෛතික අවසරයක් තබා ප්‍රායෝගික හැකියාවක්ද නොමැති වීමෙහි ය.

එවැනි පසුබිමක, අද ජනාධිපති ලෙස දිවුරුම්දී තමන්ගේ දේශපාලන තේරීමකට අනුව පත් කෙරෙන වැඩබලන ආණුඩුවක් සමග හෙට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීන්දුව, ඕනැම පක්ෂ නායකත්වයකට ගත හැකිය. එනමුත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කොයි ආකාරයෙන් අර්ථ ගන්වා ගන්නේද යන්න සමාජය හමුවේ ඉතිරිවන වැදගත් ප්‍රශ්නයකි. අලුත් පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඡන්දය ඉල්ලන දේශපාලන නායකයින් එවැනි දේශපාලන තීන්දු ගැනීමේදී ඒවා ව්‍යවස්ථානුකූල නොවුනත් කෙතරම් සදාචාර සම්පන්නදැයි යන්න අතිශය වැදගත් වන්නකි. වත්මන් ජ.වි.පෙ නායකයින්ට අදාල ඉතිහාසයෙහි බරපතල ලෙස ප්‍රශ්න කෙරෙන්නේ ඔවුන්ගේ ඒ දේශපාලන සදාචාරය සම්බන්ධව ය. එවැන්නක් ඔවුන්ට තිබේදැයි යන්නත් ප්‍රශ්න කෙරෙන්නකි.  


අලුත් අවුරුද්දට මගේ යෝජනාව - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 සැප්තැම්බර 09


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුර කුමාර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හඳුන්නෙත්තිට විහිළුවක් - (කුසල් පෙරේරා) | The Leader