The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නව පරපුරේ හද ගැස්ම නොතකන ජනපති අපේක්ෂකයෝ - (රේණුකා දමයන්ති ගමගේ)

T

The Leader Desk

September 9, 2024 • 10:38 AM

නව පරපුරේ හද ගැස්ම නොතකන ජනපති අපේක්ෂකයෝ - (රේණුකා දමයන්ති ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංඛ්‍යාත්මකව ගත හොත් මෙම ඡන්ද ප්‍රමාණය නිශ්චිතව පෙළ ගස්වා ගැනීම මීළඟ ජනපතිවරයා පත් කරගැනීම සම්බන්ධ තීරණාත්මක සාධකයක් ද වනු ඇත.
  • ජනපතිවරණයට පෙර “වැඩ කරන අපේ විරුවා” යන සන්නාමය සහිත ඔහුගේ පදවි ප්‍රාප්තියත් සමඟ රට පුරා පැන නැඟි තරුණ උද්යෝගය කොතෙක් ද යන්න එවක නිර්මාණය වූ මේ වන විට දියසෙවල බැඳී දුර්වර්ණ වී ඇති රාවණා, දුටු ගැමුණු ආදී සමාජ පරමාදර්ශීන් ගේ රූප සහිත නගරාලංකරණ බිතු සිතුවම් වලින් පෙනී යයි.
  • ඔවුන් ගේ වයස් වලට අදාලව මොළයේ සිදුවන ජෛව රසායනික ප්‍රවර්ධනය මත ඇති වන ජවය, පන්නරය, ක්‍රියාශීලීත්වය, සටන්කාමීත්වය ආදී චර්යාත්මක වෙනස්කම් මුල් කොට තත්කාලීන සම්ප්‍රදායන් අතික්‍රමණය කළ හැකි විප්ලවීය වෙනසක් ඔව්හු අපේක්‍ෂා කරති.
  • එහෙත්, එම මතවාදය සමාජය පුරා ප්‍රචලිත කළවුන් ගේ වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආගමනය මත ඔවුන්ගේ එම සන්නද්ධකාමී අතීත ක්‍රියාමාර්ගයන් කෙතරම් නිරර්ථක හා ව්‍යසනකාරී දැයි අපට වැටහෙනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


සංඛ්‍යාත්මකව ගත හොත් මෙම ඡන්ද ප්‍රමාණය නිශ්චිතව පෙළ ගස්වා ගැනීම මීළඟ ජනපතිවරයා පත් කරගැනීම සම්බන්ධ තීරණාත්මක සාධකයක් ද වනු ඇත. ඒ අනුව මෙවර නවක ඡන්ද වලින් වැඩිම ප්‍රමාණයක් පෙළ ගැසෙනුයේ කවර අපේක්‍ෂකයා ඉලක්ක කර ගනිමින් ද යන්න සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පාර්ශවයන් හි අවධානය යොමුව තිබේ.

එවක නිර්මාණය වූ මේ වන විට දියසෙවල බැඳී දුර්වර්ණ වී ඇති රාවණා, දුටු ගැමුණු ආදී සමාජ පරමාදර්ශීන් ගේ රූප සහිත නගරාලංකරණ බිතු සිතුවම්

 

ගත වූ 2019 ජනාධිපතිවරණයේ දී නවක ඡන්ද ලක්ෂ දහයක් පමණ වූ බවත් ඉන් වැඩි කොටස ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය උදෙසා වැදගත් සාධකයක් වූ බවත් පොදු නිරීක්ෂක මතයයි. ජනපතිවරණයට පෙර “වැඩ කරන අපේ විරුවා” යන සන්නාමය සහිත ඔහුගේ පදවි ප්‍රාප්තියත් සමඟ රට පුරා පැන නැඟි තරුණ උද්යෝගය කොතෙක් ද යන්න එවක නිර්මාණය වූ මේ වන විට දියසෙවල බැඳී දුර්වර්ණ වී ඇති රාවණා, දුටු ගැමුණු ආදී සමාජ පරමාදර්ශීන් ගේ රූප සහිත නගරාලංකරණ බිතු සිතුවම් වලින් පෙනී යයි.

සාම්ප්‍රදායිකත්වයට වඩා විකල්පයන් කෙරෙහි ආකර්ශනය වීම තරුණ මනැසේ සාමාන්‍ය ස්වභාවයයි. ඔවුන් ගේ වයස් වලට අදාලව මොළයේ සිදුවන ජෛව රසායනික ප්‍රවර්ධනය මත ඇති වන ජවය, පන්නරය, ක්‍රියාශීලීත්වය, සටන්කාමීත්වය ආදී චර්යාත්මක වෙනස්කම් මුල් කොට තත්කාලීන සම්ප්‍රදායන් අතික්‍රමණය කළ හැකි විප්ලවීය වෙනසක් ඔව්හු අපේක්‍ෂා කරති.

 

1971 සහ 1987-1989 යන සන්නද්ධ අරගල කෙරෙහි තරුණ මනැස් වැඩිපුර යොමු වූයේ එවක පැවැති සමාජ, ආර්ථික, දේශපාලන යාන්ත්‍රණය තුළ පැවැති දුර්දාන්ත භාවයට වඩා ඒවා අධිරාජ්‍යවාදයට හා ඉන්දියානු ව්‍යාප්තවාදයට අවනත බව එක්තරා දේශපාලන කණ්ඩායමක් එවක තරුණ මනැස් වලට කාවදවා තිබූ නිසා ය

විශේෂයෙන් 1971 සහ 1987-1989 යන සන්නද්ධ අරගල කෙරෙහි තරුණ මනැස් වැඩිපුර යොමු වූයේ එවක පැවැති සමාජ, ආර්ථික, දේශපාලන යාන්ත්‍රණය තුළ පැවැති දුර්දාන්ත භාවයට වඩා ඒවා අධිරාජ්‍යවාදයට හා ඉන්දියානු ව්‍යාප්තවාදයට අවනත බව එක්තරා දේශපාලන කණ්ඩායමක් එවක තරුණ මනැස් වලට කාවදවා තිබූ නිසා ය. එමෙන්ම ඊට වඩා යහපත් දේශයක් ගොඩනැඟීමකට සන්නද්ධ අරගලයක් මගින් හැකි වෙතැයි යන විශ්වාසය ඔවුන් තරුණ මනැස් තුළ රෝපණය කොට තිබූ නිසා ය.

 

එහෙත්, එම මතවාදය සමාජය පුරා ප්‍රචලිත කළවුන් ගේ වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආගමනය මත ඔවුන්ගේ එම සන්නද්ධකාමී අතීත ක්‍රියාමාර්ගයන් කෙතරම් නිරර්ථක හා ව්‍යසනකාරී දැයි අපට වැටහෙනු ඇත. තරුණ සිත් සතන් තුළ පවත්නා මෙම අධිධාවනකාරී ජවසම්පන්න බව හුදු දේශපාලනයට පමණක් සීමාවූවක් නොවේ. මීට දශක කිහිපයකට පෙර ආරම්භ වූ විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතනවල නවක වදය නම් වන සංසිද්ධිය පසුගිය දශක කිහිපය තුළ ත්‍රස්තවාදී මුහුණුවරක් දක්වා ප්‍රවර්ධනය වීම මත එය වැලැක්වීම පිණිස 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට එවක රජයට හිමි විය.


c4736817 5ad7 475f bf20 1186ae6fb76c
නමුත් අප මේ ජීවත් වන 2024 වසරේ එවක තරුණ පරපුර තුළ එතෙක් පැවැති ජවය, පන්නරය ප්‍රචණ්ඩකාමීත්වයෙන් බැහැරට යොමු වීමක් දක්නට ලැබේ. මෙය අතිශය සාධනීය තත්වයකි.

මීට දශක කිහිපයකට පෙර සිට ලොව පුරා ක්‍රියාත්මක වන ගෝලීයකරණ 4.0 සංකල්පය තුළ ආසන්න වශයෙන් 1980 වසරෙන් පසු ඉපදුණු වයි පරම්පරාව ( Y Generation ) සහශ්‍රක (Millennials) යනුවෙන් හැඳින්වෙන අතර එම පරම්පරාව 1996 නිමා වුණු බව පොදු පිළිගැනීම ය.

The Generation of Digital Natives are Powering the Digital Transformationලොව පුරා වෙසෙන මොවුන් ගේ ජීවිතවල ප්‍රධානතම කාර්යයන් අතරට ඩිජිටල් භාවිතය එක් කර ගැනීම මෙම පරපුර සතු පොදු හා ප්‍රධාන ලක්ෂණයකි.

 

ඉන්පසු අවදියේ එනම් 1997-2012 කාල පරාසය තුළ ඉපදුණු තරුණ හා නව යොවුන් පෙළ ඉසෙඩ් පරපුර (Z Generation) නමින් හැඳින්වෙන අතර ඉදිරි ජනපතිවරණයේ නවක ඡන්ද සියල්ල එම වයස් කලාපයට අයත් වන බව පැහැදිලි සත්‍යයකි. මෙම නව පරපුර තුළ පවත්නා සුවිශේෂත්වය ලොව පුරා සමාජ විද්‍යාඥයන් විසින් හඳුනා ගන්නා ලද අතර ඇමරිකානු ලේඛක තාක්ෂණවේදී මාක් ප්‍රෙන්ස්කි ඔවුන් හඳුන්වා දීම පිණිස යොදන ලද ඩිජිටල් ස්වදේශික ( Digital natives ) යන්න අද ලෝක පිළිගැනීමක් බවට පත්ව තිබේ. මෙම පරපුරට ඉහත 1965-1980 කාල පරාසයේ උපන් එක්ස් පරම්පරාවේ ( X Generation ) සිතුම් පැතුම්වලට ඉඳුරාම වෙනස් සිතුම් පැතුම් ආකල්ප වලින් යුතු මොවුහු පශ්චාත් සහශ්‍රක (Post millennials )යනුවෙන් ද හැඳින්වෙති. ලොව පුරා වෙසෙන මොවුන් ගේ ජීවිතවල ප්‍රධානතම කාර්යයන් අතරට ඩිජිටල් භාවිතය එක් කර ගැනීම මෙම පරපුර සතු පොදු හා ප්‍රධාන ලක්ෂණයකි.


WhatsApp Image 2024 09 09 at 3.16.32 PM
මෙම ඉසෙඩ් පරම්පරාවට හිමි ලක්ෂණ සහිත තරුණ පෙළක් මේ වන විට ශ්‍රී ලංකාවේ නගරබද ගම්බද භේදයකින් තොරව ඉස්මතු වෙමින් පවතී. ඔවුන් මේ වන විට සමාජයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්වන මධ්‍යම පාන්තික සමාජයෙන් ඉස්මතු වී ඇති බවක් පැහැදිලිව නිරීක්ෂණය වේ. ඒ අනුව පැරණි වාමාංශික දේශපාලන න්‍යායන් හා සම්බන්ධ පීඩිත පන්තිය, දුක් විඳින ජනතාව වශයෙන් වන විශේෂිත සමාජමය පැළැන්තියක් නූතනයේ සොයා ගැනීම ඔවුනට ගැටළු සහගත වී තිබේ. ඔවුන් ගේ නවතම විශ්ලේෂණයන්ට අනුව සමාජයේ පවත්නා අදායම් විෂමතාව මත හටගන්නා සම්පත් ඒකරාශීත්වය සම්බන්ධ ගැටළු ඇතත් එය තවමත් දේශපාලන වේදිකාවලින් නැගෙන යල් පැනගිය සමාජවාදී අච්චු වලට බහාලිය හැකි අන්දමේ පන්ති විෂමතා අර්බුදයක් නොවේ. එමෙන්ම ධනේෂ්වර නිර්ධන යන සමාජවාදී බෙදුම ද ඔවුන් ගේ විශ්ලේෂණයන්ට අනුව හුදු ප්‍රලාප හා ප්‍රවාද පමණි. මේ වන විට ජනපතිවරණ වේදිකාවල ජනකාන්ත විරෝධතා පාඨයක් වන නිදහසින් පසු හැත්තෑ හය වසරක් මුල් කොට දේශපාලනඥයන් විසින් රට විනාශ කළ ප්‍රවාදය ද “තාර බර ඇර ගත යුත්තක්” සේ ඔව්හු සිතති.

නූතන පරපුර තුළ පවත්නා මේ ආකල්පමය වෙනස කොතෙක් ද යත් මීට දශක කිහිපයකට පෙර උසස් අධ්‍යාපන සුදුසුකම් ලත් තරුණ පෙළ මොර ගා කී “අපට රජයේ රැකියා දියව්” යන සටන් පාඨය මොව්හු තුට්ටුවකටවත් මායිම් නොකරති. එමෙන්ම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය සේවකයන් වෘත්තීය අභිමානය ඉහළ නැංවීම, ඔවුන්ගේ වැටුප් ඉහළ නැංවීම යන දේ අප රටේ සමාජ ආර්ථික ප්‍රවර්ධනය සඳහා වැදගත් සාධක ලෙස නොසිතන ඔවුන් වැඩි දෙනකු පවසනුයේ ඉදිරි ජනාධිපතිවරයා විසින් කළ යුතු ප්‍රධාන කාරිය රටේ පවත්නා විදේශ ණය මත පදනම් වන ගෙවුම් ශේෂ අර්බුදය පිටු දැක මූල්‍ය සහ ආර්ථික යාන්ත්‍රණය විධිමත් කිරීම පමණක් බව ය.

f35ea5f3 d578 41c7 a863 2643c9a81169

 

stemඑම තත්ත්වය තුළ ඩිජිටල් ආර්ථික (Digital economy ) සංකල්ප මඟින් නවතම ආදායම් මාර්ග උත්පාදනය කිරීමේ හැකියාව තම පරපුර සතුව ඇති බව පවසන ඔවුන් ගෙන් වැඩි පිරිසක් පවසනුයේ ඒ සඳහා රජය මගින් කළ යුතු ප්‍රධාන කාර්යය දැනට ක්‍රියාත්මක වන යල් පැන ගිය අධ්‍යාපනය වෙනුවට ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින විද්‍යා. තාක්ෂණය,ඉංජිනේරු ශිල්පය, කලාව සහ ගණිතය යන අංග සහිත STEAM අධ්‍යාපනය අප රටට හඳුන්වා දීම බව ය.


වර්තමානයේ පිළිගැනෙන සාක්ෂරතාව (Literacy ) සහ පරිගණක සාක්ෂරතාව ( Computer literacy අතර ඇති සහ විධිමත් අධ්‍යාපනය ( Formal education) නොවිධිමත් අධ්‍යාපනය (Informal education ) අතර ඇති බරපතල විෂමතා පිළිබඳව හොඳින් වටහා ගෙන හිඳින මෙම පරපුර මෙතෙක් සමාජයේ සාම්ප්‍රදායිකව පැවැති උගත් නූගත් භේදය ද පිටුදැකිය යුත්තක් සේ සිතති.

 

c49cd173 5cf7 4bbe b51c 00d0efc39470

එමෙන්ම විවිධ වෘත්තීන් උසස් හා පහත් යන වර්ගීකරණයට නතු කිරීම ද බරපතල දෝෂදර්ශනයට ලක් කළ යුත්තක් බව මොවුන් බහුතරයක ගේ වැටහීම ය. එනිසාම යහපත් සුව පහසු ජීවන පැවැත්මක් උදෙසා තමන් තුළ පවත්නා ප්‍රායෝගික කුසලතා ( Practical skills ) මත පදනම් වන වෘත්තියක් කෙරෙහි යොමු වීමට මොව්හු වැඩි වශයෙන් නැඹුරු වෙමින් සිටිති.

 

1e859a32 9063 4780 acef f098b6bff2c6
පසුගිය දිනයෙක පන්නිපිටියේ අප හිතවත් ඥාති නිවසක පැවැති සාංඝීක දානයක් සඳහා ආහාර පිසීමේ කටයුතු සඳහා සරසවි සිසුවකු හා සිසුවියක පැමිණි අතර ඔවුන් ඉතා විශිෂ්ට ලෙස එම කටයුත්ත නිම කළහ. පසුව දැන ගන්නට ලැබුණේ ඔවුන් දෙදෙනා ඒ සූපවේදී පුහුණුව ලබා තිබුණේ අන්තර්ජාලයෙන් බව ය.

මේ වන විට එකම ඇනෙක්සියක් කුලියට ගෙන ජීවත් වන එම සිසුවා සහ සිසුවිය කියා සිටියේ තම උපාධිය ලබා ගැනීමෙන් පසු හිමි වන වෘත්තීය සුදුසුකමට වඩා ප්‍රායෝගික කුශලතා මත පදනම් වන මෙම ආහාර සැකසීමේ වෘත්තීය පළදායී බවක් වැටහුණහොත් ඉදිරියේ දී එය ව්‍යවසායකත්ව මට්ටමින් ප්‍රවර්ධනය කර ගන්නා බවය. ”අපිට එයාලගේ අත් තටු එපා. ඒවා අපි ළඟ තියනවා. අපි එයාලගෙන් ඉල්ලන්නේ අපේ ඒ අත්තටු වලින් නිදහසේ පියාඹන්න පුළුවන් හිස් අහසක් විතරයි” එම සිසුවිය සිනාසෙමින් කීයේ මා මවිතයට පත් කරමිනි.

824 x 465 64ලොව ඇතැම් දියුණු විශ්ව විද්‍යාලවල සිසුන් ගේ ජීවන කුශලතා ප්‍රවර්ධනය පිණිස විශ්ව විද්‍යාල වලින්ම ඔවුන්ට මෙවන් පැවරුම් දෙනු ලැබේ.

මේ අතර දැනට විශ්‍රාම ගෙන සිටින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයකු කීයේ පසුගිය දිනයෙක තම විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන් ගේ හමුවක් දෙහිවල හෝටලයක පැවැති අතර එහි අර්ධකාලීන සේවකයන් ලෙස ආහාර පාන සැපයුම් සේවාව සිදු කරන ලද්දේ තම විශ්ව විද්‍යාලයේම වත්මන් සිසුන් පිරිසක් විසින් බව ය. සාම්ප්‍රදායික මතවාදීන් හට දිරවිය නොහැකි වුවද ලොව ඇතැම් දියුණු විශ්ව විද්‍යාලවල සිසුන් ගේ ජීවන කුශලතා ප්‍රවර්ධනය පිණිස විශ්ව විද්‍යාල වලින්ම ඔවුන්ට මෙවන් පැවරුම් දෙනු ලැබේ.

එහෙත්, ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් හෙට දිනට ලොව හිමිකම් කියන මෙම දූපත් මානසිකත්වයෙන් අත් මිදුණු තරුණ චින්තන ප්‍රවාහය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් ලබා හෝ ඒ පිළිබඳව සැළකිල්ලක් දක්වා ඇති බවක් නොපෙනේ.

 

aa9ceda9 c2ea 45e0 b179 b315db063034

කොටින්ම ජනපති අපේක්ෂකයන් බොහොමයක් අනාගතය සඳහා අනිවාර්යයෙන් අවශ්‍ය වන නවෝත්පාදන ආර්ථිකයක් (Innovation economics ) පිළිබඳව නිසි අවධානයක් යොමු කොට නොමැති බව ඔවුන් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විමැසීමේ දී පෙනී යයි. ඉන් පැවසෙනුයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයන් විවිධ ප්‍රමාණ වලින් මෙම නවීන සංකල්ප කෙරෙහි පසුගාමී චින්තනයන් ගෙන් යුක්ත වූවන් බව ය.

 

නමුත් මෙවර ජනපති අපේක්ෂකයන් අතරේ ඇතැම් සමාජ ජාල පරිශීලකයන් “සීයා” නමින් හඳුන්වන රනිල් වික්‍රමසිංහ ජනපති වරයා මහරගම තරුණ සේවා සභාවේ පැවති යොවුන් වැඩ සටහනක දී මෙම ඉසෙඩ් පරපුර ගැන කතා කරනු අසන්නට ලැබිණ. ඒ කෙසේ හෝ ඉදිරි නව පරපුරට ගැළපෙනම ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධ සෙසු කරුණු සළකා බැලීමේ දී ඔවුන්ගෙන් වැඩි පිරිසක් එක් අපේක්‍ෂකයකුට හෝ අපේක්‍ෂකයන් කිහිප දෙනකුට තම කුළුඳුල් ඡන්දය දෙනු ඇත.ඇතැම් විට ඔහු “වැඩ කරන අපේ විරුවා 2” වීමට ද පුළුවන.

a5e9118b c115 4e94 9828 853762162464

2020 වසරේ අප්‍රියෙල් 09 දා ඇරඹි ඓතිහාසික ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලයේ මූලික අරමුණ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීම බව ඇත්තකි. එහෙත්, එහි ගැබ්වුණු යටි අරුතක් ද විය. එනම් ඉහත සඳහන් මතු පරපුරේ අභිලාෂයන්ට සරිලන සේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනංවා ගැනීම ය. නමුදු, ඒ සඳහා වන චින්තන, සන්නිවේදන, චර්යා, සම්ප්‍රදායන් සහ සංස්කෘතික යන අංග ප්‍රවර්ධනය වී ඊට සුදුසු ව්‍යුහයක් නිර්මාණය වීමට පෙර ළපටි බෝග සහිත වගා බිම් වලට රිලා රංචු කඩා පනින්නාක් මෙන් මේ වන විට පවත්නා යල් පැන ගිය දේශපාලන සංස්කෘතියට අයත් පක්ෂ කඩා පැන එම ව්‍යුහය කඩා බිඳ දමන ලදී. නො එසේ නම් ඉන් මතු වූ නිදහස් තරුණ මතය නම් නැවුම් දියට යල් පැන ගිය විකල්ප දේශපාලන අදහස් නම් පල් වතුර මුසු කරන ලදී.

ඒ අනුව නූතන තරුණ පරපුරේ ඒ මූලික අභිලාෂය නම් කළලය යල්පැන ගිය විකල්ප දේශපාලනය නිසා ගබ්සා වීමක් ද දක්නා ලදී. ඒ අතර නූතන තරුණ පෙළේ අභිලාෂයන් නිසි පරිදි හඳුනා නොගත් එම විකල්ප දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තම පැරණි බිහිසුණු හා අනර්ථකාරී දේශපාලන ක්‍රියාකාරකම් මුලුමනින් අමතක කොට “අලුත් මුහුණු” වශයෙන් ජනතා කරලිය හමුවේ පෙනී සිටින බව ද පෙනේ.

 

112f6c2d 976f 42fb 8587 d5a5077497ca
නමුදු මෙවර ජනපතිවරණයේදී වත්මන් තරුණ පරපුරේ ඡන්ද කා හට හිමි වුවත් ඒ අපේක්ෂකයා ලබන ජයග්‍රහණයක් වෙතොත් එය ඔහු ද නොසිතන කෙටි කාලයකට සීමා වනු ඇත. ඒ එය දිනෙන් දින ප්‍රවර්ධනය වන අනාගත තරුණ පරපුරේ සැබෑ අවශ්‍යතා පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව යන හිතුවක්කාර හා නන්නත්තාර දේශපාලන ගමනක් බැවිනි.

 




renuka damayanthi psd
(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


සබැඳි පුවත් :

නූතන පරපුරේ Gen Z පැතුම් සිහින නරඹන හැත්තෑ පස් වියැති රනිල් - (රේණුකා දමයන්ති ගමගේ)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නව පරපුරේ හද ගැස්ම නොතකන ජනපති අපේක්ෂකයෝ - (රේණුකා දමයන්ති ගමගේ) | The Leader