The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ සංස්කෘතියේ 'සුද්ද සිංහලත්' තියෙනවා; අපේ සංස්කෘතියට එරෙහි නොවන බව කියන ජනපති අපේක්‍ෂකයකුට පිළිතුරක්

T

The Leader Desk

September 13, 2024 • 11:44 AM

අපේ සංස්කෘතියේ 'සුද්ද සිංහලත්' තියෙනවා; අපේ සංස්කෘතියට එරෙහි නොවන බව කියන ජනපති අපේක්‍ෂකයකුට පිළිතුරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන පක්ෂ දේශපාලනය සමඟ කිසිදු ක්‍රියාකාරී සැබැඳියාවක් නොමැති වුවද ඔහු ගේ එම ප්‍රකාශය මුල් කොට යම් සටහනක් තැබීමට මට සිත් විය.
  • සංස්කෘතිය යන්න අප සමාජයේ බොහෝ විට අර්ථ දැක්වෙනුයේ කිසියම් ආගමික හෝ ආධ්‍යාත්මික චිත්තාවලියක් මත සුපෝෂිත සදාචාරාත්මක සමාජ හර පද්ධතියක් ලෙසිනි.
  • දේශීය සංස්කෘතිය බුදු දහමින් සුපෝෂිත වූවක් ය යන පොදු පිළිගැනීම ඊට පාදක වී ඇති බව පෙනෙයි.
  • ඊට හේතුව ඇතැම් ප්‍රජාවන් තුළ සංස්කෘතිකාංග වශයෙන් ගොඩනැගී ඇති සමාජ ප්‍රගමනයට බාධා පමුණුවන යම් යම් අන්ධ විශ්වාස ආදිය තුළ පොදුවේ සමාජීය වශයෙන් ගත් කළ නිශේධනීය අංග ද ගැබ්ව තිබිය හැකි වීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

primitive culture volume i 1වර්තමාන පක්ෂ දේශපාලනය සමඟ කිසිදු ක්‍රියාකාරී සැබැඳියාවක් නොමැති වුවද ඔහු ගේ එම ප්‍රකාශය මුල් කොට යම් සටහනක් තැබීමට මට සිත් විය.

සංස්කෘතිය යන්න අප සමාජයේ බොහෝ විට අර්ථ දැක්වෙනුයේ කිසියම් ආගමික හෝ ආධ්‍යාත්මික චිත්තාවලියක් මත සුපෝෂිත සදාචාරාත්මක සමාජ හර පද්ධතියක් ලෙසිනි. දේශීය සංස්කෘතිය බුදු දහමින් සුපෝෂිත වූවක් ය යන පොදු පිළිගැනීම ඊට පාදක වී ඇති බව පෙනෙයි. එහෙත්, සංස්කෘතිය යන්න පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීම ඊට බෙහෙවින්ම වෙනස් ය.

මෙම සංස්කෘතිය නම් මතවාදය සම්බන්ධ පුරෝගාමී විමර්ශකයකු වූ ඉංග්‍රීසි ජාතික එඩ්වඩ් බානෙට් ටයිලර් (1832-1917) 1871 වසරේ නිකුත් කළ Primitive society (ප්‍රාථමික සංස්කෘතිය )නම් කෘතියේ සංස්කෘතිය යන්න අර්ථ දක්වා ඇත්තේ “ සමාජ සත්වයන් වශයෙන් දිවි ගෙවීමේදී මිනිසුන් වශයෙන් ගොඩනඟා ගන්නා දැනුම්, ඇදහීම්, විශ්වාස, කලා ශිල්ප, නීති රීති, චාරිත්‍ර වාරිත්‍ර ආදී සියල්ලෙන් සැදුම්ලත් සංකීර්ණ පද්ධතියක්” යනුවෙනි.

 

626948

ඒ අනුව සංස්කෘතිය යනු නිරතුරුවම යහපත් හෝ සාධනීය දෙයක් වශයෙන් ගත නොහැක. ඊට හේතුව ඇතැම් ප්‍රජාවන් තුළ සංස්කෘතිකාංග වශයෙන් ගොඩනැගී ඇති සමාජ ප්‍රගමනයට බාධා පමුණුවන යම් යම් අන්ධ විශ්වාස ආදිය තුළ පොදුවේ සමාජීය වශයෙන් ගත් කළ නිශේධනීය අංග ද ගැබ්ව තිබිය හැකි වීම ය. අප සමාජයේ බොහෝ දෙනකු දේශීය සංස්කෘතිය යන ඒකීය වදනින් හැඳින්වුව ද අප සමාජය විවිධාංගීකරණ ස්වභාවයක් පළ කරන බහු විධ සංස්කෘතික ජාලයකින් යුතු ය. ඒ අතුරින් යම් යම් ප්‍රජාවන් විසින් භාවිතා කරන සංස්කෘතිකාංග උප සංස්කෘතික අංග ලෙස ද හඳුන්වනු ලැබේ.

Primeval Caveman Wearing Animal Skin Exploring Cave At Night, Holding Torch with Fire Looking at Drawings on the Walls at Night. Cave Art with Petroglyphs, Rock Paintings. Side Viewවනචාරී දිවි පෙවෙතක් ගත කළ මානවයා කෙමෙන් ශිෂ්ටාචාර ගත වූ බව අපි දනිමු.

 

වනචාරී දිවි පෙවෙතක් ගත කළ මානවයා කෙමෙන් ශිෂ්ටාචාර ගත වූ බව අපි දනිමු. එහෙත්, මෙම සංස්කෘතිය යන්න ශිෂ්ටාචාරයේ මූලික අවස්ථාවක් හැඳින ගන්නට බොහෝ විද්වත්හු කැමති වෙති . ඇමරිකානු ජාතික රැල්ෆ් ලින්ටන්(1893-1953) 1940 දී සංස්කෘතිය පිළිබඳ දී ඇති නිර්වචනයට අනුව එය කිසියම් සමාජයක් තුළ ජීවත් වන්නවුන් විසින් අනොන්‍ය වශයෙන් බෙදා හදා සම්මත කර ගත් අන්නිවේදන හා චර්යා රටාවකි.

එදා මෙදා තුර ඒ සම්බන්ධයෙන් පළ වූ අනේක විධ නිර්වචන අනුව සංස්කෘතිය යනු පාරම්පරිකව විකාශනය හා යාවත්කාලීන වන දැනුම, කුශලතා, ආකල්ප ආදිය පදනම් කර ගත් ප්‍රජාමය සංසිද්ධි දාමයක් ලෙස හඳුනා ගැනීම යෝග්‍ය වේ.අපගේ වැටහීම අනුව ඕනෑම සංස්කෘතියක් පරිනාමීය;යාවත් කාලීන ලක්ෂණ වලින් යුතු ය. ඒ සඳහා වන වඩාත් නිවැරදි දර්ශකය භාෂාව ය. ගත වූ සියවස හමාර තුළ අප භාවිතා කළ සිංහල භාෂාමය වෙනස්කම් හුදෙක් සිංහල සංස්කෘතික පරිනාමය හුවා දක්වන්නකි.එමෙන්ම මීට දශක කිහිපයකට පෙර සමාජයේ පැවැති වාග් ව්‍යවහාර ද කලානුරූපී ලෙස වෙනස්වීම් ද මෙම සංස්කෘති පරිනාමය සම්බන්ධ කදිම දර්ශකයන් ය.

 

අප සමාජයේ ජීවත් වන ඇතැම් ජන කොටස් අතරේ භාවිතා වන වාග් ව්‍යවහාරයන් අතරේ යම් යම් විෂමතා තිබේ. නිදසුනක් ලෙස ඇතැම් ජන කොටස් එදිනෙදා භාවිතා කරන වදන් වලින් යම් කොටසක් අසභ්‍ය ස්වරූපයෙන් යුතු ඒවා බව බොහෝ දෙනකු දන්නා කරුණකි. එහෙත්, ඒ සම්බන්ධයෙන් විමසුම් කරන ඇතැමකුට එම ජන කොටස සංස්කෘතික පරිහානියට ලක් වූවන් සේ පෙනී යා හැක. එහෙත්, එය වරදකි. එයම ජන කොටස අතරේ පාරම්පරිකව භාවිතා වන්නේ නම් අප එය සැළකිය යුතු වන්නේ එය ඔවුන් ගේ සංස්කෘතිකාංගයක් ලෙස පමණි. ඒ සම්බන්ධ හොඳම නිදසුනක් ලෙස පහත රට යක් තොවිල් ගත හැක. අසභ්‍ය හා අශ්ලීල භාවිතාවන් ගෙන් පිරීගත් ඒවා ද අප ගේ ජන සංස්කෘතික ධාරාවේ වැදගත් අංග සේ සැලකේ.

p01jxvfvප්‍රංශ ජාතික ලෙවි ස්ට්‍රවුස්

ලෝක ප්‍රකට සමාජ මානව විද්‍යාඥයකු වූ ප්‍රංශ ජාතික ලෙවි ස්ට්‍රවුස් (1908-2009) පවසා ඇති අන්දමට අන්‍ය ජන සමාජයන් සම්බන්ධයෙන් අප ගේ මති මතාන්දර කේන්ද්‍ර කර ගනිමින් විනිශ්චයක් දීම විද්‍යා විරෝධී ය. 

ඕනෑම ජන ප්‍රජාවක් අතර පවත්නා සංස්කෘතිකාංග ස්පර්ශනීය (Tangible) සහ අස්පර්ශනීය (Intangible) යනුවෙන් කොටස් දෙකකි. මිනිසාට භෞතිකව ග්‍රහණය කළ හැකි සියල්ල ස්පර්ශනීය ලෙසත් එසේ ග්‍රහණය කර ගත නොහැකි සියල්ල අස්පර්ශනීය ලෙසත් බෙදා වෙන් කරනු ලැබේ. 

එක් එක් ජන කොටස් සතු පාරම්පරික ආහාර පාන ඇඳුම් පැළඳුම් ගේ දොර ඇතුළු උරුමයන් ස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සේ සැලකෙන අතර අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සේ සැළකෙනුයේ කථන, භාෂා, චරිත්‍ර වාරිත්‍ර ආදී භෞතික නොවන උරුමයන් ය. මෙසේ විවිධ ජන කොටස් තුළින් පාරම්පරික වශයෙන් මතුවන සංස්කෘතික උරුමයන් චූල සම්ප්‍රදායන් වශයෙන් සැළකෙන අතර ඒවා එකි’නෙක තුළට අවශෝෂණය වෙමින් හට ගන්නා ඊට වඩා පුළුල් සමාජමය ව්‍යුහයන් මහා සම්ප්‍රදායන් ලෙස නම් කෙරේ.

 

රේස් එකෙන් දිනූ ගවයා මරන්න කොන්ත්‍රාත්තුවක් දීලා

ඒ අතරේ විවිධ සංස්කෘතීන් සහ උප සංස්කෘතීන් අතරේ ගැටුම් ඇති වීම ද නිතර අත්දකින්නට ලැබෙන්නකි. ඒ සඳහා වන හොඳම නිදසුනක් වනුයේ ‘ගවයා’ නම් වන සාධකය මුල් කොට හින්දු හා ඉස්ලාමීය සංස්කෘතීන් තුළ හටගන්නා ප්‍රබල ගැටුම ය. පස්ගෝරස වලින් සුපෝෂිත ඉන්දීය හින්දු සමාජ යේ ගවයාට හිමි තැන කාන්තාර දේශගුණයක් පසුබිම් කොට ගොඩනැඟුණු මැදපෙරදිග ඊස්ලාමීය සමාජයේ හිමි නොවීම පුදුමයට කරුණක් නොවේ. ඒ ඒ සංස්කෘතික පසුතලයකට අයත් වූවන් තම තමන් ගේ සංස්කෘතික දෘෂ්ඨි කෝණවලට අනුව මෙම තත්ත්වය විමසුමට ලක් කළ ද මේ සියල්ල සමෝධානයට ලක් කිරීමේ හැකියාවක් මානව විද්‍යා ක්ෂේත්‍රයට අවතීරණ වූවන් තුළ තිබිය යුතු ය.

secular civilization2ශිෂ්ටාචාරය නැතහොත් සභ්‍යත්වය (Civilization) යනුවෙන් අප හැඳින්වෙනුයේ මෙම සංස්කෘතියේම පරිනත අවස්ථාවකි.

 

ශිෂ්ටාචාරය නැතහොත් සභ්‍යත්වය (Civilization) යනුවෙන් අප හැඳින්වෙනුයේ මෙම සංස්කෘතියේම පරිනත අවස්ථාවකි. සංස්කෘතිය ප්‍රජා කේන්ද්‍රීය වුවද ශිෂ්ටාචාරය ඊට වඩා පුළුල් සමාජ කේන්ද්‍රීය ව්‍යුහයකි. එනිසාම එය සංස්කෘතික සේම සමාජ ආර්ථික, දේශපාලන යන බහුවිධ ස්වරූපයෙන් යුතු ය. සංස්කෘතියට වඩා ශිෂ්ටාචාර ප්‍රමිතිගත වීමට ප්‍රධානතම හේතු අතරින් ශිෂ්ටාචාරයක් තුළින් සදාචාරාත්මක සහ ආචාර විද්‍යාත්මක ( Morality and ethics ) ලක්ෂණ ඉස්මතු වීම ද ප්‍රධාන වේ. 

ඇතැම් සංස්කෘතීන් තුළින් අනුමත වන ආගමික ආදී හේතූන් මත මිනී මැරීම ඇතුළු සාපරාධී ක්‍රියා සදාචාරාත්මක සහ ආචාර ධර්මීය පසුබිමක් සහිත ශිෂ්ටාචාර වලදී ඉස්මතු වන බවක් නොපෙනේ. නමුදු අතීතයේ පැවැති පුර රාජ්‍ය මත පදනම් වූ ශිෂ්ටාචාරවල ගණිකා වෘත්තීය ගබ්සාව, බහු භාර්යා යන බහු පුරුෂ සේවනය යම් යම් සීමාවන්ට යටත්ව අනුමත වූ බවක් පෙනෙයි.බුද්ධ කාලීන භාරතයේ පැවැති ගිරග්ග සමජ්ජ නම් කාමභෝගී පර්වතිශ්‍රිත සැනකෙළියට එක් වූ කෝලිත-උපතිස්ස යන දෙමිතුරන් සසර කලකිරී සැරියුත් මුගලන් නමින් බුදු සසුනේ පැවිදිව එවක භික්ෂු සමාජයේ ප්‍රමුඛස්ථානයට පැමිණි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ය. ඒ අනුව ගිරග්ග සමජ්ජ සුඛපරමවාදී(Hedonistic) සංස්කෘතිකාංගයක් බව පෙනේ.

 

මේ සියලු තත්ත්වයන් යටතේ කිසියම් ජනපති අපේක්‍ෂකයකු තමන් බලයට පත් වූ පසු දේශීය සංස්කෘතියට පටහැනි කිසිදු තීරණයක් නොගන්නා බව පැවසීම රෝග විනිශ්චයකින් තොරව ප්‍රතිකාර නියම කිරීමකට අතිශයින් සමාන වූවකි. මක් නිසාද රටේ ඇතැම් ජන සංස්කෘතීන් තුළ සිදුවන භාෂා ව්‍යවහාරයන් තුළ බාහිර සමාජයට ‘සුද්ද සිංහල’ වශයෙන් පෙනී යන ව්‍යවහාරයන් ද පවතින බැවිනි.

ඒ සඳහා වන කෙටිම නිදසුනක් නම් අප සමාජයේ එක් ජන කොටසක් විස්මය හැඟවීම පිණිස ලිංගික සම්භෝගය හඟවන ග්‍රාම්‍ය වදනක් හඬ නඟා කට පුරා පවසන මුත් එවන් අවස්ථාවල යෙදෙන එම ව්‍යවහාරය අසභ්‍ය වදනක් සේම ප්‍රජාවේ කිසිවකුත් නොසිතීම ය. විවිධාංගීකරණ ස්වරූපයෙන් යුතු අපේ ජන සංස්කෘතියේ සැබෑ ස්වරූපය එයයි.

(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...