The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සිහින සතක් දුටුවෙමි මම

T

The Leader Desk

September 15, 2024 • 5:28 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සිහින සතක් දුටුවෙමි මම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිහින පෙනීමත්, සිහින දැකීමත් අතර පොඩි වෙනසක් ඇත.
  • එහෙත්, මේ දිනවල නම්, මේ රටේ සිහින පලාපලයක් ඇසීමට තබා, අත බලා සාස්තරයක් අසා ගැනීමටවත් කෙනකු සොයා ගැනීම අපහසු වී ඇත.
  • අනාවැකි කියන්නන් විශ්වාස කළ, ඇතැම් දේශපාලනඥයන්ට, අන්තිමේ දී ඔවුන් කොළඹ සිටි මහා මන්දිර අතැර, ගම් රටවලට පලා යන්නට, හෙලිකොප්ටර් හොයන්නට සිදුවිණි.
  • සමාජ මාධ්‍යවේදියකු (සාස්තර කියන්නකු නොවේ) කියා තිබුණේ, මෙවර ජනාධිපතිවරණයෙන් ජයගනු ඇත්තේ, අකුරු තුනේ නමක් ඇති කෙනකු බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිහින පෙනීමත්, සිහින දැකීමත් අතර පොඩි වෙනසක් ඇත. ඡන්දදායකයන්ට සිහින පෙනෙයි. ඡන්ද අපේක්ෂකයෝ සිහින දකිති.

සිහින පලාපල කීම, රජ කාලේ සිටම පැවති සිරිතකි. එහෙත්, මේ දිනවල නම්, මේ රටේ සිහින පලාපලයක් ඇසීමට තබා, අත බලා සාස්තරයක් අසා ගැනීමටවත් කෙනකු සොයා ගැනීම අපහසු වී ඇත. ඊට එක හේතුවක් වූයේ, ‘ඡන්ද පලාපල’ කීම, මැතිවරණ නීතිවලට පටහැනි වීමය.

 

100920 srilankaamendmentමීට කලකට ඉහත නම්, ජ්‍යොතිෂ පුවත්පත්වල, මුල් පිටුවේ පොල් ගෙඩි අකුරින්, දිනන අපේක්ෂකයා කවුදැයි ඉඟි පළ කෙරුණි.
මීට කලකට ඉහත නම්, ජ්‍යොතිෂ පුවත්පත්වල, මුල් පිටුවේ පොල් ගෙඩි අකුරින්, දිනන අපේක්ෂකයා කවුදැයි ඉඟි පළ කෙරුණි. සමහර පත්තර, පටන් ගත්තේම ඡන්දයටය. සමහරු ඉන් ගොඩගියහ. තවත් සමහරු ගෙවල් දොරවල් ද අතහැර ගියහ. අනාවැකි කියන්නන් විශ්වාස කළ, ඇතැම් දේශපාලනඥයන්ට, අන්තිමේ දී ඔවුන් කොළඹ සිටි මහා මන්දිර අතැර, ගම් රටවලට පලා යන්නට, හෙලිකොප්ටර් හොයන්නට සිදුවිණි. ඔවුනට ‘ලණු’ දුන් අනාවැකිකාරයන්ට, අන්තිමේ දී සිදු වූයේ තමන්ගේම හඳහන බලා ගැනීමටය.

සමාජ මාධ්‍යවේදියකු (සාස්තර කියන්නකු නොවේ) කියා තිබුණේ, මෙවර ජනාධිපතිවරණයෙන් ජයගනු ඇත්තේ, අකුරු තුනේ නමක් ඇති කෙනකු බවය. රිලේ එකක් දිවීමට තරම් අපේක්ෂකයන් සිටින නමුත්, රේස් එකේ හොඳම ‘කාලය’ පෙන්වා තිබෙන කිහිප දෙනාම අකුරු තුනේ නම් ඇත්තන් වීම නිසා, සිහින මවන්නෝ තරමක් අවුලට පත්වූහ.

man dreaming bedඑහෙත්, මැතිවරණ සිහින (election dreams) දකින බොහෝ දෙනාට, පරාජය වීමෙන් පසු, ස්වප්න දෝෂ ඇතිවීම නම් නරක තත්වයකි.

 

මනෝවිද්‍යාවට අනුව නම්, සිහින දැකීමේ කිසිදු වරදක් නැත. එහෙත්, මැතිවරණ සිහින (election dreams) දකින බොහෝ දෙනාට, පරාජය වීමෙන් පසු, ස්වප්න දෝෂ ඇතිවීම නම් නරක තත්වයකි. තවත් සමහරු, කාලයක් යනතුරු, නින්දෙන් බය වෙති. ඇඳෙන් වැටෙති. සිහිනෙන් පාර්ලිමේන්තු ගිය අය, එය ඉටු නොවීමෙන් පසු, සිහිනෙන් ඇවිදින්නට පටන් ගැනීම නිසා, ඇඳ පාමුල, තෙත ගෝනියක් දැමීමට ද සිදුවෙයි. මැතිවරණ අක්‍රමිකතාවන්ට හසු වී, නඩු වැටුණු අය නින්දෙන් ඇඳ තෙමා ගනිති.

 

g434දැන් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට, නිතර සිහිනෙන් පෙනෙන්නේ, කමලා හැරිස්ය.
මේ දිනවල ඇමෙරිකාවේ ද ජනාධිපතිවරණය ආසන්නය. එරට කාටූනයක දැක්වුණු පරිදි, දැන් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට, නිතර සිහිනෙන් පෙනෙන්නේ, කමලා හැරිස්ය. රුසියාවේ පුටින් ද, කමලාගේ සුන්දර සිනාවෙන් වසඟ වී සිටින බව කියයි. මේ පිළිබඳව, කමලා හැරිස්ගේ ප්‍රතිචාරය මෙසේය. “මම නපුරු හීන දකින කෙනෙක් නෙවෙයි.”

ඕනෑම රටක, ජනාධිපති අපේක්ෂකයන්ගේ භාර්යාවෝ ද සිහිනයක් දකිති. ඒ, අනාගතයේ දී ජනාධිපති ආර්යාව වීමටය. ඔවුහු කල් තියාම ඒ සඳහා සූදානම් වෙති. ඇඳුම් ගනිති. මේකප් කර බලති. කතා පැවැත්වීමට පුහුණු වෙති. අහල පහළ මිනිසුන් සමඟ, නෑකම් කියමින් කතා කරති. බොරු සිනා දමති. පොඩි එවුන්ගේ හිස අතගාති. ටොෆි, චොක්ලට් දෙති. ඒ අතරම, කෝකටත් කියා, පාස්පෝට් ද සකස් කර, ළඟින් තබා ගනිති.

Voting box and election image stock photo

 

මෙබඳු, ‘වෙන්ඩ ආර්යාවක්’ තම සැමියා නොවන, වෙනත් අපේක්ෂකයකු සිහිනෙන් දකින්නට පටන් ගත්තාය. ඒ බව තම සැමියාට ද කිව නොහැකිය. එහෙයින්, සියලු රහස් පවසන, සමීප මිතුරියක සොයා ගියාය.

“ඉතින් ඔයා, ඒ ගැන, එයාට කිව්වෙ නැද්ද?”

“මං මොනවද කියන්නෙ?”

“හීනෙන් පේන්ඩ එන්ඩ එපා කියන්ඩ. සමහරවිට, එයත් ඔයා ගැන හිතනව ඇති. ඒකයි ඔහොම වෙන්නෙ.”

මිතුරියගේ අවවාදය පිළිගත්, ‘ආර්යාව’ එදිනම, ඒ අපේක්ෂකයාට කතා කර, කාරණය කීවාය. එවිට අපේක්ෂකයා කීවේ පුදුම කතාවකි.

“මටත් ඔයාව හීනෙන් පෙනෙනවා විතරක් නෙවෙයි, හීනෙන් කතාත් කරනවා.”

“මොනවද ඔයා මාත් එක්ක හීනෙන් කතා කරන්නෙ?”

“ඒක අහගන්න ඕන අපේ නෝනගෙන්. ඒත් එයා, පළවෙනි හීනෙන් පස්සෙම, මාව දාලා ගියා.”

තමන් අනුන්ව සිහිනෙන් දැකීම පමණක් නොව, අනුන් තමන්ව සිහිනෙන් දැකීම ද කෙනකුට භයානක ප්‍රතිඵල ගෙනදීමට ඉඩ ඇති බව මෙයින් පෙනී යයි.

12 6 1

බොරු කීමට අවශ්‍ය නැත. මට ද ඉඳහිට දේශපාලනික සිහින පෙනේ. එහෙත්, කුමක්දෝ වාසනාවකට, සිරි ලංකාවේ දේශපාලනඥයන් නම් පෙනෙන්නේ නැත. ඒ වෙනුවට සෝනියා ගාන්ධි, ෂීක් හසීනා, මම්තා බෙනර්ජි හා තායිලන්තයේ නව අගමැතිනි ෂිනවර්ත්‍රා ආදීන් දිස් වේ.

පුදුමයකට මෙන් මෑතක දී, තලතා අතුකෝරළ හා ගීතා කුමාරසිංහ මහත්මීන් ද සිහිනයෙන් දක්නට ලැබුණි. ඔවුන්, ජනාධිපති අපේක්ෂකයන් නොවූ නිසාදෝ, මට කිසිදු අයහපත් දෝෂයක් සිදු නොවූ බවද, අවංකව කිව යුතුය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...