The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුමන්දිරන් සමගි ජනබල‍වේගයට සහාය පළ කිරීම සහ අනුරගේ යාපා පටුනේ ප්‍රකාශනය

T

The Leader Desk

September 15, 2024 • 9:17 AM

සුමන්දිරන් සමගි ජනබල‍වේගයට සහාය පළ කිරීම සහ අනුරගේ යාපා පටුනේ ප්‍රකාශනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය අගෝස්තු 29 සහ 30 යන දෙදින, ඉන්දියානු ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හදිසියේම ලංකාවට පැමිණ ඉදිරිපෙළ ජනාධිපති අපේක්ෂකවරුන් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජනබල‍වේගයේ සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මුණ ගැසුනේය.
  • ඉන් දිනකට පසු, තැපැල් ඡන්ද දැමීමට දින හතරක් තිබියදී, සැප්තැම්බර් පළමුවැනිදා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය, සමගි ජනබල‍වේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහාය පළ කිරීමට තීන්දු කළේ යැයි, එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.
  • දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම අපේක්ෂකයකු ලෙස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාධ්‍යවේදි ‍පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් වන්නේය යන දැනුම්දීමෙන්, දෙමළ ඡන්ද මල්ල මෙවරත් මොනවා හෝ පොරොන්දු දී තමන්ගේ ඡන්ද ගොඩට එකතු කරගැනීමේ සිහිනය, දකුණේ දේශපාලනයට අහිමිව ගියේය.
  • දකුණේ එම අපේක්ෂාභංගත්වය නිසා, උතුරේ දෙමළ අපේක්ෂකයා හෝ ඔහුගේ ඡන්ද ව්‍යාපාරය පිළිබඳ පුවත්වලට දකුණේ පත්තර පිටුවල එතරම් ඉඩක් ලැබුනේ නැත, එහෙත් ඒ වෙනුවට සෑම පුවත්පතක්ම උත්සාහ දරා තිබුණේ, දෙමළ පක්ෂ අතර ඇති වෙමින් තිබූ මතභේදාත්මක තත්වය වර නගා වාර්තා කිරීමටය.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය අගෝස්තු 29 සහ 30 යන දෙදින, ඉන්දියානු ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හදිසියේම ලංකාවට පැමිණ ඉදිරිපෙළ ජනාධිපති අපේක්ෂකවරුන් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජනබල‍වේගයේ සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මුණ ගැසුනේය. ඉන් දිනකට පසු, තැපැල් ඡන්ද දැමීමට දින හතරක් තිබියදී, සැප්තැම්බර් පළමුවැනිදා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය, සමගි ජනබල‍වේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහාය පළ කිරීමට තීන්දු කළේ යැයි, එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් නිවේදනය කළේය.

දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම අපේක්ෂකයකු ලෙස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මාධ්‍යවේදි ‍පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් වන්නේය යන දැනුම්දීමෙන්, දෙමළ ඡන්ද මල්ල මෙවරත් මොනවා හෝ පොරොන්දු දී තමන්ගේ ඡන්ද ගොඩට එකතු කරගැනීමේ සිහිනය, දකුණේ දේශපාලනයට අහිමිව ගියේය. දකුණේ එම අපේක්ෂාභංගත්වය නිසා, උතුරේ දෙමළ අපේක්ෂකයා හෝ ඔහුගේ ඡන්ද ව්‍යාපාරය පිළිබඳ පුවත්වලට දකුණේ පත්තර පිටුවල එතරම් ඉඩක් ලැබුනේ නැත, එහෙත් ඒ වෙනුවට සෑම පුවත්පතක්ම උත්සාහ දරා තිබුණේ, දෙමළ පක්ෂ අතර ඇති වෙමින් තිබූ මතභේදාත්මක තත්වය වර නගා වාර්තා කිරීමටය. එසේම දෙමළ ජනතාවට වෙනම අපේක්ෂයකු ඉදිරිපත් කිරීම දෙමළ දේශපාලනයේ දුර්වල හෝ අසමත්භාවය පෙන්නුම් කරන තීරණයක් ලෙස හුවා දැක්වීමට ද දකුණේ පත්තරවල ඉඩ නිර්ලෝභීව වෙන්වී තිබුණේය.

එහෙත් සුමන්දිරන් සජිත්ට සහාය පළ කිරීම දැනුම් දීමත් සමඟ දකුණ, උතුරේ දේශපානය වෙත නැවතත් වැඩි අවධානයක් යොමු කළේ, කළින් වතාවේ ‍මෙන්, අපේක්ෂා සිඳගත්තවුන් මෙන් නොව, තරමක ප්‍රීති සම්භාෂණයකට හේතු ද ඇතිවය.
‍

දෙමළ අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් වීම නිසා දෙමළ ඡන්ද ගොඩ අහිමි වීමේ හිත් අමාරුවෙන් සිටි සිංහල දේශපාලකයන්ට, සුමන්දිරන් විසින් දෙමළ ඡන්ද කුට්ටියක් කඩාගෙන ඒමේ පොරොන්දුව පිට, දකුණේ සිංහල ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කිරීමත්, එම හේතුව නිසා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය(ITAK) තුළ මතභේදාත්මක තත්වයක් මතුවීමත් දකුණේ දේශපාලනයට සව්දිය පිරිය හැකි හේතුවකි.

එම ප්‍රීති ප්‍ර‍මෝදය දකුණේ සෑම සිංහල ඉංග්‍රීසි පුවත්පතකම දක්නට ලැබුණි. සැප්තැම්බර් 2 වැනි දා, සෑම පුවත්පතකම පාහේ එම පුවත් ද්විත්වයටම එනම් සුමන්දිරන් සමගි ජනබලවේගයට සහාය පළ කිරීමත්, එම නිසා  ITAK තුළ මතභේදාත්මක තත්වයක් ඇති වී තිබෙන බවත් වෙන වෙනම වාර්තා දෙකක් ලෙස මුල් පිටුවේම පළ වී තිබුනි. එසේම බොහෝ පුවත්වල සුමන්දිරන්, සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බව දැක්වෙන පුවත් වාර්තා තුළත්, ITAK තුළ ඇති මතභේදය පිළිබඳව සඳහන් කරන්නට උත්සුක වී තිබුණි. තවත් විශේෂ කාරණයක් නම් සජිත් ප්‍රේමදාසට සහාය දක්වන්නේ යැයි එම්. ඒ. සුමන්දිරන්ගේ දැනුම් දීම විශේෂ පුවතක් නොවුනු සමහර පුවත්පත්වලට, එම තීරණය නිසා ITAK තුළ මතුව ඇති මතභේදය වැදගත් පුවතක් වී තිබුණි. ද ඩේලි මිරර් සහ ද ඩේලි මෝර්නින් පුවත්පත් දෙකම සැප්තැම්බර් 3 වැනි දා, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගන්නා ලද එම තීරණය නිසා එම පක්ෂය තුළ ගැටුම්කාරි තත්වයක් ඇති වී ඇති බව වාර්තා කළත්, සුමන්දිරන් සජිත්ට සහාය පළ කිරීම එම පුවත්පත්වල වාර්තා කොට තිබුනේ නැත.

දිනමිණ (පිටුව 1) , ඩේලි නිව්ස් (පිටුව 1), ලංකාදීප (පිටුව 5), ඩේලි මොනින්ග් (පිටුව 1), ඩේලි මිරර් (පිටුව 1) පුවත්පත් වාර්තා
එසේම එම්. ඒ. සුමන්දිරන් සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන්නේ ය යන පුවත පළ කර තිබුණු සිලෝන් ටුඩේ, ඩේලි නිව්ස්, මව්බිම, ලංකාදීප සහ දිනමිණ යන පුවත්පත්වල, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය, දෙමළ අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ට සහාය නොදක්වන බව සහ ඔහුට එම අපේක්ෂකත්‍ වයෙන් ඉල්ලා අස්වීමට බල කරන බව කියන සුමන්දිරන්ගේ ප්‍රකාශය ද අවධාරණය කොට තිබුණි.

 

දිනමිණ (පිටුව 1) , ඩේලි නිව්ස් (පිටුව 1), ලංකාදීප (පිටුව 1), සිලෝන් ටුඩේ (පිටුව 1) පුවත්පත් වාර්තා
සාමාන්‍යයෙන් නිරීක්ෂණය නොවන දැඩි උනන්දුවකින් මෙම සිදුවීම් ද්විත්වය, විශේෂයෙන් ITAK තුළ මතුවී තිබෙන මතභේදය උලුප්පා දමනින් සිදු කළ වාර්තාකරණයක් මෙම සතියේ දකු‍ණේ පුවත්පත්වල නිරීක්ෂණය කළ හැකි විය.

ඒ ආසන්න දිනවල දෙමළ දේශපාලනය තුළ මතු වුණු වික්ෂිප්තභාවය සමහර සිංහල පුවත්පත්  උපහාසයට ද ලක් කොට තිබුණි. උදාහරණයක් ලෙස සැප්තැම්බර් 09 වැනිදා, අරුණ පුවත්පතේ මැතිවරණ අතිරේකයේ 17 වැනි පිටුවේ එක ළඟ වාර්තා දෙකක් පළ කොට තිබුණි. එක් වාර්තාවක දැක්වුනේ ITAK පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, රනිල් වික්‍රමසිංහ පිළිබදව විශ්වාසය පළකිරිම සම්බන්ධවය. එහි සිරස්තලය වූයේ “සේනාධිරාජා සජිත්ට පිටුපා රනිල්ගේ අත ගනියි” යන්නය. එම වාර්තාවට පහළින් වූ පුවතක සිරස්තලය වූයේ “සජිත්ට පෙම්කල සුමන්තිරන් අනුරට බහදෙයි” යන්නය. එම සිරස්තල දෙකෙහිම අඩංගු වන්නේ කිසියම් උපහාසාත්මක ඇඟවුමකි.  දවසින් දවස, දකුණේ දේශපාලනය තුළ මහා ප්‍රබලයන් පවා කිසිදු ලැජ්ජාවක් නැතිව මහ දවාලේ පිල් මාරු කිරීමේ හේතුවෙන්, සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල පැවැත්ම පවා සහමුලින්ම අහෝසි වි යද්දී, දකුණේ මාධ්‍ය අනුන්ගේ පොල් කොස්ස ගැන නොසොයා තමන්ගේ පාරලය දෙස බැලුවේ නම්, සමච්චල් කළ යුත්තේ කාටදැයි හරියටම තීරණය කළ හැකි වනු ඇත.


දෙමළ පත්තර වාර්තාකරණය

මේ අතරවාරේ සැප්තැම්බර් 2 වැනිදා උතුරේ දෙමළ පුවත්පත් ද දෙමළ දේශපාලනය තුළ ඇති වී තිබෙන වියවුල් සහගත තත්වය පළමු පිටුවේ මෙවැනි ආකාරයේ සිරස්තල යොදා ගනිමින් වාර්තාකර තිබුණි.

 

09.02 kaaleimurasu page 1 decision to support Sajith was a joint decision of the party central committeeකාලෙයිමුරුසු වාර්තාව - පිටුව 1 - (2024.09.02)
 “සජිත්ට සහාය පළ කිරීම සම්බන්ධ නිවේදනය තමිල් අරසු පක්ෂයේ අවසාන තීරණය නොවේ!” - කාලෙයිමුරුසු

“මධ්‍යම කාරක සභා තීරණය පක්ෂයේ සාමූහික තීරණයයි! මාවෙයිගේ ප්‍රකාශයට සත්‍යලිංගම් දුන් පිළිතුර” - කාලෙයිමුරුසු  

“තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාසට ! දෙමළ පොදු අපේක්ෂකයාට පක්‍ෂයේ සහාය නොමැත. ඔහු ඉන් ඉවත් විය යුතුයි !” - කාලෙයිකදිර්

“සජිත්ට සහාය පළ කිරීම සම්බන්ධ නිවේදනය තමිල් අරසු පක්ෂයේ අවසාන තීරණය  නොවේ!

පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා දැනුම්දෙයි”- තිනකරන්

“තමිල් අරසු කච්චි පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් මම කිසිවක් දන්නේ නැහැ ! පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා දැනුම්දෙයි.” - පුදියසුහන්දිරන්

09.02 kaaleimurasu page 1 Supporting Sajith not ITAK partys decision කාලෙයිමුරුසු වාර්තාව - පිටුව 1 - (2024.09.02)09.02 kalaikadir page 1 Tamil Common Candidate has no party support. He should quit Kaleikadirකාලෙයිකදිර් වාර්තාව - පිටුව 1 - (2024.09.02)


සැප්තැම්බර් මස 3 වැනි දා කාලෙයිමුරුසු, තිනකරන් සහ ඊළනාඩු යන පුවත්පත්වල පිළිවෙලින් 3, සහ පළමු පිටුවල ITAK ගත් තීරණය, ලන්ඩන් ගොස් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් පිළිනොගන්නා බව ද සඳහන් කොට තිබුණි.
09.03 thinakaran page 1 We will never accept the decision taken by the ITAK party to support Sajith MP Sritharanතිනකරන් වාර්තාව - පිටුව 1 - (2024.09.03)

09.03 eelanaadu page 1 We will never accept the decision taken by the ITAK party to support Sajith MP Sritharanඊළනාඩු වාර්තාව - පිටුව 1 - (2024.09.03)09.03 kalaimurasu page 3 We will never accept the decision taken by the ITAK party to support Sajith MP Sritharanකාලෙයිමුරුසු වාර්තාව - පිටුව 3 - (2024.09.03)

මේ ආකාරයෙන් ඒ ආසන්න දිනවල දෙමළ පුවත්පත් වාර්තා තුළ දැක්වුනේ උතු‍රේ ‍දෙමළ ‍දේශපාලනය තුළ ඒ මොහොතේ පැවති සංකීර්ණ තත්වයයි. දෙමළ ජනතා අභිලාෂ පිළිබඳව සිංහල දේශපාලන නායකත්වය ඓතිහාසික වශයෙන් දරා ඇති සටකපට ස්වරූපයට, දෙමළ නායකයන් අනුගත වීම එහි වඩාත් ඉස්මතු කර තිබුනේ ITAK බේදය හුදු පුද්ගල මතවාදයකට ලඝු කළ සිංහල පත්තරවලට වෙනස්ව යමිනි.

සැප්තැම්බර් 3 වැනි දා කාලෙයිකදිර් සහ පුදිසුහන්දිරන් පුවත්පත්වල පිළිවෙලින් 7, 16 පිටුවල දැක්වුණු පරිදි උතුරු පළාත් ධීවර සංවිධානයේ නියෝජිත අන්නලිංගම් අන්නරාසා,  තමිල් අරසු  පක්ෂය සජිත්ට සහාය දීමට ගත් තීරණය  විවේචනය කර තිබුණි. “අපව විනාස කරන්න සිංහල අය අවශය නැහැ. අපේ නායකයෝම ඇති.” ඔහු තවදුරටත් පවසා තිබුනේ පක්ෂයේ එම තීරණය දෙමළ ජනතාව ගේ සමගිය නැතිකොට ඔවුන් දෙකඩ කිිරීමට හේතු වන බවයි.

09.03 pudiyasuhandiran page 16 We do not need Sinhala leaders to destroy usපුදිසුහන්දිරන් වාර්තාව - පිටුව 16 - (2024.09.03)

09.03 kalaikadir page 7 We do not need Sinhala leaders to destroy usකාලෙයිකදිර් වාර්තාව - පිටුව 7 - (2024.09.03)
09.03 eelanaadu page 4 What is ITAK Party doingසැප්තැම්බර් 3 වැනි දා ඊළනාඩු පුවත්පතේ ද හතරවැනි පිටුවේ ඉලංකෙයි තමිල්අරසු පක්ෂය විවේචනය කරමින් ලිපියක් පළ වී තිබුනි. එහි උපුටනයක් මෙසේය:

“ශ්‍රී ලංකා තමිල් අරසු  පක්ෂය කරමින් සිටින්නේ කුමක්ද? ඔවුන් ගෙන ඇත්තේ මොනයම් තීරණයක්ද ? ගෙන ඇත්තේ නිවැරදි තීරණයක්ද? ෆෙඩරල් ආණ්ඩුවක් පිහිටුවීමට පොරොන්දු වන දකුණේ අපේක්ෂකයාට සහාය දෙන බව පැවසූ තමිල් අරසු පක්ෂය දැන් සජිත් ප්‍රේමදාස සහාය දීමට තීරණය කර ඇත්තේ කුමන පොරොන්දුවක් මතද? පසුගිය කාලයේ ජනතාවට දුන් පොරොන්දුවලට මොකද වුණේ? ඒවාට වගකිව යුත්තේ කවුද? මිනිස්සු මෝඩයි ඒ නිසා ජනතාවට වගකිව යුතු නැතිද? - තමිල් අරසු පක්ෂයේ ස්ථාවරය මෙයද?

එක් පැත්තකින් දෙමළ ජාතිකත්වයේ නාමයෙන් දෙමළ ජනතාව ගොනාට අන්දවන්න හැකියැයි ගජේන්ද්‍රන්ලා සිතන විට - අනිත් පැත්තෙන් තමිල් අරසු පක්ෂයත් ජනතාව ගොනාට අන්දවන දේශපාලනය ප්‍රවර්ධනය කරන්නේද? සෑමදාම ජනතාව රැවටීමට හැකිද යන ප්‍රශ්නෙට පිළිතුරු දිය යුත්තේද ජනතාවමය.”


එසේම සුමන්දිරන්ට දෙමළ ජනතාව රැවටු බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් චෝදනා කරන පුවත්, රනිල් වික්‍රමසිංහට හිතවාදී දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඔහුට සහාය පළ කරමින් කරන ලද කතා, සමගි ජනබලවේගයට හිතවාදී දෙමළ දේශපාලකයන් සජිත් ප්‍රේමදාසට සහාය පළකරමින් කරන ලද කතා, දෙමළ අපේක්ෂක පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ට සහාය පළකරන කතා මෙන්ම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙ ගත් තීරණය දැඩිව විවේචනය කරන වාර්තා දෙමළ පුවත්පත් පිටු පුරා පළ වී තිබුනි.

 

news 3තිනකරන්, මලෙයිකදීර් වාර්තා (2024.09.03-04)
09.04 kalaeimursu page 1 President Ranils says that the Tamil people are on his side no matter what the Tamil parties decide. කාලෙයිමුරුසු වාර්තාව - පිටුව 1 - (2024.09.04)
දකුණේ පත්තර පිටුවල තමිල් අරසු පක්ෂයේ අර්බූදය පමණක් වාර්තා කරන විට දෙමළ පුවත්පත් මේ මොහොතේ උතුරේ දෙමළ දේශපාලනය මුහුණපා ඇති සමස්ත සංකීර්ණ තත්වය පිළිබඳ අවධානය යොමුකර තිබුනි.

සිංහලයාගේ මල්වට්ටියට අත ගසන්නැයි දෙමළාගෙන් ඉල්ලන අනුර

පසුගිය සැප්තැම්බර් 5 වැනි දා උතුරේ දී ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක රැස්ව සිටි දෙමළ ජනතාව අමතා කළ කතාවෙන් කොටසක්:

“දකු‍ණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසිලා තිබිය දී ඒ වෙනසට එරෙහි වන්නන් බවට ඔබ පත් වුනොත්, කුමන මනෝභාවයක් දකුණේ ජනතාව තුල ස්ථාපිත වෙයි ද කියලා හිතන්න. ඒ වෙනසට එරෙහි වුවන් ලෙස, ඒ වෙනසට විරුද්ධ වුවන් ලෙස යාපනය හඳුන්වන එකට ඔබ කැමති ද? උතුර හඳුන්වන එකට ඔබ කැමති ද? මා ඔබට නැවත සහතික කරන්නම් අපි ජයග්‍රහණය කරනවා. හැබැයි ජයග්‍රහණයේ පංගුකරුවන් බවට ඔබ පත්වෙන්න. එයට එරෙහිවූවන් ලෙස, ඔබ පත්වෙන්න එපා.”

 



මෙම කතාවෙන් පැහැදිලි වන්නේ දකුණේ ජනතාවට අවශ්‍ය යයි ජාතික ජනබලවේගය විශ්වාස කරන වෙනස සිදුකිරීමට උතුරේ ජනතාව ද එක් විය යුතු බවය. එහෙත් උතුරේ ජනතාවට අවශ්‍ය ‘වෙනස’ රට තුළ ඇති කිරීමට දකුණේ ජනතාව සූදානම් ද? දකුණේ ජන්ද මල්ල සෙලවේවි යන බියට, ඉතා පරිස්සමින් කටු අකුල්වල නොපැටලී ‘උතුරේ ජනතාවගේ ඉල්ලිම්’ නම් අඩවියේ පය තබන දකුණේ සිංහල අපේක්ෂකයන්, උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් යෝජනා කරන්නේ ඉතාමත් පරිස්සමෙනි හා බියෙනි.

එසේම අනුර කුමාර දිසානායක ද ඔහු උතුරට පැමිණ ඇත්තේ දෙමළ ජනතාව සමඟ ගනුදෙනුවක් කිරීමට නොවේ යැයි  පවසමින්, දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න මඟ හරිනවා පමණක් නොව, දකුණේ ජනතාවගේ ‘වෙනස’ට උතුරේ දෙමළ ජනතාවට ද සම්මාදම් වන්න යැයි කියයි. එහෙත්  උතුරේ ජනතාව ඉල්ලා සිටින්නේ, දකුණේ ජනතාව මෙන්, පැට්‍රල්, ගෑස් සහ ඩොලර් ඇති, හොරු නැති ලොවකට රැගෙන යාමට නොව, කාටත් සම විය යුතු මිනිස් අයිතීන් රකින, අතීත අපරාධකරුවන් නොරකින, එක් ජාතියක උපත ලැබීම නිසා පීඩා නොලබන සුරක්ෂිත ජීවිතයක් බව අනුර කුමාර දිසානායකට නොතේරෙන්නේද? නැතිනම් එය නොතේරෙන බව අඟවන්නේ ද?

සැබවින්ම සිවිල් යුද්ධයක් පැවති රටක, දෙමළ ජනතාවට එරෙහිව සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රටක, දකුණේ දේශපාලකයකු කළ එම ප්‍රකාශය යුද පීඩිතයන්ගේ මනෝභාවය ගැන අවම හෝ තැකීමක් නොකළ බව විදහා දක්වන්නකි. එහෙත් එම කතාව වෙත රටේ ජනතාවගේ අවධානය යොමු කරවා ගැනීමේ අරමුණින් පළමු ගල ගැසුවේ රනිල් වික්‍රමසිංහය. ඒ වෙන තෙක් දකුණේ පුවත්පත් වල අනුර කුමාර දිසානායකගේ කතාවේ එම අන්තර්ගතය පිළිබඳ එක ද වාර්තාවක් හෝ පළ වී තිබුනේ නැත.



එහෙත්, සැප්තැම්බර් 7 වැනි දා, රනිල් හිතවාදී පුවත් බහුල වශයෙන් පළවෙන, රජයේ දෙමළ පුවත්පතක් වන තිනකරන් පුවත්පතේ පළමු පිටුවේ, “වෙනසකට කැමැත්තෙන් සිටින දකුණේ ජනතාවට එරෙහි වුවහොත් ! - යාපනයේ ජනතාවට අනුර තර්ජනාත්මක ස්වරයෙන් කළ කතාව” යන සිරස්තලය සහිතව, ඉහත සඳහන් ප්‍රකාශය සාරාංශ කළ වාර්තාවක් පළ කර තිබුණි. එදින වෙන කිසිදු දෙමළ පුවත්පතක එම ප්‍රකාශය පිළිබඳ වාර්තාවක් පළ වී තිබුනේ  නැත.


09.07 thinakaran page 1 Report with content of Anuras Kilinochchi speech. තිනකරන් වාර්තාව - පිටුව 1 - (2024.09.07)
ඊට පසු දින (සැප්තැම්බර් 8 වැනිදා) තිනකරන්, කාලෙයිකදිර්, කාලෙයිමුරුසු පුවත්පත්වල පළමු පිටුවේ, සැප්තැම්බර් 7 වැනි දා රනිල් යාපනයේ කළ කතාවක දී, අනුර කුමාර දිසානායක කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් මෙන්ම සිංහල ජනතාවගෙන් ද සමාව ගත යුතු යැයි පැවසූ බවට වාර්තා පළ වූයේය.

 

news4තිනකරන්, කාලෙයිකදිර්, කාලෙයිමුරුසු පුවත්පත්වල වාර්තා
සැප්තැම්බර් 8 වැනි දා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මුල්වරට අනුර කුමාර දිසානායක උතුරේ කළ එම කතාවේ ඉහත දැක්වු අන්තර්ගතය මතු කොට පුවතක් වාර්තා කොට තිබුණි. එහෙත් දකුණේ වෙනත් පුවත්පත්වල ඒ පිළිබඳ වෙනත් කසුකුසුවක් නැගුනේ නැත.

news5සන්ඩේ ඔබ්සර්වර් වාර්තාව
සැප්තැම්බර්  5 වැනි දා උතුරේ දී අනුර කුමාර දිසානායක, දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් නොසළකා හරින ආකාරයේ ප්‍රකාශයක් කළ ද ඒ පිළිබඳ සමාව ගත යුතු බවට රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 7 වැනි දා යාපනයේ දී ප්‍රකාශ සිදු කරන තෙක්, අනුර කුමාර දිසානායකගේ කතාවේ එම අන්තර්ගතයට උතුරේ හෝ දකුණේ පුවත්පත්වල විශේෂ අවධානයක් යොමු වී තිබුනේ නැත. කෙසේ වෙතත් එම ප්‍රකාශය විසින් සමාජ මාධ්‍ය අවුළුවා ලිම මඟින් පෙන්නුම් කෙරුනේ අධිපති මාධ්‍ය කෙරේ පවත්නා පාඨක බැඳිම නොවැලක්විය හැකි ලෙසින් ගිලහි යන බවද?

සැප්තැම්බර් 8 වැනි දා කාලෙයිකදිර් පුවත්පතේ හතරවැනි පිටුවේ “රනිල්ට ඇති සුදුසුකම කුමක්ද ?” යන සිරස්තලය යටතේ තරමක වෙනස් ආකාරයේ වාර්තාවක් පළ වී තිබුනි. එහි උපුටනයක් මෙසේය:

 

09.08 kaleikadir page 4 How does Ranil say that කාලෙයිකදිර් පුවත්පතේ හතරවැනි පිටුවේ වාර්තාව
“අනුර තම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජනයාගෙන් සමාව ගත යුතු බව සත්‍යයකි. එහෙත් යාපනය පුස්තකාලය ගිනි තැබීම, 1983 වාර්ගික කෝලාහල සහ පසුව දෙමළ ජනතාවට එරෙහි යුද්ධ වැනි දෙමළ ජනතාව ක්‍රමානුකූලව ඝාතනය කිරීමේදී ඔහුගේ එක්සත් ජාතික පක්ෂය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත. එහෙත් මේ කිසිවකට ඔහු මෙතෙක් දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලා නැත. ඉදිරියට සමාව ගැනීමට අදහසක් තිබෙන බව පෙනෙන්නටද නැත. එවැනි මිනිසෙකුට වෙනත් අපේක්ෂකයෙකුගේ මතය ගැන සමාව ගත යුතුයැයි පැවසීමට සදාචාරාත්මක සුදුසුකමක් තිබේද ? ජනතාව සිතා බැලිය යුතුය.”

දෙමළ පුවත්පත්වල එවැනි ආකාරයේ පුවත් වාර්තා පළ වු පසු සැප්තැම්බර් 9 වැනි සඳුදා දිවයින, ලංකාදීප, මව්බිම, දිනමිණ වැනි සිංහල පුවත්පත් වල රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ඔහු උතුරේ ජනතාව අමතා කළ කතාව සම්බන්ධයෙන් සමාව ගත යුතු යැයි පැවසූ වාර්තා පළ වී තිබුණි. එසේම එදිනම, සි‍ලෝන් ටුඩේ සහ මව්බිම පුවත්පත් වල අනුර කුමාර දිසානායක එයට පිළිතුරු සපයමින්, රනිල් වික්‍රමසිංහ ජාතිවාදය අවුස්සන නිසා ජනතාවගෙන් සමාව ගත යුත්තේ රනිල් බව පැවසු වාර්තා ද පළ වි තිබුනි.

 

news 6දිවයින, ලංකාදීප, මව්බිම, සිලෝන් ටුඩේ, ඩේලි මෝනින්ග් පුවත් වාර්තා
රටේ සමස්ත ජනතාවටම වග වීමට බැඳී සිටින ජනාධිපති අපේක්ෂ‍කයන්ගෙන් කෙනෙකු වු ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක දෙමළ ජනතාවගේ අපේක්ෂා නොතකමින්, සිංහලයා ගේ අපේක්ෂාවන්ගෙන් පමණක්  සෑහීමකට පත්වන්නැයි ඇඟවෙන ප්‍රකාශයක් නිකුත් කළ ද එවැනි ප්‍රකාශයකින් හෙළිදරව්ව වන සියුම් අධිපති මනෝභාවය නිරීක්ෂණය කිරීමට තරම්, ජාතිමාමකත්වයෙන් ඔද්දල් වී සිටින සිංහල ජනමනස සුක්ෂම නැත. එසේම  දකුණේ සිංහල දේශපාලකයන් තම අපේක්ෂාවන් මඩේ දමා සෝද සෝදා දකුණට ආවඩන තත්වයක් තුළ, වරින් වර දකුණේ දේශපාලකයන් ඔවුන් පිළිබඳ පවසන දේවල් පිළිබවඳ දෙමළ සමාජය එතරම් වද වෙන්නේ ද නැත. ඒ අතරවාරේ රනිල් වික්‍රමසිංහ එම කතාව, තම ප්‍රතිවාදී අපේක්ෂක අනුර කුමාර දිසානායකට ප්‍රහාර එල්ල කිරීම සඳහා උතුරේ ජනතාව ඇවිස්සීමට උත්සාහ ගත්ත ද දෙමළ පුවත්පත්වල හැසීරීමෙන් පසක් වන්නේ, ඔවුන් දකුණේ මෙන් ජාතික මට්ටමේ දේශපාලන අර්බුදවලදී ‘වොයිස් කට්’ දේශපාලනය මායිම් නොකරන බවද?

සබැඳි ලිපි :

ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ පත්තර අන්දර

දෙමළ ජනාධිපති අපේක්ෂක, අනුරපුර නාමල්ගේ සත්‍යක්‍රියාව සහ දකුණට මඟ හැරෙන උතුරු කතන්දර

දෙමළ ‘පොදු අපේක්ෂක,’ වතුකම්කරු පඩිය සහ නාමල්ගේ ආගමනය මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු

ආණ්ඩුවේ ඊනියා සමාව ගැනීම සහ සුපුරුදු මැතිවරණ පොරොන්දු මුද්‍රිත පිටු අතරේ ලියැවුණු අයුරු

දෙමළ මනාප පිටියේ රනිල් සජිත් පොරය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුමන්දිරන් සමගි ජනබල‍වේගයට සහාය පළ කිරීම සහ අනුරගේ යාපා පටුනේ ප්‍රකාශනය | The Leader